1857 කැරැල්ල ජාතික නිදහස දිනාගනු වස් කරන ලද සටනක් වූ අතර එය ඇතැම් උගතුන්ට අනුව ජාතික ව්‍යාපාරයක පෙර නිමිත්තක් ද විය. ඉන්දියානුවන්ට නිසි පරිදි නොසලකන්නේ නම් මතු දිනෙක බ්‍රිතාන්‍යන්ට අත්විය හැකි ඉරණමක පෙර නිමිත්තක් මෙම 1857 කැරැල්ල ඔස්සේ පෙන්නුම් කළ බව එම උගතුන් වැඩි දුරටත් සිය මතයන් ඔස්සේ දක්වා ඇත. කෙසේ නමුත් මෙම සටන අවසානයේ දී ඉන්දියානුවන් පරාජයට පත් වීමත් බ්‍රිතාන්‍යයෝ නැවත සිය බලය තහවුරු කර ගැනීමත් සිදු විය. ඉන්දියානුවන්ට සිය කැරැල්ලේ මූලික අරමුණ වූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීම ඉටු කර ගැනීමට අපොහොසත් වූවත් එම කරැල්ලෙන් අත් කරගත් අතුරු ප්‍රතිඵල රාශියක් වූ බව කියවේ. 19 වන සියවසේ විසූ උගත් හා පළපුරුදු ආංගල ඉන්දියනු පරිපාලකයෙකු වූ සර් ලේපල් ග්‍රිපින් 1857 කැරැල්ලේ ප්‍රතිඵල පිළිබඳව මෙසේ සිය අදහස ඉදිරිපත් කොට ඇත.
“...ඉන්දීය
අම්බරය මේඝ මාලාවෙන් තොර කැරුණේ ය. සියක් වසරක් පමණ වූ සිය ජීවිත කාලය තුළ දී
විශිෂ්ට සේවයක් කළ ද මේ වන විට අලස බවට පත් ව, අධික
සුඛොපභොගිව තව දුරටත් පවත්වා නො ගත හැකි තත්වයට පත් වූ යුද්ධ හමුදාවක් එ මඟින්
විසුරුවා හැරුණේ ය. ඒය අප්‍රතිගාමී, ආත්මාර්ථකාමී වාණිජ්‍යමය
පරිපාලන ක්‍රමයක් වෙනුවට උදාර බුද්ධි මත් වූ ප්‍රබුද්ධ වූ ආණ්ඩු ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය
කර ලූයේ ය....”
ඒ අනුව 1857 කැරැල්ලෙන් ඇති වූ බොහෝමයක් ප්‍රතිඵල පාහේ
දීර්ඝ කාලීන ඒවා වූ අතර ඇතැම් ප්‍රතිඵලයන් ඉන්දියාවට යහපත් ආකාරයෙන් බලපෑ ප්‍රතිඵලයන්
වූ බව ද සඳහන් කළ හැකිය.
සමාගමේ පරිපාලනය අවසන් වීම
කැරැල්ල නිසා උද්ගත වූ වැදගත්ම ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය
රජය විසින් ඉන්දියාවෙන් ඔවුන්ගේ සමාගම් පාලනය හකුළා ගැනීමයි. 1858 දී පනතක් සම්මත කරන ලද බ්‍රිතාන්‍ය රජය ඉන්දියාවේ
පරිපාලනය කිරීටය හෙවත් රැජිණ යටතට පවරා ගත් බව සඳහන් වේ. මෙම පනත මඟින් සමාගමේ අධ්‍යක්ෂක
මණ්ඩලය අවලංගු කළ අතර ඉන්දියාවේ සමස්ත පාලනය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ
ඇමතිවරයෙකුට ලබා දුන් බව කියවේ. ඔහු ඉන්දියානු කටයුතු භාර ඇමතිවරයා වශයෙන් පත් වූ
අතර ඔහුට සහාය වීමට මන්ත්‍රී වරුන් 15 දෙනෙකු ගෙන් යුක්ත කවුන්සලයක් ද ආරම්භ කරන ලද බව සඳහන් වේ.
ඊට අමතරව ඉන්දියාවේ අග්‍රාණ්ඩුකාර තැන විසුරේ හෙවත් ප්‍රතිරාජයා
වශයෙන් නම් කළ බවත් ඔහු ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පරිපාලනය නියෝජනය කරන ලද නිසි
බලධරයා වූ බව ද කියවේ. කැනිං සාමි එලෙස පත් වූ පළමු ප්‍රතිරාජයා විය.
වික්ටෝරියා රැජින විසින් කරන
ලද ප්‍රකාශය
කැරැල්ල අවස්ථාවේ දී බ්‍රිතාන්‍ය මහ රැජින වූ වික්ටෝරියා
රැජින සමාගම් පරිපාලනය අවසන් කරමින් ඉන්දියාව කිරීටය යටතට ගන්නා ලද බව දක්වමින්
කරන ලද ප්‍රකාශය මෙය වන අතර එය 1858 නොවැම්බර් මස 1 වැනි දින අලහබාද් හි රාජ සභාවේ දී ප්‍රකාශයට පත් කරවන
ලදී. එම ප්‍රකාශය නම් මෙසේය.
“... ඉන්දියානු කුමාරවරුන්ගේ පක්ෂපාතීත්වය බ්‍රිතාන්‍යන්
වෙත දිනා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කෙරුණි. ඔවුන් හා වෙළෙඳ සමාගම අතර
ඇති වූ සියළු ගිවිසුම්වලට ගරු කරන බවට මේ මඟින් සහතික කෙරුණි. ඔවුන්ගේ පාලනය යටතේ
පැවති පළාත් බ්‍රිතාන්‍ය පාලනය වෙත පවරා නොගන්නා බවට සහතික විය. පුතුන් හා දරුකමට
හදා ගන්නා අයගේ අයිතිය තහවුරු කෙරුණි. බ්‍රිතාන්‍ය රජයේ අවශ්‍යතාවන්ට හානිකර
අවස්ථාවල දී හැර මේ කුමාරවරුන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශවල කටයුතුවලට ඇඟිලි නො
ගසන බවට සහතිකයක් ද විය. එසේ වුව ද ඔවුන්ගේ හමුදා ශක්තිය අඩු කර ගන්නා ලෙස නියෝග
කෙරුණි. කුලය, වර්ගය හෝ වර්ණය නොතකා සියලු ඉන්දියානුවන්ට
තමන්ගේ සුදුසුකම්වලට උචිත නිලතල දෑරීමට නිදහස ලැබෙන බව ප්‍රකාශය මඟින් සහතික කරන
ලදී... බ්‍රිතාන්‍ය පුරවැසියන් මරා දැමීමට වරදකරුවන් වූ අයට හැර කරැල්ලට සම්බන්ධ
වූ අන් සියලු දෙනාට පොදු සමාවක් ලැබෙන බව ප්‍රකාශනයෙන් කියැවුණි. ඉන්දියාවේ
කර්මාන්ත අභිවර්ධනයට බ්‍රිතාන්‍ය ඉන්දියානු රජයේ සම්පූර්ණ ආධාර ලැබෙන බවට සහතික
කෙරුණු අතර, ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමටත් පොදු
සේවාවන් දියුණු කිරීමටත් ප්‍රතිඥා දෙන ලදී…”
ඉන්දියානුවන්ට
ආගමික නිදහස ලැබීම
වික්ටෝරියා රැජිනගේ ප්‍රකාශය යටතේ ඉන්දියානුවන්ට තම තමගේ
ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස ලැබුණු බව සඳහන් වේ. ඒ අනුව ඉන්දියානුවන් ක්‍රිස්තියානිකරණයට
ලක් වීමට තිබූ ඉඩකඩ යම් තරමක් දුරට ඇහිරී ගිය බවත් එනිසාම ඉන්දියානුවන් තුළ වූ
අනවශ්‍ය බිය ඉන් පහව ගිය බවත් දැක්වීමට හැකිවේ. මන්ද යත් 1857 කැරැල්ල ඇති වීමට මූලිකම හේතුවක් වූ ඉන්දියානු ආගම්
කෙරෙහි ඇති වූ අවමානය හා ඉන්දියානුවන්ට ක්‍රිස්තියානිකරණයට ලක් වීමට සිදු වීම ආදිය
නිසාවෙන් වික්ටෝරියා රැජින විසින් කරන ලද එම ප්‍රකාශය ඉන්දියානු ආගමික නිදහස
මැනවින් තහවුරු කරන්නක් බව පහැදිලි වේ.
බ්‍රිතාන්‍ය යුධ ශක්තිය ප්‍රතිසංවිධානය
කිරීම
බ්‍රිතාන්‍ය හමුදාව තුළ ඉන්දියානු භටයින්ගේ සංඛ්‍යාව
අනුපාතයක් ලෙස ඉහළ අගයක සිටීම ද 1857 කැරැල්ලට බලපැ
ප්‍රභල හේතුවක් වූ බව ඉහත ද සඳහන් කරන ලදී. මේ පිළිබඳව අවධානය යොමු කළ බ්‍රිතාන්‍යන්
ඒ සඳහා සිය හමුදාවන් තුළ බ්‍රිතාන්‍ය භටයින් ප්‍රමාණය ද ඉහළ නැංවීමට තීරණය කළ බව
සඳහන්වේ. එහි දී කාලතුවක්කු හා වෙනත් බලවත් යුද්ධායුධ භාවිතා කිරීමේ බලය බ්‍රිතාන්‍ය
භටයින්ට පමණක් සීමා වූ අතර ඉන්දීය භටයින් තුළ ජාතිකානුරාගී හැඟීම් ඇති වීම මැඩලනු
පිණිස ඉන්දියානුවන් තුළම වූ එකිනෙකා හා සහයෝගයක් නොමැති විවිධ ජනවර්ග හා ආගම්වලට
අයත් පිරිස් භටයින් ලෙස තම හමුදාවන්ට බඳවා ගත් බව කියවේ. එලෙස බඳවා ගත් ඉන්දීය
භටයින් රඳවනු ලැබුවේ ද එතරම් සංග්‍රාමික වශයෙන් වැදගත් කමක් නොවුණු කලාපවල බව ද
සඳහන් වේ.
ඉන්දීය දේශීය පාලනයේ අවසානය
සිදුවීම
කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස කැරැල්ල සිදු වෙමින් පවතින
කාලය අතරතුරදී ම මූගල් පාලක බහදූර් ෂා හා ඔහුගේ පුතුන් දෙදෙනා අල්ලා ගත් අතර 1862 දී බහදූර්ෂා ගේ
මිය යෑමත් සමඟ මූගල් පාලනය හා තනතුර බ්‍රිතාන්යන් විසින් අවසන් කරනුයේ ඔහුගේ
පුතුන් දෙදෙනා ඊට පෙර ඝාතනය ලක් කරමිනි. ඊට
අමතරව පේෂ්වා තනතුර ද බ්‍රිතාන්‍යන් විසින් අවලංගු කරනු ලබන්නේ එයට හිමි කම් කියූ
නානා සහීබ් සොයා ගනීමට අපහසු වූ නිසාවෙනි. ඒ අනුව කිසිදු දේශීය පරිපාලකයෙකුගේ
පරිපාලනයක් නොමතිව ඉන්දියාව පූර්ණ වශයෙන්ම බ්‍රිතාන්‍ය රජයේ පාලනයට නතු වීම ද 1857 කැරැල්ල ඔස්සේ සිදුවූ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස ද
හඳුන්වා දිය හැකි බව ඉහත කරුණු ඔස්සේ පැහැදිලි වේ.
ඉන්දියාව විශාල වශයෙන්
ආර්ථික සූරාකෑමකට ලක් වීම
කැරැල්ල අවසන් වූයේ ඉන්දියාව බ්‍රිතාන්‍යන්ගේ කසල ගොඩ
බවට පත් වීමෙන් බව උගතුන්ගේ මතයයි. බ්‍රිතාන්‍යයෝ ඉතා දැඩිව තම රටට යවන ලාභය උපරිම
කරගනු වස් ඉන්දියානු සම්පත් සූරා කෑ අතර එනිසා ඉන්දියානු ආර්ථිකය සීඝ්‍රයෙන් පහතට
ඇද වැටුණු බව කියවේ. මේ පිළිබඳව කරුණු දක්වන ඉතිහාසඥයෙකු වූ ආර්. සී. මජුම්දාර්
මහතා මෙසේ දක්වා ඇත.
“...පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ බිඳ වැටීම ඉන්දියාවට ආර්ථික
වශයෙන් මහත් සේ හානි දායක විය. බ්‍රිතාන්‍ය නිෂ්පාදන අසීමිත ලෙස ආනයනය කරන කසල
ගොඩක් බවට ඉන්දියාව පත් වූ අතර, දුම්රිය මාර්ග, දුම් කෝච්චි, තේ වගාව, කෝපි වගාව වැනි අංග දියුණු කරමින්
බ්‍රිතාන්‍ය වාණිජ හා කාර්මික ක්ශේත්‍රයට අවස්ථා සලසා දීම සඳහා ඉන්දියානු ප්‍රාග්ධනය
නිර්දය ලෙස යොදා ගන්න ලදී...”
එම ප්‍රකාශයෙන්ම 1857න් පසු බ්‍රිතාන්‍යන් ඔස්සේ ඉන්දියානු ආර්ථිකය කෙතරම් සූරා කෑමකට ලක් වුණි දැයි
හඳුනාගත හැකි අතර එය 1857 කැරැල්ලෙන්
ඇතිවූ ප්‍රතිඵල අතරින් ඉන්දියාවට අයහපත් ලෙස බලපෑ තවත් එක් ප්‍රතිඵලයක් වූ බව ද
සඳහන් කල හැකිය.
ඉන්දියාව කොටස් දෙකකට බෙදීම
ඉන්දියාව තුළ හින්දූන් හා මුල්ස්ලිම්වරුන් ආගමික මතයන්
මත යම් විරසක ඇති කරගෙන සිටියා වූවත් 1857 කැරැල්ල සමයේ දී ඔවුන් දේශානුරාගයෙන් ඔද වැඩී එකාමෙන් කටයුතු කරමින් බ්‍රිතාන්‍ය
සමාගමට විරුද්ධව ක්‍රියා කළ බව ඉහත සඳහන් කරන ලද නිදසුන් ඔස්සේ පහැදිලි වන කරුණකි.
එබවින් කැරැල්ල ඔස්සේ ඇති වූ මෙම සමඟි සංධානය බිඳ හෙළීම ඉන්දියාව බ්‍රිතාන්‍ය
පරිපාලනයට යටත් කර ගැනීමේ පහසුම මඟ ලෙස සැලකූ බ්‍රිතාන්‍යයෝ පළමුව මුසල්මානුවන්ට
විරුද්ධව හින්දූන්ට අනුග්‍රහ දැක්වීම සිදු කළ බව කියවේ. නමුත් කෙටි කලෙකින් එම ප්‍රතිපත්තිය
අත්හැරි ඔවුන් හින්දූන්ට විරුද්ධව මුසල්මානුවන්ට සහාය දැක්වීම සිදු කළෝය. බ්‍රිතාන්‍යන්ගේ
මෙම ක්‍රියකලාපයේ අවසාන ප්‍රතිඵලය වූයේ 1947 දී ඉන්දියාව තුළ ඉන්දියාව හා පකිස්ථානය නමින් කොටස් දෙක ඇතිවීම බව
විද්වතුන්ගේ මතයයි. ඒ අනුව බ්‍රිතාන්යන් විසින් හින්දූන්ට හා ඉස්ලාම් භක්තිකයන්ට
දෙයාකාරයකට සහාය දක්වමින් සිදු කළ ක්‍රියාමාර්ගයේ අවසානය වූයේ ඉන්දියාව දෙකඩ
වීමෙන් බව ඉහත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.
ඉන්දියානුවන් තුළ යළිත්
දේශානුරාගය මතුවීම
1857 කැරැල්ලෙන් ඇති වූ ප්‍රබෝධය එය අසාර්ථක වීමෙන් නොනැසුණු
බව විද්වතුන්ගේ මතයයි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක සිරවී කල් ගෙවීමට වඩා තමගේ දේශය
ඔවුන්ගෙන් මුදවා ගැනීම වටිනා බව තේරුම් ගත් ඉන්දියානු ජනයා ඒ සඳහා 1857 කැරැල්ලේ ජාතිකවාදී හැඟීම් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
කැරැල්ලේ දී තම ප්‍රාණය පුද කරන ලද නායකයින් වීරයන් ලෙස සැලකූ ඉන්දියානුවන් ඔවුන්ගේ
කාර්යභාරය අපතේ යෑමට නොදී එම කැපකිරීම් පදනම් කර ගනිමින් ක්‍රමයෙන් ඉන්දියානු
ජාතික ව්‍යාපාරයකට අඩිතාලම දැමූ බව කියවේ. ඒ අනුව 1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගනු පිණිස ඇති කරන ලද ජාතික ව්‍යාපාරයේ
වර්ධනය සිදු වනු දැකිය හැකි අතර ඒ සඳහා මූලික පදනම වූයේ 1857 කැරැල්ලෙන් ඇති වූ ජාතිකානුරාගය ප්‍රමුඛ කොට ගත් හැඟීම
බව ඉන්දියානු නිදහස් සටන් පිළිබඳව දැක්වීමේ දී ඉතිහාසඥයින්ගේ මූලිකම තර්කය වී ඇත. ඒ
පිළිබඳව කරුණු දක්වන ඉතිහාසඥයින් අතර ආර්. සී මජුම්දාර් මහතා වැදගත් වන අතර ඔහු
විසින් සමස්තයක් ලෙස 1857 කැරැල්ල
පිළිබඳව දක්වන ලද අදහස මෙසේය.
“...මළ ජුලියස් සීසර් ජීවත්ව සිටි ජුලියස් සීසර්ට වඩා
බලවත් ය, යන කියමනක් ඇත.1857
කැරැල්ල ගැන ද කිව යුත්තේ එය ම ය. එහි මූලික ස්වරූපය කෙබඳු වුව ද කැරැල්ල මහා
බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එල්ල වූ අභියෝගයේ සංකේතය විය. බ්‍රිතානය අධිරාජ්‍යයෙන්
නිදහස ලැබීමේ උදාර අරගලයට 1857 කැරල්ලෙන් සැපයුණු අගනා
නිදසුන හැම දා බැබලෙන සංකේතයක් විය...”
Good content
ReplyDeleteSuperb
ReplyDelete