Sunday, April 26, 2020

ලාංකිකයන් ලෙස දේශීයත්වයක් වර්ධනය කරලීම උදෙසා ඉන්දීය සාධකය සුවිශේෂිත සාධකයක් වූ ආකාරය



ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති වර්ග කි.මී. 65 610 ක භූමි ප්‍ර‍දේශයකින් යුක්ත ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඇති විශාලතම දූපත ලෙස වර්ථමානයේ හඳුන්වනු ලබයි.එලෙසම ලංකාවට සමීපව එහෙත් ඉන් වෙන්ව උතුරු දෙසින් පිහිටා ඇති අර්ධද්වීපික රාඡ්‍ය ඉන්දියාවයි.ඈත අතීතය ගත්කල මෙම රටවල් දෙකම එකම රටක් ලෙස ගොඩබිමින් බැඳී පවතින්නට ඇතැයිද මතයක් පවතී.දැනුදු දෙරටවල් එකිනෙකින් වෙන් වන්නේ කිලෝමීටර් 32 වැනි සුළු භූමි ප්‍රමාණයකිනි.කෙසේ නමුත් බොහෝ උගතුන්ගේ මතයට අනුව ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ලංකාද්වීපයේ ගොඩනැගීම උදෙසා අසැල්වැසි ඉන්දියානු රාජ්‍යෙන් ද විශාල දායකත්වයක් දැකිය හැක.මන්ද ලංකාවේ ජනාවාස පිහිටුවීමේ සිට රාජ්‍යත්වය ලබා ගැනීම තෙක්ම ඔවුන්ගේ බලපෑම දක්නට ඇති බැවිණි.ලංකාව අසල්වැසි රාඡ්‍ය වීමත් එමනිසා පහසුවෙන් යටත් කර ගැනීමට හැකි වීමත් මෙයට හේතු වන්නට ඇතැයි සිතිය හැක.එලෙසම සමහර මූලාශ්‍ර තුළ ලක්දිව භාරතයේ ප්‍රාන්තයක් ලෙස සළකා එහි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම යුගය වන ක්‍රි.ව 1505 තෙක් අවධිය "දඹදිව යුගය" ලෙස හඳුන්වා ඇති බවටත් තොරතුරු ඇති නමුත් අපේම අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමටත් ඒ තුළින් ඡාතියක් ලෙස වර්ධනය වීමටත් ලාංකිකයන්ට අවස්ථාවක් ලැබී ඇත. එබැවින් පොදු වශයෙන් ගත්කල කිව හැක්කේ ලාංකික යන දේශීයත්වය ඇතිකර ගැනීම පිණිස ලංකාවට ලැබුණු ඉන්දියානු මැදිහත්වීම විවිධ අංශ තුළින් සුවිශේෂී කොට ගත හැකි බවයි.





ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටා තිබීම

         දේශපාලනය 
                                                   
·       ජනාවාස ව්‍යාප්තිය                                       
·       රාජ්‍යත්වය හා අභිෂේකය                                
·       පාලන ක්‍රම, නීති හා තනතුරු නාම   
          
        ආක්‍රමණ 
                                                        
·       ඉන්දියානු ආක්‍රමණ                                               
·       ඉන්දියාවෙන් උපකාර ලබාගැනීම් හා උපකාර ලබාදීම් 

        ආගම හා සංස්කෘතිය 
                                      
·       බුදු දහම ලැබීමට පෙර අවධිය                           
·       බුදු දහම ලැබීම                                                                   
·       හින්දු ආගම  
                                            
        සමාජයීය බලපෑම 
                                                     
·       ජනවර්ගවල බෙදීම                                               
·       අක්ෂර කලාවේ ආරම්භය                                         
·       අධ්‍යාපන රටාවේ වර්ධනය                                               
·       කුල ක්‍රමය හා සිරිත් විරිත්                                        
·       විවාහ චාරිත්‍ර                                                      
·       මූර්ති,කැටයම් හා වාස්තු විද්‍යාවේ වර්ධනය 
            
       ආර්ථිකය  
                                                               
·       කෘෂිකර්මය හා සත්ව පාලනය                           
·       වෙළඳාම       
                                                  

ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිට තිබීම
දේශපාලනය
                                                             
·       ආවේණික පාලනය                                               
·       ආවේණික තනතුරු හා නිළ නාම  
                              
       ආගමික හා සංස්කෘතික බලපෑම 
                           
·       බුදු දහමේ ඉස්මතුවීම හා බැඳුණු සංස්කෘතිය

       සමාජයීය බලපෑම 
                                                    
·       කුල ක්‍රමයේ වෙනස්වීම                                  
·       වෙනම භාෂාවක්, අධ්‍යාපන රටාවක් හා සදාචාරවත්
·       සමාජයක් ඇති වීම 
                                                 
      ආර්ථිකය  
                                                               
·       ගොවිතැන,වෙළඳාම හා කර්මාන්ත

ජනප්‍රවාද හා ඉපැරණි සාහිත්‍යයේ සඳහන් වන පරිදි ඉන්දු ශ්‍රී ලංකා සම්භන්ධය ඉතාම ඈත යුගයකට අයත්ය. එකල භූගෝලීය වශයෙනුත් ශ්‍රී ලංකාද්වීපය ඉන්දියානු අර්ධද්වීපයේ කොටසක්ව තිබෙන්නට ඇතැයි දැනුදු ශේෂව පවතින රාමේශ්වරම් හා මන්නාරම අතර ඇති කුඩා දූපත් සමූහය සාක්ෂි දරයි. වර්ථමානයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව දෙරටක් වුවද අතීත රාම රාවණා වෘතාන්තයේ පටන් මහාවංශ පුවත, ආදි කාලීන ජන වර්ග තුළින් ලැබෙන තොරතුරු අනුව ලංකාව ඉන්දියානු ආභාෂයෙන් ගොඩනැගී වර්ධනය වූ බවට තොරතුරු පැහැදිලි වී ඇත. පසු කාලීනව ශ්‍රී ලාංකිකයන් ලෙස දේශීයත්වයක් ගොඩනගා ගැනීම උදෙසා ඉන්දියාවෙන් ලැබුණු බලපෑම ප්‍රධාන ලෙසම ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටා තිබීම හා ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීම ලෙස බෙදා දැක්විය හැක.

ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිටා තිබීම.
 දේශපාලනය

ඡනාවාස ව්‍යාප්තිය
ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධයේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස හඳුනාගෙන ඇත්තේ ආර්යන්ගේ පැමිණිමයි. දීප වංශය, මහා වංශය, මහා භාරතය, පාහියන්ගේ හා හියුං සාං ගේ වර්ථා, දිව්‍යාවදානය වළාහස්ස ජාතකය, කොරවක්ගල හා බෝවත්තේගල සෙල්ලිපි ආදිය මඟින් දක්වන තොරතුරු අනුව උගතුන් විසින් මේ සඳහා විවිධ මත පළ කර ඇත.විවිධ ජනප්‍රවාද වලට අනුව ලංකාව උතුරු ඉන්දීය වෛදික සංස්කෘතිය දකුණට ගෙන ආ පුරාණ සෟෂි වරුන් වූ අගස්ති හා පුලස්ති යන දෙදෙනා ලංකාවට පැමිණ ජනාවාස කල බවත් පාහියන් හා හියුං සාං ගේ විස්තර අනුව සමූ ද්‍රගත නාවිකයන් ලංකාවට පැමිණ ආදි වාසීන් හා වෙළඳාම් කොට මෙහි ජනාවාස වූ බවත්, වළාහස්ස ජාතකයේ සඳහන් සිංහල නම් වීරවරයෙකුගේ පරපුරෙන් මෙරට ජනාවාස වූ බවත් හා ලාංකීය වංශ කතා වල සඳහන් විජයාගමන පුවත ආදිය ලංකාව ජනාවාස කිරීමේ සංක්‍රමණ අතර ඉතා වැදගත් ස්ථනයක් ගන්නා බව දැක්විය හැකිය. ප්‍රාග් ඵෙතිහාසික යුගයේ ආදිතම අවස්ථාවක සිටම නොකඩවා පැවතුණු ඉන්දු-ශ්‍රී ලංකා සම්බන්ධතා සැකෙවින් වුවද සටහන් ගතව ඇත්තේ මෙම විජයාගමනයෙන් පසුවය. මෙලෙස පිහිටුවාගත් ලංකාවේ මුල් ආර්ය ජනාවාස ප්‍රදේශ කීපයකින් හඳුනාගත හැක.

    මල්වතු ඔය,කලා ඔය නිම්නයන්හි පිහිටුවාගත් ජනාවාස
  • ·       විජය කුමරු-තම්බපන්නිය                      
  • ·       අනුරාධ-අනුරාධගාමය
  • ·       උපතිස්ස-උපතිස්සගාමය                        
  • ·       උරුවේල-උරුවෙලගාම
  • ·       විජිත-විජිතගාම
ආදී වශයෙන් ජනාවාස පිහිටවූ අතර ඉන්දියාවේ බටහිරින් පිටත්ව පිරිස් මාතොට අසලින් ගොඩබැස වයඹ දිග ලංකාවේ ජනාවාස පිහිටවූ බව පෙනේ. ක්‍රි.පූ 3 සියවසට අයත් සෙල්ලිපි වල මේ පිලිබඳ තොරතුරු හමුවේ.

    නැගෙනහිර ලංකාවේ ජනපද

ලංකාවේ නැගෙනහිර පෙදෙස් ජනාවාස කලේ භද්දකච්චායනා කුමරිය හා මෙරටට ආ  ශාක්‍ය වංශික කුමරවරුය. ඇය සමඟ ඇගේ සොහොයුරන් 9 දෙනෙකු මෙරටට පැමිණි බවත් මහවැලි ගංගා නිම්නයේ සිට වළවේ ගංගා නිම්නය දක්වා ඔවුන් ජනාවාස පිහිටවූ බවත් සඳහන් වී ඇත.
  • ·       විජිතගාමය             
  • ·       රාමගෝණය(ගෝකණ්ණ)
  • ·       දීඝවාපිය               
  • ·       රෝහණය

මහවැලි ගඟ හා ගල් ඔයෙන් ජලය ලබා ගෙන ගොවිතැන් කල හැකි වීම මෙම ජනපද පිහිටුවීමට හේතු වූ බව තිරියාය, නච්චියර්මලෙයි, සේරුවිල වැනි ප්‍රදේශයන්ගෙන් හමුවන බ්‍රහ්මී ශිලා ලේඛන වලින් පැහැදිළි වේ.

     දකුණු ලංකාවේ ජනපද
කිරිඳි ඔය,මැණික් ගඟ හා කුඹුක්කන් ඔය ආශ්‍රිතව රෝහණ කුමරුන් විසින් දකුණේ ජනපද පිහිටවූ අතර කතරගම හා සඳුන්ගම රජ පවුල් දෙකක් විසූ බව මහා වංශයේ සඳහන් වීමත් ක්‍රි.පූ 3 සියවසට අයත් ලෙන් ලිපි හමුවීමත් මෙය තහවුරු කරන සාධක වේ.

රාඡ්‍යත්වය හා අභිෂේකය
ක්‍රමයෙන් නගර හා ග්‍රාම ඇති කරගත් ඉන්දියානු ජනතාව ශ්‍රී ලංකාව ආර්ය ජනාවාසයක් බවට පත් කිරීමෙන් පසුව ඔවුන් හට නායකයෙක් හෙවත් රාජ්‍යත්වයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය වූ බව කියවේ. මෙසේ ශ්‍රී ලංකාවේ රජු ලෙස විජයගේ නැගී සිටීමත් දේශීය ආදි කාලීන වැසියන් වූ පුලින්දයන් හෙවත් කුවේණිය හා ඇගේ පරපුරේ පසු බැසීමත් ඉන්දියානු බලපෑම මත ලංකාවේ රාඡ්‍යත්වයේ වර්ධනයේ සුවිශේෂී සිද්ධියකි. විජයගෙන් පසු මෙරට රජ වූයේ පඬුවස්දේවය. ඔහුද ඉන්දියාවේ සිංහපුරයෙන් පැමිණියෙකි. ඉන්පසු පණ්ඩුකාභය රජකම ලබා ගත් අතර එකල දේශීය සංස්කෘතිය යම්තාක් දුරට වර්ධනය වී තිබූ බව උගතුන් පවසා ඇත. අනුරාධගාමය අගනගරය කරගත් මොහුගේ කාලය තුල උතුරු හා දකුණු ප්‍රදේශයේ ආර්ය ජනාවාස එලෙසම පැවති බවත් මහියංගණය හා කැළණිය ප්‍රදේශයේ දේශීය වැසියන් වූ යක්ෂයින් හා නාගයින් ජීවත් වූ බවත් දැක්විය හැක. ඉන්දියානු බලපෑම සහිතව මෙරට නිශ්චිත රාඡ්‍යත්වයකට පත් වූ රජු වන්නේ ක්‍රි.පූ.247 රජ වූ දේවානම්පියතිස්සයි. මෞර්ය ශ්‍රේෂ්ඨයා වූ ධර්මාශෝක රජු සමඟ සබඳතා පැවැත්වූ මොහුට ඉන්දියානු රාජාභිශේකය ලැබුණු අතර මෙතෙක් "ගාමිණි"යන නමින් රජකම් කල ලංකාවේ ප්‍රධානියා "රජ" යන නිළ නාමයට සුදුසුකම් ලැබුවේ ද  මේ බලපෑම මතයි. ඒ අනුව දෙවන වරටත් රාජාභිශේකය පවත්වමින් "දේවානම්පියතිස්ස"නමින් මෙම රජු රාඡ්‍යත්වයට පත් වීමෙන් පසුව ලම්භකර්ණ වංශිකයන් ලක්දිව පරිපාලනය භාරගත්හ.

පාලන ක්‍ර,නීති හා තනතුරු නාම
මුල් කාලීනව කුඩා ග්‍රාමීය ජලාශ අසල ජනපද පිහිටුවා ගත් මොවුන් ක්‍රමයෙන් රට තුලට සංක්‍රමණය වූ අතර ස්වාධීන පාලන ඒකක "ගමික"හෝ "පරුමුක" නමින් හැඳින්වූ පාලකයන් යටතේ පාලනය කරවීය. ගමික තුළින් පරුමුක බිහිවන්නට පදනම වැටෙන්නට ඇතැයි සිතිය හැක.ක්‍රි.පූ 3 න් හමුවන ශිලා ලේඛනයන්ට අනුව ලංකාවේ විවිධ ප්‍රදේශ වල ආර්ය පාලන ක්‍රම තිබී ඇත.
  • ·       මිහින්තලේ සෙල්ලිපියක හමුවන කනගම රජ
  • ·       බලගම  සෙල්ලිපියක හමුවන සිවි රජ
  • ·       ඇඹුල්අඹේ සෙල්ලිපියක හමුවන පාචීන රජ
  • ·       ගොන්නන්නේගල සෙල්ලිපියක හමුවන ගාමිණි රජ

විජය-පණ්ඩුකාභය රාජවංශයේ ක්‍රමික දුර්වල වීමත් දේවනම්පියතිස්ස රජුගේ ලමැණි රාජවංශයේ නැගීමත් නව රාජකීය තනතුරු වලටද ඉන්දියානු බලපෑමක් ඇති කළේය. ඒ අතර ප්‍රාදේශීය පාලනය භාරගත්වුන් ජයමහලෑනා නතිනම් ලක්මහලෑනා නමින් ද ලම්භකර්ණ වංශික කුමාරවරුන් පරුමුක මහා අමෙතිය, පරුමුක කනපෙතික අමෙතිය,පරුමුක අමත මහදොරත,රජෙක හා දොරකන ආදී වශයෙන් වූ නිළ නාම වලින් හන්ඳුන්වා ඇත.

ආක්‍රමණ

ඉන්දියානු ආක්‍රමණ
අභ්‍යන්තරික වශයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන වියවුල් හෝ ගැටුම් ඇතිවූ සෑම අවස්ථාවකම පාහේ මෙරටට දකුණු ඉන්දියානු ආක්‍රමණ එල්ල වී ඇත. ඒ අතර ප්‍රධාන ලෙසම,
·       සූරතිස්ස රජ සමයේ සේන ගුත්තික නම් අශ්ව වෙළෙඳුන්ගේ පැමිණීම.
·       අසේළ රජ සමයේ එළාර ආක්‍රමණය.
·       වළගම්බා රජ සමයේ සත් ද්‍රවිඩ  ආක්‍රමණය.
·       කරිකාලන්ගේ පැමිණීම.
·       රාජ රාජ ආක්‍රමණය හා අනුරාධපුර රාජධානිය බිඳවැටීම.
·       කාලිංග වංශික නිශ්ශංකමල්ල රජු සිහසුනට පත් වීම.
·       කාලිංග මාඝ ආක්‍රමණය.
·       මහනුවර යුගයේ නායක්කර්වංශික රජුන් සිහසුන දැරීම.
·       ඉන්දියාව අල්ලා ගත් පෘතුගීසීන් 1505 දී කුණාටුවකට හසුවීමෙන් ලංකාවට ඒම.
·       ඉන්දියාවේ සිට පාලනය කිරීමේ පහසුව හේතුවෙන් ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කර ගැනීම ආදිය දැක්විය හැක.

ඉන්දියාවෙන් උපකාර ලබා ගැනීම හා උපකාර ලබා දීම
ලංකාව පාලනය කල බලවත් රජවරුන් කිහිපදෙනෙකු විවිධ අවස්ථාවල ඉන්දියාව ආක්‍රමණය කිරීමට පෙළඹීම සම්බන්ධව මූලාශ්‍රවල තොරතුරු සඳහන්ව ඇත. ඒ අතර දෙවැනි සේන(853-857), මහා පරාක්‍රමභාහු (1153-1186), කීර්ති නිශ්ශංකමල්ල (1187-1196), හය වැනි පරාක්‍රමභාහු (1412-14670) වැදගත් වේ. මෙරට රාජ්‍ය උරුමය ලබා ගැනීම සඳහා රජ පවුල් අතර ගැටුම් ඇති වූ අවස්ථාවල අපේ රජවරුන් ඉන්දියාවට ගොස් කුලී යුධ හමුදාවල උදව් ලබා ගනීමත් සිදුවිය. නිදසුන් ලෙස ඉළනාග (33-43) රජු ලම්භකර්ණ වංශිකයන්ට විරුද්ධව සටන් කිරීම සඳහා කුලී හමුදාවක් ගෙන ඒම, අභයනාග රජු (231-240), පළමු වැනි මුගලන් (497-514) තුන් වැනි ජෙට්ථතිස්ස (644-650) ආදී රජවරුන් හා මානවම්ම කුමරු (684-718), දෙවැනි හත්ථදාඨ රජු(684) ඉන්දියාවේ පල්ලව රජුගෙ ආධාර ගැනීමත්, සීතාවක මායාදුන්නේ රජු 16 වැනි සියවසේදී කැලිකට් හි සැමොරින් ගේ උදවු ලබා ගැනීමත් ආදිය දැක්විය හැක. ඇතැම් ඉන්දියානු රජවරුන් තම තමන්ගේ රාජධානි බේරා ගැනීම සඳහා ලංකාවෙන් උදව්  ගත් අවස්ථාත් දක්නට ලැබේ. දෙවැනි සේන රජු දෙවැනි වරගුණවර්මන් රජු හට,පස් වැනි කාශ්‍යප රජු මාරවර්මන් රාජසිංහ රජුට,මහා පරාක්‍රමභාහු රජු පරාක්‍රම පාණ්ඩ්‍ය ආදි වූ පඬි රජවරුන්ට උදවු ලබා දී ඇත.

ආගම හා සංස්කෘතිය

බුදු දහම ලැබීමට පෙර අවධිය
මහාවංශය, සමන්තපාසාදිකාව,වංශත්තප්ප්‍රකාශිනිය ආදී මූලාශ්‍රයන්ට අනුව ලංකාවට බුදු දහම ලැබීමට පෙරත් ඉන්දියානු බලපෑම මත ඉන්දියානු ආගම් මෙරට පැතිරී තිබුණු බවට සාධක ලැබී ඇත.ඒ අතර,
1.     බ්‍රාහ්මණ ආගම-විජය කුමරුගේ හා පණ්ඩුකාභය රජුගේ පුරෝහිත තනතුර පිළිවෙලින් උපතිස්ස හා පණ්ඩුල නම් බමුණන් දෙදෙනෙකු දැරීම, ඔවුන්ට පණ්ඩුකාභය රජු විසින් සිවිකා හා සොථ්ති ශාලා නම් ආගමික ස්ථාන ඉදිකර දීම.
2.     දේව වන්දනාව-ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව උතුරු ඉන්දියානුවන් විසින් අදහනු ලැබූ වීර කාව්‍යන්හි එන බල දේව, රාම, ස්කන්ධ, විභීෂණ, වාසුදේව, ශිව හා යම වැනි දෙවිවරුන් මෙකල ලාංකිකයන් විසින්ද  ඇදහූ බවයි.
3.     පරිබ්‍රාජක ආගම-භද්දකච්චායනා කුමරිය ඇතුළු පිරිස මෙරටට සංක්‍රමණය වූයේ පරිබ්‍රාජක වෙස් ගෙන බව මහාවංශ පුවතේ සඳහන් වීම හේතුවෙන් ඒ වන විටත්  ඉන්දියානු බලපෑමක් මත මෙරට තුළ පරිබ්‍රාජක ආගම පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැකිය.
4.     ජෛන ආගම-බුදුන් වහන්සේ ජීවමාන සමයේ ඉන්දියාවේ පැවතියාවූ ජෛන ආගම පණ්ඩුකාභය රාඡ්‍ය සමයේදී ලක්දිව ව්‍යාප්තව තිබී ඇත.මන්ද ඔහු විසින් ජෝතිය,ගිරි,කුම්භාණ්ඩ නම් නිගණ්ඨයින්ට  ආරාම තනවා දුන් බව මූලාශ්‍රවල සඳහන්ය.

බුදු දහම ලැබීම
වංශකතා කරුවාට අනුව මිහිඳු හිමි හා තිස්ස රජු හමුවීම අහම්බයක් වූවත් ඓතිහාසික සිදුවීම් වල අනුපිළිවෙල ගැළපීමේදී ඊට වඩා වෙනස් තොරතුරු ඉදිරිපත් වේ. තුන් වන ධර්ම සංගායනාවේ ඵලයක් ලෙස මිහිඳු හිමි හා පිරිසගේ පැමිණීම  ලංකාව හා ඉන්දියාව අතර කෙරුනු දූත පිරිස් හුවමාරුවක ප්‍රතිඵලයක් බව පෙනේ.අශෝක රජු දූතයන්ට තනතුරු පිරිනැමීමත් තිස්ස රජු දෙවනපිය උපාධි නාමයෙන් පිදුම් ලැබීමත් මෙය තහවුරු කරයි. මෙලෙස ලක්දිවට බුදු දහම ලැබුනු අතර එහි ප්‍රථම කාර්යය ලෙස සඟ සසුන පිහිටුවීම සිදු කල බව පෙනේ.මහමෙව්නාව සඟ සතු කිරීම හා මහාවිහාරය,ශ්‍රී මහා බෝධිය, උපෝසථාගාර, ලහබත් ගෙය, සංඝ සීමාමාලකය, උණු දිය නාන පොකුණු, මහාපාලී දාන ශාලාව යනාදී ස්ථානයන් පිහිටන තැන් ලකුණු කිරීමත් මේ සමඟ සිදුවිය.සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට යවා බුදුන්ගේ දකුණු අකු ධාතුව හා වෙනත් ධාතූන් වහන්සේලා මෙරටට ගෙන්වා නිධන් කොට ථූපාරාමය බැඳවීමත් දේවනම්පියතිස්ස රජු විසින් වෙස්සගිරිය, ඉසුරුමුණිය හා මිහින්තලය වැනි සිද්ධස්ථාන ඉදිකිරීමත් ලක්දිව බුදු සසුන පිහිටුවීමේ වැදගත්ම අවස්ථාවකි. අනතුරුව දඹකොළපටුනින් වැඩම කල සංඝමිත්තා තෙරණියත් ඇතුළු අටළොස් කුලයක ජනතාව අනුරාධපුර මහමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය රෝපණය කොට ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ කළාය.මෙම උත්සවය සඳහා උතුරේ තවක්ක බමුණු ගමින්, දකුණේ කාචරගාම, චන්දනගාම, කළ්‍යණි ,බ්‍රහ්මකගාම යනාදී පෙදෙස් වලින් පිරිස් පැමිණි බව මහාවංශයේ සඳහන් වී තිබීම මේ වන විට රට පුරා බුදු දහම ව්‍යප්තව තිබූ බවට සාක්ෂි ලෙස ගත හැකිය

හින්දු ආගම
බුදු දහම ලැබීමට පෙර සිටම මෙරටට හින්දු ආගමේ බලපෑමක් තිබුණු බව ඉහත සඳහන් කර ඇති ආගමික තොරතුරු වලින් පැහැදිළි කරගත හැකිය. හින්දු ආගමික බලපෑම ලක්දිවට විශාල වශයෙන් එල්ල වන්නේ අනුරාධපුරයටත් වඩා පොළොන්නරු අවධියේදීය. රාජ රාජගේ ආක්‍රමණයත් ඔවුන් බෞද්ධ ආරාම විනාශ කිරීමත් හේතුවෙන් මෙරට ජනතාව ආරක්ශාව පතා පළා ගිය බවත් සඳහන් වේ. ඔවුන්ගෙන් තවදුරටත් ලංකාවේ දෙමළ ජනතාවගේ  ව්‍යාප්තිය සිදුවූ අතර එතෙක් ලංකාවේ ජීවත් වූ හින්දු ආගමිකයන්ට අනුග්‍රහ කරමින් ඉන්දියවේ හින්දු ආගමික සංකල්ප ලක්දිව තුළ ව්‍යාප්ත කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. තවද මහා පරාක්‍රමභාහු රජුගේ ඉන්දියානු ආක්‍රමණ තුළින් සිරකරුවන් ලෙස මෙරටට ගෙන ආ පිරිස් විසින්ද, ඔහුගේ සෙන්පතිවරුන් ලෙස දමිළ අධිකාරි, දමිළ අධිකාරි රක්ඛ වැනි නිළධාරීන් සිටි බැවින්ද, ඔහු විසින් හින්දු ආගමට කරන ලද උපකාර හා අනුග්‍රහ ද එහි ව්‍යාප්තියට වර්ධනයට බලපෑ බව කිවහැකිය. පසුව රාජධානි විතැන් වීම ඔස්සේ වුවත් හින්දු ජනයාටද බුදු දහමට මෙන්ම රාජ්‍ය අනුග්‍රහය හිමිවිය. මහනුවර යුගයේදී හින්දු ආගමේ වැඩි වර්ධනයක් ඇත්තේ රාජ්‍යත්වයද ඉන්දීය බලපෑමට ලක්වූ නිසා බව සිතිය හැක.


සාමාජීය බලපෑම

ජන වර්ග වල බෙදීයාම
ලාංකික සමාජයක් ඇති වූයේ ලංකාව ඉන්දියාවට ආසන්නයේ පිහිට තිබීම නිසා ඒ තුළින් ඇතිවූ ආක්‍රමණ හා සංක්‍රමණ මඟින් බව මහාවංශ පුවතේ දක්වා ඇති තොරතුරු අනුව ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ එක්කෝ ආර්යන්, ද්‍රවිඩ ජාතිකයන් හෝ වෙළෙන්ඳන් ලෙසිනි. මෙරට සිංහල හා දෙමළ ලෙස ජනකොටස් දෙකක් ඇති වීමට හේතුව මෙය බවටත් උපකල්පනය කල හැක.

අක්ෂර කලාවේ ආරම්භය
මහින්දාගමනයත් සමඟ ඉන්දියාවේ භාවිතා වූ බ්‍රහ්මී අක්ෂර ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී.මෙම අක්ෂර ක්‍රමය දකුණු ඉන්දියාවේ පල්ලව අක්ෂරයන් හා සම්මිශ්‍රණය වීමෙන් සිංහල භාෂාවේ වර්ධනය සිදු වූ බව කිව හැකිය.

අධ්‍යාපන රටාවේ වර්ධනය හා සාහිත්‍යයේ වර්ධනය
මහා විහාරය,අභයගිරිය,ජේතවනය,මිහින්තලය වැනි ස්ථාන මුල්කර ගනිමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රකට අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙසත්  හින්දු දේවාල හා කෝවිල් අසුරු කරගෙන හින්දු අධ්‍යාපනයත් මෙරට තුළ වර්ධනය වූයේ බුදු දහම සේම හින්දු ආගමත් ඉන්දියානු බලපෑම ඔස්සේ අපට ලැබුණු බැවිණි.

කුල ක්‍රමය හා සිරිත් විරිත්
ඉන්දියානුවන් මෙහි එන විට ඔවුන්ගේ කුල ක්‍රමය මෙරටට රැගෙන එන්නට ඇත.එනම් බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර යන චතුර් වර්ණයන් ගෙන් ලක්දිව සමාජය හැඩගැසෙන්නට ඇති බවත් ඒ අනුව ඉන්දියානු සමාජය හා බැඳුණු සිරිත් විරිත් මෙරටට ගෙන එන්නට ඇති බවත් කිව හැක. ඉඳුල් කට ගෑම, උපනයනය, ජීවිතයේ විවිධ අවධි අනුව නම් තැබීම් ආදී වූ සංස්කාර විධි ලංකාවට හඳුන්වා දී ඇත්තේ මෙලෙස ලංකාවට ඉන්දියානු බලපෑම ඇති වූ නිසවෙන් බව පැහැදිළි වේ.

විවාහ චාරිත්‍ර
මුල් කාලීන ලංකික විවාහ විධි ඉන්දියානු චාරිත්‍රවලට බෙහෙවින්ම සමාන විය.විවාහයකදී කුල ගැළපීම අනිවාර්ය වූ අතර එය මූලාශ්‍රවල "සමදෑ" හෙවත් සමකුල ලෙස දක්වා ඇත. අසමාන කුල අතර වූ විවාහයකින් උපදින දරුවන්ට දේපොළ අහිමි විය. රජාභිෂේකයටත් මෙම විවාහ චාරිත්‍ර එලෙසම බලපෑ අතර රජ පවුල් වල බහු-භාර්යා විවාහ සිදුවූ නමුත් සාමාන්‍ය පවුල්වල ඒක-භාර්යා විවාහ සිදුවිය. මෙරට රජවරුන් හට බිසවුන් තෝරාගැනීමටත් ඉන්දියාවේ රජවරුන් හට මෙරටින් බිසවුන් තෝරා ගැනීමටත් විවාහ චාරිත්‍ර දෙරට අතර වැදගත් විය.විජයගේ පටන් අනුරාධපුර, පොළොන්නරුවේ සිට රාජධානි විතැන් වෙමින් මහනුවර යුගය දක්වාම ඒ ඒ රජවරුන් අතර මෙලෙස කුමරියන් හුවමාරු වූ බව මූලාශ්‍ර වල සඳහන්ය.

මූර්ති කැටයම් කලාවේ හා වාස්තු විද්‍යාවේ වර්ධනය
මෙරටට ආ වෘත්තීය ශ්‍රේණි දහ අටක ජනයා මෞර්ය වාස්තු ක්‍රමයේ නිපුණ වූවන් බව පැහැදිලි කරුණකි.එබැවින් එකල නිර්මාණය වූ දැනුදු ශේෂව පවතින බුද්ධ ප්‍රතිමා,දේව ප්‍රතිමා,බොධිසත්ව ප්‍රතිමා,සඳකඩ පහන්,කොරවක්ගල් හා මුරගල් ආදියෙහි නිර්මාතෘවරුන් ඔවුන් බව සිතිය හැකි අතර වටදාගෙය, ප්‍රතිමාඝර, බොධිඝර, චංකමනඝර ආදිය ගොඩනගමින් වාස්තු විද්‍යාවේ වර්ධනයටත් මුල පිරීය.දකුණු ඉන්දීය ආක්‍රමණ හා හින්දු ආගමික බලපෑම මත ඉන්දියානු ආභාෂය ලත් හින්දු ආගමික ගොඩනැගිලි හා ප්‍රතිමා ඉදිවීම පොළොන්නරු යුගයේදී වැඩිවශයෙන් කැපී පෙනෙයි. නිදසුන් ලෙස පොළොන්නරුවේ අංක 2 දරණ ශිව දේවාලය චෝළ වාස්තු ක්‍රම අනුව ඉදිවී ඇති බවත් චෝළ ආක්‍රමණවලින් විනාශ වූ වෙල්ගම විහාරය ඔවුන් විසින් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේදී එය ද්‍රවිඩ ආභාෂය මතම ගොඩනංවා ඇති බවත් දැක්විය හැක. තවද යාපහුව, ගම්පොළ හා මහනුවර යුගවලදී ද ගොඩනැගිලි නිර්මාණය උදෙසා මෙරටට ඉන්දියානු ආභාෂය ලැබී ඇති බව පෙනේ. මන්ද යාපහුව රජ මාළිගය ඉදි කිරීමට සමකාලීන ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගත් බවත් ගම්පොළ රාජධානි සමයේ ඉදිවූ ගඩළාදෙණිය දේශපාලන හා ආගමික අතින් වැදගත් නොවූවත් දමිළ ආභාෂය මත දකුණු ඉන්දියාවෙන් කැඳවාගෙන එනු ලැබූ ගනේෂ්වරාචාර්ය නැමැත්තෙක් එය ගොඩනැංවූ බවත් උගතුන් මත පළකර තිබේ. තවද මහනුවර යුගයේ සිහසුනට හින්දු බලපෑම ලැබීම හේතුවෙන් ඉදිවූ ගොඩනැගිලි බොහෝමයක් පාහේ ඉන්දියානු ආභාෂයක් මත ඉදිවූ බවත් උගතුන් තවදුරටත් ප්‍රකාශ කොට ඇත.

ආර්ථිකය

කෘෂිකර්මය හා සත්ව පාලනය
ඉන්දියානු බලපෑම මත මෙරට ජනාවාස වනවිටත් ලාංකික ජනතාවගේ ජීවනෝපාය ලෙස යම්තාක් දුරට කෘෂිකර්මය තිබෙන්නට ඇතැයි  සිතිය හැක. ඉන්දියානුවන් විසින් ගංඟා ආශ්‍රිතව ජනපද පිහිටුවා ගැනීම තුළින් තව දුරටත් කෘෂිකාර්මික වර්ධනය හා සත්ව පාලනය සිදු වන්නට ඇත. වී, මෙනේරි, කඩල,කුරහන් ඇතුළුව විවිද ධාන්‍ය වගා කරන්නටත් ගවයන්,එළුවන් ආදී සතුන් හීලෑ කරගෙන තම පරිබෝජනය සඳහා යොදා ගන්නට ඇති බවත් කිව හැක.

වෙළඳාම
පාහියන්ගේ වර්ථා වලට අනුව මෙරට ජනාවාස වී ඇත්තේ වෙළඳාමේ යෙදුනු නාවිකයන්ගෙනි.එබැවින් වෙළඳාමත් මෙහි ගෙන එනු ලැබුවේ ඉන්දියානුවන් විසින් බව කිව හැකිය. විජයගේ මෙහෙසිය වූ මථුරාපුර කුමරිය  සමඟ පැමිණි අටළොස් ශිල්පී සමූහයත් සංඝමිත්තා තෙරණිය සමඟ පමිණි අටළොස් ශ්‍රේණි කුල පවුල් සමූහයත් මෙරට විවිධ කර්මාන්ත ආරම්භ කල බව දැක්වේ.ඒ අතර ගොපළු කුල,පෙහෙර කුල, කුඹල් කුල ආදී පවුල් විසින් එම කර්මාන්ත ලංකිකයන්ට පුහුණු කරවන්නට ඇතැයි සිතිය හැක.එමඟින් එතෙක් පැවති ප්‍රාථමික රැකියා ක්‍රම වෙනුවට බුදු දහම හා බැඳුණු වඩාත් විද්‍යාත්මක රැකියා ලක්දිව ආරම්භ වීම දක්නට ලැබේ. ක්‍රමිකව සිදුවූ වෙළඳාමේ වර්ධනයත් සමඟ පොළොන්නරු යුගයේදී ඉන්දියාවෙන් දිවයිනට කාශ්මීර හා බරණැස් සළු ආනයන කල බව ඉන්දීය මූලාශ්‍ර වන රාජතරංගණිය හා මානසොල්ලාස ග්‍රන්ථ වල සඳහන් වේ. තවද දේශීය සිව් රඟ සේනාවේ භාවිතය පිණිස ඉන්දියාවේ සින්ඩ් ප්‍රදේශයෙන් අශ්වයන් ගෙන්වූ බව මහා පරාක්‍රමභාහු රජුගේ සෙල්ලිපියක දැක්වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීම
දේශපාලනය

ආවේණික පාලනය
ලක්දිව ඉන්දියාවට අසන්නයේ තිබීම හෙතුවෙන් මෙරටට ලැබුණු දේශපාලන ස්ථාවරත්වය දේශීයත්වයකට මුසුවී වර්ධන වූයේ ලංකාව ඉන්දියාවට වෙන්ව පිහිටා තිබීම නිස බැව් කිව හැකිය.ඉන්දියානු ක්‍රමයට සමාන රාජාණ්ඩු පාලන ක්‍රමයක් මෙරට ඇති වුවද කලක් ගත වීමේදී එය ලාංකික අනන්‍යතාවයකට මුසුවී ව්‍යාප්ත විය. ලංකාව රජරට හා රුහුණුරට ලෙස කොටස් දෙකකට බෙදා පාලනය ගෙන ගිය බව දැක්වේ.රජරට පාලකයා මහරජු වූ අතර රුහුණුරට පාලකයා යුවරජු විය. අනුරාධපුර යුගයේ දී මෙම පාලන ප්‍රදේශ දෙක කොටස් තුනක් ලෙස වර්ධනය වීම විශේෂිත කරුණකි.බටහිර ප්‍රදේශයට වෙනම පාලනයක් ඇති කල එකල රජවරුන් සඳහා ආදිපාදවරයෙකු පත් කළහ.රුහුණු,පිහිටි හා මායා ලෙස බෙදුණු මෙම ප්‍රදේශ නැවත ජනපද, රට, පස්ස, ගම් ආදී වශයෙන් කොටස් වලට බෙදා තිබූ බව දැක්වේ.තවද මුල් කාලීන ආර්යන් ගංඟා ආශ්‍රිතව ජනපද පිහිටුවා ගනිමින් අභ්‍යන්තර තැනිතලාවෙ පාලනය ගෙන ගියද පසුව ලක්දිව රාජධානි ටිකෙන් ටික රට අභ්‍යන්තරයට යමින් මධ්‍ය කඳුකරයේ පවා රාජ්‍ය පිටුවා ගැනීම දක්නට ලැබීමත් ලක්දිව දේශපාලනය දේශීයත්වයක් කරා ගමන් ගත් අවස්තාවක් ලෙස කිව හැකිය.නිදසුන් ලෙස රාජධානි නිරිත දිගට මාරු වීම ඔස්සේ ගම්පොළ හා මහනුවර හඳුනා ගත හැකිය. රාජ්‍ය උරුමය පැවරීම සම්භන්ධයෙන් මෙරට තිබූ චාරිත්‍රය වූයේ පියාගෙන් පුතාට, සහෝදරයාගෙන්  සහෝදරයාට හෝ වැඩිමහල් සහෝදරයාගේ වැඩිමහල් පුතාට වශයෙනි.නමුත් ඉන්දියාවෙන් මෙරටට ලැබුණු රාජ්‍ය පාලනය ඔස්සේ නම් පියාගෙන් පසු වැඩිමහල් පුත්‍රයාට රජකම හිමිවෙයි.එබැවින් ශ්‍රි ලංකාව තුළ මෙම ක්‍රමය වෙනස් වීමට හේතුව අප ඉන්දියාවෙන් වෙන්ව පිහිටීම නිසා බව පිළිගත හැක. තවද, පසු කාලීනව රාජ්‍ය උරුමය ලබාගැනීමේ චාරිත්‍රයක් ලෙස දළඳා වහන්සේගේ අයිතිය  තමන් සතු කර ගැනීමත් අමතර සුදුසුකමක් විය. මෙම කරුණුවලට  අමතරව ලංකාවට බොහෝ ඉන්දියානු ගැටළුවලට මැදි නොවී සිටිය හැකි වූයේ අප දිවයින ඉන්දියාවෙන් වෙන්ව පිහිටි නිසාය.මන්දයත් උතුරු හා දකුණු ඉන්දියානු අභ්‍යන්තර වියවුල් අවස්ථාවලදී විශේෂයෙන්ම ලංකාවට උතුරු ඉන්දියානු බලපෑම ලැබුණේ අවම වශයෙනි.නිදසුන් ලෙස අශෝක රජුගේ දිග්විජය ප්‍රතිපත්තියේදී ඇතිවූ යුද්ධ, මූගල් යුගයේ ආග්‍රා, පනිපත් වැනි සටන් අවස්ථා පෙන්වා දිය හැක.

ආවේණික තනතුරු හා නිළ නාම
ඉන්දියානු රජවරුන් සිය නිළ නාමය ලෙස "රජ"යන විරුදය භාවිතයට ගත්තද  ලාංකික නායකයින් එය "මහරජ"ලෙස වෙනස් වීමකට ලක්කර යොදා ගත්හ. තවද දෙවනුව රජකම භාර ගැනීමට සිටි උපරාජයා "යුවරජු"ලෙසද හැඳින්වීය.මීට අමතරව ඉන්දියානු ආභාෂය මත නම් කෙරුණු ජයමහලෑනා, පුරෝහිත, අමෙත, රජෙක, දොරකන ආදී වූ තනතුරු වෙනුවට මාණ්ඩලික, ඈපා, මාපා, පස්ලදු, රට්ලදු, ගම්ලදු වැනි තනතුරු ඇතිවීමත් දක්නට ලැබේ,රජුගේ උපදේශකයා වූ පුරෝහිත තනතුර ඉන්දියාවේ බමුණෙකුට හිමිවූවත් එය මෙරටදී භික්ෂූන් වහන්සේ නමකට ලබාදෙන ලදී.බොහෝ රජධානි අවධි  තුළ මෙලෙස භික්ෂූන් රාජ්‍යත්වයට උපදෙස් දෙනුලැබූ නමුත් අරිට්ටකී වෙණ්ඩු පෙරුමාල් වැන්නවුන්ද ඉන්දියාවේ සිට පැමිණ මෙරට අනුශාසක පදවි දරා ඇති බව මූලාශ්‍ර තොරතුරු ඉදිරිපත් කරයි.

ආගමික හා සංස්කෘතික බලපෑම

බුදු දහම ඉස්මතු වීම හා බැඳුණු සංස්කෘතිය
මුල් කාලීනව ඉන්දීය දෙවිවරුන් වන්දනාවේ යෙදී සිටියද බුදු දහම ලැබීමත් සමඟ ලාංකිකයන් වැඩි වශයෙන් එය වැළඳ ගන්නා ලදී. ශ්‍රී ලංකාව ඉන්පසුව රාජ්‍ය ආගම ලෙසත් බුදු දහම නම් කළ අතර සම්පූර්ණයෙන්ම බෞද්ධ රටක් වීමටත් රජකම ගැනීමට බුදු දහම වැළඳගැනීම අනිවාර්‍ය වීමටත් මෙය අවස්ථාවක් විය.ඉන්දියානු කලා ශිල්පවල හා දේශීය කලා ශිල්පවල යම් සමානකම් තිබුණද දේශීය ශිල්ප කලාවේ වර්ධනයත් සමඟ එහි ඉන්දියානු මූලය නැති වී ගොස් අපටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනැගෙනු දක්නට ලැබේ.නිදසුන් ලෙස ඉන්දියාවේ දක්නට නොමැති සඳකඩපහන, මුරගල්, කොරවක්ගල්, මකර තොරණ, වාහල්කඩ ආදිය මෙරට නිර්මාණය වූහ. තවද බුදු දහම මෙන්ම ඉන්දියානු කලා ශිල්පයේ සමහර මූලිකාංගත් බොහෝ කලක් යන තෙක් ලංකාවේ ආරක්ෂිතව තිබුණද ඒවා ඒ සමයේම ඉන්දියාවෙන් ගිලිහී යනු දක්නට ලැබීමත් ලංකාව ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබීමේ ප්‍රතිඵලයක් වේ. මෙරටට ගෙන ආ බ්‍රහ්මී අක්ෂර කලාව වෙනුවට පසුකාලීනව එනම් හත් වැනි සියවසේදී පල්ලව අක්ෂරවල ආභාශය ලබමින් සිංහල අක්ෂර වර්ධනය වීමත් දේශීය වර්ෂ ක්‍රමය ගොඩනැංවීමත් යන්න උක්ත කරුණ මතම සිදු වූවක් බවත් පැහැදිලි වේ.

සාමාජයීය බලපෑම

කුල ක්‍රමයේ වෙනස්වීම
චතුර්වර්ණයන් පදනම් කරගෙන මෙරටට ලැබුණු ඉන්දියානු කුල ක්‍රමය මෙරට විකාශනය වූයේ බොහෝ වෙනස්කම් සහිතවය. එනම් එහි තිබූ වෛශ‍ය කුලය ගොවි හෝ වෙළෙඳ කුලය ලෙස වෙනස් වූ අතර ක්ෂුද්‍ර කුලය මිලක ලෙස නම් විය. ලංකාවේ කුල වෙනස් වීම සිදුවූයේ ඒ ඒ පුද්ගලයා යෙදී සිටින්නාවූ රැකියාවේ විවිධත්වය මතයි. අනුරාධපුර පොළොන්නරුව වැනි යුගයන්ගෙන් පසුව මෙරට බොහෝ දුරට බ්‍රාහ්මණ කුලය හීන වී ගිය බවක් පෙනෙන්නට ඇති අතර දේශීය රදළ කුලයේ නැඟීමත් සමඟ එය ලක්දිවින් තුරන් වී ගියේය.

වෙනම භාෂාවක්, අධ්‍යාපන රටාවක් හා සදාචාරවත් සමාජයක් ඇති වීම.
දේශීය අක්ෂර කලාවට පල්ලව බලපෑම ලබුණද එයින් වෙනම භාෂාවක් වර්ධනය කරගෙන වෙනම ජාතියක් ලෙස නැගී සිටීමට හැකි වූයේ ලංකාව ඉන්දියාවට වෙන්ව පිහිටා තිබූ නිසායබුදු දහම ලැබීම හා ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට අධ්‍යාපන රටාවේද වෙස්කම් ඇති විය. බෞද්ධ විහාර මුල් කරගත් අධ්‍යාපන මධ්‍යස්ථාන ඇති වූ අතර ඉන්දියාවේ මෙන් ගුරුවරයාට බැළමෙහෙවරකම් කරමින් ඉගෙනගන්නාවූ දිසාපාමොක් අධ්‍යාපනයක් මෙහි නොවීය. එලෙසම බුදු දහමේ මාර්ගෝපදේශයෙන් පංච ශීලය, දස ශීලය, දස පුණ්‍ය ක්‍රියා, දස කුසල් ආදී කරුණු පිළිබඳව ඇතිවූ අවබෝධයත් සමඟ සදාචාරවත් සාමාජයක් බිහිවීමත් දක්නට ලැබේ.

ආර්ථිකය

ගොවිතැන,වෙළඳාම හා කර්මාන්ත
සමූද්‍ර සේ පෙනෙන මහා වාරි කර්මාන්ත ඉදිකිරීමටත් ඒ තුළින් ඇළ මාර්ග ඔස්සේ තම වගා බිම වෙත ජලය ලබා ගැනීමටත් මූලික අඩිතාලම දැමීමට ලාංකිකයන්ට  හැකි වූයේ ඉන්දියානු අවම බලපෑම නිසා බැව් කිවහැක. මන්ද ඉන්දියානුවන් මෙහි ජනාවාස පිහිටුවමින් ආරම්භ කළේ ගංඟා දියෙන් හා වැසි දියෙන් ගොවිතැන් කිරීමයි.ඔවුන් අතර වාරි කටයුතු පිළිබඳව වැඩි අවබෝධයක් නොතිබුණු බවත් වාරි තාක්ෂණයේ ආරම්භය ලක්වාසීන් තුළින් සිදුවන්නට ඇති බවත් පිළිගත හැක. වී ප්‍රධාන කොටගෙන විවිධ බෝග වගාවත් සත්ව පාලනයත් ගොවිතැන් ලෙස දියුණු වූ අතර වෙළඳාමත් විවිධ රැකියාත් දේශීය කුල ක්‍රමය මත දියුණු විය. පේෂ කර්මාන්තය, ආභරණ කර්මාන්තය, ගෘහ නිර්මාණය, ලෝහ භාන්ඩ නිශ්පාදනය, මැටි වළං කර්මාන්තය ආදිය මෙලෙස දේශීය රැකියා ලෙස ආර්ථිකයට එකතු විය.

ඉහත සඳහන් තොරතුරු සාරාංශ කරගත් විට අපට දැකිය හැක්කේ මෙවැනි පසුබිමකි. එනම් ශ්‍රී ලංකාවට ඉන්දියානු බලපෑම ප්‍රධාන ලෙසම දෙයාකාරයකින් බලපා ඇති බවයි. ඒවා නම් ඉන්දියාවට ආසන්නයේ පිහිටා තිබූ නිසා හා ඉන්දියාවෙන් වෙන්ව පිහිටා තිබූ නිසා ලැබුණු බලපෑම් විය.ජනාවාසකරණයේ පටන් රාජ්‍ය ගොඩනැංවීම තෙක්ම දේශපාලනික, සාමාජයීය, ආර්ථික, ආගමික හා සංස්කෘතික ආදී වූ විවිධ අංශවලින් ඉන්දියානු බලපෑම ලක්දිවට එල්ල විය.කෙතරම් බලපෑම් මෙලෙස එල්ල වූවත් ලංකාව ඉන්දියාවේ නිපදවීමක් යැයි කිව නොහැකි වන්නේ ලාංකිකයන්ට තමන්ගේ වුවමනාවන්ට සරිලන පරිදි ඒ මැදිහත්වීම් වෙනස්කර ගැනීමට හැකිවූ නිසාවෙනි. ඒ මන්ද ඉහත කරුණු මඟින් පැහැදිළි වන පරිදි ඉන්දියානු ආභාෂය සමඟ වුවත් ඒ තුළින් ගොඩනංවා ගන්නා ලද අපේකමක් නැතහොත් දේශීයත්වයක් ඔස්සේ ලංකාවේ දේශපාලනික, සාමාජයීය, ආර්ථික, ආගමික හා සංස්කෘතික ආදී වූ පසුබිම්වල වර්ධනයක් ළඟා කරගැනීමට ලක්වාසීන්ට හැකිවූ බවයි.  අපටම ආවේණික වූ අපේම දේශයක් ගොඩනඟා ගැනීම උදෙසා ඔවුන්ගේ ඒ කැපවීම අදට පවා වටිනා ඉතා අගනා මෙහෙයක් විය.එබැවින් අවසාන වශයෙන් කිව හැක්කේ ලාංකිකයන් නමින් අනන්‍යතාවයක් ඇතිකර ගැනීම සඳහා අසල්වැසි ඉන්දියාවෙන් අපට ලැබුණු බලපෑම ඉතාම සුවිශේෂී ගණයේ මැදිහත්වීමක් බවයි.





මූලාශ්‍ර

ඌනපූර්ණ සහිතො මහාවංසෝ, පොල්වත්තේ බුද්ධදත්ත හිමි (සංස්), 1959
ද ලැනරෝල් වී. ඩී, ලංකා ඉතිහාසය(පූර්ව භාගය), 1961
පෙරේරා. කේ. ඒ. පී, පුරාතන ඉන්දු ලංකා ඉතිහාසය, 2013
මල්ලවාරච්චි. යූ, මිහිඳු සංස්කෘතිය හා මිහින්තලේ, 1993
මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි, හීනිපැල්ලේ ඉන්ද්‍රවංස හිමි, ඉතිහාස සංග්‍රහය, 1962
ලියනගමගේ. ඒ, ගුණවර්ධන. ආර්, අනුරාධපුර යුගය, 1965
වැලිගෙපොළ විමලසාර හිමි, ඉන්දු ලංකා බෞද්ධ සංස්කෘතිය, 1966
සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය හා මධ්‍යම සංස්කෘතික අරමුදල, අපේ සංස්කෘතික උරුමය, 1995
සුරවීර. ඒ. වී, අනුරාධපුර සංස්කෘතිය, මහරගම, 1959
හඟුරන්කෙත ධීරානන්ද හිමි, රාජත්වය රාජ්‍යය හා ආගම, 2004












Share:

facebook share twitter share

4 comments: