Thursday, April 30, 2020

යුරෝපයේ මධ්‍යතන යුගය අඳුරු යුගයක් ද?


යුරෝපීය ඉතිහාසය හැදෑරීමේ දී විද්වතුන් විසින් යොදා ගනු ලබන ප්‍රධාන යුග බෙදීම් ත්‍රිත්වය වන පැරණි, මධ්‍යතන හා නූතන යන යුගයන් අතුරෙන් දෙවන යුගය වන මධ්‍යතන යුගයේ කාල සීමාව වනුයේ රෝම අධිරාජ්‍ය බිඳ වැටීම හෙවත් 5වන සියවසේ සිට කොන්ස්තන්තිනෝපලය තුර්කීන් යටතට පත් වීම සිදු වූ 15වන සියවස දක්වා බව කියවේ. සාම්ප්‍රධායික විද්වත් මතවාදයන්ට අනුව ඔවුන් විසින් මෙම මධ්‍යතන අවධිය හඳුන්වා ඇත්තේ යුරෝපයේ රටවල පරිහානිය පිළිබිඹු කළා වු ද, ශිෂ්ටත්වයට වඩා මිලේච්ඡ ලක්ෂණ දෘෂ්‍යමාන කළා වූ ද, බුද්ධි ප්‍රභාවයට වඩා මූඪත්වය හා මමත්වය එළිදරව් කළා වූ ද යුගයක් ලෙසින් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. නමුත් මෙම මධ්‍යතන අවධිය එම විද්වතුන් සඳහන් කළ අයුරෙන්ම යුරෝපයේ පැරණි යුගය හා නූතන යුගය අතර පවතින කිසිදු වැදගත්කමකින් තොරවූ අවධියක් ද යන්න පිළිබඳව විමසා බැලීම වැදගත් වේ. යුරෝපයේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම අතිශය දියුණු වර්ධනාත්මක ලක්ෂණ පෙන්වන්නා වූ යුගයක් වන නූතන යුගයට පෙර එවැනි අඳුරු ලක්ෂණ සහිත යුගයක් පැවතුණා ද යන්න සැකයට බඳුන්වන කරුණකි.



මධ්‍යතන අවධියේ දේශපාලන ක්‍රියාදාමයන්


බයිසන්තියම පදනම් කරගත් දේශපාලනික වර්ධනයන්

යුරෝපයේ මිලේච්ඡයන්ගේ රාජධානි පිහිටුවීමෙන් හා ක්‍රිස්තියානි හා ඉස්ලාම් බලවේග යුරෝපය පුරා ව්‍යාප්ත වීමෙන් අනතුරුව මධ්‍යතන යුගයේ දේශපාලනයට සම්බන්ධ වූ අධිරාජ්‍ය ත්‍රිත්වයක් බිහි වන බව සඳහන් වේ. ඒ අතුරින් ප්‍රධානතම දේශපාලන ඒකකය වූයේ බයිසන්තියම බවත් එහි දේශපාලනික කටයුතු මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව පෙන්වීම සඳහා ගත හැකි මූලිකම දේශපාලනමය සාධකයක් බවත් කිව හැකිය. ඒ අනුව 11වැනි සියවස වන තුරු බයිසන්තියම ඉතා බලවත් රාජ්‍යයක් වශයෙන් නැඟී සිටි බව සඳහන් වන අතර මෙහි වැදගත්ම පාලකයා වනුයේ ක්‍රි.ව 527-ක්‍රි.ව 568 අතර කාලයේ පාලනය ගෙන ගිය ජස්ටීනියන් බව සඳහන් වේ. බයිසන්තියමේ දේශපාලන වර්ධනයන් සඳහා මහත් සේවයක් කළ පාලකයෙකු ලෙස මොහු සඳහන් වන අතර ඔහුගේ එම ක්‍රියාදාමයන් මධ්‍යතන යුගය අඳුරු යුගයක් නොවන බවට පෙන්වා දීම සඳහා යොදා ගත හැකි ප්‍රධානතම දේශපාලන සාධකයක් වන බව ද කියවේ. ඒ අනුව ජස්ටිනියන් අධිරාජ්‍යයා විසින් ඇති කරන ලද දේශපාලන සංවර්ධනයන් අතර බයිසන්තියමේ නාගරික සැලැස්ම වර්ධනය කරවීම ප්‍රධාන වේ. ඒ අනුව අධිරාජ්‍ය නවීකරණයට ලක් කිරීම, විශාල මාළිගා සංකීර්ණ, ක්‍රිස්තියානි පල්ලි, මහා මාර්ග, පාලම්, පොදු ස්නානාගාර, උසාවි සංකීර්ණ, යටි බිම් ගත ජල සැපයිම්, එළිමහන් රංග භූමි ආදිය සකස් කරමින් නගර සැලසුම සකස් කළ හෙතෙම සිය අධිරාජ්‍ය භූගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීම සඳහා ඉතාලිය, ස්පාඥ්ඥයේ කොටසක්, උතුරු අප්‍රිකාව, සුළු ආසියාව, පලස්තීනය, සිරියාව ආදී කලාපයන් අත් කර ගත් බවත් සඳහන් වේ. එමෙන්ම ජස්ටීනියන් විසින් පැරණි රෝම නීතිය සම්බන්ධයෙන් ගනු ලැබූ ප්‍රතිසංස්කරණයන් ද මධ්‍යතන යුගයේ අඳුරු බව මැඩලීම සඳහා මහත් උපකාරී වූ බව කිව හැකිය. ඒ අනුව විද්වත් කමිටු පත් කොට රෝම නීතිය නැවත සංවිධාන ගත කිරීම, හා එය පසුව බයිසන්තියමේ  නීතිය බවට පත් කිරීම මොහු විසින් සිදු කළ බව කියවේ. මෙම නීතිය ජස්ටීනියන් ව්‍යවස්ථා මාලාව හෙවත් Justinian Code of Law නමින් හඳුන්වනු ලබන අතර මෙහි විවාහය, වහල් ක්‍රමය, දේපළ අයිතිය, කාන්තා අයිතීන්, අපරාධ නීති ඇතුළු වෙනත් බොහෝමයක් නීති ප්‍රතිසංස්කරණයන් ඇතුළත්  වන බව සඳහන් වේ. The Code, The Digest, The Institutes, The New Law යනුවෙන් ප්‍රධාන කොටස් 4කින් සමන්විත මෙම නීති මාලාව ජස්ටීනියන්ගෙන් පසු තවත් අවුරුදු 1000ක පමණ කාලයක් පැවති බව සඳහන් වන අතර පසු කාලීනව සමස්ත යුරෝපයටම මඟ පෙන්වන ලද නීති සංග්‍රහය වූ බව ද මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. එබැවින් බයිසන්තියන් අධිරාජ්‍ය හා එහි වැදගත්ම පාලකයා වූ ජස්ටීනියන්ගේ ක්‍රියාකලාපය තුළින් මධ්‍යතන යුගය අඳුරු යුගයක් නොවන බවට සඳහන් කළ හැකි පැහැදිලි දේශපාලනික සාධක උක්ත කරුණු ඔස්සේ පෙන්වා දී ඇති බව කිව හැකි අතර බයිසන්තියම යනු මධ්‍යතන යුගයේ වර්ධිත ලක්ෂණ පෙන්නුම් කළ ප්‍රධානතම දේශපාලන සංස්ථාවක් වූ බව ද ඉහත සඳහන් කරන ලද තොරතුරු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.


ඉස්ලාමය පදනම් කරගත් දේශපාලනික වර්ධනය

ඉස්ලාමය පදනම් කරගත් දේශපාලනය ද මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව පෙන්වීම සඳහා යොදා ගත හැකි තවත් එක් සාධකයකි. ඒ අනුව නබි තුමා හා ඔහුගේ මරණින් පසුව ආරම්භ කරනු ලබන ඉස්ලාම් දේශපාලනය ක්‍රමයෙන් රාජ්‍යයක් දක්වා ව්‍යාප්ත වෙනු හඳුනාගත හැකිය. අරාබි අර්ධද්වීපය තුළ දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයට පත් වූ ඉස්ලාමිකයන් පසුව ප්‍රදේශයන් අත් පත් කර ගැනීමේ ක්‍රියාවලියක ද නිරත වූ බව කියවේ. ඒ අනුව සිරියාව, පර්සියාව, සසානිඩ් රාජ්‍ය, ඊජිප්තුව, උතුරු අප්‍රිකාව ආදී ප්‍රදේශ යටත් කර ගනිමින් ක්‍රමයෙන් අධිරාජ්‍යවාදී දේශපාලන ක්‍රියාදාමයකට ඔවුන් යොමු වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ අනුව උමයියාද්වරු යටතේ එම ව්‍යාප්තිය ඔවුන් ආරම්භ කළ බව සඳහන් වන අතර ඉන් පසුව පාලනයට එළැඹි අබුසෛද්වරු මධ්‍යතන අවධියේ ඉස්ලාම් දේශපාලනය හෙබවූ වඩා වැදගත්ම පාලකයන් බව කියවේ. මොවුන් මධ්‍යතන අවධියට ඉස්ලාමය පදනම් කර ගත් දේශපාලනික වෙනස්කම් රැසක් ගෙන ආ කාලිෆ් වරුන් පිරිසක් ලෙසින් ද මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. නිලබල තන්ත්‍රය පදනම් කරගත් දේශපාලනයක් ඔවුන් මේ යුගයේ අනුගමනය කළ බව සඳහන් වන් අතර ඔවුන්ගේ පරිපාලනය පර්සියන් ලක්ෂණ පෙන්නුම් කළ එකක් වූ බව එම මූලාශ්‍රයන් හි වැඩි දුරටත් සඳහන් වේ. ඉන් පසුව දැඩි යුධකාමී ගෝත්‍රයක් වූ සෙල්ජුක් තුර්කීන් ඉස්ලාම් අධිරාජ්‍ය ව්‍යාප්තියට එළැඹෙන බව සඳහන් කර ඇති අතර ඔවුන් විසින් සිය දේශපාලන ව්‍යාප්තිය ඊජිප්තුව දක්වාම යොමු කළ බවත් බයිසන්තියමට නිරන්තර ප්‍රහාර එල්ල කළ බවත් කියවේ. ඉන් පසුව මධ්‍යතන අවධියේ සිදු වූ ඉස්ලාමීය දේශපාලනයේ උච්චතම අවස්ථාව වූ ඔටෝමන් තුර්කීන්ගේ පරිපාලනය ඇති වන බව සඳහන් වන අතර ඔවුන් සෙල්ජුක් තුර්කි ප්‍රදේශයන්ට අමතරව මධ්‍ය ආසියාවේ ද විශාල ප්‍රදේශයක සිය දේශපාලන බලය ව්‍යාප්ත කළ බව කියවේ. තව ද හංගේරියාව අල්ලා ගැනීම, වියානා කලාපයට ආක්‍රමණ එල්ල කිරීම ද මොවුන් සිදු කර ඇති අතර 1453 කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීමට මූලික වූයේ ද මෙම ඉස්ලාමිකයන් බව කියවේ. කෙසේ නමුත් මොවුන්ගේ ව්‍යාප්තිය 15 සියවස එනම් මධ්‍යතන අවධියේ අවසානයත් සමඟ සීමා නොවන බව සඳහන් වන අතර ඉන් පසුව යුරෝපය හා යුරෝපය නොවන ලෝකය තුළ ඒවායේ දේශපාලනික ක්‍රියාවලියේ ප්‍රමුඛයන් පිරිසක් බවට පත්වීමට ද ඉස්ලාමිකයන්ට අවස්ථාව උදා වූ බව කියවේ.


ලතින් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය පදනම් කරගත් දේශපාලනික වර්ධනය

පැරණි සම්භාව්‍ය යුගයේ අංග ලක්ෂණ මෙන්ම ජර්මානු ගෝත්‍රික අංග ලක්ෂණ ද එක්ව සුසැඳි නව ශිෂ්ටාචාරයක් වූ ලතින් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය මධ්‍යම, උතුරු හා බටහිර යුරෝපයන් කෙන්ද්‍ර කොට ගත් සභ්‍යත්වයක් ලෙස සැලකේ. මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව දැක්වීම සඳහා ලතින් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයේ දේශපාලනයෙන් ද ගත හැකි නිදසුන් බොහෝමයකි. ඒ අතර ෆ්‍රෑන්ක් වරුන්ගේ කාර්යභාරය කැපී පෙනේ. විශේෂයෙන්ම චාල්ස් මර්ටල් වැනි ෆ්‍රෑන්ක් පාලකයන් මුස්ලිම්වරුන් පරාජයට පත් කිරීමත් , ඔහුගෙන් පසු පෙපින් විසින් ලොම්බාර්ඩ්වරු පරාජයට පත් කොට සිය අධිරාජ්‍ය පුළුල් ලෙස ව්‍යාප්ත කොට ගැනීම ආදියත් මධ්‍යතන යුගයේ දේශපාලනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් විය. ඊට අමතරව ෆෑන්ක් වරුන්ගේ කැපී පෙනෙන පාලකයා වූ චාලිමේන් විසින් ඇති කරනු ලැබූ දේශපාලනික ක්‍රියාදාමයන් ද මෙහි දී සඳහන් කළ හැකිය. ඒ අනුව ක්‍රමවත් පරිපාලනයක් සිය අධිරාජ්‍ය තුළ ඇති කරනු වස් පරිපාලන කටයුතු කැරොලින්ජියානු වරුන්ට පමණක් සීමා කිරීම, ප්‍රාදේශීය පරිපාලන අධිකාරිය සීමා කිරීම හා රාජකීය තානාපති සේවයක් ඇති කිරීම, අධිකරණ ක්‍රමය නවීකරණය කිරීම, ප්‍රාදේශීය භූගෝලීය ප්‍රදේශයන් කවුන්ට්ස් නම් ප්‍රදේශයන්ට බෙදීම හා ඒවායේ නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් හා හමුදා බලය යෙදවීම ආදිය සිදු කළ බව සඳහන් වේ. එබැවින් ලතින් ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය තුළ ක්‍රමවත් පරිපාලන හා දේශපාලන කටයුතු රැසක් ස්ථාපිත වී තිබුණු බව උක්ත කරුණු ඔස්සේ හඳුනාගත හැකි අතර ඉන් පෙනී යන්නේ මෙවැනි වර්ධනාත්මක දේශපාලන ක්‍රමවේදයන්ගෙන් සැදුම් ලත් මධ්‍යතන අවධිය සාම්ප්‍රධායික මතයන්හි සඳහන් වන ආකාරයේ අඳුරු යුගයක් නොවන බව මැනවින් පැහැදිලි වන බවයි.


ඇංග්ලෝ-සැක්සන් වරුන් යටතේ ඇති වූ පරිපාලනමය වර්ධනයන්

6 වැනි සියවසේ සිට 11 වන සියවස දක්වා බ්‍රිතාන්‍ය කලාපයේ පාලනය ගෙන ගිය ඇංග්ලෝ-සැක්සන් වරුන් යුරෝපයට පැමිණි ජර්මානු ගෝත්‍රික කණ්ඩායමක් ලෙස හඳුන්වනු ලැබේ. මෙම ගෝත්‍රික කණ්ඩායම්වල ආගමනයත් සමඟ යුරෝපයේ පැරණි යුගයේ තිබූ ශක්තිමත් දේශපාලන, ආර්ථික හා සමාජ පදනම බිඳ වැටෙන බව දැක්වූව ද එංගලන්තය කේන්ද්‍ර කොට ගනිමින් සිය රාජ්‍ය පිහිටුවා ගත් ඇංග්ලෝ-සැක්සන්වරුන් වර්ධනාත්මක දේශපාලන, සමාජ ආර්ථික තත්වයක් ගෙන ගිය බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ අනුව මධ්‍යතන අවධියේ එංගලන්තය පදනම් කර ගනිමින් ඇති වූ ඇංග්ලෝ-සැක්සන් පරිපාලන රටාව ද මධ්‍යතන යුගයේ අඳුරු බව නැසීමට යොදා ගත හැකි තවත් එක් දේශපාලනමය සාධකයකි. ඒ අනුව මෙම පාලකයන්ගේ නීති සංග්‍රහ වැදගත් තැනක් ගනු ලබන අතර එංගල්බර්ට් රජුගේ නීති සංග්‍රහය, ඇල්ෆ්‍රඩ් රජුගේ නීති සංග්‍රහය  ආදිය එහි ලා වැදගත් වන බව කියවේ. එමෙන්ම ඇංග්ලෝ-සැක්සන් සමජය තුළ රජුගේ කාර්ය අර්ථ දක්වා ඇත්තේ රට ආරක්ෂා කිරීම හා රට පාලනය කිරීම යන ක්‍රියාවන් අයත් තැනැත්තා වශයෙනි. රජුට උපදෙස් දුන් පරිපාලන මණ්ඩල, පළාත් පාලනය හෙබවූ ආයතන, ගම් පදනම් කරගත් මණ්ඩල, අධිකාරී පත්‍ර වැනි වැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලද පනත් ආදිය මෙම පරිපාලනය තුළ තිබී ඇති අතර ඒවා උසස් මෙන්ම ක්‍රමවත් දේශපාලන ක්‍රියාදාමයක ලක්ෂණ බව විද්වතුන්ගේ මතය වී ඇත. විශේෂයෙන්ම ඉහත දක්වන ලද මහාධිකාරී පත්‍ර නම් සංකල්පය පසු කාලීනව එංගලන්තය මුල් කර ගත් ව්‍යවස්ථානුගත රාජාණ්ඩුව බිහි කිරීමට පවා පදනම් වූ බව කියවේ.


පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය

මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව පෙන්වා දීම සඳහා යොදා ගත හැකි තවත් එක් දේශපාලනික සාධකයක් වනුයේ පාර්ලිමේන්තු ක්‍රමයේ බිහිවීම හා එහි වර්ධනයක් මධ්‍යතන අවධිය තුළ ඇති වීමය. ඒ අනුව මධ්‍යතන යුගයේ පාර්ලිමෙන්තු ක්‍රමය ඇති වූයේ එංගලන්තයේ පමණක් බව බොහෝ විද්වතුන් සඳහන් කරනු ලැබුවත් කැස්ටීලය, ස්පාඥ්ඥය, ඇරගනය හා ලියෝන්ස් ආදී රාජ්‍යයන්ගේ ද මෙම පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය සිදු වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ අනුව බොහෝ විද්වතුන් සතුව මධ්‍යතන යුගයේ ඇති වූ පාර්ලිමේන්තුවේ ප්‍රභවය පිළිබඳව විවිධ මතවාද ඇති බව කියවේ. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම මධ්‍යතන අවධියේ පාර්ලිමේන්තු ක්‍රමයේ ක්‍රමවත් විකාශනයක් ඇති වනුයේ එංගලන්තය මුල් කොට ගත් දේශපාලන පද්ධතියේ බව සඳහන් වන අතර ආරම්භයේ දී එය රාජ බලය සීමා කරන ආයතනයක් වශයෙන් නොව රාජ බලය වර්ධනය කරන්නක් ලෙස ඇති වූ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. එමෙන්ම 13වන සියවස අවසානය පමණ වන විටත් මධ්‍යත්න යුගයේ පාර්ලිමේන්තුව මණ්ඩල බෙදීමේ ක්‍රමවේදයකට සකස් නො වී තිබූ බව සඳහන් වේ. අනතුරුව 14වන සියවසේ එනම් මධ්‍යතන යුගයේ අවසාන භාගයේ දී පාර්ලිමේන්තු ක්‍රමය අතිශය දියුණුවක් අත්පත් කර ගත් බව සඳහන් වන අතර එංගලන්ත පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලය බිහිවීම, 15වන සියවස වන විට පාර්ලිමේන්තුව ආර්ථික, ව්‍යවස්ථාදායක හා වෙනත් බොහෝ වරප්‍රසාදයන් රැසක් හිමි කරගෙන තිබීම ආදිය ඒ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ පාර්ලිමේන්තුව මුල් කරගත් කැපී පෙනෙන දේශපාලන ක්‍රමවේදයන් මෙම මධ්‍යතන අවධියේ ඇති වූ බවත්, සිය බලතල පිළිබඳව මනා අවබෝදයකින් සිටි මධ්‍යතන අවධියේ පාර්ලිමේන්තුව 14වන සියවසේදී යුරෝපයේ රාජාණ්ඩු පාලනයන් අභිබවමින් සිය බලයන් විදහා දැක්වීමට අවස්ථාව උදා කර ගත් බවත් වේ. එබැවින් උක්තව සඳහන් කරනු ලැබූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ද මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව මැනවින් ගම්‍යමාන වන බව කිව හැකිය.


ස්වෛරී රාජාණ්ඩුවල ආරම්භය

‍යුරෝපා පාලකයන්ගේ බලය වැඩි වී ජාතික රාජ්‍ය හෙවත් ස්වෛරී රාජාණ්ඩු බිහි වීම යන ක්‍රියාදාමය සිදු වූයේ ද මෙම මධ්‍යතන යුගයේ බව කියවේ. ඒ අනුව පාලකයන්ගේ රාජ්‍ය බලය වැඩි වීම යන සාධකය ප්‍රධාන ලෙසම පෙනෙන්නට තිබුණේ ප්‍රංශයෙන් බව කියවේ. පොදු වශයෙන් රජුන්ගේ බලය වැඩි වීමට ද එකම පූර්ණ බලධාරී රජෙකු යටතේ පාලනය වන ජාතික රාජ්‍ය බිහි වීම ද මෙම සංසිද්ධිය ඔස්සේ සිදු වූ බව කියවේ. එමෙන්ම මෙම යුගයේ පාලකයන් විවිධ උපක්‍රම ගණනාවක් අනුගමනය කරමින් සිය බලයන් රාජ්‍ය තුළ තහවුරු කර ගැනීමට ද උත්සහ ගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ අනුව පරිපාලන ,අධිකරණ හා බදු ක්‍රම ඇති කිරීම, රදළ නියෝජිතයන්ට පමණක් සීමා වූ පැරණි රාජ සභාවලට නැඟී එන මධ්‍යම පාන්තික නියෝජිතයන් පත් කොට එමඟින් රදළ බලය පහත දැමීම, රජු යටතේ පාලනය කරවූ හමුදාවන් ඇති කිරීම ආදිය කැපී පෙනෙන පියවරයන් ලෙස මූලාශ්‍රයන්හි දක්වා ඇත. මෙම පියවරයන් සියල්ලක්ම සෑම රාජ්‍යයකම සාර්ථක නොවූවත් බොහෝ දුරට එම සාර්ථකත්වය ලබා ගත් රාජ්‍යයන් ස්වෛරී රාජාණ්ඩු මඟින් පාලනය වූ ජාතික රාජ්‍ය බවට පත් වූ බව කියවේ. ඒ අනුව උක්ත තොරතුරු ඔස්සේ පැහැදිලි වනුයේ යුරෝපයේ ස්වෛරී රාජාණ්ඩු බිහිවීම යන ක්‍රියාදාමය මුල් වරට සිදු වූයේ මධ්‍යතන අවධියේ බවයි. කිසිදු ආකාරයක සංවර්ධිත දේශපාලනයක් දක්නට නොලැබෙන කාල සීමාවක් ලෙස අර්ථ දක්වන මධ්‍යතන අවධිය තුළ ඉහත දැක්වූ ආකාරයේ සංවර්ධිත දේශපාලන වෙනස්වීම් ඇති වීම තව දුරටත් මධ්‍යතන අවධිය අඳුරු යුගයක් ලෙස අර්ථ දැක්වීම කෙතරම් අසාධාරණ දැයි කිව හැකිය.


මධ්‍යතන අවධියේ ආර්ථික ක්‍රියාවලිය


වැඩවසම් ස්වයංපෝෂී ආර්ථිකය

වැඩවසම් ක්‍රමය 9වන සියවසේ සිට 15වන සියවස දක්වා යුරෝපය වසා පැතිරී තිබූ ප්‍රධානතම ආර්ථික දේශපාලන හා සමාජ ක්‍රමය ලෙස අර්ථ දැක්වේ. විශේෂයෙන්ම වැඩවසම් ආර්ථිකය ගොවිතැන හා සම්බන්ධ වූ සංවිධාන ක්‍රමයක් ලෙස සඳහන් වේ. එහි පදනම වූයේ නින්දගම හෙවත් ගම්බද රදළ නිවස මුල් කරගත් ගොවිතැන් සංවිධාන ක්‍රමය විය. මධ්‍යතන යුගයේ ගොවිතැන් ක්‍රමය ඉහත කී සංවිධාන ක්‍රමය මත මුළුමනින්ම ගොඩනැඟී තිබූ බව බොහෝ විද්වතුන්ගේ මතයයි. මධ්‍යතන යුගයේ බිහිවූ මෙම වැඩවසමේ ප්‍රධාන ලක්ෂණය වූයේ ස්වයංපෝෂිත වීම බව කියවේ. ඉඩම වගා කිරීමෙන් වැඩවසම් සමාජය ප්‍රධාන ආදායම ලැබූ බව කියවේ. ආර්ථික රටාව ප්‍රධාන වශයෙන්ම ඉඩම හා සම්බන්ධ වූ අතර ගොවීන් ඉඩම වගා කිරීම මඟින් වංශාධිපතීන්ට සේවය කිරීම, ඇතැම් කණ්ඩායම් කර්මාන්තවල යෙදීම, ස්වල්ප වශයෙන් වෙළඳාමේ යෙදවීම හා භාණ්ඩ හුවමාරු කිරීම, සාමූහික හවුල් වගාවන් හා සතුන්, ගොවි උපකරණ ආදිය හවුලේ භාවිතා කිරීම ආදිය මෙම වැඩවසම් ආර්ථික සංවිධානයේ කැපී පෙනෙන අංග ලක්ෂණ වන බව කියවේ. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයේ ස්වයංපෝශී ආර්ථිකයකින් හෙබි මධ්‍යතන අවධිය දුර්වල ආර්ථික ලක්ෂණ පෙන්නුම් කළ යුගයක් නොවන බව ඉන් පැහැදිලි වන අතර මේ යුගයේ නිෂ්පාදන අතිරික්තයක් ඇති නොවීම මෙම ස්වයංපෝෂී ආර්ථිකය ආරක්ෂා කළ සාධකය ලෙස ද විද්වතුන් විසින් හඳුන්වා දෙනු ලැබේ.


බයිසන්තියන් අධිරාජ්‍යය හේතුවෙන් ඇති වූ ආර්ථික වර්ධනයන්

මධ්‍යතන අවධියේ බලවත් අධිරාජ්‍යයක් වූ බයිසන්තියම මුල් කරගත් ආර්ථික කටයුතු ද මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව පෙන්වා දීම සඳහා යොදා ගත හැකි තවත් එක් ආර්ථික සාධකයකි. ඒ අනුව වෙළඳාමේ කැපී පෙනෙන ලක්ෂණ පෙන්නුම් කළ මෙම අවධිය තුළ ඔවුන්ට ආර්ථිකමය වශයෙන් මධ්‍යධරණී මුහුදේ ඉතා බලවත් රාජ්‍යයක් ලෙස නැඟී සිටීමට අවස්ථාව උදා වූ බව සඳහන් වේ. මේ පිළිබඳව කේ. ඩී. ජී විමලරත්නයන් සිය කෘතියේ දක්වා ඇත්තේ මෙසේය.

... එකොළොස් වැනි සියවස වන තුරු බයිසන්තියමට මධ්‍යධරණී මුහුදේ ඉතා බලවත් රාජ්‍ය වශයෙන් නැඟී සිටිය හැකි විය. පෙරාපර දෙ දිග යම්තාක් වෙඇළෙඳ ව්‍යාපාර වී නම් ඒ සේ වූයේ මේ අධිරාජ්‍ය නිසාය. එය එ කල එ තරම් ම සමෘධිමත් වී. එහි අගනුවර බටහිර යුරෝපයේ විශාල ම අගනුවර වී. අධිරාජ්‍යයේ විසූ අය නා නා ජාතීනට අයත් වූ හ. ග්‍රීක, ඊජිප්තු, සිරියනු, ආර්මීනිය, ස්ලාව් හා බල්ගේරියා ආදීහු ද ඒ අතර වූ හ....

වෙළෙඳ නගර, වෙළෙඳ මාර්ග හා වෙළෙඳ පන්ති බිහිවීම

අඳුරු යුගයක් ලෙස සලකනු ලබන මධ්‍යතන අවධියේ ඇති වූ තවත් ආර්ථික ප්‍රවණතාවයක් ලෙස නගර බිහි වීම හා පැරණි නගර දියුණු වීම දක්නට ලැබෙන බවත් එය මධ්‍යතන අවධියේ අඳුරු බව නැසීමට යොදා ගත හැකි තවත් එක් ආර්ථික සාධකයක් වන බවත් විද්වතුන්ගේ මතයයි. ඒ අනුව ගොවි සමාජයේ අතිරික්තයක් නිර්මාණය වීමත් සමඟ ක්‍රමයෙන් වෙළඳාමට හුරු වූ ජනතාව ඒ ඔස්සේ මුල් අවධියේ වෙළෙඳ කටයුතු කරනු ලැබුවේ කලින් කලට පවත්වන ලද පොළවල් ඔස්සේ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ආරක්ෂාව හා පහසුව තකා මෙම පොළවල් පැරණි රෝම නගර හෝ කොටු පවුරුවලින් ආරක්ෂා වූ නගර හෝ අසල පවත්වන්නට ඇති බවත් එමෙන්ම මේ යුගයේ ප්‍රසිද්ධියට පත් දේවස්ථාන් හා තාපසාරාම මෙම වෙළෙඳ කටයුතු සඳහා ඉතා උචිත බවත් මේ යුගයේ වෙළෙඳුන්ට පෙනී යන්නට ඇති බව කිව හැකිය. එමෙන්ම කල් යෑමේ දී මෙම වෙළෙඳ පොළවල් පැවති ස්ථානයන් ක්‍රමයෙන් වෙළෙඳ නගරයන් බවට පත් වූ බව ද මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන්ගේ මතය වී තිබේ. විශේෂයෙන්ම ඉතාලිය කෙන්ද්‍ර කොට ගත් නේපල්ස්, ෆ්ලෝරන්ස්, පීසා, ජිනෝවා, මිලාන්, වෙනීස් වැනි ධනවත් නගර කොන්ස්තන්තිනෝපලය, බැග්ඩෑඩය වැනි අගනගර වූ වෙළෙඳ නගර ද මේ ආකාරයෙන් බිහි වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. එමෙන්ම මේ යුගයේ නිර්මාණය වූ වෙළෙඳ මාර්ගයන් බටහිරින් සිසිලි වෙරළ ප්‍රදේශ, නැගෙනහිරින් බයිසන්තියන් කලාපය, දකුණෙන් මුස්ලිම් අධිරාජ්‍ය කෙන්ද්‍ර කොට ගෙන බිහි වූ බව සඳහන් වන අතර ඇල්ප්ස් කඳු ඔස්සේ යුරෝපයට, පෙරදිග සිට ඩැනියුබ් ගඟ ඔස්සේ මධ්‍යම යුරෝපයට හා රුසියාවටත්, එංගලන්තයටත් ආදී වශයෙන් මෙම වෙළෙඳ මාර්ග නිර්මාණය වූ බව ද සඳහන් වේ. එමෙන්ම මධ්‍යතන සමාජයේ මෙම වෙළඳාම තුළ ප්‍රධාන තැන ඉසිලූ වෙළෙඳ ප්‍රජාව වූයේ යුදෙව්වන් හා සිරියානු ජාතිකයන් බව ද කියවේ.


යුරෝපයේ වාණිජ සංගම් බිහිවීම

වෙළෙඳුන්, කාර්මිකයන්, සාප්පුකරුවන් ආදීන්ගේන් සැදුම් ලත් මධ්‍යතන අවධියේ නාගරික වෙළෙඳ සංවිධාන සඳහා සාමය, ආරක්ෂාව, වෙළෙඳ පහසුකම්, බාධා රහිතව භාණ්ඩ ගෙන යෑමේ හා ගෙන ඒමේ පහසුකම් ආදිය අත්‍යවශ්‍ය වීම හේතුවෙන් මෙම අයිතිවාසිකම් ලබා ගැනීමේ පදනම මත වෙළෙඳ සංවිධාන ගොඩනඟා ගන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි. මේවා කොමියුන් හෝ ගිල්ඩ් නමින් හැඳින්වූ බව ද වෙළෙඳුන්ට අමතරව මධ්‍යතන ආර්ථිකය හැසිරවූ කාර්මික සමාජය ද මෙම ගිල්ඩ් ක්‍රමයට අනුගත වූ බව ද මූලාශ්‍රයන්හි සඳහන් වේ. එමෙන්ම මෙම වෙළෙඳ සංවිධාන ඔස්සේ සිදු කරන්නා වූ වෙළඳාම් වඩාත් හොඳින් සිදු කෙරුණු අවස්ථාවන්හී දී එම නගරවලට නිදහස ප්‍රධානය කළ බවත් එයට නිදසුන් ලෙස 1183 දී කොන්ස්ටන්ස් ගිවිසුම මඟින් ඉතාලියේ ලොම්බාර්ඩ් වෙළෙඳ සංගමය සිය නිදහස දිනා ගත් බවත් සඳහන් වේ. එමෙන්ම කල් යෑමේ දී මෙවැනි සංවිධානවලට අවශ්‍ය ප්‍රදේශ සපයා දෙමින් මධ්‍යතන අවධියේ රදළයින් ඊට හිලව් වශයෙන් බදු මුදල් ලබා ගැනීමට ද පෙළඹුණු බව දැක්වේ. එබැවින් පාලකයින් නගර සකස් කොට ඒවයින් විශාල ආදායම් ලබා ගත් බව කියවෙන අතර එමඟින් යුරෝපය පුරා නව නගර රැසක් බිහි වීම ද පැරණි නගර දියුණු වීම ද වැඩි දුරටත් සිදු වූ බව සඳහන් වේ. එබැවින් උක්ත පරිච්ඡේදයේ සඳහන් කරන ලද නගර බිහිවීම හා නාගරික සංවිධාන බිහිවීම යන සිදුවීම ද්විත්වයම මධ්‍යතන අවධියේ ආර්ථික වර්ධනය කෙතරම් වී ද යන්න හුවා දක්වන තවත් එක් වැදගත්ම සාධයක් බව පැහැදිලි වන අතර එවන් ශක්තිමත් ආර්ථිකයක් පැවති මෙම යුගය සාම්ප්‍රධායික ඉතිහාසඥයින් දක්වන පරිදි අඳුරු ගති ලක්ෂණ ඉස්මතු කරන ලද යුගයක් නොවන බවත් උක්ත තොරතුරු ඔස්සේ මැනවින් ගම්‍යමාන වන බව කිව හැකිය.


ආර්ථික කටයුතු පදනම් කරගත් මුල් භූගෝලීය ගවෙෂණයන් ඇති වීම

මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බවට පෙන්වා දීම සඳහා යොදා ගත හැකි තවත් එක් ප්‍රභලතම ආර්ථික සාධකයක් වනුයේ මධ්‍යතන වැසියා ආර්ථික කටයුතු පදනම් කර ගනිමින් භූගෝලීය ගවේෂණයන් කෙරෙහි යොමු වීමත් ඉන් ජාත්‍යන්තරය ජය ගැනීමත් ය. මේ පිළිබඳව එම්. ඩී. එච් සෙනෙවිරත්නයන් සිය අපරදිග අතීතය නම් කෘතියේ සඳහන් කොට ඇත්තේ මෙසේ ය.

... රෝම අධිරාජ්‍ය බිඳ වැටීමේ පටන්, පුරා ශත වර්ෂ පහක් හයක් තිස්සේ හැම දෙසින් ම ආ පහර විඳිමින් කටුව තුළට වැදුණු ගොළුබෙල්ලෙකු සේ සිටි යුරෝපය කුරුස යුද්ධවලි අවදි වුණු සැටිත්, ඉන්පසු කටුවෙන් එළියට පැන, පෙරදිගට ආ සැටිත් අපි දුටුවෙමු. එහෙත් ඒ ව්‍යාපාරය සාර්ථක වූයේ නැත. සිදු වූයේ යුරෝපීයයන්ගේ ඇස් ඇරීම පමණකියි කීව ද වරද නො වේ. නමුත් ඊට වඩා සාර්ථක අන්දමින් කටයුතු කිරීමට වෙනත් පිරිසක් සිතට ගත්හ. මෙහි පෙරමුණ ගත්තෝ ජාත්‍යන්තර වෙළඳාමෙන් බලයට පත් ව සිටි ඉතාලි වෙළෙඳෝ ය....

ඒ අනුව පෙර අපර දෙදිග වෙළඳාමේ තැරැව්කරුවන් වූයේ බයිසන්තියන් හා අරාබි වෙළෙඳුන් බව සඳහන් වන අතර වැඩි වාසි ලැබූ වෙළෙඳෝ ද ඔවුන් වූ බව කියවේ. මධ්‍යධරණී කලාපයේ වෙළඳාම මොවුන් සතු වූයෙන් ඉතාලි වෙළෙඳුන් ගොඩ බිමින් පෙරදිගට පැමිණීම ආරම්භ කළ බව සඳහන් වේ. ඒ අනුව 13 වන සියවස මැද වන විට පර්සියාව, චීනය හා ඉන්දියාව වැනි රටවල්වලට මධ්‍යතන අවධියේ වෙළෙඳ ගවේෂකයන් පැමිණි බව කියවේ. ඔවුන් අතර ප්‍රසිද්ධ ගවේෂකයෙකු වූ පෝලෝ සහෝදරයන් 1260 දී පෙරදිගට පැමිණි බව දැක්වෙන අතර මෙවැනි ගවේෂකයින් හේතුවෙන් සිදු වූයේ මධ්‍යතන යුරෝපය හා පෙරදිග ඉන්දියාව, චීනය ආදී රටවල් සමඟ ස්ථීර ජාත්‍යන්තර සබඳතා ගොඩ නංවා ගැනීම වූ බව කියවේ. එබැවින් නූතන අවධියට අයත් සිදුවීමක් ලෙස සැලකෙන යුරෝපයේ දේශ ගවේෂණ ව්‍යාපාරයේ මුල් ක්‍රියාදාමයන් සිදු වී ඇත්තේ මධ්‍යතන අවධියේ බව ඉන් තහවුරු වන අතර එනිසාවෙන්ම මධ්‍යතන අවධිය සාම්ප්‍රධායික මතයේ සඳහන් වන ආකාරයේ අඳුරු යුගයක් නොවන බව ද උක්ත තොරතුරු ඔස්සේ පෙන්වා දිය හැකි බව පැහැදිලි වේ.


මධ්‍යතන අවධියේ සමාජ තත්වය


මධ්‍යතන යුගයේ අධ්‍යාපනය

මධ්‍යතන අවධියේ යුරෝපය විසින් ලෝක ශිෂ්ටාචාරයට දායාද කරන ලද වැදගත්ම අධ්‍යාපන ක්‍රමය වූයේ විශ්වවිද්‍යාල ක්‍රමය බව සඳහන් වේ. ඒ අනුව තාපසාරාම මුල් කරගත් අධ්‍යාපන රටාව වර්ධනය වීම ඔස්සේ ක්‍රමයෙන් මෙම මහා පරිමාණ අධ්‍යාපන ක්‍රමවේදයට මධ්‍යතන සමාජයන් අනුගත වන්නට ඇතැයි සිතිය හැකිය. මූලාශ්‍රයන්හි සඳහන් වන ආකාරයට 9වන සියවසේ මැද දක්වාම තාපසාරාම ක්‍රමය යුරෝපයේ පවති ඇති අතර ඉන් පසුව ක්‍රමයෙන් ලෞකික විෂයයන් විෂය මාලාවට එකතු වීමත්, එම විෂයයන් පිළිබඳව මහත් දැනුම් සහිත පුද්ගලයන් හා ඔවුන් එක් රොක් වන ස්ථාන බිහි වීමෙන් මෙම විශ්වවිද්‍යාල ක්‍රමය මධ්‍යතන අවධිය තුළ ආරම්භ වන්න්ට ඇතැයි කියවේ. එමෙන්ම මෙම අධ්‍යාපන ක්‍රමයන් වර්ධනය වීමෙහි ලා චාලිමෙන් වැනි අධිරජුන්ගේ භාෂා-සාහිත්‍ය පුනර්ජීවන කටයුතු  හේතුවක් වූ බව සඳහන් වන අතර ඊට අමතරව අරාබීන් යටතේ සිදු වූ විද්‍යාත්මක හා ගණිතමය ක්ෂේත්‍රයන්ගේ දියුණුව ද පිහිවහලක් වූ බව සඳහන් වේ. එබවින් මධ්‍යතන අවධිය අවසාන සමය වන විට යුරෝපය පුරා විශ්වවිදාල වර්ධනය වීම දක්නට ලැබෙන බව සඳහන් වන අතර ඒවා ඉතාලියේ බොලොඤ්ඤෝ, ප්‍රංශයේ පැරිස් ඇතුළුව  ඔක්ස්ෆර්ඩ්, සැලමැන්කා, පාදුවා නේපල්ස්, කෙම්බ්‍රිජ්, ලිස්බන්, වියානා, ප්‍රාග්, කෝලොං, හීඩ්ල්බර්ග්, ෆ්ලෝරන්ස්, බුදාපෙස්ට් ආදී නගර තුළ ද වර්ධනය වූ බව කියවේ. පැරණි සම්භාව්‍ය යුගයේ හා නූතන යුගයේ අධ්‍යාපනය පමණක් වර්ධිත වූ බවට වත්මනෙහි දක්වා ඇති අදහස් උක්ත නිදසුන් ඔස්සේ ප්‍රතික්ෂේප වන්නේ නූතන විශ්වවිද්‍යාල ක්‍රමයේ හා විශ්වීය දැනුම් සම්භාරයක් එකට කැටි කොට ගත් ක්‍රමවත් අධ්‍යාපන පද්ධතියක මූලාරම්භය සිදු වන්නේ මධ්‍යතන අවධියේ බව මැනවින් පැහැදිලි වන නිසාය. එබැවින් මධ්‍යතන අවධිය අඳුරු යුගයක් ලෙස දැක්වීම ඉහත සඳහන් කරන ලද මධ්‍යතන අධ්‍යාපන ක්‍රමවේදයන් ඔස්සේ පිළිගත නොහැකි සංකල්පයක් වන බව මැනවින් පැහැදිලි වේ.


බයිසන්තියන් අධිරාජ්‍ය යටතේ වර්ධනය වූ සංස්කෘතික ප්‍රබෝධය

බයිසන්තියන් අධිරාජ්‍ය යටතේ මධ්‍යතන අවධියේ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධයත් මධ්‍යතන යුගය අඳුරු යුගයක් ලෙස අර්ථ දැක්වීම ප්‍රතික්ෂේප කිරීමට යොදා ගත හකි තවත් එක් සමාජමය සාධකයකි. ඒ අනුව බයිසන්තියම යටතේ ඇති වූ දියුණු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ඒ සඳහා නිදසුන් ලෙස හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම ජස්ටීනියන් රජු විසින් ඉදි කරන ලද ශාන්ත සොෆියා දෙව් මැඳුර මෙහි දී කැපී පෙනේ. බයිසන්තියමේ කැපී පෙනෙන ගෘහ නිර්මාණ ලක්ෂණයක් වූ ශිඛරාර්ධ ගෝලය මෙහි ද දක්නට ලැබෙන අතර එය පාදයේ සිට අඩි 100 උස බව ද දැක්වේ. එමෙන්ම පර්සියානු බලපෑම ලත් ප්‍රතිමා කලාවක්, ග්‍රීක බලපෑම සහිත චිත්‍ර කලාවක් මොවුන් සතු වූ බව පැවසෙන අතර වෙනත් ශිෂ්ටාචාරයන්හි දක්නට නොලැබෙන ආකාරයේ කුඩා වීදුරු එකට ඇල්ලීමෙන් සිදු කරන ලද සිතුවම් කලාවක් ද මොවුන් සතු වූ බව සඳහන් වේ. එමෙන්ම නූතන යුගය ආරම්භයේ යුරෝපයේ අති වූ මහා පුනරුදයටත් මෙම බයිසන්තියානු සංස්කෘතික අංග ලක්ෂණ බලපෑ බව සඳහන් වන  අතර රොමැනක් ආදී ගෘහ නිර්මාණ කලාවන් වර්ධනය වූයේ ද බයිසන්තියමේ බලපෑම ලැබීමෙන් බව සඳහන් වේ. එබැවින් බයිසන්තියන් ශිෂ්ටාචාරයේ සංස්කෘතික අභිවර්ධනයන් හේතුවෙන් ද පූර්ණ මධ්‍යතන අවධියම අඳුරු යුගයක් ලෙස සැලකීම නිවැරදි නොවන බව උක්තව සඳහන් කරන ලද තොරතුරු ඔස්සේ ගම්‍යමාන වේ.


භාෂාව, සාහිත්‍ය හා ලේකඛයන්ගේ වර්ධනය ඇති වීම

12 හා 13වන සියවස් තුළ විශ්වවිද්‍යාල ක්‍රමය ව්‍යාප්ත වී යත්ම මූලිකව ලතින් භාෂාව හා අරාබි, ග්‍රීක් ආදී භාෂාවන්ද පදනම් කොට ගත් ග්‍රන්ථ භාවිතයට මධ්‍යතන සමාජය හුරුවීම මෙහි දී සිදු විය. මෙම ග්‍රන්ථ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ඒවායේ ඇති විදග්ධ භාවය මධ්‍යතන සමාජය කිසිදු ආකාරයක අඳුරු ලක්ෂණ පෙන්නුම් කළ යුගයක් නොවන මැනවින් තහවුරු වේ. ඒ අනුව මේ යුගයේ රචනා කරන ලද කෘති අතර මහා ඇල්බට් ගේ කෘති, ශාන්ත ඇක්වයිනාස් දේවගැති වරයාගේ ක්‍රිස්තියානි සංග්‍රහය, රොබට් ග්‍රොස්ටෙස්ට්ගේ කෘති, රොජර් බේකන්ගේ කෘති ආදිය වැදගත් තැනක් ගනී. එමෙන්ම මධ්‍යතන යුගයේ සාහිත්‍ය පිළිබඳව දැක්වීමේ දී ඉතාලි ජාතික ඩාන්ටේ විසින් රචිත දේව සුඛාන්තය, නිරය, ශුද්ධ ගිනි ස්ථානය, පාරාදීසය ආදිය ලෝක සාහිත්‍යයේ සම්භාවනීය කෘති ලෙසින් ද අර්ථ දක්වනු ලබේ. ඊට අමතරව මධ්‍යතන අවධිය තුළ ඉතාලි භාෂාව භාවිත කොට රචනා කරන ලද කෘති, ප්‍රංශය හා ජර්මනිය ආදී රටවල මිත්‍යා ඉතිහාස වෘතාන්ත ඇසුරෙන් මහා කාව්‍ය රචනා කිරීම, ප්‍රංශයේ නයිට් වරුන්ගේ වීරත්වය අලලා රචනා කරන ලද රෝලන්ඩ් ගීතය, ජර්මන්වරුන්ගේ පර්සිවෙල් හා නිබෙලුන්ජන්ලීඩ් කෘතිය, ඒංගලන්තයේ ඇංග්ලෝ- සැක්සන් ක්‍රොනිකල් ආදී කෘති මෙම මධ්‍යතන අවධියේ දියුණු භාෂා හා සාහිත්‍ය අංග ලක්ෂණ හෙළිදරව් කරන්නා වූ  ග්‍රන්ථ ලෙස  සඳහන් වේ.


12 වන සියවසේ ඇති වූ පුනරුදය

මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවේ යැයි දැක්වීම සඳහා 12වන සියවසේ යුරෝපයේ ඇති වූ සංස්කෘතික පුනරුදය ද ඉතා ප්‍රභල සමාජමය සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව මේ යුගය වන විට යුරෝපියානු රාජ්‍යන්වල දක්නට ලැබුණා වූ ස්ථාවර දේශපාලනය මෙම සංස්කෘතික ප්‍රබෝධයට ප්‍රධාන හේතුවක් වූ බව සඳහන් වන අතර ඒ ඔස්සේ ජනතාව වැඩි වශයෙන් ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි සිත යෙදවීම සිදු කළ බව සඳහන් වේ. ඒ අනුව ඉතාලිය ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රය, නීතිය පිළිබඳවත්, ප්‍රංශය දේවධර්මය හා සාහිත්‍ය පිළිබඳවත්, ස්පාඤ්ඤය දර්ශනය හා විද්‍යාව පිළිබඳවත් දියුණුවක් ලැබූ බව මූලාශ්‍රයන්හි දැක්වේ. එමෙන්ම සෑම රටක්ම පාහේ සෑම අංශයකින්ම සුළු හෝ දියුණුවක් පෙන්නුම් කළ බව සඳහන් වන අතර මෙම 12වන සියවසේ පුනරුදය පූර්ණ වශයෙන්ම සෑම රටක් තුළම එකම කාල පරිච්චේදයක සිදු නොවූවක් ලෙසත් එම මූලාශයන්හි වැඩි දුරටත් දැක්වේ. මානව විද්‍යාව යන සංකල්පය යුරෝපයෙන් ඈත් වීමත් , නූතන විද්‍යාව හා දර්ශනවාදය මතු වීම සිදු වූයේත් මෙම පසුබිම මත 12වන සියවසේ දී බව කියවේ. එමෙන්ම මෙම පුනරුදය සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයට පමණක් නොව ආර්ථික ක්ෂේත්‍රයට ද එක ලෙස බලපෑ බව සඳහන් වන බැවින් මධ්‍යතන අවධිය අඳුරු අවධියක් ලෙස දක්වා ඇති මතය උක්ත නිදසුන් ඔස්සේ නිසඟයෙන්ම බිඳ වැටෙන බව පැහදිලි වේ.


කැරොලින්ජියානු පුනරුදය

චාලිමේන් රජුගේ සංශෝධනයන් හේතුවෙන් අධ්‍යාපන ක්‍රමයන් වර්ධනය කිරීම හා භාෂාව, සාහිත්‍ය, නීතිය, වාස්තු විද්‍යාව, සංගීතය ආදියෙහි වර්ධනයක් අත් වීම කරොලින්ජියානු පුනරුදය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව මධ්‍යතන අවධියේ ඇති වූ තවත් එක් සංකෘතිකමය වර්ධනාත්මක තත්වයක් වූ මෙය ද මධ්‍යතන අවධිය අඳුරු යුගයක් ලෙස සැලකීමට විරුද්ධව දැක්විය හැකි තවත් එක් සමාජ සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව චාලිමේන් රජු විසින් දේවස්ථන මුල් කර ගනිමින් පාසල් ඉදි කිරීම, විද්වතුන් ලවා ග්‍රන්ථ රචනය සිදු කිරීම ආගම පදනම් කරගත් අධ්‍යාපනයට ජනතාව අනුගත කර ගැනීම සඳහා පූජකයන් පුහුණු කිරීම ආදිය අධ්‍යාපනය, භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් සිදු කළ බව කියවේ. එමෙන්ම නීති පද්ධතීන් අලුත් කොට පරිපාලනය ද ඒකකේන්ද්‍රීය කළ බව කියවේ. තව ද කැරොලින්ජියාවටම ආවේණික වූ වාස්තු විද්‍යාත්මක ක්‍රමයක් ඇති කළ බව ද කියවේ. එමෙන්ම චාලිමෙන් අධිරජුගේ වැදගත්ම සංස්කෘතික ක්‍රියාදාමය වූයේ ප්‍රංශය, ජර්මනිය හා උතුරු ඉතාලිය එක්සත් කොට ඒවාට පොදු සංස්කෘතියක් හඳුන්වා දීමත් ඒ ඔස්සේ කලාපීය වාර්ගික බව ඇති කොට රෝම ක්‍රිස්තියානි හා යුදෙව් සංස්කෘතිකාංග එක් තැන් කළ ස්වර්ණමය සභ්‍යත්වයක් ඇති කිරීමත් බව කියවේ. එබැවින් කරොලින්ජියන් අධිරාජ්‍ය වනාහි පැරණි රෝම අධිරාජ්‍ය නැවත සංවිධානය වීමේ අවස්ථාව ලෙසීන් ද විද්වතුන් අර්ථ දක්වා ඇත්තේ මේ යුගයේ සංස්කෘතියේ පමණක් නොව සමාජ-දේශපාලන තත්වයේ ද තිබූ අතිශය වර්ධනාත්මක ස්වභාවය නිසාවෙන් වන්නට ඇති බව සිතිය හැකිය. ඒ අනුව උක්ත තොරතුරු ඔස්සේ සඳහන් කළ හැකි වනුයේ මධ්‍යතන අවධියේ විවිධ පරිපාලකයන් යටතේ ඇති වූ මෙවන් වර්ධිත සමාජ සංස්කෘතීන් තිබිය දී සමස්ථ මධ්‍යතන අවධියම අඳුරු අවධියක් ලෙස සැලකීම කෙතරම් වැරදි සහගත මතයක් දැයි මැනවින් පැහැදිලි වන බවයි.


මධ්‍යතන අවධියේ ආගමික කටයුතු


 ක්‍රිස්තියානියේ ව්‍යාප්තිය

පැරණි රෝම සභ්‍යත්වය පැවති සමයේ ආරම්භ වූවා යැයි සැලකෙන කිතු දහම ක්‍රි.ව 5න් ආරම්භ වන නව යුරෝපා ශිෂ්ටාචාරයේ එනම් මධ්‍යතන අවධියේ පදනම වන බව සඳහන් වේ. එහි දී විශේෂයෙන්ම කිතු දහම මධ්‍යතන අවධියේ අඳුරු බව නැසීම සඳහා උපයෝගී වූ ප්‍රධාන ආගමික වර්ධනයක් වූ බව කියවේ. ඒ අනුව මෙම කිතු දහම මධ්‍යතන අවධියේ ආගමික පදනම වූවා පමණක් නොව මධ්‍යතන සමාජ-දේශපාලන ක්‍රියාදාමයන්ට ද මහත් බලපෑම් එල්ල කරවූ දර්ශනයක් වූ බව සඳහන් වේ. විශේෂයෙන්ම මධ්‍යතන අවධියේ සමාජයේ පැවති මූලික දේශපාලන චින්තනයන් කිතු දහම පදනම් කොට ගෙන විපරිවර්තනයට ලක් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. එමෙන්ම මධ්‍යතන සමාජය ඉතා වේගයෙන් කිතු දහමේ ඉගැන්වීම් අනුව මනුෂ්‍ය සහෝදරත්වය, අන්‍යෝන්‍ය විශ්වාසය ආදී සංකල්ප සිය ජීවන ක්‍රමවේදයන්ට අනුගත කර ගත් බව කියවේ. එනම් ලෝකයේ පවතින උස් පහත්කම් දෙවියන් අභිමුවෙහි අහෝසි වන්නේය යන කිතු දහමේ මතය හේතු කොට ගෙන මනුෂ්‍යයා සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨතමයා බව මෙම මධ්‍යතන සමාජයේ වැසියන් ඇදහූ බව ද කියවේ. එමෙන්ම මධ්‍යතන සමාජය තුළ රාජ්‍ය ආගම බවට පත් වීමට ද කිතු දහමට හැකියාව ලැබුණු අතර මෙම යුගයේ ඉහළම වර්ධනයන් අත් කොටගත් බොහෝමයක් අධිරාජ්‍යයන් කිතු දහම පදනම් කොටගත් දේශපාලන, සමාජ හා සංස්කෘතිකාංග අනුගමනය කළ රාජ්‍යන් වූ බව ද කියවේ. එබැවින් පැරණි යුගයේ ආරම්භ වූ ආගමික ක්‍රමවේදයක් වූවත් ක්‍රිස්තියානි ආගම යනු මධ්‍යතන අවධිය ජීවග්‍රහයෙන් පවත්වාගෙන යෑමට සමත් වූ ආගමික දර්ශනය වූ බව උක්ත නිදසුන් ඔස්සේ පැහැදිලි වේ.


ඉස්ලාමයේ බිහිවීම හා ව්‍යාප්තිය

මධ්‍යතන අවධිය අඳුරු යුගයක් නොවන බව දැක්වීම සඳහා පෙන්වා දිය හැකි තවත් එක් ආගමික සාධකයක් ලෙස ඉස්ලාම් දහමේ ආරම්භය හා එහි ව්‍යාප්තිය පෙන්වා දිය හැකිය. මධ්‍යතන යුගය තුළ අරාබි අර්ධද්වීපය පදනම් කොට ගනිමින් බිහි වූ ආගමක් වූ මෙය මධ්‍යතන අවධිය අවසානය පමණ වන විට යුරෝපය මධ්‍ය ආසියාව, අරාබිකරය ඇතුළු විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වූ දහමක් වූ බව කියවේ. විශේෂයෙන්ම ඉස්ලාම් දහම ආගමක් පමණක් නොව ජීවන දර්ශනයක් ද වූ බැවින් කිතු දහම මෙන්ම ඉස්ලාම් දහමත් මධ්‍යතන අවධියේ සමාජ-දේශපාලන තත්වයන් හෙබවූ ආගමක් වූ බව විද්වතුන්ගේ මතය වී තිබේ. එමෙන්ම ඉස්ලාම් ආගම දේශපාලන ක්‍රියාවලියට එක් වීමත් සමඟ අධිරාජ්‍යයක් බිහි කර ගැනීම දක්වා ව්‍යාප්ත වූ බව දැක්වෙන අතර ඉස්ලාමිකයන්ගේ බලපෑමෙන් විද්‍යාව, ගණිතය, ආකාශ වාස්තුන් විද්‍යාව, වෛද්‍ය ශාස්ත්‍රය ආදී ක්ෂේත්‍රයන්ගේ වර්ධනය සිදු වීම ද ඉස්ලාම් ආගම හා මුස්ලිම් සංස්කෘතිය මධ්‍යතන යුගයේ කැපී පෙනීමට හේතු වූ බව කියවේ. එමෙන්ම ඉස්ලාම් ආගම ඔස්සේ එලෙස උරුම කොට ගත් දායාදයන් මධ්‍යතන අවධියේ අන්ධකාරය නැසීමට ද හේතුවක් වූ බව දැක්වේ.


බස්නායක, එච්, ටී, අපරදිග ශිෂ්ටාචාරය 1, 2003

විමලරත්න, කේ, ඩී, ජී, මධ්‍යතන යුරෝපය, 2014


සෙනෙවිරත්න, එම්, ඩී, එච්, අපරදිග අතීතය











Share:

facebook share twitter share

4 comments: