Monday, April 27, 2020

රොබට් නොක්ස්ගේ කෘතියේ අන්තර්ගත එවකට ලංකාවේ පැවති දේශපාලන,ආර්ථික සමජ හා ආගමික තත්වය




රොබට් නොක්ස්ගේ සිරගත දිවිය

මධ්‍යධරණී සමූද්‍රයේ වෙළඳාමෙහි නියුතු වූ වෙළෙඳ නැවක අණ දෙන නිලධාරියෙකුට හා භක්තිමත් එංගලන්ත කාන්තාවකට දාව වර්ෂ 1641 පෙබරවාරි මස 08 වන දින උපන් රොබට් නොක්ස් නම් දරුවා කුඩා කළ පටන්ම සිය මවගේ ගුරුහරුකම් අනුව හැදී වැඩුණු බව කියවේ. ලන්ඩන් නගරය තුළ සාමාන්‍ය දිවියක් ගත කළ මොවුන් පසුව සරේ ද්‍රිස්ත්‍රික්කයේ විම්බල්ඩන් ග්‍රාමය සිය ස්ථාවර වාසස්ථානය කර ගත් බවත්, එසමයේ කුඩා නොක්ස් ජේම්ස් ෆ්ලිම්වුඩ් නම් පූජකවරයෙකු යටතේ අකුරු කළ බවත් සඳහන් වේ. කුඩා නොක්ස් හට වයස දහ හතරක් සම්පූර්ණ වූ සමයක ඔහුට ද සිය පියා මෙන් නැවියෙකු වීමට ආශාවක් ඇති වූ බවත් ඒ සඳහා ඔහුගේ පියාගේ මිතුරන් පිරිසකගේ ද සහාය ලබුණු බවත් කියවේ. ඒ අනුව වර්ෂ 1655 දෙසැම්බර් මස 07 වන දින නැගෙනහිර ඉන්දියා දූපත් බලා සිය පියාගේ නායකත්වයෙන් යුතු නෞකාවක නැඟී කණිෂ්ඨ රොබට් නොක්ස් ද සිය නාවුක දිවිය ආරම්භ කළ බව සඳහන් වේ.



මෙසමය වන විට නැගෙනහිර ඉන්දියා වෙළෙඳ එකතුවේ බලය පිරිහී තිබුණු බැවින් මොවුන් නිදහස් වෙළෙඳ කණ්ඩායමක් ලෙස වෙළඳාමේ යෙදුණු බව සඳහන් කරන අතර පසුව ඔලිවර් ක්‍රොම්වෙල් විසින් ඉන්දියානු වෙළෙඳ සමාගම බලයේ පිහිටුවීම හේතුවෙන් ඉන්දියාව හා එංගලන්තය අතර ගණුදෙණු සිදු කරන්නා වූ ඉන්දියානු වෙළෙඳ සමාගමට අයත් නාවිකයන් ලෙස රොබට් නොක්ස් පිය පුතු දෙදෙන ඇතුළු නැව් කණ්ඩායම හැඳින්වූ බව කියවේ.


ඒ අනුව වසරක් පමණ කාලයක් සාර්ථකව මෙම වෙළෙඳ ගණුදෙණු හැසිරවූ මොවුන්ට අභාග්‍යක් සිදු වනුයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ කුණාටුවකට හසුව මහ කුඹය කපා ලූ නැවක් ද සහිතව පිළිසරණ පතා ලංකාවේ කොට්ටියාරම් වරායට ඇතුළු වීමත් සමඟ බව කියවේ. එවකට ලක්දිව පාලනය කළ අග රජු වූ දෙවන රාජසිංහ රජු විසින් රොබට් නොක්ස් හා ඔහුගේ පියා ඇතුළු නෞකාවේ ගමන් ගත් තවත් 16 දෙනෙකු 1660 වසරේ අප්‍රේල් මස 04 වන දින සිර භාරයට ගත් අතර එවක් පටන් මහනුවරට ආසන්න වෙන් වෙන් වූ ස්ථානවල මොවුන් රඳවනු ලැබූ අතර රොබට් නොක්ස් දෙපළ ද සත්කෝරළයට අයත් බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයේ රැඳ වූ බව සඳහන් වේ. එවකට මොහුගේ වයස අවුරුදු 19ක් පමණ වූ බව කියවෙන අතර එතැන් සිට වසර 19කුත් මාස 6ක් හා දින 14ක් දෙවන රාජසිංහ රජුගේ විදේශීය සිරකරුවෙකු වශයෙන් ලක්දිව එක් එක් ප්‍රදේශයන් හි සිය දිවිය ගත කළ බව කියවේ.

වසර 19ක් වූ දුෂ්කර කාල පරිච්ඡේදයක් තුළ තමන්ට අත්විඳීමට සිදු වූ අභියෝග, ගැටළු මෙන්ම එවකට ලක්දිව දක්නට තිබුණා වූ දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු මෙන්ම ආගමික තොරතුරු ද රොබට් නොක්ස් විසින් ඉතාමත් හොඳින් හඳුනා ගෙන තිබුණු බව කියවේ. ලාංකිකයෙකු මෙන්ම සිංහල භාෂාව කතා කිරීමට ද ක්‍රමයෙන් උගත් මොහු වසර 20කට ආසන්න තම සිරකාර දිවිය තුළ ලක්දිව ඒ මේ අත සැරිසරා සිංහල සිරිත් විරිත් මෙන්ම සිංහලයන්ගේ ගතිගුණ ද, ලංකාවේ විවිධ ප්‍රදේශ, ගංඟා, නගර , මංමාවත් මෙන්ම කෘෂිකාර්මික ක්‍රමවේද, එවකට ලක්දිව ආගමික තොරතුරු ද මැනවින් හඳුනා ගෙන ඇති ආකාරය ඔහුගේ කෘතිය අධ්‍යනය කිරීම තුළින් පැහදිලි වේ.

ඔහුත් සමඟ සිරභාරයට පත් වූ සගයන් 16 දෙනා අතුරින් අවසානයට ඉතිරි වූ ස්ටීවන් රට්ලන්ඩ් සමඟ කන්ද උඩරට රජුගේ ග්‍රහණයෙන් මිදෙනු වස් වර්ෂ 1679 දී සිය පලා යෑමේ සැළසුම සකස් කළ රොබට් නොක්ස් ඒ අනුව මහනුවර සිට අනුරාධපුරයට පැමිණ ඉන් බටහිර දෙසට ගමන් කොට අරිප්පු ප්‍රදේශය ඔස්සේ මන්නාරමට විත් ලන්දේසීන් හා එක් වූ බව කියවේ. එහි ලන්දේසීන් විසින් කොළොම්පුරයට එවනු ලැබූ රොබට් නොක්ස් අවසානයේ දී සිය මව් රට වූ එංගලන්තය බලා නැවත ගමන් කිරීමට නැව් නඟි බව සඳහන් වේ.

ඒ අනුව වර්ෂ 1679 ඔක්තොබර් මස 18 වන දින ඔහු ලක්දිවෙන් පලා යාමෙන් පසුව සිය මව් රට බලා යාත්‍රා කරන තෙක් ඉහත සඳහන් කරන ලද ඔහු අත්විඳි ලක්දිව තොරතුරු හා සිදුවීම් ලිඛිතව සටහන් කර ගත් බව සඳහන් වේ. මව් රටට පැමිණීමෙන් පසු නොක්ස් විසින් ස්වකීය අත්දැකීම් මතින් රචනා වූ හස්ත පිටපත පෞද්ගලික විනෝදය සඳහා ළඟ තබා ගත් බව කියවෙන නමුත් ඔහු නැව් ගමන තුළ දී කෘතියක් රචනා කළ බව දැනගත් පෙරදිග ඉන්දියා වෙළෙඳ එකතුවේ නිලධරයෙකු වූ සැන්ට් ජොසියාවල්ඩ් විසින් එම අත පිටපත කියවා මුද්‍රණය කිරීමට යෝජනා කල බවත් ඒ අනුව වර්ෂ 1681දී පළමු වරට Historical Relation of Ceylon හෙවත් ලංකාවේ ඉතිහාස කතාන්දරය” නමින් එම කෘතිය ප්‍රසිද්ධ වූ බවත් සඳහන් වේ.
ඒ අනුව රොබට් නොක්ස් විසින් රචනා කරන ලද මෙම කෘතිය ඔස්සේ එවකට ලාංකීය දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රපංචයන් කෙසේ සකස් වීද යන්න හඳුනා ගැනීමට උපකාරී කර ගත හැකි අතර එලෙසම මෙම කෘතිය ගලනය වන ඉතිහාසයක් සකස් කර ගැනීම සඳහා යොදා ගත හැකි ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් ද හඳුනා ගත හැකිය.

  
දේශපාලන තොරතුරු

රොබට් නොක්ස් සිරකරුවෙක් ලෙස සිටි සමයේ මෙරට මුහුදුබඩ ප්‍රදේශයන් ඕලන්දක්කාරයින් යටත් කොට ගෙන සිටි බව ද, යාපනය කලාපය දෙමළ පාලකයින් යටතේ ද පාලනය වූ බව ඔහු විසින් දක්වා ඇති අතර අනෙක් ප්‍රදේශයන් කන්දේ රජු හෙවත් උඩරට රජුගේ පාලනයට යටත් වූ ප්‍රදේශයන් ලෙස ඔහු දක්වා ඇත. ඒ අනුව දේශපාලනික වශයෙන් පාලන ක්‍රමවේද ද්විත්වයක් මෙහි ක්‍රියාත්මක වූ බව ඉන් පැහැදිලිව පෙනී යයි. ලක්දිව උතුරුකොණ, දකුණ, නැගෙනහිර මෙන්ම බස්නාහිර කලාපය පිළිබඳව ද මොහු පැහැදිලි විස්තරයකින් දක්වා ඇති අතර කන්දේ රජුට අයත් රට නමින් හැඳින්වූ නුවර කලාවිය, සත් කෝරළය, මාතලේ හා බිම්තැන්න පිළිබඳව ද නිවැරදි විස්තර සඳහන් කොට ඇති බව කිව හැකිය. විශේෂයෙන්ම ඕලන්දක්කාරයින් හා කන්ද උඩරට රජු අතර මේ එක් එක් ප්‍රදේශය අරඹයා ඇති වූ දේශපාලනික ගැටුම් පිළිබඳව ද මෙම කෘතියේ සඳහනක් කර ඇත්තේය.

මෙරට අගනුවර වූ මහනුවර පිළිබඳව ද මොහු දක්වා ඇති විස්තරයට අනුව එකල ඒ සඳහා භාවිතා කළ නාමයන් ගණනාවක් හඳුනා ගැනීමේ හැකියාව පවතී. එනම් සිංහලයන්ගේ නුවර හෙවත් සෙංකඩගල, කන්ද උඩ පිහිටි නගරය හෙවත්  කන්ද උඩරට හෝ ප්‍රධාන නගරය යන අරුතින් මහනුවර ලෙස ඔවුන් මෙම අගනුවර කලාපය නාමනය කර ඇති බව නොක්ස් විසින් දක්වා ඇත. මෙම නගරයේ පූර්වයට මුහුණලා මාලිගය පිහිටා ඇති නමුත් මෙකල වන විට රජු වාසය කරනු ලැබුවේ දෙවැනි නගරය වූ නිල්ලඹේ නුවර බව කියයි. සංග්‍රාමයන්ට අවශ්‍ය වන අහාර හා ලුණු ගබඩා කර ගත් "අලුත් නුවරත්", පසු සමයක දී නිල්ලඹේ නුවර අත්හැර රජු සිය අභය භූමිය කරගත් "දිගලිය නුවර" පිළිබඳවත් නොක්ස් සඳහන් කර තිබීමෙන් එකල ප්‍රධානවම රජුට සිය ආත්මාරක්ෂාව පිළිබඳව යම් යම් ගැටළු තිබූ බව හඳුනා ගත හැකිය. රජුගේ මාළිගය දාරුමය මන්දිරයක් වූ බවත් රාත්‍රීන් හි එය මුර කිරීමට අලි ඇතුන් ද, නීග්‍රෝ ජාතික මුරකරුවන් ද යොදවන බව දක්වා ඇත්තේය. රජ වාසල සේවය සඳහා විශාල දැසි දස්සන් ප්‍රමාණයක් යොදවා සිටි බවත් ඔවුන් තෝරා ගැනීමේ දී උසස් පවුල්වල තරුණ තරුණියන් හට එම තනතුරු වැඩි වශයෙන් ලබා දුන් බවත් සඳහන් වේ.

නොක්ස් විසින් රජතුමා පිළිබඳව දක්වා ඇති තොරතුරු අනුව රජුගේ උප්පත්තිය, මව්පියන්ගේ වංශයන්, ඔහුගේ දේහ ස්වරූපය, ගති ගුණ, ආචාර විචාර සිදු කරනා ආකාරය, රජුගේ විනෝදාස්වාදය උදෙසා  කරන්නා වූ කටයුතු හා ඔහුගේ ආගම භක්තිය පිළිබඳව ද මනා විස්තරයක් සිය කෘතියෙන් ඉදිරිපත් කර ඇති ආකාරය හඳුනා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව මෙරට රජු විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව වූ දෝන කතිරිනා විවාහ කොට ගත් සෙනරත් රජුගේ පුතෙකු බව ඔහු විසින් පැහැදිලි පෙළපත් නාමයන් ද සහිතව සඳහන් කර ඇති අතර මෙම කුමරු රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වූ බවත්, රට වැසියන් විසින් මෙරජුට රාසිං දෙයියෝ නමින් ආමන්ත්‍රණය කරන බවත් සඳහන් කර ඇත. තව ද මෙම රජුට රාජ්‍යත්වය ලැබුණේ පිය රජුගේ ප්‍රයෝගයකින් බව නොක්ස් විසින් සඳහන් කර ඇති අතර සෙනරත්  රජුට සිටි ධනපාල, කුමාරසිංහ හා රාජසිංහ යන කුමාරවරුන් ත්‍රිත්වය අතුරින් මෙම කුමරුට රජ කම ලබා දීම සඳහා සෙනරත් රජු ප්‍රයෝග දන්නා රාජ පුරුෂයෙකු ලවා එම කාර්ය සිදු කරවා ගත් බව සඳහන් වේ. වඩා උස් නොවූ ශරීරයක් සහිත, මනාව වැඩුණු තරමක් කළු පැහැයෙන් යුක්ත, වයස සැත්තෑවත් අසූවත් අතර පුද්ගලයෙකු ලෙස නොක්ස් රාජසිංහ රජුව හඳුන්වා දෙනු ලබන අතර එතුමාගේ දේවිය මලබාර ජාතික බිසවක් බවත් සඳහන් කර ඇත. එලෙසම තම සිහසුනට ඇති ආශාව හේතුවෙන්ම ස්වකීය පුත්‍රයා ඝාතනය කළ රජෙකු වශයෙන් ද රාජසිංහ රජු පිළිබඳව සඳහන් කොට ඇති විස්තරයෙහි නොක්ස් ඇතුළත් කර ඇත්තේය.

රජුගේ ගති ගුණ පිළිබඳව දක්වා ඇති විස්තරයේ නොක්ස් විසින් රජු දකින්නේ මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත් ම ය යනුවෙනි. රාජසිංහ රජු ස්වභාවයෙන්ම කෲර ගති පැවතුම් ඇති සිය ආත්මාභිමානය හා අහංකාරය ගැන පමණක්ම සිතා කටයුතු කරන්නා වූ තැනත්තෙක් වශයෙන් හඳුන්වා දී ඇති අතර රජු වෙත පැමිණෙන  රට වැසියන් විසින් "දෙයියෝ බුදු වෙන්ඩ!  හාමුදුරුවනේ! දහසක් බුදු වන්ඩ! " ආදී ආමන්ත්‍රණයෙන් ඔහුව අමතනු ලබන බවත් තමන්ව බලු ගැති" ස්වරූපයෙන් හඳුන්වා ගන්නා බවත් සඳහන් කර ඇත්තේය. තම රට වැසියාට රජු කෙතරම් කෲර පීඩාකාරී පාලකයෙකු වූවත් විදේශීය තානාපතීන් හා දූතයින් පිළිගැනීමේ ඉතාමත් ලැදියාවක් දක්වන බව ද නොක්ස් සඳහන් කර ඇත්තේය. එම අවස්ථාවන් සඳහා විශේෂයෙන්ම සැරසූ නගර, ආහාර පාන, වාසස්ථාන හා හමුදාවන්ගේ පෙර ගමන් ද ඔවුන් සඳහා ලබා දුන් බව සඳහන් කර ඇත. එබැවින් නොක්ස් ගේ මතයට අනුව රාජසිංහ රජු ප්‍රයෝගයෙන් රජකම ලබා ගත් ක්‍රැර පාලකයෙකු වූවත් රාජ්‍ය පාලනයේ දී මෙන්ම ප්‍රජා පලනයේදී ද යම් යම් සුවිශේෂිත උපාය මාර්ග අනුගමනය කල බව ඉහත තොරතුරු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.

මෙසමයේ රජු විසින් වැරදි කළ වුන්ට ලබා දුන් දඬුවම් ක්‍රම ද රජුගේ සාහසිකත්වය තවත් මතු කර දක්වන්නක් ලෙස නොක්ස් සඳහන් කර සිටී. ඒ අනුව මෙසමයේ භාවිතා වූ දඬුවම් ක්‍රම අතර ගිනියම් කළ යකඩයකින් ශරීරය පුළුස්සා කළ වරද පාපෝච්චාරණය කරවීම, වැරදිකරුවාගේ ශරීරයේ මස් යහඩුවෙන් ඇද කඩා දැමීම, දෙ අත් ගෙලෙ හි එල්ලා ඔවුන්ට ඔවුන්ගේම මස්  මුවින් ඇද කන්නට අණ කිරීම හෝ සුනඛයින්ට කෑමට දැමිම, දිවස් හුල හිඳුවීම, අත් පා ගස් හි බැඳ කපා හැරීම, අලින් ලවා පෑගවීම, බන්ධනාගාර ගත කිරීම ආදිය නොක්ස් විසින් සඳහන් කර ඇති ප්‍රධාන දඬුවම් ක්‍රම වී ඇත.

රොබට් නොක්ස් ගේ මතයට අනුව රාජසිංහ රජුගේ කෲරත්වය හා අති අමානුෂික අන්තනෝමතික පාලනයෙන් දීර්ඝ කලක් බැට කෑ  සිංහල රට වැසියන් වර්ෂ 1664 දී රජුට විරුද්ධ කැරැල්ලක් ඇති  කළ බව ඔහු දක්වා සිටී. එම අභ්‍යන්තර කරැල්ලේදී රජු මාලිගය අසල වූ උස් කන්දකට පලා ගොස් සිය දිවි බේරා ගත් බවත් ඔහු වෙනුවෙන් එක්තරා අධිපතියෙකු රජුගේ වෙස් ගෙන අගනුවර හැසිරෙමින් කැරැලිකරුවන් ඇල්ලීමේ කාර්යෙහි නිරතව සිටි බවත් කියයි. මෙය සත්‍ය සිදුවීමක් ලෙස ලාංකීය ඉතිහාස වාර්ථාවන් හි ද සඳහන් වන බැවින් නොක්ස් විසින් මෙම කරැල්ල පිළිබඳව සඳහන් කර ඇති විස්තරය පිළිගත හැකි නිවැරදි තොරතුරුවලින් සැදුම් ලත් එකක් බව විද්වතුන්ගේ මතය වී ඇත. මෙම කරැල්ල අතරතුර රජු පලා යෑමත් සමඟ කැරැලිකරුවන් රජ කුමරුවන් අභිනව රජු වශයෙන් පිළිගත් නමුත් එයට කුමරුන්ගේ ප්‍රතිචාරයක් නොවුණු කල් හි කැරැලිකරුවන් පරාජයට පත් කිරීමට රාජසිංහ රජුට අවස්ථාව උදා වූ බවත් සඳහන් කර ඇත. ඉන් පසුව කැරැල්ලේ ප්‍රධාන නායකයෙකු වූ අඹන්වෙල රාල මරණයට පත් කිරීම සඳහා කොළොම්පුර ලන්දේසීන් වෙත යැවූ බවත්, සෙසු කැරලිකරුවන් මරා දැමුණු බවත් නොක්ස් සඳහන් කර ඇති අතර මෙම කැරැල්ලට හේතු වූයේ තමාගේ වරද නොව වැසියාගේම වරද යැයි තීරණය කල රජු එම වරද සියල්ලම වැසියාගේ කර පිටටම පැටවූ බව ද කියවේ. එලෙසම ඉහත විස්තර කොට ඇති පරිද්දෙන්ම වැසියා තමාට වඩා සිය පුත්‍රයාට පක්ෂ වන බැව් සිතූ මෙරජු ස්වකීය පුත්‍රයා වස පොවා ඝාතනය කළ බවත් ඉන් ඔහුගේ සාහසිකත්වය මොනවට පැහැදිලි වන බවත් නොක්ස් විසින් උපහාසයෙන් යුතුව සිය කෘතියේ සඳහන් කර ඇති ආකාරය ඉහත විස්තරයෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතී.

ලක්දිව දේශපාලන කාර්ය උදෙසා මෙරට පාලකයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව ද නොක්ස් සිය කෘතියේ සඳහන් කර ඇත්තේය.එහි දී විදේශීය ජාතිකයින්ගේ ආක්‍රමණ තුළින් සිය රට ගලවා ගැනීම සඳහා ඔහු විසින් යොදන ලද සූක්ෂම උපායන් අතර මෙරට ගමනා ගමන් මාර්ග අවහිර කිරීම, නව මං මාවත්, පාලම් ආදිය ඉදි කිරීම අවලංගු කිරීම, තමාට විරුද්ධ වී යැයි සැක සිතෙන ජන කොටස් වර්ෂ ගණන් ගත වන ව්‍යාපාරවල යෙදවීම තුළින් සිය දාසයන් කරවා ගැනීම ආදිය දේශපාලන උපායමාර්ග ලෙස මෙරජු ක්‍රියාත්මක කරකර ඇත.

රාජ්‍ය නිලධාරීහු පිළිබඳව නොක්ස් සඳහන් කර ඇති විස්තරයෙහි රජු යටතේ සිටින සෑම නිලධාරියෙකුටම වඩා උසස් වූ අධිකාරම්වරු යැයි හඳුන්වා දෙනු ලබන නිලයක් පිළිබඳව දක්වා ඇත. ඔවුන් හට රජ වාසලෙන් ඔබ්බට යෑමට අවසර ලැබෙනුයේ ඉතා කලාතුරකින් බවත්, ප්‍රධානවම රජුගේ පරිපාලන කාර්යන් ඉටු කරලීමට සහාය දැක්වීම මොවුන් සිදු කළ බවත් මෙම කෘතියේ සඳහන් වේ. දෙවනුව පළාත් හා කෝරල භාර නිළධාරියා වූ දිසාවේ වරු රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රධාන වේ. ඔවුන්ගේ රාජකාරි අතර තම ප්‍රදේශය දියුණු කොට ජනයා සුඛිත මුදිත වන ආකාරයෙන් නීති පිහිටුවා කටයුතු කිරීමත්, රජයට අය විය යුතු අය බදු නිසි පරිදි මහ වාසලට රැස් කරවීමත්, ස්වකීය පාලන ප්‍රදේශයෙ ජනයාගේ ආරවුල් විසඳීමත්, යුද්ධයන් හා මුර සේවාව සඳහා නිලධාරීන් යැවීමත් ප්‍රධාන වේ. තෙවනුව රටේ රාළ වරු පාලනය ගෙන යන අතර ඔවුන් ද මහා වාසල පදිංචි වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක් වූ බව නොක්ස් පවසයි. විදානේවරු හෙවත් කෝරලේ විදානේ යනු මහාධිකාරම්වරයාගේ බාහිර පණිවුඩ හා පරිපාලන උපදෙස් රැගෙන යන්නා වූ නිලධාරීන් වන අතර ඔහු විශේෂ පාරිතෝෂිකයක් නොලැබූ දිසාවේ යටතේ සිටි නිලධාරියෙකු බව දක්වා ඇත. මෙම ප්‍රධාන නිලධාරී මඬුල්ලට අමතරව සෑම පරිපාලන කටයුත්තක්ම ලේඛන ගත කිරීමට සිටි නිලධාරියා ලේකම් නම් වූ අතර ඔහු යටතේ පිළිවෙළින් උණ්ඩියා හා මහන්තා නමින් හැඳින්වූ බදු මුදල් රැස් කිරීමේ හා කෙත් වතු ඔස්සේ මහ රජුට අයත් වී ප්‍රමාණයන් මැන දැක්වූ නිලධාරීන් සිටි බවත් නොක්ස් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේය. ලක්දිව පරිපාලනය උදෙසා අත්‍යාවශ්‍යම  සාධකයක් වූ යුධ හමුදාව හා එහි කටයුතු පිළිබඳව ද නොක්ස් සිය කෘතියේ තොරතුරු සඳහන් කර ඇත. එහි විශේෂයෙන්ම හමුදාව භාරව සිටියේ "මොහොට්ටිරාල" නම් නිලධාරියෙකු බවත් ඔවුන් 4 දෙනෙකු සිටි බවත් ඒ එක් එක් මොහොට්ටිරාලවරයා සතුව හමුදා භටයින් 970කින් යුතු පයිණ්ඩයක් සිටි බව සඳහන් වේ. මොවුන් රජ වාසල අරක් ගෙන සිටිය ගෙන සිටිය යුතු බවත් එහි මුර කිරීම හා අනෙකුත් රාජකාරි සඳහා යොදවා තිබුණු බවත් කියවේ. හේවායන් ලියාපදිංචියෙන් බඳවා ගනුයේ විශේෂිත යුධ කාර්යයන් සඳහා බවත් එසේ නොමැති නම් එම හේවා තනතුර පිය උරුමයෙන් ලැබෙන්නක් බවත් නොක්ස් සඳහන් කර ඇත්තේය.

මෙලෙස යුද්ධ සඳහා භටයින් රැගෙන යන සෙන්පතියන් එකිනෙකා හා මිත්‍ර වීම රජු පිළිකෙව් කළ බවත් ඔවුන් එසේ මිත්‍ර වී තමාට එරෙහිව කුමන්ත්‍රණ කරතැයි රජු සැක කළ බවත් එනිසාම සෑම යුධ බලඇණියක් සමඟම රජුගේ රහස් ඔත්තු කරුවෙකු ද යැවූ බව නොක්ස් දක්වා ඇත. සිංහලයින්ගේ යුද්ධ උපාය මාර්ග අතර ප්‍රධානවම සතුරන්ගේ මාර්ග බාධා කිරීම හා ඔවුන්ගේ මාර්ග අසල සැඟව සිට පහර දීම විශේෂ වන බව නොක්ස් පවසයි. එසේත් සතුරන් බිඳ හෙළිය නොහැකි වුවහොත් සතුරන් එන මඟ ඉදිරියට ගොස් තුවක්කු මානා රැක සිටීම හෝ විශාල වෘක්ෂ භාගයට කපා ඒවා සතුරා මතට වැටීමට සැලැස්වීම සිංහලයන් සිදු කළ බව දැක්වේ. පසු කාලීනව පෘතුගීසීන් හා ලන්දෙසීන් අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුහුණට මුහුණලා සිදු කෙරෙන අවි ගැටුම් සිංහලයන්ට හුරු වූ බවත් නොක්ස් මෙරට සිර දිවිය ගත කරන සමය වන විට එලෙස යුරෝපීයයන් මෙන්  යුද්ධ සඳහා එළඹීම පිළිබඳව සිංහලයින්ට මනා දැනුමක් තිබුණු බවත් මොහු වැඩි දුරටත් පවසා ඇත.


ආර්ථික තොරතුරු

සිංහලයින්ගේ ආර්ථිකය පිළිබඳව නොක්ස් දක්වා ඇති තොරතුරුවලට අනුව ඔහු ප්‍රධානවම දේශීයයන්ගේ ජීවනෝපාය ක්‍රමවේදයන් වන වී ගොවිතැන, හේන් වගාව, වෙළඳාම, මුහුදුකරයේ ධීවර කර්මාන්තය ආදියෙ හි විස්තර සඳහන් කර ඇති අතර ඒම ජීවනෝපායන් හි නියුතු වූවන්ගෙන් රජයට උපයා ගත් බදු මුදල් හා එම බදු ක්‍රම පිළිබඳව ද  මෙම කෘතිය තුළ සඳහන් වන්නේය. එමෙන්ම සිංහලයින් විසින් ඉහත දක්වන ලද ජීවනෝපායන්ට අමතරව සිදු කරන ලද වෙනත් කර්මාන්ත ආදිය පිළිබඳව ද වැදගත් මෙන්ම වටිනා විස්තරයන් ද මෙම කෘතියේ ඇතුළත් බව කිව හැකිය.

නොක්ස් සඳහන් කර ඇති අන්දමට සිංහලයන්ගේ ප්‍රධාන මෙන්ම අග්‍රගණ්‍ය වගාව වනුයේ වී වගාවයි. "මා වී, හාතියල්, හොඬරවාල, හීනටි, ඇල්පත්කල්" ආදී නාමයන්ගෙන් හැඳින්වූ විශාල වී වර්ග ගණනාවක් මෙරට වගා කෙරුණු බවත් එම වගාවන් විශාල වපසරියක පැතිරුණු කුඹුරු තුළ වගා කෙරුණු බවත් ඔහු දක්වා ඇත. සිංහලයින් විසින් සිය කුඹුරු තුළට ජලය ලබා ගත් අයුරු පිළිබඳව සවිස්තර විස්තරයක් ඔහු මෙම කෘතියේ දක්වන අතර එම ජලයේ අඩු වැඩි භාවය මත තෝරා ගන්නා වී වර්ගයන් හි වෙනස්වීම්, ඒවායින් අස්වැන්න ලබා ගැනීම සඳහා ගත වන කාලයෙහි වෙනස්වීම් ආදිය ඔහු මැනවින් සිය කෘතියේ දක්වා අති බව කිව හැකිය. එමෙන්ම ලාංකිකයෝ වැසි දිය එක් රැස් කොට සිය වගාවන්ට යොදා ගැනීමට මහත් දක්ෂතාවයක් ඇති ජාතියක් බව මොහු සඳහන් කර ඇති අතර ප්‍රධාන වී වගාවට අමතරව තණහාල්, මුං, අමු, මෙනේරි හා තල ආදී වගාවන්ද මෙරට වැසියන් සිය ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තයේ දී වගාවට බඳුන් කළ බව නොක්ස් ගේ කෘතිය අධ්‍යනය කිරීමෙන් හඳුනාගත හැකි තොරතුරු වේ.

වෙළඳාම පිළිබඳව දක්වා ඇති තොරතුරුවලට අනුව ඔහු විසින් සඳහන් කර ඇත්තේ ලක්දිව ස්වභාවික පිහිටීම අනුව පෙළ ගැසුණු වෙළඳාමක් සිංහලයින්ට හිමිව තිබූ බවයි. සෙසු රටකින් කිසිවක් නොලැබුණ ද ලංකාවේ ඒ ඒ පළාත්වල උපයනා දේ, ඒ ඒ පළාත්වල පරිබෝජනයට ප්‍රමාණවත් බව ද එනිසාම ලක්දිව  ස්වයංපෝෂිත රාජ්‍යක් බව ද මොහු සඳහන් කර සිටී. පරංගීන් මෙරට ආක්‍රමණය කළ සමයේ රජවරුන් සිංහලයාට ඔවුන් හා වෙළඳාම් කිරීමට අවසර ලබා දී තිබුණු නමුත් ඕලන්දක්කාරයින් හා එසේ වෙළඳාම් කිරීමට රජුගෙන් කිසිදු අවසරයක් නොතිබුණු බවත් සඳහන් වේ.

කෘෂිකර්මයට අමතරව ලාංකිකයන් සිදු කරන්නා වූ කර්මාන්ත පිළිබඳව ද නොක්ස් සිය කෘතියේ සඳහන් කර ඇත්තේය. ඒ අතර ප්‍රධානම කර්මාන්තයක් ලෙස යකඩ ගල් පිළියෙල කිරීම හා යකඩ තැනීම දක්වා ඇති අතර ඊට අමතරව කපු රෙදි විවීම, වඩු වැඩ, වළං තැනීම, රන් රිදී වැඩ, සායම් වැඩ, කැටයම් කැපිම, කඩු තුවක්කු නිෂ්පාදනය ආදිය ද සිංහලයින් කර්මාන්තයක් වශයෙන් සිදු කළ ජීවනෝපායන් බව නොක්ස් සඳහන් කරයි.

තව ද ලංකාවේ පොදු වෙළෙඳ සල්පිල් නොවූ බව දක්වන නොක්ස් නගරයන් හි රෙදි පිළි, සහල්, ලුණු, දුම් කොළ, පළතුරු, අවි ආයුධ, තඹ, පිත්තල ආදිය විකුණා ගැනීමට කඩ පිල් කිහිපයක් පමණක් තිබුණු බව සඳහන් කර සිටී.සිංහලයින්ගේ කිරුම් මිනුම් ගත් කළ  දිග මැනීම රියන හෝ වඩු රියන මඟිනුත්, ධාන්‍ය ප්‍රමාණයන් මැනීමේ දී පත, බණ්ඩර නැළිය, කුරුණිය, පෑල හා අමුණ යන මිනුම් භාවිතා කළ බවත් සඳහන් වේ. කළඳ, මදටිය, පලම ආදිය බර කිරීමට භාවිතා කළ මිනුම් වන අතර මෙම සියළු මානයන් සෑම විටම ඉතා නිවැරදි මානයන් නොවූ බවත් නිබඳවම අධිකාරම් වරුන් වංචනික මාන සොය ගම් නියම් ගම් හි කඩපිල්වල සැරිසැරූ බව ද නොක්ස් විසින් දක්වා ඇත.

ප්‍රධානවම ලංකාවේ වලංගු කාසි වර්ග ත්‍රිත්වයක් ඇති බව නොක්ස් සඳහන් කර ඇත. එනම් ටැංගො මස්ස, කුඩා ටැංගො මස්ස හා කොකු කාසිය වේ. කාසි අච්චු ගැසීම රජයේ කාර්යක් පමණක් වන අතර වංචනිකව එසේ කරන්නවුන්ට මරණ දණ්ඩනය පවා හිමි වන්න වරදක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේය. කෙසේ නමුත් ලක්දිව තුළ බහුලව කාසි හිඟයක් පැවති බවත් එනිසාම වැසියෝ මුදල් ලබා දී භාණ්ඩ මිලදී ගැනීම වෙනුවට තව දුරටත් භාණ්ඩ හුවමාරු කරමින් සිය වෙළෙඳ ගණුදෙණු සිදු කර ගත් බවත් මෙම කෘතියේ කියවේ.

ලක්දිව බදු ක්‍රමය පිළිබඳව දක්වා ඇති විස්තරයෙන් හඳුනාගත හැක්කේ මෙරට චිරාගත සම්ප්‍රධාය අනුව වසරකට තුන් වරක් රජුට අයබදු ලබා දීම සිදු කර ඇති බවයි. ඒවා නම් අලුත් අවුරුදු බද්ද, අලුත් සාල් බද්ද හා ඉල් මහ බද්ද වේ. ඊට අමතරව රජුට ලැබුණු වෙනත් බදු වර්ග අතර මරාල බද්ද හෙවත් මිනිසෙකු මිය ගිය පසු  ඔහුගේ ආදායමින් අය කර ගනු ලබන බද්ද හා ගොවියන් විසින් සිය වපසරියේ ප්‍රමාණයට රජුට ලබා දීමට බැඳී සිටින්නා වූ බද්ද වැදගත්ය. නමුත් යුද්ධ හේවායින් විසින් වගා කරනු ලබන ඉඩම් හා විහාර දේවාල සඳහා පවරා දුන් ඉඩම් වලින් මෙම බද්ද අයකර නොගත් බවත් නොක්ස් සඳහන් කර සිටී. අතීත සමයේ මේ රජු කොට්ටියාර්, පුත්තලම් ආදී වරායන්වලට පමිණෙන නෞකා තුළින් ද බදු අයකර ගෙන ඇති මුත් පසුව එම කලාප ලන්දේසීන් නතු කර ගැනීමත් සමඟ එම බදු රජුට අහිමි වී ගොස් ඇති බව සඳහන් කර සිටී.

රජු විසින් මෙම බදු හා රටේ සියලු ආදායම් රැස් කර ගාබඩා කර ගත් භාණ්ඩාගාර කිහිපයක්ම රටේ තැන තැන පිහිටුවා තිබූ බවත් ඒවායේ ඇත්තේ මොනවාදැයි නිශ්චිතවම කිව නොහැකි නමුත් මාණික්‍ය, මුදල්, රෙදිපිළි, නෞකා කැඩී යෑමෙන් ලැබෙන වස්තූන්, ආයුධ, වෙඩි බෙහෙත්, ඇත් දත්, යකඩ, පුටු, මේස පෙට්ටි ආදී වටිනාකමි වැඩි බඩු බාහිරාදිය ද අමුද්‍රව්‍යන් ද මෙම භාණ්ඩාගාරයන් තුළ ගබඩා කොට තබා ගන්නට ඇතැයි නොක්ස් උපකල්පනය කොට දක්වා ඇත. එබැවින් සිය මතයට අනුව නොක්ස් විසින් ලක්දිව රජු හා ඔහුට අයත් ධනය පිළිබඳව මෙසේ සිය කෘතියේ සඳහනක් කොට ඇති අතර ඉන් කෙතරම් අසහාය බලයක් මෙන්ම පාලන බල අධිකාරීත්වයක් ලක්දිව රජු වටා කෙන්ද්‍ර ගත වුණු දැයි පැහැදිලිව හඳුනා ගැනීමේ හැකියාව ඇත.

"...මෙරටේ අචේතනික සචේතනික සියලු වස්තුවක්ම මහරජුට අයත් බවත්, ලක්දිව මුළු මහත් දෙරණ මෙන්ම එහි වෙසෙන අපා දෙපා සිව්පා බහුපා හැම සතුන් හා පක්ෂි ගණයා ද රජුට අයත් බවත් පළ කළ යුතුය....

සමාජ සංස්කෘතික තොරතුරු

සිංහලයින්ගේ සමාජ සංස්කෘතික ක්‍රියාදාමයන් පිළිබඳව නොක්ස් දක්වා ඇති විස්තරය ඔස්සේ එවකට සමාජයේ පැවැත්ම පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් සපයා ගත හැකි බව උගතුන්ගේ මතයයි. ඒ අනුව නොක්ස් විසින් විශේෂයෙන්ම සිංහලයින්ගේ ගතිගුණ, උඩරැටියන් හා පහතරැටියන් අතර වූ සමාජයීය වෙනස්කම්, කුල ධූරාවලීන් හි වෙන්ස්කම් හා විවිධ ගරු නම්බු නාම, විවිධ ආචාර සමාචාර හා සිරිත් විරිත් ක්‍රම, සිංහලයින්ගේ චරිත ස්වභාවය, විවාහය හා දරු පරපුර, විවේකය ගත කරනා අන්දම, භාෂාව හා උගත්කම, විවිධ ලෙඩ රෝග හා මරණ ආදී විශාල සමාජයීය තොරතුරු ප්‍රමාණයක් මෙම කෘතිය තුළ අඩංගු වන බව කිව හැකිය.

නොක්ස් විසින් සිංහලයින්ගේ ගති ගුණ පිළිබඳව සිදු කර ඇති විස්තර විචාරය මෙසේය. ඔහු පවසන ආකාරයට අනුව ඔහුට ඉන්දියාවේ දී මුණ ගැසුණු සෑම මිනිස් සංහතියකටම වඩා සිංහලයෝ ඉතා කරුණාවන්ත මනුෂ්‍ය කොටසක් වන අතර කඩිසර හා හුරුබුහුටි ගති ගුණ ඇත්තවුන් බවට ද මොහු දක්වා ඇත. සිංහලයෝ වෛරක්කාරයෝ නොවන බවත් තීක්ෂණ බුද්ධියෙන් යුතු ප්‍රතිභාන හා උපාය ඥානය සහිත මිනිස් කොටසක් බව ද ඔහු සඳහන් කර ඇත. ඒ කෙසේ වූවත් සිංහලයන් ඇඟට පතට නොදැනෙන ලෙස බොරු කීමෙහි සමතුන් බව ද නොක්ස් සඳහන් කරයි. සොරකම හෙළා දුටු බවත්, දුසිරිත් අතුරින් ඔවුන් ඉතාම අඩු වශයෙන් යෙදෙනුයේ සොරකමෙහි බවත් කියයි. තව ද පහතරට සිංහලයන්ට වඩා උඩරට සිංහලයෝ නොමනා ගති පැවතුම් ඇති වංක වූ වැඩකට නැති පුද්ගලයින් පිරිසක් ලෙස ද නොක්ස් විසින් සිය කෘතියේ සඳහන් කර ඇත. නිරතුරුවම අලංකාරය ප්‍රිය කරන මොව්හු අලසකම නිසාම සිය වැඩ කටයුතු නිතරම අතපසු කර ගන්නා පුද්ගලයන් ලෙස ද සඳහන් කර ඇති අතර එසේ කෙතරම් අලස වූවත් සිංහලයෝ සැබවින්ම සකසුරුවම් ජාතියක් බව ද දක්වා ඇත.

ලාංකිකයන්ගේ කුල ධූරාවලිය පිළිබඳව ද වැදගත් විස්තරයක් මොහු සඳහන් කර ඇත්තේය. ඒ අනුව සිංහල දිවියේ නානාප්‍රකාර කුල ඇති බව ඔහු පවසන අතර ඒවා තාන්න මාන්න වලින් ඇති වූ කුල නොව ලේ පරපුරෙන් ඇති වූ ඒවා බව ඔහු සඳහන් කර සිටී. එහි දී සිංහලයින් විවාහයන්හි දී මෙම කුලය පිළිබඳව අතිශයින් පරීක්ෂාකාරී වන බවත් තමන්ගේ සම කුලයෙන් මිස වෙනත් පහළ කුලයකින් විවාහ කර ගැනීම පිළිකුල් කරන බවත් එනිසාම සිංහල කුල ගෝත්‍ර එතරම් මිශ්‍ර වීමකින් තොරව පැවැතෙන බවත් ඔහු දක්වා ඇත. විශේෂයෙන්ම රජු විසින් සිය රාජ නිලධාරී මඬුල්ල තෝරා ගැනීමේ දී ඉහළ කුලයකට අයත් තරුණ තරුණියන් ඒ සඳහා යොදවා ගත් බවත් මෙම වංශවතුන් ඇඳුමෙන් ද නාමයෙන් ද අනෙකුත් පුද්ගලයන් හා වෙනස් වන බව මොහු සඳහන් කරයි. රදළයින්ට අමතරව ඉහළ කුලයකට අයත් යැයි සැළකෙන පිරිසක් වනුයේ ගොවි ගම ඇත්තන්ය. ඔවුන් රජ කමට පවා සුදුසු බවට මතයක් සිංහලයන් තුළ තිබූ බව මෙම කෘතියේ රචනා කර ඇත. පහත් කුලයන් අතර ඉහළින්ම සිටින කුලය වූයේ රන් කරුවන් හා ආචාරීන් නමින් හැඳින් වූ කම්ම්ල් කරුවන්ය. දෙවනුව ඇත්ගොව්වෝ ද, ලෝකුරුවන් ද, පනික්කි නොහොත් කරණවෑමි කුලය ද, කුඹල් කුලය ද තිබී ඇත. ඉන් පසුව රජක නොහොත් වෙල්ලාවේ කුලය කුල ධූරාවලි අනුපිළිවෙළෙහි මොහු සඳහන් කරන අතර එයටත් පහතින් හකුරු සකස් කරන හඟරම්මු ජනයා ද, පද්දන් ලෙසින් හඳින් වූ පහත්ම කුලය ද සිටින බව දක්වා ඇත. වෘත්තීයක යෙදුනු ජනයා අතරින් පහත්ම කුලය මොවුන් වන අතර ඉන් පසුව පිළිවෙළින් බෙර වාදන කුලය, කුළු පොත්තන්, කින්නර කුලය මෙයට අයත්ය. සැමටම වඩා පහත්ම කුලය කුරුට්ටන් නමින් හැඳින් වූ බවත් සිඟා කමින් සිය ජීවිතය ගෙන යන රොඩී නම් කුලයක් ද ලක්දිව තුළ තිබූ බවත් නොක්ස් සඳහන් කර ඇත. මෙම කුලය සමාජයේ ඉතාම සෝචනීය තත්වයක සිටි කුලයක් වූ බව මෙම කෘතියේ සඳහන් තොරතුරු ඔස්සේ පැහැදිලි වන අතර එකල රජු විසින් යම් යම් වැරදි සඳහා දඬුවමක් වශයෙන් ද රොඩී කුලයට පාවා දීම සිදු කර ඇති බව කියවේ. ඒ පිළිබඳව නොක්ස් විසින් දක්වන ලද විස්තරයෙහි ඔහු මෙසේ සඳහන් කර ඇත්තේය.

"...ඉදින් රොඩී රැහැට එළවනු ලැබීමට තීරණය වූ යමෙකු මහ රජතුමාගෙන් අනුකම්පාවක්  ඉල්ලා කන්නලව් කළ හොත්, ජලාශයක් වෙත ඔහු කැඳවා ගෙන ගොස්, ඉදින් රොඩී රැහැනට යන්නට අකමැති වෙතොත් ජලාශයකට පැන මිය යන්නට අවසර දෙනු ලැබේ. රොඩී රැහැට යනුවට වඩා දියේ පැන මිය යෑම සැපතකැ යි සිතන්නෝ එ රටේ(ලංකාවේ) එමට වෙති....

සිංහලයන්ගේ නිවාස වරිච්චි බැඳ මැටි ගැසූ අතු සෙවිලි කළ වහලවලින් යුක්ත  වූ ඒවා බවත්, එහි සුදු හුණු ගෑමට අවසරක් සාමාන්‍ය ජනතාවට නොවූ බවත් දක්වයි. ප්‍රභූ නිවස ඊට වඩා අලංකාරවත් වූ ද, සුවපහසු වූ ද, විශාල නිවාස වූ අතර මෙම නිවාස අසලම එම නිවසෙහි සේවක පිරිස් සිය වාසස්ථාන ඉදිකරවා ගෙන ඇති බවත් දක්වා ඇත. ගෘහ භාණ්ඩ ඇත්තේ ඉතා ස්වල්පයක් බවත්, නිදා ගනු ලබන්නේ හා ආහාර ගනුයේ බිම එලූ පැදුරක වාඩි වී බවත් මෙහි සඳහන්ය. ආහාර පරිබෝජනයේ දී සිංහලයෙකු සතුව සිය නිවසෙහි හාලුත් ලුණුත් තිබීම හොඳටම ප්‍රමාණවත් බව නොක්ස් දක්වා සිටී. හරක් මස් නොකන මෙරට වැසියා සතුව මස් මාළු ද ඉතාමත් දුර්ලභ වූ බව සඳහන් කර ඇත. කුසගිනි ඉවසීම සිංහලයින්ගේ ආඩම්බරයට කරුණක් වූ බවත් ආහාර පිසීම පිරිසිදුවට හා ඉක්මනින් සිදු කිරීමට මෙරට කාන්තාවන් සමර්ථ බවත් කියයි. රසකවිලි ලෙස කැවුම් ප්‍රධාන වන අතර අග්ගලා, යක්පැටි, පිට්ටු ආදී වෙනත් කෑම ද්‍රව්‍ය ද ලාංකිකයන් සකස් කර ගත් බව මොහු සඳහන් කර ඇත.

ඇඳුම් පැලඳුම් ගත් කළ වැදගත් මිනිසෙකු බැහැර යනවිට නිල්වන් කපු කබායක් හා යටට සුදු වතක් හැඳ ඒ මත තුප්පොට්ටිය හැඳ තවත් සුදු පිළියක් ඉණ වටා ඔතා නිල් හෝ රතු පටියක් බඳින බව මෙහි සඳහන් කර ඇත. මේ කුමන ආකාරයේ සිංහලයෙකු හෝ සතුව දික් වූ කේශ කලාපයක් ඇති බවත් බැහැර යන විට එය කොණ්ඩා ගුලියක් ලෙස එකතු කර ගන්නා බවත් කියවේ. පුරුෂ පක්ෂයට වඩා ස්ත්‍රී පක්ෂයේ ඇඳුම් අලංකාර වූ බවත් රතු හෝ නිල් අත දිග සැට්ටයක් හැඳ, සෙලය හැඳ රිදී වළලු හා පාදයන්හි මුදු දමා පබළු මාලයක් ද පළඳින බව නොක්ස් සඳහන් කර ඇත. එහෙත් ස්ත්‍රී පුරුෂ කිසිවෙකු පාවහන් නොපැළදි අතර එය රජුට පමණක් සීමා වූ පැළඳීමක් වී ඇත. තව ද දුප්ප්තුන් සතුව ඇඳුම් නොමැති නම් ඇති අයගෙන් ඉල්ලා ගෙන ඇඳීම සිංහලයන් ලැජ්ජාවක් සේ නොසළකන බව ද නොක්ස් විසින් වැඩි දුරටත් සිය කෘතියේ සඳහන් කර ඇත්තේය.

සිංහල විවාහ සිරිත් ගත් කල ඒවා කුලය හා බැඳුණු විවාහයන් වූ බවත් දෙමව්පිය වැඩිහිටි අනුශාසනා ඔස්සේ මෙම විවාහයන් සිදු කරනා බවත් සඳහන් කර ඇත. විවාහයෙන් පිට අනියම් සබඳතා පවැත්වීම දඬුවම් ලැබිය හැකි වරදක් වූ බවත් ඒ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාශවයටම එලෙස දඬුවම් හිමි වූ බවත් කියවේ. නොක්ස් ගේ දර්ශනයට අනුව මෙරටේ විවාහයන් බෙහෙවින්ම තාවකාලික වී ඇති අතර අඹු සැමියන් අතර ගැටුම් හෝ මතභේද ඇත්නම් සාමකාමීව එකිනෙකා හා වෙන් වන බවත් මොහු දක්වා ඇත. එම අවස්ථාවේ දී දෙපළට දරුවන් සිටියේ නම් පිරිමි දරුවන් පියාට ද, ගැහැණු දරුවන් මවට ද අයත් වූ බව ද සඳහන් කර ඇත.

සිංහලයින් විවේක කාලය ගත කරනා අන්දම ගැන සඳහන් තොරතුරු අතර ඔවුන් කළ ක්‍රීඩාවන් ගැන ද තොරතුරු සඳහන් වේ. ඒ අතර විශේෂයෙන් අවුරුදු සමයේ සිදු කරන ලද පොරපොල් ගැසීම හා පෙරහැර සමයේ එය පැවත්වීම මෙන්ම එහි එක් එක් විජ්ජා සිදු කරලීම ද මොවුන් විනෝදාස්වාදය උදෙසා සිදු කළ ක්‍රියාවන් බව නොක්ස් සඳහන් කර සිටී. තව ද මද විශ්‍රාමයක් ලැබුණු අවස්ථාවක අම්බලමකට රැස්ව එකිනෙකා හා අල්ලාප සල්ලාපයේ යෙදීම සිංහලයින් ප්‍රිය කළ බවත් එවැනි අවස්ථාවල දී යුරෝපිකයන් මෙන් මත්පැන් බීම පිළිකෙව් කරන මොවුන් ඒ සැමටම ඉහළින් බුලත් විට කෑම සිදු කරනා බව ද නොක්ස් දක්වා ඇත්තේය.

ප්‍රජා පරිපාලනය සිදු වූ ආකාරය පිළිබඳව දක්වා අති විස්තරයෙහි ලාංකීය නීති ක්‍රමයට ද නොක්ස් වැඩි ඉඩක් සපයා ඇත්තේය. ඒ අනුව ඔහු නීතිය ලෙස ප්‍රකාශයට පත් කර සිටින්නේ "නීතිය නම් රජුගේ කැමත්ත" බවයි. රජුගේ නීති පිළිපැදීම සෑම වැසියෙකුගේම කාර්යභාරයක් වූ අතර එම නීති නො පිළිපදින්නන් සඳහා දඬුවම් ලබා දීමත් එහි යුක්තිය පසිඳලීමත් ආදී සියළු ක්‍රියාවන් රජු සතු වූ ක්‍රියාවන් ලෙස නොක්ස් අර්ථ දක්වා ඇත.

එලෙසම භාෂාව පිළිබඳව සඳහන් විස්තරයේ ඔහු දක්වා සිටින්නේ සිංහල භාෂාව යනු ලංකාවටම ආවේණික වූ භාෂාවක් බවයි. ඔහුට අනුව මෙරට භාෂාව වාග් ශක්තියෙන් පොහොසත් වූ ලාලිත්‍ය, මටසිලිටි වූ ද එය කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන්ම ශිෂ්ට වූ ද ශ්‍රේෂ්ඨ භාෂාවක් බව දක්වා ඇත. එමෙන්ම සිංහලයෝ කතාවෙහි චතුර වූ නොසැලී නොපැකිලව කතා කිරීමෙහි සමත්කම් ඇතිවුන් ලෙස ද සඳහන් කර ඇත.
දේශීයයන්ගේ රෝග හා ඒවාට යොදන ලද ප්‍රතිකර්ම පිළිබඳව ද නොක්ස් සිය කෘතියේ තොරතුරු සඳහන් කර ඇති අතර එහිදී ලක් වැසියෝ සාමාන්‍ය වශයෙන් වයස අවුරුදු 80ක පමණ පරමායුෂ ඇත්තන් බව සඳහන් කර ඇත. මෙරටෙ හි බහුලව පවතින රෝග අතර ගැහෙන උණ හා ලේ මදකම ප්‍රචලිත බවත් සමහරක් ප්‍රදේශයන් හි වසූරිය තිබූ බවත් දක්වා ඇත. මෙම සෑම ලෙඩකටම සිංහලයන්ගේ ප්‍රත්‍යක්ෂ ඔසුව වූයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බවත් එයින් ජීවයක් නොවුණු කළ එය "දෙයියන්ගේ ලෙඩක්" බව පවසමින් එයට වෙනත් පිළියමක් කිරීමෙහි උනන්දු නොවන බව ද දක්වා ඇත. මෙරටෙ හි සියල්ලෝම වෙදුන් බව පවසන නොක්ස් සිංහලයින් සතුව සෑම රෝගයක් සඳහාම කැලෑවෙන් ලබා ගත හැකි අමුද්‍රව්‍යකින් සකසා ගත් බෙහෙත් භාවිතා කරන බව ද සඳහන් කර ඇත.


ආගමික තොරතුරු

ලක්දිව ආගම් හා ධර්මය පිළිබඳව සඳහන් කරනු ලබන විස්තරයෙහි නොක්ස් ලක්දිවෙහි තිබූ විවිධ ආගම්, දේව ඇදහීම්, විහාරස්ථාන, පූජකවරු, පූජාවිධි,මිත්‍යා මත ආදී විවිධ තෙමාවන් යටතේ  ලක්දිව ආගම් හා ධර්මය පිළිබඳව සඳහන් කර ඇති බව කිව හැකිය. ඒ අනුව මෙම කෘතියේ ඔහු ලක්දිව ප්‍රධාන ආගම ලෙස සඳහන් කර ඇත්තේ බුදු දහම හා ඒ හා බඳුණු ප්‍රතිමා වන්දනාව වේ. ඊට අමතරව සූර්යයා, චන්ද්‍රයා වැනි ස්වභාවික වස්තූන් සඳහා ගෞරව නාම ලබා දෙමින් එම වස්තූන් දේවත්වයෙන් ඇදහූ බව ද නොක්ස් සඳහන් කර ඇත.

සිංහලයන්ගේ වෙහෙර විහාර හා දේවාල සංඛ්‍යාව බොහෝ බවත්, ඒවාට පුරාණයේ සිටි රජ දරුවන් පූජා කරන ලද නින්දගම්වල ආදායමින් එම විහාරවල වියදම් සපුරා ගන්නා බවත්, එම විහාර ඉඩම් රජු සතුව පැවති ඉඩම් ප්‍රමාණයටත් වඩා වැඩි වූ බවත් මොහු දක්වා ඇත. සෑම හොඳක්ම දෙවියන්ගෙනුත් සෑම නරකකම යකුන්ගෙනුත් සිදුවෙතැයි සිංහලයන් විශ්වාස කළ බවත් එනිසාම යකුන්ට ද පුද පූජා පැවැත්වූ බවත් කියවේ.

ලක්දිව ප්‍රධාන පූජකයින් ත්‍රිත්වයක් වූ බවත්, ඉන් පළමුවෙන්ම බෞද්ධ තෙරුන් වහන්සේලා සිටින බවත් සඳහන් කරන නොක්ස් එම භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ විහාරය නමින් හැඳින් වූ ආරමයක බව ද දක්වා ඇත. දෙවන පූජක පක්ෂය වූයේ දෙවාලයන් හි කපුවන් බව සඳහන් කර ඇති අතර ඔවුන් හා සෙසු සාමන්‍ය ජනයා අතර එතරම් වෙනසක් නොවූ බව ද දක්වා ඇත. තෙවන පූජක කොටස යක් දෙස්සන් ලෙස හඳුන්වා ඇති අතර මිනිසුන්ට නරක සිදු කරන්න වූ යකුන් උදෙසා පුද පූජා සිදු කරන්නවුන් මොවුන් වූ බව පවසා ඇත. මේ සියල්ලටම අමතරව මිනිසුන් හට වාසනාව හෝ අවාසනාව උදා කරවන "ග්‍රහ" නම් වූ දෙවිවරුන් 9 දෙනෙකු සිට ඇති අතර සිංහලයෝ මෙම ග්‍රහ සංකල්පය ද බොහෝ විට විශ්වාස කළ බව ද නොක්ස් පවසයි. මළවුන් හට නැවත් ආත්ම ඇති බව විශ්වාස කර ඇති අතර මළවුන් "අවතාර" හෝ "දිෂ්ටි" යන නාමයෙන් හඳුන්වා ඇත.

තව ද මෙරටෙහි සිදු කරන ලද ප්‍රධාන පූජාවන් ත්‍රිත්වයක් පිළිබඳව මෙම කෘතියේ විස්තර අතුළත් වන අතර ඒවා නම් මහනුවර ඇසළ පෙරහැර, කාර්තික පූජා හා වෙනත් ආගමික පූජා විය. මෙවැනි පූජාවන්ට මෙරටෙහි රජුගේ පටන් පහත්ම ස්ථරයේ වැසියා දක්වාම සහාය ලැබී ඇති අතර දෙවියන් හා එක් එක් ආගම් හි ආගමික මතවාදයන් මුල් කොට ගෙන මෙම ආගමික ක්‍රියාවන් හි නිරත වන්නට ඇති බව ඉහත විස්තරයෙන් අපට හඳුනා ගැනීමේ හැකියාව ඇත. නොක්ස්ගේ මතයට අනුව ලංකාවේ නියමාකාරයෙන් ආගමික වත් පිළිවෙත් සපුරන කිසිවෙකු නොමැති අතර ලෙඩක් දුකක් වැළඳුන කල් හි හෝ මහලු වයසට පැමිණි කල් හි ඔවුන්ට සිය ආගම මතක් වන බව ඔහු දක්වා ඇත. විශේෂයෙන්ම ක්‍රිස්ති භක්තිකයන් අදහන් දෙවියන්ට වඩා බලවත් දෙවියෙකු ලක්දිව සිටින බව සිංහලයන් විශ්වාස කොට ඇති නමුත් කිතු දහම් පහත් කොට සැළකීමට මොවුන් එතරම් උත්සහයක් ගෙන නොමති බව ද නොක්ස් දක්වා ඇත. එහි දී දෙවන රාජසිංහ රජුගේ ක්‍රියා කලාපය ඉතා වැදගත් වන අතර ඔහු කිතු දහමට ගෞරව කරන ලද හා එම ආගමිකයන්ට යම් සැළකිල්ලක් දැක්වූ පාලකයෙකු ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙසමයේ මුහුදුබඩ පැතිරී සිටි ලන්දෙසීන් හේතුවෙන් ද ඔවුන්ට පෙර ලක්දිව ආක්‍රමණය කළ පෘතුගීසීන් හේතුවෙන් ද කිතු දහම සිංහලයන් හට එතරම් දුලභ නොවූ ආගමක් වන්නට ඇතැයි ද සිතිය හැකි වේ. ඊට අමතරව මුස්ලිම් ජනතාව සතුව මුස්ලිම් පල්ලියක් මෙන්ම කෝවිල් ද මෙසමයේ මහනුවර කලාපයේ ගොඩනංවා තිබූ බව නොක්ස් විසින් සිය කෘතියේ සඳහන් කර ඇත.


මූලාශ්‍රය
නොක්ස් රොබට්, එදා හෙළ දිව, ඩේවිඩ් කරුණාරත්න, 2018


Share:

facebook share twitter share

3 comments: