Tuesday, April 28, 2020

පළමුවන ලෝක යුද්ධයට බලපෑ හේතු



ලෝක ඉතිහාස ගලනයේ සඳහන් වන්නා වූ බොහෝ අඳුරු සහගත අවස්ථා අතරින් එකක් ලෙස මෙම පළමු ලෝක යුද්ධ මාලාව ද හඳුන්වා දිය හැකිය. ඒ මන්ද යත් බල තරගයෙන් උද්දාමයට පත් වී, එකිනෙක රටවල් අතර සැකය හා අවිනිශ්චිතතාව ඇති කර ගනිමින්, අභ්‍යන්තරික වශයෙන් මහා නිහඬතාවයක රජයමින් සිටි යුරෝපා බලවතුන් එක් සිදුවීමක් අළලා එක් වරම ගැටුමකට ප්‍රවේශ වීම ලෝක ඉතිහාසයේ ඇති වූ වියවුල්කාරී අඳුරුතම සිදුවීමක් බව පැහැදිලිවන බැවිණි. ඒ අනුව බටහිර කලාපය තුළ පමණක් නොව සමස්ත ලෝකයේම එතෙක් නොවූ විරූ අන්දමේ දේශපාලන, සමාජ හා ආර්ථික වැනි මූලික සංස්ථාවන් තුළ පූර්ණ විපරිවර්තන රැසක් ඇති වීමට බලපෑ මෙම පළමු ලෝක යුද්ධ අවස්ථාව ලෝක ඉතිහාස ගලනයේ හැරවුම් ලක්ෂයක් ලෙසින් හඳුන්වා දීම සාවද්‍ය නොවන බව කිව හැකිය.

මෙම යුධ මාලාව සිදුවන 20 වන සියවසේ මුල භාගය එනම් 1914 සිට 1918 දක්වා කාලයට පෙර යුරෝපයේ රාජ්‍යන් සතුව එකිනෙක පැවතියා වූ බල තරගය හා එම බලය ප්‍රදර්ශනය කිරීමේ උවමනාව බොහෝ දුරට රහසිගතව ක්‍රියාත්මක වන ආකාරයක් පෙන්වූ නමුත් එය එසේ නොවන බව කිව හැකි වන්නේ එම සෑම රටක්ම අනෙකුත් අසල්වැසි රාජ්‍යන් සමඟ සැකයෙන් හා අවිශ්වාසයෙන් යුක්තව බලමින් සිය බලය අභියෝගයක ලක් කරමින් එය ප්‍රදර්ශනාත්මකව ඔප්පු කිරීමට අවස්ථාවක් උදා වන තෙක් මාන බලමින් සිටි ආකාරයක් දිස්වන නිසාය. විශේෂයෙන්ම 19 වන සියවසේ සිටම යුරෝපය තුළ මහා ගැටුමක් සිදුවීමට අර ඇදීමක් හඳුනා ගැනීමට හැකි අතර ඒ ඔස්සේ ඉහත කී රාජ්‍යන් අතර  පැවතියා වූ එම උණුසුම තවත් හේතු සාධක කිහිපයකම මූලිකත්වයෙන් යුධ ක්‍රියාමාර්ගයක් දක්වා වර්ධනය වූ අතර එම ගැටුම ලොව පුරා විසිරී සිටින්නා වූ සෑම ඒකීය පුද්ගලයෙකුටම කුමනාකරයෙන් හෝ බලපෑමක් එල්ල කිරීමට සමත් වූ යුධ තත්වයක් බව විද්වතුන්ගේ මතය වී ඇත. එබැවින් පළමුවන ලෝක යුද්ධයට හේතු වූ දුරස්ථ හා ආසන්නතම සාධකයන් පිළිබඳව මෙසේ විමසා බැලිය හැකි වේ.


1.  ඔටෝ වොන් බිස්මාර්ක් ගේ ප්‍රතිපත්තීන්

ඒ අනුව දුරස්ථ හේතූන් ගත් කළ, ඉහත කී ආකාරයෙන්ම 19 වන සියවසේ සිටම පළමුවන ලෝක යුද්ධයට පදනම සකස් වූ බව පැහැදිලි වන ප්‍රධාන අවස්ථාවක් ලෙස ඔටෝ වොන් බිස්මාර්ක් ගේ ප්‍රතිපත්තීන් හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම ජර්මනිය එක්සත් වීමේ ක්‍රියාදාමය ඔස්සේ විසිරී පැවති කුඩා ජර්මන් රාජධානි එක්සේසත් කරමින් ඒකීය රාජ්‍යක් වශයෙන් ජර්මනිය නඟා සිටුවීමේ ගෞරවය හිමිවනුයේ මොහුට බව පැහැදිලි කරුණකි. නමුත් ඔහු සිය දේශපාලන උපායමාර්ග ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔහුටම සුවිශේෂී වූ ප්‍රයෝගකාරී ප්‍රතිපත්ති මඟිනි. එනිසාවෙන්ම ඔහු විසින් ජර්මනිය ස්ථාවරත්වයෙහි ලා තබා ගැනීමට උපයෝගී කොට ගන්නා ක්‍රියාමාර්ග අනෙකුත් රටවලට බාධාකාරී මෙන්ම බොහෝ වශයෙන් තර්ජනාත්මක බලපෑම් එල්ල කරනා වූ ක්‍රියාවන් වූ බව කියවේ. එහි දී විශේෂයෙන්ම ජර්මනිය එක්සත් කිරීමේ දී ඔහුට ප්‍රභලතම භාධාව වූ ප්‍රංශයට නැඟී සිටීමට ඉඩ නොදෙමින් යුරෝපයේ තනි කිරීමට උත්සහා ගත් අතර ඒ සඳහා බිස්මර්ක් යුරෝපා බලවතුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගත් බව ද සඳහන් වේ. ඒ අනුව රටවල් කිහිපයක් මිත්‍රයින් සේ පවත්වා ගනිමින් ඒවා අතර ප්‍රමුඛත්වයට පත් වූ ජර්මනිය එවැනි මිත්‍ර සන්ධාන මෙන්ම ගිවිසුම් මඟින් ද යුරෝපය තුළ බලවත් ලෙස නැඟී සිටීමට උත්සහා ගත්තේය. නිදසුන් ලෙස 1873 දී රුසියාව හා ඔස්ට්‍රියාව සමඟ එක්වී අධිරාජ්‍යවරුන් තිදෙනාගේ සංගමය නිර්මාණය කරගත් අතර ඉතාලිය සමඟ යුධ ගිවිසුමක් ඇති කර ගැනීමත්, 1882 දී යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල ගොඩනංවමින් එයට බලවත් රාජ්‍යක් ලෙස වැජඹීමට අවස්ථාව උදා කර ගැනීමත් පෙන්වා දිය හැකිය. බිස්මාර්ක් ඇති කරන ලද මෙම ගිවිසුම් ක්‍රමය නිසා යුරෝපය පිළ් දෙකකට බෙදීමේ අවධානමකට මුහුණ පෑ බව දැක්වෙන අතර 1890 දී දෙවන විලියම් අධිරාජ්‍යා ඔහුව ස්වකිය ධූරයෙන් නෙරපීමත් සමඟ පසුව බලයට පත් පාලකයින්ට බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති ඔහුගේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොවුණු බව ද සඳහන් කර ඇත. එහි ප්‍රථිඵලය වූයේ ජර්මනියේ ප්‍රධානතම සතුරා වූ ප්‍රංශය ද ජර්මනිය මෙන්ම මිත්‍ර සන්ධානයක් ඇති කර ගැනීම වන අතර, නව පාලකයා බිස්මාර්ක් විසින් වළක්වා තිබූ ක්‍රියාමාර්ගයන් නැවත ක්‍රියාත්මක කරවූ නිසාවෙන් එතෙක් වැළකී තිබූ යුරෝපයේ පිළ් බෙදීම එම සිදුවීමත් සමඟ ක්‍රියාත්මක වී ප්‍රධාන කණ්ඩායම් ද්විත්වයක් යුරෝපයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධව මත දරන්නන් ලෙස ඇති වූ බව පැහදිලි වන අතර එම බෙදී යෑම 1914 දී ලෝක යුද්ධය ඇති වීමට ද හේතුවක් වූ බව ඉහත තොරතුරු ඔස්සේ ගම්‍යමාන වේ.


2.  ඇල්සාස් ලෝරේන් ප්‍රදේශය සඳහා වූ ගැටුම

උක්තව සඳහන් කරන ලද ප්‍රංශය හා ජර්මනිය අතර ගැටුමට තවත් එක් හේතුවක් සැපයූ කරුණක් වූයේ ඇල්සාස් ලෝරේන් ප්‍රදේශය සඳහා මෙම රටවල් දෙක අතර වූ ගැටුමයි. මුල දී ජර්මනිය විසින් මෙම ප්‍රදේශය සියතට ගෙන තිබුණ ද නින්තරයෙන්ම ප්‍රංශය මෙය නැවත ඈඳා ගැනීමට තැත් කිරීම නිසාවෙන් නිරන්තර ගැටුම් දෙපක්ෂය අතර නිර්මාණය වූ බව දැක්විය හැකිය. එබැවින්ම මෙම පක්ෂ දෙක කාලාන්තරයක් තිස්සේ විරසකයකින් බැඳ දැමීමට මෙම හේතුව ප්‍රමාණවත් වූ බව කිව හැකි අතර එම විරසකය පසු කාලීනව ඇතිවූ ලෝක යුද්ධයට ද හේතුවක් වූ බව ඉහත තොරතුරු ඔස්සේ පැහැදිලි වේ.


3.  දෙවන විලියම්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය

තව ද බිස්මාර්ක් ට පසුව ජර්මන් පාලකයා වූ දෙවන විලියම්ගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය ද පළමුවන ලෝක යුද්ධය සඳහා හේතුවක් වූ බව සඳහන් කළ හැකිය. හැකි ඉක්මනින් ජර්මනියේ බලය ව්‍යාප්ත කර ගැනීමේ උවමනාවකින් පෙළුණු ඔහු වෙනත් රාජ්‍යන්හි කටයුතු සඳහා ද මැදිහත් වෙමින් ඒම රාජ්‍යන්ට ජර්මනිය සතුරෙක් ලෙස පෙනෙන තෙක්ම තම ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කළ බව කියවේ. නව අධිරාජ්‍යවාදය ලෙසින් හැඳින්වූ මෙම ක්‍රියාවලියට යුරෝපයේ අනෙකුත් රාජ්‍යන් ද එළැඹී සිටි අතර ඉහත කී ආකාරයෙන් ජර්මනියේ අත පෙවීම් ඔවුන් නුරුස්නා ස්වභාවයකට පත් කල බවත් එක් එක් රාජ්‍යන් අතර පැවති විරෝධයන් මහා ගැටුමක්ව කරළියට ඒමට ආසන්න තත්වයක පසු වූ බවත් මේ තත්වය පිළිබඳව කරුණු දක්වන විද්වතුන්ගේ මතය වී ඇත.


4.  යටත් විජිත තරඟය

යුරෝපා රටවල් බොහෝමයක් මේ සමය වන විට යටත් විජිත තරඟය සඳහා යොමුවී තිබීම ඔස්සේ ඒ ඒ යටත් රාජ්‍යන්ගෙන් ලැබෙන විශාල ධනස්කන්ධයන් මඟින් සිය මව් ආර්ථිකයන් පෝෂණය කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් සහිතව බලවත්ව නැඟී ඒමට උත්සහා දරණු දක්නට ලැබේ. ඒ අනුව එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි බලවත් රටවල් මෙම යටත් විජිත් තරඟයට යොමුව සිටි අතර එම තරඟයේ දී යටත් විජිත උදෙසා මේ එක් එක් යුරෝපීය රාජ්‍යන් අතර ගැටුම් ඇති වීම දක්නට ලැබේ. ආසියානු හා අප්‍රිකානු කලාපය මෙහිදී සෑම බලවතෙකුටම වැදගත් භූගෝලීය කලාපය වූ අතර එංගලන්තය හා ප්‍රංශය නිබඳවම එම ප්‍රදේශ උදෙසා එවැනි ගැටුම්වල යෙදුණු බවත් සඳහන් වේ. නමුත් ජර්මනිය සතුව එවැනි යටත් විජිත දිනා ගැනීමේ අවශ්‍යතාවක් මුල් කාලීනව දැකිය නොහැකි අතර ඔවුන් අභ්‍යන්තරික වශයෙන් සිය රට දියුණු කරමින් කාර්මික වර්ධනයක් ළඟා කර ගැනීමට උත්සහ ගත් බව මූලාශ්‍ර ගත තොරතුරුවල සඳහන් වේ. 1880න් පසු යටත් විජිත තරඟය සඳහා එක්වන ඔවුන් නිරිත දිග අප්‍රිකාවේ රටවල් හා කැමරූන් රජ්‍ය ද යටත් කර ගත් බව ඒවායේ වැඩි දුරටත් සඳහන් වේ. එලෙස බලවත් වූ ජර්මනිය යටත්විජිතකරණයට යොමු වීම එංගලන්තය හා ප්‍රංශය වැනි රාජ්‍යන්ට තර්ජනයක් වූ බව කියවෙන අතර යුරෝපා කාර්මික විප්ලවයන් ඔස්සේ නිපදවන ලද භාණ්ඩ අළෙවි කර ගැනීමට මෙන්ම ඒවාට අමුද්‍රව්‍ය සපයා ගැනීමට ද වෙළඳපොළක් සොයා ගනීම මෙම සෑම බලවත් රාජ්‍යකම අභිප්‍රාය විය. එලෙස ප්‍රතිවිරුද්ධ බලවතුන්ගේ එදිරිවාදීකම්, මත ගැටුම් මෙන්ම සැකය ද මුහුකුරා වැඩෙමින් යටත්විජිතකරණය තුළ ක්‍රියාත්මක වූ බව කිව හැකි අතර එහි දී ආසියානු කලාපයටත් වඩා අප්‍රිකානු ප්‍රදේශයන් හි යුරෝපා බල තරඟය කැපී පෙනෙන බවත්, පළමුවන ලෝක යුද්ධයට බලපෑ හේතූන් අතර මෙම යටත් විජිත බල තරඟය හෙවත් ලෝකය බෙදා ගැනීමට නොහැකිව යුරෝපා බලවතුන් ගෙන ගියා වූ ගැටුම් සමුදාය ද හේතුවක් වූ බව ඉහත තොරතුරු ඔස්සේ මැනවින් පෙනී යන බව සඳහන් කළ හැකිය.


5.  කාර්මික විප්ලවයෙන් ලැබුණු දැනුම

කාර්මික විප්ලවයෙන් ලැබුණු දැනුම ඔස්සේ යුධ ශක්තිය වර්ධනය කර ගැනීම මෙකළ සිදු විය. අනෙක් රාජ්‍යට වඩා බලයක් ලබා ගැනීමේ උවමනාවෙන් යුධ අවි නිපදවීම කෙරෙහි උත්සුක වූ යුරෝපීයයන් එසමයේ එතෙක් කිසිදු අවස්ථාවක යොදා නොගත් නවීනතම සබ්මැරීන්, යුද්ධ ටැංකි, විෂ වායු ආදිය නිෂ්පාදනය කිරීමට උත්සහ කළ බව කියවේ. යටත් විජිත පරිපාලනය හේතුවෙන්ම ශක්තිමත් කරවූ නාවුක බලය යුද්ධ සඳහා ද පුහුණු කරවනු ලැබූ අතර පාබල හමුදාවන්ගේ ප්‍රභලත්වය ද වර්ධනය කරවීය. මෙම ආයුධ තරඟය ප්‍රධානවම ජර්මනිය, ප්‍රංශය හා එංගලන්තය වැනි රටවල්වල කැපී පෙනුණු අතර එසේ ආයුධ තරඟයකට සූදානම් වූයේ ආසන්න සමයකදී සිදු විය හැකි ගැටුමකට පූර්ව සූදානමක් වශයෙන් වන්නට ඇති බව කිව හැකිය. එබැවින් යුරෝපීයයන්ගේ අවි තරඟය ද ලෝක යුද්ධය ඇති වීම සඳහා බලපෑ තවත් එක් හේතුවක් ලෙස ඉහත තොරතුරු මඟින් ප්‍රකාශ වන බව පැහැදිලි කරුණකි.


6.  ජර්මනියේ නව අධිරාජ්‍යවාදය

ජර්මනියේ නව අධිරාජ්‍යවාදයට අනුව ඔවුන් ඔස්ට්‍රියාව හා මිත්‍ර වූ අතර ප්‍රංශය රුසියාව හා ගිවිසුම් ඇති කර ගනු දක්නට ලැබේ. මුල දී ජර්මනිය හා සහයෝගයෙන් කටයුතු කළ බ්‍රිතාන්‍ය පසුව විරසක වූයේ දෙරට අතර ඇති වූ නාවික ගිවිසුම් අසාර්ථක වූ බැවින්ය. ඒ අනුව ජර්මනියේ අනාගත යුද්ධ අරමුණ තේරුම් ගැනීමට සමත් වූ බ්‍රිතාන්‍යන් විසින්  ප්‍රංශය හා මිත්‍ර ගිවිසුම් ඇති කර ගන්නා අතර යුධ අවස්ථාවක දී දෙරටම සහයෝගයෙන් යුතුව සිය කලාපයන් රැක ගැනීමට ඉන් සපථ කර ගන්නා ලද බව කියවේ. මේ වන විට ප්‍රංශය රුසියාව හා මිත්‍ර වී සිටි බැවින් බ්‍රිතාන්‍යන් ද රුසියාව හා මිත්‍ර වූ අතර මේ සෑම මිත්‍ර ගිවිසුමක් අවසානයේ දී එනම් 1908 පමණ වන විට පැහැදිලි ලෙස යුරෝපයේ කඳවුරු ද්විත්වයක් දක්නට ලබුණු බව කියවේ. ඉන් පළමුවැන්නට බලවත් ජර්මනිය හා ඔස්ට්‍රියාව අයත් වූ අතර අනෙකට එංගලන්තය, ප්‍රංශය හා රුසියාව ඇතුළත් විය. ඒ අනුව සෑම සියළු ලෙසකින්ම සංවිධානය වී සැදී පැහැදී සිටි යුරෝපීයයන්ට මෙසමයේ අවශ්‍ය වූයේ යුද්ධයක් ඇති කර ගැනීම සඳහා ආසන්නතම හේතුවක් පමණක් බව විද්වතුන්ගේ මතය වී ඇත.


7.  බෝල්කන් ප්‍රදෙශවල තුර්කි ආධිපත්‍ය බිඳී යෑම

බෝල්කන් ප්‍රදෙශවල තුර්කි ආධිපත්‍ය බිඳී යෑමත් සමඟ එම රටවල් අල්ලා ගැනීමට ඔස්ට්‍රියාව හා ජර්මනිය උත්සහා කිරීම ද පළමුවන ලෝක යුද්ධයට පදනම් වු තවත් එක් හේතුවකි. යුරෝපීයයන් සිය රාජ්‍ය තුළ යටත් විජිතයක් ගොඩනැංවීම සඳහා ගනු ලැබූ සූදානමට විරුද්ධ වූ මෙම කලාපයේ ජනයා නිදහස් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව කියවේ. නමුත් වඩා මර්දනකාරී වූ ඔස්ට්‍රියාව ජර්මන් සහාය ද සහිතව මෙම කලාප කිහිපයක සිය බලය ව්‍යාප්ත කොට ගත් බව කියවේ. බෝල්කන් වැසියන් සිය එක්සත්භාවය වෙනුවෙන් ඇති කරගත් බ්ලැක් හැන්ඩ්ස්" නම් රහස් සංවිධානයට ද යුරෝපීයයන්ගේ බල තරඟය නවතාලිය නොහැකි වූ බව දැක්වෙන අතර මෙම තත්වය  පිටත පාර්ෂවයන්ට දිස් වූයේ ජර්මනිය හා ඔස්ට්‍රියාව බෝල්කන් ප්‍රදේශය ගිල ගැනීමට මාන බලන ආකාරයෙන් බව කියවේ. බෝල්කන් වැසියන් විශේෂයෙන්ම සර්බියානුවන් ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර පැවති මෙම සමඟි සන්ධානය පිළිබඳව වෛරී ස්වභාවයෙන් පසු වූ බව සඳහන් වන අතර අනෙකුත් යුරෝපා ජාතීන් මෙයට එරෙහි වීම තව දුරටත් ඔවුන් අතර වූ තරඟකාරී බව හා යුධ අවධානම වැඩි කර දක්වන්නක් වූ බව ද මූලාශ්‍ර තුළ සඳහන් වේ.


8.  ඔස්ට්‍රියාව හා සර්බියාව අතර පැවති වෛරය

ඔස්ට්‍රියාව හා සර්බියාව අතර පැවති වෛරය යුද්ධය සඳහා වූ ආසන්නතම හේතුව දක්වා ඇදී ගියේ සර්බියානු රජයේ අනුදැනුමින් තොරව බ්ලැක් හැන්ඩ්ස් සංවිධානය මඟින් ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරු ඝාතනය කිරීමත් සමඟය. මේ හේතුවෙන් සර්බියානු රජයට වගකීම පැවරූ ඔස්ට්‍රියානුවන් සර්බියාව සතුව දෝශයක් නොමති වූව ද ඊට විරුද්ධව යුධ වැදුණු බව කියවේ. මෙහි දී සිදු වීමට නියමිත විනාශය හඳුනා ගත් බ්‍රිතාන්‍යන් බෙල්ජියම ආක්‍රමණය නොකරන ලෙස ජර්මනියෙන් ඉල්ලා සිටිය ද එය අසාර්ථක වීම නිසාවෙන් ප්‍රංශ හා රුසියන් සහාය ඇතිව ඔස්ට්‍රියා ජර්මන් පිළට එරෙහිව යුද්ධයට අවතීර්ණ විය. මෙම ගැටුම වසර 4ක් පුරාවට යුරෝපයේ මෙන්ම අනෙකුත් කලාපවල ද දේශපාලන, සමාජ හා ආර්ථික සංවිධානයන් රැසකටම හානි පැමිණවීමට සමත් වූ අතර අවසානයේ බ්‍රිතන්‍ය ප්‍රමුඛ මිත්‍ර පිළට ජය අත් කර දෙමින් පළමු ලෝක යුද්ධය අවසන් විය. එබැවින් ඉතිහාස ගලනයේ හැරවුම් ලක්ෂයක් ලෙස සඳහන් කළ හැකි මෙම පළමුවන ලෝක යුද්ධ මාලාව ඉන් පසුව යුරෝපය නව දිශානතියකට යොමු කරලීමට සමත් වූ තවත් එක් කඩයිමක් ලෙස ද පෙන්වා දිය හැකි බව ඉහත සඳහන් කරන ලද සෑම කරුණකින්ම පැහැදිලි වන බව ගම්‍ය වේ.


Share:

facebook share twitter share

5 comments: