Monday, April 27, 2020

ඉන්දු-පකිස්තාන අරගලය ඇති වීමට මුල් වූ පොදු තත්වයන්



1.  භාෂා ගැටළුව


ක්‍රි.ව. 1900 පමණ වන විට ඇති වූ මෙම ගැටළුව හින්දි-උර්දු විවාදය ලෙස ද අර්ථ දක්වා ඇත. 1947 පමණ වන විට දී ඉන්දියාවෙන් පකිස්තානය සම්පූර්ණයෙන්ම වෙන් වන විටත් ඔවුන්ගේ භාෂාව උර්දු භාෂාව විය යුතු බව නිදහස් පකිස්ථානයේ නිර්මාතෘ වරයා වූ මොහොමඩ් අලි ජින්නා ප්‍රකාශ කොට තිබෙන බව කියවේ. ඒ අනුව උර්දු භාෂාව උත්තර ප්‍රදේශයේ උසාවි භාෂාව ලෙස භාවිතයට ගැනුණු බවත් අභියාචනා ආදී සෑම ලියවිල්ලක්ම මෙම භාෂාව ඔස්සේ සකස් කෙරුණු බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. නමුත් එම කලාපයේ ජීවත් වූ හින්දු ජනතාව ඊට විරුද්ධ වෙමින් සිය ඉල්ලීම් ඉදිරිපත් කරන්නට වූ බවත්, ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන් හට ද දේවනාගරී අක්ෂරයෙන් ලියවුණු හින්දී භාෂාවෙන් උසාවි කටයුතු කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටීම බවත් කියවේ. ඒ අනුව සියළුම උසාවි නියෝග, නිල ප්‍රකාශන ආදී සෑම රාජ්‍ය ලියවිල්ලක්ම හින්දි හා උර්දු යන භාෂා ද්විත්වයෙන්ම විය යුතු යැයි ජනතාව විසින් ප්‍රකාශයට පත් කළ බවත් කියවේ. ඒ අනුව රජය ද ඔවුන්ගේ ඉල්ලීමට අවස්ථාව ලබා දුන් බව සඳහන් වන අතර මුල් අවධියේ දී උර්දු භාෂව පමණක් යොදා ගත් ලේඛන සඳහා හින්දි භාෂාව යොදා ගැනීම මුස්ලිම්වරුන්ගේ විරෝධයට ලක් වූ බවත් කියවේ. මෙම හේතු සාධකය පදනම් කොට ගෙන මුස්ලිම් හා හින්දු ජන කොටස් අතර ප්‍රතිවිරුද්ධ මත ස්ථාපිත වී විවාදාත්මක ගැටළු උද්ගත වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වන අතර මෙම ගටළුවෙහි උච්චස්ථානය 1952 පමණ සිදු වූ බව ද එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව මෙම භාෂාමය විරෝධතවයන්ට පොලීසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වූ බව ද කියවේ. කෙසේ නමුත් මෙම හින්දු මුස්ලිම් විරෝධය ඉන්දු-පකිස්තාන අරගලය තුළට ද බලපෑ එක් සාධකයක් වූ බව උක්ත තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකි අතර මෙම සංසිද්ධිය සිදු වූ 1952 පෙබරවාරි මස 21 වන දින වත්මන වන විට යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක මව් භාෂා දිනය ලෙස ද නම් කර තිබෙන මූලාශ්‍රගත තොරතුරු ඔස්සේ හඳුනාගැනීමේ හැකියාව ඇත.




2.  බෙංගාල ප්‍රාන්තය බෙදීමකට ලක් කිරීම


ඉන්දු-පකිස්තාන අරගලය සඳහා බෙංගාල ප්‍රාන්තය බෙදීම ද ප්‍රභල හේතුවක් වූ බව විද්වතුන්ගේ මතයයි. ඒ අනුව 1905 දී කර්සන් සාමි විසින් පාලනයේ පහසුව පිණිස බෙංගාලය බෙදීම සිදු කළ බව කියවේ. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් එය සිදු කරන ලද්දේ අධිරාජ්‍යවාදී දේශපාලන න්‍යායක් වූ බෙදා පාලනය කිරීමේ සංකල්පයට අනුව බවත් එමඟින් ඔවුන් බලාපොරොත්තු වූයේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව නැඟී ආ ජාතික සංගමය අඩපණ කිරීම බවත් දැක්වේ. එමෙන්ම නැගෙනහිර බෙංගාලයේ බහුතරය වූයේ මුස්ලිම්වරුන් වන අතර බටහිර බෙංගාලයේ බහුතරය හින්දූන් විය. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලනය විසින් බෙංගාලය බෙදා පාලනය කිරීම ආරම්භ කිරීම හින්දූන් හා ඉස්ලාමිකයන් අතර වර්ගවාදී අරගල ඇති වීමට හේතුවක් වූ බව නිසඟයෙන්ම පෙනී යයි. එමෙන්ම එලෙස අරගල ඇති කර ගැනීම බ්‍රිතාන්‍යයන්ගේ අරමුණක් වූ බව ද ඉන් පැහැදිලි වේ.

මෙලෙස බෙංගාලය බෙදීමට ඉන්දියානු ජාතික සංගමය සෘජුවම විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති අතර ජාති, ආගම්, භේද නොසැලකූ බෙංගාල ප්‍රජාවද ජාතීන්ගේ සංගමයට සහාය දක්වමින් බ්‍රිතාන්‍යයන්ගේ එම තීරණයට විරුද්ධ වූ බව කියවේ. නමුත් මුස්ලිම් ලීගයේ ඇතැම් සාමාජිකයින් බ්‍රිතාන්‍යයන්ගේ මෙම තීරණයට පක්ෂ වූ බව සඳහන් වන අතර එයට මුල් වූයේ එලෙස පක්ෂපාතීත්වය දැක්වීම ඔස්සේ බ්‍රිතාන්‍යයන් විසින් බෙදීමකට ලක් කරන බෙංගාලයේ නැගෙනහිර කොටසේ මුස්ලිම් බහුතරය සහිතව  විශාල බලයක් හිමි කර ගැනීමට හැකියාව ලැබෙන නිසාවෙන් බව මූලාශ්‍රයන්හි දැක්වේ. එමෙන්ම එම බලය උපයෝගී කර ගනිමින් තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් එම කලාපයේ ව්‍යාප්ත කිරීමට හැකියාව ලබීම ද මෙම පක්ෂපාතීත්වය ලබා දීම කෙරෙහි බලපාන්නට ඇති බව කියවේ. ඒ අනුව මෙම සිදුවීමේ ප්‍රථිඵලය ලෙස මුස්ලිම්වරුන්ට වෙනම රාජ්‍යයක් අවැසිය යන මතය අලි ජින්නා මුල් කොට ගත් මුස්ලිම් සංගමයෙන් ඉදිරියට එනු දක්නට ලැබේ. එමෙන්ම ඔවුන් අපේක්ෂා කළ තනි මුස්ලිම් රාජ්‍යයට පන්ජාබය, වයඹ දිග ඉන්දියානු ප්‍රදේශ, කාශ්මීරය හා සින්ධ් යන ප්‍රදේශයන් අයත් විය යුතු බව ද මුස්ලිම් සංගමය යෝජනා කළ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.


3.  ඉන්දියාවට බලය පැවරීම හා කුමාර රාජධානිවල තත්වය


ජාතික සංගමයේ විරෝධතා නොසළකා මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම අනුව බලය පැවරීම සිදු කළ බවත් ඒ ඔස්සේ නව ප්‍රතිරාජයා වූ ලුවිස් මවුන්ට් බැටන් සාමි බලය පැවරීමේ දිනය ලෙස ජපානය ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කළ දිනය වූ අගෝස්තු 15 වන දින තෝරා ගත් බව ද සඳහන් වේ. ඒ අනුව වෙන් වූ ඉන්දියාවට හා පාකිස්තානය ස්වයං ආධිපත්‍ය හිමි වූ අතර බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට එක් වීමේ අයිතිය ද මෙම රටවල්වලට ලැබුණු බව සඳහන් වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මඟින් ද ඉන්දියාව පකිස්තානය නමින් වෙන්ව යෑම අනුමත කරන ලද අතර මේ සමඟම ඉන්දියාවේ කුමාර රාජ්‍යයන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තීන් ද අතැර දැමීමට කටයුතු කළ බව කියවේ. ඒ අනුව ඉන්දියාවේ එම කුමර පාලකයින්ට විකල්ප ක්‍රමවේද ත්‍රිත්වයකට කටයුතු කිරීමට හැකියාව ලැබුණු අතර ඉන් පළමුවැන්න ඉන්දියාව සමඟ එක් වීම, දෙවැන්න පාකිස්තානය සමඟ එක් වීම හා තෙවැන්න ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම ලෙස අර්ථ දක්වනු ලැබීය. එහි දී නවාබ්වරුන්, මහාරාජාවරුන් ආදීන් භූගෝලීයව තම පාලන ප්‍රදේශ පැවති ආකාරයන් සළකා පාකිස්තානයට එක් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒ අනුව උක්ත ඉන්දු-පාකිස්තාන අරගලය වසර ගණනාවක් මුළුල්ලේ ඇදී යාමට මෙම කරුණු පදනම් වූ බව කිව හැකි අතර මෙවැනි රාජ්‍යයන්වල අයිතිය තහවුරු කර ගැනීමට දෙරට අතර මහා පරිමාණ ගැටුම් ඇති වීම ඒ ඔස්සේ සිදු වූ බව පැහැදිලි වේ.


4.  බ්‍රිතාන්‍ය පාලකයන්ගේ වර්ගවාදී බෙදා දැක්වීම්


1906 පමණ වන විට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලකයා වූ මොර්ලි මින්ටෝ සාමිවරයා විසින් සිය පාලනය ඉන්දියාව තුළ ගෙන යන මුල් අවධියේ සිටම මුස්ලිම් හා හින්දි ජනතාව වෙන් කොට දක්වමින් වෙන්ව පාලනය කිරීම නොහොත් බෙදා පාලනය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කරවූ බව කියවේ. ඒ අනුව හින්දු හා මුස්ලිම් ජනතාව අන්‍යෝන්‍ය වශයෙන් වෙන් කර ගැනීම ඔවුන් විසින් සිදු කළ අතර ඔහුගේ එම ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඉන්දියානුවන් එකිනෙකාට වෙන් වූ ජාතීන් දෙකක් ලෙස ගොඩනැඟුණු ආකාරය හඳුනා ගත හැකිය. ඒ අනුව ඉන් පැහැදිලි වනුයේ එකිනෙකාට වෙන් වෙන් වූ වෙනම ජනවර්ග ලෙස බෙදීම ද මේ යුගයේ ඉන්දු පකිස්තාන අරගල ඇති වීම සඳහා බලපෑ ප්‍රධානතම හේතු සාධකයක් වන බවයි.

එමෙන්ම මින්ටෝ සාමිවරයා විසින් ගනු ලැබූ තවත් එක් බෙදා පාලනය කිරීමේ ක්‍රමවේදයක් වූයේ මුස්ලිම් ජනතාව ඉන්දියානු ජාතික සංගමය හා එක් වීම වැළක්වීමයි. ඒ සඳහා ඔහු සැලසුම් සහගතව විශේෂ ක්‍රියා පිළිවෙළක් සකස් කරන ලද බව සඳහන් වන අතර මුස්ලිම් ජනතාව සතුව පැවති බියෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, ඔවුනට නොයෙක් ප්‍රතිඥා දෙමින් ජාතික සංගමයෙන් ඔව්හු ඈත් කර තබා ගැනීමට කටයුතු කළ බව කියවේ. එබැවින් මෙවැනි තීරණ හින්දූන් හා මුස්ලිම්වරුන් අතර ඝට්ටනයකට හේතු වන්නට ඇති බව කිව හැකි අතර එනිසාම ඉන්දු-පකිස්තාන අරගලයටත් මෙම බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය හේතුවක් වන්නට ඇති බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.


5.  1909 දී ව්‍යවස්ථානුකූල පදනම මත මුස්ලිම්වරුන්ට වැඩි ආධිපත්‍යයක් හිමි වීම


මින්ටෝ සාමි විසින් ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනයන් සලකා බලා එය පුළුල් කිරීමට එවකට යටත් විජිත භාර ලේඛම් වූ මොර්ලි සාමි ඇතුළු කමිටුවක් පත් කරන ලද බව සඳහන් වේ. මෙම කමිටුවේ දී මුස්ලිම් ජනමතය ද නියෝජනය වන පරිදි ආගම් අනුව නියෝජන ක්‍රමයක් පිළිබඳව අදහසක් යෝජනා වී ඇති අතර ඒ ඔස්සේ මුස්ලිම් පිරිස් විසින් ඉල්ලීම් කරන ලද යෝජනා කිහිපයක් ඇතුළත් ලිපියක් ද අධිරාජ්‍යයා වෙත ඉදිරිපත් කළ බව සඳහන් වේ. එම ලිපියේ අඩංගු කරුණු පහත පරිදිය,

  • ව්‍යවස්ථාදායක සභාවේ නියෝජනය මුස්ලිම්වරුන්ට ද ලබා දීම
  • ඔවුන්ගේ නියෝජනය තීරණය විය යුත්තේ ජන සංඛ්‍යාව අනුව නොව ඔවුන්ගේ දේශපාලන වැදගත්කම හා ඔවුන් විසින් බ්‍රිතාන්‍යයේ පැවත්මට කරන ලද සේවය සැලකිල්ලට ගැනීමෙන් බව
  • ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයන්ට යම් යම් බලතල හිමි විය යුතු බව
  • රජ්‍ය සේවය, මාධ්‍ය හා ව්‍යවස්ථාදායක සභාවේ පත් වීම් සඳහා මුස්ලිම් වරුන්ට විශේෂ අනුග්‍රහයක් හිමි විය යුතු බව යනුවෙනි.


මෙම ඉල්ලීම් සියල්ලම අධිරාජ්‍යයා විසින් පිළිගත් බව සඳහන් වන තර 1909 ඉන්දියානු ව්‍යවස්ථාදායක පනත මඟින් මුස්ලිම් ජනයා සඳහා ද විශේෂ ආසන වෙන් කර තිබෙනු දක්නට ලැබුණු බව සඳහන් වේ. මෝර්ලි-මින්ටෝ ප්‍රතිසංස්කරණ වූ මෙම ප්‍රතිසංස්කරණ මාලාව ඔස්සේ ඉන්දියාවේ මුස්ලිම් ජනයාගේ ආධිපත්‍යයක් නිර්මාණය වීම පැහැදිලිව දක්නට ලැබේ. නමුත් මෙම ක්‍රමය අනුව සිදු වූයේ හින්දූන් විසින් හින්දු අපේක්ෂකයන්ටත්, ඉස්ලාමිකයන් විසින් මුස්ලිම් අපේක්ෂකයන්ටත් ඡන්දය ලබා දීම බව සඳහන් වන අතර ඒ ඔස්සේ මුස්ලිම් ජන කණ්ඩායම සමාජයේ වෙනමම ජන කොටසක් බවට පත් වීම ද සිදු වූ බව කියවේ. ඒ අනුව හින්දු මුස්ලිම් දෙපිරිස අතර ජනවාර්ගික අරගලයක් ඇති වීම දක්වාම මෙම බෙදී යෑම හේතුවක් වූ බව විද්වතුන් පෙන්වා දෙනු ලබන අතර අවසානයේ උක්ත කරුණ පදනම් කොට ගෙන ඇති වූ මෙවැනි ජනවාර්ගික අර්බුද ඉන්දු-පකිස්තාන ගැටළුවට ද මූල බීජයක් වූ බව එම විද්වතුන් විසින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ඒ අනුව ඉහත දැක්වූ ආකාරයේ හේතු කාරණා ගණනාවක් ඉන්දු-පකිස්තාන අරගලයට පදනම සැකසූ බව පැහැදිලි වන අතර මෙම සෑම හේතුවක්ම ඉන්දියාව දෙකඩ කිරීම ඔස්සේ ඇති වූ තත්වයන් නොවන බව ද උක්තව සඳහන් කරන ලද තොරතුරු අධ්‍යනය කිරීම ඔස්සේ පැහැදිලි වේ. එමෙන්ම 20වැනි සියවසේ මුල් භාගයේ සිටම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉන්දියාවට හඳුන්වා දෙනු ලැබූ පරිපාලන ක්‍රමවේද බොහෝමයක්ම මෙම අරගලයට පදනම සකස් කළ බව මැනවින් පෙනී යන තත්වයකි. විශේෂයෙන්ම බෙදා පාලනය කිරීමත්, මුස්ලිම්වරුන්ට සහාය දක්වීමත් හින්දු-මුස්ලිම් අරගල ඇති වීමෙහි ලා කැපී පෙනුණු හේතුව වූ අතර ක්‍රමයෙන් වර්ධනය වූ එම අරගල ඉන්දියාව දෙකඩ කිරීම ඔස්සේ දේශසීමා පදනම් කොට ගෙන ඉන්දු-පකිස්තාන මහා අරගලය වශයෙන් ඉදිරියට පැමිණි බව උක්තව දක්වන ලද තොරතුරු ඔස්සේ ගම්‍යමනව වන බව කිව හැකිය.


මූලාශ්‍ර



කෘෂ්ණ සිංහ, නරේන්ද්‍ර, බැනර්ජි, අනිල් චන්ද්‍ර, ඉන්දියා ඉතිහාසය, .වී ගුණපාල, 1965
පියසේන, ඇස්, ඉන්දියාවේ ඉන්දිරා දශකය, 1976
ප්‍රභාකර්, විෂ්ණු, ප්‍රකාශ්, සුමංගල්, ඉන්දියානු නිදහස් අරගලයේ කතා පුවත වන්දේ මාතරම්, උදිත අලහකෝන්, 2004
බස්තියම්පිල්ලෛ, බර්ට්‍රම්, ඉන්දියාව සහ ඇගේ දකුණු ආසියාතික අසල්වැසියෝ, බන්දුල ජයවර්ධන
මෙන්ඩිස්, වර්නන් එල්.බී, දකුණු ආසියාව තුළ ඉන්දියාවේ කාර්යභාරය, රත්න විජේතුංග සහ තවත් අය,
රොබට්ස්, පී. ඊ, සමාගම හා කිරීටය යටතේ බ්‍රිතාන්‍ය ඉන්දියා ඉතිහාසය, 1971


Share:

facebook share twitter share

2 comments: