Sunday, April 26, 2020

අනුරාධපුර අවසානය දක්වා ශ්‍රී ලංකාවේ වාරි කටයුතුවල හා වාරි තාක්ෂණයේ පැවති විශේෂ ලක්ෂණ


පුරාණ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තියේ ඉතා වැදගත් තැනක් ජල සම්පත් පාලනය සඳහා යොමු වී තිබිණි. ඒ මන්ද ආර්යන් මෙරට ජනාවාස පිහිටුවා ගැනීමත් සමඟ ඇති වූ ඔවුන්ගේ ජන ව්‍යාප්තියත් වගා කටයුතුත් හේතුවෙන් ඔවුන් සතු වූ ජල සම්පත් වල මද බව තුළින් විකල්ප විසඳුම් සොයා යෑමට ඔවුන්ට සිදු විය. ඒ හේතුවෙන් ඔවුන්ගෙන් පැවතගෙන එන පරම්පරා විසින් ස්වභාවික සම්පත් අතර සීමිත සම්පතක් හා අළුත් කළ හැකි මෙන්ම නැවත පරිහරණය කළ හැකි සම්පතක් වූ ජලය ක්‍රමවත් පරිපාලනයකට ලක් කොට දිගු කලීන වශයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයන් සොයා ගත්හ. අතීත ලංකික ආර්ථිකය මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික පදනමකට යටත්ව තිබුණෙන් ආර්ථික ස්ථාවරත්වය සඳහා සැළසුම් සහගත ලෙස ජල පරිබෝජනය අත්‍යවශ්‍ය කරුණක් විය. එබැවින් ඔවුන් විසින් ලෝකයේ කිසිදු රටකට නො දෙවෙනි තාක්ෂණයෙකින් හෙබි පරිපූර්ණ වාරි ක්‍රමවේදයක් මෙරට තුළ ටිකෙන් ටික ස්ථාපිත කරවීය. ඒ ඔස්සේ රජරට ශිෂ්ඨාචාර සමයේ වඩාත් කැපී පෙනෙන්නාවූ අගනුවර වූ අනුරාධපුරය ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවූ ලංකික වාරි කටයුතු හා වාරි තාක්ෂණයේ සුවිශේෂී වූ සිදුවීම් හා ලක්ෂණ පහත විස්තර තුළින් අවධානයට ලක් කිරීම මෙහි අපේක්ෂාවයි.




වියළි කලාපික ප්‍රදේශයන් ට විශේෂයෙන්ම ගත් කළ දිවයිනේ භූමි කළාපයෙන් සියයට හැත්තෑවක් පමණ අයත් වීමත් වී ගොවිතැනට සුදුසු ඉඩම් බොහෝමයක් පැවතීමත් හේතුවෙන් ස්වභාවධර්මය විසින් ලාංකිකයන්ට එල්ල කළ අභියෝග ජය ගැනීමට කාලයාගේ ඇවෑමෙන් පළමුවෙන්ම වාරි මාර්ග පද්ධතියක් බිහිවීමේ පදනම වැටුණේ අනුරාධපුරයෙනි. එහිදී අනුරාධපුර යුගයේ අවසානය දක්වා වාරි කටයුතු ගත් කළ ප්‍රධානවම දැකිය හැක්කේ පාලකයන් මුල් කරගත් ඔවුන්ගේ මූලිකත්වයෙන් බිහිවූ වාරිමාර්ගයන් ය. ඒ අතර ප්‍රධාන ලෙසම තුන් වර්ගයක වැව් මෙලෙස බිහිවූ බව කණිට්ථතිස්ස රජුගේ (167-186) ජේත්වනාරාම ලිපියක සඳහන් වේ. ඒ මෙසේයි,
·       ගමික වවි
·       මහ වවි
·       දන වවි
ලංකාවේ ඇරඹූ ප්‍රථම වාරි කර්මාන්තය වූ මෙම ගමික වැව්වල රැස් කළ ජල ප්‍රමාණය අක්කර දෙකේ තුනේ සිට සියය දක්වා හෝ ඊට වැඩි වූ බව දැක්වෙන අතර වැවේ ප්‍රමාණය තීරණය වී තිබුණේ ලබාගත හැකි ජලස්කන්ධය, ගමට අවශ්‍ය වූ ජල ප්‍රමාණය හා භූ විශමතාවය මතයි. මුලදී ඉතා සරල අන්දමේ කුඩා වැව් තැනුවා විය හැකි අතර එබැවින්ම පහත් බැමි සහිතව තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහිදී ගමික වවි හෙවත් ගම් වැව් නිර්මාණයේ ප්‍රමුඛයා ලෙස සඳහන් වනු ලබන්නේ අනුරපුර අගනුවර කරගත් ප්‍රථම පාලකයා වූ පණ්ඩුකාභය රජුය.ඔහු විසින් "ජය වැව, අභය වැව හා ගාමිණී වැව"යන නමින් කුඩා වැව් තුනක් කරවූ බව දැක්වෙන අතර මෙම අභය වැව වර්තමානයේ "බසවක්කුලම"යන නාමයෙන් හඳුන්වනු ලබයි. දේශීය වංශ කතාව වූ මහාවංශය මෙම කුඩා වැව් ඉදිකිරීම් පිළිබඳව එතරම් තොරතුරු නොදක්වන නමුදු ශිලා ලිපි මඟින් යම් යම් තොරතුරු හඳුනා ගත හැකි වී තිබේ. එකල එම කුඩා වැව් බොහෝ විට ඉදි කරනු ලැබුවේ "වපිහමික" (ජල අධිපතියා) නමින් හැඳින්වූ පුද්ගලයන් ය. ඔවුන් එකල ජීවත් වූ පරුමුක වරුන් වන්නට ඇතැයි ද පැවසිය හැක්කේ ඔවුන් හට ඉඩම් හා ජලාශ වල අයිතිය තිබුණු බවට උගතුන් මත පළකර ඇති බැවිණි. කෙසේ නමුත් මොවුන් ඉදි කළ මෙම කුඩා වැව් භික්ෂු භික්ෂුණීන් ට පූජා කෙරූ බව කලාවැව, තෝණිගල, කොතල කිඹියාවේ ආදී ලිපි වලින් පැහැදිලි වේ. එසේම ග්‍රාමීය වැවත් පන්සලත් අතර එකල පැවති මනා සම්භන්ධතාවය ඒ කරුණු තුළින් තවදුරටත් පැහැදිලි වේ.ඉන්පසු ක්‍රි.පූ 3 වන සියවසේ අග භාගයේ දේවානම්පියතිස්ස රජු විසින් අනුරපුරයේ තිසා වැව පිහිට වූ බව මහාවංශයේ දැක්වේ. එය පිහිටුවීමේ අලංකාර විස්තරයක් එහි සඳහන් වන අතර මෙම වාරි නිර්මාණයට අක්කර 550ක් පමණා වගා කළ හැකි වූ අතර එය සතුව සොරොව් 2ක් ද තිබී ඇත.කුඩා ජල පෝෂක ප්‍රදේශයකින් ජලය ලබන්නා වූ  මෙම වැවෙහි විශේෂ ලක්ෂණය වනුයේ අඩි 25ක් උස අඩි 1100 පමණ දිග තවමත් නොනැසී පවතින්නා වූ වැව් කණ්ඩිය බව උගතුන් පවසයි. ඉන් පසුව වැව් තැනීමක් ගැන සඳහන් වනුයේ දුටුගැමුණු රජුගේ කාලයට ආසන්න සමයකය. එහෙත් ඊට පෙර ඉදි කරන ලදැයි පැවසෙන අනුරාධපුර යුගයටම අයත් උතුරු පළාතේ "වවුනිකුළම්"නැමැති වැවක් පිළිබඳව මහාවංශයේ සඳහන් වන අතර එය "පේලි වාපි" නමින් එහි දක්වා ඇති "පාලි" නම් ගංඟාවක් හරහා වේල්ලක් බැඳ ජලය ලබාගත් වැවක් වන බවටත් ග්‍රාමීය වශයෙන් වැව් තැනූ අවධියක විශාල ලෙස ඉදිකෙරුණු පළමු වැව වන බවටත් උගතුන් මත පළ කර ඇත. නුවර වැවද එකල ඉදි වූ කුඩා වැවක් වූ අතර එයට සොරොව් 2ක් තිබී ඇත. පසුව සද්ධාතිස්ස රජු වැව් 12ක් කරවූ බව දැක්වේ.ඒවා නම් "පදී, කටුන්නරු, දිවහා, උතුරළ, නෑපියොව, යොදිගමු, මාලදෙණියලෙන, මාමඬලා, කැන්දලා, රැඳලා, මහ ගුරුළු රැන්ද, නාකෙරෙල" ආදී ලෙස දැක්විය හැක.මෙහි සඳහන් පදී වාපි අනුරාධපුරය ට ඔබ්බෙන් ඇති "පදවිය" වැව වන්නට ඇතැයි ද අනුමානයක් ඇති අතර මහියංගනය ආසන්නයේ පිහිටි "හොරබොර" හෙවත් සොරබොර වැව ද අනුරපුර යුගයේ ඉදි වූ වැව්වලින් එකකි.එහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙය තැනීම සඳහා සැතපුම් 3ක් පමණ පරතරය ඇති පිහිටි ගලක කඳු 2ක් අතර දිය පහරක් යොදා ගැනීමත් එම පිහිටි ගලෙන්ම සොරොව්වක් නිර්මාණය කිරීමත් හා බිසෝකොටුවක් රහිත වීමත් ය. මේ වන විට ලාංකික වාරි කර්මාන්තය විවිධ සංවර්ධිත අවස්ථාවන් කරා ළඟා වෙමින් පැවති බවට දැක්විය හැකි හොඳම නිදසුන වන්නේ (ක්‍රි. පූ.44-22) කූටකණ්ණතිස්ස රජුගේ සමයේ ඉදිවූ ඇළ මාර්ගයන් ගැන සඳහන් වීමෙනි. කලා වැව් නිම්නයේ බලලු වැව ඉදිකිරීම මෙතුමා අතින් සිදුවිය.

ඉන්පසු අනුරපුර වාරි කර්මාන්තයේ දියුණුවට කටයුතු කළ ශ්‍රේෂ්ඨතමයා වසභ රජුය (67-111). මොහු වැව් 11ක් හා ඇළ මාර්ග 12ක් කරවා ඇත.මධ්‍යම ප්‍රමාණයේ වැව් නිර්මාණයේ ආරම්භකයා වූ මොහු විසින් ඉදි කළා වූ අනුරාධපුරයේ පිහිටි මහ හා කුඩා විලච්චිය, මාන්කැටිය, නොච්චිපොතාන, අක්වඩුන්න යන වැව් නූතනයේ ද දක්නට ඇති අතර පූර්ණ මිනුම් හා පාඨාංක දක්නට නොමැති වුවත් ඒවා පුරාණ කලයේ ඉදි කළා වූ වාරි කර්මාන්තවලට වඩා තාක්ෂණයෙන් දියුණු හා ප්‍රමාණයෙන් විශාල වූ බව ඉහත සාක්ෂි වලින් පෙන්වා දිය හැක. වසභ රජුගේ ඇළහැර ඇළ (අලිසාර) ඉදිකිරීම අතිශය නිර්මාණාතමක ක්‍රියාදාමයකි.මෙය අඹන් ගඟේ ජලය හරස් කර බඳිණු ලැබූවක් වන අතර විශාල ප්‍රදේශයක් පෝෂණය කරමින් ගොස් අවසානයේ "කිරි ඔයට" සම්බන්ධ වේ.මෙහි ඇති උසස් තාක්ෂණය ලෙස විද්වතුන් පෙන්වා දෙන්නේ විශාල ගංඟා ගල් යොදා හරස් කර සාර්ථක ලෙස වේළි ඉදිකිරීමයි. මෙයින් ලැබුනා වූ ආදායම රජු විසින් "තිස්සවඩ්ඪමාණක' ප්‍රදේශයේ ආරාමයකට පූජා කළ බව වැඩිදුරටත් මහාවංශයේ සඳහන් වේ. ජෙට්ඨතිස්ස රජු (363-275) විසින් වැව් 6ක් ද ඔහුගේ සොහොයුරා වූ මහසෙන් රජු (275-301) විසින් වැව් 16ක් හා එක ඇළක් කරවූ බවත් දැක්වෙන අතර අනුරපුර යුගයේ කරවූ ප්‍රමාණයෙන් විශාලම ජලාශ ඉදිකිරීමේ ගෞරවය මහසෙන් රජුට හිමිවේ. ඔහු තැනවූ වැව් 16 අතර " මුවගමුව, හුරුල්ල, කුණදිය, දෝර, මාමිණිය, කොක්කදනවු, රත්තලකවුඩු, මාගලු, සුලුගලු, කළවාණ, කිඹුල්වාණ, ගැටුප්මාදරගලු, සිරුවලා, වෙල්පිටවඩුන්නා, රන්තිසෑ, මිණිහිරි යනාදී වැව් දැක්විය හැක.මෙම ඇතැම් වැව් ගමකට හෝ ගම් කිහිපයකට ජලය සැපයූ කුඩා වැව් වූවත් මේ රජුගේ වාරි කර්මාන්ත අතර ප්‍රධානම තැන ගනුයේ "මින්නේරි"(මිණිහිරි) වැවයි. ජලය පිරුණු කල් හි අක්කර 4670ක් පමණ වගා කල හැකි මෙම වැව හේතුවෙන් රජු දේවත්වයෙහි ලා සැළකූ බව ජනප්‍රවාදයේ එයි.තවද රජු කරවූ  රන්තිසා වැව යනු දැනට නටඹුන් වී ඇති කවුඩුලු වැව බවත් එයට මින්නේරි වැවෙන් කැපූ ඇළක් ඔස්සේ ජලය ලැබුණු බවත් දැක්වේ."පබ්බතන්ත ඇළ"(තලවළ) මොහු කරවූ ඇළ මාර්ගය වන අතර එයත් සැතපුම් 20ක් පමණ දිග විශිෂ්ට නිර්මාණයක් බව ඉතිහාසඥයින් දක්වා ඇත. ක්‍රි.ව 5 වන සියවස වන විට අනුරපුර කෙන්ද්‍ර කරගෙන ජනගහනය මෙන්ම ගොවිතැන් ද දියුණු වූ බැවින් පොළොන්නරු ප්‍රදේශයේ පවා ඇළ මාර්ග ඉදි කෙරුණු අයුරු දැකිය හැක.එලෙස උපතිස්ස රජු පොළොන්නරුවේ "තෝපා වැව" ඉදි කළ අතර ධාතුසේන රජු විජිතපුරයේ "කලා වැව" ඉදි කළේය.කලා වැව යනු එකළ තිබූ ජලාශ සමඟ සංසන්දනය කරන විට විශාලතම හා වඩාත් විශ්වාසදායී ලෙස ස්ථීරවම වගා බිම්වලට ජලය ලබා දුන් ජලාශය ලෙස දැක්වේ. එයට අනුරපුර පිහිටි තිසා වැව හා සම්බන්ධ කර "යෝධ ඇළ" හෙවත් "ජය ගඟ" නම් ඇළ මාර්ගයකින් ජලය ලබා ගෙන ඇති අතර මෙම ජය ගඟ එකල සිංහල වාරි ඉංජිනේරුවන්ගේ කෞශල්‍යය මැනවින් ප්‍රකට කරවන්නක් වී ඇත. ඒ මන්ද මෙහි පළමු සැතපුම් 17 අතර ඇති බැස්ම සැතපුමකට අඟල් 6ක් පමණ වන සේ ක්‍රමවත්ව සකස් කොට ඇති නිසාවෙනි.මීට අමතරව මහවැලිය හරස් කොට අමුණු බඳවා "යෝධ වැව" හෙවත් "මානාමත්ත" ජලාශයත්, මන්නාරමෙහි පිහිටි "පාන්කුලම"ජලාශයත්,"සංගමු වැව" හා "මහලු වැව" ලෙස හඳුනා ගෙන ඇති "මැද්දෙකැටිය" හා "මාඑළිය" යන සියලු වාරි කර්මාන්තත් මොහු විසින් ඉදි කර ඇති අතර ධාතුසේන රාජ්‍ය සමය යනු හුදෙක් එක් අංශයකින් පමණක් නොව කෘෂිකාර්මික, දේශපාලනික, සාමාජයීය, ආර්ථික, ආගමික ආදී වශයෙන් වූ සියලුම අංශයන්ගෙන් ප්‍රවර්ධනයක් පෙන්වූ උසස් රාජ්‍ය සමයක් යැයි වත්මනෙහි පවා පිළිගන්නා සත්‍යක් වේ.

තුන් වන සියවසින් පසු අවධිය වන විට වාරි තාක්ෂණයේ අතිශය දියුණුවක් පෙන්වූ අතර විශාල ජලාශ ඉදිවීම කරණ කොට ගෙන වර්ෂයකට තෙවරක්ම අස්වැන්න ලබා ගත් බව චූලවංශය පෙන්වා දෙයි. ජලාශ ජලයෙන් පුරවා තිබීම" හෙවත් "අතිරොදකෙ"යන පදයෙන් එය තවදුරට ත් සනාථ වේ. වගා කටයුතු සඳහා ජලය ලබා දීම රජුගේ පරම අධිකාරීන්වලින් එකක් වූ මේ සමයේ දී දෙවන මුගලන් රජු (531-551) මල්වතු ඔය හරස් කර ගොඩනැංවූ වේල්ලක් මඟින් නාච්චිදූව ඇතුළු ජලාශ 3ක් ඉදිකර ඇති බව මූලාශ්‍රවල දැක්වේ. නාච්චිදූව (පත්තපාසාණවාපි) වර්ග ප්‍රමාණයෙන් අක්කර 4408ක් පමණ වන අතර යෝධ ඇළ හරස් කරමින් ධාතුසේන රජු කරවූ ඇළ මාර්ගයක් ඔස්සේ මෙයටත් ජලය සැපයිණි.තවද "මා ඔය" හරස් කර කි.මී.6ක් පමණ වු අමුණක් ඉදිකර එහි "ධනවාපි" ජලාශය ගොඩනැංවූ බවත් චූලවංශය දක්වයි. මෙම ධනවාපි යනු පදවිය ජලාශය බව පරණවිතාන මහතාගේ අදහසයි. පළමු වන අග්බෝ රජු (571-604) විසින් "කුරුන්දවාපි" හෙවත් කුරුඳු වැව ගොඩ නංවා මිණිපේ ඇළ නමින් හඳුන්වන සැතපුම් 17ක් දිග ඇළ මාර්ගයක් කරවූ බවත් ඇළැහැර ඇළ නැවත ප්‍රතිසංස්කරණය කරවූ බවත් දැක්වේ. දෙවන අග්බෝ රජු (604-614) විසින් විශාල ජලාශයන් 2ක් වූ "ගඟතල හා ගිරිතල"ට අමතරව "ගොවටු, නෙරළු, ටැටඹු, සිරුවලස, කැලිය, මාදතා, කළම්වැටිආදී වැව් කරවූ බව සඳහන් වේ. මෙහි සුවිශේෂී වූ කන්තලේ වැව ට (ගඟතල) ජලය ගෙන ඒම සඳහා ඇළහැර ඇළ සැතපුම් 29ක් දක්වා දීර්ඝ කොට මින්නේරිය හා කන්තලේ ජලාශයන් සම්බන්ධ කරලූ බව චූලවංශය තවදුරටත් දක්වා ඇත.අඩි 52ක් උස මෙහි වේල්ල හේතුවෙන් එය දැනුදු ලංකාවේ ඇති උසම ජලාශය වන අතර එය එකල ද විශාලම ජලාශවලින් එකක් ලෙස පවතින්නට ඇතැයි ද මෙම කරුණු තුළින් සිතිය හැක. ඉහත රජවරුන් මුල් කරගත් වාරි කටයුතුවලට අමතරව ඒ හා සම්භන්ධ නීති ව්‍යවස්ථා හා බදු මෙන්ම නිලතල ද වාරි කර්මාන්තය ආශ්‍රිතව තිබී ඇත.ඒ අතර භාවිතා වූ බදු ලෙස "උදක භාග" ත් ඒ හා බඳුණු "දක බක"ත් මසුන් ඇල්ලීම සඳහා අය කෙරුණු "මජිබක"ත් අදී බදු වර්ග දැක්විය හැක.රජය විසින් මෙම බදු අයකර ආරාම ආදියට පූජා කළ අවස්ථා ඇති අතර පෞද්ගලික වැව් හිමියන්ගෙන් ද බදු අය කර ඇත. ප්‍රධාන ලෙසම එකල වැවක අයිතිය 1. රජයට 2. පෞද්ගලික හිමියන්ට 3. භික්ෂූන්ට තිබී ඇත. ජලාශවල ආරක්ෂාව හා මතු සුභසිද්ධිය උදෙසා නීති හා ක්‍රියාමාර්ග රැසක් සමන්තපාසාදිකාවේ දැක්වෙන අතර "අණනික" හා "අඩිකය"නම් වාරි නිළධාරීන් සිට ඇත. මිහින්තල ලිපියකට අනුව "වෑවැජෑරුම්" යනු ප්‍රධාන වාපීන්ගේ නඩත්තුවට සිටි නිළධාරියා ය. මෙම නිළධාරීන්ගෙන් සේවයට සිදුවන අක්‍රමිකතාවලට "අක" නමින් රන් කාසියක් හෝ කළඳක් දඩ ලෙස ලබා ගෙන ඇත. දෙවන අග්බෝ අවධියෙන් පසු අනුරාධපුර යුගය අවසාන වන තෙක්ම සැළකිය යුතු වාරි කර්මාන්තයක් නොකෙරුණු බව මූලාශ්‍රවල සඳහන් වේ. ඒ මන්ද යත් එකල රටේ පැවති අභ්‍යන්තර හා බාහිර ගැටුම් හා කැළඹීම් එයට හේතු වන්නට ඇති බව අපට සිතිය හැකි නිසාවෙනි. 

කෙසේ නමුත් ඉහත දක්වා ඇති පරිදි ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතු වාරි කටයුතු සමූහයක් දේශීය වැසියාට ඉදිකර ගත හැකි වූයේ එවකට ලෝකයේ කිසිදු රටකට නො දෙවෙනි වාරි තාක්ෂණික ශිල්ප ක්‍රම වැසියා සතුව තිබූ නිසා බව පැහැදිලි කරුණකි.එබැවින් මෙලෙස මහා වාරි ඉදිකිරීම සඳහා යොදා ගත් තාක්ෂණික පසුබිම් පහත පරිදි විස්තර කල හැකිය.

වාරි කර්මාන්ත ආරම්භ වූ මුල් සමයේ දී කෘෂිකර්මය සඳහා ජලය සැපයුවේ කුඩා වැව් හෙවත් ග්‍රාමීය වැව් මඟිනි. එහෙත් පසුකාලීනව රජයේ දායකත්වය සහිතව ඇති වූ ජන හා කෘෂිකාර්මික ගැටළුවලට පිළියම් ලෙස ක්‍රමයෙන් විශාල වාරි කර්මාන්ත ඉදිවෙනු දක්නට ලැබේ. සෑම ගමකටම එක් වැවක් හා ඒ හා බඳුණු පාරිසරික රටාවක් සමඟ ජීවත් වූ මුල් කාලීන වැසියන්ගේ වෙනසක් සිදු වනුයේ වසභ රජුගේ රාජ්‍ය සමයේදී ය. ඔහු විසින් ඉදි කරවූ ඇළහැර ඇළ මඟින් සැතපුම් 30ක් පමණ ඈත ප්‍රදේශයන්ට දියවර සැපයීම හේතුවෙන් පෙන්නුම් කෙරෙනුයේ ජල සංරක්ෂණයට ජලාශ ඉදි කිරීමටත් ඈත ප්‍රදේශ කරා ඇළ මාර්ග ඔස්සේ ජලය ලබා දීමටත් සිංහල ජනයා සමර්ථ වූ ආකාරය බව විද්වතුන් පෙන්වා දෙයි. ඒත් සමඟ ගංඟා හරහා සුවිසල් අමුණු ඉදිකිරීමට ගත් උත්සහය ද එයට තවත් නිදසුනකි. සමෝච්ච රේඛා හා සමතල මට්ටම් පිළිබඳ අවබෝධය ගෙන නිවැරදි ශිල්පීය උපකරණ භාවිතයෙන් මෙලෙස විශාල ජල ප්‍රමාණයක් ගංඟා හරස් කරමින් ඉදි කළ ගල් බැමි ඔස්සේ විවිධ තැන්වලට විතැන් කිරීම අතීතයේ භාවිතා වූ වාරි තාක්ෂණික ක්‍රම  තවදුරටත් සනාථ කරන නිදසුන් වේ. මෙසේ ඇළවල් තැනීමේ දී එහි බැස්ම සැතපුමට අඟල් 6ක් ලෙස පෙන්නුම් කිරීම ද ඉහත කරුණටම අදාල කර පැවසිය හැකිය. අතීතයේ වැව් තැනීම සඳහා භූමිය තෝරා ගැනීම ද ප්‍රවේශමෙන් සිදු කර ඇත.ගල් තලාවක් ඔස්සේ ගලන ගඟ හරහා වේල්ලක් බැඳ නාච්චිදූව, මාගල්ල ආදී වැව් ඉදිකෙරිණි. ස්වභාවික තිරිවාන නිධියක ඉදි කෙරුණු කවුඩුල්ල ජලාශයෙහි වේලි  බැඳීමේ දී දඟර ගැසුනු වක්කලම සහිත ස්ථාන තෝරා ගැනීම ද විශේෂ තාක්ෂණික අවස්ථාවක් ලෙස දැක්වේ. වක්කලම හේතුවෙන් ජලයේ සැඩ පහර අඩුවන බැවින් මෙකී තැන්වල වේල්ල නිර්මාණය පහසුය. අඹන් ගඟ හරස් කොට ඇළහැර බැම්ම තනවා ඇත්තේ ද මෙලෙසිනි. 

තව ද වියළි කළාපයේ වැඩි වශයෙන් ඇති පාංශු ජල ප්‍රමාණය වැඩි කෙරෙනා පස් වර්ග නොගෙන අනෙකුත් සුදුසු පාංශු වර්ග වේල්ල බැඳීමට යොදා ගැනීම ද එකල වාරි ශිල්පීන්ගේ උසස් තාක්ෂණික දැනුම පැහැදිලි කරයි. ශ්‍රී ලංකාවේ පැරණි වාරි මාර්ග නිර්මාණයේ දී අවශ්‍ය දැනුම හා උපකරණ ඔවුන් සතුව තිබුණාට සැකයක් නැත. මිසරයේ "මොරිස් විල" හා අරාබියාවේ මාරෙබ් නුවර "අල්රම් වැව" හැරුණු විට ලංකාවේ මහ වැව්වලට සමාන වන වෙනත් කිසිදු වැවක් ලෝකයේ කොහේ හෝ රටක දක්නට නැත. එලෙසම කාශ්මීරය වැනි රටවලට අපගේ වාරි ශිල්පීන්ගේ දැනුම වුවමනා වූ බව ඔවුන්ගේ වංශ කතාව වූ "රාජතරංගණිය"සඳහන් කර ඇත. එසේ විශාල තාක්ෂණික දැනුමක් තිබූ රටක වාරි කර්මාන්තවල ජලය පිට කිරීම පාලනය කිරීම සඳහා යොදා ගත් "බිසෝ කොටුව" අතිශය වැදගත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැක. විශාල ළිඳක් හෝ කොටුවක් ආකාර වූ මෙහි කාණුවක් හෝ කාණු දෙකක් ආධාරයෙන් වැවේ ජලය මෙතුළට ගලා එන්නට සලස්වා ඇත. එහි සිට ඇළ මාර්ග දක්වාත් ජලය පිට කළේ එවැනිම කාණුවලිනි. එබැවින් මෙයින් පිටවන ජල ධාරිතාව පාලනය කරගත හැකි විය.එයින් ජලය පිට කිරීමට යොදා ගත් තවත් වැදගත් අංගයක් ලෙස "මොහොල" සඳහන් වේ. සමන්තපාසාදිකාවේ එය "උදක නිද්ධමන කුම්භ" යැයි දක්වා ඇති අතර iv මිහිඳු රජුගේ වෙස්සගිරි ලිපියේ ද ඒ පිළිබඳව සඳහන් වේ. මෙහිදී සොරොව් කාණුවලට වතුර ඇතුල් වන මුඛයට වඩා පිටවන මුඛය විශාල ලෙස ඉදිකර ඇති බවක් පෙනෙන්නට ඇති අතර එසේ කිරීමට හේතුව වනුයේ කාණුවට ඇතුල් වූ ජලය පැතිවල ගැටීමෙන් වේගය සිහින් වන බව දත් ශිල්පීන් වතුර ගැලීමට බාධා නොවන පරිදි එහි මුඛය විශාල ලෙස නිර්මාණය කරවීමට කටයුතු කිරීම බැව් සදහන් වේ. 

එමෙන් ම  බිසෝ කොටුව මඟින් මුදා හරිනු ලැබූ ජල ප්‍රමාණය මැනීමට උපයෝගී කර ගත්තේ "දියකැට පහණයි" එය ගල් මොහොලක් වන අතර බිසෝ කොටුව තුළම පිහිටුවා තිබී ඇත. තවද ඇළ මාර්ග තුළින් මුදා හරින ලද ජලය මැන ගැනීමට කවුළු සහිත ලීවලින් කරවූ "කරහන්කොට"නම් උපකරණයක් ද තිබී ඇත. ඊට අමතරව ජලය සමඟ එන කොළ රොඩු හා මඩ වැවට ඇතුලු වීම වළකාලීමට කුල්ලක හැඩයෙන් නිමවූ අංගයක් පුරාණ වාරි  නිර්මාණ ආශ්‍රිතව දක්නට ලැබී ඇත. එය"පෝටා වැටිය" නම් වූ බව වැඩි දුරටත් මූලාශ්‍ර පෙන්වා දී ඇත. "වාන" යනුවෙන් වාරි තාක්ෂණය තුළ හඳුන්වා ඇත්තේ ගංවතුර සමයන් හි ජලාශ තුළ එකතු වන අතිරික්ත ජලය පිටතට යැවීමට හා එයින් වැව් බැම්මට වන හානිය අවම කර ගැනීමට යොදා ගෙන ඇති ක්‍රමවේදයටයි. කලා වැවේ ඇති වාන මෙයට හොඳම නිදසුනක් ය. ස්වභාවිකව පිහිටි ගල්තලා වාන් තැනීමට සුදුසුම ස්ථානය බව වත්මනෙ හි විද්වතුන්ගේ මතය වී ඇත. වැවක වැව් බැම්ම නිර්මාණය කර ගනුයේ වැව කැණීමෙන් ඉවත් වන පස් මඟිනි. එහි ශක්තිමත් බව ජලාශයේ දිගු කාලීන පැවැත්මට වගකියන්නා වූ බැවින් සියලු වැව්වල වැව් බැම්මේ ඇතුලු පැත්ත මෙන්ම පිට ද බෑවුම් වන ලෙස ඉදි කොට ඇත්තේ ජල ධාරිතාව හේතුවෙන් බැම්ම්ට ඇතිවන පීඩනය හා හානිය අවම කිරීමට ය. වාරි තාක්ෂණය වඩාත් සුඛෝපභෝගී දිවියක් සඳහා ද යොදා ගැනීමට පෙර රජ දරුවන් සමත් වී ඇත. ඒ අතර "රන්මසු උයනේ" එක් පොකුණකට යාබදව ගල් ලෙනක වහලයට තිසා වැවෙන් ජලය ගෙන එන නළයක් සම්බන්ධ කිරීම තුළින්  කුටිය තුළට සිසිලසක් මෙන්ම සෞන්දර්යාත්මක වටිනාකමක් ද වාරි ක්‍රමවේද ඔස්සේ ළඟා කර ගැනීමට ඔවුන් උත්සහ ගෙන ඇත. තවද සීගිරි උද්‍යානයේ ඇති ජල මල් මෙයට උචිත නිදසුන් ය. උස් පෙදෙසක සිට පහළට ජලය ගෙනෙන මාර්ග තනා අවසන සිදුරු සහිත පාෂාණ තුළින් ජලය විසිරී යන පරිදි ඒවා නිර්මාණය කර ඇති අතර මෙවැනි වතුර මල් මිහින්තලය කණ්ඨක චෛත්‍ය භූමියෙන් ද සොයා ගත හැක. සිංහ මුඛයෙන් ජලය විසිරෙන ආකාරයට එය සකස් කර ඇත. 

තවද පොකුණු නිර්මාණයට යොදා ගෙන ඇති තාක්ෂණය දෙස බැලූ විට එහි අපිරිසිදු ජලය ඉවත් කිරීමටත් නැවත පිරිසිදු ජලය පිරවීමටත් යොදා ගෙන ඇති තාක්ෂණය ඉතා උසස් අන්දමේ එකක් බව උගතුන් ප්‍රකාශ කරයි. කෙසේද යත් ඒ පොකුණු තුළ වඩාත් ගැඹුරු තැනෙක ජලය බැහැර කෙරෙන මාර්ග තනවා ඇති අතර මෙවැනි පොකුණක් අභයගිරි විහාරයේ දැකිය හැක. "ඇත් පොකුණ" නමින් හඳුන්වන මෙහි කොළ රොඩු හා මඩ ඉවත් කිරීමට පෙරණයක් ද ජලය බැහැර කරන නළය අවශ්‍ය අවස්ථාවල වැසීමට පොකුණු ඉවුරේ සවි කරන ලද උපකරණයකින් පාලනය වන කුඩා දොරක් ද මෙහි දක්නට තිබීම අතීත වාරි නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය මැනවින් පෙන්වා දෙනු ලබන්නක් වේ. වාරි තාක්ෂණය යොදා ගෙන වායු සමීකරණය කිරීම ද එකල භාවිත වූ ශිල්ප ක්‍රම අතර වැදගත් වේ. නිවාසවල හතර පැත්තේ වහලවලට ඉහළින් හරක් හම් අතුරා ඒ තුළට ජලය වැටෙන්නට සලසා මෙලෙස සිසිල් වාතය නිවසට ලබා ගෙන ඇත. ඊට අමතරව වායු සමීකරණයේ ව්‍යාප්ත අවස්ථාවක් ලෙස විද්වතුන් දක්වන්නේ අනුරපුර නගරයේ උශ්නත්වය අවම කිරීමට නගරය වටා වැව් නිර්මාණය කරවීමයි.තවද මේ අවධියේ භූ ගත ජල නළ යොදා ගෙන "උමං ජල මාතිකා" හෙවත් භූ ජල මාර්ග ඉදි කරවූ බව සඳහන් වන අතර අභයගිරියේ ඇත් පොකුණට සම්බන්ධව මෙම නළ 3ක් දක්නට ලැබේ. ඒවා අතිශය උසස් වාරි ක්‍රමවේදයන් පෙන්නුම් කරන අතර අපද්‍රව්‍ය පෙරීම හා නැවත පිරිසිදු ජලය පිරවීම අදී සියළුම කාර්යන් මෙහි සිදු වනුයේ පොළොව අභ්‍යන්තරයේ සිට වීම එහි දක්නට ඇති විශේෂ ලක්ෂණයකි.

ඉහත සඳහන් සියළුම කරුණුවලින් ගම්‍යමාන වනුයේ වසර එක්දහස් හාරසියයකට ආසන්න කාලයක් සිංහල රාජධානියේ අගනුවර වූ අනුරාධපුරය මුල් කරගත් වාරි කටයුතු ලොව වෙනත් කිසිදු රටකට සමකල නොහැකි බවත් ඒ හා බැඳුණු වාරි සංස්කෘතිය දේශීය අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට උපකාරී වූ බවත් මේ සියළුම වාරි ඉදිකිරීම සඳහා යොදා ගත් සැමටම පළමුව වැදගත් වූ වාරි තාක්ෂණය වැව් ඉවුරට හානි නොවන ලෙස දියවර නිකුත් කිරීමට බිසෝකොටුව සොයා ගැනීමත් සමඟ වඩාත් විශාල වාරි තනන්නට තරම් දියුණු වීමත් ඔස්සේ දේශීයත්වය මුල් කරගත් මහා වාරි ඉංජිනේරුමය ශිල්ප ක්‍රම ඔවුන් අතරින් බිහිවී පසුකාලීනව ක්‍රමයෙන් සමූද්‍රවාපි ගොඩනැංවීමට තරම්ම අතිශය වර්ධනීය අවස්ථාවන්ට පත් වූ බව ඉහත සඳහන් සියළුම කරුණු තුළින් අපට පැහැදිලි වන බව කිව හැකිය.


Share:

facebook share twitter share

1 comment: