Monday, April 27, 2020

මහාතිත්ථ වරායේ වැදගත්කම


    

මාන්තායි වරාය පිළිබඳ හැඳින්වීම

ඉන්දියානු සාගර කලාපයේ ඉතා ම වැදගත් භූමිකාවක් හෙබ වූ, එමෙන්ම ලක් ඉතිහාසයේ කැපී පෙනෙන ඓතිහාසික සිදුවීම් රැසකට පාත්‍ර වූ නාවුක තොටක්, වෙළෙඳ මධ්‍යස්ථානයක් මෙන් ම පරිපාලන කේන්ද්‍රස්ථානයක් ද ලෙස මාන්තායි වරාය හඳුන්වනු ලබයි. මෙය උත්තර දේශය නම් වූ අනුරාධපුරයෙන් උතුරෙහි පිහිටා තිබූ බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන බව කියවේ. සිංහල සහිත්‍යයෙහි හා ශිලා ලෙඛනයන්හි මෙම වරාය මහාතිත්ථ, මහවොට්, මහපුටු, මහවුටු, මහවතුතොට, මහ පටුන හා මාතොට යන නාමයන්ගෙන් හඳුන්වා ඇත. ක්‍රි.ව 2 වන සියවසේ දි ටොලමි නම් වූ විදේශික භූගෝලීය ශාස්ත්‍රඥයා සිය සිතියමෙහි මෙම මහාතිත්ථය මොදොස්තු යන නාමයෙන් හඳුන්වා ඇති බව කියවේ. වත්මනෙහි මෙම වරාය හා එම කලාපය මන්නාරම යන නාමයෙන් හඳුන්වනු ලැබේ. පැරණි ශ්‍රී ලංකාවේ වරායන් අතර ප්‍රමුඛතම වරායක් ලෙසින් මාතොට හඳුන්වන අතර මෙය අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානයක්  වශයෙන් ද ක්‍රියා කළ  බව මහාතිත්ථය සම්බන්ධ කොට සිදු කරනු ලැබූ පුරාවිද්‍යාත්මක කැනීම් ඔස්සේ මෙන්ම ලිඛිත මූලාශ්‍ර ඔස්සේ ද හඳුනා ගැනීමේ හැකියාව පවතී.



මාන්තායි අවට පුරා විද්‍යාත්මක අවශේෂ මඟින් මෙම කාලාපය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ම ජනාවාස වී පැවති ප්‍රදේශයක් බව පුරාවිද්‍යාඥයින් හඳුනාගෙන ඇත. මේ ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ වංශ කතා හා අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍ර ඔස්සේ තොරතුරු විමසා බැලූ විට දීප වංශයට අනුව මාන්තායි ඉතිහාසය කුකුසඳ බුදුන් සමය දක්වා දිවෙන බව සඳහන් කොට ඇතත් මහාවංශය ඇතුළු අනෙකුත් මූලාශ්‍ර ක්‍රි.පූ 6 වැනි සියවස දක්වා මහාතිත්ථයේ අතීතය සඳහන් කර ඇති බව කියවේ. මෙම මහාතිත්ථ පිළිබඳ වංශකතාවලට හා ශිලා ලිපිවලට අමතර ව අටුවා, සද්ධර්මාලංකාරය, රසවාහිනිය, පූජාවලිය, නිකාය සංග්‍රහය, වැනි දේශීය මූලාශ්‍ර තුළ මෙන්ම ග්‍රීක, රෝම, අරාබි, හා චීන වාර්ථාවල ද, දකුණු ඉන්දීය ග්‍රන්ථ හා සෙල්ලිපිවල ද තොරතුරු සඳහන් වන බව කියවේ. විශේෂයෙන්ම නොයෙක් කාල පරිච්ඡේදයන් තුළ ලංකාවට පරිබාහිර ප්‍රදේශයන්ගෙන් එල්ල වූ ආක්‍රමණ හා සංක්‍රමණ රැසකට මෙම මාන්තායි කලාපය නැව් තොටක් වශයෙන් සම්බන්ධ වූ ආකාරය මූලාශ්‍ර ඔස්සේ හඳුනා ගත හැකි අතර ඉන් පසු ව පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස ද  මෙම භූමිය ප්‍රචලිත වූ බව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිය. ඊට අමතර ව ලක්දිව අභ්‍යන්තර කැරළි කෝළහාල හා වෙනත් පරිපාලන, ආර්ථික කටයුතු ආදියේදී ද මාන්තායි නාමය සුලබව දක්නට ලැබෙන අතර පැරණි යුගයන්හි එක් එක් පාලකයන්ගේ අවධීන් තුළ දී විදේශීය රාජ්‍යන් හා ලංකාව අතර අන්තර්ජාතික සබඳතා පවත්වා ගැනීමට යොදා ගැනුණු ප්‍රධාන වරායක් ලෙස ද මාන්තායි වරාය අර්ථ දක්වනු ලබයි. එබැවින් මහාතිත්ථය පැරණි සිංහල රාජධානියට යටත් වූ භූමි ප්‍රදේශයක් ලෙසින් ලක්දිවට මහත් බලපෑම් එල්ල කිරීමට ද සමත් වූ ඓතිහාසික ස්ථානයක් බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වන අතර එම බලපෑම් ඔස්සේ ලක්දිව සිදු වූ වෙනස්කම් මාන්තායි වරායේ වැදගත්කම ඉස්මතු කෙරෙන ප්‍රධාන අවස්ථාවන් ලෙසින් ද විද්වතුන් හඳුන්වා දෙනු ලැබේ.


මහාතිත්ථ වරායේ වැදගත්කම

ලක් ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදයන් තුළ දී මෙන්ම විවිධ පාලකයන් යටතේ ද සිදු වූවා යැයි  සඳහන් වන විවිධාකාර සිදුවීම් රැසක් අතරින් මාන්තායි වරාය හා සබැඳි සිදුවීම් සුවිශේෂිත වන්නේ ඒවා ඔස්සේ ලක්දිව ඉතිහාසය වෙනස්ම මඟකට යොමු වීම දක්නට ලබෙන නිසවෙන් බව මෙම වරාය හා එහි බලපෑම පිළිබඳ අධ්‍යනය කරනු ලබන විද්වතුන්ගේ මතයයි. එබැවින් බොහෝමයක් වූ ලක්දිව නාවික මධ්‍යස්ථාන අතුරින් මහාතිත්ථයට හිමි වනුයේ ප්‍රබල වැදගත්කමක් බව ඔවුන් සිය මතවාදයන් ඔස්සේ වැඩි දුරටත් සඳහන් කර ඇත. ඒ අනුව මහාතිත්ථ වරායේ වැදගත්කම ප්‍රමාණය කරන විට එය දේශපාලනික, ආර්ථික, සාමාජයීය හා ආගමික සංස්කෘතික යන සිව් පැතිකඩයන් ඔස්සේ ම පෙන්වා දීමට හැකියාව ලැබේ.

දේශපාලනික වැදගත්කම

මාන්තායි වරාය පදනම් කරගෙන මෙරට දේශපාලනික ක්‍රමවේදයෙහි ප්‍රථම වරට වෙනසක් ඇති වූ අවස්ථාව ලෙස වංශකතාවෙහි සඳහන් වනුයේ විජයාගමනයයි. විද්වතුන් විසින් දේශපාලනික සංක්‍රමණයක් ලෙස සළකනු ලබන මෙම සිදුවීමෙන් අනතුරුව එම පිරිස ලක්දිව එතෙක් පැවති පරිපාලන ක්‍රමවේදය ද ආක්‍රමණයක් මඟින් විපරිවර්තනය කරනු මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව මාතොට වරායට දකුණින් වූ කුදිරමළෛ තුඩුව ආසන්න ප්‍රදේශයට විජය කුමරු හා ඔහුගේ පිරිස ගොඩ බැස ඇති බවට ලිඛිත හා ජනප්‍රවාදගත තොරතුරුවල සඳහන්ය. එමෙන්ම මෙම ප්‍රදේශය අවට කැණීම් මඟින් පැරණි ජනාවාස තිබුණු බවට ද  සාධක හමුවී ඇති බව මූලාශ්‍ර දක්වන අතර ඒ ඔස්සේ ඉහත වංශකතාවන්හි දක්වා ඇති තොරතුරු සත්‍ය වන බවට ද උපකල්පනයක් ගොඩ නඟා ගත හැකිය. වංශකතාකරුවාට අනුව මාන්තායි ඔස්සේ මෙරටට එල්ල වූ දෙවන දේශපාලන සංක්‍රමණය වුයේ විජායි කුමරිය ඇතුළු ඇගේ පිරිවරෙහි පැමිණීම බව සඳහන් වේ. පඬු රටින් පැමිණි විදේශික කුමරියක වූ ඇය විජය කුමරුගේ අගමෙහෙසිය කර ගැනීම සඳහා මෙරට ගෙන්වා ගත් බව වංශකතාවේ වැඩි දුරටත් සඳහන් වේ. එතෙක් ලක්දිව පැවතියා වූ දේශීය පාලන සම්ප්‍රදායන්  හා ක්‍රමවේදයන්  ඉහත විජයාගමනයේ දී මෙන්ම මෙම සංක්‍රමණය මඟින් ද වෙනසකට බඳුන් වූ ආකාරය මූලාශ්‍ර ගත තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකිය. එබැවින් ඉන්දීය ජන කණ්ඩායම් මෙරටට සංක්‍රමණය වීම, ඔවුන් ලක්දිව ජනාවාසකරණය කිරීම මෙන්ම පරිපාලන යාන්ත්‍රණය ද වෙනසකට ලක් කිරීම යන ක්‍රියාදාමයන් රැසකටම හේතු වූ මාන්තායි නැව් තොට ලක් ඉතිහාසයේ වැදගත් දේශපාලන සංසිද්ධි දාමයක් එසේ සනිටුහන් කළ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වන අතර එම තොරතුරු මාන්තායි වරායේ දේශපාලන වැදගත්කම් අතරට ද ගත හැකි බව ඉන් තහවුරු වේ.

මාන්තායි වරායේ තවත් එක් දේශපාලන වැදගත්කමක් වනුයේ එම වරාය පදනම් කර ගනිමින් විදේශයන්ගෙන් මෙරටට හා මෙරටින් විදේශයන්ට එල්ල වූ ආක්‍රමණයි. විශේෂයෙන්ම දකුණු ඉන්දියාවෙන් එල්ල වූ ආක්‍රමණ හා දේශීය පාලකයන් දකුණු ඉන්දියාවට එල්ල කරන ලද ආක්‍රමණ මෙහි ලා කැපී පෙනේ. මන්ද යත් දකුණු ඉන්දීය කලාපයට ළඟා වීමට තිබූ පහසු මෙන්ම ආසන්නතම නැව් තොට වූයේ මන්නාරම බැවින් තම ආක්‍රමණයන් සඳහා දෙරටෙහි ම පාලකයන් යොදා ගනු ලැබුවේ මාන්තායි වරාය බව එහි පිහීටීම ඔස්සේ නිසඟයෙන්ම පෙනී යන නිසාවෙනි. ඒ අනුව ලක්දිවට මහාතිත්ථය ඔස්සේ පළමු වරට ආක්‍රමණයක් එල්ල කරනු ලබන්නේ ක්‍රි.පූ 2 වන සියවසේ එළාර නම් සොළී වෙළෙඳ නායකයෙකු විසින් බව වංශකතාවේ සඳහන්ය. වසර 44ක් ලක්දිව පාලනය කිරීමට සමත් වූ මෙම ආක්‍රමණිකයා පසුව දුටුගැමුණු කුමරු විසින් පරාජයට පත් කරන ලද බව සඳහන් වූවත් ඉන් දින 7කට පසුව එළාරගේ බෑනා කෙනෙකු වූ භල්ලුක නැමත්තෙක් නැවත මාන්තායි හරහා මෙරටට ආක්‍රමණයක් දියත් කළ බව කියවේ. ඉන් පසුව වලගම්බා රජුගේ සමයේ ඉන්දියාවේ සිට පංචද්‍රවිඩ ආක්‍රමණය මාන්තායි හරහා එල්ල වන බව වංශකතාවේ සඳහන් වන අතර ඉන් එක් ද්‍රවිඩයෙකු මෙරටින් පාත්‍ර ධාතුව ද රැගෙන නැවත සිය මව්බිම බලා නැව් නැංඟේ ද මාන්තායි වරායෙන් බව එහි දැක්වේ. තව ද ඉළනාග රජු එසමයේ ඇති වූ අභ්‍යන්තර කැරළි හේතුවෙන් මෙරටින් පලා යෑම සඳහා රජු නැව් නැග්ගේ ද මාතොටින් බව කියවේ. 15 වන සියවසේ දී රචනා වූ පැරකුම්බා සිරිත නම් කෘතියේ සඳහන්ව ඇති ආකාරයට කරිකාල නම් වූ සොළී රජුගේ වාරි කර්මාන්ත සඳහා ලංකාවෙන් ගෙන ගිය 12 000ක පිරිස නැවත ගෙන්වා ගැනීමට පළමු ගජබාහු රජු සොළී රටට පිටත්ව ගොස් ඇත්තේ ද මෙම මහාතිත්ථ වරායෙනි. හත්වන අග්ගබෝධි රාජ්‍ය සමයේ සතුරු ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන් එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා මහින්ද නම් කුමරුවෙකු මාතොට වරායේ රැඳී සිටි බව වංශකතාවේ දැක්වෙන අතර දෙවන සේන රජුගේ සමයේ සිංහල හමුදාවන් මහාතිත්ථය ඔස්සේ පඬි රට ආක්‍රමණයකට යැවූ බවත් එහි දී එම සටන ජය ගෙන සේනාව නැවත මහාතිත්ථයට පමිණි බවත් මෙන්ම ඔවුන් පිළිගැනීම සඳහා දෙවන සේන රජු මාතොට වරායේ රැඳී සිටිය බවත් කියවේ. තව ද තෙවන උදය රාජ සමයේ දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ රජු මාතොටට ගොඩ බැස එරටෙහි වූ අරගලයක් සඳහා සිංහල රජුගෙන් ආධාර ඉල්ලා සිටි බව ද මහාවංශ විස්තරයෙහි දක්වා ඇති බව කියවේ.

මාන්තායි වරාය අනුරාධපුර රාජධානි සමයේ දී පමණක් නොව පොළොන්නරු රාජධානි සමයේ දී ද පාලකයන්ගේ දේශපාලන ගැටුම් සඳහා වැදගත් වී ඇති බව හඳුනා ගත හැකිය. එනම් පොළොන්නරු රාජධානියේ මුල් පාලකයා වූ මහා විජයභාහු රජු චෝළ පාලකයන්ගෙන් මෙරටට එල්ල වූ ආක්‍රමණයට දඬුවම් දීමේ ප්‍රහාරයක් වශයෙන් 1085 දී මහාතිත්ථයට හමුදාවක් යැවූ බව මහාවංශයේ දෙවන කොටසේ සඳහන් වන අතර පොළොන්නරු යුගයේ සිටි වැදගත්ම පාලකයෙකු වූ මහා පරාක්‍රමබාහු රජු සිය විදේශ ප්‍රතිපත්තිය මත පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කිරීම සඳහා සේනාව පිටත් කර හැරියේ ද මාතොටින් බව කියවේ. තව ද 12 වන සියවසේ දී ආරියදේශයේ අධිපතියා වූ වීරදේව තම ආක්‍රමික හමුදාවත් සමඟ මාතොටට පැමිණි බවත් එම ආක්‍රමණයට ප්‍රතිප්‍රහාර වශයෙන් පළමුවන වික්‍රමභාහු රජු මාතොට තොටුපළ ආසන්නයේ දී වීරදේව පරාජයට පත් කරන ලද බවත් කියවේ. එමෙන්ම දඹදෙණි යුගයේ වැදගත්ම පාලකයා වූ දෙවන පරාක්‍රමබාහු රජ දවස දකුණු ඉන්දියාවේ කාලිංග දේශයේ සිට පැමිණි ආක්‍රමණිකයෙකු වූ මාඝ ගේ බලකොටු මහාතිත්ථයේ ව්‍යාප්ත වී තිබුණු බව ද එම වංශකතා කොටසේ  සඳහන්ව ඇති බව කියවේ. ඊට අමතරව මහනුවර යුගයේ අසහාය පාලකයා වූ පළමු වැනි විමලධර්මසූරිය රජු මහනුවර රාජ්‍ය ලබා ගැනීමට පෙර ගෝවේ සිට පැමිණියේ ද මාතොට ඔස්සේ බව රාජවලියේ සඳහන් ව ඇති බව කියවේ. එබැවින් ක්‍රි. පූ 6 වැනි සියවසේ පමණ සිට ලක්දිව දේශපාලන කාර්ය සඳහා මාන්තායි වරාය නොයෙක් ආකාරයෙන් සම්බන්ධ වී ඇති බව උක්ත කරුණු ඔස්සේ හඳුනා ගත හැකි අතර එම සිදුවීම් මාන්තායි වරායේ දේශපාලන වැදගත්කම ලෙස ද අර්ථ දැක්විය හැකි බව ඉහත සෑම නිදසුනකින්ම පැහැදිලි වේ.

ඊට අමතරව මාන්තායි වරාය ආශ්‍රිත කලාපය රාජ්‍ය පාලනයේදී ද වැදගත් කලාපයක් වූ බව මූලාශ්‍රවල සඳහන් ය. රජවරුන් තිදෙනෙකුවත් මෙම කලාපයේ සිය පාලනයන් ගෙන යන්නට ඇති බව කියවෙන අතර ඔවුන් මත්වල සෙන්, මුගයින් වැසි සෙන් හා මාවටු පටුනේ සිට රජ කළ සෙත් මහරජ ලෙස අභිලේඛනයන්හි සඳහන් වන බව කියවේ. මෙම සෙත් මහ රජුගේ රාජධානිය මාතොට බව එම මූලාශ්‍රයන්හි දැක්වෙන බවත් අනෙක් පාලකයන් දෙදෙනා අනුරාධපුර රජ වීමට ප්‍රථම මහාතිත්ථයේ ප්‍රදේශීය පාලකයන් ලෙස සිටි බවත් ඒවායේ  සඳහන් වේ. එබැවින් මහාතිත්ථය ප්‍රමුඛ එම කලාපය පැරණි රජ සමයේ පරිපාලන මධ්‍යස්ථානයක් වශයෙන් ද ක්‍රියා කරන්නට ඇති බවට උක්ත කරුණු ඔස්සේ උපකල්පනය කළ හැකි අතර එය ද මාන්තායි වරායේ ඇති තවත් එක් දේශපාලනමය වැදගත්කමක් බව එම කරුණු ඔස්සේ මැනවින් පහැදිලි වේ.

ආර්ථික වැදගත්කම

මාන්තායි වරාය ලක්දිව කැපී පෙනෙන වරායක් බවට පත් වනුයේ වරාය ඔස්සේ ලක්දිව ආර්ථිකයේ සිදු වූ අතිශය වේගවත් වර්ධනය නිසාවෙනි. ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම පමණක් නො ව විදේශීය වෙළඳාමේ ද කැපී පෙනෙන මධ්‍යස්ථානයක් වූ මහාතිත්ථයට එහි පිහිටීම ද මෙම ආර්ථික වර්ධනය උපරිම කර ගැනීම සඳහා උපකරී වූ බව කියවේ. ඒ අනුව මහාතිත්ථය ඔස්සේ සිදු කෙරුණු ලක්දිව අභ්‍යන්තර වෙළඳාම ගත් විට පෙනී යන්නේ ප්‍රධාන වශයෙන්ම අනුරාධපුර රජධානි අවධියේ දී ප්‍රචලිතම වෙළෙඳ මධ්‍යස්ථානය බවට පත් වී තිබුණේ මාන්තායි වරාය බවයි. රට අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වූ වෙළෙඳ මාර්ග රැසක්ම මහාතිත්ථයෙන් සම්බන්ධ වී ඇති ආකාරය හඳුනා ගත හැකි අතර ලක්දිව පුරා විසිරී සිටි වෙළෙඳ පිරිස් මහාතිත්ථයට විත් සිය වෙළෙඳ ද්‍රව්‍ය අළෙවි කර ගැනීමට වෙළඳ පොළක් නිර්මාණය කර ගන්නට ඇති බවත්, මහාතිත්ථයෙන් වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගෙන රට අභ්‍යන්තරයේ අළෙවිය සඳහා ගෙන යන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම මාන්තායි වරාය ප්‍රදේශයේ නාගරීකරණ ලක්ෂණ ඉස්මතු වීමටත් මෙම අභ්‍යන්තර වෙළඳාම බලපාන්නට ඇති බව කිව හැකි අතර වෙළඳාම සඳහා පැමිණෙන වෙළෙඳ පවුල් මෙම වරාය ආශ්‍රිත ව සිය වාසස්ථාන පිහිටුවා ගැනිමෙන් එවැනි නාගරික ස්වභාවයක් මහාතිත්ථයට ලැබෙන්නට ඇතැයි කිව හැකිය. මාන්තායි වරායේ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා යොදා ගත් ගමනාගමන ක්‍රමවේදයන් පිළිබඳ ද මූලාශ්‍රයන්හි තොරතුරු සඳහන් වේ. ඒවා ද මහාතිත්ථයේ ආර්ථික වැදගත්කම ඉස්මතු කොට දක්වන සාධක ලෙස හඳුනා ගත හැකිය. ඒ අනුව ගැල්, තවලම්, අශ්වරථ ආදිය ඔස්සේ වෙළෙඳ ද්‍රව්‍ය වරාය වෙත ගෙන එන්නට ඇති බවත් ඒ සඳහා යාපනයේ සිට, අනුරාධපුර අග නගරයේ සිට හා බටහිර වෙරළ ඔස්සේ ද මාර්ගයන් වැටී තිබුණු බවත් එම මූලාශ්‍රයන්හි සඳහන් විස්තර අතර වේ.

මහාතිත්ථයේ විදේශ වෙළඳාම එහි සුවිශේෂිතම ආර්ථික වැදගත්කම වේ. මන්ද යත් මහාතිත්ථය හා එහි විදේශ සබඳතා ගත් විට එහි පිහිටීම හා වරායේ ස්වභාවය වඩාත්ම සමීප වනුයේ විදේශයන් අතර සිදු වූ වෙළෙඳ කටයුතු සඳහා වූ බැවිණි. එහි දී ඉන්දියානු සබඳතාවය මහාතිත්ථයට වඩාත් වැදගත් වූ  බව විද්වතුන්ගේ මතය වන අතර ඊට අමතරව පූර්ණ බෙංගාල බොක්ක කලාපයත්, අග්නි දිග ආසියාවත්, රෝම අධිරාජ්‍ය මෙන්ම චීන අධිරාජ්‍යත් ලංකාවේ මහාතිත්ථය හා වෙළඳ සබඳතා පවත්වා ගත් අනෙකුත් කලාප වූ බව ඔවුන් සඳහන් කර සිටී. ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති නැව් තොටක් වීම හේතුවෙන් ඉතා පහසුවෙන් විදේශ නැව්වලට ලක්දිවට අවතීර්ණ වීමට මාන්තායි වරාය යොදා ගත හැකි වූ බව පැවසේ. අසල්වැසි ඉන්දීය රාජ්‍ය සමඟ මාන්තායි වරාය පවත්වා තිබූ සබඳතා අතුරින් වැඩි වශයෙන්ම කැපී පෙනෙනුයේ දකුණු ඉන්දීය රාජධානි සමඟ පැවත්වූ වෙළෙඳ සබඳතාවන් බව කියවේ. ඒ අතුරින් පාණ්ඩ්‍යන් ආදී ප්‍රමුඛ වන අතර පාණ්ඩ්‍ය පාලකයන් බොහෝ ප්‍රමාණයකට අයත් කාසි විශාල සංඛ්‍යාවක් මාන්තායි කැණීම් මඟින් හඳුනාගෙන ඇති බව කියවේ. එමෙන්ම චීන කාසි ද මෙම කැණීම් මඟින් හඳුනා ගෙන ඇති අතර චීනයෙන් ගෙන්වන ලද මැටි බඳුන්වල අවශේෂයන් ද මෙම වරාය ආශ්‍රිතව හමුවීම නිසා චීනය හා ලක්දිව අතර මහාතිත්ථය යොදා ගනිමින් සෘජු වෙළෙඳ සබඳතා ගෙන ගිය බව ඉන් පැහැදිලි වේ. ඊට අමතරව පැරණි යුගයේ යුරෝපීය වෙළෙඳ කණ්ඩායම් ආසියාවට පැමිණ වෙළෙඳ ද්‍රව්‍ය රැගෙන ගිය බවට ද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්හි තොරතුරු හමුවේ. ඒ අනුව මාන්තායි වරාය හා රෝමය අතර වෙළෙඳ සබඳතා තිබූ බව වරාය ආශ්‍රිත කැණීම් ඔස්සේ ලැබුණු රෝම කාසි මඟින් පැහැදිලි වන අතර කොස්මස් වැන්නවුන්ගේ වාර්තාවන්ට අනුව පර්සියාවෙන්, ඉතියෝපියාවෙන් ආදි ප්‍රදේශයන්ගෙන් ද මහාතිත්ථයට නැව් පැමිණි බව සඳහන් කර ඇත. පැරණි යුගයන්ට අමතරව නූතන ඉතිහාසය තුළ ද මහාතිත්ථය පදනම් කර ගනිමින් යුරෝපීය වෙළෙඳ ජාලයක් ක්‍රියාත්මක වී තිබී ඇති අතර ඒ අනුව 16 වැනි සියවසේ පමණ සිට පෘතුගීසීන් හා ලන්දේසීන් ද ලක්දිව සමඟ සබඳතා පවත්වා ගත් අයුරු ඔවුන්ගේ කාසි වර්ග කිහිපයක්ම මේ ප්‍රදේශයේ කැණීම් ඔස්සේ හමුවීමෙන් පැහැදිලි වේ. මාන්තායි ඔස්සේ සිදු කෙරුණු මෙම විදේශ වෙළඳාම් ඔස්සේ හුවමාරු වූ ප්‍රධානතම වෙළෙඳ ද්‍රව්‍ය වූයේ මුතු හා මැණික් බව කියවේ. ඊට අමතර හක් බෙලිකටු, ඇත් දළ, වීදුරු හා පබළු, කුළුබඩු, ලී වර්ග, සේද, අගිල්, කරාබු නැටි, සඳුන් දර ආදී විවිධාකාර වෙළඳ ද්‍රව්‍ය වූ බව මූලාශ්‍රයන් හි සඳහන් වේ.

එමෙන්ම මාන්තායි වෙළෙඳ මධ්‍යස්ථානය හා සබැඳි නිලධාරීන් පිරිසක් වූ මහපුටුලද්දන් පිළිබඳ ද මාතොට ආසන්නයෙන් හමු වූ කච්චේරි ලිපියේ සඳහන් කර ඇත. මෙම නායක කණ්ඩායම පිළිබඳ පාලි රසවාහිනිය තුළ ද සඳහන් වන බැවින් එම තනතුර මහාතිත්ථ වරායේ යම්කිසි ආර්ථිකමය පරිපාලන කටයුත්තක් සඳහා යොදවා තිබූ නිළයක් වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. පරණවිතානයන්ගේ මතයට අනුව මහපුටුලද්දන් හෙවත් මහවුටු ලද්දන් යනු මහාතිත්ථ වරායේ පරිපාලනය සඳහා යොදවා සිටි නිලධරයාය. ක්‍රි.ව 9 වන සියවසේ එවැනි තනතුරු ලබා දිම ආරම්භ කර ඇති බව සඳහන් වන අතර ඉන් උපකල්පනය කළ හැකි වන්නේ එසමයේ මාන්තායි වරාය හා සබැඳි ආර්ථිකය රාජධානියේ පැවැත්ම සඳහා බලපානු ලැබූ ප්‍රධානතම ක්‍රියාදාමයන්ගෙන් එකක් වන්නට ඇති බවයි.

එමෙන්ම මාන්තායි වරායෙන් ලබා ගත් අතැම් බදුවර්ග පිළිබඳ ද සාහිත්‍ය මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඔස්සේ තොරතුරු ලැබෙන බව කියවේ. ඒ අනුව වෙළඳාමෙන්, වෙළෙඳුන්ගෙන් හා විදේශිකයන්ගෙන් මෙසේ බදු ලබා ගෙන ඇති බව කියවේ. වරාය භාවිතා කිරීම වෙනුවෙන් ද බද්දක් ගෙවීම අනිවාර්ය වී ඇති අතර මෙම මාන්තායි වරායේ බදු ආදායම පැරණි රාජධානිය තුළ ප්‍රධානම මූල්‍ය ක්‍රමවේදයක් වූ බව ද එම මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිය. එබැවින් උක්තව සඳහන් කරන ලද සෑම නිදසුනකින්ම මාන්තායි වරායේ ආර්ථික වැදගත්කම පෙන්වා දිය හැකි බව පැහැදිලි වන අතර පැරණි යුගයේ පමණක් නොව නූතනයේ ද මාන්තායි වරාය යනු මෙරටට විශාල වශයෙන් ආර්ථික වෙනස්කම් ඇති කිරීමට සමත් වූ නාවික තොටුපළක් බව සඳහන් කළ හැකිය.

සමාජීය වැදගත්කම

මාන්තායි වරායේ සමාජමය වැදගත්කම ගත් කළ එය ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ මාතොට ඔස්සේ මෙරටට එල්ල වූ සංක්‍රමණ හා ආක්‍රමණ ඔස්සේ වෙනස් වූ මෙරට සමාජ තත්වයන්ය. ඒ අනුව ප්‍රධාන වශයෙන්ම සඳහන් කළ හැකි වන්නේ විජයාගමනය හා ඉන් ඇති වූ සමාජ විපර්යාසයන්ය. එතෙක් ලක්දිව වාසය කළ දේශීය ගෝත්‍රික පිරිස් සමූල ඝාතනය කරමින් නව පරිපාලන රටාවක් ඔවුන් බිහි කළා සේම ජනාවාස ව්‍යාප්තිය හේතුවෙන් නව සමාජ සිරිත් විරිත් ක්‍රමයෙන් මෙරට ව්‍යාප්ත වීම ද ඉන් ඇරඹුනු බව කිව හැකිය. තව ද පරණි රාජධානි සමයේ සිට මෙන්ම මහනුවර යුගය දක්වාම විවිධ කාල පරිච්ඡේදයන් තුළ දී මහාතිත්ථය ඔස්සේ එල්ල වූ ආක්‍රමණත් සමාජමය වෙනස්කම් ඇති කිරීමට බොහෝ වශයෙන් බල්පා බව විද්වතුන්ගේ මතයයි. විශේෂයෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණික පාලකයන් මෙරටට විත් සිය පාලනයන් ගෙන යන විට නිබඳවම දකුණු ඉන්දීය සමාජ සිරිත් විරිත් ද මෙරටට ලැබීම සිදුවේ. එමෙන්ම ගජභාහු වැනි පාලකයින් මහාතිත්ථය ඔස්සේ පිටත් වී ඉන්දියාව ආක්‍රමණය කොට මෙරටට පිරිස් රැගෙන ආ බවට වංශකතාවේ දක්වෙන විස්තරයට අනුව එම පිරිස් මෙරට ස්ථාවර වාසස්ථාන ඇති කර ගත්තේ නම් එය ද සමාජමය වෙනස්කම් ඇති වීමක් ලෙස අර්ථ නිරුපණය කළ හැකිය.

එමෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍රයන්ට අනුව මහාතිත්ථය පරිපාලන මධ්‍යස්ථානයක් වූවා සේම පහසුකම් සහිත නගරයක් ද වී තිබූ බව විද්වතුන් සිය මතවාදයන් ඔස්සේ සඳහන් කර ඇත. එයට නිදසුන් ලෙස ඔවුන් දක්වන්නේ වළගම්බා රාජ්‍ය සමයේ දී මෙම නැව් තොට කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ පංච ද්‍රවිඩ ආක්‍රමණය සමයේ මහාතිත්ථය ග්‍රාම යන පදය නොමැතිව මහාතීර්ථ ලෙස සඳහන් කර ඇති බවයි. තීර්ථ යන්නෙන් අදහස් කරනුයේ නගරය යන්න්‍ර සමාන අර්ථයක් බව දක්වන ඔවුන් සුඛෝපභෝගී නාගරික සමාජයක් මාන්තායි වරාය අවට වාසය කරන්නට ඇති බවට ද අදහසක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම චීනයට හා රෝමයට අනන්‍ය වූ මැටි බඳුන් කැබලි ආදිය මෙම වරාය ප්‍රදේශයේ කැණීම් ඔස්සේ හඳුනා ගෙන ඇති බැවින් මෙම සමාජයේ වැසියා සුඛෝපභෝගීත්වය අගය කළ දියුණු නාගරික සමාජයක් වන්නට ඇතැයි යන මතය  සාවද්‍ය නොවන බවට ද කිව හැකිය.

එමෙන්ම පරණවිතානයන් විසින් පරිවර්තනය කරනු ලැබූ සීගිරි ගී එකතුව තුළ උතුරුපස ප්‍රදේශයේ පැරණි උගතුන් විසින් රචනා කරන ලද කවි කිහිපයක මහාතිත්ථය හා එහි සමාජමය වැදගත්කම පිළිබඳව හඳුනාගත හැකි විස්තර අඩංගු වන බව කියවේ. ඒ අනුව එම කවි පන්ති තුළින් ක්‍රි.ව 8 හා 9 සියවස්වල මාන්තායි ආශ්‍රිත සමාජයේ ජීවත් වූ  වැසියා සතුව තිබූ භාෂා සාහිත්‍ය හා රසකාමී බව හෙළි වන බව  විද්වතුන් සඳහන් කර සිටී. එමෙන්ම 1987 දී මාතොට වරාය ආශ්‍රිත කැණීමක් ඔස්සේ ලැබුණු වළං කබල්ලක යම් කිසි පැරණි අක්ෂර ත්‍රිත්වයක් දක්නට ලබෙන බව කියවේ. තව ද එම වළං කැබැල්ලේ චිත්‍ර සටහන් ඇඳීමක් ද සිදු කර ඇති බවත්, එම චිත්‍රය වානර ජාතකය විය හැකි බවත් තිලකරත්න ජයසේකර මහතා පවසන බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.


ආගමික හා සංස්කෘතික වැදගත්කම

මාන්තායි වරාය හා සබැඳි ආගමික හා සංස්කෘතික වැදගත්කම් ද බොහෝමයකි. ඒ අතුරින් බුදු දහම හා සම්බන්ධ තත්වයන් වැඩි වශයෙන් හමු වූවත් අන්‍ය ආගමික සබඳතා සඳහා ද මෙම නැව් තොට භාවිතා වී ඇති බව විවිධ මූලාශ්‍රයන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව සාහිත්‍ය මූලාශ්‍රයන් ඔස්සේ හෙළි වන මහාතිත්ථයේ ආගමික වැදගත්කම ගත් කළ සූත්‍ර වස්තුව නම් පැරණි බෞද්ධාගමික කෘතියේ ලක්දිව භික්ෂූන් වහන්සේලා හැට නමක් ශ්‍රී මහා බොර්ධිය වන්දනාව පිණිස මාවටු තොටින් නැව් නැඟි බව සඳහන් වේ. එමෙන්ම විශුද්ධිමාර්ගය කෘතියේ චුල්ල සිව නම් තෙරුන් වහන්සේ නමක් මාවට්ටුයෙන් නැව් නැඟ දඹදිවට ගොස් දඹදිව වාසීන්ගේ ආපෝ කසිත නිමිත්ත උපදවා ගත් බව කියවේ. එලෙසම ලාංකීය අටුවා ග්‍රන්ථයක් වූ ඥාණාවිභංග අටුවාවේ සඳහන් වන පරිදි වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ මහා දුර්භීක්ෂයේ දි විදේශ ගත වූ භික්ෂූන් මහාතිත්ථයෙන් යළි ලක්දිවට ගොඩ බට බව කියවේ. එබැවින් මෙවැනි ලිඛිතමය තොරතුරු මහාතිත්ථයේ ආගමික වැදගත්කම බොහෝ වශයෙන් මතු කර දක්වන සාධකයන් බව මෙම තොරතුරු ඔස්සේ පැහැදිලි වන අතර පුරාවිද්‍යා මූලාශ්‍රයන් මඟින් ද මෙම නාවික තොටුපළෙහි ආගමික වැදගත්කම ඉස්මතු කර දක්විය හැකිය.

ඒ අනුව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් ලෙස මාන්තායි වරාය හා ඒ ආසන්නයෙන් විශාල වශයෙන් සෙල්මුවා බුදු පිළිම සොයා ගෙන ඇති බව කියවේ. ඒවා අතර හිටි පිළිම, සමාධි පිළිම, ශීර්ෂය සහිත හා රහිත පිළිම ආදී නොයෙකුත් වර්ගයේ බුදු පිළිම වන බව දක්වා අත. එබැවින් එම පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ ද මාන්තායි වරාය ආශ්‍රිතය පැවති බෞද්ධාමික සම්ප්‍රධායන්ට අයත් ලක්ෂණ හඳුනාගත හැකි බව ඉන් තහවුරු වන අතර එම තත්වය මාන්තායි වරායේ ආගමික වැදගත්කම පැහැදිලිව පෙන්නුම් කරන නිදර්ශනයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.

බෞද්ධාගමට අමතරව අන්‍යා ආගමික තොරතුරු ද මෙම මාන්තායි වරාය කලාපයෙන් හඳුනාගෙන ඇත. එහි දී විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ පැවති හින්දු ආගමික මධ්‍යස්ථායක වූ තිරුකේශ්වරම් නම් දෙවොලක් පිළිබඳව දකුණු ඉන්දීය ලිඛිත මූලාශ්‍රයන් තුළ බෙහෙවින් වර්ණනා කර ඇති බව සඳහන් වේ. එමෙන්ම ලාංකීය සෙල්ලිපි සාධක ඔස්සේ ද මෙම මහාතිත්ථ වරාය අවට ජීවත් වූ බෞද්ධ නොවූ අන්‍ය ආගමිකයන් ප්‍රාණ ඝාතය සිදු කළ බවට ද පුවතක් හඳුනාගෙන ඇත. එමෙන්ම මහාතිත්ථය වරාය ආසන්නයෙන් සිදු කරන ලද තවත් කැණීමක් ඔස්සේ තාරා දෙවඟනගේ ලෝකඩ ප්‍රතිමාවක් හඳුනාගෙන ඇති අතර එනිසාම එම කලාපයට මහායාන දහමේ බලපෑම ද ලැබී තිබෙන්නට ඇති බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව බෞද්ධාගමට අමතරව වෙනත් ආගම් රැසක් මාන්තායි වරාය ආශ්‍රිතව ව්‍යාප්තව තිබෙන්නට ඇති බව ඉන් පැහැදිලි වන අතර උක්ත සෑම නිදසුනකින්ම මාන්තායි වරාය හේතුවෙන් ඇති වූ ආගමික වැදගත්කම මැනවින් පෙන්නුම් කරන බව කිව හැකිය.


මූලාශ්‍ර

ගුණවර්ධන, ආර්. එල්. ඒ. එච් සහ තවත් අය, උරුමයක ආවර්ජන, සිරිමා කිරිබමුණ, 2007
මුණසිංහ, ඉන්ද්‍රාණි, ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවාහනය, 2000
විජේතුංග, සිරිසමන්, වල්ලිපුරම් රන්සන්නස හා හෙළ උරුමය, 2003
වීරසිංහ, පී, සිංහල සිංහයා හා මන්නාරමේ පුරාවස්තු, 1989





Share:

facebook share twitter share

3 comments: