අනුරාධපුර යුගය
පුරාතන ලක්දිව දකුණු ඉන්දීය කලාපය සමඟ පැවැත්වූ සබඳතාවන්
පිළිබඳව හඳුන්වාදීමේ දී පළමු වරට හඳුනාගත හැකි වන්නේ මිහිඳු හිමියන්ගේ
මූලිකත්වයෙන් දකුණු ඉන්දියාවට හා ලක්දිවට බුදු දහම ව්‍යාප්ත වීම බව සඳහන් වේ. ක්‍රි.
පූ තෙවන සියවසේ දී ලක්දිවට බුදු දහම හඳුන්වා දීමට පෙර මිහිඳු හිමියන් දකුණු
ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයේ යෙදී ඇත. අශෝක රජුගේ නව රට ධර්ම දූත සේවය ඔස්සේ චෝළ , පාණ්ඩ්‍ය හා කේරළ දේශයන්ට බුදු දහම රැගෙන ගිය බව ඔහුගේ
සෙල්ලිපිවල සඳහන් වීම නිසාවෙන් මෙසමයේ බුදු දහම දකුණු ඉන්දියාවේ ප්‍රචලිතව තිබූ
ආගමක් වන්න්ට ඇතැයි විශ්වාස කළ හැකිය. එමෙන්ම පසු කාලයේ දී හ්‍යුං සාං නම් චීන
දේශාටක භික්ෂුව ද්‍රවිඩ දේශයේ සංචාරය කරන සමයේ දී මිහිඳු හිමියන්ට තඤජාවූර් අසල
පිහිටුවන ලද සංඝාරාමයක් ද්‍රවිඩ බෞද්ධ පිරිස් විසින් පෙන්වා දුන් බව හ්‍යුං සාං
භික්ෂුව විසින් සිය දේශාටන වාර්තාවේ සඳහන් කොට ඇත. ඒ අනුව ලක්දිවට බුදු දහම ලැබීම
යන සංසිදුවීමත් මිහිඳු හිමි මුල් කොට ගනිමින් දකුණු ඉන්දියාව ඔස්සේ පවත්වා ගනු
ලැබූ බෞද්ධාගම පාදක කොට ගත් ඓතිහාසික සබඳතාවයක ප්‍රථිඵලයක් වශයෙන් උක්ත කරුණු
මඟින් අර්ථ දැක්විය හැකිය.
එපමණක් නොව අවුරුදු දෙදහසකට පෙරත් ලක්දිව හා දකුණු ඉන්දියාව
අතර බෞද්ධාගමික සබඳතා තිබූ බව දක්නට ලැබෙන ප්‍රධාන සාක්ෂියක් වන්නේ ලංකාවේ
මිහින්තලාව ආදී ස්ථානයන් මෙන් දකුණු ඉන්දියාවේ පුරාණ යෝගාවචර භික්ෂූන් වාසය කළ
ගල්ලෙන් තුළ ද බ්‍රහ්මී අක්ෂර මඟින් ලියන ලද ලෙන් ලිපි කොටවා තිබීමයි. මේවා
නිසියාකාරව තේරුම් ගැනීමට නොහැකි වී ඇති මුත් මෙම ලිපි පැරණිතම ද්‍රවිඩ භාෂාවෙන්
ලියන ලද ඒවා යැයි මත පළ කොට ඇත. මේ ශිලා ලිපිවල බොහෝ සෙයින් සඳහන් වන්නේ එම ලෙන්
පූජා කරන පිරිස් පිළිබඳවය. නිදසුනක් ලෙස මධුරාව සමීපයේ වූ “තිරුප්පරන්කුන්‍රම්” නම් පර්වතයේ
පිහිටි එක්තරා ගල් ලෙනක් කරවා පූජා කළ
අයගේ නම "ඊළ කුටුම්පිකන්" ලෙස දක්වා ඇත. මෙහි "ඊළ" යනු
"සිංහල" යන්න දෙමළ බසට බිඳෙන ආකාරයයි. "කුටුම්පිකන්" යන්න
සංස්කෘත "කුටුම්බික" යන පදය දෙමළ ව්‍යවහාරයෙන් ලිවීමකි. එබැවින්
"ඊළ කුටුම්පිකන්" යනු "සිංහල කෙළෙඹියා" යන අර්ථය ගෙන දෙනු
ලබයි. එබැවින් මෙහි සඳහන් කාලයේ දකුණු ඉන්දියාවේ සිංහල බෞද්ධයන් වාසය කළ බව
පැහැදිලි වන අතර එය එසමයේ පටන් ලක්දිව හා දකුනු ඉන්දියාව අතර බෞද්ධාගමික සබඳතා
පැවති බවට ගත හැකි මනා සාධකයක් වන බව පැහැදිලි වේ.
එමෙන්ම පුරාතන ලක්දිව හා දකුණු ඉන්දියාව අතර පැවති මිත්‍රභාවය
"මණිමේකලා" නම් වූ ද්‍රවිඩ
භාෂාවෙන් ලියන ලද බෞද්ධ මහා කාව්‍යයෙන් පෙනෙන බව කියවේ. මෙම ග්‍රන්ථය තුළ
"මණිපල්ලව" යනුවෙන් හඳුන්වා ඇත්තේ ලංකාවේ නාගදීපය බව සඳහන් වේ.
මහාවාංශයේ සඳහන් වන චූලෝදර මහෝදර සටන හා බුදුන් විසින් එය සංසිඳවීම පිළිබඳව මෙම
කෘතියේ අන්තර්ගත වන අතර මෙම කෘතිය රචනා කළ කාලය වන ක්‍රි. පූ තෙවන සියවසට අයත්
කාලයේ දී දකුණු ඉන්දීය බෞද්ධ වැසියන් ලක්දිව “මිණිපල්ලව” නම් ස්ථානයට පැමිණ එයට වන්දනාමාන කළ බව ද එහි සඳහන් වේ.
මෙහි මිණිපල්ලව යනුවෙන් හඳුන්වා ඇත්තේ ලක්දිව නාගදීපය බව හඳුනා ගෙන තිබේ. එපමණක්
නොව ශ්‍රී පාදස්ථානයේ පිහිටි සිරිපතුල් ලාංඡනය වැඳපුදා ගනු පිණිස ද දකුණු ඉන්දීය
බෞද්ධ වැසියන් ලක්දිවට පැමිණි බව මෙම කෘතියේ සඳහන් විස්තර ඇසුරෙන් හඳුනා ගැනීමේ
හැකියාව ඇත. ඒ කෙසේ ද යත් දමිළ මණිමේකලවේහි මුණිරාජයන්ගේ පාදපීඨය පිළිබඳව
වර්ණනාවක් ඇතුළත් වන අතර එයට බෙහෙවින් සමාන තොරතුරු ලක්දිව රචනා වූ පාලි රසවාහිනියේ ද ඇතුළත් වී ඇති බැවිනි. ඒ
අනුව ලක්දිව ඉහත සඳහන් කරන ලද යුගයේ පටන්ම දකුණු ඉන්දියාව සමඟ සබඳතා පැවැත්වූ බව
මෙම කරුණු ඔස්සේ පැහැදිලි වන් අතර විශේෂයෙන්ම ඒවාට පදනම් වූයේ බෞද්ධාගම බව ගම්‍යමාන
වේ.
ඉන් පසුව සේන ගුත්තික, එළාර නම් දකුණු
ඉන්දීයයන් ලක්දිව ආක්‍රමණය කොට පාලනය කරන සමයේ දකුණු ඉන්දියාවේ චෝළ රට ස්ථාන
කිහිපයකම දියුණු බෞද්ධ මධ්‍යස්තාන වූ බවත්, පල්ලවයන්ගේ අගනුවර වූ කාංචි පුරයේ “නෙගපඩම්” නම් ස්ථානයේ
තවත් දියුණු බෞද්ධ මධ්‍යස්ථානයක් තිබූ බව සඳහන් වේ. ක්‍රි. පූ 2, 3 හා 4 වන සියවස තුළ
මෙම බෞද්ධ මධ්‍යස්ථාන දකුණු ඉන්දියාවේ වර්ධිතව පැවති බව සඳහන් වන අතර ලංකාවෙන්, උතුරු ඉන්දියාවෙන් හා චීනයෙන් නොයෙක් වර උගත් පඬිවරුන්
මෙහි පැමිණි බව සඳහන් වේ. එම තොරතුරු ලක්දිව සීහලවත්ථූපකරණයේ සඳහන් විස්තරයන් සමඟ
එකිනෙක සමාන වන අතර ලක්දිව පිරිස් කිහිපවක්ම මෙම දකුණු ඉන්දීය බෞද්ධ මධ්‍යස්ථානවලට
ගිය බව එහි කතා කිහිපයකම සඳහන් වන බව කියවේ. අතැම්හු වන්දනාවක් ලෙසත්, අධ්‍යාපනය ලැබීමටත් එහි ගිය බව දක්වා ඇති අතර දුටුගැමුණු
රජුගේ යෝධයෙකු වූ ඵුස්සදේව ද එහි ගොස් බෞද්ධ භික්ෂුවක් වූ බව එම විස්තරයන්හි වැඩි
දුරටත් සඳහන් වේ. ඒ අනුව එම තොරතුරු ද පුරාතන ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පැවැත්වූ
බෞද්ධාගමික සබඳතාවයන්ට නිදසුන් ලෙස පෙන්වා දිය හැකි බව පැහැදිලි වේ.
තව ද පුරාතන ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පැවැත්වූ සබඳතාවයන් පිළිබඳව දැක්විය
හැකි ප්‍රධාන සිදුවීමක් වන්නේ බුද්ධඝෝෂ අටුවාචාරීන් දකුණු ඉන්දියාවේ සිට ලක්දිවට
පැමිණීමයි. එතුමා දකුණු ඉන්දීය වැසියෙකු වන අතර ථේරවාදය පිළිබඳව කෙළ පැමිණි
දැනුමක් තිබූ බව ද සඳහන් වේ. එවකට ලක්දිව මහා විහාරයෙහි පැවති අටුවාකරණයට සහභාගී
වීම සඳහා බුද්ධඝෝෂ හිමියන් ලක්දිවට පැමිණ ඇති අතර ඉන් දකුණු ඉන්දියාවත් ලක්දිවත්
අතර තිබූ බෞද්ධාගමික සම්බන්ධය මැනවින් තේරුම් ගත හැකිය. ථේරවාද බුදු දහම ලක්දිව
තුළ ව්‍යාප්ත කිරීමේ කාර්යෙහි ලා මහත් වැදගත් සේවාවක් ඉටුකරන ලද මෙතුමා දකුණු
ඉන්දියාවේ සිට පැමිණ අනුරාධපුර දූරසංකර විහාරයේ ග්‍රන්ථාගාරයෙහි වාසය කරමින්
සියලුම සීහලට්ඨකතා මූල භාෂාව වූ මගධ භාෂාවට පරිවර්තනය කොට මහාබෝධිය වන්දනා කිරීම
සඳහා නැවත දඹදිවට වැඩම කළ බව මහාවංශයේ තිස් හත් වැනි පරිච්ඡේදයේ ගාථා තිස්
දෙකකින්ම සඳහන් කොට ඇති බව කියවේ. (ම.ව. 37: 215-246) එපමණක් නොව මෙරට පාලි සාහිත්‍යයේ වර්ධනයට ඇප කැප වූ
බුද්ධදත්ත හා ධම්මපාල යන උගතුන්ගේ පැමිණීම සිදු වූයේ ද දකුණු ඉන්දියාවෙන් බව සඳහන්
වේ. එහි දී ධර්මපාල හිමියන් කාංචිපුරයෙන් පැමිණි හිමි නමක් බවත්, අටුවාචාරී බුද්ධදත්ත හිමියන් සොළී රට භූත මංගල නම් ග්‍රාමයෙන්
පැමිණි බවත් සඳහන් වේ. දකුණු ඉන්දියාවේ වෙසෙමින් බෞද්ධාගමික ග්‍රන්ථ රචනයේ යෙදුණු
මෙම භික්ෂූන් ඉන් පසුව ලක්දිවට පැමිණ පාලි බෞද්ධ සාහිත්‍යයේ වටිනාකම වර්ධනය කිරීම
කෙරෙහි මහත් කැපවීමෙන් ක්‍රියා කළ බව සඳහන් වේ. එබැවින් මෙම කරුණු ද පුරාතන ලක්දිව
හා දකුණු ඉන්දියාව අතර පැවති බෞද්ධාගමික සබඳතා සඳහා නිදසුන් ලෙස ගත හැකි බව උක්ත
කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.
ලක්දිව හා දකුණු ඉන්දියාව අතර ඇති වූ බෞද්ධාගමික
සබඳතාවක් ලෙස මුල් වරට ලාංකීය මූලාශ්‍රයක ලිඛිතව සඳහන් කොට ඇති සංසිද්ධිය වනුයේ
වළගම්බා රාජ්‍ය සමයේ ඇති වූ බැමිණිතියා සාගතයේ දී ලක්දිව භික්ෂූන් දකුණු ඉන්දියාවේ
ආරාම වෙත වැඩම කිරීමයි. ආන්ද්‍රා දේශය වෙත එලෙස ලාංකීය භික්ෂූන් වැඩම කළ බව සඳහන්
වන අතර එවැනි දුර්භික්ෂයක් සහිත පීඩාකාරී සමයක ලාංකීය භික්ෂූන්ට දකුණු ඉන්දියාව
වෙත ගොස් පහසුකම් අත්විඳීමට තරම් දකුණු ඉන්දියාව හා ලක්දිව අතර මනා සහයෝගී
සබඳතාවයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන්ම සේන ගුත්තික, එළාර, පංච ද්‍රවිඩ
වැනි දකුණු ඉන්දීය පාලකයින් වරින් වර ලක්දිව ආක්‍රමණය කොට බලය පැහැරගත් සිදුවීම්
දේශපාලනය තුළ වාර්තා වූවත් ආගමික වශයෙන් මනා සහයෝගීතාවයක් දෙපාර්ශවය අතර තිබෙන්නට
ඇති බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.
එමෙන්ම වෝහාරිකතිස්ස රජ දවස වෛතුල්‍යවාදී භික්ෂූන් මෙරටින් පිටුවහල් කිරීමට
රජු පියවර ගත් අතර ඉන් පසුව එම භික්ෂූන් සරණ පතා යනු ලැබුවේ දකුණු ඉන්දියාවට බව
සඳහන් වේ. විශේෂයෙන්ම ගෝඨාභය රජ දවස වෛතුල්‍යවාදය ප්‍රචලිත කිරීමට භික්ෂූන් උත්සහ
දරණු ලැබූ බවත් එය අසාර්ථක වූ කළ දකුණු ඉන්දියාවේ කාවේරි පටුනේ ඔවුන් හට පිළිසරණක්
තිබූ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. එම භික්ෂූන් නවාතැන් ගත් කාවේරි පටුනේ ආරාමය
මහායාන නිකායට අයත් බෞද්ධ මධ්‍යස්ථානයක් වූ බවත් කියවේ. විශේෂයෙන්ම ද්‍රවිඩ අදහස්
ද මෙම තත්වය මත මහායාන බුදු දහමට එක් වන්නට ඇති බව විද්වතුන් විසින් සඳහන් කරනු
ලබන අතර එම සිදුවීම්වලින් අනතුරුව සංඝමිත්‍ර භික්ෂුව ලක්දිවට පැමිණ මහායානය මුල්
කර ගනිමින් මහත් ආගමික විනාශයක් සිදු කිරීමට ද මුල් වූයේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ
බලපෑම මහායාන දහමට ලැබීම බව සඳහන් වේ.
එමෙන්ම දකුණු ඉන්දියාව විසින් දේශපාලන බලය ව්‍යාප්ත කරමින් ලක්දිව වෙත එල්ල
කරන ලද ආක්‍රමණයන් පසුව බෞද්ධාගමික සබඳතාවන්වල ස්වරූපය ගත් ආකාරයක් ද අනුරාධපුර
යුගයේ ඇතැම් අවස්ථාවන් තුළ හඳුනා ගැනීමට ලැබේ. ඒ අනුව මිත්තසේන රජ දවස ලක්දිවට
එල්ල වූ ද්‍රවිඩ ආක්‍රමණයෙන් පසුව ඔවුන් වසර 27ක් පාලනය ගෙන ගිය අතර එම පාලකයෙකු වූ ඛුද්ද පාරින්ද “බුධදස ළපරිදේව” යන නාමය සහිතව
බෞද්ධාගමට ලෙන් විහාර තනවා පූජා කළ බව එම ලෙන් විහාරයන්හි කොටවා ඇති ලෙන් ලිපි
ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත. එපමණක් නොව එම රජුගේ බිසව විසින් බෞද්ධාගමට
විහාරයන් කරවා බෞද්ධ භික්ෂූන්ට පරිත්‍යාග කළ බව සෙල්ලිපිවල මෙන්ම චූලවංශයේ ද
පැහැදිලිව සඳහන් කොට ඇත.
දහවන සියවස මුල් සමයේ පටන් ලක්දිවට දකුණු ඉන්දියාවේන් නිරන්තර දේශපාලන ආක්‍රමණ
එල්ල කරනු ලැබුවත් එය දෙපාර්ශවය අතර බෞද්ධාගමික සබඳතාවයන්ට හානියක් නොවූ බව දකුණු
ඉන්දීය මූලාශ්‍රයන් තුළින්ද හඳුනා ගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම අභිධර්මාවතාරය හා
බුද්ධවංශ අටුවාවේ සඳහන් වන පරිදි දකුණු ඉන්දීය චෝළවරු මෙකල ලක්දිව නිරන්තරයෙන්ම
ආක්‍රමණය කරනු ලැබුවත් ලක්දිව තෙරවරු හා දකුණු ඉන්දීය තෙරවරු දෙරට අතර සංචාරයේ
යෙදුණු බව සඳහන් කොට ඇත. ඒසේ සංචාරය කරමින් බෞද්ධ පොත පත පරිශීලනය කිරීම හා නව
පොත් පත් රචනා කිරීමේහි යෙදුණු බව ද දක්වා ඇති අතර එය දේශපාලනික පසුබිම කෙසේ වූවත්
දෙරට අතර ආගමික සබඳතා නොකැඩී තිබීමට හේතුව වූ බව ද කියවේ.
පොළොන්නරු යුගය
අනුරාධපුර රාජධානිය චෝළ ආක්‍රමණයන් තුළින් බිඳ වැටුණු
කල්හි ඔවුන් පොළොන්නරුව සිය බල මධ්‍යස්ථානය වශයෙන් තෝරා ගත්තේය. සොළීන් දකුණු
ඉන්දීය ද්‍රවිඩ පාලකයින් වූවත් බුදු දහමට ද යම් තරමක් දුරට අනුග්‍රහය ලබා දුන් බව
ඔවුන් විසින් ඉදිකරන ලද ඇතම් බෞද්ධ විහාරයන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.
විශේෂයෙන්ම චෝළ පාලක පළමුවැනි කුලෝතුංග රාජ්‍ය සමයේ ඔහු විසින් ඉදිකරන ලද “රාජපෙරුම්පල්ලි” හෙවත් “ශෛලේන්ද්‍ර
චූඩාමණී” විහාරයේ
වැඩ වාසය කළ දීපංකර බුද්ධපිය නම් හිමි නමක් නිතර ලක්දිව හා සොළී දේශය අතර
බෞද්ධාගමික කටයුතු සඳහා සංචාරයෙහි යෙදුණු බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. සෙනරත්
පරණවිතානයන්ගේ මතයට අනුව මෙය ශ්‍රී විජය රාජ්‍යයේ පාලකයා විසින් නාගපට්ටනයේ ඉදි
කරන ලද "චූඩාමණිවර්ම" විහාරය විය හැකි බව දක්වා ඇත. කෙසේ වූවත් මෙම
බුද්ධප්‍රිය හිමියන් සොළී සම්භවයක් ඇත්තෙකු වූවත් ඔහුගේ ගුරුවරයා වූයේ ලක්දිව වාසය
කළ ආනන්ද නම් ස්ථවිරයන් වහන්සේ කෙනෙකු බවත්, එනිසාවෙන් බුද්ධප්‍රිය හිමි හා ඔහුගේ ද ගෝල හිමිවරුන් නිරන්තරයෙන්ම ලක්දිව
හා දකුණු ඉන්දියාව අතර බෞද්ධාගමික චාරිකාවෙහි යෙදුණු බව දක්වා ඇත. කුරුපිට රාහුල
හිමියන් සිය ලිපියක මේ පිළිබඳව මෙසේ සඳහන් කොට ඇත.
... ලංකාවේ මහා ස්ථවිරයන් කෙනෙකුගේ ගෝලයෙකු වූ
බුද්ධපිය තෙරුන් ලංකාවට නිතර එන්ට ඇත. නොයෙන් සබඳකම් පවත්වන්ට ඇත. නමුත් මේ යුගයේ
දේශපාලන වශයෙන් නම් ලංකාව හා දකුණු ඉන්දියාව අතර හොඳ හිතක් නොවීය. ඒය සංස්කෘතික
සබඳකම් වලට බාධාවක් ද නොවීය....
එමෙන්ම සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව බුද්ධපිය
හිමිගේ ගුරුවරයා පොළොන්නරුවෙන් සොයාගෙන ඇති සෙල්ලිපියක සඳහන් වන ආනන්ද නම් හිමි බව
පවසා ඇත. ඒ අනුව එය සත්‍යක් නම් නාගපට්ටනයේ හා පොළොන්නරුවේ භික්ෂූන් අතර පැවති
බෞද්ධාගමික සබඳතා සඳහා එය වැදගත් නිදසුනක් යයි එතුමා අවධාරණය කොට ඇත.
එමෙන්ම
පළමුවැනි වික්‍රමභාහු රජුගේ රාජ්‍ය සමයෙ දී නිකුත් කරන්නට ඇතැයි සිතන දැනට
කැබලිවලට කැඩී ඇති පොළොන්නරුවේ අභිලේඛනයක ඇති එක් ගාථාවක “ලංකා දේශය මත එස
වූ ධජයකට සමාන කොට ඇති
ආනන්ද නමින් හඳුන්වනු ලැබූ සංඝ නායකයෙකු” පිළිබඳව සඳහන් කොට ඇත. කඩින් කඩ පමණක් කියවිය හැකි මෙම
ගාථාවේ අන්තිම පද පේළි ද්විත්වයේ තම්බරට්ටයේ හා සොළී දේශයේ සංඝයා සමඟ වූ ඔහුගේ
සබඳතා පිළිබඳව සඳහන් කොට ඇති බව කියවේ. ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ඉහත පරිච්ඡේදයේ
සඳහන් කරන ලද බුද්ධප්‍රිය හිමිගේ ගුරුවරයා වන්නේ ද මෙම ආනන්ද නම් භික්ෂුව බව දක්වා
ඇති නමුත් එය නිශ්චිත ලෙසම හඳුනා ගෙන නැත. කෙසේ වෙතත් මෙම තොරතුරු මඟින් ද පුරාතන ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පවත්වන
ලද බෞද්ධාගමික සබඳතාවයන් මැනවින් පෙන්වා දිය හැකි බව ගම්‍යමාන වේ.
එමෙන්ම ලක්දිව පොළොන්නරු රාජ්‍ය අවධියේ දී දකුණු
ඉන්දියාවේ කාංචි අගනුවර කොට ගත් පල්ලව රටේ කාවේරි නුවර උපන් අනුරුද්ධ නම් බෞද්ධ
ආචාර්යවරයෙකු "පරමත්ථ විනිච්ඡය" නම් බෞද්ධ කෘතියක් රචනා කොට ඇති අතර එම
කෘතිය රචනා කිරීමට අදහස ලබා දුන්නේ ලක්දිව මහාවිහාරික භික්ෂූන් බව අනුරුද්ධ
ආචාර්යවරයා සිය කෘතියේ සඳහන් කොට ඇති බව කියවේ. විෂේෂයෙන්ම දකුණු ඉන්දියාව හා වෛරී
දේශපාලන භූමිකාවක් ගෙන ගිය ලක්දිව මේ යුගයේ දී මෙවැනි බෞද්ධාගමික සබඳතාවයක් දකුණු
ඉන්දියාව හා පවත්වා ගැනීම සුවිශේෂී සිදුවීමක් බව ඉතිහාසඥයෝ පෙන්වා දී ඇත. මේ යුගයේ
දී දකුණු ඉන්දියාවේ චෝළ දේශය මුල් කර ගනිමින් දියුණු බෞද්ධ විහාර තිබූ බව සඳහන් වන
අතර විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් ලෙස දක්වා ඇත්තේ මෙම බෞද්ධ විහාරයන් ලක්දිව
මහාවිහාරික භික්ෂූන්ගේ අදහස් හා අනුදැනුම ඇතිව ද ක්‍රියාත්මක වූ බවයි. එපමණක් නොව
ක්‍රි.ව 12 වන සියවස වන විට චෝළ සේනාංක ලක්දිවට පැමිණ රුහුණ දක්වාම
සිය ආක්‍රමණ මෙහෙයවනු ලැබුවත් එම කාලයේ දී හෝ චෝළ දේශය හා ලක්දිව අතර තිබූ
බෞද්ධාගමික සබඳතාවය නොවෙනස්ව පැවති බවයි. විශේෂයෙන්ම පොළොන්නරුව අවසානයේ කාලිංග
මාඝ විසින් ආක්‍රමනය කරන විටත් පීඩාවටපත් වූ ලාංකීය භික්ෂූන් සරණ පතා දකුණු
ඉන්දියාවේ චෝළ හා පාණ්ඩ්‍ය රාජ්‍යයන්ට ගිය බව චූලවංශය හා පූජාවලිය යන කෘතීන් තුළ
සඳහන් කොට තිබීම ද පුරාතන ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පවත්වනු ලැබූ බෞද්ධාගමික
සබඳතාවයන් කෙතරම් ශක්තිමත් ද යන්න පිළිබඳව මනා නිදසුනක් බව පෙන්වා දිය හැකිය.
තව ද මහා පරාක්‍රමභාහු රාජ්‍ය සමයේ දී “ඡපට” නම් බුරුම භික්ෂුවක් ලක්දිව වැඩ වාසය කළ දස වර්ෂය තුළ
දී ඔහුට කාංචියෙන් පැමිණි තුන් පිටකය පිළිබඳව මනා දැනුමකින් යුත් භික්ෂුවක් මුණ
ගැසුණු බව සිය කෘතීන් තුළ ඡපට නම් භික්ෂුව දක්වා ඇත. එපමණක් නොව පරාක්‍රමභාහු රාජ්‍ය
සමයේ දීම බුද්ධමිත්ත හා කස්සප නම් වූ සොළී භික්ෂූන් දෙදෙනෙකු ලංකාවේ වැඩ සිටිය
බවත් ඔවුන් බෞද්ධාගමික පොත පත රචනා කිරීමේ කාර්යන්හි යෙදුන බවත් සඳහන් කොට ඇත.
සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව "විමතිවිනෝදනියේ" හා "මෝහවිච්ඡේදනියේ"
කර්තෘ වරුන් වන්නට ඇත්තේ මෙම භික්ෂූන් දෙනම බව දක්වා ඇත. එබැවින් උක්ත කරුණු මඟින්
ද මේ යුගයේ දී ලංකාව දකුණු ඉන්දියාව සමඟ පවත්වා ගනු ලැබූ බෞද්ධාගමික සබඳතා පිළිබඳව
වැදගත් තොරතුරු ලබා ගත හැකි බව මැනවින් ගම්‍යමාන වේ.
දඹදෙණි යුගය
දඹදෙණි යුගයේ දී වඩා වැදගත් අන්දමින් ලක්දිව හා දකුණු ඉන්දියාව අතර
බෞද්ධාගමික සබඳතා පැවති බව එම කාල සීමාවට අයත් මූලාශ්‍රයන් ඔස්සේ හඳුනා ගැනීමේ
හැකියාව ඇත. විශේෂයෙන්ම දඹදෙණිය පුරවරය නිර්මාණය කරමින් කාලිංග මාඝ නම් ආක්‍රමණිකයාගේ
බලපෑමෙන් ඉවත්ව රාජධානිය විතැන් කොට ගත් තෙවැනි විජයබාහු රජු මෙහි දී කැපී පෙනේ.
ඔහු බොහෝ වශයෙන් දකුණු ඉන්දියාවේ චෝළ රාජ්‍යය සමඟ බෞද්ධාගමික සබඳතාවයන් පවත්වනු
ලැබූ නායකයෙකු ලෙස හඳුන්වා දෙනු ලැබේ. ඒ අනුව මේ රජුගේ කාලයේ දී ලක්දිව සංඝ නායක
ධූරය දැරූ වාචිස්සර හිමියන් ප්‍රමුඛ සෙසු භික්ෂූන් කාලිංග මාඝ විසින් බෞද්ධාගමට
සිදු කරන ලද පීඩාවන් හේතුවෙන් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගිය බව සඳහන් කොට ඇත. එරට
තුළ ලක්දිව භික්ෂූන් පීඩාවකින් තොරව වාසය කරමින් සිය ආගමික කටයුතුවල යෙදුණු බව ද
දක්වා ඇත. එපමණක් නොව තෙවැනි විජයබාහු රජු කාලිංග මාඝගේ පීඩාවන් හේතුවෙන් රාජධානිය
දඹදෙණියට විතැන් කොට ගත් විට දකුණු ඉන්දියාවට වැඩි වාචිස්සර තෙරුන් ඇතුළු පිරිසට
නැවත ලක්දිවට වැඩම වීමට ආරාධනා කළ බව ද සඳහන් වේ.
එපමණක්
නොව මෙම සබඳතාවය තෙවැනි විජයබාහු රජුගෙන් පසුව දෙවන පරාක්‍රමබාහු රජුගේ කාලයේදී ද
පෙරටත් වඩා ශක්තිමත් ආකාරයෙන් තිබුණු බව කියවේ. ඒ අනුව දෙවන පරාක්‍රමබාහු රජු
දඹදෙණියේ සිදු කරන ධර්ම සංගායනාව සඳහා දකුණු ඉන්දීය භික්ෂූන් වහන්සේලාට ද ආරාධනා
කළ බව සඳහන් වන අතර එසේ ගෙන්වා ගත් භික්ෂුන් අතර ථේරවාදය පිළිබඳව හසල දැනුමක් සහිත
ත්‍රිපිටකධාරී භික්ෂූන් ද වූ බව චූලවංශය වාර්තා කොට ඇත. භික්ෂූන්ට අමතරව දකුණු
ඉන්දීය කලාපයෙන් ව්‍යාකරණ, තර්කන හා ධර්ම
ග්‍රන්ථයන්ද ගෙන ආ බව කියවෙන අතර දෙවන පරාක්‍රමබාහු රජු විසින් ලක්දිව සාහිත්‍ය
උදෙසා කරන ලද සේවයට මෙම ග්‍රන්ථ වැදගත් වූ බව ද සඳහන් වේ. එමෙන්ම දෙවන පරාක්‍රමබාහු
රජු විසින් දඹදෙණිය යුගයේ දී සිදු කරන ලද මහා උපසම්පදා කර්මය උදෙසා මෙරටින් තුටු
පඬුරු යවා දකුණු ඉන්දියාවේ චෝළ දේශයෙන් උපසම්පදා භික්ෂූන් මෙරටට වැඩමවා ගත් බව ද
සඳහන් වන අතර එම උපසම්පදාව අවසානයේ ඉතිරි වූ පිරිකර සියල්ලම චෝළ දේශයට යැවිය යුතු
බවට රජු විසින් ආඥාවක් නිකුත් කළ බව ද කියවේ. ඒ අනුව පැහැදිලි වනුයේ දඹදෙණි යුගයේ
දී ද ලක්දිව දකුණු ඉන්දීය රාජධානි සමඟ කැපී පෙනෙන බෞද්ධාගමික සබඳතාවයන් පවත්වා ගත්
බව වන අතර එහි දී විශේෂයෙන්ම චෝළ රාජධානිය සමඟ පවත්වා ගත් බෞද්ධාගමික සබඳතා වඩා
වැදගත් වූ බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.
එහෙත්
චූලවංශයේ සඳහන් වන ආකාරයට දඹදෙණි යුගයේ දී චන්ද්‍රභානු විසින් ලක්දිව ආක්‍රමණය
කිරීම සඳහා චෝළ රාජධානියේ සහාය ලබා ගෙන ඇත. නමුත් දෙවන පරාක්‍රමබාහු රජු හා ලාංකීය
භික්ෂූන් නිරන්තරව චෝළ දේශය සමඟ බෞද්ධාගමික සබඳතාවයන් පවත්වා ගත් බව ඉහත
පරිච්ඡේදයේ සඳහන් කළෙමි. එබැවින් පැවසිය හැකි වන්නේ දෙවන පරාක්‍රමබාහු රජු හා චෝළ
දේශය අතර චන්ද්‍රභානු පෙරටු කොට ගත් දේශපාලන මත ගැටුම් කෙසේ වූවත් බෞද්ධාගමික
සබඳතාවයන් නම් ගැටුමකින් තොරව අන්න්‍යෝන්‍ය විශ්වාසය මත පදනම්ව ක්‍රියාත්මක වූ
බවයි. එනයින් දේශපාලනික වශයෙන් දෙරට අතර කෙතරම් යුධ ගැටුම් ඇති වූවත් එය
බෞද්ධාගමික සබඳතාවයන්ට බාධාවක් නොවූ බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.
එමෙන්ම දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූ බෝසත් විජයබාහු
රජුගේ රාජ්‍ය කාලයේ දී ලක්දිව හා දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජධානිය අතර දළඳාව
උදෙසා බෞද්ධාගමික සබඳතාවයකට එහා ගිය දේශපාලන බලතල පැතිරවීමක් ද සිදු වූ බව චූලවංශය
සඳහන් කොට ඇත. මේ පිළිබඳව චූලවංශය දක්වා ඇති තොරතුරු ඉතා කෙටි වන අතර පාණ්ඩ්‍යන්
බෞද්ධාගමික සබඳතාවයක වේශයෙන් පැමිණ දේශපාලන ආක්‍රමණයක් මෙහෙයවා දළඳාව දකුණු
ඉන්දියාව රැගෙන ගිය බව සඳහන් කොට ඇත. පසුව එම රජුගේ පුත් පරාක්‍රමබාහු කුමරු
පාණ්ඩ්‍ය දේශයට ගොස් සාමයෙන් කතා බහ කොට එරජු පහදවා දළඳාව ලබාගෙන විත් නැවත
පොළොන්නරුවේ දළඳා මාළිගයක තැන්පත් කළ බව සඳහන් වේ. ඒ අනුව මෙම අවස්ථාව ද බෞද්ධාමික
සබඳතාවයක වේශය ගනු ලබූ දේශපාලන උපක්‍රමයක් ලෙස විද්වතුන් අර්ථ දක්වන අතර මෙම
සිදුවීම ද ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පවත්වා ගනු ලැබූ බෞද්ධාගමික සබඳතාවයකට
නිදසුනක් ලෙස හඳුනාගත හැකි බව පැහැදිලි වේ.
කුරුණෑගල යුගය
කෙටි කලකට සීමා වූ යාපහුව රාජධානිය තුළ දී ලක්දිව හා
දකුණු ඉන්දියාව අතර සිදු වූ බෞද්ධාගමික සබඳතාවයන් හඳුනා ගැනීමට පැහැදිලි සාක්ෂි
නොමැති වූවත් ඉන් පසුව ආරම්භ වූ කුරුණෑගල යුගයේ කැපී පෙනෙන පාලකයා වූ හතරවන පරාක්‍රමබාහු
රජු විසින් බෞද්ධාගමට කරන ලද මහත් වූ සේවාව හේතුවෙන් දකුණු ඉන්දියාව හා ලක්දිව අතර
බුදු දහම ප්‍රමුඛ කොට ගනිමින් සබඳතා ඇති වූ බව කියවේ. ඒ අනුව රජු විසින් “චෝළ දේශයෙන් නා
නා භාෂාවන්හි විශාරද තර්කාගමධර එක් මහ තෙර නමක් මෙරටට වැඩමවා, එතුමා සිය රාජගුරු ස්ථානයේ තබා ගෙන, එතුමාගෙන් සියළු ජාතක කතා දැන ඉගෙන ගනිමින්,
පන්සිය පනස් ජාතකය සිංහලෙන් ලියවා, එය ශිෂ්‍යානු ශිෂ්‍ය
පරම්පරාවේන් පවතවා ගෙන යන ලෙස මේධංකර නම් වූ තෙරුන් වහන්සේ කෙනෙකුට පවරා දුන් බව” චූලවංශයේ සඳහන්
කොට ඇති බව කියවේ. මේ සිදුවීම පිළිබඳව චූලවංශය ගෙන හැර පාන විස්තරය මෙසේය.
...ඉක්බිත්තෙන් ඒ රජතෙමේ සොළී රටින් ආ නා නා
භාෂායෙහි විසාරද වූ තර්ගමධාරී මනාව හික්මුණු එක් මහ තෙර කෙනෙක් රජගුරු තන්හි තබා
උන්වහන්සේ වෙත සියලු ජාතකයන් නිරන්තරයෙන් අසමින්....
ඒබැවින් මේ යුගයේ දී ද නිරන්තරයෙන්ම ලක්දිව හා දකුණු
ඉන්දියානු කලාපය අතර බෞද්ධාගමික සබඳතා පැවති බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වන බව
පැහැදිලිය.
ගම්පොළ යුගය
හතරවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව කුරුණෑගල රාජධානිය
අවසන් වනුයේ බෝදා මාපාණන් දෑ නැමැත්තෙකුගේ කැරැල්ලකින් බව කියවේ. මෙම කැරැල්ල
අවධියේ දී කුරුණෑගල වැඩ වාසය කළ භික්ෂු සංඝයා අගනුවරින් පලා ගිය බව සඳහන් වන තර
ඇතැම් භික්ෂූන් දකුණු ඉන්දීය කලාපයට වැඩම කළ බව ද සඳහන් වේ. එපමණක් නොව
කුරුණෑගලින් පසුව රාජධානියට බවට පත් වූ ගම්පොළ අවධියේ දී සීලවංශ ධම්මකිත්ති නම් මහ
තෙර නමක් ගම්පොළ බෞද්ධාගමික මධ්‍යස්ථාන දියුණු කිරීමේ කාර්යයක නියැළී සිටි බව
කියවේ. එම කටයුත්තේදී දී උන් වහන්සේ තමන් දකුණු ඉන්දියාවේ වාසය කරද්දී හඳුනාගත්
ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබා ගත් බව කියවේ. ඒ අනුව දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර
දේශයේ,
අමරාවතියේ “ධන්‍යකටක” නම් විහාරය
වැඩි දියුණු කරමින් සිටි ගෘහනිර්මාණ ශිල්පීන් හා වාස්තු විද්‍යාඥයින් කණඩායමක්
රැගෙන පැමිණි මෙම භික්ෂූන් වහන්සේ විසින් ඔවුන් ලවා ගඩලාදෙණියේ අභිනව විහාරයක්
දකුණු ඉන්දීය ආන්ද්‍ර සම්ප්‍රධාය මිශ්‍ර වන ආකාරයෙන් ගොඩනැංවූ බව සඳහන් කොට ඇත. ඒ
අනුව ගල් තලාව මත තුන් මහල් සෙල්මුවා පිළිම ගෙයක් ද, සතර දිසාභිමුඛ පිළිම ගෙවල් හතරකින් සමන්විත දාගැබක් ද, පවුරු හා පදනම් ද සහිතව මෙම විහාරය සකස් කළ බව සඳහන් වන
අතර එය “සද්ධම්මතිලක
විහාරය” නමින් ප්‍රකට
වූ බව ද දක්වා ඇත.
එමෙන්ම මෙම දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන්ම යොදා ගෙන
සේනාධිලංකාර සෙනෙවි විසින් ගඩළාදෙණියට ආසන්නව ලංකාතිලක විහාරය කරවූයේ ද ලක්දිවත්
දකුණු ඉන්දියාවත් අතර මෙකල තිබූ බෞද්ධාගමික සබඳතාවයන් නිසාවෙන් යැයි කිව හැකිය. මෙය
ඉදිකළ “ගනේශ්වරාචාර්ය” නම් වූ ප්‍රධාන
ගෘහ නිර්මාණ ශිල්පියා දකුණු ඉන්දීය ආන්ද්‍ර වැසියෙකු වන බවත්, මෙකල දකුණු ඉන්දියාව හා ලක්දිව අතර තිබූ බෞද්ධාගමික
සබඳතා හා උක්තව සඳහන් කරන ලද සීලවංශ ධම්මකිත්ති හිමි දකුණු ඉන්දියාව සමඟ ඇති කර
ගන්නා ලද සබඳතා පිළිබඳවත් ගඩලාදෙණි සෙල්ලිපියේ තොරතුරු සඳහන් කොට ඇත. එබැවින්
ලක්දිව ගම්පොළ යුගයත් දකුණු ඉන්දියාව සමඟ බෞද්ධාගමික සබඳතා පවත්වාගනු ලැබූ යුගයක්
බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.
ගම්පොළ අවධියෙන් පසුව ආරම්භ වූ කෝට්ටේ යුගයට අයත් කාල සීමාවේ දී දකුණු
ඉන්දියාවේ බලවත් රාජ්‍යය වූ විජයනගර් පාලකයන් හා ලක්දිව හයවන පරාක්‍රමබාහු රජු අතර
ලක්දිව මුහුදු කලාපය අවට සාගර වෙළඳ ජාලය අල්ලා ගැනීමට තරඟයක් ඇති වූ හෙයින්
නිරන්තර ගැටළුකාරී තතවයන් උද්ගත වූ බව හඳුනාගත හැකි අතර එය දකුණු ඉන්දියාව සමඟ
බෞද්ධාගමික සබඳතා පවත්වාගැනීමට බාධාවක් වූ බව ද කියවේ. එමෙන්ම 16 වන සියවසේ පළමු දශකය තුළ සිදු වන පෘතුගීසි ආක්‍රමණ
හේතුවෙන් ද වියවුල් වූ ලක්දිව දේශපාලනයට දකුණු ඉන්දියාව සමඟ බෞද්ධාගමික සබඳතා
පවත්වා ගැනීම කෙරෙහි අවස්තාවක් ඉන් පසුව වසර ගණනාවක් යනතුරු උදා නොවන බව ද සඳහන්
කළ හැකිය. කෙසේ නමුත් පුරාතන ලක්දිව දකුණු ඉන්දියාව සමඟ පවත්වන ලද බෞද්ධාගමික
සබඳතාවයන් පිළිබඳව වැදගත් නිදසුන් උක්තව සඳහන් කරන ලද සෑම කරුණකින්ම ලබා ගත හැකි
බව පැහැදිලි වන අතර ඒ සෑම සබඳතාවයක්ම දෙපාර්ශවය අතර සාමකාමී හා අන්‍යෝන්‍ය
විශ්වාසය පෙරදැරි කරගනිමින් පැවැත්වූ බව මැනවින් ගම්‍යමාන වේ.
ආශ්‍රිත ග්‍රන්ථ
ගුණසේකර, විජයසිරි, “ලංකා-චෝළ සම්බන්ධතා හා ප්‍රථිඵල”, ශාන්ති-37 අධ්‍යාපන මාසික සඟරාව,
සංස්. කෙරමිණියේ ජිනානන්ද ස්ථවිර, 1967
තලවත්ත, අජිත්,
ශ්‍රී ලංකාවේ ගමන් මඟ වෙනස් කළ විදේශීය ආක්‍රමණිකයෝ,
2007
ධම්මරතන හිමි, හිස්සැල්ලේ, දකුණු
ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය, 1964
ධම්මරත්න හිමි, හිස්සැල්ලේ, සිංහලයේ ද්‍රවිඩ
බලපෑම, 2001
රාහුල හිමි, කුරුවිට, “දකුණු ඉන්දියාව හා ලංකාව අතර පැවති සංස්කෘතික සම්බන්දතා”, ශාන්ති
අධ්‍යාපන මාසික සඟරාව-3, සංස්. කෙරමිණියේ ජිනානන්ද ස්ථවිර, 1963
ලියනගමගේ, අමරදාස, රණවීර
ගුණවර්ධන, අනුරාධපුර
යුගය, 1961
වික්‍රමසිංහ, කේ, ඩී,
පී, අපේ සංස්කෘතික උරුමය 1 කාණ්ඩය, 1976
ශාස්ත්‍රී, නීලකණ්ඨ, දකුණු ඉන්දියා ඉතිහාසය, 1962
Superb👍
ReplyDeleteNice 👏 some sort of interesting facts
ReplyDelete