Monday, April 27, 2020

රජරට සභ්‍යත්ව සමයේ දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති දේශපාලන සබඳතා




1.  දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වූ ආක්‍රමණකාරී දේශපාලන සබඳතා

දකුණු ඉන්දියනු කලාපය හා ලංකාව මුල් කරගෙන ඇති වූ සබඳතා අතර දේශපාලනමය වශයෙන් ප්‍රධාන ස්ථනයක් ගනුයේ මෙම ද්විත්ව ප්‍රදේශයන් අතර ඇති වූ ආක්‍රමණකාරී ක්‍රියාදාමයන් ය. බොහෝ අවස්ථාවන්හී දී දෙපාර්ශවය අතර යුධමය සබඳතා මෙම ආක්‍රමණ හේතුවෙන් නිර්මාණය වී ඇති ආකාරය මූලාශ්‍ර ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර කාලය ගත වත්ම දෙරට අතර ඇති වන ආක්‍රමණ තත්වයන් ඔස්සේ ජනතාව සංක්‍රමණය වීම, යුධ සේනා සංක්‍රමණය වීම, වෙළෙඳුන් සංක්‍රමණය වීම හා වෙනත් තරාතිරම්වලට අයත් විවිධ පුද්ගලයන්ගේ සංක්‍රමණයන් ඇති වීම ද සිදු වී ඇති බව කියවේ. ඒ අනුව ක්‍රි.ව. 320-ක්‍රි.ව. 1206 අතර කාල සීමාව තුළ දකුණු ඉන්දියාව හා ලංකාව අතර අතර ඇති වූ ප්‍රධාන ආක්‍රමණ වර්ග ද්විත්වයක් හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එනම්,

  • ·       දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට එල්ල වූ දේශපාලනමය ආක්‍රමණ
  • ·       ලංකාවෙන් දකුණු ඉන්දීය කලාපයට එල්ල වූ දේශපාලනමය ආක්‍රමණ


උක්ත කාල පරිච්ඡේදය තුළ දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට එල්ල වූ ආක්‍රමණ පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පළමුවෙන්ම හඳුනා ගත හැකි වන්නේ ක්‍රි.ව 433 - ක්‍රි.ව. 434 අතර කාලයේ ලක්දිව පාලනය ගෙන ගිය මිත්තසේන රජ දවස සිදු වූ ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණයයි. පණ්ඩු, පාරින්ද, ඛුද්ධ පාරින්ද, තිරීතර, දාඨිය, පීඨිය යන සදෙනෙකු විසින් අනුරාධපුරයේ රාජ්‍යත්වය පැහැර ගෙන ඇති බව ලාංකීය වංශකතාව වන මහාවංශයේ සඳහන් වේ. ක්‍රි.ව 5 වැනි සියවසේ ලංකාව හා දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය අතර සමීප සබඳතා තිබූ බවත් එහි ප්‍රථිඵලයක් ලෙස පාණ්ඩ්‍යන් ලාංකීය දේශපාලනය සඳහා අත පෙවීම් සිදු කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. මෙම පාණ්ඩ්‍ය පාලකයන් සදෙන වසර 27කට ආසන්න කාලයක් ලක්දිව දේශපාලන බලය සියතට ගෙන සිටි බව සඳහන් වන අතර මොවුන්ට ලක්දිව ඇතැම් ජන කොටස් සහාය පළ කරන්නට ඇති බවත් මෙම පාලකයන් අතුරින් ඇතැම් පාලකයන් පිහිටුවා ඇති අභිලේඛන සාධක මඟින් හෙළිවන බව කියවේ. කෙසේ නමුත් උක්ත කාල පරිච්ඡේදය තුළ හඳුනා ගත හැකි ලංකාවට දේශපාලනමය මැදිහත් වීමක් ආකාරයෙන් බලපෑ පළමු දකුණු ඉන්දීය සබඳතාව වනුයේ මෙම ෂඩ් ද්‍රවිඩ ආකමණය වේ.

ඉන් පසුව I සේන රාජ්‍ය සමයේ දී ඔහු විසින් ලක්දිව ඇති කරන ලද ස්ථාවර පාලනය හා ආර්ථික සමාජ පදනම හේතුවෙන් ඊට එරෙහි වූ මහින්ද නම් කුමරෙකු දකුණු ඉන්දියාවේ සිට සේනා  සංවිධානය කොට ලක්දිව ආකමණය කිරීමට සැලැසුම් කිරීමේ දී සේන රජු ඔහු චර පුරුෂයින් ලවා මැරවූ බව චූලවංශයේ සඳහන් වන බව කියවේ. එබැවින් ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු සේන රාජ්‍ය සමයේ දී ලක්දිව ආක්‍රමණය කළ බව සඳහන් වන අතර මෙම දකුණු ඉන්දීය රජෙකු පෞද්ගලිකව ලක්දිවට සෙනා රැගෙන පැමිණ ආක්‍රමණයක් මෙහෙය වූ පළමු අවස්ථාව වන බව ද දැක්වේ. මෙම තත්වය මත ලංකාවේ එතෙක් සිටි ද්‍රවිඩ ජන කොස් ඉතා ප්‍රභලත්වයට පැමිණි බව සඳහන් වන අතර සේන රජු පළා ගිය බවත් පාණ්ඩ්‍ය පාලකයා අනුරාධපුර වෙහෙර විහාර විනාශ කර වස්තුව රැගෙන නැවත ඉන්දියාව ගිය බව ද එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් දැක්වේ.

දකුණු ඉන්දියාවේ චෝළ බලපෑම වර්ධනය වෙමින් පැවති සමයේ එම බලය ලංකාවට පමණක් නොව සෙසු දකුණු ඉන්දීය රාජධානි සඳාහා ද තර්ජනයක් වු බව කියවේ. ඒ අනුව එලෙස බලපෑම් එල්ල වූ පාණ්ඩ්‍ය පාලකයෙකු ක්‍රි.ව. 940 දී සිය රාජාභරණ ලංකාවේ V දප්පුල රජුට ලබා දී කේරළයට පැන ගිය බව කියවේ. මේ හේතුවෙන් ලක්දිව III උදය රජුගේ සමයේ පාණ්ඩ්‍ය රාජ ආභරණ තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලා චෝළ පාලක පරන්තක ලක්දිවට ආක්‍රමණයක් එල්ල කළ බව සඳහන් වන අතර ලක් රජු රෝහණයට පළා ගිය බවත් අගනුවර විනාශ කරවූ බවත් දැක්වේ.

ක්‍රි.ව. 975 දී චෝළ පාලන වල්ලභ නැමත්තෙක් ලංකාවේ IV මිහිඳු පාලනය ගෙන යන සමයේ එහි වූ අස්ථාවර පරිපාලනයෙන් ප්‍රයෝජන ගනු පිණිස ලක්දිව ආක්‍රමණය කළ බවත් ඒ සඳහා සේනා යාපා පටුනට යවා සේන නම් යුධ අධිපතියෙකුගේ අනින් ලක්දිව සමූල ඝාතනයක් සිදු කළ බවත් කාසිවිට්ටි හා ටෙනන්ට්ගේ කෘති තුළ සඳහන්ව ඇති බව කියවේ. කෙසේ වූව ද මෙම ආක්‍රමණය පිළිබඳව ඉතිහාසඥයින් සතුව විවිධ මත පවතින බව කියවේ. ඉන් පසුව බලවත් චෝළ පාලකයෙකු වූ රාජ රාජ ක්‍රි.ව. 993 දී  ලක්දිව ආක්‍රමණය කළ බව සඳහන් වන අතර එය ද ලක්දිව පවති අසාර්ථක දේශපාලන තත්වය හේතුවෙන් දකුණු ඉන්දීය පාලකයන් එයට මැදිහත් වූ අවස්ථාවක් ලෙස හඳුනා ගත හැකිය. ඒ අනුව V මිහිඳු නම් ලක්දිව පාලකයා ජීවග්‍රහයෙන් අල්වා ගෙන සොළී දේශයට ගෙන ගිය බව කියවෙන අතර එතැන් සිට වසර 20ක පමණ කාලයක් ලංකාවේ රජරට පාලනය කිරීම රාජ රාජ, රාජේන්ද්‍ර ඇතුළු දකුණු ඉන්දීය චෝළ පරිපාලනය ගෙන ගිය බව ලක්දිව වංශකතා තුළ මෙන්ම සොළී වාර්ථා හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් තුළින් ද හඳුනා ගැනීමේ හැකියාව ඇත.

විද්වතුන්ගේ මතයට අනුව දකුණු ඉන්දියාවෙන ලංකාවට එල්ල වූ දේශපාලන ආක්‍රමණ ගත් විට පැහැදිලිව පෙනී යන්නේ ක්‍රි.ව 5 වැනි සියවසින් පසුව ලක්දිවට එල්ල වන  ආක්‍රමණ මුල් කාලීනව එල්ල වූ ආක්‍රමණයන්ට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බවයි. ක්‍රි.ව. 5න් පසුව දකුණු ඉන්දියාව තුළ ඇති වූ දේශපාලන පසුබිම මෙන්ම ආර්ථික-සමාජ පසුබිම ද වෙනස්කම් ගණනාවක් අත්පත් කර ගැනීම හා ඒ ඔස්සේ දකුණු ඉන්දීය පාලකයන්ට ශක්තිමත් අධිරාජ්‍යයන් ගොඩ නැංවීමට හැකියාව ලැබීම ද ලාංකීය දේශපාලනය කෙරෙහි ඉන්දියානු අත පෙවීම්වල වර්ධනයට හේතු වූ බව කියවේ. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය, චාලුක්‍ය, පල්ලව හා චෝළ බලපෑම් සෘජු වශයෙන් ලංකාවට එල්ල වූ බව උක්ත නිදසුන් ඔස්සේ ද හඳුනා ගත හැකිය. එනිසාවෙන්ම මෙවැනි ආක්‍රමණකරී දේශපාලන සබඳතා මෙම කලාපයන් ද්විත්වය අතර පැවතෙන්නට ඇති බව කිව හැකි අතර පසුව ලක්දිව පාලකයන් දකුණු ඉන්දීය දේශපාලනයට මැදිහත් වීම ඔස්සේ එම සබඳතා ද ආක්‍රමණ දක්වා දීර්ඝ වූ අවස්ථා දෙරටෙහි ඉතිහාස රචනයන් තුළින් හඳුනා ගැනීමේ හැකියාව ඇත.

ඒ අනුව ලක්දිව පාලකයින් දකුණු ඉන්දීයානු කටයුතු කෙරෙහි අත පෙවීම තවත් දේශපාලනික ආක්‍රමණ රැසකට මඟ පෙවීමට හේතුවක් වූ බව කියවේ. ඒ අනුව මුල් වරට දකුණු ඉන්දීයාව ආක්‍රමණය කිරීම සඳහා කටයුතු කළ පාලකයා II සේන වන බව කියවේ.   I සේන සමයේ පාණ්ඩ්‍ය ආක්‍රමය හා ඉන් ඇති වූ අපකීර්තිය මකාලීම සඳහා II සේන රජු ක්‍රි.ව. 866 දී ශ්‍රී මාර ශ්‍රී වල්ලභ පරාජයට පත් කිරීම සඳහා පාණ්ඩ්‍ය රටේ පැවති අරිශිල් යුද්ධයේ දී එයට ආධාර කරමින් II වරගුණවර්මන් සිහසුනට පත් කිරීමට සහාය ලබා දුන් බව කියවේ. ඒ අනුව ලාංකීය අත පෙවීම් දකුණු ඉන්දියාවට සිදු වීමේ දී ඒ ඒ රාජ්‍යයන්ගෙන් මෙරටට එල්ල වූ ආක්‍රමණකාරී තත්වයන් ද වර්ධනය වූ බව සඳහන් වන අතර II සේනගේ මෙම ක්‍රියා කලාපයත් සමඟ පාණ්ඩ්‍ය දේශය සමඟ මෙතෙක් පවති සතුරු සබඳතා ඉවත්ව ගොස් මිතුරු සබඳතා ලෙස පරිවර්තනය වූ බව කියවේ. පාණ්ඩ්‍ය-ලංකා  මිත්‍රත්වය හේතුවෙන් එසමයේ බලය ක්‍රමයෙන් වර්ධනය කරමින් පැවති චෝළයන් ලංකාව සමඟ සතුරු වීම සිදු වූ බව ද මෙම සංසිද්ධීන් පිළිබඳව අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකිය.

එමෙන්ම ලක්දිව මහා පරාක්‍රමභාහු රජු ද සිය විදේශ ප්‍රතිපත්තිය ඔස්සේ චෝළ දේශයේ සිටම ඔවුන්ට විරුද්ධව සටන් මෙහෙයවා  චෝළයින්ට විරුද්ධ වූ පාණ්ඩ්‍ය දේශයට සහාය පල කළ බව කියවේ. ඒ අනුව මධුරාවේ සිහසුන සඳහා පරාක්‍රම පාණ්ඩ්‍ය හා කුලසේකර පාණ්ඩ්‍ය යන කුමාරවරුන් දෙදෙනා අතර ඇති වූ අරගලයේ දී මහා පරාක්‍රමභාහු රජු පරාක්‍රම පාණ්ඩ්‍ය හට සහාය ලබා දුන් බවත් කුලසෙකර පාණ්ඩ්‍ය චෝළ ආධාර ලබා සටනට එලැඹි බවත් සඳහන් වේ. කෙසේ නමුත් පසුව මෙම අරගලය ලංකාව හා චෝළයන් අතර ඝට්ටනයක් බවට පත් වූ බව සඳහන් වන අතර සටන් රැසක අවසානයේ ලක්දිව පාලකයා පරාජයට පත් වූ බව තිරුවාලංගාඩු ලිපියේ සඳහන්ව ඇත. මෙම ගැටුම හුදෙක් පාණ්ඩ්‍ය සිංහාසනය සඳහා ලංකාවේ හා චෝළයින්ගේ මැදිහත් වීමක් නොවන බවත් මෙය සිංහල-චෝළ දෙපක්ෂය අතර දකුණු ඉන්දියාවේ දී මුහුණට මුහුණලා සිදු කරන ලද සටනක් වූ බවත් විද්වතුන්ගේ මතයයි. කෙසේ නමුත් මෙම ආක්‍රමණයෙන් පැහැදිලි වන්නේ දකුණු ඉන්දියාවේ සොළී දේශය කෙරෙහි ඉතා වෛරී හැඟීමක් ලාංකික ප්‍රජාව සතු වූ බව වන අතර දෙරට අතර ඇති වූ මෙම විරෝධයන් වසර 1200 වන තුරුත් පහව නොඟිය විරෝධයක් වූ බව ද මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.

ක්‍රි.ව. 1187 - ක්‍රි.ව. 1196 තෙක් ලක්දිව පාලනය කළ නිශ්ශංක මල්ල රජු ද දකුණු ඉන්දීය රාජධානි ආක්‍රමණය කොට එම රාජ්‍යයන් සමඟ විරුද්ධවාදී දේශපාලන සබඳතා පවත්වා ගෙන ගිය බව දකුණු ඉන්දීය පුරාවිද්‍යාත්මක සාධකයන් කිහිපයක් සාක්ෂි දරයි. ඒ අනුව ඔහු දෙවරක්ම පාණ්ඩ්‍ය හා චෝළ දේශයන් ආක්‍රමණය කළ බව දකුණු ඉන්දියාවේ රාමේශ්වරම්හි ලිපියක සඳහන්ව පවතී. එය නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවනු ලැබූවක් වන අතර ඉන් පැහැදිලි වනුයේ නිශ්ශංක මල්ල රජු ද දකුණු ඉන්දියාවේ රාජ්‍යයන් සමඟ විරුද්ධවාදී දේශපාලන සබඳතාවන් පවත්වා ගත් බව පැහැදිලි කරුණක් වන බවයි.


2.  ලක්දිව සිංහාසන අරගල සඳහා දකුණු ඉන්දීය සහාය ලබා ගැනීම ඔස්සේ වර්ධනය වූ සබඳතා


බල ලෝභීත්වය හෝ නැති වූ උරුමයන් රැක බලා ගැනීමට හෝ උත්සහා ගත් සිංහල කුමාරවරුන් ඒ සඳහා අවශ්‍ය සහාය බලපොරොත්තු වූයේ දක්ෂිණ භාරතයෙනි. මේ ලක්ෂණ ලාංකීය ඉතිහාසයේ මුල් කාලයේ සිටම දක්නට ලැබෙන අතර උක්ත කාල පරිච්ඡේදයට අදාළ එවැනි සබඳතා අවස්ථාවන් කිහිපයක් ද හඳුන ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව 5 වැනි සියවසේ අවසාන භාගයේ දී දකුණු ඉන්දියානුවන් 12 දෙනෙකුගේ සහාය ඇතිව I මුගලන් රජු ස්වකීය සොහොයුරා වූ සීගිරි කාශ්‍යප රජු මරාදමමින් ලක්දිව සිහසුන ලබා ගත් බව සඳහන් වේ. එමෙන්ම දෙමළ සේනාවකගේ ආධාර ලැබූ සෙන්පතියෙකු වූ සිරිනාග නැමැත්තෙක් සිලාමේඝවණ්ණ රජුගේ සමයේ කැරැල්ලක් ඇති කළත් එය සාර්ථක නොවූ බව කියවේ. III ජෙට්ඨතිස්ස සමයේ ඔහුගේ හමුදා බලයට පරාජය වී පැන ගිය III අග්ගබෝධි ක්‍රි.ව. 632 දී ද්‍රවිඩ සේනාවක් රැගෙන විත් ලක්දිව රජකම ලබා ගත් බවත් ඔහුගේ ඇමතියෙකු වූ දාඨශිව දෙවරක්ම භාරතයේ සිට අග්ගබෝධි රජුට විරුද්ධව සටන් මෙහෙය වූ බවත් කියවේ. එමෙන්ම මෙම අග්ගබෝධි රජු දාඨශිවගේ බලය හමුවේ පරාජයට පත් වී දකුණු ඉන්දියාවට ගොස් නැවතත් ආක්‍රමණයක් සිදු කළ බවත් මේ සෑම ආක්‍රමණ අවස්ථාවක දී ම සිදු වූයේ ලංකාව හා දකුණු ඉන්දියාව අතර නිතර ද්‍රවිඩ ජනතාව සංක්‍රමණය වීම බවත් සඳහන් වේ. මේ හේතුවෙන් ලක්දිව තුළ සිටි ද්‍රවිඩ බලය මේ වන විට වර්ධනය වී තිබුණු බව ද ලක්දිව වංශකතාවන්හි දැක්වේ.
එමෙන්ම ලක් ඉතිහාසයේ දකුණු ඉන්දීය පාලකයන් සමඟ ඇති කොට ගත් දේශපාලන සබඳතා අතර කැපී පෙනෙන අවස්ථාවක් වනුයේ ක්‍රි.ව. 961 දී මානවම්ම කුමරු පල්ලව රාජ්‍යයේ නරසිංහවර්මන් පල්ලව රජුගේ ආධාර ඇතිව සිහසුන ලබා ගැනීමයි. මෙම මාන කුමරු බොහෝ කලක් පල්ලව දේශයේ විසූ බව වංශකතා තුළ සඳහන් වන අතර මානවම්ම කුමරු වම්ම නම් නාමය ගැනීමද ඔහු සතුව තිබූ පල්ලව ගරුත්වය විදහා දක්වන සාධකයක් ලෙස විද්වතුන් විසින් පෙන්වා දී ඇත. මෙලෙස පල්ලව සහාය ලක්දිවට හිමි වීමත් සමඟ එහි සතුරන් වූ චාලුක්‍ය හා පාණ්ඩ්‍ය රාජ්‍යයන් ද ලක්දිව සමඟ සතුරු වූ බව කියවෙන මුත් මේ යුගයේ සෑම සිංහල පාලකයෙකුම ක්‍රියා කරනු ලැබුවේ නැඟී එන දක්ෂිණ භාරතයේ බල තුල්‍යතාවන්ට අනුකූලව බව දැක්වේ. ඒ අනුව සිංහල පාලකයින් දකුණු ඉන්දියාවේ නොයෙක් වර බලවත් වන පාලකයන්ට අනුව හැඩ ගැසුණු බව සඳහන් වන අතර ඒ අනුව පාණ්ඩ්‍යන්ට විරුද්ධවන පල්ලවයින් සමඟ, චෝළයන්ට විරුද්ධ වන පාණ්ඩ්‍යයන් සමඟ ආදී ලෙස රාජාතාන්ත්‍රික සබඳතා ඇති කරගත් බව කියවේ. විශේෂයෙන්ම මානවම්ම කුමරුගේ අභිශේකයෙන්  එනම් 7 වන සියවසින් පසු I සේන රජු දවස වූ 9 වැනි සියවස දක්වා දකුණු ඉන්දියාව තුළින් මෙරටට එල්ල වූයේ එක් ආක්‍රමණයක් පමණක් බව සඳහන් වන අතර ඒ ඔස්සේ නිසඟයෙන්ම දකුණු ඉන්දියාව හා ලක්දිව අතර ඇතිව තිබූ දේශපාලන සම්බන්ධතාවය කවරාකාර එකක වී ද යන්න පිළිබඳව මැනවින් ගම්‍යමාන වේ. එබැවින් ලක්දිව තිබූ අස්ථාවර දේශපාලන තත්වයන්ට සහාය පිණිස දකුණු ඉන්දියානු රාජ්‍යයන්ගෙන් සහාය ලබා ගැනීම ද උක්ත යුගය තුළ පැවති තවත් එක් දේශපාලනමය සබඳතාවක් වූ බව උක්ත නිදසුන් ඔස්සේ ගම්‍යමාන වේ.


3.  දකුණු ඉන්දීය සබඳතා ඔස්සේ ගෙන්වා ගත් සේනාවන් ලක්දිව තුළ බලවත් වීම හා රාජ්‍ය බලය අත්පත් කර ගැනීම       
                                                                                                                  
විශේශයෙන්ම  දකුණු ඉන්දියාව හා ලක්දිව අතර ඇති වූ දේශපලනික සබඳතා හේතුවෙන් ලක්දිව තුළ දකුණු ඉන්දියානු හමුදා බලවත් වීම බොහෝ අවස්ථාවන්හී දී දක්නට ලැබෙන බව කියවේ. ඒ අනුව මාන කුමරුට ලංකාවේ බලය තහවුරු කර ගැනීමට නොහැකි වූ අවස්ථාවේ දී ඔහු සිය පියා වූ දප්පුල සමඟ එක් වී ද්‍රවිඩයන් සමඟ මිත්‍ර ගිවිසුමක් ඇති කර ගන්නා බව සඳහන් වේ. මින් පැහැදිලි වනුයේ මේ වන විට ඉන්දීය හමුදාවන් ලක්දිව තුළ ඉතා බලවත්ව සිටි බව වන අතර ඔවුන් රහසිගතව ලංකාවේ ධනය ස්වකීය දකුණු ඉන්දීය රාජධානි කරා ගෙන ගිය බවත් කියවේ. එමෙන්ම මේ අවස්ථාවේ දී ද්‍රවිඩයන් සූදානම් වූයේ ඔවුන්ට පක්ෂ රජෙකු ලංකාවේ පාලකයා කිරීමට බව සඳහන් වන අතර එනිසාවෙන් ඉන්දියාවේ සිට හත්ථදාඨ ලංකාවට පැමිණි බවත් මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. මොහු ලක්දිවට පැමිණි අවස්ථාවේ දී අනුරාධපුරය ඇතුළු ප්‍රදේශයන් ගණනාවකම විසිරී සිටි ද්‍රවිඩයින් මොහු වටා එක් රොක් වූ බව වංශ කතාවේ සඳහන් වන බව දක්වා ඇති අතර එමඟින් ද පැහැදිලි වනුයේ මේ සමය වන විට බලවත් වූ දකුණු ඉන්දීය රාජධානි සමඟ ලක්දිව පාලකයින් ස්වකීය වුවමනා හා අවශ්‍යතා සඳහා සබඳතා පවත්වා ගැනීම හේතුවෙන් ලක්දිව පරිපාලනය ද වියවුල්කාරී තත්වයකට ඇද වැටුණු ආකාරයයි.

එමෙන්ම මේ යුගයේ ද්‍රවිඩ බලය උග්‍ර වීමෙන් ලක්දිව රාජ්‍ය පරිපාලන තනතුරු ද බොහෝමයක් ද්‍රවිඩයන් ලබා ගත් අවස්ථාවන් හඳුනා ගත හැකි වේ. ඒ අනුව පොත්ත කූඨ, පොත්තඝාත, මහා කන්ද, ආදී ද්‍රවිඩ නායකයින් රාජ්‍යයේ උසස් නිළතලවල සිටි බව ලක්දිව වංශකතාව දක්වා ඇති බව කියවේ. විශේෂයෙන්ම මෙවැනි තනතුරු ලබා දීම් සඳහා IV අග්බෝ රාජ්‍ය සමය වැදගත් වන අතර මින් පැහැදිලි වනුයේ IV අග්බෝ රාජ්‍ය සමය සාමකාමී කාල පරිච්ඡේදයක් ලෙස අර්ථ දක්වනුයේ රජුගේ බලවත්භාවය හේතුවෙන්ම පමණක් නොවන බවයි. දකුණු ඉන්දීය සබඳතා මත ලක්දිවට පැමිණි ද්‍රවිඩ නායකයින්ට ඉහත ආකාරයෙන්  තනතුරු නොදුන්නා නම් ලක්දිව පාලකයාට එතරම් කාලයක් සාමයෙන් යුතුව රාජ්‍ය විචාරීමට අවස්ථාවක් හිමි නොවන බව විද්වතුන් විසින් වැඩි දුරටත් සඳහන් කොට ඇත. එමෙන්ම මෙම සබඳතා මත ලබා දුන් තනතුරු හේතුවෙන් පසුව පොත්තකූඨ වැනි නිලධාරීන් රාජ්‍ය බලය පැහැර ගැනීම ද දක්නට ලැබේ.

එබැවින් දකුණු ඉන්දියාව සමඟ දේශපාලනික වශයෙන් සිදු කරන ලද ආධාර ලබා ගැනීමේ සබඳතා මෙන්ම ඒවා හේතුවෙන් දකුණු ඉන්දියානුවන්ට මෙරට පැමිණ රාජ්‍යත්වය ලබා ගැනීම දක්වාම ලාංකීය කටයුතුවලට මැදිහත් වීම ලංකාවේ දේශපලනය බොහෝ දුරට වියවුල්කාරී තත්වයට පත් කිරීමට හේතුවක් වූ බව උක්ත තොරතුරු ඔස්සේ පැහැදිලි වන අතර මේ හේතුවෙන්ම මෙතෙක් කල් ලංකාව හා දකුණු ඉන්දියානු රාජ්‍යයන් අතර වැඩි වශයෙන් පැවති සබඳතා වර්ගය වූ සංස්කෘතික සබඳතා සීමා වී ඉන්දියානු හමුදා ලබා ගැනීමේ ක්‍රියාවලිය මත දේශපාලන හා යුධමය සබඳතාවලට පරිවර්තනය වූ වූ ආකාරය ද මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ පැහැදිලි වේ.


4.  දකුණු ඉන්දීය සබඳතා ලක්දිව අනුරාධපුර රාජධානිය බිඳ වැටීමට හේතු සාධකයක් වීම

දකුණු ඉන්දීය බලවත්ම අධිරාජ්‍ය වු චෝළයන් විසින් ලක්දිව ආක්‍රමණය කොට අගනුවර වූ අනුරාධපුරයේ අවසානය සනිටුහන් කිරීම ද දකුණු ඉන්දියාව හා ලංකාව අතර ඇති වූ සබඳතාවන්හි ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව චෝළයින් විසින් සිය අධිරාජ්‍ය නිර්මාණය කරමින් පැවති සමයේ ලංකාව ස්වාධීනව පැවතීම තම අධිරාජ්‍යට තර්ජනයක් ලෙස හඳුනා ගන්නට ඇති අතර එමෙන්ම පාණ්ඩ්‍ය රාජ්‍ය වැනි අනෙකුත් දකුණු ඉන්දීය කලාපයන් සමඟ ලක්දිව මිත්‍ර සබඳතා පවත්වා ගැනීම ද චෝළයන් නොයිවසූ බව කිව හැකිය. ඒ අනුව චෝළ දේශය නිරතුරුව ලංකාව දුටුවේ තම සතුරාගේ මිත්‍රයින් ලෙස බව කියවේ. එබැවින් V මිහිඳු රජුගේ සමයේ චෝළ පාලක රාජ රාජ ලක්දිව ආක්‍රමණය කොට V මිහිඳු රජු සිය දේශයට ගෙන යන බව සඳහන් වන අතර ඉන් පසුව ඔහු හා ඔහුගේ පුත්‍රයා වූ රාජේන්ද්‍ර යටතේ වසර ගණනාවක් ලක්දිව පාලනය ගෙන ගිය බව කියවේ. කෙසේ නමුත් වසර 1070 දී විජයභාහු නම් ලාංකීය පාලකයෙකු නැවත ලක්දිව දකුණු ඉන්දීය බලපෑමෙන් මුදවා ගන්නා තුරුම ලක්දිව දේශපාලන ක්‍රියාවලිය පමණක් නොව ආර්ථික, සමාජ මෙන්ම ආගමික සංධානයන් සියල්ලක්ම හැසිරවීමේ බලය සොළීන් සතු වූ බව කියවේ. විශේෂයෙන්ම මෙම ආක්‍රමණය අනුරාධපුර රාජධානියේ හා අනුරාධපුර අගනුවරෙහි අවසානය වූ අතර සොළීන් ද පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය කර ගනිමින් පරිපාලනය ගෙන ගිය බව ලාංකීය වංශකතා හා චෝළ වාර්ථා සාක්ෂි දරයි. එබැවින් ලංකාව හා දකුණු ඉන්දීය රාජධානි අතර ඇති වූ දේශපාලනික සබඳතා හේතුවෙන් ඉස්මතු වූ තවත් එක් ප්‍රතිඵලයක් ලෙසත් මෙම අනුරාධපුර රාජධානියේ පරිහානිය හඳුනාගත හැකි බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.

මූලාශ්‍ර

කෘෂ්ණ සිංහ, නරේන්ද්‍ර, අනිල් චන්ද්‍ර බැනර්ජි, ඉන්දියා ඉතිහාසය, .වී ගුණපාල, 1958
ගුණසේකර, විජයසිරි, ලංකා-චෝළ සම්බන්ධතා හා ප්‍රථිඵල",ශාන්ති-37 අධ්‍යාපන මාසික සඟරාව, සංස්. කෙරමිණියේ ජිනානන්ද ස්ථවිර, 1967
තලවත්ත, අජිත්, ශ්‍රී ලංකාවේ ගමන් මඟ වෙනස් කළ විදේශීය ආක්‍රමණිකයෝ, 2007
තාපර්, රොමිලා, ඉන්දියාවේ ඉතිහාසය, 1973
ධම්මරතන හිමි, හිස්සැල්ලේ, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය, 1964
ධම්මරත්න හිමි, හිස්සැල්ලේ, සිංහලයේ ද්‍රවිඩ බලපෑම, 2001
ධර්මවර්ධන, වයි, එස්, ඩී, සිංහාසන අරගල සඳහා ද්‍රවිඩ හමුදා ගෙන ඒමේ විපාක",ශාන්ති-ඉන්දීය ඉතිහාස සමීක්ෂණය, සංස්. විජයසිරි ගුණසේකර
මජුම්දාර්, ආර්.සී, එච්.සී රායිචෞද්‍රි, කාලිකිඞකර දත්ත, උසස් සවිස්තර ඉන්දියා ඉතිහාසය, පඤ්ඤානන්ද හිමි, පරවාහැර, වෙදගේ, ඩී.ඒ, 1962
රාහුල හිමි, කුරුවිට, දකුණු ඉන්දියාව හා ලංකාව අතර පැවති සංස්කෘතික සම්බන්දතා", ශාන්ති අධ්‍යාපන මාසික සඟරාව-3, සංස්. කෙරමිණියේ ජිනානන්ද ස්ථවිර, 1963
ලියනගමගේ, අමරදාස, රණවීර ගුණවර්ධන, අනුරාධපුර යුගය, 1961
වික්‍රමසිංහ, කේ, ඩී, පී, අපේ සංස්කෘතික උරුමය 1 කාණ්ඩය, 1976
වීරසිංහ, පී, සිංහල සිංහයා හා මන්නාරමේ පුරාවස්තු, 1989
ශාස්ත්‍රී, නීලකණ්ඨ, දකුණු ඉන්දියා ඉතිහාසය, 1962


Share:

facebook share twitter share

1 comment: