මෙසපොතේමියානු සභ්‍යත්වයේ දකුණු කලාපයේ බිහිවුණු උබයිඩ්
අවධියෙන් පසුව තවත් අවධීන් ද්විත්වයක් වූ උරුක් හා ජුම්ඩට් නසාර් යන අවධීන් හඳුනා
ගැනීමට ලැබෙන අතර ඉන් සුමේරියානු සභ්‍යත්වයේ මුල් ඓතිහාසික කාල පරිච්ඡේදය නියෝජනය
කෙරෙන බව කියවේ. ඒ අනුව ක්‍රි.පූ 4000න් පමණ පසුව මෙසපොතේමියාවේ දකුණු දිග භූමියේ සිදුවූ මානව ක්‍රියාකාරම්වල
වර්ධිත තත්වයට "සුමේරියානු සභ්‍යත්වය" නමින් විශේෂිත නාමයක් ලබා දී එය
ඉහත ත්‍රිත්ව අවධීන් ගෙන් වෙන් කොට වැඩි දුර අධ්‍යනයට භාජනය කරනු ලබයි. මෙම සුමේරියානු
හෙවත් සුමේරියන් යන පදය බිහිව ඇත්තේ "සුමේරු" යන පැරණි ආකේඩියානු පදයෙන්
බව විද්වතුන්ගේ මතයයි.ඒ අනුව මෙම කලාපයේ වාසය කළ ජනයා සුමේරියන්වරු වූ නමුත් ඔවුන්
මෙසපොතේමියානු ජනවර්ගයට වෙනස් වූ වෙනත් මානව කණ්ඩායමක් නොවුණු බවත් ඔවුන් සියළු
දෙනාම පොදු භාෂාවක් කතා කළ පොදු සංස්කෘතියක් තිබූ ජන කණ්ඩායම් වූ බවත් සඳහන්
වේ.එබැවින් ක්‍රිස්තු පූර්ව 4000 දී පමණ
මෙසපොතේමියානු කලාපයෙන් ආරම්භ වූ සුමේරියානු සභ්‍යත්වය එතැන් සිට ක්‍රිස්තු පූර්ව 2000 දී බැබිලෝනියානු ශිෂ්ටාචාරය ආරම්භ වන තෙක්ම පැවතිණි.ඒ
අනුව වසර 2000ක පමණ කාල පරිච්ඡේදයක් තුළ
ප්‍රධාන යුග පහකින් සමන්විත වූ සුමේරියානු සභ්‍යත්වය වෙනත් විදේශ සභ්‍යත්වයන්ට
දෙවැනි නොවූ අන්දමේ දේශපාලන ආර්ථිකමය සමාජමය හා විශේෂයෙන් සංස්කෘතිකමය ලක්ෂණ
පෙන්නුම් කරන්න වූ සභ්‍යත්වයක් විය.
සංස්කෘතිය යන පදයෙන් යන්නෙන් මූලිකවම අර්ථ ගැන්වෙනුයේ
යම් කිසි කලාපයක හෝ රටක හෝ නිශ්චිත කාල සීමාවකට අයත් ආගමික පැතිකඩ, භාෂාව හා සාහිත්‍ය කලා නිර්මාණ සහ ගෘහ නිර්මාණ කටයුතු
වේ. ඒ අනුව සුමේරියානු සභ්‍යත්වයේ ද මෙම සංස්කෘතික අභිවර්ධනය මූලිකවම එහි පළමු
අවධියේ සිය පස් වන අවධිය දක්වා ක්‍රමයෙන් වර්ධනය වූ අතර එම සියළු සංස්කෘතිකමය
වෙනස්කම් වෙනත් කිසිදු පැරණි සභ්‍යත්වයක දක්නට නොමැති තරම් සුවිශේෂී ගණයේ
සුමේරියානුවන්ටම ආවේණික වූ ලක්ෂණයන් පෙන්වන සංස්කෘතියක් බව විද්වතුන්ගේ මතයයි. ඒ
අනුව සුමේරියානු සංස්කෘතිය මූලිකවම ආගම, භාෂාව හා සාහිත්‍ය, කලාව හා ගෘහ
නිර්මාණ ශිල්පය යන තේමාවන් ඔස්සේ විමසා බැලිය හැකිය.
1. ආගමික සංකල්ප, දේවත්වය හා විශ්වාස
සුමේරියානු සභ්‍යත්වයේ ආගම ප්‍රධාන වශයෙන්ම යොමුව
පැවතියේ බහු දේව වාදී ආගමික සංකල්පයන් පදනම් කරගෙන බව එම කලාපයෙන් ලැබී ඇති
පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හා ඇතැම් ජනප්‍රවාද සාක්ෂ්‍ය දරයි.මෙම දෙවිවරුන් සියළු දෙනාම
මනුෂ්‍ය ස්වරූප වූ බවත් ස්වභාව ධර්මයේ බලවේග ඔස්සේ ඔවුන්ට දේව බලය ලැබුණු බවත්
කියවේ. ඒ අනුව සුමේරියාවට ආවේණික දෙවිවරුන් විශාල ප්‍රමාණයකගේ තොරතුරු එම සාධක
ඔස්සේ හෙළි වන අතර මුල් කාලීනව කැපී පෙනෙණු දෙවියා වූයේ අනු (Anu) බව සඳහන් වේ. අනු දෙවියා යනු අහසට අධිපති දෙවියා වූ බවත් ඔහු සුමේරියන් දේව
මණ්ඩලයේ ප්‍රභලතම සාමාජිකයෙකු වූ බවත් සඳහන් වේ. උරුක් යුගයේ දී මෙම අනු දෙවියාට
ඉදි කරන ලද විශාල ප්‍රමාණයේ දේවස්ථානයක් කැණීම් ඔස්සේ සොයාගෙන ඇති අතර එය
"ධවල දේවස්ථානය" නම් වේ.ඊට අමතරව එන්කි (Enki) නම් පෘථිවි හා
ජලයට අධිපති දෙවියා ද, එන්ලිල් (Enlil) නම් වූ වාත
දෙවියා ද,
නන්න (Nanna) නම් වූ සඳු
දෙවියා ද,
උතු (Uthu) නමින් හැඳින්වූ
සූර්ය දෙවියා ද පුරුෂත්වය මූලික කොට ගත් දේව මණ්ඩල සාමාජිකයන් විය.ආදරයට හා
යුද්ධයට අධිපති වූ ඉනන්න (Inanna) නම් දේවතාවිය ද
පාතාල ලොවට අධිපති වූ ඉරෙෂ්කිගල් (Ereshkigal) ද
කාන්තා දේවත්වය නිරූපණය කළ බව සඳහන් වේ.මෙම සියළුම දෙවි දේවතාවුන් අතර නුවණැති
භාවය මෙන්ම මෝඩකම් ද තිබුණු බව ජනප්‍රවාද පුවත් තුළින් හඳුනා ගත හැකි නමුත් මෙම
දේව මණ්ඩලයම අමරණීය හා අධි බලැති භාවයෙන් යුක්ත වූ පිරිසක් වූ බව ද එම ජනප්‍රවාද
තුළින් වැඩි දුරටත් සඳහන් වේ.
එන්ලිල් (Enlil) |
එන්කි (Enki) |
අනු (Anu) |
නන්න (Nanna) |
උරුක් වාසීන් අනු දෙවියා බලවන්තම දෙවියා ලෙස සැලකූවත්
පසුව ආකේඩියානු සමය වන විට නිප්පූර් නගරය අයත් දෙවියා වූ එන්ලිල් ප්‍රධාන දෙවියන්
ලෙස සැලකූ බව සඳහන් වේ. මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අසුභවාදී චින්තනයක පැවති මෙම
සුමේරියානු ආගමික සංකල්පය තුල දෙවියන්ට දැක්වූයේ අසීමිත බියක් හා පක්ෂපාතීත්වයක්
බව විද්වතුන් සඳහන් කර සිටී.එබැවින් "දෙවිවරුන් වැසියන්ගේ ස්වාමීන් වූ බවත්
වැසියා එනිසා ඔවුන්ට කීකරු විය යුතු බවත්" යනුවෙන් මතයක් තිබෙන්නට ඇතැයි කිව හැකි අතර දෙවියන් සමඟ
සබඳකම් පවැත්වීමේ දී ඔවුන්ගේ කැමැත්ත තේරුම් ගැනීමට නම් නිමිති හෝ ශාස්ත්‍ර කීම, සිහිනවල අර්ථ නිරූපණය කිරීම, තාරකා මඟින් පේන කීම ආදිය සිදු කළ යුතු බවට ඔවුන් තුළ
විශ්වාසයක් තිබුණු බව කියවේ. තව ද යාග පැවැත්වීමෙන්, යාඥා කිරීමෙන් හා දේවස්ථාන ඉදි කිරීමෙන් ද ඔවුන්ට දෙවියන් හා සම්බන්ධ වන්නට
හැකියාව ලැබෙන බව විශ්වාස කළ අතර මරණින් මතු ජීවිතය පිළිබඳ සංකල්ප ද ඔවුන්ගේ ආගමික
විශ්වාසයන් අතර විය. මරණින් මතුව සාමාන්‍ය දිවියක් බලාපොරොත්තු වූ මෙකල වැසියන්
පුද්ගලයෙකු මිය ගිය පසු නැවත ඒමට නොහැකි පෘථිවියෙන් යට පවත්නා වූ පාතාළ ලොවකට
ආත්මය ගමන් කරන බව විශ්වාස කළහ.එතුළ ආලෝකය නොමැති බවත්, ආහර සඳහා පස් පමණක් තිබෙන බවත්, මළවුන් සදාකාලිකවම එහි වෙසෙන බවත් ඔවුන් විශ්වාස කළ අතර
ඇතැම් අවස්ථාවල දී එම මළවුන් භූතයන් ලෙස පෘථිවියට පැමිණෙන බවත් ඔවුන් ජීවත්
වැන්නවුන් හා ද්වේෂ සහගතව කටයුතු කරන බවත් එම විශ්වාසයන් අතර පැවති මිත්‍යා සිතිවිලි
විය.
තව ද සුමේරියානු ආගමික තත්වයන් එහි පරිපාලනයට ද බලපෑ බව
ඇතැම් විද්වතුගේ මතයක් වී ඇත. ඒ අනුව පූජක පරිපාලනයක් මෙහි තිබී ඇති අතර ආගමික
කටයුතුවල යෙදුණු පූජකයින් මෙලෙස පරිපාලනය ගෙනයන්නට ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටී. විශේෂයෙන්ම
ඉන්දු නිම්නය වැනි සමකාලීන සභ්‍යත්වයන් තුළ ද පූජක පරිපාලනයක් තිබෙන්නට ඇතයි
විශ්වාස කෙරෙන බැවින් සුමේරියාව තුළ ද එසේ වන්නට ඇතැයි කිව හැකිය. නගර වැසියන්
පූජකවරුන්ට අසීමිතව අවනත වීම, දේවස්ථානය
බලවත්ම ගොඩනඟිල්ල වීම හා විශාල දේපළ ප්‍රමාණයක් දේවස්ථානයට අයත් වීම යන සාධක ද
පදනම් කොට ගනිමින් ආගමික කටයුතු සේම පූජකයින් විසින් පරිපාලනය ද ගෙන ගිය බවට
උපකල්පනයක් ගොඩ නඟා ගත හැකිය.
රාජ්‍යත්වයට දේවත්වය ආරෝපණය කිරීම ද සුමේරියානු වැසියන්
අතර පැවති චාරිත්‍රයක් වූ අතර නරාම් සිං, ෂුල්ගි වැනි පාලකයින් එලෙස තමන්ට දෙවියන් විසින් බලයක් ලබා දුන් බව සඳහන්
කරමින් රාජ්‍ය පාලනය ගෙන ගොස් ඇත. ලුගල්සගෙයි වැනි පාලකයින් දෙවියන් විසින් සුමේරියානු
භූමිය තමන් සඳහා පාලනයට ලබා දුන් බව දක්වා ඇති අතර එය ද දේවවාදී සංකල්ප සුමේරියානු
කලාපය පුරා ව්‍යාප්ත වූ අවස්ථාවක් ලෙස හඳුනා ගත හැකිය. ෂුල්ගි විසින් ආගමට
රාජකීයයත්වය මුසු කරමින් නව ඇදහීම් ක්‍රමවේදයක් සුමේරියාවට හඳුන්වා දුන් බව කියවේ. ඒ අනුව ඉහත සඳහන් කරන ලද සියළුම විශ්වාසයන්, සංකල්ප හා ක්‍රමවේද ඔස්සේ සුමේරියානු සභ්‍යත්වයේ තිබූ ආගමික පැතිකඩ
පිළිබඳව හඳුනාගත හැකි බවත්, ඉන් සුමේරියානු සභ්‍යත්වයේ සංස්කෘතික අභිවර්ධනය සඳහා ආගමික ක්ෂේත්‍රය
යටතේ සිදු වූ වෙනස්කම් මැනවින් පැහැදිලි වන බවත් ගම්‍ය වේ.
2. භාෂාව හා සාහිත්‍ය
උරුක් යුගය තුළ සුමේරියාවේ අක්ෂර කලාවේ ආරම්භය සිදු වීම
ද එහි සංස්කෘතියේ ඇති වූ තවත් එක් අභිවර්ධනාත්මක ලක්ෂණයකි. මැටි පුවරු හා
මුද්‍රා මත රූපාක්ෂර ලිවීමෙන් මෙම ලේඛන කලාව ආරම්භ වූ බව මූලාශ්‍ර ගත තොරතුරුවල
සඳහන්ය. ආරම්භයේ දී දේවස්ථානවල ගණන් සටහන් තැබීමට මෙම රූප අක්ෂර භාවිතා කොට ඇත. පසුව
නිලධාරීන්ගේ මුද්‍රා මත සිය අනන්‍යතාවය පෙන්නුම් කිරීම සඳහා රූපාක්ෂර යොදාගෙන ඇති
අතර මුල් කාලීනව බිහිවූ මෙම රූපාක්ෂර ක්‍රමයෙන් පසුව කීලාක්ෂර බිහිවූ බව සඳහන්
වේ.මෙබඳු අක්ෂර යෙදූ මුද්‍රා තැනින් තැනට ගෙන යෑමට තිබූ පහසුව නිසාම සුමේරියාව
පුරා කීලාක්ෂර ක්‍රමය ව්‍යාප්ත වූ බව විද්වතුන් දක්වා ඇති අතර උරුක් යුගයෙන් පසුව
එම ව්‍යාප්ත වීම බොහෝ දුරට සිදු වී ඇති බව ඔවුන් විසින් පුරාවිද්‍යා සාධක පදනම් කර
ගනිමින් වැඩි දුරටත් දක්වා ඇත.වෙනමම සංස්කෘතික ලක්ෂණයන් පෙන්වූ ජෙම්ඩට් නසර් යුගයේ
කීලාක්ෂර තව තවත් දියුණු තත්වයට පත් වූ බව සඳහන් වන අතර එම යුගයට අයත් කීලාක්ෂර
සහිත මැටි බඳුන් හා පුවරු හමුවීමෙන් එය තහවුරු වී තිබේ. විශේෂයෙන්ම ධාන්‍ය බෙදා
හැරීමට,
ගවයින් ගණන් කිරීමට, ඇඳුම් බෙදා හැරීම ආදියට මෙසමයේ මෙම අක්ෂර භාවිතා කොට
තිබුණු බව එවැනි රූප සටහන් හා අක්ෂර සහිත මුද්‍රා හමුවීම මඟින් පැහදිලි වේ. ආකේඩියානු
යුගයේ දී අධිරාජ්‍යයාගේ ලේඛන කටයුතු සඳහා ද වැඩි වශයෙන් භාවිතා කොට ඇත්තේ වර්ධනය
වූ කීලාක්ෂර බව කියවේ.මේ යුගයේ දී එම අක්ෂර ආකේඩියානු යුගයටම විශේෂිත වූ ස්වරූප
ගත් බව කියවෙන අතර එනිසාම ඇතැම් විද්වතුන් එම අක්ෂර ආකේඩියානු අක්ෂර ලෙස ද
හඳුන්වනු ලබයි.සුමේරියානු යුගයෙන් පසුව ඉන් එපිට වූ බැබිලෝනියානු හා ඇසිරියානු
අවධි තුළට ද මෙම කීලාක්ෂර ක්‍රමය ව්‍යාප්ත වූ බව කියවේ.
සුමේරියානු අවධියේ අවසන් යුගයේ දී ෂුල්ගි නම් රජු
සුමේරියානු භාෂාව හා සාහිත්‍ය දියුණු කරනු වස් පාසැල් පිහිටවූ බව කියවෙන අතර
සාහිත්‍ය රචනය සඳහා විශාල වශයෙන් අනුග්‍රහය ලබා දුන් බවත්, ඔහු විසින්ම කාව්‍ය නිර්මාණයේ යෙදුණු බවත් සඳහන් වේ.“ Epic of Gilgamesh” නම් කාව්‍ය ග්‍රන්ථය මෙම යුගයේ තිබූ සාහිත්‍ය අභිවර්ධනයට ගත හැකි උචිත
නිදර්ශනයක් වන අතර එය උරුක් නගරයේ පාලකයෙකු වූ ගිල්ගමෙෂ් ගේ වීර ක්‍රියා ආශ්‍රයෙන්
රචනා කොට ඇත. ඒ අනුව ඉහත සඳහන් කරන ලද කරුණු ඔස්සේ සුමේරියානු සභ්‍යත්වය
යටතේ ඇති වූ භාෂාමය හා සාහිත්‍යමය අභිවර්ධනය මැනවින් හඳුනා ගත හැකි බව පැහදිලි සේම
එම අභිවර්ධනයන් තුළින් ඇතිවූ ප්‍රගමනය සුමේරියාවෙන් පසු සභ්‍යත්ව දක්වාත් ව්‍යාප්ත
වූ බව ගම්‍යමාන වේ.
3. කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය
උරුක් යුගයේ මුල් සමයේ දී පමණ එතෙක් පැවති අතින් සකස්
කරන ලද වර්ණාලේපිත මැටි බඳුන් වෙනුවට සකපෝරුවක් මඟින් සකස් කරන ලද මැටි බඳුන් භාවිතයට පැමිණෙන බව විද්වතුන් දක්වා
ඇත. තව ද මෙම මැටි බඳුන් මත අක්ෂර සටහන් කිරීම හා විවිධ මුද්‍රා සටහන් කිරීම ඔවුන්
විසින් සිදු කොට ඇති අතර ඒ තුළින් ඊට පෙර යුගයන්ට වඩා ඔවුන්ගේ සංස්කෘතිය තුළ ඇති
වූ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව කියවේ.
මූර්ති හා කැටයම්
කලාව ද සුමේරියානු සංස්කෘතික ක්ෂේත්‍රයේ තිබූ තවත් එක් විශේෂිත අංගයක් විය. සුමේරියන්වරු
ප්‍රවීණ මූර්ති ශිල්ප ක්‍රම අනුගමනය කළ බවත්, යථාර්ථවාදී වේශයෙන් තොරව එම මූර්ති සකස් කළ බවත් සඳහන් වේ. ආගමික ශ්‍රද්ධාව, දේශපාලන බලය, යුධමය බලය ආදිය මූර්ති හා කැටයම් ඔස්සේ නිරූපණය කිරීමට උත්සහ ගත් එසමයේ
කැටයම් කරුවන්ගේ නිර්මාණ ඒ හේතුව නිසාම තරමක් රළු හා දරදඬු ස්වභාවයක් ගත් බව ද
කියවේ. ප්‍රතිමාවල හිස සහ මුහුණ සවිස්තරාත්මකව හැඩ කළ ද ශරීරය ඇඹීමේ දී එය එතරම්
සූක්ෂමව සිදු නොකළ බව සඳහන් වන අතරම එහි ජ්‍යාමිතික මිනුම් පමණක් ගෙන දළ ස්වරූපයක්
පමණක් පෙනෙන ලෙස මිනිස් ශරීර නිර්මාණය කළ බව කැණීම් ඔස්සේ සොයා ගත් ප්‍රතිමා
විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලිව පෙනී යන කරුණක් වේ. සුමේරියානු කැටයම් හි
ශිල්පීය ක්‍රමවේදය වනුයේ සමතලා මැටි පුවරුවක තරමක් නෙරා සිටින සේ කැටයම සකස් කිරීම
බව කියවේ.ඒ අනුව ජෙම්ඩට් නසර් යුගයේ අවසන් භාගයට අයත් රජු හා බැටළුවන් සිටින
මූර්තිය සහිත ඵලකය විශේෂිත වන අතර නරම් සිං රජු යුධ ජයග්‍රහණයක් සමරන අවස්ථාව
රැගත් කැටයම ද මේ යුගයට අයත් කැපී පෙනෙන කලා නිර්මාණයන් වේ. අංගසම්පූර්ණ මූර්තියක්
ලෙස අක්කඩ් හි සාර්ගොන් රජුගේ උඩුකය දැක්වෙන මූර්තිය දැක්විය හැකි අතර එවැනි
මූර්ති පාෂාණ හෝ ලෝහ භාවිතයෙන් සකස් කළ බව ද සඳහන් වේ.
වාස්තු විද්‍යාව යටතේ මූලිකවම දේවස්ථාන ඉදි කිරීම කැපී
පෙනෙන අතර ධවල දේවස්ථානය, ඉයන්නා දෙව්
දුවගේ දෙවොල හා සිගුරට් දෙවොල ඉන් ප්‍රධාන වේ. සුමේරියානු ගෘහ නිර්මාණ හා ඉදි
කිරීම් ක්ෂේත්‍රයේ නවෝදයක් පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මෙම සිගුරට් දෙවොල දැක්වෙන්
අතර එහි විශාලත්වය හා අභ්‍යන්තර සැළැස්ම
ආදිය එසමයේ තිබූ උසස් වාස්තු විද්‍යාත්මක හැකියාවන් පෙන්නුම් කරන්නක් බව
විද්වතුන්ගේ මතයයි. ඊට අමතරව නිවාස ඉදි කිරීමේ දී එක් පවුලක ප්‍රමාණයට ඉදි කරන ලද
නිවාස වෙනුවට වඩා වැඩි පිරිසකට රැස් විය හැකි පරිද්දෙන් එම නිවාස ඉදි කර තිබෙන
ආකාරයත් පසු කාලීන කැණීම් ඔස්සේ හමුවී තිබූ නටඹුන් ඔස්සේ පැහදිලි වේ. ඒ අනුව
සුමේරියානු යුගයේ කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය ද එසමයේ තිබූ උසස් සංස්කෘතික
අභිවර්ධනය මැනවින් පෙන්නුම් කරන්නක් බව ඉහත නිදසුන් ඔස්සේ ගම්‍යමාන වේ.
Interesting
ReplyDelete