යුරෝපා ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයේ බලපෑම කවරාකාරයෙන්
සිදු වී ඇති ද යන්න පිළිබඳව අධ්‍යනය කිරීමේ දී ප්‍රධානවම අංශ කිහිපයක් යටතේ එම බලපෑම්
පෙන්වා දීමට හැකියාව ලැබේ. ඒවා නම් දේශපාලන බලපෑම, ආර්ථික බලපෑම, සාමාජයීය හා ආගමික බලපෑම වශයෙනි.
දේශපාලන බලපෑම
ප්‍රංශ විප්ලවය හේතුවෙන් යුරෝපයේ ඇති වූ දේශපාලන බලපෑම්
අතර ප්‍රධානතම බලපෑම ලෙස හඳුන්වා දිය හැකි වන්නේ ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශයේ
පමණක් නොව යුරෝපයේ ද සෑම අංශයකම මුල් බැස ගෙන තිබූ දේශපාලන න්‍යාය වූ “රට සහ රජ යන
දෙකම එකක් ය” යන හැඟීම ක්‍රමයෙන් අභාවයට යෑම ආරම්භ වීමයි. යුරෝපා ඉතිහාස ගලනයේ පැරණි
යුගයේ පටන්ම රට නැමැති ප්‍රදේශයත් රජු නැමති පුද්ගලයාත් හඳුන්වා දෙනු ලැබුවේ
එකිනෙකාට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබූ වස්තු බීජයන් වශයෙනි. රට පාලනය කරන්නා වූ රජු
ද රජුගේ පාලනයට නතු වන්නා වූ රට පිළිබඳව ද කිසිවෙකුට ප්‍රශ්න කිරීමක් කළ නොහැකි වූ
අතර පූර්ණ ඒකාධිපති ස්වරූපයෙන් රජු හා රාජ්‍ය යන සංකල්පයන් ද්විත්වයම යුරෝපය පුරා
ව්‍යාප්තව තිබෙනු මෙසමයේ දක්නට ලැබේ. නමුත් විප්ලවයෙන් පසු ඒකාධිපති රජ පාලනය බිඳ
දමමින් ජනතාවගේ කැමත්තෙන් ජනතා පාලනයක් ඇති කර ගැනීමේ ක්‍රියාදාමයත් සමඟ ඉහත කී
ආකාරයට රට හා රජ යන පදයන් ද්විත්වයට අර්ථ ද්විත්වයක් ඇති බව යුරෝපිකයන්ට පසක් වීම
ආරම්භ වූ බව සිතිය හැකිය. රජුගේ බලතල අඩු කිරීම හා වැසියාට ගැළපෙන පාලනයක් වැසියා
තුළින්ම නිර්මාණය කර ගැනීමට ප්‍රංශ ජාතිකයන්ට අවස්ථාව උදා වීම ඉහත කී තත්වය ඇති
වීමට මූලිකම හේතුව වන්නට ඇත. එමෙන්ම ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපා දේශපාලනයේ රජු
හා රාජ්‍ය යන සංකල්පයන් භාවිතා වී ඇත්තේ කිසියම් රටක වැසියා විසින් කැමැත්තෙන්
පිළිගනු ලබන දේශපාලන ක්‍රියාවලියක් හොබවන පුද්ගලයා වශයෙන් බව නූතන යුරෝපා ඉතිහාසය
අධ්‍යනය කිරීමේ දී පැහැදිලි වන කරුණකි. එබැවින් රට හා රජ යන සංකල්පයගේ බැඳීම වෙනස්
වීම ද ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපයට බලපෑ ප්‍රධානතම දේශපාලන සංකල්පයක් වූ බව උක්ත
කරුණු ඔස්සේ පැහැදිලි වේ.
එමෙන්ම මධ්‍යතන යුරෝපා අවධියේ පටන් යුරෝපා සමාජ-දේශපාලන
පදනම් වූ වැඩවසම් සංකල්පය දියාරු වීම ආරම්භ වූයේ ද මෙම ප්‍රංශ විප්ලවයේ බලපෑමෙන්
බව කියවේ. ඒ අනුව ප්‍රංශ විප්ලවය ඔස්සේ එවකට ප්‍රංශයේ තිබූ වැඩවසම් දේශපාලනය පමණක්
නොව ඒ හා බැඳුණු ආර්ථික රටාව මෙන්ම සමාජ හා සංස්කෘතික පද්ධතීන් ද විපරිවර්තනයකට
ලක් වූ බව සඳහන් වේ. ඒ අනුව ප්‍රංශ විප්ලවය පවතින අතරතුර එනම් 1789-1793 අතර කාලයේ ප්‍රංශයේ ජාතික සභාව මඟින් වැඩවසම් ක්‍රමවේදය
අහෝසි කළ බව කියවේ. ඒ අනුව වැඩවසම් ක්‍රමවේදයේ තිබූ ප්‍රධාන ලක්ෂණයන් සියල්ලක්ම ප්‍රංශ
විප්ලවය හේතුවෙන් බිඳ වැටුණු බැවින් විද්වතුන් සඳහන් කරනු ලබන්නේ යුරෝපා ඉතිහාස
ගලනයේ ඇති වූ ප්‍රධානතම හැරවුම් ලක්ෂ අතුරින් ප්‍රංශ විප්ලවයද එක් අවස්ථාවක් වන
බවයි. එමෙන්ම ප්‍රංශයේ ඇති වූ මෙම විපරිවර්තනාත්මක සිදුවීම අනෙකුත් යුරෝපා රාජ්‍යයන්ට
ද දැඩි ලෙස බලපෑම් එල්ල කළ බව මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. ඒ අනුව 20 වැනි ශත වර්ෂයේ දී වැඩවසම යුරෝපයෙන් සම්පූර්ණයෙන්ම තුරන්
කරලීමට යුරෝපීයයන් ගනු ලැබූ තීරණයට පදනම වූයේ ද 18 වන සියවසේ ප්‍රංශය මුල් කරගනිමින් ඇති වූ විප්ලවයෙන් වැඩවසම අහෝසි වීමේ
මූලාරම්භය බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වන බව සඳහන් කළ හැකිය.
ජාතිකවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වීම ද ප්‍රංශ විප්ලවය
හේතුවෙන් යුරෝපයට එල්ල වූ තවත් බලපෑමක් ලෙස අර්ථ දක්විය හැකිය. ප්‍රංශ වැසියන්
විසින් කෲර රාජ පාලනයකට විරුද්ධව සිය නිදහස පතා ගෙන ගිය විප්ලව මාලාවක් වූ ප්‍රංශ
විප්ලවය එතරම් ව්‍යාප්ත වීමට බලපෑ සාධකය වූයේ ඔවුන් තුළින් ගොඩ නැඟුණු ජාතිකවාදය
බව විද්වතුන්ගේ මතයයි. ප්‍රංශ විප්ලවයට ඇමරිකන් විප්ලවයෙන් ලැබුණු අදහස් ද ප්‍රංශ
වැසියා තුළ ජාතික හැඟීම ඉස්මතු කිරීමට දායක වූ බව මූලාශ්‍රයන් හි සඳහන් තොරතුරු
අතර වේ. එමෙන්ම ප්‍රංශ විප්ලවයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වීමට එසමයේ ඉදිරියට ආ
විද්වතුන්ගේ මතවාදයන් ද හේතුවක් විය. එහි දී විශේෂයෙන්ම රූසෝ වැන්නවුන් ඉදිරිපත්
කරන ලද අදහස්වලට අනුව “රටක ස්වාධිපත්‍ය හිමි විය යුත්තේ ඒ රටෙහි ජීවත් වන
ජනතාවගේ පොදු මතයට බව” ප්‍රකාශ කර සිටි බව දැක්වේ. කෙසේ නමුත් අවධි ගණනාවක්
ඔස්සේ ව්‍යාප්ත වූ විප්ලවය අවසානයේ ප්‍රංශයේ තිබූ ලුවී රජ පාලනය බිඳ දමා ප්‍රංශයේ
සාමාන්‍ය ජනතාව විසින් ආණ්ඩු බලය හිමි කර ගැනීමක් සිදු කළ බව විද්වතුන්ගේ මතයයි. ඉන්
පැහැදිලි වන්නේ ප්‍රංශයේ ජනතාව විසින් ජනතාව උදෙසා සිය පාලනය සකස් කර ගත් බව හෙවත්
ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රංශය තුළ ස්ථපිත කරවා ගැනීමට ගත් උත්සහයක් ලෙසයි. විද්වතුන්
විසින් අර්ථ දක්වන් පරිදි යුරෝපයට ලැබුණු ජාතිකවාදය හා ප්‍රජාතන්ත්‍රවාද යන දෙබෑයෝ
ප්‍රංශ විප්ලවයේ දායාදයන් ය. 1799 පසු යුරෝපයේ
අනෙකුත් රාජ්‍යන් ද සිය රාජ්‍යන්හි ජාතිකවාදී හැඟීම් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන
ක්‍රියාවලියන් පිළිබඳව සැළකිළිමත් වූ බව සඳහන් වේ. නමුත් නැපෝලියන් විසින් තව
දුරටත් ප්‍රංශයේ අනුගමනය කරනු ලැබුවේ “ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිවාදයක්” බව කියවේ. එනම්
නැපෝලියන්ගේ රාජ්‍ය සංවිධානය අවශ්‍යයෙන්ම ඒකාධිපති වූ නමුත් ප්‍රංශ ජනයාගෙන් වැඩි
කොටසකගේ ජනප්‍රියභාවය දිනා ගැනීමට සමත් වූ දේශපාලන ක්‍රමයක් වූ බවයි. මෙම සංකල්පය
ද අනෙකුත් යුරෝපා රාජ්‍යයන්ට නව දේශපාලන ක්‍රමවේදයක් වූ බව සඳහන් වන අතර ඊට අමතරව ඉහත
කී ජාතිකවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය යන ද්විත්ව සංකල්පයන් ද ප්‍රංශ විප්ලවය ඔස්සේ
යුරෝපයට ලබුණු දේශපාලනික බලපෑමක් වශයෙන් 18 වන සියවසේ අග භාගයෙන් පසුව යුරෝපය පුරා ව්‍යාප්ත වූ දේශපාලන ක්‍රමවේදයන්
වූ බව විවිධ යුරෝපා රාජ්‍යයන්හි දේශපාලන ක්‍රියාවලි අධ්‍යනය කිරීම ඔස්සේ පැහැදිලි
වේ.
ප්‍රජාතන්ත්‍රවාදය හා ජාතිකවාදය ප්‍රංශය තුළ පිළිගත්
දේශපාලන ක්‍රමයක් වූ විට ඒ ඔස්සේ තවත් වැදගත් සිද්ධාන්තයක් පහළ වූ බව සඳහන් වේ.
එනම් “ජනතාවගේ ස්වාධිපත්‍යයි”. මින් හැඟෙනුයේ
රටක රාජ්‍ය කුමන ආකාරයේ එකක් ද යන්න තීරණය
කර ගැනීමටත්, කැමති ආකාරයේ පාලනයක් ඇති
කර ගැනීමටත් අයිතිවාසිකම් ඇත්තේ එරට මහජනයාට බවයි. පාලකයන් බිහිවිය යුත්තේ මහජන
අනුමැතිය මත බවත්, එය ලේ උරුමය හෝ දේව වරම නිසා නොවන බවත්
එහි දී පෙන්වා දෙනු ලබයි. පාලකයා රට පාලනය කළ යුත්තේ ජනයාගේ සුභ සිද්ධිය උදෙසා
බවත්, තමන්ට රිසි පාලකයා තෝරා ගනීමටත්
නොරිසි වූවන් පන්නා දැමීමටත් ජනතාවය අයිතියක් ඇති බව මෙම සංකල්පය ඔස්සේ මතු කර
දක්වන ලදී. නමුත් මෙම ක්‍රමය එවකට යුරෝපයේ අනෙකුත් රාජ්‍යයන්ට එල්ල කරන ලද දැඩි
දේශපාලන බලපෑමක් හෙවත් මරු පහරක් වූ බව කියවේ. මෙන්ද යත් 18 වන සියවසේ යුරෝපයේ බොහෝ රාජ්‍යන් ස්වෛරී රාජාණ්ඩු විය.
ඒවා ලේ උරුමය මත පිහිටවූ දෙවියන් තුළින් බලතල ලැබූ පාලකයෝ පාලනය කළ රජයන් විය. එබඳු
සමයක ජනතා ස්වාධිපත්‍ය නමින් ප්‍රංශ විප්ලවයෙන් නැඟී ආ බලය අතිශයින් විප්ලවකාරී
මෙන්ම යුරෝපයේ අනෙකුත් රාජාණ්ඩුවලට දැඩි බලපෑමක් එල්ල කළ බව නිසඟයෙන්ම පැහැදිලි වන
අතර එනිසාවෙන්ම යුරෝපයේ අනෙකුත් රාජාණ්ඩු ප්‍රංශ විප්ලවය වනසා දමන්ට ඉදිරිපත් වීම
ද පුදුම සහගත නොවන ක්‍රියාවක් බව විද්වතුන්ගේ මතයයි. ඒ අනුව උක්ත තොරතුරු ඔස්සේ
ගම්‍යමාන වනුයේ ප්‍රංශ විප්ලවයෙන් නැඟී ආ ජනතා ස්වාධිපත්‍ය යන මතය ද යුරෝපීය
ඉතිහාසයට එල්ල කරන ලද තවත් එක් දේශපාලන බලපෑමක් වූ බව මනවින් පැහැදිලි වන බවයි.
තව ද ඉහත සඳහන් කළ ආකාරයට ප්‍රංශ විප්ලවයට සෙසු යුරෝපීය
රාජ්‍යන් විරුද්ධ වීම ද එම විප්ලවය ඔස්සේ යුරෝපීය ඉතිහාසයට එල්ල වූ තවත් එක්
දේශපාලන බලපෑමක් විය. ඒ අනුව සිදු වන්නේ විප්ලවය සිදු වන කාල පරාසය අතර ප්‍රංශයේ
පරිපාලන බලය හිමිව තිබූ ගිරොන්ඩින්වරුන්ගේ කාර්යභාරයට යුරෝපීය රාජ්‍යයන් සිය
විරෝධතාවය ප්‍රකාශ කර සිටීමයි. ප්‍රංශය තුළ විප්ලවය නැඟෙමින් පැවති සමයේ පොදු
දේශපාලන ප්‍රතිපත්තියක් හෝ නොතිබුණු පක්ෂයක් වූ මොවුන් සිය ප්‍රකාශයන් ඔස්සේ දක්වා
සිටියේ “විප්ලවය පූර්ණ
යුරෝපයේම ව්‍යාප්ත කරන බවත්, යුරෝපයේ අනෙකුත්
සෑම රාජ්‍යයකම සිංහාසනයන් ද දෙදරවා හරින බවත්”
යනුවෙන් ය. එම තර්ජනය
හේතුවෙන් අවශේෂ යුරෝපීය ජාතීන් ප්‍රංශ විප්ලවයේ සතුරන් බවට පත් වූ බව සඳහන් වන අතර
ගිරොන්ඩින්වරුන්ගේ වැඩ පිළිවෙළ හේතුවෙන් යුරෝපීය රාජාණ්ඩු බිඳ වැටීමේ අවධානමකට ද
මුහුණ දුන් බව සඳහන් වේ. එබැවින් ගිරොන්ඩින්වරුන්ගේ මෙබඳු ප්‍රකාශයන් යුරෝපයේ
අනෙකුත් රාජ්‍යයන්ට එල්ල කරන ලද අභියෝගයන් වශයෙන් එම රජවරු සිතූ බවත්, ඒ හේතුවෙන් ක්‍රමයෙන් ප්‍රංශ විප්ලවයට අනෙකුත් යුරෝපීය
ජාතීන්ගේ විරෝධයට භාජනය වීමට සිදු වූ බවත් මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරුන් අතර
දැක්වේ. ඒ අනුව උක්ත තොරතුරු ඔස්සේ පැහැදිලි වනුයේ ප්‍රංශ විප්ලවය සිදු වෙමින්
පැවති සමයේ එහි ක්‍රියාකලාපයට අනෙකුත් යුරෝපා ජාතීන්ගේ විරුද්ධත්වය එල්ල වීම ද ප්‍රංශ
විප්ලවය හේතුවෙන් යුරෝපා ඉතිහාස ගලනයට සිදු වූ තවත් එක් දේශපාලනික බලපෑමක් බව ගම්‍යමාන
වන බවයි.
යුරෝපා ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයෙන් ලැබුණු තවත්
එක් බලපෑමක් වනුයේ “නිදහස”, “සමානාත්මතාවය” හා “සහෝදරත්වය” යන විප්ලවයේ සටන් පාඨය යුරෝපයේ අභිනව දේශපාලන ධර්මයක
අත්තිවාරම බවට පත් වීමයි. මෙම මතවාදය පිළිබඳව අදහස් දක්වන එම්. ඩී. එච්
සෙනෙවිරත්නයන් සිය කෘතියේ මෙසේ සඳහන් කර ඇත.
...ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් ධර්මයක් ලෙස සැලකෙන මෙකල "නිදහස" සහ
"සමානත්වය" යන වචනවල එතරම් අපූරු බවක් පෙනෙන්නට නැත. එහෙත් 19 වැනි ශත වර්ෂයේ ඓතිහාසික තත්වය අනුව මේ අලුත් අදහස්වල ප්‍රථිඵල
විපර්යාසාත්මක වීම පුදුමයක් නො වේ. ප්‍රංශ විප්ලවයේ චිරස්ථායී ප්‍රථිඵල ගැන සිහි
කට යුත්තෙත් ,
එහි අගය මැණිය යුත්තෙත් 19 වැනි ශත වර්ෂයේ වටිනාකම්වලින් විනා 20 වැනි ශත
වර්ෂයෙහි අදහස්වලින් නො වේ....
ඉන් පැහැදිලි වන්නේ 18 වන සියවසේ ප්‍රංශ විප්ලවය හේතුවෙන් යුරෝපය පුරා ව්‍යාප්ත වී ගිය එම අදහස් 19 වන සියවස තුළ දී බොහෝ වශයෙන් යුරෝපයේ භාවිතයට ගනු ලැබූ
දේශපාලන මතවාදයන් වන්නට ඇති බවත්ය. එබැවින් ප්‍රංශ විප්ලවයෙන් බිහි කරනු ලැබූ
නිදහස හා සමානත්වය යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදයට මුල් ගල තැබූ සාධකය වූ බවත්, සහෝදරත්වය ජාතිවාදය පදනම වූ බවත් උක්ත කරුණු ඔස්සේ මැනවින්
පැහැදිලි වන බව කිව හැකිය.
ප්‍රංශ
විප්ලවය ඔස්සේ යුරෝපා ඉතිහාසයට එල්ල වූ තවත් එක් දේශපාලන බලපෑමක් වූයේ “විප්ලවය ආයුධයක්
වශයෙන් යොදා ගැනීමට” යුරෝපිකයන් උනන්දු වීමයි. එනම් රජයක් පෙරළා දැමීමට
මාර්ගයක් වශයෙන් මහජනතාවගේ විප්ලවය සුදුසුම ආයුධය බව ප්‍රංශ ජාතිකයින් යුරෝපයට
පෙන්වා දීමයි. ඒ අනුව ව්‍යවස්ථානුකූලව රාජ්‍ය වෙනස් කිරීමකට වඩා විප්ලවයකින් එසේ
කිරීම වඩාත් සම්පූර්ණ හා සඵලදායි බව යුරෝපිකයන් සිතූ බව කියවේ. 1789-1870 කාලය යුරෝපය විප්ලව සමයක් ලෙස අර්ථ දැක්වීම තුළින්ම එම
කරුණ සනාථ වන බව කිව හැකි අතර 20 වන සියවසේ දී
තාක්ෂණික ආයුධ බලය යොදා මිනිසුන් මර්දනය කළ හමුදාවන් පවා මහජන විප්ලව සඳහා නම්මවා
ගැනීමේ සිදුවීම් වාර්ථා වීම ද ප්‍රංශ විප්ලවය ඔස්සේ යුරෝපයට ඇති වූ තවත් එක් ප්‍රභලතම
දේශපාලන බලපෑමකට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.
එමෙන්ම
සමූහාණ්ඩු ක්‍රමය යුරෝපයේ පිළිගත් ජනප්‍රිය පරිපාලන යාන්ත්‍රණයක් බවට පත් වීම ද ප්‍රංශ
විප්ලවය හේතුවෙන් යුරෝපා ඉතිහාසයට එල්ල කරන ලද තවත් එක් බලපෑමක් ලෙස පෙන්වා දිය
හැකිය. ප්‍රංශයේ රජ පාලනයේ තිබූ ඒකාධිපති ස්වරූපය ප්‍රතික්ෂේප කළ එහි වැසියන් සිය
පරිපාලනය තමාගේ අවශ්‍යතාවය මත සකසා ගැනීම ඔස්සේ සමූහාණ්ඩු ක්‍රමයක් ප්‍රංශය තුළ
ඇති කර ගත් බව සඳහන් වේ. එහි බලපෑම මත යුරෝපයේ බොහොමයක් රාජ්‍යයන්හි වැසියන් ද තම
දේශයන් සතු පාලනයන් ඒකාධිපති ස්වරූපයෙන් දුටු බවත් එමනිසා එම පාලනයෙන් මිදී
සමූහාණ්ඩු පාලනයක් අපෙක්ෂා කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු අතර වේ. එබැවින්
යුරෝපයේ බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමූහාණ්ඩු ස්වරූපය වැළඳ ගත් බව එම
මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් වන අතර එනිසාවෙන්ම උක්ත සාධකය ද ප්‍රංශ විප්ලවය
හේතුවෙන් යුරෝපා ඉතිහාසයට ඇති වූ තවත් එක් දේශපාලනමය බලපෑමක් ලෙස දැක්විය හැකිය.
එමෙන්ම
නැපෝලියානු යුද්ධ යුරෝපය තුළ භීතිකාවක්
නිර්මාණය කිරීම ද ප්‍රංශ විප්ලවයෙන් යුරෝපයට ලැබුණු තවත් එක් බලපෑමකි. “ප්‍රංශ
විප්ලවයෙන් බිහි වූ දරුවා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන නැපෝලියන් බොනපාට් සිය
විදේශ ප්‍රතිපත්තිය ඔස්සේ යුරෝපයේ රාජ්‍යන් තම අණසක යටතට ගැනීමේ ප්‍රතිපත්තියක්
අනුගමනය කළ බව සඳහන් වේ. ඒ අනුව ගිවිසුම්, අණපනත් හා යුධ මඟින් යුරෝපයේ රාජ්‍යන් අත් පත් කර ගැනීමේ ක්‍රියාවලියක ඔහු
නිරත වූ බව සඳහන් වන අතර එනිසාවෙන් ප්‍රංශ විරෝධී යුරෝපීය බලවේග නිර්මාණය වීම හා
දෙපාර්ශවය අතර සටන් ඇති වීම යුරෝපය තුළ දේශපාලන භීතිකාවක් ඇති කිරීමට සමත් වූ
සංසිද්ධිය වූ බව කියවේ. ඒ අනුව ඔස්ට්‍රියාව, රුසියාව හා එංගලන්තය ආදී රටවල් ප්‍රංශයට විරුද්ධව ගැටුමට අවතීර්ණ වූ බව
සඳහන් වන අතර රුසියාව, ප්‍රෂියාව හා
ඔස්ට්‍රියාව පරදවා ප්‍රංශයට වාසි දායක ගිවිසුම් ඇති කර ගැනීමට ද නැපෝලියන් සමත් වූ
බව කියවේ. එංගලන්තය හැරෙන්නට විශාල ප්‍රදේශයක නැපෝලියානු බලය ව්‍යාප්ත කිරීමට ඔහුට
හැකියාව ලැබුණු බව සඳහන් වන අතර විශේෂයෙන්ම නැපෝලියන් 1804 වසරේ දී ප්‍රංශ අධිරජු ලෙස කිරුළු පැළඳීමෙන්
අනතුරුව සිය ඥාතීන් ඔහු විසින් යටත් කර ගනු ලැබූ අවශේෂ යුරෝපා රටවල පාලකයන් බවට
පත් කිරීම සිදු කළ බවත්, ඉන් බිය වූ යුරෝපා ජාතීන් නැවත
සටනට එළැඹි බවත් සඳහන් වේ. එබැවින් යුරෝපය භීම සමයකට ඇද දමනු ලැබූ නැපෝලියානු යුධ
මාලාව ද ප්‍රංශ විප්ලවය හේතුවෙන් යුරෝපයට එල්ල වූ තවත් එක් ප්‍රභලතම දේශපාලන
බලපෑමක් ලෙස උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වන බව කිව හැකිය.
ආර්ථික බලපෑම
යුරෝපා ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයෙන් සිදු වූ ආර්ථික
බලපෑම ගත් කළ පෙනී යන්නේ මුල් වරට යුරෝපය තුළ මධ්‍යම පාන්තික සමාජයක් කේන්ද්‍ර කොට
ගනිමින් ආර්ථික වර්ධනයන් අත්පත් කර ගැනීම සිදු වූයේ ප්‍රංශ විප්ලවයෙන් පසුව බවයි.
වැඩවසම් ක්‍රමයෙන් නිදහස ලබා ගැනීමත් සමඟ ජනතාවට ඉඩම් ලබා ගැනීමේ අයිතිය හිමි වූ
බව සඳහන් වන අතර ඒ ඔස්සේ සිදු වූයේ නව සමාජමය අංශයක් වූ “සුළු ඉඩම් හිමි
මධ්‍යම ගොවි පන්තිය” ආරම්භ වීම බව සඳහන් වේ. විප්ලවයට පෙර ප්‍රංශයේ පැවතියා
වූ ආර්ථික ක්‍රමවේදයට වඩා විප්ලවයෙන් පසු ප්‍රංශ ආර්ථික ක්‍රමවේදයන් මෙම නව සමාජ
කණ්ඩායම හේතුවෙන් වර්ධනාත්මක තලයකට පැමිණි බව මූලාශ්‍රයන්හි දැක්වේ. මෙම සුළු ඉඩම්
හිමියන් පශ්චාද් විප්ලව සමයේ යුරෝපා ඉතිහාසයේ සැලකිය යුතු ආර්ථික බලවේගයක් බවට පත්
වූ බව සඳහන් වන අතර ඔව්හු විප්ලවයෙන් පසු ප්‍රංශ ඉතිහාසයට පමණක් නොව යුරෝපා
ඉතිහාසයට ද ඉතා තදින් බලපාන්නට වූ බව එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් කොට ඇත. එබැවින්
මෙසමය වන විට වැඩවසම් සමාජයක ජීවත් වෙමින් සිටි අනෙකුත් යුරෝපා රාජ්‍යයන්ට ද ප්‍රංශයේ
සිදු වූ මෙම ආර්ථික වෙනස්කම බලපෑ බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව යුරෝපය තුළ ඉඩම් හිමි
මධ්‍යම ගොවි පන්තියක නැඟීම ආරම්භ වන්නට ඇත්තේ ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵලයන් ඔස්සේ
බව ඉන් ගම්‍ය වන අතර දියාරු වෙමින් පැවති වැඩවසම් ආර්ථිකය අභිබවමින් වර්ධනාත්මක
ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට යුරෝපය යම් තාක් දුරකට හෝ පෙළඹීම සිදු වූයේ ද
ප්‍රංශ විප්ලවයේ බලපෑම යුරෝපයට ලැබීමෙන් බව උක්ත කරුණු ඔස්සේ පෙනී යන බව කිව
හැකිය.
ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵල ඔස්සේ යුරෝපා ඉතිහාසයට ඇති වූ
තවත් එක් ආර්ථිකමය බලපෑමක් වූයේ ඉඩම් බෙදී යෑමේ ක්‍රමවේදයක් ආරම්භ වීම නිසාවෙන්
ලිබරල්වාදී මධ්‍යම පාන්තික ධනපති සමාජයක් බිහිවීමයි. විප්ලවය හේතුවෙන් එවකට ප්‍රංශයේ
රදළයින් හා පූජකයින් සතුව පැවතියා වූ ඉඩම් සියල්ල වැඩවසම් ක්‍රමයෙන් නිදහස් කොට
සාමාන්‍ය ජනයා අතර බෙදා දීම සිදු වූ බව ඉහත පරිච්ඡේදයෙන් ද පෙන්වා දෙන ලදී. ඒ අනුව
යුරෝපා ආර්ථිකයට නව ඉඩම් හිමි ගොවි පන්තියක හඳුන්වා දීම ඒ ඔස්සේ සිදු වූ අතර මෙම
ඉඩම් බෙදීමේ ක්‍රමවේදය ප්‍රංශ විප්ලවයේ අවසානයට ද බලපෑ බව ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය
වී තිබේ. කෙසේ නමුත් ගොවි සමාජය මෙම ඉඩම් බෙදීම කෙරෙහි ඉතා උද්යෝගී පියවරයන්
අනුගමනය කළ බව සඳහන් වන අතර, පුද්ගලික
ධනය වැඩි වශයෙන් තමන් තුළ රැස් කර ගැනීම දෙවියන් විසින් ලබා දුන් වරමක් හෝ
ස්වභාවික අයිතියක් ලෙස සැලකූ ලිබරල්වාදී මධ්‍යම පාන්තික ධනපති සමාජයක් ප්‍රංශය
කේන්ද්‍ර කොට ගෙන යුරෝපයේ බිහි වූයේ ද මෙම ප්‍රංශ විප්ලවයේ බලපෑමෙන් බව මූලාශ්‍රයන්හි
සඳහන් තොරතුරු ඔස්සේ පෙන්වා දිය හැකිය.
එමෙන්ම ප්‍රංශය
කෙන්ද්‍ර කොට ගනිමින් බොහෝ යුරෝපීය රාජ්‍යයන්
බදු ගෙවීම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මුල් වීම ද යුරෝපා
ඉතිහාසය කෙරෙහි ප්‍රංශ විප්ලවයෙන් ඇති වූ තවත් එක් ආර්ථික බලපෑමක් ලෙස දක්විය
හැකිය. ඒ අනුව ප්‍රංශ විප්ලවයෙන් පසු සාධාරණ ක්‍රමවේදයක් මත බදු අය කිරීම නැවත
ආරම්භ වූ බව සඳහන් වන අතර එහි දී වැදගත් කොට ගනු ලැබුවේ පුද්ගලයාගේ උප්පත්තිය නොව
පුද්ගලයා සතු ධනය බව ද කියවේ. විප්ලවයත් සමඟ ප්‍රංශය මූලික කරගත් යුරෝපයේ
සමානාත්මතාවය දාර්ශනික අදහසක් ලෙස ව්‍යාප්ත වීමත්, ඒ ඔස්සේ ඇති වූ සමාජ සමානාත්මතාවය යන සංකල්පය මත
තවදුරටත් උප්පත්තියට වඩා ධනය ඉහළ බවට සම්මත වීමත් හේතුවෙන් ඉහත දක්වූ ආකාරයේ බදු
ගෙවීමේ සාධාරණත්වයක් යුරෝපයේ අනුගමනය කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. එබවින්
ඉහත සඳහන් කරන ලද කරුණු ඔස්සේ පැහැදිලි වනුයේ බදු ගෙවීමේ සමානාත්මතාවයක් ඇති වීම ද
ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස යුරෝපයේ ඉතිහාසයට බලපෑ තවත් එක් ආර්ථිකමය සාධකයක්
වන බවයි.
එමෙන්ම
යුරෝපය පුරා ක්‍රමවත් ආර්ථික සංවිධානයක් නිර්මාණය වූයේ ද ප්‍රංශ විප්ලවයේ බලපෑම
යුරෝපයට ලැබීමෙන් බව විද්වතුන්ගේ මතයයි. ඒ අනුව ප්‍රංශයේ පමණක් නොව යුරෝපයේ
අනෙකුත් රාජ්‍යයන්වල ද 18 වැනි සියවස වන
විට පැවතියේ වාණිජවාදී ආර්ථික ක්‍රමයක් හෙවත් ජාතික පදනමක් මත සංවිධානය වූ වැඩවසම්
ආර්ථිකයක් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. යුරෝපයේ පැවති එම ආර්ථිකය වූ කලී නීති රීති, බාධක ආදියෙන් පුද්ගල නිදහස සීමා කරවූ සමූහවාදී ආර්ථික
න්‍යායක් බව එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් දැක්වේ. කෙසේ නමුත් ප්‍රංශ විප්ලවය
තුළින් මෙම බාධක සියල්ලම ඉවත් කර දමා පුද්ගල අයිතිය හා ධනය පරිහරණය කිරීමේ හිමිකම
මත ගොඩනඟුණු ධනපතිවාදී ආර්ථිකයකට මඟ පෙන්වූ බව ද, ඒ ඔස්සේ නව පන්තියක් වශයෙන් ඉදිරියට පැමිණි මධ්‍යම
පන්තියට සිය කාර්මික දියුණුව කරා යෑමට බාධා වූ සියළු දේ ඉවත ලෑමට කටයුතු කළ බව ද සඳහන්
වීමෙන් පෙනී යන්නේ ප්‍රංශ විප්ලවය ඔස්සේ ලබුණු ආර්ථික සංවිධානාත්මකභාවය යුරෝපයේ
බොහෝ රාජ්‍යයන් එයට ඇඳ බැඳ තබා ගැනීමට සමත් කරවූ උපායමර්ගයක් වූ බවයි. එමෙන්ම ප්‍රංශ
විප්ලවයෙන් බිහි වූ සංකල්පයන් වූ නිදහස හා සමානාත්මතාවය යන සිද්ධාන්තයන් හේතුවෙන්
ද යුරෝපයේ රදළ ආර්ථික ක්‍රමවේද බිඳ වැටීම සිදු වූ බවත් ඒ ඔස්සේ යුරෝපය පුරා
පුද්ගලික දක්ෂතාවයන් මත බිහි වූ ධනපති ආර්ථික ක්‍රියාවලියක් ආරම්භ වූ බවත් උක්ත
කරුණු ඔස්සේ හඳුනාගත හැකිය. එමෙන්ම මෙම ධනපතිවාදී ආර්ථික ක්‍රියාවලිය තව දුරටත්
යුරෝපය පුරා ව්‍යාප්ත වීම සාර්ථක කර ගැනීමට ප්‍රංශය මුල් කර ගනිමින් ඇති වූ
කර්මාන්ත හා වෙළෙඳ කටයුතුවල අභිවර්ධනයට යොදා ගත් බැංකු හා මුදල් ක්‍රමය ද හේතුවක්
වූ බව සඳහන් වේ. ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵල ලෙසින් ඇති වූ මෙම ආර්ථික ක්‍රමවේදයන්
හි භවිතය ද පසු කාලීනව ප්‍රංශයට පමණක් සීමා නොවූ බව පැවසේ. ඒ අනුව බැංකු හා මුදල් භාවිතය
යුරෝපයේ බොහෝ රාජ්‍යයන් අතර ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ ආකාරය යුරෝපා ඉතිහාස ගලනය ඔස්සේ හඳුනාගත හැකි අතර
එනිසාවෙන්ම ආර්ථික සංවිධානය ඇතිවීම යන සංසිද්ධිය ද ප්‍රංශ විප්ලවය හේතුවෙන්
යුරෝපයට එල්ල වූ තවත් එක් ආර්ථික බලපෑමක් බව ඉහත තොරතුරු ඔස්සේ මැනවින් ගම්‍යමාන
වන බව කිව හැකිය.
තව ද ප්‍රංශ
විප්ලවයේ සුවිශේෂිතම ප්‍රථිඵලය වූ නැපෝලියන් බොනපාට්ගේ ආගමනය හා ඉන් පසුව ඔහුගේ
විදේශ ප්‍රතිපත්තිය ඔස්සේ සිදු කෙරුණු කටයුතුවල දී ද යුරෝපයේ ආර්ථිකයට බලපෑම් කළ
හැකි සංසිද්ධීන් ගණනවක්ම ඇති වූ බව කියවේ. ඒ අතර ප්‍රධාන වශයෙන්ම නැපෝලියන් විසින්
යුරෝපීය-ඉංග්‍රීසි ආර්ථික ක්‍රියාවලිය අත්හිටුවීමට ගනු ලැබූ තීරණය වැදගත් ආර්ථිකමය
බලපෑමක් ලෙස සලකනු ලබයි. ඒ අනුව නැපෝලියන් හට යටත් කර ගැනීමට නොහැකි වූ එකම
යුරෝපියානු ජාතිය වූයේ බ්‍රිතාන්‍යන් බව කියවේ. එබැවින් එරටට පහර දීමට ඇති වඩාත්ම
යෝග්‍ය ක්‍රමය ලෙස නැපෝලියන් විසින් එංගලන්තයේ විදේශ වෙළෙඳාම නතර කරවීමට පියවර ගත්
බව සඳහන් වේ. ඒ අනුව එංගලන්තයෙන් යුරෝපයට භාණ්ඩ යැවීම තහනම් කරනු ලැබූ විට බ්‍රිතාන්‍ය
ආර්ථික පදනම බිඳ වැටෙන බවට නැපෝලියන් විශ්වාස කළ බවත්, ඒ හේතුවෙන් එංගලන්තයේ රැකියා ආදී බරපතළ අර්බුද ඇති වී
එරට පීඩාවට පත් වෙනු ඇති බවත් ඔහු අපෙක්ෂා කළ බව කියවේ. බර්ලින් ආඥා පනත ඇති
කරමින් මෙම තහනම ඔහු විසින් දියත් කළ බව සඳහන් වන අතර ඊට අමතරව රුසියාවේ සාර් රජු
යොදාගෙන ඇති කරගනු ලැබූ ටිල්සිට් ගිවිසුම ද ප්‍රංශය හා රුසියාව අතර යුරෝපය බෙදා
ගනිමින් මහා බ්‍රිතාන්‍ය විනාශ කිරීමට යෙදූ උපක්‍රමයක් බව ද නූතන විද්වතුන්ගේ මතය
වී ඇත. එබැවින් ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵලයක් වූ නැපෝලියන් විසින් ගෙන ගිය මෙවැනි
ආර්ථිකමය ප්‍රතිපත්තීන් ද යුරෝපයේ ඉතිහාසය තීරණය කිරීමෙහි ලා දායක වී ඇති බව ඉන්
හඳුනා ගත හැකි අතර එනිසාවෙන්ම උක්ත නිදසුන ද ප්‍රංශ විප්ලවය හේතුවෙන් යුරෝපා
ඉතිහාසයට ඇති වූ තවත් එක් ආර්ථිකමය බලපෑමක් බව ඉහත සඳහන් කරන ලද තොරතුරු ඔස්සේ
මැනවින් පැහැදිලි වන බව කිව හැකිය.
සාමාජයීය හා ආගමික බලපෑම
යුරෝපා
කලාපයට සාමාජයීය වශයෙන් බලපෑම් කරනු ලැබූ ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵල අතුරින් ප්‍රධානතම
ප්‍රථිඵලයක් වනුයේ විප්ලවය හේතුවෙන් එතෙක් පැවති රදළ ක්‍රමය අභාවයට යෑම බව
විද්වතුන්ගේ මතයයි. ඒ අනුව වැඩවසම් ක්‍රමයේ පරිහානිය ආරම්භ වීම ප්‍රංශ විප්ලවයෙන්
සණිටුහන් කිරීමත් සමඟ ඒ හා බැඳි සමාජ ක්‍රමය වූ රදළ පවුල් මූලික කොට ගත් සමාජයත්
විනාශ වීම ආරම්භ වන්නට ඇති බව ඉන් හඳුනාගත හැකිය. එබැවින් මෙම නව සමාජ තත්වය ප්‍රංශයට
පමණක් නොව අනෙකුත් යුරෝපා රාජ්‍යයන්ට ද බලපාන්නට ඇති බව කිව හැකි අතර මූලාශ්‍රයන්
හි මේ පිලිබඳව සඳහන් කරනු ලබන්නේ යුරෝපයෙන් රදළ සමාජය අතු ගා දැමීමේ ව්‍යාපාරේ
පුරෝගාමී සාමාජිකයන් වූයේ ප්‍රංශ විප්ලවවාදීන් වන බවයි. තව ද මූලාශ්‍රයන්හි “ප්‍රංශ විප්ලවයේ
නොනැසෙන දායාදය” ලෙසින් ද රදළ ක්‍රමය අහෝසි කර දැමීම යන ක්‍රියාදාමය අර්ථ දක්වා ඇති අතර එමඟින්
ද පැහැදිලි වනුයේ යුරෝපාකරය
වැඩවසම්වාදී රදළ සමාජයන්ගෙන් මුදවා ගැනීම සඳහා බලපෑ ප්‍රධානතම සාධකය වූයේ ද ප්‍රංශ
විප්ලවය වන බවයි. එබැවින් රදළ සමාජය යුරෝපා ඉතිහාසයෙන් අහෝසි වී යෑම යන සමාජමය
සංසිද්ධිය ඇති වූයේ ද ප්‍රංශ විප්ලවයේ බලපෑමෙන් බව ඉහත දක්වන ලද තොරතුරු ඔස්සේ ගම්‍යමාන
වන බව කිව හැකිය.
උක්ත
ආර්ථික බලපෑම් පරිච්ඡේදයේ දී සඳහන් කරන ලද ආකාරයෙන් පරිදි ප්‍රංශය කේන්ද්‍ර කොට
ගත් යුරෝපයේ මධ්‍යම පාන්තික සමාජයක් ඇති වීමට මුල් වූයේ ද ප්‍රංශ විප්ලවය බව සඳහන්
කළ හැකිය. රදළ සමාජය බිඳ දමමින් ප්‍රංශ ජනයා සිදු කරන ලද සමාජ-දේශපාලන බලය තමන්
සතු කර ගැනීමේ ක්‍රියාදාමය මත මෙම මධ්‍යම පන්තිය බිහි වූ බව ඉතිහාසඥයින්ගේ මතයයි.
එමෙන්ම වැඩවසම බිඳී ගිය බැවින් ඉඩම් බෙදා දීමේ ව්‍යාපාර ඇරඹීම හා ඒ ඔස්සේ නව මධ්‍යම
පන්තියට බලවත්භාවයක් ලැබීම ද යුරෝපා සමාජ සංවිධානය තුළ සුළු ඉඩම් හිමි මධ්‍යම ගොවි
පන්තිය නමින් සමාජ කණ්ඩායමක් ස්ථාවරත්වයට පත් වීමට හේතුව වූ බව කියවේ. ඒ අනුව
මොවුන් පසු කාලීනව යුරෝපා සමාජ තලයේ පමණක් නොව ආර්ථික හා දේශපාලන ක්‍රියාවලියේ ද
ඉතා වැදගත් භූමිකාවක් හෙබවූ බව යුරෝපා ඉතිහාසය අධ්‍යනය කිරීමේ දී පැහදිලිව පෙනී යන
කරුණකි.
එමෙන්ම ප්‍රංශ විප්ලවය හේතුවෙන් මධ්‍යතන යුරෝපයේ පැවති
සාමාජයිය මතවාදයන් අභියෝගයට ලක් වීම ද යුරෝපා ඉතිහාසය කෙරෙහි බලපෑ තවත් එක් සමාජමය
බලපෑමක් ලෙස දැක්විය හැකිය. ඒ අනුව මධ්‍යතන යුගයේ දී යුරෝපීයයන් විශ්වාස කරනු ලැබූ
න්‍යායක් වූ පුද්ගලයාට වඩා සමාජය වැදගත් ය යන සංකල්පය විප්ලවවාදී අදහස් ව්‍යාප්ත
වීමත් සමඟ බිඳී ගිය බව කියවේ. ඒ අනුව විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස ඉන් අනතුරුව
යුරෝපයේ ව්‍යාප්ත වූයේ සමාජයට වඩා පුද්ගලයා වැදගත් ය යන න්‍යාය බව ද සඳහන් වේ. එමෙන්ම ප්‍රංශ විප්ලවයෙන් පසු යුරෝපිකයන් සමාජය යන
සන්ධානය අර්ථ දක්වූයේ මිනිසුන් සඳහා යහපත ගෙන එන්නා වූ මාර්ගයක් ලෙසත්, පුද්ගලයා අර්ථ දැක්වූයේ මෙලොව ඇති අති ශේෂ්ඨතම වස්තුව
ලෙසත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. එබැවින් මෙවැනි අදහස් මධ්‍යතන යුගයේ බිහිවූ
සාමාජයීය මතවාදයන්ට බෙහෙවින් ප්‍රතිපක්ෂ වූ අතර එනිසාවෙන්ම එම මත අභියෝගයට ලක් වූ
බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව උක්තව දැක්වූ බලපෑම ද ප්‍රංශ විප්ලවයෙන් උද්ගත වී පසුව
යුරෝපා ඉතිහාසය කෙරෙහි බලපෑ තවත් එක් සමාජ සාධකයක් ලෙස හඳුනාගත හැකිය.
තව ද ප්‍රංශ විප්ලවය ඔස්සේ ඉදිරිපත් කරනු ලැබූ මානව
අයිතිවාසිකම් ප්‍රකාශනය ද ප්‍රංශ සමාජයේ පමණක් නොව සමස්ත යුරෝපා සමාජයේ ද
අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බලපෑවේ ය. ඒ අනුව 1789 අගෝස්තු 27 වන දින ප්‍රංශයේ
ස්ටේට් ජෙනරාල් සභාව මඟින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කළ බව සඳහන් වේ. මෙම
අයිතිවාසිකම් පනතේ සඳහන් වන ආකාරයට “නිදහස, දේපළ අයිතිය හා
ආරක්ෂාව,
පෞද්ගලික නිදහස, ඇදහීමේ නිදහස මෙන්ම දේපළ ආරක්ෂාව” ද මිනිස් අයිතිවාසිකම් ලෙස ඉදිරිපත් කොට ඇත. මිනිසාට
අයත් මිනිසාගෙන් වෙනස් කළ නොහැකි අයිතිවාසිකම් වශයෙන් මෙම ප්‍රකාශනය හඳුන්වා ඇත.
මෙම ප්‍රකාශනයේ සාමාජයීය වැදගත්කමට අමතරව නීතිමය වශයෙන් මිනිසා නීතිය ඉදිරියේ සමාන
බව ද,
නීතියට පිටින් දඬුවම් දීම නොකළ යුතු බව ද, පුද්ගල නිදහස සීමා කිරීම නීතිය සතු බව ද දක්වා ඇති අතර
ආගමික නිදහස මෙන්ම ආගමික අදහස් දැරීමට ඇති අයිතියත්, පුද්ගලික ආරක්ෂාව හා ආර්ථිකමය වශයෙන් ආදායම අනුව බදු ගෙවීමේ නිදහසත් මෙම ප්‍රකාශනය
ඔස්සේ ප්‍රංශය මුල් කරගත් යුරෝපයට ප්‍රදානය කර තිබිණි. එබැවින් මෙම පනත මඟින්
යුරෝපා සමාජයේ තිබූ ආරක්ෂාව හා අයිතිවාසිකම් පිළිබඳව ගැටළු සමතයකට පත් කර ගැනීමට
එම රාජ්‍යයන්හි පාලකයන් කටයුතු කළ බව සඳහන් වන අතර ප්‍රංශ විප්ලවයෙන් උද්ගත වූ
බලපෑමක් ලෙසින් පසු කාලීන බොහෝ යුරෝපා රාජ්‍යයන් ද මෙවැනි මිනිස් අයිතිවාසිකම්
පිළිබඳ ප්‍රකාශයන් සිය දේශපාලන ව්‍යවස්ථා අතරට එක් කරවා ගත් බව මූලාශ්‍රයන්හි සඳහන්
තොරතුරු අතර වේ. එබැවින් ප්‍රංශ විප්ලවයෙන් සකස් කෙරුණු මානව අයිතිවාසිකම් පිළිබඳ
සම්මුතිය ද යුරෝපය කෙරෙහි සමාජමය වශයෙන් බලපෑ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵලයක් බව ඉහත
නිදසුන් ඔස්සේ පැහැදිලි වේ.
එමෙන්ම ප්‍රංශ
විප්ලවයේ වැදගත්ම ප්‍රථිඵලය ලෙසින් හඳුන්වනු ලබන නැපෝලියන් බොනපාට් විසින් ප්‍රංශයේ
නඟා සිටුවීම උදෙසා ගනු ලැබූ සමාජමය ක්‍රියාමාර්ගයන් ද යුරෝපා ඉතිහාසය කෙරෙහි
බලපෑම් කර ඇති බව කිව හැකිය. ඒ අනුව නැපෝලියන් විසින් ඇති
කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නීති පද්ධතිය හා අනෙකුත් සාමාජයීය ප්‍රතිසංස්කරණයන් ද එහි ලා වැදගත් වේ.
අධ්‍යාපනය නඟා සිටුවීම රාජ්‍ය වගකීමක් ලෙස සකස් කිරීම නැපෝලියන් විසින් මුල් වරට
සිදු කළ බව කිවේ. එමෙන්ම එම ප්‍රතිසංස්කරණ ජනයාගේ දනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කර ගත හැකි අයුරින් විස්තාරණය කළ
බව ද සඳහන් වේ. එමෙන්ම යුරෝපයේ මුල් වරට නිදහස් අධ්‍යාපනය ඇති කිරීමට ද මොහු
කටයුතු කොට ඇති අතර ප්‍රථම වරට රජයේ වියදමින් අධ්‍යාපන මධ්‍යස්ථාන ඇරඹීමේ ක්‍රියාවලිය
හෙවත් Lysis ක්‍රමය යුරෝපයේ
බිහි කරනු ලැබුවේ ද නැපෝලියන් බව සඳහන් වේ. නමුත් ඇතම් ඉතිහාසඥයින්ගේ මතයට අනුව
නැපෝලියන් විසින් ඇති කරන ලද අධ්‍යාපන ක්‍රමවේදය යුරෝපයේ බිහි වූ හේතුවාදය යන
සංකල්පයට පටහැනි වූ ක්‍රමවේදයක් ලෙස අර්ථ දක්වනු ලබයි. එමෙන්ම ඒකාධිපති ස්වරූපය
වර්ධනය කිරීමට යොදා ගත් උත්සහයක් ලෙසත්
ඔවුන් මෙය හඳුන්වනු ලැබේ. විද්වත් මත කෙසේ වූ නමුත් නැපෝලියන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය
ද සමකාලීන යුරෝපයට බලපෑම් එල්ල කරවූ ක්‍රියාමාර්ගයක් වූ බව ඉහත සඳහන් තොරතුරු
ඔස්සේ හඳුනා ගත හැකි බව පැහැදිලි වේ.
තව ද
නැපෝලියානු නීති සංග්‍රහය ද යුරෝපා ඉතිහාසයට සාමාජයීය වශයෙන් බලපෑම් එල්ල කරන ලද
තවත් එක් සාධකයක් වු බව කියවේ. ඒ අනුව ප්‍රංශයට බල පවත්නා පරිදි ඇති කරන ලද මෙම
නීති සංග්‍රහය ප්‍රංශ විප්ලවයේ “ස්ථිර ජයග්‍රහණය” ලෙස ද හඳුන්වන බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ප්‍රංශ
විප්ලවයෙන් බිහිව යුරෝපය පුරා ප්‍රචලිත වෙමින් පැවති සමානාත්මතාවය නම් සංකල්පය
තහවුරු කිරීමට මෙම නීති සංග්‍රහය ඔස්සේ හැකි වූ බව සඳහන් වන අතර සමකාලීන යුරෝපා
රාජ්‍යයක් වූ එංගලන්තයේ පැවති නීති ක්‍රමය ද අභිභවා වර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කළ
නීති මාලාවක් ලෙස ද මෙම නැපෝලියානු නීති පද්ධතිය විද්වතුන් විසින් අර්ථ දක්වනු
ලැබේ. එමෙන්ම යුරෝපයේ බිහිවූ වෙනත් කිසිදු නීති පද්ධතියක මෙහි සඳහන් වන ආකාරයේ
වෙළෙඳ හා අපරාධ නීති පිළිබඳ විස්තාරාත්මක තොරතුරු අඩංගු නොවන බව දැක්වෙන අතර ඒ
හේතුවෙන්ම මෙය අනෙකුත් යුරෝපා රාජ්‍යන් තුළ මෙන්ම දකුණු ඇමරිකාවේ විවිධ රාජ්‍යයන්
තුළත් බහුල ලෙස භාවිතා කරන ලද නීති පද්ධතියක් වූ බව සඳහන් වේ.
නැපෝලියන් විසින් ඇති කරන ලද ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්
ද යුරෝපා ඉතිහාසය කෙරෙහි ඇති වූ ආගමික බලපෑම් ලෙස හඳුනා ගත හැකිය. එනම් නැපෝලියන්
විසින් ප්‍රංශය තුළ කිතු දහම රාජ්‍ය ආගම බවට පත් කරන ලද බව සඳහන් වන අතර පාප් වරයා
සමඟ ඇති කරගත් ගිවිසුමක් ඔස්සේ පල්ලිය සතු ඉඩම් ගොවි ජනයා වෙත බෙදා හැරීම ද සිදු
කරන ලද බව කියවේ. එමෙන්ම
නැපෝලියානු නීතිය ඔස්සේ ප්‍රංශය තුළ ආගමික නිදහස ඇති කිරීම ද එසමයේ වෙනත් කිසිදු
යුරෝපා රාජ්‍යක සිදු නොවූ සිදුවීමක් බව කියවේ. ඒ අනුව සමකාලීන යුරෝපා සමාජයට ප්‍රංශයේ
මෙම පරිවර්තනයන් නව්‍ය අත්දැකීම් වූ බව ඉන් පැහැදිලි වන අතර පසු කාලීනව එම රාජ්‍යන්
ද ප්‍රංශය විසින් අනුගමනය කළා වූ උක්ත ක්‍රියාමාර්ගයන්වලට යොමු වීම ද ප්‍රංශ
විප්ලවයේ ප්‍රථිඵලයන් යුරෝපය කෙරෙහි ආගමික වශයෙන් බලපෑ අවස්ථාවක් ලෙස හඳුනා ගත
හැකි බව කිව හැකිය.
Perfect 👌
ReplyDeleteSuperb
ReplyDeleteimportant 👍
ReplyDelete