Friday, May 1, 2020

රජරට සභ්‍යත්ව සමයේ ලංකාවේ වෙළෙඳ කටයුතු


අතීත ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේහි ලා දායක වූ විවිධාකාර ක්‍රමවේදයන් අතර වෙළඳාම යන සාධකයට හිමි වනුයේ සුවිශේෂිත ස්ථානයකි. මුල් ඓතිහාසික යුගයටත් පෙර කාලයේ පවා ලක් වැසියන් වෙළඳ කටයුතුවල යෙදුණු බවට හඳුනාගත හැකි විවිධ පුරාවිද්‍යාත්මක සාධක වත්මනෙහි හමුවී ඇත. ඒ අනුව මුල් සමයන්හි පටන් වෙළඳාම යන ක්‍රියාවලිය ලක්දිව ජනප්‍රිය මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් ලෙස පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මුල් කාලයෙන් අනතුරුව ලක්දිව ලිඛිත ඉතිහාසයක් ගොඩනැඟිය හැකි රාජධානි බිහි වූ යුගයේ දී වෙළඳාම ලාංකීය සමාජය තුළ ඉතා ඉහළ මට්ටමේ ආර්ථික ක්‍රමවේදයක් ලෙස පවති බව පැරණි වංශකතා මඟින් පමණක් නොව අනෙකුත් සාහිත්‍යමය මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් ද හඳුනාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන් වෙළඳාම ජනප්‍රියව පැවති බව කිව හැකි අතර රටේ රජුගේ පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයා ද එක්සේ වෙළඳාමට නැඹුරුව සිටි බවට සාක්ෂ්‍ය සුලභව හමුවේ. පළමුවරට මෙරට වෙළඳ කටයුතු පිළිබඳව සඳහන් කොට ඇති මූලාශ්‍රය වනුයේ දීපවංශය බව කියවේ. ඊට අමතරව මහාවංශය, සීහලවත්ථූපකරණය චූලවංශය වැනි සාහිත්‍ය කෘති මෙන්ම විවිධ රජවරුන් විසින් පිහිටුවන ලද සෙල්ලිපි, කාසි මෙන්ම නටඹුන් මඟින් ද අතීත ලංකාවේ වෙළෙඳ කටයුතු පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. මෙම මූලාශ්‍රවලට අනුව අතීත ලංකාවේ පැවති වෙළෙඳාම ප්‍රධාන වශයෙන්ම ආකාර ද්විත්වයකින් ක්‍රියාත්මක වූ බව කිව හැකිය. එනම්, අභ්‍යන්තර වෙළඳාම හා විදේශ වෙළඳාමයි.



ලක්දිව මුල් ඓතිහාසික යුගයේ පැවති විදේශ වෙළඳාම

ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර අවධියේ සිටම මෙරට හා විදේශයන් අතර වෙළඳාම් කටයුතු සිදු වී ඇත. ඒ අනුව වර්තමාන පුරාවිදු කැණීම් මඟින් සොයා ගන්නා ලද තොරතුරු ඔස්සේ එම ක්‍රියාකාරකම් පිළිබඳව නිගමනයන්ට එලැඹිය හැකි අතර නිශ්චිත සාහිත්‍යමය සාක්ෂි නොවූවත් පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ එම වෙළඳ කටයුතු පැවැත්වූ ආකාරය හඳුනා ගැනීමට හැකියාව ලැබේ. අනුව ඉබ්බන්කටුව ආශ්‍රයෙන් හමුවන ලක්දිව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ජනයා විසින් ස්වකීය සොහොන් තුළ තැන්පත් කිරීම සඳහා යොදා ගත් ද්‍රව්‍යාත්මක සාධක අතර විදේශයකින් ගෙන්වන ලද පබළු විශේෂයක් හමුවේ. නමින් කානීලියන් පබළු ලෙස හඳුන්වන එම පබළු ඉන්දියාවෙන් ගෙන්වන ලද පබළු විශේෂයක් බව විද්වතුන්ගේ මතයයි. එපමණක් නොව ඒම සොහොන් ආශිතවම හමු වූ ඇගේට් නම් අර්ධ පාෂාණමය මාණික්‍යයන් ද ලංකාවේ දක්නට නොමැති එහෙත් ඉන්දියාව වැනි විදෙස් රටකින් ගෙන්වන ලද පාෂාණ බව කියවේ. එබැවින් මෙවැනි අමුද්‍රව්‍ය ලක්දිවට ලැබීමට නම් දෙරට අතර වෙළෙඳාමකට සමාන ආකාරයේ සබඳතාවක් තිබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම ලක්දිවෙන් කුමන හෝ ද්‍රව්‍යක් ඉන්දියාවට ලබා දී ඒ වෙනුවෙන් කානීලියන් හා ඇගේට් වැනි පාෂාණ වර්ග ලක්දිව වැසියන් සිය සුඛෝපභෝගී දිවිය වෙනුවෙන් ලබා ගන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. එබැවින් ලක්දිව ලිඛිත ඉතිහාසය ආරම්භ වීමටත් පෙර සිටම එනම් ක්‍රි. පූ 700-450 අතර කාලයේ සිටම ලක්දිව හා විදේශයන් අතර වෙළෙඳාමක ස්වරූපයේ සබඳතාවන් තිබුණු බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

ඉන් අනතුරුව ලක්දිව හා විදේශයන් අතර වෙළෙඳ සබඳතා පැවති බවට තොරතුරු ලැබෙනුයේ මුල් ඓතිහාසික යුගයෙන්ය. එනම් ලක්දිව ශිෂ්ටාරික සමයේ ප්‍රාරම්භක අවස්ථාවේදීය. ෆාහියන් වැනි චීන දේශාටකයන්ගේ වාර්ථාවන්ට අනුව මෙරට ජනාවාස කළ විජය ඇතුළු පිරිස වෙළෙඳ කණ්ඩායමකි. සිංහල නම් වූ වෙළෙඳෙකු පිළිබඳව ෆාහියන් දක්වන විස්තරය මෙහි දී වැදගත් වේ. විශාල නැව් මඟින් ඉන්දියානු කලාපය අවට වෙළඳාමේ යෙදුණු ඔවුන් ලක්දිව තම්බපන්නියට පැමිණීමෙන් අනතුරුව දේශීයයන් මරා රාජ්‍යත්වය ලබා ගෙන ඇත. එපමණක් නොව වලාහස්ස ජාතකය වැනි ජාතක කතා හා මහාවංශයේ සඳහන් වන මුල් කාලීන ඉතිහාසය තුළ ද දිවයිනට පැමිණෙන විදේශ වෙළෙඳුන් රවටා භාණ්ඩ ලබා ගත් දේශීය යක්ෂ හා නාග ගෝත්‍රිකයන් පිරිසක් පිළිබඳව සඳහන් කොට ඇත. මෙම ගෝත්‍රිකයන් අදෘෂ්‍යමාන වූ බවත් මිල ගණන් සඳහන් කොට ඒවා වෙරළේ ප්‍රදර්ශනය කරවූ බවත් පසුව විදේශීය වෙළෙඳුන් විසින් ඒ ඒ මිල ගණන් තබා භාණ්ඩ රැගෙන ගිය බවත් ආදී වශයෙන් ෆාහියන් හිමි සඳහන් කොට ඇත. එබැවින් මුල් ඓතිහාසික යුගයේදීත් ලංකාව විදේශ වෙළඳාමේ යෙදී සිටි බව උක්ත කරුණු ඔස්සේ මැනවින් තහවුරු වන බව කිව හැකිය.


අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට ක්‍රි.ව 1000 අතර කාලය දක්වා ලක්දිව පැවති විදේශ වෙළඳාම

වරාය හා තොටුපළ ක්‍රියාකාරීත්වය

අනුරාධපුර අවධිය තුළ සිදු කෙරුණු විදේශීය වෙළඳාම පිළිබඳව අධ්‍යනය කිරීමේ දී පළමුවෙන්ම හඳුනාගත යුත්තේ එම විදේශ වෙළඳාමය උපයෝගී කරගනු ලැබූ ලක්දිව වරායන් හා තොටුපොළවල් පිළිබඳවය. ඒ අනුව ප්‍රමාණවත් සාධක හමුනොවෙන නමුත් මෙරට වරාය හා තොටුපොළ ක්‍රියාකාරීත්වය විමසීමට සිංහල සාහිත්‍ය ග්‍රන්ථ, පාලි වංශ කතා, සෙල්ලිපි මෙන්ම විදේශීය ලේඛකයන්ගේ කෘතීන් ද ඉතාමත් වැදගත් වේ.

ඒවාට අනුව අනුරාධපුර මුල් අවධියේ දී බහුල වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබූ වරාය වනුයේ ජම්බුකෝල හා මහාතිත්ථ වරායන්ය. මෙරට වංශකතා තුළ නිතරම සඳහන් වන වරායන් ද්විත්වය වන මේවා ප්‍රථමව භාවිතා කරන ලද්දේ කවර කාලයකදී ද යන්න පිළිබඳව දැක්වීම අවිනිශ්චිත වේ. උතුරු ඉන්දියාවේ තාම්‍රලිප්ත්තිය බලා පිටත් වූවන් නිරන්තරව ජම්බුකෝල වරාය භවිතා කළ බවත් එහි දී ඉන්දියාවේ වංග දේශය සමඟ සබඳතා පැවත්වූ බවත් වංශකතා තුළ සඳහන් වේ. එසේම අනුරාධපුරයේ සිට මෙම වරාය දක්වා ප්‍රධාන මාර්ගයක් වූ බව ද, මෙරටින් ආනයනය කරන භාණ්ඩවල ප්‍රධාන අයිතිය රජු සතු වූ බැවින් අනුරාධපුර රාජධානියට වඩා සමීප වූ ජම්බුකෝල වරායට වැටී තිබූ මාර්ගය ඔස්සේ වෙළෙඳ ද්‍රව්‍ය ගෙන ගොස් එහි සිට ජම්බුකෝල වරායෙන් ඉන්දියාවට වෙළඳාම් කටයුතු සිදු කරන්නට ඇති බව කිව හැකිය. නමුත් දේවානම්පියතිස්ස රජුගෙන් පසුව මෙම වරාය පිරිහීමට පත් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වන අතර එසේ වන්නට ඇත්තේ ජම්බුකෝලයටත් වඩා අනුරාධපුරයට ආසන්න වූ මහාතිත්ථය ජම්බුකෝල වරාය අභිබවමින් වැඩි දියුණු වීමේ ප්‍රතිඵලයක් නිසාවෙන් යැයි කිව හැකිය.

මන්නාරමට මුහුණලා පිහිටි මහාතිත්ථවරාය ඉන්දියානු කලාපයට ආසන්නව පිහිටීම හේතුවෙන් ඉන්දියාව සමඟ වූ වාණිජ කටයුතුවල දී ඉතාමත් වැදගත් වූ බව කිව හැකිය, විශේෂයෙන්ම අනුරාධපුරයේ සිට මල්වතු ඔයේ නිම්නය ඔස්සේ වැටී තිබූ මහාමාර්ගයකින් අනුරාධපුරයේ වූ වෙළෙඳ ද්‍රව්‍ය මහාතිත්ථයට ගෙනවුත් ඉන් පසුව විදේශයන් බලා පිටත් වූ බව කියවේ. එපමණක් නොව මාතිත්ථයෙන් සොයා ගන්නා ලද රෝම, චීන, අරාබි කාසි, මැටි බඳුන්, නටඹුන්, පබළු ආදියෙන් අණාවරණය වනුයේ ක්‍රි.ව. පළමු සියවස්වල පමණ සිට මහාතිත්ථය ප්‍රභල විදේශීය වෙළෙඳ කටයුතු හැසිරවූ මධ්‍යස්ථානයක් වූ බවයි. කොස්මස් ද සිය කෘතියේ එය තහවුරු කොට ඇති අතර හුවුඩ්-අල්-අලාම් නම් අරාබි ජාතිකයා මහාතිත්ථය පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

හින්දුස්තානය (ඉන්දියාව) දෙසට මුහුණලා පිහිටි (මේ දිවයින) කෙළවරේ මුවාස් (මහාතිත්ථ) නමින් විශාල නගරයක් ඇත. මේ දිවයිනේ නිෂ්පාදනය කරනු ලබන සියලුම දේ ඒ නුවරටත් එමඟින් ලෝකයේ සියලුම නගර වලටත් ගෙනියනු ලැබේ.”

මින් තහවුරු වන්නේ අනුරාධපුර අවධියේ දී මහාතිත්ථය විදේශ වෙළඳාමේ දී ඉතාම වැදගත් වූ බවයි. එමෙන්ම මහාතිත්ථ වරායේ සිදුවන විදේශ වෙළඳාමේ දී ඉන් තීරුබදු අය කර ගැනීමට අනුරාධපුර පාලකයා නිළධාරීන් පත් කොට සිටි බව ද සඳහන් වේ.

අනුරාධපුර අවධියේ විදේශීය වෙළඳාමේ දී වැදගත් වූ වරායන් අතුරින් ඌරාතොට වරාදය ද කැපී පෙනේ. විශේෂයෙන්ම මුතු කිමිදීම හෙවත් මුතු කර්මාන්තය සිදු කෙරුණු කලාපය ලෙස මෙම ඌරාතොට හඳුන්වනු ලබන අතර මුතු රැස් කොට ඒවා විදේශයන්ට විකිණීමට රැගෙන යාමත්, විදේශීය වෙළෙඳුන් මෙහි පැමිණ මුතු මිල දී ගැනිමත් ඌරාතොට ඔස්සේ සිදු වූ බව සඳහන් වේ.

එමෙන්ම ගෝකණ්න්න වරාය ද අනුරාධපුරයෙන් පසු සමයේ දී ඉතා වැදගත් වූ වරායක් වන අතර ඉන්දියාවේ නැගෙනහිර කලාපයත් සමඟ වෙළෙඳ ගණුදෙණු තුළ දී ඉතා වැදගත් වූ වරාය මෙය ලෙස සැළකේ. එමෙන්ම ඈත පෙරදිග සමඟ වාණිජ කටයුතුවලදීත් මෙම වරාය වැදගත් වී ඇති අතර අනුරාධපුරයටත් වඩා ඊට පසු ලක්දිව රාජධානි වූ පොළොන්නරුව හා ඊට පසු නිරිත දිග රාජධානි සමයන්හි දී මෙහි වටිනාකම වර්ධනය වූ බව කිව හැකිය.

එමෙන්ම උක්ත කාලයෙ දී එතරම් භාවිතයට නොගැනුණු නමුත් රෝහණයේ පාලකයින් විසින් භාවිතා කරනු ලැබූ අනෙක් වෙළෙඳ වරාය වනුයේ ගොඩවාය හෙවත් ගොඩපවත වරායයි. විශේෂයෙන්ම අනුරධපුර රාජධානිය ආක්‍රමණිකයින් විසින් අත්පත් කරගනු ලැබූ අවස්ථා උක්ත කාල පරාසය තුළ බොහෝ දුරට දැකිය හැකි අතර ඒ සෑම අවස්ථාවකම ස්වධීන වූ රෝහණය සිය විදේශ වෙළෙඳ කටයුතු ගොඩවාය වරාය ඔස්සේ සිදු කළ බව සඳහන් වේ.  විශේෂයෙන්ම යුරොපා කලාපයේ සිට ඈත පෙරදිග කලාපයට යෙදුණු චීන වෙළෙඳ මාවත තුළ කැපී පෙනෙන වෙළෙඳ වරායක් වූ මෙය විවිධ කාල පරිච්ඡේද තුළ විවිධ පාලකයින් විසින් සිය විදේශ වාණිජ කටයුතු සඳහා උපයෝගී කොට ගෙන ඇත. ගොඩපවත සෙල්ලිපියෙන් එය තහවුරු වන අතර එම ලිපියේ සඳහන් කොට ඇති ආකාරයට ගොඩපවත තොටුපළ ඔස්සේ සිදු කරන ලද විදේශ වෙළෙඳ කටයුතු මඟින් එක් රැස් කර ගන්නා ලද තීරු බදු එහිම පිහිටි විහාරස්ථානයකට පූජා කළ බව දක්වා ඇත.

එබැවින් යට කී කරුණු අනුව උක්ත කාල පරිච්ඡේදය තුළ දී ලක්දිව විදේශ වෙළඳාමේ දී වැදගත්ම වූ වරායන් ලෙස ජම්බුකෝලය හා මහාතිත්ථය පෙන්වා දිය හැකි අතර ගෝකණ්න, ඌරාතොට හා ගොඩවාය එම කාල සීමාවේ දී කැපී පෙනෙන විදේශ වාණිජ කටයුතුවල නිරත නොවූවත් ලක්දිව විදේශ වෙළඳාම යන ක්‍රියාදාමයේ දී ඉතාමත් වැදගත් වූ වෙළෙඳ වරායන් ලෙස පෙන්වා දිය හැකි බව ඉහත දක්වන ලද කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.


ආනයන හා අපනයන වෙළෙඳ භාණ්ඩ

මුතු: ලංකාවෙන් විදේශයන්ට යවන ලද භාණ්ඩ අතර විශේෂ ස්ථානයක් හිමි වනුයේ මුතු සඳහා බව කියවේ. විජය හා දේවානම්පියතිස්ස රජවරුන් ඉන්දියාවට මුතු තුටු පඬුරු වශයෙන් මුතු යැවූ බව මහාවංශයේ සඳහන් වන අතර අට වර්ගයක මුතු එකළ ලංකාවේ දක්නට ලැබුණු බව ද එම මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. ඌරාතොට ආශ්‍රිත කලාපය මුතු කිමිදීම සඳහා භාවිතා කරනු ලැබූ මුහුදු ප්‍රදේශය වන අතර ටංටායුවන් නම් චීන දේශාටකයා දක්වා ඇති ආකාරයට මුතු කිමිදීමෙන් ලැබෙන මුතු අතුරින් භාගයක් රජුට හා ඉතිරි කොටස විදේශ වෙළඳාම සඳහා යොදවා ඇත. එහෙත් පාහියන් හිමි විසින් මණි යනුවෙන් දක්වා ඇත්තේ මුතු පිළිබඳව නම් මුතු කිමිදීමේ පූර්ණ අයිතිය රජු සතු වූ බවත් දක්වා ඇත. කෙසේ නමුත් එම වාර්ථාකරුවන් දෙදෙනාම දක්වන තොරතුරු මඟින් පැහැදිලි වනුයේ මෙම කාල පරිච්ඡේදය තුළ ලක්දිව විදේශ වෙළඳාමට යොදා ගනු ලැබූ ප්‍රධානම වෙළෙඳ ද්‍රව්‍යක් ලෙස මුතු පැවති බවයි.

මැණික්: අතීතයේ සිටම ලක්දිව මැණික් සඳහා ප්‍රචලිත කලාපයක් වී ඇත්ති අතර කෞටිල්‍ය පවා සිය අර්ථශාස්ත්‍ර කෘතියේ ලක්දිව මැණික් උපදින ස්ථානයක් ලෙස අර්ථ දක්වා ඇති බව කියවේ. මැණික් රජුට අයත් වූවත් එය ගැරීම සඳහා ජනතාවට අවසර තිබූ අතර රජුගේ අනුමැතිය පරිදි විදේශයන්ට අළෙවි කිරීමට ද හැකියාව තිබී ඇත. විශේෂයෙන්ම මෙසේ මැණික් විදේශයට අළෙවි කළ පසු ඉන් බදු අය කර ගැනීමත් රජුගේ නිළධාරීන් විසින් සිදු කළ බව වංශකතා අධ්‍යනය කිරීමෙන් හඳුනාගත හැකිය.

ඇතුන්: ප්‍රකට ග්‍රීක වාර්ථාකරුවෙකු වූ මෞර්ය රාජ සභාවේ සිටි මෙගස්තීනිස් නම් තානාපතිවරයා සිය ඉන්ඩිකා කෘතියේ ලක්දිවින් ඉන්දියාවට ඇතුන් ගෙන ආ බව සඳහන් කොට ඇත. අනුරාධපුර හා පොළොන්නරුව අවධීන් තුළ මෙම ඇතුන් විදේශයන්ට වෙළඳාම් කිරීම තුළින් මහත් වාසි ලබා ගත් බව මූලාශ්‍රයන්හි දැක්වෙන විස්තරන් ඔස්සේ හඳුනාගත හැකි අතර මහා පරාක්‍රමබාහු වැනි උක්ත කාල පරිච්ඡේදය ආසන්න සමයේ රජකම් කළ පාලකයින් දකුණු ඉන්දීය චෝළ හා බුරුම රාජ්‍ය වැනි බලවත් රාජ්‍යන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා මෙන්ම ඇත් වෙළඳාම හේතුවක් වූ බව සඳහන් වේ. කොස්මස් ලක්දිව ඇත් වෙළඳාම පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

"...දීප වාසීහු දිවයිනේ කැලෑවලින් ලැබෙන දැවවලින් තනාගත් ඔරුවල නංවා උන් (ඇතුන්) ඉදිරියෙන් පිහිටි ප්‍රධාන දේශයට (ඉන්දියාවට) ගෙනවුත් කාලිංග රජුට විකුණති...."

ඒ අනුව ඇත් වෙළඳාමේ දී මිල නියම කොට විදේශයන්ට විකුණූ බව කොස්මස්ගේ එම වාර්ථාවෙන් තහවුරු වේ. ඒ අනුව ඇත් වෙළඳාම ද සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලැබූ විදේශ වෙළඳාමක් බවත්, එය වටිනාකමින් ඉහළ වෙළෙඳ භාණ්ඩයක් වූ බවත් උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.

රෙදි පිළි: ආනයන භාණ්ඩ අතර රෙදිපිළි සඳහා ද විශේෂ ස්ථායක් ලැබී ඇත. ඒ අනුව වැඩි වශයෙන් රෙදි පිළි ගෙන්වා ගෙන ඇත්තේ ඉන්දියාවෙන් හා චීනයෙන් බව කියවේ. චීන ග්‍රන්ථකරුවන්ට අනුව නොයෙක්වර ලක්දිවට චීන සළු ගෙනවිත් ඇති අතර මහාපරාක්‍රමබාහු රජු ද ඔහු විසින් ඉදි කරන ලද සරස්වතී මණ්ඩපයක් අලංකාර කිරීම සඳහා චීන පටසළු ගෙන්වූ බව වංශකතාවන්හි දක්වා අත. ඉන් ගම්‍යමාන වනුයේ බොහෝ විට මෙවැනි සේද සළුපිළි මිළදී ගනු ලැබුවේ ලංකාවේ විසූ ප්‍රභූන් හෝ රජ පවුලේ පිරිස් බවයි. අනුරාධපුර අවධියේදී ද ඉන්දියානු කලාපයෙන් මෙරට අවශ්‍යතාවන් උදෙසා රෙදිපිළි ගෙන්වා ගෙන ඇති අතර ලක්දිව නිෂ්පාදනය කොට විදේශයන්ට අළෙවි කරනු ලැබූ රෙදිපිළි පිළිබඳව තොරතුරු ලැබෙනුයේ අල්ප වශයෙන් බවත් කිව හැකිය. විශේෂයෙන්ම කාශ්මීර වංශකතාව වූ රාජතරංගනියේ හා පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී නම් කෘතියේ ලංකාවේ සිට විදේශයන්ට අළෙවි කරන ලද සළුපිළි පිළිබඳව සඳහන් වූවත් ඒවා චීනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන ආ සළුපිළි වන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

අශ්වයින්: ලක්දිව විදේශ වෙළන්දාමේ දී යොදා ගැනුණු තවත් එක් කැපී පෙනෙන වෙළෙඳ භණ්ඩයක් වූයේ අසුන්ය. ඒ අනුව ඇතුන් මෙරටින් විදේශයන්ට යවා ඒ වෙනුවෙන් අසුන් මෙරටට ගෙන්වා ගෙන ඇති අතර ඒ පිළිබඳව තහවුරු කර ගත හැකි සාධක ලෙස මුල් වරට හමුවනුයේ මහාවංශයේ සඳහන් සේන හා ගුත්තික යන දෙදෙනා අශ්ව වෙළෙඳුන් වීමයි. එමෙන්ම ඉන්දු නිම්න කලාපයට ආවේණික වූ සෛන්ධව නම් අසුන් විශේෂය මෙරටට ගෙන්වූ බව සෛන්ධව නාමය නිතර නිතව වංශකතා තුළ සඳහ්න් කොට තිබීමෙන් කිව හැකිය. දුටුගැමුණු රජුගේ සෙනෙවියෙකු වූ වේළුසුමන භාවිතා කළ අසු සෛන්ධව කුලයට අයත් වූ බව මහාවංශයේ දක්වා ඇත. එම්නෙම පර්සියාවෙන් ගෙන්වනු ලැබූ අශ්වයින් සඳහා සිංහල රජු වැඩි කැමැත්තක් දැක්වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වන අතර එයට හේතුව වූයේ එම අසුන් ගෙන්වූ වෙළෙඳන් ඒ සඳහා සාමන්‍යයෙන් අය කරන ලද බදු නොගත් බැවින් යැයි ද දක්වා ඇත. එමෙන්ම පස්වැනි මිහිඳු රජු දවස චෝළයන් මෙරට ආක්‍රමය කරනු ලැබුවෙ ද මෙරට පිළිබඳව හොඳින් දැන සිටි අශ්ව වෙළෙඳුන්ගෙන් අසා දැනගෙන බව වංශකතාවේ දැක්වෙන අතර පොළොන්නරු සමයේ මහා පරාක්‍රමබාහු රජු චෝළ දේශයට විරුද්ධව නැඟී සිටියේත් ඇත් වෙළඳාමට සේම අශ්ව වෙළඳාමට ද චෝළයන් විසින් බාධා කළ නිසාවෙන් යැයි කියවේ. එබැවින් උක්ත කාල පරිච්ඡේදය තුළ මෙරට විදේශ වෙළඳාමේ දී යොදා ගනු ලැබූ වෙළෙඳ භාණ්ඩ පිළිබඳව අධ්‍යනයේදී අශ්වයින් ද ඉතා වටිනා වෙළෙඳ භාණ්ඩයක් වූ බව ඉහත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

ලෝහ වර්ග: ස්ට්‍රාබෝ, ප්ලීනි වැන්නවුන් හා පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී වැනි කෘතීන් තුළ ද මෙරටින් අපනයනය කරන ලද ලෝහ පිළිබඳව සඳහන් කොට ඇත. ඒ අතුරින් යකඩ හා වානේ ප්‍රධාන වන අතර රිදියගම, මාන්තායි වැනි කලාපයන්හි තිබී සොයා ගනු ලැබූ යකඩ නිස්සාරණ සාධක ලෝහ වර්ග මෙරට අපනයන වෙළෙඳ ද්‍රව්‍යක් ලෙස පැවති බව හඳුනා ගැනීමට ඇති ප්‍රභල සාධකයකි. එමෙන්ම උක්ත කෘතිය තුළ සඳහන් වන ආකාරයට ඉරානය, මෙසපොතේමියාව, ඊජිප්ත්තුව වැනි රටවල්වල ලක්දිව යකඩ සඳහා විශාල ඉල්ලුමක් තිබී ඇත. එමෙන්ම රත්‍රන් ලෝහය ද මෙරට විදේශ වෙළඳාම සඳහා උපයෝගී කොටගත් වෙළෙඳ ද්‍රව්‍යකි. ඉන්දියාවට වඩා ලංකාව රත්‍රන් නිපද වූ බව මෙගස්තීනිස් දැක්වූව ද මෙරටින් රත්‍රන් නිධි ඉතා සුළු වශයෙන් හමුවන අතර බුරුමයෙන් මෙරටට රත්‍රන් ගෙන්වා ගෙන නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නට ඇති බව කිව හැකිය. සීහලවත්ථූපකරණයේ මෙලෙස සද්ධාතිස්ස රාජ්‍ය සමයේ බුරුමයට ගොස් රත්‍රන් මිළදී ගෙන ආ පුද්ගලයෙකු පිළිබඳව විස්තර ලැබේ.

කුළු බඩු වර්ග: කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි වැනි කුළු බඩු මෙරට විදේශ වෙළෙඳ කටයුතුවලදී ඉතා වැදගත් විය. ක්‍රිස්තු පූර්ව අවධියේ පටන් මෙරට කුරුඳු පලස්තීනයට ආනයනය කළ බව බයිබලයේ සඳහන් වේ. එමෙන්ම කුළුබඩු වෙළඳාමේ නිරතව සිටි වෙළෙඳ ශ්‍රේණියකට අයත් යැයි හඳුනාගැනෙන මූල බ්‍රාහ්මී අක්ෂර සහිත කානීලියන් මුදුවක් අකුරුගොඩ ප්‍රදේශයේ කැණීම් මඟින් සොයා ගැනීම ද මෙලෙස කුළුබඩු වෙළඳාම ලක්දිව විදේශ වාණිජ කටයුතු අතර පැවති බවට සාධකයක් වේ.

ශාක වර්ග හා ශාකමය නිෂ්පාදන: අපනයන වෙළෙඳ භාණ්ඩ වශයෙන් මෙන්ම ජ්‍යාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය දෑ වශයෙන් ද ශාක හා ශාකමය නිෂ්පාදන වැදගත් විය. සහල්, ඉඟුරු වැනි දෑ මෙරටින් විදේශයන්ට වෙළඳාම් කළ බව ටොලමි දක්වා ඇති අතර ක්‍රි.ව. දෙවන සියවසට අයත් පට්ටිනප්පාලෙයි දකුණු ඉන්දීය කෘතියේ ද මෙරටින් ශාකමය ආහාර ද්‍රව්‍ය අපනයනය කළ බව සඳහන් කොට ඇත.  නැව් හා යාත්‍රා නිර්මාණය සඳහා දැව අළෙවි කරනු ලැබීය. විශේෂයෙන්ම දෙල්, දොඹ, කොස් දැව හා පොල් කෙඳි එලෙස නැව් සඳහා අළෙවි කොට ඇති අතර රෝම ජාතික ඊලියන් වැන්නවුන්ගේ වාර්ථා අනුව ලක්දිව දැව මිළදී ගෙන ඒවායින් නිර්මාණය කරන ලද නැව් ඔස්සේ විදේශ වෙළඳාමෙහි නිරත වූ බව ස්වකීය වාර්ථාව තුළ ඔහු දක්වා ඇත.

සත්ව නිෂ්පාදන: කැස්බෑ ලෙලි හා සක් බෙල්ලන් ආශ්‍රිත නිෂ්පාදන ද මෙරට විදේශීය වෙළඳාමේ දී ඉතා වැදගත් වෙළෙඳ ද්‍රව්‍ය වී ඇත. ස්ට්‍රාබෝ, ප්ලීනි වැන්නවුන්ට අනුව කැස්බෑ ලෙලි ඉහළ අපනයන වටිනාකමකින් යුක්ත ද්‍රව්‍යක් වී ඇති අතර අකුරුගොඩ ආසන්නයේ සිදු කරන ලද කැණීම් ඔස්සේ මෙය තහවුරු කොට ගත හැකි සාධක හමුවී ඇත. සක් බෙල්ලන් ද විදේශීය වෙළඳාමේ දී ඉතා වැදගත් වූ බව මන්නාරම් කලාපය අවටින් සොයා ගන්නා ලද සක් බෙලි කටු මඟින් තනන ලද වළලු ආදී ආභරණ මඟින් පෙන්වා දිය හැකිය.


විදේශ වෙළඳාමේ යෙදුණු ප්‍රදේශ

බටහිර ලෝකය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා: ක්‍රි.පූ හතරවන සියවසේ පමණ සිට ලක්දිවෙන් ඉන්දියාවට ගෙන යන ලද වෙළෙඳ ද්‍රව්‍ය ඉන්දියාවෙන් ග්‍රීක හා රෝම ප්‍රදේශයන්ට ගෙන ගිය බව කියවේ. රෝම අදිරාජ්‍යයේ පාලකයන් ලක්දිව ඇතුන්, මුතු මැණික්, රෙදිපිළි, මැටි භාණ්ඩ කුළුබඩු ආදියට විශේෂ කැමැත්තක් දැක්වූ බව කියවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ වෙළෙඳ ද්‍රව්‍ය දකුණු ඉන්දියාව හරහා රෝම අධිරාජ්‍යට අපනයනය කළ බව සඳහන් වේ. එමෙන්ම ඒ සඳහා  විශාල වශයෙන් රෝම කාසි අතරමැදියන් මඟින් ලංකාවට ලැබුණු බව මහාතිත්ථ, අනුරාධපුර මිහින්තලේ, වාලච්චේන, කන්තරෝදය ආශ්‍රිත ප්‍රදේශයන් තුළින් හමුවූ රෝම කාසි ප්‍රමාණයන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත. බටහිර ලෝකයට ගෙන යෑම සඳහා ලක්දිව වෙළෙඳන් විසින් කැස්බෑ ලෙලි, ඇත් දත් ආදී වටිනා ද්‍රව්‍යයන් ද දකුණු ඉන්දියාවට අපනයනය කළ බව කියවේ. ප්ලීනි ආදී රෝම ලේඛකයින්ට අනුව දකුණු ඉන්දියානු "අසිතපත්ති" වැනි ප්‍රදේශයන්හි ලාංකීය වෙළෙඳුන් පදිංචි වෙමින් ඉන්දීය සාගරයේ වෙළඳාමෙහි නිරතව සිට ඇත. තව ද රෝම අධිරාජ්‍ය සමඟ සබඳතා පවත්වා ගනු ලැබූ ලක්දිව රජවරුන් පිළිබඳව ද ප්ලීනි දක්වා ඇති අතර මහාවංශ ටීකාවට අනුව භාතිකාභය රජු රෝමයට දූතයන් යවා මහාථූපයේ අලංකරණ කටයුතු සඳහා එරටින් පබළු දැලක් ගෙන්වා ගත් බව ද සඳහන් වේ. කෙසේ වූවත් ලංකාවත් බටහිර ප්‍රදේශයන් වූ ග්‍රීක රෝම කලාපයත් සමඟ  සෘජු වාණිජ සබඳතා දක්නට නොලැබුණු බව විද්වතුන්ගේ මතයයි. ඉන්දියානු වෙළෙඳුන් විසින් එවැනි සබඳතා වළක්වනු ලැබූ බවත් ලංකාවේ සිටින යක්ෂයින් හා රාක්ෂසයින් පිළිබඳව කතා පුවත් ඉදිරිපත් කරමින් යුරෝපීය වෙළෙඳුන් අධෛර්ය කොට ස්වකීය ඒකාධිකාරයන් ආරක්ෂා කර ගැනීමට උත්සහ දැරූ බවත් එම විද්වතුන් විසින් වැඩි දුරටත් සඳහන් කොට ඇත.
        
පර්සියානු ප්‍රදේශ සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා: රෝමවරුන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමත් සමඟ වෙලඳ බලය අල්ලා ගනු ලබන පර්සියානුවන් හා ඉතියෝපියානුවන් රෝම වෙළෙඳුන්ටත් වඩා සාගරීය වාණිජ්‍යයේ නිරත වූ බව කියවේ. ඒ අනුව ඔවුන් වැඩි වශයෙන් ලක්දිව වරායන් හා සම්බන්ධ වෙමින් වෙළෙඳාමේ නිරත වූ බව කියවෙන අතර ක්‍රි.ව හයවන සියවසේ දී රචිත කොස්මස්ගේ ටොපෝග්‍රැෆියා ක්‍රිස්ටියානා කෘතියේ පර්සියාව ඉතියෝපියාව වැනි රටවල්වලින් නිරන්තරව ලංකාවට වෙළෙඳ නැව් පැමිණි බව සඳහන් කොට ඇත. එමෙන්ම මේ යුගයේ දී දකුණු ආසියාවේ භාණ්ඩ හුවමාරු සාගරික වෙළඳාමේ ඉතාමත්ම වැදගත් ස්ථානය ලක්දිව හිමි කරගෙන සිටි බවත් ඔහු දක්වා ඇත. ප්‍රකෝපියස් වැනි රෝම ජාතිකයින් චීන සේද රෙදි මිළට ගනු ලැබුවේ ලංකාවෙන් ඒවා ලබා ගත් පර්සියානු වෙළෙන්ඳෙකුගෙන් බව දක්වා ඇත. තව ද හත්වන සියවසේ දී ලංකාවට පැමිනි ඉන්දීය වජ්‍රබෝධි හිමි මෙරට වරායන්හි පර්සියානු නැව් 35ක් දුටු බවත්, එයින් එකක නැඟී ලංකාවේ සිට සුමාත්‍රා දක්වා ගමන් කළ බවත් සඳහන් කොට ඇත. එපමණක් නොව ෆාහියන් භික්ෂුව ද ආපසු චීනයට යාම සඳහා යොදා ගනු ලැබුවේ විදේශ වෙළෙඳ කටයුතු සඳහා ලක්දිවට පැමිණ තිබූ පර්සියානු වෙළෙඳ නැවක් බව සිය වාර්ථාව තුළ දක්වා ඇත.

අග්නිදිග ආසියානු කලාපය හා ඈත පෙරදිග සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා: ලංකාවේ විදේශ වෙළෙඳ කටයුතු අතර අග්නිදිග ආසියානු ප්‍රදේශයන් ද දක්නට ඇත. ඒ අනුව ජාවා සුමාත්‍රා ඇතුළත් පැරණි ශ්‍රී විජය රාජ්‍ය, බුරුමය, චීනය ආදී රාජ්‍යන් සමඟ වාණිජ සබඳතා පවත්වා ඇත. පාලි හා සිංහල සාහිත්‍ය කෘති තුළ අග්නිදිග ආසියානු කලාපයට වෙළෙඳාමේ ගිය ලක්දිව වෙළෙඳන් පිළිබඳව තොරතුරු හමුවේ. එමෙන්ම ක්‍රි.ව. හයවන සියවස ආරම්භයේ දී ශ්‍රී ලංකාවට අයත් නැව් මඟින් චීනයත් අග්නිදිග ආසියාතික රාජ්‍යයන් අතරත් වෙළෙඳ කටයුතු සිදු කළ බව කොස්මස් විසින් දක්වා ඇත. චීන මූලාශ්‍රයන්ට අනුව එම කලාපයට වෙළඳාමේ පැමිණි ලාංකික නැව් අඩි 200ක් පමණ දීර්ඝ බවත් ඒවායේ මිනිසුන් 700ත් 800ත් අතර ප්‍රමාණයකට ගමන් කළ හැකි වූ බවත් සඳහන් කොට ඇත. "තායි පින්ග් යූලන්" නම් චීන මූලාශ්‍රය ද ශ්‍රී ලංකාව උක්ත කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාතික වෙළඳාමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව සඳහන් කොට ඇත. එපමණක් නොව ක්‍රි.ව. 405, 428, 429, 435 ආදී කාලයන් තුළ දී ලක්දිව පාලකයන් චීන දේශයේ රාජ සභාවට දූත පිරිස් යවා ඇති බව මූලාශ්‍රයන්හි සඳහන් කොට ඇති අතර ඒම ගමන්වල ප්‍රධාන අරමුණ වූයේ ද විශේශ වාණිජ කටයුතු හා සංස්කෘතික කටයුතු බව එම මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් කොට ඇත. එමෙන්ම ක්‍රි.ව. 976ත් 1265ත් අතර කාල සීමාව තුළ චීනය පාලනය කළ සියළුම අධිරාජ්‍යවරුන්ගේ කාසි මාන්තායි, අනුරාධපුර, පොළොන්නරුව, පඬුවස්නුවර, දැදිගම, යාපහුව, කුරුණෑගල, අලුත්වැව, නින්දවූර්, කුරුක්කල්මඩම්, කල්මුණේ හා තලෛමන්නාරම යන ප්‍රදේශවලින් හමු වී ඇති අතර චීන මැටි භාණ්ඩ රාශියක් එම ප්‍රදේශයන්ගෙන් හමුවීම ද චීනය හා ලක්දිව අතර විදේශ වෙළඳාම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව නිගමනය කළ හැකි පුරාවිද්‍යාත්මක ශේෂයන් වේ. එපමණක් නොව බුරුම දේශයත් සමඟ ද වාණිජ සබඳතා පවත්වා ගත් බව තහවුරු කර ගත හැකි සාධකය වනුයේ චූලවංශයේ සඳහන් වන මහා පරාක්‍රමබාහු රජුගේ බුරුම ආක්‍රමණයයි. එම ගැටුම ඇති වීමට ප්‍රධාන හේතුව වූයේ සිංහල වෙළෙඳන්ට බුරුමයේ දී විවිධ අතවරයන්ට ලක් වීමට සිදු වීම හා ඇත් වෙළඳාමට ගෙවන ලද මුදල් ප්‍රමාණය බුරුම පාලක අලවංසිංතු රජු විසින් කපා හැරීම  බව කියවේ. බැවින් ලක්දිව උක්ත කාල සමය තුළ බුරුමය සමඟ සිය විදේශ වෙළඳාම සිදු කළ බව උක්ත කරුණු මඟින් පැහැදිලි වේ.

අරාබි මුස්ලිම් කලාපය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා: අටවන සියවසේ දී "අල් බිලාදුරි" නම් අරාබි ලේඛකයා සඳහන් කොට ඇති ආකාරයට "රත්නදීවීප" හෙවත් ලංකාවේ රජු මෙහි  දී මිය ගිය මුස්ලිම් වෙළෙඳෙකුගේ දියණිවරුන් දෙදෙනෙකු අරාබි රටේ කාලිෆ්වරයා වෙත තෑගි කොට යවා ඇත. ඒ අනුව අටවන සියවසේ පමණ සිට පෙරදිග සාගරීය වෙළඳාමේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ අරාබි මුස්ලිම් ජාතික වෙළෙඳුන් ලංකාවේ පදිංචිව සිටි බව එම කරුණු ඔස්සේ හඳුනා ගත හැකි අතර එවකට ලක්දිව අරාබි කලාපයත් සමඟ ද විදේශ වෙළෙඳ කටයුතු පවත්වා ගත් බව ද ඉන් ගම්‍යමාන වේ. එමෙන්ම ක්‍රි.ව. අටවන සියවසේ සිට දසවන සියවස දක්වා බැග්ඩෑඩ්, ඇලෙක්සැන්ඩ්‍රියා, උතුරු අප්‍රිකා හා උතුරු ඉන්දියානු මුස්ලිම් රාජධානි සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගත් බව වර්තමානයේ කොළඹ හා මධ්‍ය කඳුකර ප්‍රදේශයන්ගෙන් හමුවන රන් හා රිදී කාසි ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම යවනයන් හෙවත් අරාබි මුස්ලිම්වරුන් පොළොන්නරුව සමයේදී මහා පරාක්‍රමබාහු රජු වෙත තෑගි බෝග ගෙන ආ බවත් එහි මූලික අරමුණ වූයේ සිංහල රාජ්‍යයේ වාණිජ සබඳතා තමන් හා පුළුල් කර ගැනීම බවත් චූලවංශයේ සඳහන් කොට ඇත. එබැවින් ක්‍රි.ව අටවන සියවසේ පමණ සිට අරාබි මුස්ලිම් ප්‍රදේශයන් සමඟ ද ලංකාවේ විදේශ වෙළඳාම පවත්වා ගත් බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.  

දකුණු ඉන්දියානු කලාපය සමඟ පැවැත්වූ වෙළෙඳ සබඳතා: ලක්දිවට ආසන්නතම ප්‍රදේශය වශයෙන් දකුණු ඉන්දියාව සමඟ ඉතා කැපී පෙනෙන හා ශක්තිමත් වෙළෙඳ සබඳතා ගණනාවක් උක්ත කාල පරිච්ඡේදය තුළ හඳුනා ගත හැකි අතර ඒවා අනුරාධපුර යුගය ආරම්භයේ සිටම ක්‍රි.ව. 1000ත් ඉන් නොනැවතී යුරෝපා යටත්විජිතවාදය මෙරට ව්‍යාප්ත වන තෙක්ම ශක්තිමත් වෙළෙඳ සබන්දතා ලෙස ක්‍රියාත්මක වූ බව කිව හැකියඅනුරාධපුර මුල් අවධියේ සිටම දකුණු ඉන්දියාව ලංකාවේ විදේශ වෙළඳාමේ අතරමැදියන් පිරිසක් ලෙසත් ක්‍රියා කල බව ඉහත පරිච්ඡේදයක පෙන්වා දෙන ලදී. එනම් යුරොපාකරයට ලක්දිව නිෂ්පාදන වෙළඳාම් කරනු ලැබුවෙ දකුණු ඉන්දියානුවන් විසිනි. මෙම තත්වයද දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් වූ බව කිව හැකිය. එමෙන්ම මේ සමයේ දී දකුණු ඉන්දියාවේ අයින්නුවාර්, වලංජියාර්, නානාදේසි, බලන්ජියාර් හා නකරක්තාර් ආදී වූ වෙළෙඳ ශ්‍රේණි ලංකාවේ විදේශීය මෙන්ම දේශීය වෙළඳාමට ද සහභාගී වූ බව සඳහන් වේ. ඔවුන් සිය වෙළෙඳ මධ්‍යස්ථාන මාන්තායි වරාය ආශ්‍රිතව මෙන්ම පදවිය, විහාරහින්න හා වාහල්කඩ වැනි රට අභ්‍යන්තර ස්ථානවල ද පිහිටුවා ගෙන සිටි බව ශිලා ලිපි ඔස්සේ තහවුරු කොට ගත හැකිය. එපමණක් නොව දකුණු ඉන්දියාව හා ලක්දිව අතර උක්ත කාල පරිච්ඡේදය තුළ ඉතා දරුණු ආක්‍රමණකාරී බලය අල්ලා ගැනීම් බොහෝමයක් ද සිදු වූයේ මෙම විදේශීය වෙළඳාම නිසාවෙන් බව කිව හැකිය. එයට පෙන්වා දිය හැකි කදිම නිදසුන් වන්නේ චෝළයන් විසින් අනුරාධපුරය ආක්‍රමණය කොට දිවයිනේ උතුරු කලාපය තමන් සතු කර ගැනීමට ප්‍රධාන හේතුව වූයේ ද, මහා පරාක්‍රමබාහු රජු චෝළ හා පණ්ඩ්‍ය ගැටුම්වලට මැදි වූයේ ද දකුණු ඉන්දියාව හා ලක්දිව අතර පැවති වාණිජ සබඳතා හේතුවෙන් වීමයි.



       ආරියපාල ඇම්. බී., මධ්‍යකාලීන ලංකා සමාජය, 1996
       ලියනගමගේ ., ගුණවර්ධන ආර්., අනුරාධපුර යුගය, 1961
       සිරිවීර අයි., රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි,  2014
       සෝමදේව ආර්., කන්නන්ගර පී., විද්‍යාලංකාර ඒ., ඉපැරණි ලෝක ශිෂ්ටාචාර,2016

Share:

facebook share twitter share

7 comments: