Monday, April 27, 2020

යුරෝපය මධ්‍යතන යුගයේ සිට නූතන යුගයට අවතීර්ණ වීමේදී යුරෝපයේ ඇතිවූ දේශපාලන පරිවර්තනය





මධ්‍යතන යුගය යනු?

රෝම ශිෂ්ටාචාර බිහිවීමෙන් ඇතිවූ පැරණි යුගය බිඳ වැටීමෙන් අනතුරුව යුරෝපයේ බිහිවූ නව යුගය මධ්‍යතන යුගය හෙවත් වැඩවසම් යුගය යනුවෙන් හඳුන්වනු ලබයි. ක්‍රි.ව පස් වන සියවසේ සිට පහළොස් වන සියවස දක්වා වූ සමය මෙලෙස මධ්‍යතන යුගය නම් වන අතර මෙලෙස මධ්‍යතන යුගය” (Middle Ages) යන නාමය ප්‍රථමයෙන්ම භාවිතා කොට ඇත්තේ 17 වන සියවසේ යුරෝපයේ බිහිවූ ජාතීන් බව මූලාශ්‍ර තුළ සඳහන් වේ. ඒ මන්ද යත් පැරණි යුගයත් ඔවුන් ජීවත් වූ නූතන යුගයටත් අතර මැදි වෙනස්ම ලක්ෂණ පෙන්නුම් කළ නිසා මෙය මධ්‍යතන යුගය ලෙස ඔවුන් නම් කරන්නට ඇති බව සිතිය හැකිය. මධ්‍යතන යුගයත් නැවත කොටස් තුනකට වෙන් කර දක්වමින් සඳහන් කොට ඇති අතර ඒවා නම්,

·       ප්‍රාථමික මධ්‍යතන අවධිය - ග්‍රීක රෝම අධිරාජ්‍ය බිඳ වැටීමෙන් පසුව 11 වන සියවස
                                  දක්වා වූ කාලය.

·       උච්ච මධ්‍යතන යුගය      - 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා වූ කාලය.


·       පශ්චාද් මධ්‍යතන යුගය    - ක්‍රමයෙන් පරිහානිය උදා කල 13 වන සියවසේ සිට 15 වන
සියවස දක්වා කාලය.

රෝම අධිරාජ්‍යට කඩා වැදුනු විදේශිකයන් එහි තිබූ සංවිධානය කඩා බිඳ දමමින් සංස්කෘතිය විනාශ කරමින් එම ප්‍රදේශ තුළ වාසය ඇරඹි අතර ඉන් පසුව ක්‍රිස්තු ධර්මය වැළඳගත් බවත්, ගෝත්‍ර ගති ලක්ෂණ පෙන්නුම් කළ සමාජයක ජීවත් වූ බවත් සඳහන් වේ. මහා අධිරාජ්‍ය යුගයේ පටන් පැවැති ක්‍රිස්තු ධර්මයේ ඒකාධිකාරය මෙම විදේශික ජනයාට බිඳ දැමීමට නොහැකි වූ බව කියවේ.මෙම ගෝත්‍ර පොදුවේ ගත් කල සමාන වූ ආවේණික ලක්ෂණයන්ගෙන් සැකසී තිබුණු බව කියවෙන අතර ඒ සියලුම ගෝත්‍රයන් කුඩා වශයෙන් හෝ ග්‍රීක රෝම අධිරාජ්‍යයේ ආභාෂය ලැබූ ජන කොටස් විය.



මධ්‍යතන යුගයේ දේශපාලන තත්වය


වැඩවසම් සංකල්පය

මධ්‍යතන යුගයේ තිබූ විශේෂිතම සංකල්පය වූයේ වැඩවසම් ක්‍රමයයි. එය එම යුගයේම බිහිවූවක් නොව අතීත ශිෂ්ටාචාර යුගයේ පටන් ක්‍රියාත්මක වූ ගෝත්‍ර ක්‍රමය හා වෙනත් විවිධාකාර වූ ලක්ෂණයන් සමඟ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ සංකල්පයක් ලෙස ද විද්වතුන් අර්ථ දක්වා ඇත. ඉඩම පදනම් කරගත් මෙම ක්‍රමවේදය ඔස්සේ සමාජයේ හා දේශපාලනයේ ප්‍රධානියා වූ රජුට යටත් සියළු දෙනාම වගකිව යුතු වූ අතර ඒ ඔස්සේ ඉඩමේ අයිතිය කොටස්වලට බෙදා පාලනය හා වගා කිරීම සිදු කරනු ලැබීය. මෙම වැඩවසම් ක්‍රමවේදය ඉතා කුරිරු හා සාහසික පාලනයක් ලෙස ඇතැම් විද්වතුන් අර්ථ දක්වනුයේ එහි තිබූ විමධ්‍යගත පාලනය හා එහි වූ වහල් භාවය පදනම් කරහත් පාලන ක්‍රමවේදයයි.

ප්‍රවේණි දාසයන් මෙම වැඩවසම් ක්‍රමයේ දී ඉතා කටුක දිවියකට හිමිකම් කියූ කණ්ඩායම වූ අතර ඔවුන්ට ඉහළින් පැවතියා වූ අනෙක් සියළුම කණ්ඩායම් රදළයින් වූ අතර ඔවුන් සිදු කරනු ලැබුවේ අණ ලබා දෙමින් ප්‍රවේණි දාසයන් හා තමගේ යටත් පිරිස පාලනය කරීම පමණි. ප්‍රවේණි දාසයින් සිය භූමිය වගා කිරීම වෙනුවෙන් තම ඉඩම් හිමියාව මුදලක් ගෙවිය යුතු වූ අතර එය ඉඩම් බදු ආකාරයෙන් ක්‍රියාත්මක විය.වගා කිරීමට අමතරව සත්ව පාලනය හා දඩයමේ යෑම, බලකොටු මන්දිර ඉදි කිරීම, දිය අගල් සෑදීම ආදී වූ විශාල කාර්යභාරයන් ප්‍රමාණයක් සිදු කල අතර ඒවා සඳහා ඔවුන්ට ගෙවීමක් නොමැති වූ බවත් ඉඩමේ භුක්තිය පමණක් සතු වූ බවත් සඳහන් වේ.

එලෙස ගොවිතැන මූලික කරගත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් මෙම මධ්‍යතන යුගයේ ඇති වූ බැවින් ග්‍රාමීය ජීවිතයක් හැරෙන්නට ඔවුන් සතුව නාගරික දිවියක් නොවීය.මෙම ජනයා අසල්වැසි ප්‍රවේණිය සමඟ හෝ සබඳතාවක් නොමැතිව හුදෙකලා දිවියක් ගත කළ අතර එයට හේතු වූයේ ද මෙම ඒකාධිපති රදළ පාලනය බැව් විද්වතුන් පවසා සිටී.

ස්ටබ්ස් ගේ මතයට අනුව මෙම ක්‍රමවේදය සමාජයේ ඉහළම තත්වයේ වූ රජු ගේ පටන් පහළම් තත්වයේ වූ ප්‍රවේණි දාසයා දක්වා ඉඩමේ අයිතිය හා ඉඩම් භුක්තිය වෙනුවෙන් කරනු ලබන වගකීම් සමුදායක් වේ.එම ප්‍රකාශයෙන්ම වැඩවසම් ක්‍රමය කුමන ආකාර වේ දැයි හඳුනා ගත හැකි අතර සාමාන්‍ය වැසියා තළා පෙළා දමමින් රදළ අයිතිවාසිකම් හා රදළ ආර්ථිකය ශක්තිමත් කරගත් මහා පරිමාණ වහල්භාවය මත ගොඩනැඟුණු  දේශපාලන, ආර්ථික, සමාජයිය හා ආගමික අංශයන්ගේ එකතුවක් ලෙසත් මෙම මධ්‍යතන යුගයේ පසුබිම හඳුන්වා දිය හැකිය.



බලය විකේන්ද්‍ර ගත වීම හා රදළ බලය

මධ්‍යතන යුගයේ ඇතිවූ වැඩවසම් ක්‍රමයත් සමඟ දේශපාලනය විකෙන්ද්‍රගත වීම  එසමයේ දේශපාලනික වශයෙන් සිදුවූ ප්‍රධානතම සිදුවීමක් විය.ඒ අනුව සමාජයේ කුඩාම ඒකකය වූ ප්‍රවේණිය හා ප්‍රවේණි දාසයා යන සංකල්පය හා බැඳුණු සියළුම සමාජ මට්ටම් කුමන හෝ අන්දමේ ප්‍රධානියෙකු යටතට පත් වීම මේ බලය විකේන්ද්‍රගත වීමේ මූලික පදනම විය. බලය ලබා ගැනීමේ පිළිවෙල පිරමීඩාකාර විය.





                                                  

එකී පිරමීඩාකාර ව්‍යූහයට අනුව රජු ඉඩම් හිමි ප්‍රධානියා වූ නමුත් ඔහුට වඩා වංශාධිපතිවරුන් හෙවත් රදළ පිරිසගේ බලය වැඩි විය.ඔවුන් විශාල වශයෙන් නින්ද ගම් පාලනය කළ අතර ඒවා රජුගෙන් ලබා ගත් අතර එනිසාම ඔවුන් " රජුගේ සෘජු ප්‍රවේණියා" යන නාමයෙන්ද හඳුන්වනු ලබයි.

පසුව බැරන්වරු අතර නින්දගම් බෙදී ගිය අතර එහිදී ත් ඉහළ බැරන්වරු බලයෙන් වැඩි විය. බැරන්වරු ඉඩම පරිපාලනය හා බදු ක්‍රම පවත්වාගෙන ගිය බවත් සඳහන් වේ.පහළ බැරන්වරු සතුව ඊළඟ අයිතිය පැවැති අතර නයිට්වරු ඊට පහළ මට්ටම විය.ඔවුන් හමුදා සේවයේ යෙදීම හා හමුදා සැපයීම කළ අතර අවසානයේ ගොවීන් හෙවත් ප්‍රවේණි දාසයින් ඉඩමේ වගා කටයුතු කරමින්  ඒ තුළ ජීවත් වීම සිදු කළෝය.  පරම්පරාවේන් පැවතියා වූ මෙම ඉඩම පසුව උරුමයක් වූ අතර  අවසානයේ එය නීතියක් බවටද පත් වූ බව උගතුන්ගේ විශ්වාසයයි.

රජු යන තනතුර මෙසමයේ රදළයින්ගේ බලතලවලට යටත් වූ බලයෙන් අඩු තනතුරක් වූ අතර ඔහුට ආදායම ලැබුණේ ඔහුගේ ඉඩම්වලින් හා රදළයින්ගෙන් ලැබුණු පුද පඬුරුවලින් පමණි. ව්‍යවහාර සිරිතට අනුව ඉඩම්වල පාලකයා වූ රජු ඒ ප්‍රදේශයේ අසහාය පාලකයා වූ නමුත් මධ්‍යතන යුගයේ එසේ නොවීය.අයිතියට පමණක් සීමා වූ හිමිකාරීත්වයක් යටතේ රජුට රදළ බලයට යටත්ව සිය ඉඩම්වල ආදායම් ලබා ගැනීම මෙසමයේ තිබූ තවත් එක් විශේෂත්වයකි. රජය සතුව හමුදාවක් නොපැවති අතර අවශ්‍ය අවස්ථාවලදී රදළයින්ට මුදල් ගෙවා  හමුදාව සපයා ගැනීමට රජුට සිදු විය.පොදුවේ රට වැසියන්ට බලපැවැත්වෙන නීති සම්පාදනය කිරීමටත් ඔහුට අවස්ථාවක් නොවූ අතර රදළයින්ට අණ කිරීමෙන් පමණක් යම් යම් ආඥා නිකුත් කළ හැකි විය.නමුත් එහිදී රදළයින් ක්‍රියා කරනු ලැබුවේ සිය අභිමතයට අනුකූලව බවත් මූලාශ්‍ර තුළ සඳහන් වේ.  රජුගේ කැමැත්ත සිය ප්‍රධාන නිළකාරයාගෙන් අවසන් වූ අතරම එනිසාම මෙම මධ්‍යතන යුගයේ කැපී පෙනෙන ලෙස රදළ පාලකයෝ රජුගේ අණ නොතකාම ස්වාධීන ලෙස ක්‍රියා කළ බවට සාධක ඇත.
මධ්‍යතන යුගයේ අධිකරණ බලයත් රජය සතුව පැවතියත් එය ක්‍රියාත්මක කරනු ලැබුවේ රදළ නිලකාරයන් ය.ඇතැම් අවස්ථාවල රජුට වඩා බලවත් වූ රදළ කණ්ඩායම් ද මෙහි සිට ඇති අතර ප්‍රංශයේ නෝමැන්ඩ් ආදිපාද වූ විළියම් ද එවැනි රදළයෙකු ලෙස සඳහන් වේ.



වැඩවසම් හමුදා සංවිධානය

මෙසමයේ යුරෝපයට එල්ල වූ විදේශ ආක්‍රමණවලින් බේරී සිටීමට ඔවුන් හට හමුදාවක් නොවීය.එබැවින් එයට මුහුණ දීමට නිතර සේවයට පැමිණ හැකි අශ්වාරෝහක කණ්ඩායමක් බඳවා ගැනීමට රජුට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔහු නිරන්තරව රදළ හා නයිට්වරුන්ගේ සහය පැතූ  බවත් සඳහන් වේ.වෛකිං, හන් අරාබි ආදී කණ්ඩායවලින් එල්ල වූ තර්ජන සඳහා මධ්‍යතන යුගයේ රජවරුන් මෙසේ සූදානම් වූ අතර රජු එම හමුදාව ලබා දීම වෙනුවෙන් ඉඩම් වංශාධිපතිවරුන් සඳහා ලබා දුන් බවත් කියවේ. රදළයින් විසින් මෙලෙස ලබා ගත් ඉඩම් විශාල ප්‍රවේණිවලට බෙදා වංශාධිපති උපතක් සහිත හෝ වංශාධිපති සමාජයේ පහළ තරාතිරම්වල විසූවන්ට ලබා දී හේවායන් හෝ අශ්වයින් නියමිත සංඛ්‍යාවක් ලබා දෙන ලෙස අණ කොට සිටි අතර එලෙස හේවාපන්න ප්‍රවේණියක් හෝ කිහිපයක් ලැබූ තැනැත්තා "නයිට්" යන නාමයෙන් හඳුන්වනු  ලැබිණි.ඩියුක් හෝ කවුන්ට් යනුවෙන් ද හඳුන්වනු ලැබූ රදළයින් ද නයිට්වරුන්ගෙන් යුක්ත තමන්ගේ හමුදාව රජුගේ අවශ්‍යතාවය වෙනුවෙ ලබා දුන් බව ද සඳහන් වේ. රජුට හමුදාවේ අවශ්‍යතාවය නොවූයේ නම් එම රදළයින් තම හමුදාව පෞද්ගලික සේවය සඳහා යොදවා ගත් අතර රජුට ද වඩා ඔවුන්ගේ බලය ක්‍රියාත්මක වීමට හා ව්‍යාප්ත වීමට ද මෙම තත්වය බලපානු ලැබීය.

වැඩවසම් ක්‍රමය ක්‍රමයෙන් මධ්‍යතන යුගයේ සංවිධානය වෙමින් උච්චතම අවථාවට පත් වූ සමයේ දී රජුගේ සෑම හමුදා කැඳවීමකදීම සේවය ලබා දීමට නයිට්වරුන්ට හැකියාව නොලැබුණු අතර වර්ෂයකට නිශ්චිත දින 40ක පමණ කාලයක එලෙස සේවය සඳහා ඔවුන් යොදවනු ලැබීය.රජුට සේවය සැපයීමට අමතරව නයිට්වරුන් විසින් තම ප්‍රවේණි නිෂ්පාදනවලින් මුදලක් හෝ බද්දක් සැපයිය යුතු වූ අතර නයිට්වරයෙකු මිය ගියේ නම් එම ප්‍රවේණිය ලබා ගන්න රදළ පුද්ගලයාට මුළු වර්ෂය තුළදීම ලැබෙන ප්‍රවේණි ආදායම රජුට ගෙවීමට සිදුවිය. රජු සතුරන් අතට පත් වෙමින් හෝ රජුගේ පුත්‍රයාට නම්බුනාම පිරිනැමෙන අවස්ථාවලදී හෝ ඒ සඳහා වන වියදම් නයිට්වරයා විසින් ගෙවීම අනිවාර්ය වූ අතර ඊට අමතර ඔවුන් අතර සිදුවන ආරවුල් විසඳා ගැනීම සඳහා අධිකරණයක් පවත්වාගෙන යෑමද නයිට්වරයෙකු සතු කාර්යභාරයන් අතර විය.

ක්‍රිස්තු සභාව හා දේශපාලනය

රෝම අධිරාජ්‍ය මධ්‍යතන යුගයේ උදාවත් සමඟ බිඳ වැටුණත් ක්‍රිස්තියානි ආගමික රාජ්‍ය එසේ රෝම අධිරාජ්‍ය මෙන් ආක්‍රමණ හමුවේ විනශයට පත් වුයේ නැත.ක්‍රිස්තියානි ආගම රෝම අධිරාජ්‍ය සමයෙදීම රාජ්‍ය ආගම බවට පත් වූ බැවින් එසේ බිඳ වැටීමකින් එයට තිබූ ස්ථාවරත්වට විනාශ කළ නොහැකි විය.ඒ අනුව මධ්‍යතන යුගයේ දී පාප් තුමා ප්‍රධාන කරගත් පූජක සංස්ථාව ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කිරීම හා ආගම ඉගැන්වීම මනා කාර්යශූරත්වයකින් යුතුව ඉදිරියට පවත්වාගෙන ගිය බවට සාධක මූලාශ්‍ර ගත තොරතුරු මඟින් හමුවේ.

මෙම ඉගැන්වීම් තුළින් රජු යනු ලෞකික නායකයා බවත් පාප් තුමා යනු ආධ්‍යාත්මික නායකයා බවත් පුන පුනා ප්‍රකාශයට ලක් කළ අතර වැඩවසම් පාලනයේදී රජුගේ බලය පිරිහීමට ලක්වීමට ද මෙලෙස පාප් තුමා ඇතුළු ක්‍රිස්තු සභාව දේශපාලනයට අත පෙවීම හේතුවක් විය. ඉඩම් අයිතිය ක්‍රිස්තු සභාවට ද තිබූ අතර එය මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.ඔවුන්ට බලතල හා වරප්‍රසාද රැසක් හිමි වූ බවත් බිෂොප්, ආච් බිෂොප්, ඇබට් ආදී උසස නිළ තළ දැරූ පූජකයන් හා මීසම් භාර පූජකවරුද මෙලෙස ආගමික හා දේශපාලනික කටයුතු යන සියල්ලක්ම හෙබවූ පිරිස විය.බිෂොප් වරයාට උසස් තැනක් පූජක සභාවේ තිබූ අතර රජු හා ප්‍රධාන වංශාධිපතිවරුන්ද මෙම බිෂොප්වරයාට අවනත භාවයක් දැක්වීය.ලෞකික කටයුතු භාර නිලකරුවන් ලෙසද මොවුන් ක්‍රියා කළ අතර ඒ හේතුවෙන්ම ක්‍රිස්තු සභාව හා දේශපාලනය යනු එකක් මත එකක් සිටින සේ බැඳී පැවති තත්වයන් ලෙස ද මෙසමයේ දැකිය හැකි විය.

පූජක පන්තිය අතර ද විවිධාකාර වූ වෙනස්කම් රැසක් ඇති වී තිබීම විශේෂත්වයකි.උසස් හා පහත් යැයි කියා ගන්නා වූ පූජකවරුන් අතර මෙලෙස බල තරගයක් තිබූ බවත් ඉන් සාමාජයීය විෂමතා රැසක ආරම්භය වූ බවත් සඳහන් වේ.නිදසුන් ලෙස මීසමක් භාරව සිටි පූජකයා නිදහස් ගොවියෙකුගේ තත්වයට පත් වූ අතර බිෂොප්, ඇබට් ආදී ඉහළ තනතුරු දැරූ පූජකයින් වංශාධිපති රදළයින්ගේ තත්වය දැරූහ.ඒ අයුරින් බෙදී ගිය පූජක සභාවේ වගකීම් පසු කාලයේදී නිසි ආකාරයෙන් ඉටු නොවීමද කැපී පෙනෙන සිදුවීමකි.විශේෂයෙන්ම උසස් තනතුරු දැරූ පූජකයින් ආගමික ඉගැන්වීම හෝ ආගම ව්‍යාප්ත කිරීමවලට වඩා දඩයම හා දේශපාලනික කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමු වීම මෙහිදී දැක්විය හැක. මෙය ඉතා වේගයෙන් යුරෝපීය ප්‍රදේශයන් පුරා ව්‍යාප්ත වී ගිය අතර එයම පසු කාලයේ පූජක සභාවේ බිඳ වැටීමට ද හේතුවක් විය.ඇතැම් පූජකවරුන් මෙම මධ්‍යතන යුගයේ දී යුධ කටයුතු සඳහා ද මැදිහත් වූ බව කියවේ.නයිට්වරුන් සතු වූ කාර්යක් වූ යුධ කටයුතු සංවිධානයට පූජකවරුන් මැදිහත් වීමත් සමඟ ඔවුන් යුධයන් පවතින අවස්ඨාවන් හී දී තම හේවා පන්න රැගෙන යුද්ධයට සහභාගී වූ බවත් කියවේ.ඒ අනුව විශාල වශයෙන් පූජකවරුන් විසින් රාජ්‍යයේ දේශපාලනික කටයුතු සඳහා සම්භන්ධ වූ බව පෙන්වා දීමට ඉහත නිදසුන් ප්‍රමාණවත් බව පැහැදිලිය.


ආගම දේශපාලනීකරණය වීම

මධ්‍යතන යුගයේ ප්‍රධාන ආගම බවට පත් වී තිබුණේ කිතු දහම බව ඉහත පරිච්ඡේදය යටතේ පැහැදිලි විය.ඒ අනුව මෙසමයේ සියළුම වැසියන් ක්‍රිස්තියානි ආගම ඇදහූ අතර ඔවුන් සියළු දෙනාම ක්‍රිස්තු සභාවට යටත් වූ ජන කොට්ඨාශයක් විය.ඔවුන් විසින් නිරන්තරව ආගම ඉගැන්වීම සිදු කළ අතර ආගමික කරුණු හා මතවාද ව්‍යාප්ත කිරීමත් ඔවුන් මඟින් මුල් කාලීනව සිදු විය.මධ්‍යතන යුගයේ යුරෝපයේ සියළු පාසල් හා කලා ශිල්ප සියල්ලක්ම ඉගැන්වීම ද පූජකයින් අතින් මෙහෙයවනු ලැබීය.ඔවුන්ගේ අධ්‍යාපන රටාවේ තිබූ සියළු විෂයන් කිතු දහම හා බැඳී පැවැති  සංකල්ප හා ආකල්පවලින් සමන්විත වූ අතර කලා ශිල්ප ද ලෞකික අර්ථයට වඩා ආගමික අර්ථයන් මතු කරනා ආකාර විය.

අධ්‍යාපනය ලබා දීමට තිබූ පාසල් තාපස ආශ්‍රම හෝ පල්ලිය මූලික කරගත් ඒවා විය.පසු කාලීනව විශ්ව විද්‍යාල අධ්‍යාපනය දියුණු වීමත් සමඟ ඒ තුළින්ද අධ්‍යාපනය ලබා දීම ආරම්භ වූ බව කියවෙන නමුත් එම අධ්‍යාපනයද දේවධර්මය හා පදනම් වූ විෂය ක්ෂේත්‍රයන් විය.එයට අමතරව කලා කෘතීන්ට අනුග්‍රහය ලබා දීමට ද අවසරය තිබුණේ ක්‍රිස්තු සභාවට පමණක් වීම විශේෂත්වයකි.ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම ක්‍රිස්තු සභාවෙන් සිදු කෙරුණු අතර එනිසාම මෙම කලා කෘති සියල්ලක්ම ආගමික මතවාදයන් නිරූපණය කෙරෙන මූර්ති, කැටයම් හා චිත්‍ර ආදිය විය. මිනිසා යහපතට හා ආගමට වැඩි වශයෙන් නැඹුරු කිරීම් මෙලෙස ආගමික නිර්මාණ පමණක් සිදු කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත.

නමුත් ක්‍රිස්තු සභාව හා දේශපාලනය යන අංශයන් ද්විතවයම එකක් මෙන් ක්‍රියා කිරීම ආරම්භ වූ සමයේ පූජකවරුන් අතින් ආගම ක්‍රමයෙන් ගිලිහී යන ලක්ෂණ පහළ වූ බව විද්වතුන්ගේ මතය වී ඇති අතර ඒ ඔස්සේ පසු කාලීනව මධ්‍යතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වීමේදී මෙම ක්‍රිස්තු සභාවේ බලය ශූන්‍ය වීමටත් මෙම ආගම දේශපාලනිකරණය වීම යන සංකල්පය බලපෑ බව ඔවුන් වැඩි දුරටත් දක්වා සිටී.
මධ්‍යතන යුගයේ කැපී පෙනෙන දේශපාලනික අංශය හා බද්ධ වූ  ආගමික මෙන්ම සාමාජයීය අංශයන්ගේ ද සුවිශේෂී සිදුවීම් මේ ආකාර වූ අතර පසුව 15 හා 16 වන සියවස් වන විට මෙම සංස්ථා සියල්ලේම පරිහානිය ප්‍රකටව දැකිය හැක. දේශපාලනය රදළ ක්‍රමය හා විකේන්ද්‍රගත පාලනය ක්‍රමයෙන් වැටීම ආරම්භ වූ අතර ස්වයංපෝෂිත ආර්ථිකය ක්‍රමයෙන් වෙළඳාම හා එක්ව ධනවාදී ආර්ථිකයක් කරා වර්ධනය වන්නට විය.දේශපාලනය මත පදනම් වූ ක්‍රිස්තු සභාවටද අභියෝගයක් වශයෙන් රෙපරමාදු ආගම ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර මෙවැනි කරුණු ඔස්සේ යුරෝපය මධ්‍යතන යුගයෙන් මිදී නව යුගයක් කර යෑමේ ගමන් මඟ ආරම්භ කොට තිබිණි. එය නම් නූතන යුගය විය.


නූතන යුගයේ ඇති වූ දේශපාලන පරිවර්තනය

යුරෝපය මධ්‍යතන යුගයේ සිට නූතන යුගයට පරිවර්ථනය කළ ප්‍රධානතම සාධකය වූයේ යුරෝපයේ ඇති වූ පුනරුදයයි. 14 වන සියවසේ පමණ සිට 16වන සියවස දක්වා යුරෝපයේ සියළුම ක්ෂේත්‍ර තුල ඇති වූ මෙම නව වර්ධනය මධ්‍යතන යුගයට හාත්පසින්ම වෙනස් වූ පරිවර්තනමය යුගයක් විය.මධ්‍යතන යුගයේ සිට නූතන යුගයට ගමන් කිරීමේදී ඇතිවූ බොහෝ වෙනස්කම් මෙම පුනරුද සමයේ සිදු වූ බව කියවෙන අතර පුනරුදය සිදු වීම නූතන යුගයේ උදාව ලෙසින් ද විද්වතුන් අර්ථ නිරූපණය කරයි.

මෙම පුනරුදය පැරණි යුගය හෙවත් ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයේ යළි ඉපදීමක් ලෙසත් ඇතැම් ඉතිහාසඥයින් හඳුන්වනු ලබන අතර මෙලෙස මහා පරිමාණ පරිවර්තනයක් සිදු වීමට මුල් වූ ප්‍රධානතම සංසිද්ධිය වූයේ කොන්ස්තන්තිනෝපලය තුර්කීන් හට අයත් වීමයි.ඒ ඔස්සේ යුරෝපය පුරා නව දේශපාලනික, ආර්ථික, සාමාජයීය හා ආගමික සංස්කෘතික වශයෙන් නව ප්‍රවණතා ක්‍රමයෙන් බිහිවීම ආරම්භ වූ අතර එය වැඩවසම් යුගය හෙවත් මධ්‍යතන යුගයේ තිබූ ග්‍රාමීය හා හුදෙකලා දිවිය පූර්ණ වශයෙන්ම කණපිට හැරවූවක් විය.

ඒ අනුව සමස්තයක් වශයෙන් ගත් කළ මධ්‍යතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණවීමේදී යුරෝපයේ ඉතා විශාල පිම්මක් ලෙස විවිධ ක්ෂේත්‍රයන් තුළ නැඟිමක් ඇති වූ බව කිව හැකිය.එයට පුනරුදය මහත් උපකාරී වූ සාධකය ලෙස දැක්විය හැකි අතර ඉන් පසුව යුරෝපය පුරා ව්‍යාප්ත වූ නූතන යුගය අද ට පවා වලංගු වන යම් යම් සංසිද්ධි දාමයක් මුල් අධියර විය.ඒ අනුව ඉහත පරිදි මධ්‍යතන යුගයෙන් නූතන යුගයට පරිවර්තනය වීමේදී ඇතිවූ ප්‍රධාන දේශපාලන, ආර්ථික, සාමාජයීය, ආගමික හා සංස්කෘතික සාධකයන් අතුරින් මූලික වශයෙන් දේශපාලනික ක්ෂේත්‍රයේ ඇතිවූ වෙනස්කම් කුමන ලෙසින් ද යන්න පහත ආකාරයෙන් හඳුනා ගත හැකිය.

වැඩවසම් ක්‍රමයේ පරිහානිය

කුරුස යුද්ධය, වෙළඳාමේ දියුණුව, වසංගත රෝග ආදී සිදුවීම් ඔස්සේ යුරෝපයේ එතෙක් පැවැති වැඩවසම් සමාජ රටාව බිඳ වැටීම මධ්‍යතන යුගයෙන් නූතන යුගයට යුරෝපය පා තැබීමේදී සිදු වූ ප්‍රධානතම වෙනස්කම විය.වංශාධිපතිවරුන්, නයිට්වරුන් ආදී සියළු රදළයන් මේ අනුව යුද්ධ ආදිය සඳහා සහභාගී වීම සිදු වූ බවත් එසේම ප්‍රවේණි දාසයන් හා ගොවියන් ද සෙබළුන් ලෙස මෙම යුද්ධ සඳහා රැගෙන ගිය බවත් කියවේ.එනිසාම ප්‍රවේණි තුළ ගොවිතැන් කටයුතු කිරීමට ජනතාව මද වූ බවත් යුද්ධයෙන් අනතුරුව පැමිණෙන පිරිස් නිදහස් වැසියන් ලෙස නැවත ගම්වලට පා තැබීමත් මෙලෙස ප්‍රවේණි ක්‍රමය යුරෝපයෙන් ඈත් වීමට බලපෑ මූලික හේතුව විය.නිදහස් වූ ගොවීන් නැවත ගම්වලට නොව නගර ආශ්‍රිතව ව්‍යාප්ත වීමත් සිදු වූ අතර මෙවැනි බොහෝ හේතු කාරණා ප්‍රමාණයක් මත වැඩවසම් පාලනය බිඳී යෑම ක්‍රමයෙන් මධ්‍යතන යුගයේ අවසානයේ හා නූතන යුගය ආරම්භයේ සිදුවිය.

ඉඩම් මිලදී ගැනීමට හැකියාව ලැබීම, මුදල් සංසරණය ඇති වීම, ප්‍රවේණි දාසයන්ට වේතන ගෙවීම ආදී වර්ධිත ආර්ථික ලක්ෂණ පෙන්නුම් කරමින්  පැරණි වැඩවසම් ක්‍රමවේදය ක්‍රමයෙන් ක්ෂය වූ අතර ඒ නිසාම ප්‍රවේණිය හා බැඳුණු වංශාධිපති පාලනය ද ක්‍රමයෙන් මඟ හැරී ගිය බව විද්වතුන් දක්වා සිටී.නූතන අවධියේ දී ඉඩම හා බැඳුණු වගකීම් සමුදායෙන් ඔවුන් නිදහස් වීම මෙකල රදළ පාලනය මධ්‍යතන අවධියේ මෙන් පීඩාකාරී නොවීමට හේතුව විය.ඒ අනුව යුරෝපය මධ්‍යතන යුගයෙන් නූතන යුගයට අවතීර්ණ වීමේදී සිදු වූ ප්‍රධාන දේශපාලන වෙනස්කමක් ලෙස වැඩවසම් පාලනයේ බිඳ වැටීම පෙන්වා දිය හැකි බව පැහැදිලිය.

බලය බෙදීම සංකේන්ද්‍රගත වීම

මධ්‍යතන යුගයේ විකේන්ද්‍රනය වී තිබූ යුරෝපයේ රාජ්‍ය බලය නූතන යුගයට අවතීර්ණ වෙත්ම සංකේන්ද්‍ර ගත පාලනයක ස්වරූපය ඉසිලූහ.ඒ අනුව මෙම බල සංකේන්ද්‍රගත වීම කෙරෙහි අදහස් දක්වන පී. ඩබ්ලිව් ජයතිලක මහතාට අනුව නම් එය මෙසේය.

"... රජුට පක්ෂපාතීකම දැක්වීම පමණක් නොව දරුවන් දෙමව්පියන්ට ගරු කිරීම හා සමානවම රට වැසියා රජුට ගරු කළ යුතු ය යන හැඟීම දියුණු වූයේ ය.රාජ්‍ය බලය පැවරුණු රාජවංශයේ නැතහොත් රජ පරම්පරාවේ රජ කුමරෙකුටම රජකම හිමිවිය යුතු ය යන හැඟුම ද දියුණු වූයේ ය...පිය රජු ඇවෑමෙන් පුතුට හෝ දුවට රජකම හිමිවිය යුතුය යන හැඟීම නිසාත් බල කේන්ද්‍රනය තහවුරු විය"
මධ්‍යතන යුගයේ දී සමාජයේ හා දේශපාලන බලයේ "පිරමීඩයේ" මුල් ස්ථානය හෙවත් අග්‍රස්ථානයේ වැජඹුණේ රජුය. නමුත් එකළ පැවැති වංශාධිපති පාලනය හේතුවෙන් රජු පැවැතියේ නාම මාත්‍රික විධායක තනතුරක හෙවත් වංශාධිපතිවරුන් යටතේ වූ පාලකයෙකු ලෙස පමණි.රජුට හමුදාවක් තබා ගැනීමට හෝ බල පැවැත්වෙන පරිදි ආඥාවක් හෝ නිකුත් කිරීමට හැකියාවක් එකල නොවුණු අතර ඒ සියල්ලක්ම වංශාධිපතිවරුන් හරහා සිදු වූ ක්‍රියාවන් විය.නමුත නූතන යුගයට යුරෝපය සංක්‍රමණය වීමේදී ඇතිවූ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමත් සමඟ රජුට අහිමි වූ බලය නැවත ලැබෙන ලක්ෂණ පහළ වූ අතර එය පසු කාලීනව යුරෝපය තුල ජාතික රාජ්‍ය බිහිවීම දක්වාම වර්ධනය විය.

රජ පවුල් අතර විවාහ සබඳතා ඇති වීමද මෙලෙස බලය සංකේන්ද්‍ර ගත වීමට හේතුවක් වූ බව විද්වතුන් සඳහන් කරන අතර මෙම බල කේන්ද්‍රනය හේතුවෙන් මධ්‍යතන යුගයට වඩා රජ පවුල කෙරෙහි වැසියාගේ ඇල්ම හා භක්තිය වර්ධනය වීමත් ඉන් ඇති වූ තවත් දේශපාලනමය වෙනසක් ලෙස ඔවුන් පෙන්වා දෙයි.ඒ අනුව යුරෝපීය දේශපාලනය මධ්‍යතන යුගයේ සිට නූතන යුගයට අවතීර්ණ වීමේදී ඇතිවූ තවත් එක් පරිවර්තනයක් ලෙස මෙම රාජ්‍ය බලය සංකේන්ද්‍ර ගත වීම හඳුනා ගත හැකි බව ඉහත නිදසුන් තුළින් ගම්‍ය වේ.

දේශපාලනයෙන් පාප් අධිරාජ්‍ය බිඳ වැටීම

මධ්‍යතන යුගයේ ක්‍රිස්තු සභාවට හා කිතු දහමට තිබූ මුල් ස්ථානය නූතන යුගයට යුරෝපය අවතීර්ණ වීමත් සමඟ අඩපණව ගියෝය.එයට මූලිකම හේතුව වූයේ වැඩවසම් පාලනයේ බිඳ වැටීමයි.මධ්‍යතන අවධියේ පාලනයෙන් තුනෙන් එකක් හෙබවූ ක්‍රිස්තු සභාවට ලැබුණු බලතල හා වරප්‍රසාද වැඩවසම් ක්‍රමය අහෝසි වී යෑමත් සමඟ අවම වී ගිය අතර නූතන අවධියේ පුනරුද සමය සමඟ ඇතිවූ ආධ්‍යාත්මයට වඩා ලෞකික දිවිය ප්‍රධාන කොට සැළකීමද පාප් අධිරාජ්‍යට ගසූ මරු පහරක් වියෑම පුනරුදය හේතුවෙන් මිනිසුන් නව්‍ය මානයකින් ලෝකය දෙස බැලීමට හුරු වීමත් තවදුරටත් වහල් පාලනය ප්‍රතික්ෂේප කිරීමත් සිදු විය.අධ්‍යාපනය හා කලා කටයුතු ඉතාම සීඝ්‍ර ලෙස ලෞකික දිවියට බර වූ නිර්මාණයන් ලෙස ලොවට ඉදිරිපත් වූ අතර පසු කාලීනව ඇතිවු රෙපරමාදු ආගමික ව්‍යාපාරය ද පාප් අධිරාජ්‍යට විශාල අභියෝගයක් විය.මෙවැනි කරුණු හේතුවෙන් පාප් සභාව එකල දේශපාලනයෙන් විසි වී යන ලක්ෂණ පහළ කළ අතර පසුව ඇති වන ජාතික රාජ්‍ය සංකල්පය හේතුවෙන් මෙම පාප් අධිරාජ්‍ය හා ක්‍රිස්තු සභාව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් මඟ හැරී ගිය බව කියවේ.ඒ අනුව යුරෝපය මධ්‍යතන යුගයෙන් නූතන යුගයට පරිවර්තනය වීමේදී ඇතිවූ තවත් එක් දේශපාලන පෙරළියක් ලෙස පාප් අධිරාජ්‍ය දේශපාලනයෙන් ඉවත්ව යෑම දැක්විය හැකි බව ඉහත නිදසුන් තුළින් පැහැදිලි වේ.

ජාතික රාජ්‍ය බිහිවීම

භූමිය, ජනගහනය, ආණ්ඩුව හා ස්වාධිපත්‍ය මුල් කොට ගෙන යුරෝපයේ ඇතිවූ විශේෂිතම  සංකල්පය වූයේ ජාතික රාජ්‍යන්ය.එක් ජාතියකට එක්  රාජ්‍යක් ලෙසද මෙය අර්ථ ගැන්වෙන අතර මධ්‍යතන අවධියෙන් නූතන අවධියට පා තැබීමේදී ඇතිවූ වැඩවසම් ක්‍රමය බිඳී යාම, බලය සංකේන්ද්‍රනය, පාප් අධිරාජ්‍ය බිඳ වැටීම, ධනවාදය, පුනර්ජීවන ව්‍යාපාර ආදී වූ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික හේතූන් නිසා ද මෙය ඇති වන්නට ඇතැයි ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි.

නූතන ලෝකයේ උදාව ක්‍රමික පෙරළියක ප්‍රතිඵලයක් වූවා සේම නූතන ජාතික රාජ්‍යන්ගේ උදාවද ක්‍රමිකව සිදු වූ සිදුවීම් දාමයක එකතුවක් වූ බව මූලාශ්‍ර ගත තොරතුරුවල එයි. එනම් යුරෝපයේ නූතන යුගයේ උදාව දේශපාලනික වශයෙන් සනිටුහන් කළේ ජාතික රාජ්‍ය බිහිවීම අනුසාරයෙනි.මධ්‍යතන අවධියේ දේශපාලනය වැඩවසම් අධිකාරීත්වයෙන් හා ශුද්ධ රෝම අධිරාජ්‍යයෙන් නිරූපණය වූවා සේම නූතන යුගයේ දේශපාලන ක්‍රමය නිරූපණය වන්නේ ජාතික රාජ්‍යත් ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් ද අනුසාරයෙනි. ඒ අනුව 15 හා 16 වන සියවස් තුළදී යුරෝපයේ එලෙස ඉස්මතු වූ මෙම ජාතික රාජ්‍ය සංකල්පය පසුකාලීනව තවදුරටත් විකාශනය වී මුළු ලෝකයේම ප්‍රධාන දේශපාලන අධිකාරිය ලෙස ද වර්ධනය විය.

ඒ අනුව මෙම නව පරිවර්තනයේ ප්‍රථම අධියර ක්‍රියාත්මක වූයේ නව රාජාණ්ඩු වශයෙනි.මුල් සමයේ නව රාජාණ්ඩුවල නැඟීම හා ජාතික රාජ්‍යන්ගේ වර්ධනය එකට අත්වැල් බැඳගත් ක්‍රියාදාමයක් ලෙස වර්ධනය වූ බව උගතුන්ගේ මතයයි. ඒ අනුව බෙදී විසිරී පැවති ප්‍රදේශ හා බලතල එක්සත් කොට බලවත් රාජාණ්ඩු ගොඩනැඟීම 12 වන සියවසේදී පමණ එංගලන්තයෙන් ඇරඹි අතර 16 වන සියවස මැද වන විට ස්පාඤ්ඤය ද, 17 වන සියවස අවසන් වන විට ප්‍රංශයද මෙම නව රාජාණ්ඩු ගොඩනැංවීම කෙරෙහි උනන්දු වී සිටියහ. එලෙස බිහිවූ ප්‍රථම රාජාණ්ඩුව හෙවත් ජාතික රාජ්‍ය එංගලන්තය වන අතර පසුව ස්පාඤ්ඤය හා ප්‍රංශය යුරෝපයේ නව යුගයේ දේශපාලන පරිවර්තන ලෙසින් කරළියට පැමිණි අතර මෙම රාජ්‍යන් ත්‍රිත්වයම බෙහෙවින් එක හා සමාන තත්වයන් හෙවත් සිදුවීම් යටතේ රාජාණ්ඩු බවට පත් වූ බව ද මූලාශ්‍ර තුළ සඳහන් වේ.

  • එංගලන්තය

එංගලන්තය නව රාජාණ්ඩුවක් බවට පත් කර ගැනීමේ පළමු පියවර තැබුවේ එය යටත් කොට ගෙන පාලනය ඇරඹූ නෝමැන්ඩියේ විලියම් ආදිපාදවරයා ය.ඔහු විසින් බෙදී පැවති  ප්‍රදේශ එක්සත් කරමින් මෙම ජාතික රජ්‍ය යන සංකල්පය ඇති කළ බව කියවෙන අතර 11 වන සියවස පමණ වන විට සියළු බලතල රජු වෙත සංකෙන්ද්‍ර ගත කරමින් උපදේශන පවා ලබා දීමට පාර්ලිමේන්තු ක්‍රමවේදයක් ද භාවිත වූ රාජ්‍ය ක්‍රමයක් ඔවුන් සතු විය.පසුව ඇතිවූ සියක් අවුරුදු යුද්ධය හා රෝස යුද්ධය ආදිය හේතුවෙන් මෙම නව රාජ්‍ය අභ්‍යන්තරයේ පාලනය දුෂ්කර වූ බව සඳහන් වන අතර පසුව නැවත ප්‍රකෘති තත්වයට එංගලන්තය පත් කරගත් vii හෙන්රි රජු විවාහ සබඳතා මඟින්ද එංගලන්ත ජාතික රාජ්‍ය ශක්තිමත් කොට ගත් බව වැඩිදුරටත් සඳහන් වේ. නමුත් මෙයාකාරයෙන් පළමු ජාතික රාජ්‍ය වශයෙන් එංගලන්තයට නැඟී සිටීමට දේශපාලනික තත්වයන්ම පමණක් උපකාරී නොවුණ අතර ඒ සඳහා ආර්ථික හා ආගමික මෙන්ම සාමජයීය සාධක ද ප්‍රභලව උපයෝගී වූ බව ඉහත සංසිද්ධිය විචාරාත්මකව නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.

  •        ස්පාඤ්ඤය

ජාතික රාජ්‍යයක් ලෙස එක්සත් වූ මුල් රාජාණ්ඩුව එංගලන්තය වූවත් යුරෝපයේ බලගතුම ජාතික රාජ්‍ය ලෙස නැඟී ආ දේශය වූයේ ස්පාඤ්ඤයයි. පැරණි අවධියේ සිටම "හිස්පැනියා" නම් වූ මනුෂ්‍ය කොටසක් ජීවත් වූ මෙම කලාපය ට පෘතුගාලය, කැස්ටීල්, ඇරගන්, කටලෝනියා හා ඇන්ඩලුෂියා යන ප්‍රදේශ අයත්ව තීබී ඇත.මෙම කලාප අතර එක්සත් බවක් ඇති වූයේ ඉහත කී මනුෂ්‍ය කොටස නිසා බැව් කියවෙන අතර මෙහි බොහෝ පෙදෙස් මුස්ලිම්වරුන් සිය අණසකට නතු කොටගෙන සිටි බැවින් "යළි දිනාගැනීම" යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කල මොවුන් වසර 500කට පමණ පසු මුස්ලිම්වරුන් පලවා හැර ප්‍රධාන ඒකක 5ක් යටතේ සිය ජාතික රාජ්‍ය වර්ධනය කර ගත් බව කියවේ. ඒ අනුව අයිබීරියන් අර්ධද්වීපය තුළ තිබූ මෙම කලාප පහ ලෙස ෆර්ඩිනන්ඩ් රජු යටතේ ඇරගන්, ඉසබෙලා රැජිණ යටතේ කැස්ටීල්, මුස්ලිම්වරුන් යටතේ ග්‍රැනාඩා, ස්වාධීනව හවාරේ හා පෘතුගාලයයි.පසුව ක්‍රමයෙන් රජුගේ බලය ශක්තිමත් කරමින් ස්පාඤ්ඤයට ද නව ජාතික රාජ්‍යයක පදනම් වැටුණු අතර ඒ සඳහා කැපවී ක්‍රියා කළ පාලකයන් වූයේ ෆර්ඩිනන්ඩ් ඉසබෙලා රාජකීය යුවළ, v චාල්ස් අධිරාජ්‍යයා හා ii පිලිප් රජු යන අය බවද මූලාශ්‍ර තුළ සඳහන්ය

  • ප්‍රංශය

ක්‍රි.ව 800 දී පමණ චාලිමෙන් අධිරාජ්‍යයා යටතේ ආරම්භ වූ කැරොලින්ජියන් අධිරාජ්‍ය පසුව උරුමකරුවන් තිදෙනෙකු යටතේ බෙදීම හේතුවෙන් එහීදී ඉස්මතු වූ බටහිර ප්‍රෑන්ක් රාජ්‍ය ප්‍රංශ රාජ්‍ය ලෙස වර්ධනය වීම සිදු විය.එහි සිහසුනට කැපට් නැමැත්තාගේ පත්වීම ප්‍රංශ රාජ්‍යයේ මූලාරම්භය ලෙස සළකන අතර ඔහුගේ කැපෙටියන් පෙළපත පළමුවරට වැඩවසම් බලය බිඳ දමමින් නව රාජාණ්ඩු දක්වා ප්‍රංශය ගමන් කරවීය. 1338-1453 "සියක් අවුරුදු යුද්ධය" හෙවත් ප්‍රංශය හා එංගලන්තය අතර ඇතිවූ සටනින් ප්‍රංශය අවසානයේ ජයගත් අතර ඉන් ප්‍රංශ පාලනය හා රජු පිළිබඳව වූ ආකල්පය වැඩි වශයෙන් ජාතික රාජ්‍ය සංකල්පය යටතේ වර්ධනය වී ගිය බවට තොරතුරු මූලාශ්‍ර තුළ දැක්වෙයි.රජුගේ ආධිපත්‍ය යටතේ ප්‍රදේශ එක්සත් වීමත් වැඩවසම් බලතල අහෝසි වී යෑමත් ආදී වූ නව රාජාණ්ඩුමය සංකල්ප මෙලෙස වර්ධනය වන්න්ට ඇතැයි උගතුන් ද දක්වා ඇත.

16 වන සියවසේදී මෙලෙස ක්‍රමයෙන් නැඟී සිටිමින් සිටි ප්‍රංශ රාජාණුවට බොහෝ වශයෙන් එවකට ධනවත් රාජාණ්ඩුවක් වූ ස්පාඤ්ඤයෙන් බලපෑම් එල්ල වූ බව කියවේ.මෙම සමයේදී ප්‍රංශයට ජාතික රාජ්‍යක් ලෙස නැඟී සිටීමට දේශපාලනික වශයෙන් සහාය ලබා දුන් පාලකයෙකු ලෙස සිව් වන හෙන්රි රජු දැක්විය හැකිවේ.ඔහුට අමතරව ඔහුගෙන් පසු රාජ්‍ය උරුමයට පත්වූ රිචලියු, 14 වන ලුවී ආදීන් ද කැපී පෙනේ.ඒ අතුරින් 14 වන ලුවී රජුගේ සමය වන විට ප්‍රංශයේ ජාතික රාජ්‍ය බිහි වීම සම්පූර්ණ වී පැවති බව සඳහන් වන අතර ඔහු එය තවදුරටත් ස්ථාවරව පවත්වා ගනිමින් එංගලන්තය හා ස්පාඤ්ඤය තරම්ම වූ සංකේන්ද්‍රගත පාලනයක් ප්‍රංශය තුළ ඇති කළ බවද මූලාශ්‍ර ගත කරුණු ඔස්සේ වැඩි දුරටත් දැක්විය හැකිය.

Share:

facebook share twitter share

3 comments: