හමුදා භටයින් විසින් යම් යම් හේතූන් මත ඇති කරනු ලැබූ
කැරළි බ්‍රිතාන්‍ය ඉන්දියාවට එතරම් දුලබ දසුනක් නොවුණු බව සමාගම් ඉතිහාසය පිළිබඳව
හදාරන විට දී පෙනී යන කරුණකි. නමුත් 1857 වසරේ දී සිපොයි බටයින්ගේ කැරැල්ලක් ලෙසින් ඇරඹුණු කැරැල්ල නම් එලෙස බටයින්
විසින් ඇති කරනු ලැබූ සාමාන්‍ය ආකාරයේ කැරැල්ලක් නොවන බව කිව හැකි වන්නේ එය ජාතික
නිදහස සඳහා වූ අරගලයක් ලෙස පසුව ඉතා වේගයෙන් ඉන්දියානු ප්‍රදේශ පුරා ව්‍යාප්ත වූ
බැවිනි. කෙසේ නමුත් මෙය ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ට එරෙහිව එක්සත් වූ පළමු අවස්ථාව
ලෙසත් ඇතැම් විද්වතුන් හඳුන්වා දෙනු ලබන අතර බ්‍රිතාන්‍ය සමාගමට විරුද්ධව ඇතිවූ
හමුදා කැරැල්ලක් ලෙස මෙම 1857 කැරැල්ල සරලවම
අර්ථ දැක්විය හැකිය.
එවකට බ්‍රිතාන්‍යන් මුළු ඉන්දියාවේම පාලකයන්ව සිටි බවත්
බොහෝ වශයෙන් ඉන්දියානු ආර්ථිකය සූරා කමින් බ්‍රිතාන්‍ය ආර්ථිකය ශක්තිමත් කළ බවත් කියවෙන අතර ඉන්දියානු
ආගමික ප්‍රතිපත්තීන්ට ද නිගරු කිරීම සිදු කළ බව සඳහන් වේ. ඉන්දියානුවන් යනු සිය
ආගමික ප්‍රතිපත්ති බොහෝ සෙයින් අගය කරන්නා වූ පිරිසක් බැවින් මෙලෙස බ්‍රිතාන්‍යන්
විසින් සිය ආගම් පහත් කිරීම ඔවුන් නොරුස්සන සිදු වීමක් විය. තව ද බ්‍රිතාන්‍යන්
පූර්ණ ඉන්දියාවම සියතට ගත් බැවින් ස්වදේශික ඉන්දීය පරිපාලනයක් කොතැනක කුමන
ආකාරයකින් හෝ ක්‍රියාත්මක නොවුණු බවත් කියවෙන අතර එනිසාම දේශීය ඉන්දියානුවන්
සමාගම් පරිපාලනය කෙරෙහි අතිශය කෝපයකින් සිටි බව ද සඳහන් වේ. බ්‍රිතාන්‍ය ආධිපත්‍ය
නමින් මෙම තත්වය නම් කළ ඔවුන් 1857 වසරේ මුල්
භාගයේ දී සිය උපරිම වූ ප්‍රකෝපය කැරැල්ලක් බවට පරිවර්තනය කරමින් සමාගම් පරිපාලනය
ඇතුළු පූර්ණ බ්‍රිතාන්‍ය ආධිපත්‍යටම විරුද්ධව යුද්ධයකට මුල පුරනු ලැබීය. ඒ අනුව මෙම 1857 කැරැල්ල සිදු වූ ආකාරය පිළිබඳව මෙසේ
විමසා බලමු.
කැරැල්ලේ ආරම්භය
ඉන්දියාවේ “ඩුම්
ඩුම්” නම් බලකොටුවේ සිටි සිපොයි හමුදා
භටයින්ට ”එන්ෆීල්ඩ්” වර්ගයේ රයිෆල් තුවක්කු භාවිතා
කිරීමට නියමිත කිරීම මෙම කැරැල්ලට මුල් වූ මූලිකම හේතුව විය. එම රයිෆල් සඳහා යොදා
ගනු ලැබූ පතොරම් ගවයින්ගේ හෝ ඌරන්ගේ තෙල් යොදා නිර්මාණය කර තිබුණු අතර මෙම සිපොයි
භටයින්ට එම පතොරම් හි කොපුව දතින් ගලවා රයිෆලයට යොදා ගැනීමට ද නියම කෙරිණි. නමුත්
හින්දූන් හා ඉස්ලාම් භක්තිකයින් මෙම ගවයා හා ඌරා සිය ආගමික කටයුතු ඔස්සේ අදහනු
ලැබූ සත්ත්වයින් දෙපළක් වූ බැවින් මෙලෙස ගව හා ඌරු තෙල් යෙදූ පතොරම් දතින් ගලවා
සිය රයිෆල් සඳහා යොදා ගැනීමට ලබා දීම තමන්ගේ ආගම්වලට නිගරු කිරීමක් ලෙස ඔවුන් සිතූ
බව සඳහන් වේ. එබැවින් මෙම පතොරම් භාවිතය තදින්ම ප්‍රතික්ෂේප කළ සිපොයිවරුන් එම
කඳවුරේ බ්‍රිතාන්‍ය නිළධාරීන්ට ද අවනත නොවන තත්වයකට ක්‍රමයෙන් පත් වූ බව කියවේ. මෙම
සිදුවීම වූයේ 1857 ජනවරි මස 23 වන දින බව සඳහන් වේ.
මෙම තත්වය “බැරැක්පූර් හි සිපොයි හමුදා
කඳවුරට” ද ආරංචි වී තිබුණු බව කියවෙන අතර එහි සිපොයි භටයෙකු
විසින් බ්‍රිතාන්‍ය නිළධාරියෙකු මෙම පතොරම් භාවිතා කිරීමට ලබා දුන් නියෝගයක් නිසා
එම නිළධාරියා හා තවත් නිළධාරියෙකු ඝාතනය කොට තත්වය තවදුරටත් අයහපත් කරනු ලැබූ බවත්
කියවේ. එම ඝාතන සිදු කළ සිපොයි භටයා 1857 අප්‍රෙල් මස 8 වන දින එල්ල මරා දැමීමෙන්
පසු එම පුවත “දිල්ලි, මීරුත්, ජාන්සි, ලක්නව්, කාන්පූර්, පයිශාබාද්, බිහාර්” ආදී වූ සියළුම සිපොයි
භට කඳවුරු කරා පැතිර ගිය බවත් සඳහන් වේ. ඒ අනුව මෙම සෑම කඳවුරකම සිටි සිපොයි
භටයින් මෙන්ම තතු දත් දේශීය පාලකයින් හා වැසියන් ද බ්‍රිතාන්‍යන්ට විරුද්ධව කැරළි
ගැසීම ආරම්භ කල බව දැක්වේ. මෙය 1857 කැරැල්ලට හේතු වූ ආසන්නතම හේතුව වූ නමුත් මෙම
කැරැල්ල පිටුපස එයට පාදක වූ තවත් දුරස්ථ හේතූන් ගණනාවක්ම ඇති බව මෙම සටන හැදෑරීමේ
දී පැහැදිලිව පෙනී යන කරුණකි. ඒ අනුව මෙම සටන එලෙස සිදු වීමට බලපෑ දුරස්ථ හේතූන්
සියල්ලක්ම දේශපාලනික, ආර්ථික, සමාජයීය හා ආගමික යන සිව් වැදෑරුම් අංශයන් ඔස්සේ මෙසේ
විමසා බැලිය හැකිය.
දේශපාලනික හේතු
බ්‍රිතාන්‍යන් විසින් දියත් කළ ඉන්දියානු ප්‍රදේශ සියතට
ගැනීමේ ප්‍රතිපත්තිය
1856 වන විට බ්‍රිතාන්‍යන් මුළු ඉන්දියාවේම පාලකයන් වූ බව
දැක්වෙන අතර ඒ සඳහා ඔවුන් දැඩි ලෙස ප්‍රදේශ ඈඳා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ
බව ද මූලාශ්‍ර තුළ වැඩි දුරටත් දැක්වේ. ඔවුන්ගේ මෙම ප්‍රතිපත්තිය ඉන්දියානුවන්ගේ
දැඩි දෝශාරෝපණයට ද ලක්වුණු ක්‍රියාවක් බව කියවෙන අතරම මෙලෙස ප්‍රදේශ අල්ලා ගැනීමට
අමතරව එම ප්‍රදේශයන් හි තිබූ සම්පත් සෑම විටම සූරා කෑමට ද බ්‍රිතාන්‍යන් උත්සුක වූ
බව ආර්ථික ඉතිහාසඥයින් විසින් අර්ථ දක්වා ඇත. මෙම සෑම ක්‍රියාවක් තුළින්ම බ්‍රිතාන්‍යන්ගේ
දේශපාලනික වංචනික භාවය හෙළි වූ බවත් ඔවුන් දක්වා ඇත. විශේෂයෙන්ම ඉන්දීය කුමාරවරුන්
සතු පාරම්පරික ඉඩ කඩම් මෙලෙස බ්‍රිතාන්‍යන් වැඩි වශයෙන් සියතට ගත් අතර එහි දී “ඩැල්හවුසි සාමි” ගේ ක්‍රියාකලාපය
කැපී පෙනෙන බව ද සඳහන් වේ. ඔහු විසින් “සතාරා, ජාන්සි හා නාග්පූර්” වැනි ප්‍රදේශ
බ්‍රිතාන්‍ය පාලනයට ඈඳා ගත්තේ ඉතාමත් වංචාකාරී ලෙස බවත්, ඔහුගේ න්‍යාය වූයේ ”උරුමක්කරුවෙකු
නොමැතිව එම ප්‍රදේශයේ පාලකයා මිය ගියේ නම් ඔහු හදාවඩා ගත් කුමරුවෙකුට සිහසුන හෝ රජ
යන විරුද නාමය හිමි නොවන්නේය” යන්නයි. මෙබඳු අවස්ථාවලදී එම ප්‍රදේශයන් බ්‍රිතාන්‍ය
සමාගම් පාලනය සතු වන බව පෙන්වා දුන් ඩැල්හවුසි සාමි එම න්‍යායට අනුව “ජාන්සි මහරාණි” ට දරුවෙකු
හදාවඩා ගැනීමට ඉඩ නොදුන් බව කියවේ. එම ක්‍රමවේදයම ඔහු “පේෂ්වා හි දෙවන
බාජි රාඕ බල්ලාඩ්ගේ” හදාවඩා ගත් පුත්‍රයා වූ “නා නා සහීබ්” ට ද සිදු කළ බව
දැක්වේ. ඔහු තම පියාගෙන් පසුව රාජ්‍ය උරුමකරු නොවන බවට තහවුරු කළ ඩැල්හවුසි සාමි
බජිරාඕ ගේ මරණයෙන් පසු එම ප්‍රදේශ බ්‍රිතාන්‍ය සමාගම සතු පාලන ප්‍රදේශයක් බවට පත්
කර ගත්තේය. බ්‍රිතාන්‍යන් විසින් ප්‍රදේශ අල්ලා ගැනීමේ ප්‍රතිපත්තිය සෑම විටම මේ
අයුරින් ක්‍රියාත්මක කළ අතර එනිසාම එය ඉන්දීය පාලකයින්ගේ හා වැසියාගේ වෛරයට හා
පිළිකුලට ලක් වූ බවත් කියවේ. එම කෝපය තවත් අයුරකින් මෙම 1857 කැරැල්ලට බලපෑ දේශපාලනමය හේතුවක් වන්නට ඇති බවත්
පැහැදිලි ඉන් වේ.
මුස්ලිම් පාලකයින් සතු වූ අවුද් කලාපය බ්‍රිතාන්‍යන්
විසින් සියතට ගැනීම.
මෙසමය වන විට “අවුද් කලාපය” මුස්ලිම් වරුන්
යටතේ තබා ගත් ප්‍රදේශයක් වන අතර එය නිසි ලෙස පාලනය නොකරන බව පැවසූ ඩැල්හවුසි සාමි
එය සිය බ්‍රිතාන්‍ය ආදිපත්‍යට නතු කර ගත්තේය. මෙම ක්‍රියාව මුස්ලිම් භක්තිකයගේ
අතිශය විරෝධයට තුඩු දුන් සිදු වීමක් වූ අතර අවුද් පාලනය කරමින් සිටි නවාබ් වරයාට
මේ සම්බන්ධයෙන් කිසිවක් කර ගැනීමට ද නොහැකි විය. බ්‍රිතාන්‍යන් මෙලෙස අවුද් ඈඳා
ගනීමෙන් අනතුරුව එහි පාලනය සම්බන්ධව සිටි දේශීයන් වූ හමුද භටයින්, නිළධාරීන් ඇතුළු ප්‍රභූ සමාජය වෘත්තීයකින් තොර පිරිසක්
බවට ද පත් වූ බව මූලාශ්‍ර තුළ සඳහන් වේ. තව ද බ්‍රිතාන්‍යන් විසින් “සමින්දාර්වරුන්ගේ” හා “තලුක්දාර්වරුන්ගේ” ඉඩම්
බලහත්කාරයෙන් සිය පරිපාලනය යටතට පත් කර ගත් අතර මෙම සියළු තත්වයන් ඔස්සේ සිදු වූයේ
අවුද් හි ජනතාව ද බ්‍රිතාන්‍යන් කෙරෙහි අධිකව කෝපයට පත් වීම බව විද්වතුන් අර්ථ
දක්වා ඇත. බ්‍රිතාන්‍යන්ගේ මෙම සියළු ප්‍රතිපත්තීන් දෙශීයයන්ගේ අසහනයට හා සැකයට ද
භාජනය වූ බව එම විද්වතුන් සිය මතවාද තුළ වැඩි දුරටත් දක්වා ඇති අතර ඒ හේතුවෙන්ම බ්‍රිතාන්‍ය
පරිපාලනය යටතේ ඉන්දියාවේ ඉදිරි ගමන කිසිසේත්ම සුරක්ෂිත එකක් නොවන බව ඔවුන්ටම අවබෝධ
වූ බව ද සඳහන් වේ.
බ්‍රිතාන්‍යන් විසීන් මූගල් රජ පරම්පරාව අවමානයට ලක්
කිරීම.
මූගල් පාලකයින්ගේ අවසන් පාලකයා වූ “බහදූර් ෂා ෂවාර්” ඇතුළු ඔහුගේ
අනුප්‍රාප්තිකයින් පිරිසට එතෙක් කල් ඔවුන් මාළිගය ලෙස භාවිතා කළ රතු බළකොටුව
තවදුරටත් භාවිතා කිරීමට බ්‍රිතාන්‍යන් විසින් අවසර නොදෙන බව 1849 දී ප්‍රකාශයට පත් කිරීමත් සමග මූගල් පාලකයින්ට සිය
වාසස්ථානය අහිමි වූ බව කියවේ. ඩැල්හවුසි සාමි මෙයට ද මූලිකත්වය ගෙන කටයුතු කළ අතර
එම ක්‍රියාවෙන් පසු "මූගල් රජ පරම්පරාව බලවත් ලෙස අවමානයට ලක් කළා යැයි"
ඉන්දීය වැසියන් සිය නොසතුට පළ බව කියවේ. රතු බළකොටුවෙන් ඔවුන් ඉවත් කොට පදිංචිය
සඳහා “කුතුබ් මිනාර්” අසළ ස්ථානයක් සපයා දුන් බ්‍රිතාන්‍ය පරිපාලනය ඉන් පසුව
සිදුවූ බහදූර් ෂා ගේ මරණයෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයාට ඔහු ඉසිලූ ගෞරව නාම
හා විරුද භාවිතා කිරීමට ඉඩක් ලබා නොදුන් බව ද සඳහන් වේ. “කැනිං සාමි” විසින් මෙම ක්‍රියාමාර්ගය
ගෙන ඇති අතර ඔවුන්ට අවශ්‍ය වූයේ මෙතෙක් නාමිකව පැවතියා වූ මූගල් අධිරාජ්‍ය පාලනය
අවසන් කිරීමට බවත් දැක්වේ. බහ්දූර් ෂා පවා වාසය කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය
සමාගමෙන් විශ්‍රාම වැටුප් ලබන ඔවුන් යටතේ
ආරක්ෂාව හා රැකවරණය සැපයෙන නිදහස් සිරකරුවෙකු වශයෙනි. එසේ තිබිය දී ත් ඔහුගේ අනුප්‍රාප්තිකයාගෙන්
එම තනතුර ඉවත් කර ගැනීම මූගල් අධිරාජ්‍යටම කරන ලද නිග්‍රහයක් ලෙස ඉන්දියානුවන්
සිතූහ. එනිසාම
බ්‍රිතාන්‍යන්ගේ මෙම තීරණයට විරුද්ධ වූ ෂා ගේ බිරිඳ වූ “ශිනත් මහල්” සමාගමට
විරුද්ධව කුමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත්, ඇය වටා බ්‍රිතාන්‍යන්ට විරුද්ධ මුසල්මානුවන් එක් රැස් වූ බවත් කියවේ. 1857
වසරේ දී සිදුවූ කැරැල්ලට මුස්ලිම් ප්‍රජාවගේ ද සහය ලැබීමට හේතු පාදක වූ සිදුවීම
වන්නේ මෙලෙස බ්‍රිතාන්‍යන් විසින් මූගල් අධිරාජ්‍ය ට කරන ලද නිග්‍රහය
හේතුවෙන් අප්‍රසාදයට පත් මුස්ලිම්වරුන් බ්‍රිතාන්‍යන්ට විරුද්ධ වීමේ ප්‍රතිපත්තිය
සෑම විටම අනුගමනය කිරීමට පෙළඹුණු නිසවෙන් බව පැහැදිලිය.
නා නා සහීබ් හා ජාන්සි මහරාණි අවමානයට පත් කිරීම
මරාථ පාලක දෙවන බාජිරාඕ බල්ලාඩ් ගේ හදා ගත් පුත්‍රයා වූ
නා නා සහීබ් හට මරාථ සිහසුන ලබා දීමට බ්‍රිතාන්‍යන් විසින් අකමැති වීම
ඉන්දියානුවන්ගේ දෝශ දර්ශනයට ලක්වූ තවත් දේශපලනික ක්‍රියාමාර්ගයක් විය. බ්‍රිතාන්‍යන්
විසින් දරුවෙකු නොමති පාලකයෙකුගේ හදා ගත් දරුවෙකුට රාජ්‍ය ලබා දීම අත්හිටවූ බැවින්
නා නා සහිබ් ට රාජ්‍ය බලය ලබා ගැනිමට නොහැකි වූ අතර එම ක්‍රියාවම ජාන්සි මහාරාණිට
ද සිදු කිරීමට බ්‍රිතාන්‍යයෝ වග බලා ගත් හ. ජාන්සි මහාරාණි වූ “ලක්ෂ්මී භායී” හට දරුවෙකු හදා
වඩා ගැනීමට බ්‍රිතාන්‍යන් විසින් ඉඩ ලබා නොදුන් අතර එමඟින් ඇය අතිශයින් අවමානයට ද
පාත්‍ර වූ බව කියවේ. බ්‍රිතාන්‍යන්ගේ මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් නා නා සහීබ් හා
ජාන්සි මහාරාණි ඔවුන්ගේ ප්‍රධානතම සතුරන් වූ බවත් සඳහන් වේ. මොවුන් හා එක් වූ සෙසු
හින්දු හා මුස්ලිම් පාලකයින් කෙදිනක හෝ බ්‍රිතාන්‍යන් විසින් තමන් හට ද එම ඉරණමම අත්
කරනු ඇතැයි සැක පහළ කළ බව ද එනිසාම ඔවුන් බ්‍රිතාන්‍යන් ට විරුද්ධ වීමට සිය කැමත්ත
ප්‍රකාශ කළ බව ද 1857 කැරැල්ලට පාදක
වූ දේශපාලනමය හේතූන් දක්වන මූලාශ්‍ර තුළ සඳහන් වේ.
හමුදාවන් විසුරුවා හැරීම
බ්‍රිතාන්‍යන් විසින් ඈඳා ගනීම සිදු කළ ප්‍රදේශයන් තුළ
රාජකාරියෙහි නිරතව සිටි දේශීය හමුදා එම ප්‍රදේශ පවරා ගැනීමෙන් පසු විසුරවා හැරිය
බැවින් එම හමුදා සාමාජිකයන් රැකියා විරහිත භාවයට පත් වූ අතර ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්
මේ හේතුව ඔස්සේ මං මුළා වූ තත්වත්වයට ඇද වැටුණු බව මූලාශ්‍රයන් හි සඳහන් වේ. ඒ
හේතුවෙන් මෙම පිරිස් තමාට රැකියාව අහිමි කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය සමාගමට තදින්ම
දොස් පැවරවූ බවත්, කෙදිනක හෝ බ්‍රිතාන්‍යන්ට
විරුද්ධව සටන් ව්‍යාපාරයක් මහ ජනයා අතරට ගෙන යන බවටත් දිවුරා ප්‍රකාශ කළ බව කියවේ.
මෙම තත්වය ද සිපොයි කැරැල්ල ඇති වීමට පාදක වූ තවත් එක් දේශපාලනික සිදුවීමක් බව ඉහත
තොරතුරු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.
බ්‍රිතාන්‍ය පාලනයේ තිබූ
දුර්වලතා
බ්‍රිතාන්‍යන්ට ඉන්දියානුවන් පාලනය කිරීම කෙරෙහි කිසිදු
සාර්ථක අදහසක් නොතිබුණේය. දූෂිත, ධන තෘෂ්ණාවෙන්
පෙළුණු පාලනයක් ඔවුන් ඉන්දියාවේ ඇති කළ අතර ඉන්දියානු ගති පැවතුම්, සිරිත් විරිත් කෙරෙහි කිසිදු අදහසක් ඔවුන් සතුව
නොතිබුණේය. බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තීන් තුළින් ඉන්දියානුවන් පීඩාවට පත් වන බව
නොදැනෙන පිරිසක් ලෙස ඔවුන් කටයුතු කළ බව කියවේ. දේශපාලනයේ ඉහළ තනතුරුවල සිටි
පාලකයින් එම තනතුරුවලින් ඉවත් කළ අතර ඒවාට ඉන්දියානුවන් පත් කිරීමට ද ඔවුන් වග බලා ගත්හ. මේ තත්වය ඉතා දැඩි
ලෙස ඉන්දියානු සමාජයේ මත භේදයට තුඩු දුන් අතර ඉංග්‍රීසි නිළධාරීන්ගේ උඩඟු බව හා
දරදඬු බව ද ඉන්දියානුවන්ගේ පිළිකුළට හේතුවක් විය.
කටකතා පැතිර යෑම
ඉන්දියානුවන් සතුව පැවති එක්තරා මතවාදයක් ද මෙම 1857 කැරැල්ල ආරම්භ වීමට හේතුවක් විය. එනම් “වසර සියයකට වරක්
ඉන්දියානු රජයේ පාලනය වෙනස් විය යුතුයි” යන්නයි. ඉන්දියානුවන් අතීත
රාජාණ්ඩු ක්‍රමයේ පටන් මෙම මතයේ මුල් බැස ගෙන ජීවත් වූ ජන කොටසක් වූ අතර බ්‍රිතාන්‍යන් ඉන්දියානු
කලාපය ආක්‍රමණය කොට 1757 දී “ප්ලස්සේ සටන” ජය ගැනීමෙන්
අනතුරුව වසර සියයක් ගතවන 1857 දී ඔවුන්
විසින් පාලනයේ වෙනසක් ඇති කරමින් නැවත ඉන්දියානු පාලනයක් ගෙන එනු ඇතැයි
ඉන්දියානුවන් සිතූහ. නමුත් බ්‍රිතාන්‍යන්ට එවැනි ක්‍රියාමාර්ගයකට කිසිදු වුවමනාවක්
නොතිබූ බැවින් ඉන්දියානුවන්ගේ බලපොරොත්තු බිඳ වැටීම ද මෙම කැරැල්ලට මුල් වූ තවත්
එක් දේශපාලනික හේතුවක් යැයි කිව හැකිය.
සමාජීය හා ආගමික
හේතූන්
බ්‍රිතාන්‍යන් විසින් ඇති
කරන ලද සමාජ හා ආගමික ප්‍රතිසංස්කරණ
බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියානු සමාජයේ තිබූ සාමාජයීය
සිරිත් විරිත් රැසක් සිය අභිමතය පරිදි වෙනස් කොට එම වෙන්ස්කම්වලට අනුගත වන ලෙසට
ඉන්දියානුවන්ට ද බල කර සිටියහ. ඒවා නම්,
- · සති පූජාව තහනම් කිරීම හා එය පවත්වනන්ට නීතියෙන් දඬුවම් ලබා දීම
- · ළැදැරියන් මරා දැමීම තහනම් කිරීම
- · වැන්දඹුවන් ට නැවත විවාහයට අවසර ලබා දීම
- · බහු භාර්යා සේවනය නැවැත්වීම ආදිය වේ.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා බ්‍රිතාන්‍යන්ට අමතරව දේශීය
ඉන්දියානුවන් වූ “රාජා රාම්මෝහන් රෝයි”, “දයානන්ද් සරස්වතී” ආදී පුද්ගලයන් ද සහභාගී වූ නමුත් සාමාන්‍ය ඉන්දියානු
වැසියා සිතුවේ මෙය බ්‍රිතාන්‍යන් විසින් සිය සමාජයන් විනාශ කිරීම උදෙසා ගනු ලැබූ
ක්‍රියාමාර්ගයක් බවයි. එම ප්‍රතිසංස්කරණයන් පිළිගැනීමට ඔවුන් කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැති
බව සඳහන් වන අතර බ්‍රිතන්‍යන් විසින් එලෙස එක් වරම ඔවුන්ගේ සිරිත් විරිත් තහනම්
කිරීම ද අසාර්ථක ක්‍රියාමාර්ගයක් විය. මන්ද යත් ඔවුන් එලෙස තහනම් කළ සමාජයීය
සිරිත් විරිත් ඔස්සේ පසුව උද්ගත වන ප්‍රථිඵල කෙරෙහි සැලකිළිමත් නොවුණු බවත්, එනිසා මෙවැනි සමාජ සංශෝධන ඉන්දියානුවන් තෙරුම් ගත්තේ
ඔවුන්ගේ සමාජ සංස්ථා හා ආගමික සිරිත් විරිත් බිඳ දමා එම ස්ථානයට ක්‍රිස්තියානි ආගම ආදේශ කිරීමට දරණ උත්සහයක් ලෙසත් සඳහන් කළ
හැකිය. එබැවින් මෙම සාධකය ද 1857 කැරැල්ල සිදු වීමට බලපෑ මූලික සමාජමය හේතුවක් බව ඉහත
තොරතුරු ඔස්සේ මැනවින් ගම්‍ය වේ.
නවීන තාක්ෂණික හා ප්‍රවාහන
ක්‍රම හඳුන්වා දීම.
ග්‍රාමීය ඉන්දියානු ප්‍රදේශවලට නවීන තාක්ෂණය හඳුන්වා දීම
නිසි පරිදි තේරුම් ගැනීමට ඉන්දියානු වැසියන් අසමත් වූහ. ඔවුන් විදුලි පණිවුඩ සේවා
සඳහා කණු සිටුවීම තෙරුම් ගනු ලැබුවේ “ඉන්දියානුවන් එම කණුවල එල්ලා මරා දැමීමට ගන්නා උත්සහයක්
ලෙසයි”. තව ද දුම්රිය සේවාව ද ඉන්දියානුවන්ගේ මහත් සැකයට භාජනය
වූ අතර එහි මැදිරි තුළ බ්‍රහ්මණයින්ට හා අඩු කුළයන් හි වැසියාට එකට වාඩි වී
සිටින්නට සිදු වීම දැඩි මත ධාරී හින්දූන්ගේ මහත් උදහසට ලක් වූ බව කියවේ. තම කුලයන්
හා ආගම විනාශ කිරීමට ගන්නා පියවරක් ලෙස ඉන්දියානුවන් දුම්රිය සේවාව පිළිබඳව සිතූ
අතර එනිසාම බ්‍රහ්මණ පූජකවරු හා මුස්ලිම් මලවි වරු මෙයට විරුද්ධව උද්ගෝෂණ කළ බව ද
කියවේ. ඒ අනුව මෙලෙස නවීන විද්‍යාවේ සොයා ගැනීම් හා ඒවා ඉන්දියාවට හඳුන්වා දීම එහි
ගැමි සමාජයේ උදහසට ලක්වීමත්, ඉන් මහත්
නොසන්සුන් බවක් ඇති වීමත් 1857 කැරැල්ලට බලපෑ තවත් එක් සමාජමය හේතුවක් ලෙස පැහැදිලිය.
රජය ක්‍රිස්තියානි
මිෂනාරීන්ට උදව් ලබා දීම
1806 දී වෙල්ලෝරයේ සිපොයි භටයින්ට නව නීතියක් හඳුන්වා දුන්
බව කියවේ. ඒ අනුව,
- · අළුත් ආකාරයකට තලප්පාව බැඳීම
- · විශේෂ ක්‍රමයකට අනුව රැවුල් සකස් කිරීම
- ·
තම තමන් අයත්
ආගමික නිකායන්වල ලක්ෂණ නලලේ සටහන් කිරීමෙන් වැළැක්වීම
වැනී නීතීන් බ්‍රිතාන්‍යන් විසින් එම සිපොයි භටයින්ට
අනුගමනය කිරීම සඳහා අණ කළ බැවින් එම නීති තමන්ව බලෙන් ක්‍රිස්තියානි කිරීමකට තැත්
කිරීමක් යැයි ඔවුන් සිතූ බව සඳහන් වේ. එබැවින් කඳවුර තුළ කැරැල්ලක් ඇති කළ ඔවුන්
කලබලකාරී ස්වරූපයට පත් වෙත්ම බ්‍රිතාන්‍යන් එය මැඩ පැවැත්වූ බවද කියවේ. නමුත් මෙම
අවස්ථාව දශක කිහිපයකට පෙර වූවත් එය ද 1857 කැරැල්ල ඇති වීමට බලපෑ ආගමික හේතූන් සඳහා නිදසුන් වශයෙන් හඳුනා ගත හැකි බව
පැහැදිලි වේ.
විශේෂයෙන්ම කිතු දහම ව්‍යාප්ත කිරීම කෙසේ වූවත් බ්‍රිතාන්‍ය
රජය මඟින් ඇතැම් කටයුතු සඳහ මිෂනාරීන්ගේ සහභාගීත්වය සපයා ගෙන තිබීම ද 1857 කැරැල්ලට මුල් වූ තවත් එක් සාමාජයිය හේතුවකි. පාසල්වල
හා බන්ධනාගාරවල මිෂනාරි වරුන් විසින් සිය ආගමික ඉගැන්වීම සිදු කළ අතර යුධ හමුදාව
තුළ ද මිෂනාරී වරුන් සිය ආගම සම්භන්ධ කටයුතු සිදු කළ බව කියවේ. නමුත් විචාරශීලී හා
ගරු සරුවෙන් යුක්ත නොවූ මෙම මිෂනාරීන් සෑම අවස්ථාවකදීම හින්දු හා ඉස්ලාම් ආගම්
පහත් කොට කතා කළ බවත් ඒවායේ සිරිත් විරිත්
අවඥාවට ලක් කළ බවත් කියවේ. එබවින් ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයත්, රජය ඔවුන්ට සහය ලබා දීමත් දෙශීයයන්ගේ උදහසට හේතු වූ බව සඳහන්
කළ හැකිය.
නව නීති ක්‍රම හඳුන්වා දීම
බ්‍රිතාන්‍ය සමාගම විසින් හින්දු කෝවිල් හා දේවාල සතු වූ
ඉඩම් සඳහා ද මුස්ලිම් පල්ලි සතු වූ ඉඩම් සඳහා ද බදු ගෙවීම අනිවාර්ය කරන ලදී. මෙය
ඉන්දියානු ආගමික සමාජයට මහත් අවමානයක් වූ අතර 1850 වසරේ දී ඩැල්හවුසි සාමි ඉදිපත් කරන ලද නව යෝජනාවක් ද මෙම ආගමික අවමානයට
තවත් බලපෑම් කළේය. එනම් නීතිමය ආකාරයෙන් කිතු දහම වැළැඳගත් හින්දූන්ට හෝ
මුසල්මානුවන්ට නැවත සිය පාරම්පරික ඉඩ කඩම්වලට හිමිකම් කිව හැකි වීමයි. දැඩි මතධාරී
හින්දු හා මුස්ලිම් ආගමිකයින් මෙය ද බ්‍රිතාන්‍යන් විසින් සිය ආගම් විනාශ කොට කිතු
දහම ප්‍රචලිත කිරීමට ගන්න වූ උත්සහයක් ලෙස සැළකූ අතර 1857 කැරැල්ල ඇතිවීමට මුල් වූ ආගමික සිදුවීමක් ලෙසත් මෙය
හඳුනා ගත හැකි බව ඉන් පැහැදිලිය.
අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා
දීම
මෙසමයේ බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාවට අධ්‍යාපනය ලබා
දීම සඳහා පාසැල් ඇති කිරීම දක්නට ලැබේ. එනමුත් එතෙක් කල් සාම්ප්‍රධායික බ්‍රහ්මණ
හෝ මලවිවරු යටතේ අධ්‍යාපනයට හුරු වී සිටි ඉන්දියානුවන් මෙම පාඨශාලා අධ්‍යාපනය ප්‍රතික්ෂේප
කළෝය. ඊට අමතරව එය හින්දු හා මුස්ලිම් අධ්‍යාපනය ලබා දෙන පණ්ඩිතවරුන්ගේ හා
මලෙවිවරුන්ගේ ද උදහසට ලක්වීම මෙම 1857 කරැල්ලට බලපෑ තවත් එක් සමාජමය හේතුවක් විය.
බ්‍රිතාන්‍යන්ගේ දරදඬු
ස්වභාවය
ඉන්දියානුවන්ට දැඩි ලෙස සැලකීම හා ඔවුන් හා කිසි ලෙසක
සම්මිශ්‍රණය නොවීම බ්‍රිතාන්‍යන්ගේ ප්‍රතිපත්තිය විය. ඉන්දීය ආගම් හා සංස්කෘතිය
ඔවුන් සැලකුවේ “මිත්‍යා දෘෂ්ටික ආගම්” හා “ප්‍රතිමාවන්දකයින්” ලෙසයි. බ්‍රිතාන්‍යන්
කිසි ලෙසක ඉන්දියාවේ ස්ථීර පදිංචි කරුවන් නොවුණු අතර එසේ පදිංචි වී ඉන්දියානුවන්
බවට පත් වීමට ඔවුන්ට අවස්ථාවක් ද නොතිබුණේය. සංස්කෘතියක් නොමැති පිරිසක් ලෙස
ඉන්දියානුවන් හැඳින් වූ බ්‍රිතාන්‍යන් ඔවුන්ගෙන් බොහෝ දුරස් ලෙස සිය පාලන කටයුතු
ගෙන ගියේය. මෙනිසා ඉන්දියානුවන් හා බ්‍රිතාන්‍යන් අතර කිසි විටෙක යහපත් සබඳතාවක් ගොඩ
නැඟුණේ නොමැති බව කියවෙන අතර එය ද සිපොයි කැරැල්ලට බලපෑ තවත් එක් ප්‍රධානතම සමාජමය
හේතුවක් වන බව විද්වතුන් දක්වා තිබේ.
ඉන්දියානු සම්පත් සූරාකෑම
බ්‍රිතාන්‍යන්ට විරුද්ධව ඉන්දියානු වැසියා වඩාත්ම ගොඩ
නැඟුණේ ඔවුන් විසින් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති නිසාවෙන් බව විද්වතුන් දක්වා
ඇත. නිර්දය ලෙස ඉන්දියානු සම්පත් සූරා කෑමේ ප්‍රතිපත්තිය එලෙස ඉන්දියානුවන් සමාගම්
පාලනයට විරුද්ධ වීමට මුල් වූ ප්‍රධානතම හේතුව වේ. පොදු ජනයා මත අති විශාල බදු පනවා
සිය සමාගමට ධනය රැස් කිරීම බ්‍රිතාන්‍යන්ගේ පිළිවෙත විය. රෙදි පිළි, නිල් අවරිය, කුළුබඩු, ධාන්‍ය ආදිය ඉන්දියාවෙන් සුළු
මුදලට ලබා ගත් බ්‍රිතාන්‍යයෝ තමන් සතුව අධික ලාබ තබා ගනිමින් වෙනත් රටවලට විකුණූ
බව කියවේ. එලෙස විකුණන ලද භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳව ද අවධානය යොමු කළ බ්‍රිතාන්‍යයෝ
එම නිෂ්පාදන කටයුතු උනන්දු කිරීම මත ඉන්දියානු රෙදිපිළි කර්මාන්තයට එංගලන්ත රෙදි
පිළි කර්මාන්තය හා තරඟ කිරීමට ද සිදු විය. බ්‍රිතාන්‍ය රජය ඉන්දියානු රෙදි පිළි
එංගලන්තයේ විකිණීම තහනම් කළ අතර එය අසාර්ථක වූ තැන විවිධ බාධක පැනවීමට ද උත්සහ ගත්
බව කියවේ. එහිදී ඔවුන් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන රෙදිපිළි ඇතුළු භාණ්ඩ සඳහා අධික
ලෙස බදු පැනවූ බවත් සඳහන් වේ. මෙම තත්වය අධික ලෙස ඉන්දියානු අමුද්‍රව්‍ය සූරා
කෑමකට ලක් කිරීමක් වූ බව කියවෙන අතර මෙවැනි ක්‍රියා හේතුවෙන් සිදු වූයේ වැසියාගේ
නොමනාපය තව තවත් වර්ධනය වීමක් විනා මර්දනය වීමක් නොවන බව පැහැදිලි ලෙස ඉහත නිදසුන්
ඔස්සේ සඳහන් කල හැකිය.
දේශීය ඉන්දියානුවන්ගේ වුවමනා
නොසලකා හැරීම
ඉන්දියානු රෙදි පිළි කර්මාන්තය එංගලන්ත රෙදි පිළි
හේතුවෙන් සීඝ්‍ර ලෙස පහත බැසීම සිදු විය. එංගලන්තය විසින් තීරු බදු ඉහළ නැංවීම ද මෙයට හේතුවක් වූ අතර එහි
අවසානයේ ඉන්දියානු රෙදි කර්මාන්ත කරුවන්ට එංගලන්ත රෙදි හා තරඟ කළ නොහැකි තත්වයක් උදා
වුණු බව කියවේ. තව ද වෙළෙඳ සමාගම එංගලන්තයේ කර්මාන්තශාලා සඳහා ඉන්දියාවෙන් අඩු
මිලට “කපු හා ජූට්” ලබා ගත්තේය. එනිසා ඉන්දියාව
එංගලන්තයට අමුද්‍රවය සපයන රටක් බවට පත් වූ අතර ඉන්දියානු අමුද්‍රව්‍ය යොදා භාණ්ඩ
නිෂ්පාදනය කළ එංගලන්තය ඉන් උපරිම ලාභ ලබමින් එම නිෂ්පාදන අළෙවි කරන්නන් බවට පත් වූ
බවත් කියවේ.
බ්‍රිතාන්‍ය සමාගමේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඉන්දියාව
හුදෙක් අමුද්‍රව්‍ය සපයන ආර්ථික සූරා කෑමට ලක් වූ කලාපයක් පමණක්ම වූ අතර ඉන්දියානු
අමුද්‍රව්‍යම යොදා ගෙන සිදු කරන නිෂ්පාදන මිලදී ගන්නා තවත් එක් රාජ්‍යක් වීමට ද
ඉන්දියාවට සිදු විය. ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ඉතා අඩු මිලකට ලබා ගත්ත ද නැවත එම
අමුද්‍රව්‍ය යොදා සකස් කළ භාණ්ඩ අළෙවි කිරීමේ දී ඒවාට ඉතා ඉහළ මිලක් නියම කොට
තිබිණි. මේ හේතුවෙන් ඉන්දියාවේ සම්පත් පමණක් නොව බොහෝ ධනස්කන්ධයක් ද එංගලන්තයට ඇදී
ගිය බව කියවේ.
මෙවැනි විශාල කරුණු කාරණා ප්‍රමාණයක් මත එංගලන්තය හා
වෙළඳාම ඉන්දියාවට කිසිසේත්ම නොගැළපුණු බව කියවේ. මන්ද යත් ඉන්දියානු සම්පත්වලින්
හා ශ්‍රමයෙන් විශාල ලාභ ලබා ගත් බ්‍රිතාන්‍යන් කිසිලෙසක ස්වකීය ඉන්දියානු ආර්ථිකයට
වගකියනු ලැබුවේ නැති නිසාවෙනි. ඔවුන් කිසි විටෙක ඉන්දියානුවන්ගේ හැඟීම් කෙරෙහි
උනන්දු නොවූ අතර ඉන්දියානුවන්ගේ අවශ්‍යතාවයන් කුමක් වේ දැයි පවා නොදැන සිටියහ. එබැවින්
මෙම ආර්ථිකමය ක්‍රියාමාර්ගයත් පසුව 1857 කැරැල්ලට හේතුවක් වශයෙන් ඉන්දියානු සමාජය ඔස්සේ පැන
නඟින්නට ඇති බව පැහැදිලි කරුණක් වේ.
ඉන්දියාවේ සම්පත් යුරෝපයට රැගෙන
යාම
බ්‍රිතාන්‍යන් ඉන්දියානු ආර්ථිකය සූරා කනු ලැබුවේ අමුද්‍රව්‍ය
සිය රටට යැවීමෙන් පමණක් නොවේ. ඔවුන් ඉන්දියාවේ සේවය කළ බ්‍රිතාන්‍ය නිළධාරියෙකුට
දේශීය නිළධාරියෙක්ට වඩා විශාල වේතනයක් ගෙවූ බව කියවේ. එම මුදල් සියල්ලක්ම
එංගලන්තයට ගලා ගිය අතර බ්‍රිතාන්‍යන් විසින් මැනවින් සැළසුම් කොට එලන ලද ජාලයක්
ඔස්සේ මෙම සූරා කෑම ඉන්දියාව තුළ සිදු කළ බව ඉන් පැහැදිලි වේ. තව ද මෙම සූරා කෑම
කෙරෙහි අදහස් දක්වූ එවකට මධුරාසි ආදායම් මණ්ඩලයේ සභාපති වූ “ඩෝන් සලිවාන්” මෙසේ පවසා
ඇත. “අපෙ ක්‍රමය තෙතමනය
උරන මුහුදු හත්තක් මෙන් හරියටම ක්‍රියාත්මක වේ. මේ ක්‍රමය අනුව ගංඟා
නදියේ ඉවුරුවල ඇති සියළුම හොඳ දේ ගලා ගොස් එංගලන්තයේ තේම්ස් නදියේ ඉවුරු මඟින් උරා
ගනු ලැබේ.” එම ප්‍රකාශයෙන්ම බ්‍රිතාන්‍යන් කෙතරම් ආර්ථික සූරා කෑමක්
ඉන්දියාව තුළ කරගෙන යමින් සිටියා දැයි පැහැදිලි වන අතර මෙම තත්වයට මුහුණ දුන් එකල
වැසියන් 1857 වන විට ආරම්භ වූ කැරැල්ලට ඉහත සිදුවීම් ද හේතු කාරණා කර
ගන්නට ඇතැයි අපට සිතිය හැකිය.
ඉන්දියානු කුඩා පරිමාණයේ
කර්මාන්ත බිඳවැටීම
ඉන්දියාව බ්‍රිතාන්‍යන්ගේ නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය සපයන
රට බවට පත් වීම හේතුවෙන් සිදුවූයේ ඉන්දියාවේ ප්‍රාථමික කර්මාන්ත විනාශ වීම බව
උගතුන්ගේ මතයයි. හස්ත හා ගෘහාශ්‍රිත කර්මාන්ත නැති වන තත්වයට පත් වූ බවත් දස දහස්
ගණන් ශිල්පීන්ට ජීවන මාර්ග අහිමි වූ බවත් දැක්වෙන අතර සිල්ක් හා කපු රෙදි
නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදනවලින් කිසිදු ලාභයක් නොතිබුණු බවත්, ඔවුන්ට වෙනත් රැකියා සොයන්නට සිදු වූ බවත් කියවේ. මෙලෙස
දේශීය ආර්ථිකය බිඳ වැටීම ද බ්‍රිතාන්‍යන් කෙරෙහි ඉන්දියානුවන් උරණ වීමට හේතුවක් වූ
අතර එය ද 1587 කැරැල්ලට යම්
ආකාරයකින් බලපාන්නට ඇතැයි ඉහත තොරතුරු ඔස්සේ ප්‍රකාශ කළ හැකිය.
ඉන්දියානුවන්ට රැකියා අහිමි
වීම
ඉන්දියාව පූර්ණ වශයෙන් බ්‍රිතාන්‍යන්ට යටත් වීම හේතුවෙන්
ඉන්දියානු වැසියන්ගේ රැකියා අහිමි වීම නිතතින්ම සිදු විය. මන්ද යත් ප්‍රදේශයන් තුළ
කුමාරවරුන් ගේ හමුදා සේවයේ නිරතව සිටි පිරිස්, සමින්දාර්වරුන්, තලුක්දාර්වරුන්
ආදීන්ට මූලිකව සිය රැකියා අහිමි වූ අතර සමින්දාර්වරුන්ගේ හා තලුක්දාර්වරුන්ගේ ඉඩ
කඩම් ද අහිමිවූ බව සඳහන් වේ. විශේෂයෙන්ම එහිදී හමුදා භටයින් බ්‍රිතාන්‍ය සතුරන්
බවට පත් වූයේ ඔවුන්ගේ රැකියාව අහිමි වීමෙන් සිය පවූල් අන්ත දුගී භාවයට පත් වූ
බැවින් යැයි කියවෙන අතර එම භටයින් කුමන හෝ මොහොතක බ්‍රිතාන්‍යන්ගෙන් පළි ගැනීමේ
චේතනාවෙන් සිටි බව ද 1857 කැරැල්ල යනු ඒ
සඳහා ඔවුන්ට උදා වූ වටිනාම අවස්ථාවක් බවත් මූලාශ්‍රගත තොරතුරුවල දක්වා ඇත.
නිදහස් ඉඩම් අත්පත් කර
ගැනීමේ බ්‍රිතාන්‍ය ක්‍රියාමාර්ගය
මෙහිදී විශේෂයෙන්ම කැපී පෙනෙනුයේ ඉන්දියානු රදළයින් සතුව
පැවති නින්දගම් බ්‍රිතාන්‍යන් විසින් අත්පත් කර ගැනීමයි. නින්දගමක් යනු රදළයින්ගේ
ආදායම් මාර්ගය වූ අතර ඒවා රජය සතු කර ගැනීමෙන් මෙම දේශීය රදළ ප්‍රජාව බ්‍රිතාන්‍ය
කෙරෙහි අතිශය කෝපයට පත් වූ බව කියවේ. විළියම් බෙනටින්ක් සාමි එලෙස බෙංගාලයේ ඇතම්
නින්දගම් ඈඳා ගත් අතර ඩැල්හවුසි සාමි ඩෙකෑනයේ නින්දගම් කිහිපයක් බලහත්කාරයෙන් ඈඳා
ගන්න ලදී. කෙසේ නමුත් ඉන් දේශීය රදළ ප්‍රජාව
බලවත් දරිද්‍රතාවයකට ද මුහුණ දුන් අතර ඔවුන් සමාගමට විරුද්ධව 1857 කරැල්ලට සහය දැක්වීමට ද ඉහත කී සිදු වීම හේතුවක් වූ බව
පැහැදිලිය.
දිළිඳුකමට හා සාගතයන්ට මුහුණ
දීම
උසස් තනතුරුවල නිරතව සිටි ඉන්දියානු රාජ්‍ය සේවකයෝ එම
තනතුරුවලින් ඉවත් කොට ඒ සඳහා බ්‍රිතාන්‍ය නිළධාරීන් පත් කිරීමත් වෙනත් හමුදා හා
සමින්දාරි තනතුරු අවලංගු කිරීමත් ආදී හේතූන් නිසා එම සමාජ කණ්ඩායම්වල ආර්ථික බිඳ
වැටීම් හා දිළිඳුකම පැතිර යාම සිදු වූ බව කියවේ. තව ද සාගත ඇති වීමෙන් මෙම තත්වය
දෙගුණ තෙගුණ වූ බව කියවෙන අතර සාමාන්‍ය ජන ජීවිතය මහත් ඛේද ජනක ඉරණමකට මුහුණ
දෙමින් සිටි කාල පරිච්ඡේදයක් ලෙස මෙම 1857 කැරැල්ල ආසන්න අවධිය දැක්විය හැකිය.
බ්‍රිතාන්‍යන් කෙරෙහි ඉන්දීය
කුලී හේවායන් තුළ වූ අකමැත්ත
ඉන්දියාව ජය ගැනීම සඳහා බ්‍රිතාන්‍යන් විසින් යොදා ගනු
ලැබුවේ කුලියක් ගෙවා මිල දී ගත් ඉන්දියානු
ජාතික හමුදා භටයින් ය. ඔවුන් මුල් සමයන් තුළ දී තමන්ගේ ස්වාමී වූ බ්‍රිතාන්‍යට
පක්ෂපාතීව සේවය කළත් පසුව බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියානු භටයින් කෙරේ ඇති කරන ලද
යම් යම් අකටයුතුකම් හේතුවෙන් ඔවුන් බ්‍රිතාන්‍යන් කෙරෙහි අපසාදයට පත් වීම මෙසමයේ
නිතැතින්ම සිදු වූ බව කියවේ. ඉන්දියානු කුලී හේවායින් නොමැති වූයේ නම් බ්‍රිතාන්‍යන්ට
ඉන්දියාව ජය ගැනීමට නොහැකි වන බව විද්වතුන්ගේ මතය වන අතර එසේ තිබියදීත් බ්‍රිතාන්‍යන්
ඉන්දියානු සෙබළුන් පහත් කොට සැලකීම ඔවුන්ගේ අතිශය අප්‍රසාදයට හේතු වූ කරුණක් බව
කිව හැකිය.
එහෙත් මුල් කාලයේ බ්‍රිතාන්‍යන් ඉන්දියානු කලාප ඈඳා
ගන්නා විට මෙම ඉන්දීය සෙබළුන් සතුව සිය මාතෘ භුමිය කෙරෙහි ආදර ගෞරවයක් නොවූ බව ද
තමන්ගේම රට වැසියන්ට එරෙහිව යුධ වැදීම ඔවුන්ට සාමාන්‍ය කරුණක් වූ බව ද කියවේ. නමුත්
1857 ට ආසන්න කාල සීමාව තුළ බ්‍රිතාන්‍යන් එම ඉන්දියානු
සෙබළුන්ට සැලකූ ආකාරයේ තිබූ කුරිරු බව නිසාම ඉන්දියානු සෙබළුන් අතරින්ම 1857 කැරැල්ල තරම් විරෝධතාවක් මතු වීම පුදුමය එලවන සුළු කරුණක්
නොවබ බව ඉහත සඳහන් කරන ලද නිදසුන ඔස්සේ මැනවින් පැහැදිලි වේ.
බෙංගාල යුධ හමුදාවේ තිබූ
අසාර්ථක තත්වය
මෙසමය වන විට බ්‍රිතාන්‍යන් යටතේ පැවති බෙංගාල යුද්ධ
හමුදාවේ තත්වය ඉතාම පහත් මට්ටමක තිබූ බව සඳහන් වේ. එනිසා ඉන්දීය භටයින්ට බ්‍රිතාන්‍ය
හමුදාව තුළ කැරැල්ලක් සඳහා සංවිධානය වීම එතරම් අපහසු කාර්යක් නොවුණු බවත් කියවේ.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය හමුදාවේ අගය පහතට වැටීමට කරුණු ත්‍රිත්වයක් පාදක වූ බව
කියවෙන අතර ඒවා නම්,
- · දක්ෂ යුද්ධ නිළධාරීන් කිහිප දෙනෙකුම දේශපාලන කටයුතු සඳහා මාරු කොට වෙනත් කලාපවලට යැවීම හා ඉන් හමුදාව තුළ නායකත්වය දුබල වීම
- · තනතුරු ඉහළ දැමීම ජ්‍යේෂ්ඨත්වය මත පදනම් වූයෙන් බොහෝමයක් අදක්ෂ නිළධාරීන්ට හමුදාව තුළ ඉහළ තනතුරු ලැබීම
- · දැඩි ලෙස පිළිගැනුණු වසස් සීමාවක් නොමැති වූ හෙයින් ශක්ති ප්‍රමාණය ඉක්මවා ගිය ද එය පැහැදිලිව නොපෙනෙන හේවායින්ට ද හමුදාවේ සේවය කිරීමට අවස්ථාව ලබා දීම
යන කරුණු ප්‍රධාන විය. මේ තත්වය මත විනය පිරිහෙමින්
පැවති බ්‍රිතාන්‍ය හමුදාව තුළ ඉන්දියානුවන් ක්‍රමයෙන් සංවිධානය වීම ආරම්භ කළ බව ද
කියවේ. එයට මුල් වූ ප්‍රධානතම හේතුවක් ලෙස හමුදාවට බඳවා ගත් සිපොයිවරුන් බොහෝ
දෙනෙක් එකම ප්‍රදේශයට හා එකම කුලයට අයත්
පිරිසක් වීම දැක්විය හැකිය. මේ හේතුවෙන් ඔවුන් අතර පවුල් සබඳතා මෙන්ම අසල්වාසි
සබඳකම් ද වූ බව සඳහන් වේ. කුලය නිසාවෙන් එකමුතුවෙන් බැඳී සිටි ඔවුන් සතුව හමුදා
විනය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොවූ බවද කියවේ. මෙම තත්වය බ්‍රිතාන්‍ය හමුදාව තුළ
ඉන්දියානුවන්ට කැරැල්ල සඳහා සංවිධානය වීමට උපයෝගී වූ ප්‍රධානතම සහායක් වූ බව කිව
හැකි අතර මේ පිළිබඳව අදහස් දැක්වූ “සර් චාල්ස් නේපියර්” මහතා මෙසේ සඳහන් කොට ඇත. "කුලීනත්වය මඟින් කැරැල්ලට
ලැබෙනුයේ රුකුළකි" එබැවින් බ්‍රිතාන්‍ය හමුදාවන්ගේ විනය පිරිහීම ද 1857 කැරැල්ල ඇති වීමට බලපෑ තවත් එක් ප්‍රධානතම හේතුවක් බව
ඉහත තොරතුරු ඔස්සේ පැහැදිලි වේ.
ඉන්දියානු හා බ්‍රිතාන්‍ය
හමුදා භටයින්ට දෙයාකාරයකට සැලකීම
බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියානු සෙබළුන්ට ගෙවන ලද වැටුප
ඔවුන්ගේ වියදම් සඳහා කිසිසේත්ම නොසෑහුණු බව කියවේ. නමුත් ඔවුන් ඉන්දියානු
සෙබළුන්ගේ සේවයට සමානවම සේවාවක් ඉටු කළ බ්‍රිතාන්‍ය සෙබළුන්ට ගෙවනු ලබුවේ ඉන් අට
ගුණයක ප්‍රමාණයක වැටුපක් බවත් සඳහන් වේ. එයට වෙනත් දීමනා හා ගාස්තු ද එක් කර ඇති
අතර පැහැදිලිවම මෙම වැටුප් ප්‍රමාණයන් අතර විශාල වෙනසක් තිබුණු බව ද සඳහන් වේ. තව
ද ඉන්දීය සෙබළුන්ට උසස් වීම් ලබා දීම ද බ්‍රිතාන්‍යන් විසින් අත්හිටුවා තිබිණි. ඒ අනුව ඔවුන්ට ලබා ගත හැකි වූ ඉහළම නිලය වූයේ “සුබෙදාර්” නම් වූ
යුධ හමුදාවක තිබෙන පහත්ම නිලයයි. නමුත් බ්‍රිතාන්‍ය සෙබළුන් විවිධ උසස්වීම් හා
වැඩි වැටුප් ලබමින් ඉහළට ගිය අතර එයට සමාන සේවයක් කළ ඉන්දියානු සෙබළු සෑමවිටම එක්
නිලයක එකම වැටුපක රඳවා ගත්හ.එබැවින් මෙම තත්වය යටතේ මහත් කළකිරීමට පත් ඉන්දියානු
සෙබළු කුමන හෝ මොහොතක බ්‍රිතාන්‍ය සමාගමෙන් පළිගැනීම සඳහා මාන බලමින් සිටි බව
දැක්වෙන අතර 1857 කරැල්ලට ඉතා විශාල වශයෙන්
මෙම සිදුවීම ද බලපෑ බව මේ අනුව පැහැදිලි වේ.
අනිවාර්ය සේවා පනත් ඇති
කිරීම
1856 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මඟින් සම්මත කරන ලද
පනතට අනුව ඉන්දියානු යුධ භටයින්ව වෙනත් විදේශ රටවල යුද්ධ සඳහා සහභාගී කරවීමේ
අයිතිය බ්‍රිතාන්‍යන් සතු වීම සිදු විය. 1824 වසරේ දී ද කල්කටාව
ආසන්නයේ බැරැක්පූර් හි සිපොයිවරුන් ද මෙවැනි කරුණක් අළලා කැරලි ඇති කළ බව සඳහන් වන
අතර එය නම් බුරුම යුද්ධය සඳහා වූ මුහුදු ගමන බ්‍රහ්මණ වංශික සිපොයිවරුන් ප්‍රතික්ෂේප
කිරීම හේතුවෙනි. නමුත් බ්‍රිතාන්‍ය නිළධාරීන් මෙම තත්වය මනාව හසුරවා ගත් බව සඳහන්
වේ. එනමුත් 1857 ආසන්න සමයේ දී සිපොයි භටයින් වෙනත් රටවල විදේශ ගමන් සඳහා මුහුදු
මඟින් යෑම සිදු කළ යුතු බව පනතක් මඟින් සම්මත වී තිබීම එම භටයින්ගේ අතිශය කෝපයට හා
පිළිකුළට හේතුවක් වූ බව කියවේ. බ්‍රහ්මණ වංශික යුද්ධ භටයෝ එම නීතිය ඔස්සේ තමන්ගේ
කුලයට මහත් හානි පැමිණේවි යැයි සිතූ බව කියවේ. මන්ද යත් බ්‍රහ්මණ සමාජයේ ඔවුන්ගේ
පිළිගත් නීතියක් ලෙස “බ්‍රහ්මනයින්ට මුහුද ඔස්සේ වෙනත් රටකට යෑම තහනම්” කර තිබිණි. එනිසා
ඉහත කී පනත ඔවුන් ප්‍රතික්ෂේප කළ බවත් එනමුත් බ්‍රිතාන්‍යන් ඒ කෙරෙහි සැලකිල්ලක්
නොදැක්වූ බවත් කියවේ. මේ හේතුවෙන් ඉන්දියානු යුධ භටයෝ මහත් අපහසුතාවයට පත් වූ බවත්
1857 කැරැල්ල ඇති වීමට බලපෑ ප්‍රධානතම හේතූන් අතරින් මෙම
සිදුවීම එකක් වූ බවත් මූලාශ්‍ර ගත තොරතුරුවල සඳහන් වේ.
තව ද ඉන්දියානු භටයින් බ්‍රිතාන්‍ය භටයින් ප්‍රමාණයට වඩා
අධික වූවත්, යුද්ධ කටයුතු පිළිබඳව මනා
පුහුණුවක් ඉන්දියානුවන් සතු වූවත්, බ්‍රිතාන්‍යන් සෑම විටම ඉන්දියනුවන් කෙරෙහි දැක්වූයේ දෙවන පන්තියේ
සැලකීමක් බව කියවේ. කැරැල්ල ඇති වන විට මෙලෙස ඉන්දියානු භට පිරිස බ්‍රිතාන්‍යන්ට
වඩා වැඩි වීම ද එක් වරම යුධ භටයින් අතරින් කැරැල්ල ඇති වීමට හේතුවක් වූ බව සඳහන්
කළ හැකිය.
බ්‍රිතාන්‍යන් ඇෆ්ගන් යුද්ධය
පරාජයට පත් වීම
හිරු නොබසින අධිරාජ්‍ය ලෙස ලෙස හැඳින්වූ බ්‍රිතාන්‍ය
කිසිසේත්ම පරාජය කල නොහැකි බව ඉන්දියානුවන් සතුව තිබූ මතයකි. එම හැඟීම ම බ්‍රිතාන්‍යන් සතුව ද තිබූ අතර ඔවුන් එනිසාම කිසිවෙකුට
යටත් නොවන ආකාරයේ ජාතියක් වූ බව ද සඳහන් වේ. නමුත් පළමු වන ඇෆ්ගන් යුද්ධයෙන් බ්‍රිතාන්‍යන්
දරුණු ලෙස පරාජයට පත් වූ බවත් ඒ ඔස්සේ බ්‍රිතාන්‍යන් යනු පරාජයට පත් කළ හැකි
ජාතියක් බව ඉන්දියානුවන්ට තේරුම් ගිය බවත් සඳහන්වේ. බ්‍රිතාන්‍යන් කෙරේ ඇති වූ මෙම
හැඟීම 1857 කැරැල්ල ඇති වීමට බලපෑ ආසන්නතම හේතුවක් වූ අතර කෙසේ හෝ
බ්‍රිතාන්‍ය බලයෙන් නිදහස් වීම සඳහා 1857 වසරේ දී ඉන්දියානුවන් සමාගම් පාලනයට එරෙහිව විශාල කැරැල්ලක් ආරම්භ කිරීම
සිදු කල අතර එය ඉහත සඳහන් කරන ලද සියළුම නිදර්ශන ඔස්සේ මැනවින් ගම්‍යමාන වන බව
පැහදිලි වේ.
0 comments:
Post a Comment