Sunday, April 26, 2020

ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා ශ්‍රී ලාංකීය ආර්ථික ක්‍රියාවලියට පාලකයන්ගෙන් ලැබුණු අනුග්‍රහය



ක්‍රි.පූ 6 වන සියවසේ සිංහල ජාතියේ උපත සිදු වූ බව පැවසූවත් ඊට පෙර අවධියක සිටම ලක්දිව ජනාවාස වී පැවති බව තහවුරු කෙරෙන්නා වූ පුරාවිදු සාධක වත්මනෙහි හමුවී ඇත. කෙසේ නමුත් මහාවංශ විස්තරයේ සඳහන් අන්දමට විජයාවතරණය සමඟ මෙරට ඇතිවූ ජනාවාස ව්‍යාප්තිය ඔස්සේ අනුරාධපුර අගනගරය බිහිවූ අයුරුත්, පණ්ඩුකාභය රජු එහි මුල් පාලකයා වූ අයුරුත්, එතැන් සිට අනුරාධපුර යුගයේ විකාශනයත් මහාවංශ කතුවර මහානාම හිමියන් විස්තර කොට ඇත. මෙරට පාලක පක්ෂය යනු කිසියම් කාලයක් රට පාලනය කරා වූ එරටේ ජනතාවගේ ප්‍රථම පුරවැසියා හෙවත් ජනතා
නියෝජිතයා වූ රාජකීයන්ගෙන් සැදුම්ලත් රාජ පරම්පරාවයි. ලාංකීය වැඩවසම් ක්‍රමය ඔස්සේ පරම්පරානුගතව රජකම ද පැවත ආ බව මූලාශ්‍රවල දැක්වෙන අතර අනුරාධපුර යුගයේ අවසානය දක්වා මෙරට විසූ පාලක පක්ෂයේ අනුග්‍රහයෙන් මෙරට ඇති වූ ආර්ථික ක්‍රියාවලියේ සුවිශේෂී සංධිස්ථාන පහතින් විස්තර කෙරේ. අනුරාධපුර යුගයේ ලංකික ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම පැවතියේ කෘෂිකර්මාන්තය හා සත්ව පාලනය, වෙළඳාම හා රැකියා ක්‍රම,වාරි කර්මාන්තය හා බදු වර්ග ,ඉඩම් භුක්තිය හා බදු වර්ග ආදී වශයෙනි. මන්ද යත් ආර්යයන් මෙරට ජනපද පිහිටුවා ගත් සමයේ ලැබී ඇති පුරාවිදු සාධකවලට අනුව ඔවුන් සිය මව් රටින් රැගෙන ආ ආර්ථික රටාවම මෙරට පවත්වාගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසාවෙනි. ඒ අතුරින් ප්‍රධාන තැනක් ගන්නේ කෘෂිකර්මාන්තයයි.


කෘෂිකර්මාන්තය දිවයිනේ මුල් කාලීන කෘෂි ඉතිහාසය පිළිබඳ මූලික තොරතුරු ඉදිරිපත් වී නැතත් ලංකාවේ කෘෂි කාර්මික ආරම්භය ක්‍රි.පූ 6න් පමණ ආරම්භ වෙනු දක්නට ලැබේ.ගින්දර සොයා ගැනීමත් සමඟ එළි කරගත් ඉඩම් තුළ වර්ෂා සමයන්වල වගා කරන්නට ඇතැයිද ඒවා හේන් ගොවිතැන් හෙවත් "සේණ"නම් වූ බවත් ,මහාවංශයේ දැක්වේ. තවද ගෝදුම්(තිරිඟු), යව(බාර්ලි), කංග(තෘණ හාල්), චරක(වරා), තුදුසක(අමු) ආදී වගාවන්ද මෙම හේන්වල වගාකල බව කියවේ.කාවන්තිස්ස රජ සමයේ රුහුණු ගිරි ජනපදයේ එක පවුලේ සොහොයුරන් පස් දෙනෙකු මෙලෙස උඳු වැවීම සඳහා හේනක් සකස් කළ බව මහාවංශයේ දැක්වේ.නමුත් ලංකාවේ ප්‍රධාන වගා ක්‍රමය වූයේ වී ගොවිතැනයි.දේශීය පාලකයන් බොහෝමයකගේ අනුග්‍රහය හිමිවූ වී වගාව එකල ගොවියන් කන්න 3ක් යටතේ වගා කල බව සිරි මේඝවර්ණ රජුගේ (301-328) තෝණිගල සෙල්ලිපියේ දක්වා තිබේ."පිට දඩ හස, මදෙ හස ,අකල හස"ලෙස මේවා හැඳින්වූ බව පරණවිතාන මහතාගේ මතය වේ. ඇල් වී හෙවත් ශාලී ගොඩ ගොවිතැනේදී වගාකල අතර එම ගොවි බිම් වැසි දියෙන් ජලය ලබා ගන්නා ප්‍රදේශ විය. වැව්, ගංඟා, විල් ආසන්න ඉඩම්වල මඩ ගොවිතැන සිදුකොට එහි මා වී වගා කොට ඇත.මෙම ගොඩ ගොවිතැන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බව හොඳින්ම පැහැදිලි වන්නේ දුටුගැමුණු රජුගේ පුත්‍රයා වූ සාලිය කුමරු උපන් වසරේ සිට වසර 12ක් ගතවන තෙක් ලංකාවේ ඇල් වී වගාව ඉතා සශ්‍රීකව තිබූ බව සීහලවත්ථූපකරණයේ හා මහාවංශ ටීකාවේ ඇති සඳහනින්ය. මේ හේතුවෙන් කුමරු "සාලිය "නම් වූ බව එහි තවදුරටත් දැක්වේ. කාවන්තිස්ස රජු රෝහණය එක්සත් කිරීමට උත්සහ ගත් අවධියේ දී ඔහු විසින් තම පුතුන් දෙදෙනා වූ ගැමුණු හා තිස්ස පිළිවෙළින් මාගම හා දිගාවැව අස්වැද්දීමට යොමුකළ බව දැක්වේ. ගැමුණු කුමරු අනුරාධපුරය මුදා ගැනීමට යන අතරතුර දී තවදුරටත් සිය මලණුවන් ලවා දිගාවැව අස්වද්ද්වා තම සේනාවට ආහාර සපයා දුන් බවත් කියවේ. ඔහු මහරජු වූ පසුවත් ලක් වැසියා ගොවිතැන හා කෘෂිකර්මය කෙරෙහි උනන්දු කල බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ. තවද මහා චූළික මහා තිස්ස රජ සමයේ (ක්‍රි.පූ.77-63) ඔහු විසින් ගොවිතැන් කරනා ශ්‍රමිකයෙකු ලෙස වෙස් ගෙන අස්වනු නෙළීමේ කටයුතුවලට දායක වූ බවත් එයින් ලැබුණු වේතනය සංඝයාට දන් දුන් බවත් කියවේ.මෙයින් පැහැදිලි වන්නේ එකල ගොවිතැනට යොදා ගන්නා ශ්‍රමිකයන්ට වේතනයක් ද ගෙවා ඇති බවයි.අනුරපුර යුගයේ ආර්ථිකය ශක්තිමත් කල තවත් කෘෂි අංශයක් වූයේ මහා පරිමාණ වගාවන්ය.එහිලා පොල් වගාව වැදගත් තැනක් ගනී. මන්ද පළමු වරට දුටුගැමුණු සමයේ මෙරට අසන්නට ලැබෙන මෙම වගාව පිළිබඳව i අග්බෝ රජු දවස (571-604) මන්නාරම අසල භූමියක යොදුන් 3ක් දිග පොල් වත්තක් වූ බව වංශ කතාවේ දැක්වෙන නිසාය.පොල් වගාව වියළි කලාපීය ප්‍රදේශවල ආහාර පිසීමට,ගෘහ නිර්මාණ අදියට ප්‍රයෝජනවත් වගාවක් වන්නට ඇතැයි සිතිය හැක.ඉහත පරිදි රජවරුන්ගේ කෘෂිකාර්මික අනුග්‍රහ දැක්විය හැකි වුවත් විවිධ ස්වභාවික හේතූන් මත සාගත ආදී තත්ව ඇති වීමෙන් ආර්ථිකය අඩාල වන අවස්ථා ද මේ යුගයේ දක්නට ඇත.එවන් අවස්ථා තුළ ද රටේ ආර්ථිකය බේරා ගැනීම සඳහා ලැබුණු රජවරුන්ගේ අනුග්‍රහයන් වංශ කතාවේ දැක්වේ.ඒ අතර දුටුගැමුණු රජ දවස (161-137) සිදු වූ "බුළු කෑ සාය" හෙවත් අක්කායික සාගතය වෙතින් රට වැසියා හා ගොවිතැන් බේරා ගනු වස් රජු සිය කුණ්ඩලාභරණය විකුණා මුදල් දුන් බව දැක්වේ.වළගම්බා රජ දවස (89-77) බලපෑ "බැමිණිතියා" සාගතය අවුරුදු කිහිපයක් අනුරපුර වැසියා පීඩාවට පත්කල බැවින් ඔවුන් ආහාර හිඟ වී මිනී මස් පවා අහාරයට ගත් බව කියවෙන අතර රජු විසින් ඊට මැදිහත්ව කටයුතු කර ඇත."එක්නැළි මහා සාය" සිදුවූ කුංචනාග රජ අවධිය,”රක්තාක්ෂී සාය ඇතිවූ සිරිසඟ බෝ අවධිය (ක්‍රි.ව.247-249) තුළ රජු විසින් රටට සෙත් පතා රුවන්වැලි සෑය අසල සත්ක්‍රියා කල බවත් සඳහන් වේ. ඉහත සියළු විස්තරවලින් පැහැදිලි වන්නේ අනුරපුර යුගයේ කෘෂිකාර්මික අංශයේ වර්ධනයට බොහොමයක් පාලකයන් සිය නොමඳ අනුග්‍රහය දක්වා ඇති බවත් දුශ්කර කාලවලදී ද එලෙසම සිය උපකාර තුළින් රට වැසියා තෘප්තිමත් කළ බවත්ය.

ඉඩම් භුක්තිය හා බැඳුණු බදු වර්ග ඉන්දියාවේ ඉඩම් භුක්තිය පිළිබඳ සිද්ධාන්තය වන්නේ "රටේ සියළුම ඉඩම් එරට පාලනය කරන්නාවූ රජුට අයත්"යන අර්ථශාස්ත්‍ර ප්‍රකාශයයි. නමුත් ඉන්දියානු බලපෑම මත ලංකාව ජනාවාස වීම බොහෝ විට සිදු වූවත් ඉඩම් භුක්තිය පිළිබඳ අදහස් එසේ නොවුණි.විශාල ඉඩම්වලට අයිතිවාසිකම් කියන්නාවූ පෞද්ගලික ඉඩම් හිමියන් බොහෝවිට ලංකාවේ සිට ඇත.ඒ අතර රජවරුන්ගේ අනුග්‍රහය යටතේ මිලදී ගෙන හෝ උරුමයෙන් ලැබී මෙලෙස ඉඩම් දන් දුන් හෝ ගම්වර ලෙස ලබා දුන් අවස්ථා මහවංශය, සීහලවත්ථූපකරණය ආදී ග්‍රන්ථවල දැක්වේ.ඒ අතර ගජබාහු රජු (111-136) සිය මව සමඟ කහවණු ලක්ෂය බැගින් ගෙවා ඉඩම් ලබාගෙන මිරිසවැටියට පූජාකළ බව දැක්වේ.තවද අවසන් මෞර්ය වංශික පාලකයා වූ සුභ රජු (67-111) "උපලදෝණික" නම් වැවක් වැව් හිමියාගෙන් මිලට ගෙන තමා විසින් ඉදිකල "එකදොරිය" විහාරයට පූජාකල බව දැක්වේ. සීගිරි කාශ්‍යප රජු ඉසුරුමුණි විහාරයට ඉඩමක් පූජා කිරීමට එය මිලදී ගත් බවද කියවෙන අතර මෙම කරුණු මඟින් එකල වැසියාට ඉඩම් අයිතිය තිබූ බවට පැහැදිලි වන නමුත් ගයිගර් මහතාගේ මතයට අනුව මෙලෙස ඉඩම් හිමියන් වූයේ "පරුමුක" වරුන් බව සඳහන් වේ. කෙසේ නමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙසේ ඉඩම් ලද්දන් "කැබලි ලද්දන්" හෝ "පමුණු ලද්දන්" වූ අතර "දිවෙල්" නම් වූයේ පාලකයන් විසින් ජීවන වෘත්තිය උදෙසා පවරා දෙනු ලැබූ ඉඩම්ය.එලෙස රාජ අනුග්‍රහයෙන් ඉඩම් ලබා දුන් රජුන් ලෙස දුටුගැමුණු රජු සිය දසමහා යෝධයින් හට හා සද්ධාතිස්ස රජු (137-119) තමන්ගේ ඇමතියෙකුට, iv දප්පුල රජු "අග්බෝ මුගයින්" නම් ප්‍රභූවරයෙකුටත් ඉඩම් ප්‍රදානය කර ඇත.ඉඩම් සඳහා ගෙවනු ලැබූ බදු පිළිබඳව එකල "කොණ්ඩවටවන" ලිපියේ දක්වා ඇති අතර සෑම ඉඩම් හිමියෙක්ම තම ඉඩම් ගොවීන්ට පවරා දී අස්වැන්නෙන් සම්මත ධාන්‍ය හෝ මුදල් ප්‍රමාණයක් අයකර ගතයුතු බව පෙන්වා දී ඇත.iv මිහිඳු රජුගේ (956-972) මිහින්තලා පුවරු ලිපියට අනුව රජුගේ පාලනය යටතේ මෙලෙස බදු රැස් කිරීමට සිටි නිළධාරීන් "රජ්ජක්ගාහක", "දොණමාපක" හෝ "කොටරැකි" ආදී වූ නම්වලින් හඳුන්වා ඇති බවත් ඔවුන්ගේ වගකීම වුයේ රජුගේ භාණ්ඩාගාරයට අයත් විය යුතු වී,ධාන්‍ය හෝ මුදල් ආදී බදු වර්ග ක්‍රමානුකූළව රැස් කිරීම ලෙස පාලි ජාතකට්ඨ කතාවේ අරුත් සපයා දී ඇත.එලෙස වැසියන්ගෙන් ලැබුණු බදු අතර "මෙලාට්සි, ඉරැය, බොජකපති, වැරිසාල්, කැති අඩ" ආදිය ප්‍රධාන වේ.

වාරි කර්මන්තය ලංකාවේ වාරි කර්මාන්තය ක්‍රි.පූ 6 දක්වා දිව යයි.මුල් යුගයේදී අහස් හා ගංඟා දියෙන් පමණක් කුඹුරු වගා කළ නමුත් පසුව ජලය රැස්කර ගැනීමේ ක්‍රමය මත වාරි තාක්ෂණය දියුණු වී ඇත.අනුරපුර යුගයේ පාලක පක්ෂයේ අනුග්‍රහයෙන් වැව් නිර්මාණය වූ ප්‍රධාන යුග 3කි. එනම්,
·       පණ්ඩුකාභය             -        වසභ
·       වසභ                     -        මහසෙන්
·       මහසෙන්ගෙන් පසු සමය
මුල් වරට වාරි කටයුතු හමුවන පණ්ඩුකාභය සමය ගම් වැව් නිර්මාණයේ ආරම්භයයි.අහස් දියෙන් ජලය ලබා ගෙන රජු විසින් "ජය වැව, ගාමිණී වැව හා අභය වැව (බසවක්කුලම) ඉදිකිරීමට කටයුතු කර ඇත. පසුව දේවානම්පියතිස්ස රජු (250-210) විසින් "තිසා වැවද", මහානාග යුවරජු විසින් "වළස් වැව" ද ඉදිකළ බව මහාවංශය විස්තර කරයි.තවද මේ කාලය වනවිට අනුරපුර හැරුණු විට රෝහණයේ ද "විහාර වැව, සුන්දරී වැව, ලහිය වසභ වැව" ආදී වැව් ද ඉදිවී තිබී ඇත. සද්ධාතිස්ස රජු විසින් "පදවිය, කටුන්නාරු, මාගළු" ආදී වැව් 18ක් කරවූ බවත් ඉළනාග රජු "දූරතිසා හා තිස්ස නමින් වැව් කරවූ බවත් චන්ද්‍ර මුඛ ශිව රජු "මාණික්කරගාම" වැව කරවූ බවත් තවදුරටත් දැක්වේ.මේ කාලයේ මෙම වැව් ඉදිකර ඇත්තේ ප්‍රධානවම මල්වතු, දැදුරු, කිරිඳි, මැණික් හා ගල් ඔය ආශ්‍රිත කරගෙන බව පෙනේ. වසභගෙන් පසු යුගය මෙරට වාරි තාක්ෂණයේ ස්වර්ණමය යුගය වන අතර ගම් වැව් මෙන් තුන් ගුණයක් විශාල වූ වැව් ඉදිවුණු මෙසමයේ වසභ රජු විසින් "මහවිලච්චිය, මානාකැටිය" අතුළුව විශාල වැව් 11ක් ද, කි.මී 44ක් දිග ඇළහැර ඇළ ඇතුළුව ඇළ මාර්ග 12ක් ද කරවූ බව දැක්වේ. සමෝච්ච රේඛා ඔස්සේ ඇළ මාර්ග නිර්මාණයට දැනසිටි මොහු "උමං ජල මාතිකා" හෙවත් උමං ජල මාර්ග ඔස්සේ අනුරපුර උයන් කරා ජලය ගෙන ගිය බව දැක්වේ.මහසෙන් රාජ්‍ය සමය මෙරට උසස්ම වාරි යුගය වන අතර ඔහු"මින්නේරිය, මාමිණියා, කෝකවාන, මහගල්කඩවල, මහකණදරාව ඇතුළු වැව් 16ක් ද "පබ්බතන්ත හා තලවතු ඇළද කරවූ බව දැක්වේ.විශාලතම වාරි කර්මාන්තය වූ මින්නේරියෙන් අක්කර 2000ක් පමණ කුඹුරු වගා කළ හැකි වූ බව පූජාවලිය කියයි.මහසෙන් රජු මින්නේරි දෙවියන් වූයේද මෙම සේවාව නිසා බැව් ජනවහරේ එයි. ඉන්පසු කුඩා තිස්ස රජු  තෝපා වැව ඇතුළු වැව් 6ක් කරවූ අතර ධාතුසේන රජු "කලා, මැදගමු, පරණගම" ආදී වැව්ද යෝධ ඇළ ද කරවූ බව දැක්වේ.ii මුගලන් රජු "නාච්චිදූව, පදවිය, ගිරිතර" වැව් ද මිණිපේ අමුණii අග්බෝ රජු චූලවංශයට අනුව වැව් 13ක් ද කරවූ බව සඳහන් වේ.මෙලෙස රජුගේ අනුග්‍රහයෙන් ඉදිකළා වූ වැව් පරිබෝජනය කිරීම වෙනුවෙන් වැසියා රජුට බදු ගෙවිය යුතු විය.එම බදු ලෙස "උදක භාග, දක භාග, මතෙර බොජකපති, මජිබත, පිසඹුරුවතආදිය මූලාශ්‍ර වල සඳහන්ව ඇත.

වෙළඳාම හා රැකියා ක්‍රම ලක්දිව ජනාවාස වීමටද වෙළෙඳ කණ්ඩායම්වල බලපෑම ලැබුණු බවට ඇති මතයන් නිසාම  ලංකාවට වෙළන්දාම නුහුරු දෙයක් වන්නට ඇතැයි සිතිය නොහැක.එබැවින් අනුරාධපුර යුගයේ ලක්දිව අභ්‍යන්තර වෙළඳාම ගත් කල පණ්ඩුකාභය රජ දවස එතුමාගේ නගර නිර්මාණ කටයුතුවල ඔහු විසින් වෙළෙඳුන් සඳහා "යෝහිපභාගවත්ථූප"නමින් වෙළෙඳ වීදි ඉදිකළ බව මහාවංශයේ දැක්වේ.දෙවන පෑතිස් රාජ්‍ය සමයේ ලංකාවේ දඹකොළපටුන හා මහාතිත්ථ වරායන් සමඟ ඉන්දියාවේ තාම්‍රලිප්ත වරාය සම්භන්ධ කොට සිදු කෙරුණු මහා වෙළඳාමක තොරතුරු මහාවංශ විස්තරයෙන් අනාවරණය වේ.එලෙසම සංඝමිත්තාව සමඟ පැමිණි අටලොස් කුලයක ශිල්ප ශ්‍රේණි හේතුවෙන් මෙරට "ගොපළු, කුඹල්, පෙහෙර, වඩු, ලෝහ, මැණික්" ආදී විවිද වෘත්තීන්ගේ ආරම්භය සිදු වීම දක්නට ලැබේ.මෙම රැකියා ක්‍රම රට තුළට ව්‍යාප්ත කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එකල දේවානම්පියතිස්ස රජු සිය අනුග්‍රහය ලබාදෙන්නට ඇතැයි ද සිතිය හැක. තවද කාවන්තිස්ස රජු නිසි ප්‍රදේශවල ආයුධ කම්හල් තනවා යුද්ධයට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරූ බව මූලාශ්‍රවල දැක්වේ.ඒ සමයේම සුරනිමල යෝධයා අනුරාධපුරයට යන මාර්ගයේ තිබූ වෙළඳසැලකින් සුවඳ ද්‍රව්‍ය මිලදී ගත් බවත්  විහාරමහා දේවියගේ දොලදුක සංසිඳවීම පිණිස වේළුසුමන යෝධයා තිසා වැවෙන් ජලය ලබා ගත් කළය අනුරපුර එවකට පිහිටා තිබූ "කුම්භකාර වීදියකින්" මිලදී ගත් බව සඳහන් වේ. ක්‍රි.ව. 4 හා 5 සියවස්වල අනුරාධපුර ප්‍රධාන වාසල් දොරටු හතරට නුදුරින් නියම් ගම් හෙවත් "නිගමස්ථාන" නමින් හැඳින්වූ වෙළෙඳ ගම් පිහිටුවා තිබූ බවත් ජාතක අටුවා ගැටපදයට අනුව මේවා"අංගානි"බවත් පැහැදිලි කර ඇත. තවද iv උදය රජුට (946-953) අයත් බදුළු ටැම් ලිපිය හෙවත් හෝපිටිගමුව ලිපිය මඟින් වෙළෙඳ නගර පාලනය සඳහා රජයේ නිළධාරීන්ට, වෙළෙඳන්ට හා වැසියන්ට ලබා දුන් නියෝගයන් මත එහි වෙළෙඳපොළ පාලනය කොටසේ ඇති "වණිග්‍රාම" යනු වෙළෙඳ ශ්‍රේණි බව පරණවිතාන මහතා අර්ථ දක්වා ඇත.ඒ අනුව අනුරාධපුර අවසානය වනවිට මෙරට රාජ්‍ය පාලකයන්ගේ අනුග්‍රහ සහිතව වෙළෙඳ ශ්‍රේණි පිහිටුවා තිබුණු බවට  එය සාක්ෂියක් වේ. ධීවර කර්මාන්තයද මෙරට රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව විද්වතුන් පවසයි.මන්ද "පිසඹුරුවත" යනුවෙන් එකල ලබාගෙන ඇත්තේ මසුන් ඇල්ලීම වෙනුවෙන් රජුට ගෙවන බදු වර්ගයක් බව ඔවුන් පැහැදිලි කරයි. viii අග්ගබෝධි රජු (804-815) අනුරාධපුර නගරය තුළට පොහොය දිනවලදී මසුන් රැගෙන ඒම තහනම් කිරීමත් අනෙක් දිනවලදී එයට අවසර ලබා දීමත් පිළිබඳ මහාවංශ විස්තරයට අනුව එකල රාජ්‍ය අනුග්‍රහය යටතේ ධීවර කර්මාන්තයද පවතින්නට ඇතැයි ද මෙම කරුණු මඟින් පැහැදිලි වේ.

එබැවින් අනුරාධපුර යුගය තුළ ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන විටදී රටේ ආර්ථික සංවිධානය එකල ප්‍රධාන ලෙසම කෘෂිකර්මාන්තය හා සත්ත්ව පාලනය,ඉඩම් භුක්ති ක්‍රමය හා එහි බදු, වාරි කර්මාන්තය හා එහි බදු, වෙළඳාම හා රැකියා ක්‍රම යන අංශයන් යටතේ මූලිකවම වර්ධනය වී තිබුණු බව කිව හැක.ඒ අනුව එවකට අනුරාධපුර පාලනය කල පාලකයන් විසින් ඔවුනොවුන්ගේ පාලන බලය මත මෙම ආර්ථික අංශ නඟාසිටුවීමටත් එවායින් රටට දියුණුවක් ලඟා කර දීමටත් කටයුතු කර ඇති බව දක්වන්නට පුළුවන. තවද මෙවැනි ආර්ථික අංශ දියුණු කිරීම තුළින් ඒ ඒ පාලකයාට රට තුළ තම පාලන බලය ස්ථාවර කර ගැනීමට ද හැකියාව ලැබුණු බවද ඉහත සඳහන් විස්තරවලින් පැහැදිලි වේ. එබැවින් කිව හැක්කේ අනුරාධපුර පාලකයන් විසින් දේශීය ආර්ථිකයට කරනු ලැබූ අනුග්‍රහයන්වල ගුණාත්මක භාවයන් තුළින් එම පාලකයන්ට විවිධ ප්‍රතිලාභ දිනාගැනීමට හැකියාව ලැබුණු බවත් දුර්වල ආර්ථික ශක්තියක් තිබූ සමයන් තුළ පාලකයන්ට වැඩි ප්‍රතිලාභයන් දිනා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් අනුරාධපුර යුගය අවසානය දක්වා ශ්‍රී ලංකීය ආර්ථික ක්‍රියාවලියට පාලකයන්ගෙන් ලැබුණු අනුග්‍රහය ඔවුන්ගේ පාලන තන්ත්‍රවල ගුණාත්මකභාවය හෝ දුර්වලත්වය පෙන්නුම් කරන බවයි.



Share:

facebook share twitter share

1 comment:

  1. අනුරාධපුරයේ මුල් කාලය මූල ඓතිහාසික යුගයට අයත් වෙනවාද?

    ReplyDelete