Sunday, February 13, 2022

ලාංකීය වංශකතාවන්හි සඳහන් වන දිවයිනේ මුල් අවධියේ ඉතිහාසය ප්‍රබන්ධාත්මක ද?


ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශකතා සාහිත්‍යයයෝ

ශ්‍රී ලාංකීය ඉතිහාසය ගොඩනැංවීමේ දී අනෙක් රටවල් මෙන් නොව ක්‍රමානුගත රාජ නාමාවලියක් පවත්වා ගනිමින් අඛණ්ඩ ඉතිහාසයක් ගොඩ නංවා ගැනීමට මෙරට රචනා කරන ලද සාහිත්‍යමය මූලාශ්‍රයන් මහඟු පිටිවහලක් වන බව කිව හැකිය. එහි දී දිවයිනේ වංශකතා සාහිත්‍ය ඉතා වැදගත් වන අතර ඒවායේ ඈත අතීතයේ සිටම ඓතිහාසික වැදගත්කම රචනා කොට තිබීම දිවයිනේ ඉතිහාස වෘතාන්තය සකස් කොට ගැනීමේ දී මහත් සේ ප්‍රයෝජනයට ගෙන ඇත. ඒ අනුව මෙරට මුල් කාලීන ඉතිහාසය පිළිබඳව හැදෑරීමේ දී ප්‍රධාන වශයෙන්ම වංශකතා ද්විත්වයක් හඳුනා ගත හැකි අතර ඒවා නම් දීපවංශය හා මහවංශයයි. ක්‍රි.ව. හතරවන හා පස්වන සියවස් අතර කාල පරිච්ඡේදය තුළ රචනා වූ කෘතියක් ලෙස සැළකෙන දීපවංශය දැනට ඉතිරි වී තිබෙන පැරණිතම මූලාශ්‍රය වන බව සාම්ප්‍රධායික පිළිගැනීමයි. පරිච්ඡේද 22කින් සමන්විත මෙම වංශකතාව කතුවරුන් රැසකගේ සහභාගීත්වයෙන් රචනා කොට පසුව එක් කෘතියක් ලෙස සකස් කළ ග්‍රන්ථයක් වේ. බුද්ධ චරිතයේ ඇතම් සිදුවීම් ද, උන්වහන්සේගේ ලංකා ගමනය ද, ඉන්පසුව විජය කතා පුවතේ සිට මහසෙන් රාජ්‍ය අවධිය දක්වාම මෙම කෘතිය තුළ තොරතුරු දක්වා ඇති අතර අනෙක් මූලාශ්‍රයන්ට වඩා පිළිගැනීමට හැකි විශ්වාසදායක ඓතිහාසික කරුණු සමහරක් මෙහි ඇතුළත් වන බව ද කියවේ. ක්‍රි.ව. පස්වන හා හයවන කාල සීමාව අතරතුර මහාවිහාරික මහානාම හිමියන් විසින් රචිත ග්‍රන්ථය වන මහාවංශය පරිච්ඡේද 37කින් සමන්විත කෘතියකි. එය ද බුද්ධ චරිතයේ ඇතැම් කාලයන්, බුදුන්ගේ ලංකා ගමනය හා විජය පුවතේ සිට මහසෙන් අවධිය දක්වා රචනා කොට ඇති අතර දීපවංශයට වඩා කරුණු විස්තරාත්මකව හා ක්‍රමානුකූලව මෙහි දක්වා ඇති බව කියවේ. මහාවංශයට පෙර රචනා කරන ලද මූලාශ්‍රයන්ගේ තිබූ අඩුපාඩු ඉවත් කරමින් මෙය රචනා කරන බව මහානාම හිමියන් විසින් සඳහන් කොට ඇති අතර මහාවංශය දීපවංශයට ලියන ලද අට්ට කතාවක් ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙහි ඇති විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් පෙර රචිත මූලාශ්‍ර තුළ දක්නට නොමැති තොරතුරු පවා අඩංගු වන අතර ඒ හේතුවෙන්ම මහාවංශය දිවයිනේ ඉතිහාස ගලනයේ අඛණ්ඩ බව වර්ධනය කර ගනීම සඳහා යොදා ගත හැකි ප්‍රධානතම සාහිත්‍යමය මූලාශ්‍රයක් ලෙස හඳුන්වනු ලබයි.

ඉහත දක්වන ලද වංශකතාවන් හි විස්තෘත දිවයිනේ මුල් අවධියේ ඉතිහාසය පිළිබඳව දැක්වීමේ දී එය බෙහෙවින්ම ප්‍රබන්ධාත්මක බව විද්වතුන්ගේ මතයයි. එහි දී මෙහි සඳහන් දිවයිනේ මුල් අවධිය යනුවෙන් අර්ථ දක්වනු ලබන්නේ උක්ත වංශකතාවන්හි සඳහන් බුදුන් තෙවරක් ලක්දිවට වැඩමවීමේ සිට ඉන් පසුව ආරම්භ කොට ඇති විජය කතා පුවතේ පටන් මහසෙන් අවධිය දක්වා වූ යුගය ලෙස හඳුනවා දිය හැකිය. ඒ අනුව උක්ත කාල පරිච්ඡේදයේ ඉතිහාසය මෙම වංශකතා තුළ දක්වා ඇත්තේ ප්‍රබන්ධාත්මක ලෙස දැයි විමසීමේ දී එලෙස ප්‍රබන්ධ ස්වරූප දැරීමට හේතු වූ ප්‍රධාන තත්වයන් කිහිපයක් හඳුනා ගත හැකිය. එනම් මෙම කෘතීන් හි රචිත ඉතිහාසය අදාළ සංසිදුවීම සිදුවී වසර ගණනාවකට පසුව රචනා වීමත්, එම සිදුවීම් ඇසින් දුටු සිදුවීම් නොව වසර ගණනාවක් තිස්සේ කනින් කනට යමින් මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආ සිදුවීම් වීමත් මෙන්ම මෙම වංශකතා රචනා කළ කතුවරුන්ගේ අරමුණ හුදෙක් වාර්තාමය ඉතිහාසයක් රචනා කිරීම නොවීමත් වැනි කරුණු එලෙස දිවයිනේ මුල් කාලීන ඉතිහාසය ගොතන ලද කතාවක් හෙවත් ප්‍රබන්ධාත්මක ස්වරූප දැරීමට හේතු වූ බව කිව හැකිය.

 

පැරණි වංශකතා තුළ සඳහන් තොරතුරු සැබවින්ම ප්‍රබන්ධාත්මක ද? 

වංශකතාවන්හි සඳහන් ඉතිහාසය ප්‍රබන්ධයක් බවට පෙන්වා දිය හැකි ප්‍රධානතම සාධකයක් වනුයේ ඒවා තුළ කතුවරුන් විසින් සිතා මතා ගොතනා ලද කතා පුවත් ඇතුළත් කොට තිබීමයි. එනම් කිසිදු වෙනත් දේශීය හෝ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකින් හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් හෝ තහවුරු නොවන සිදුවීම් වංශකතා තුළ ඇතුළත් කොට තිබීම පෙන්වා දිය හැකිය. එහි දී කැපී පෙනෙන ඓතිහාසික සිදුවීමක් වනුයේ බුදුන් වහන්සේගේ ලංකා ගමන් පිළිබඳව වංශකතා තුළ සඳහන් විස්තරයයි. ඒ අනුව බුදු වහන්සේ වාර ත්‍රිත්වයකදී මෙරටට වැඩි බව දීප වංශය, මහාවංශය හා පාලි අට්ඨකථා සාහිත්‍යය තුළත් සඳහන් කොට ඇති අතර පළමුව මහියංගනයට ද, දෙවනුව නාගදීපයට ද, තෙවනුව කැළණියට ද වැඩම කළ බව ඒවායේ සඳහන් වේ. විශේෂයෙන්ම මෙම එක් එක් ගමන් වාර තුළ දී බුදුරදුන් මෙරට වූ නාගයන්ගේ ගැටළු විසඳූ ආකාරය, යක්ෂයින් දමනය කළ ආකාරය මෙන්ම මෙරට සිටි දේව ගණයා බුදුන් සරණ ගිය ආකාරය ආදී කරුණු පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස විවිධාකාර තොරතුරු සඳහන් කොට තිබෙන ආකාරය හඳුනා ගත හැකිය. කෙසේ නමුත් වංශකතා තුළ සඳහන් තොරතුරු කෙසේ වූවත් බෞද්ධ ත්‍රිපිටකය තුළ බුදුන් වහන්සේ කිසිදු විටෙක නැගෙනහිර ඉන්දියාවෙන් ඔබ්බට වැඩම කළ අවස්ථා හඳුනා ගැනීමට නොමැති බව කියවේ. එබැවින් ලක්දිව වංශකතා තුළ පමණක් සඳහන් වන මෙම බුදුන්ගේ ලංකා ගමනයන් පිළිබඳව වූ විස්තරයන් වංශකතා කතුවරුන්ගේ ප්‍රබන්ධයක් වන බව විද්වතුන් විසින් නොයෙක් වර ප්‍රකාශ කොට ඇත. මෙම ප්‍රකාශය ඉතා විවාදාත්මක වූවත් බෞද්ධ ත්‍රිපිටකය මේ පිළිබඳව දක්වන නිහඬබව හේතුවෙන් වංශකතා තුළ දක්වන විස්තර ප්‍රබන්ධ බව පිළිගත හැකිය. විශේෂයෙන්ම ලාංකීය බෞද්ධ ප්‍රජාව ඓතිහාසික මූලයකට වඩා ආධ්‍යාත්මික මූලයකින් මෙම කරුණු දෙස බැලීම හේතුවෙන් එය වඩාත් විවාදාත්මක ස්වරූප ගන්නා නමුත් දිවයිනේ මුල් කාලීන ඉතිහාසය විස්තර කිරීමේදී නම් වංශකතා තුළ විස්තෘත එම කරුණ ප්‍රබන්ධයක් බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ. 

    එමෙන්ම ලක්දිව රජ පෙළපත බුදුන්ගේ පරපුර වූ ශාඛ්‍ය වංශයට සම්බන්ධ කිරීම ද ප්‍රබන්ධාත්මක විස්තරයකි. මන්ද යත් කෝසල පාලක විඩූඪභ විසින් ශාක්‍යයන් සමූල ඝාතනය කිරීමෙන් පසුව සුද්ධෝදන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදනගේ පුත්‍රයෙකු වූ පණ්ඩු නමත්තෙක් සිය දිවි ගලවා ගත් බවත් ඔහු ගංඟා නම් ගඟේ අනෙක් පස රාජධානියක් පිහිටුවා ගත් බවත් මහාවංශයේ සඳහන් වේ. මෙම පණ්ඩු රජුට භද්ධකච්ඡායනා නම් දියණියක සිටි බවත්, ඇය විවාහ කර ගැනීමට පැමිණි රජවරුන් සත් දෙනෙකු හේතුවෙන් හැකි කෙනෙකු සිටී නම් මැය දිනා ගනිත්වා යයි පවසා කුමරිය ගංඟා ගඟේ පාකොට හැරීමෙන් අනතුරුව ඇය ලක්දිව ගෝණගම් තොටට ළඟා වූ බවත්, පසුව ඇගේ නිමිති ශාස්ත්‍ර බලා ලක්දිව පණ්ඩුවාසදේව රජුගේ අගමෙහෙසිය වශයෙන් ඇය සරණ කර දුන් බවත් වංශකතා විස්තරයේ සඳහන් වේ. ඒ අනුව පණ්ඩු නම් රජු බුදුන් වහන්සේගේ ඥාති සොහොයුරෙකු ලෙස හඳුනාගත හැකි නමුත් බෞද්ධ පිටක ග්‍රන්ථ හෝ වෙනත් ඉන්දියානු මූලාශ්‍ර කිසිවෙක මේ පිළිබඳව තොරතුරු දක්වා නොමැත. නමුත් පාලි අට්ට කතා හා ලක්දිව වංශකතා තුළ පමණක් සඳහන් වන මෙම විස්තරයෙන් ගම්‍ය වනුයේ පණ්ඩු ශාඛ්‍ය රජු හා ඔහුගේ දියණිය වූ භද්ධකච්ඡායනා කුමරිය බුදුන්ගේ පෙළපතට ඥාතීන් ලෙස දක්වමින් ලක්දිව රජ පෙළපත ද බුදුන්ගේ ශාඛ්‍ය වංශයට සම්බන්ධ කරලීමට වංශකතාව තුළ ප්‍රබන්ධයක් ගොඩනංවා ඇති ආකාරයයි. එපමණක් නොව පණ්ඩුකාභය කුමරුන්ගේ පියා ද භද්ධකච්ඡායනාවගේ සොහොයුරෙකු වූ දීඝායු වන බැවින් පණ්ඩුකාභය කුමරු උභය කුල පාර්ශවයෙන්ම ශාඛ්‍ය වංශික හා බුදුන් වහන්සේට මී මුණුබුරෙකු වන බව පෙන්වා දීමට වංශකතා කරුවා උත්සහ ගෙන ඇති ආකාරය පැහැදිලි වේ. මෙම කරුණු සනාථ කිරීමට වෙනත් කිසිදු මූලාශ්‍රයක සහාය නොලැබෙන අතර මෙය පැහැදිලිව වංශකතාකරු විසින් සිංහල රජ පෙළපත බුදුන්ගේ පෙළපතට සම්බන්ධ කිරීමට යොදා ගනු ලැබූ ප්‍රබන්ධයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

    එපමණක් නොව බුදුන් වහන්සේගේ පරිනිර්වාණය දිනයේම විජය ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම හා බුදුන් වහන්සේ පිරිනිවන් මංඤචකයෙහි වැඩ සිටිමින් ශක්‍රයා අමතා සිංහබා පිත් තෙල විජය කුමර අනුගත සත් සියක් පිරිවෙර ඇතිව ලාට රටින් ලක්දිව් බැස්සේය. දේවේන්ද්‍රය මගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාව ද මොනවට රකුව යි වදාළ බව කියවේ. එපමණක් නොව සක් දෙවියන් ලංකාව ආරක්ෂා කිරීම උපුල්වන් දෙවියන්ට පැවරූ බවත් එනිසා උපුල්වන් දෙවියන් පරිබ්‍රාජක වේශයෙන් පැමිණ විජය ප්‍රධාන පිරිසට පිරිත් නූල් බැඳ පිරිත් පැන් ඉසූ බවත් වංශකතාවේ සඳහන් වේ. මෙම විස්තරය ද වංශකතාවේ ඇති තවත් එක් ප්‍රබන්ධයක් බවට පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම බුද්ධ පරිනිර්වාණ දිනය තුළම විජය මෙරටට ගොඩ බැසීම හා බුදුන් ඔහු ආරක්ෂා කිරීම සක් දෙවිඳුන්ට පැවරීම යන සිදුවීම තුළින් ද වංශකතාකරුවා උත්සහ ගෙන ඇත්තේ විජය පැමිණීමට පෙර සිටම ලක්දිව බුදු දහම ආරක්ශා කිරීම රජුගේ වගකීම බවට පත් වී තිබුණු බව ඉස්මතු කර පෙන්වීමට බව කිව හැකිය. විශේෂයෙන්ම දීපවංශයේ සඳහන් වන කරුණක් වන බුදුන් බුද්ධත්වය ලබා හුනස්නෙන් නැඟී සිටීමට පෙරම ලංකාව ධර්මද්වීපයක් වන බව දැන මෙහි වැඩමවීමට ඉටා ගත් බව සඳහන් වීමෙන් ඉහත ප්‍රකාශය මොනවට පැහැදිලි වේ. ඒ අනුව උක්ත වංශකතා විස්තරයන් ද කතුවරුන්ගේ සිතැඟි අනුව බෞද්ධාගමේ ආරක්ෂාව පදනම් කර ගනිමින් ගොතන ලද කතාවක් ලෙස පැහැදිලි වන අතර එනිසාම එම කරුණු ද වංශකතාවන්හි සඳහන් දිවයිනේ මුල් ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට සාධකයක් වේ.

    එමෙන්ම එළාර රජුගේ චරිත ස්වභාවය විස්තර කිරීමේ දී මහාවංශයේ දක්වා ඇති විස්තරයේ ඇතුළත් වන සිය පුතුගේ රථයට හසුව මිය ගිය වසු පැටවා සම්බන්ධ කතා පුවත, ලිහිණි පැටවෙකු කෑ සර්පයාගේ බඩ පලා ඒ ගසෙහිම ඇණ ගැසීම මෙන්ම රජුගේ රථය වැදී ථූපාරාමයට හානි වූ විට කමාව අයැද එය පිළිසකර කිරීමට අණ දීම, අකල් වස්ස පිළිබඳව මැහැල්ලකගෙන් කෙරුණු පැමිණිල්ලක් හේතුවෙන් නිසි කලට වැසි වැටෙන්නට සැලැස්වීම ආදී කතා පුවත් ද වංශකතා කතුවරයා විසින් ගොතන ලද කතා බව පැහැදිලි වේ. විශේෂයෙන්ම එළාර රජු මිසදිටු රජෙකු වුව ද අගතිගාමී රජෙකු නොවන බව පෙන්වා දීම සඳහා මෙලෙස වංශකතා කතුවරයා ප්‍රබන්ධ ගොඩනංවා ඇති බව පෙන්වා දිය හැකිය.

    එපමණක් නොව වංශකතා තුළ සඳහන් වන ප්‍රබන්ධ ස්වභාවය හොඳින්ම පැහැදිලි වන තවත් එක් අවස්ථාවක් වනුයේ විහාරමහා දෙවියට උපන් දොළදුක සම්බන්ද කතා පුවතයි. එනම් විශාල මී වදයක් භික්ෂූන්ට දන් දී ශේෂය වැළඳීම, එළාර රජුගේ දෙටු සෙනෙවියාගේ හිස සිඳි කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීම හා, අනුරාධපුර උල් කෙතින් ලබා ගත් මල් පැළඳීම ලෙස එම දොළ දුක් වංශකතාවේ අර්ථ දක්වා ඇත. මහාවංශයේ වීරයා වූ දුටුගැමුණු රජුගේ වීරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා උක්තව දැක්වූ ආකාරයේ දොළදුක් පිළිබඳව කතා පුවත් ප්‍රබන්ධ කොට ඇති බව මැනවින් පැහැදිලි වන අතර කාවන්තිස්ස රජු කුඩා කුමරුන්ට බත් ගුලි කැවීමේ දී දුටුගැමුණු කුමරු දෙමළුන් හා යුද්දයට නොයන ලෙස පිය රජු පොරොන්දු කරවා ගැනීමේ දී එම බත් ගුලිය ඉවතලා ගොස් වකුටු වී ඇඳෙහි වැතිරී සිටීමේ සිදුවීම ද දුටුගැමුණු රජුගේ වීරත්වය හුවා දැක්වීම සඳහා වංශකතා කරුවා එක් කරන ලද ප්‍රබන්ධයක් බව කිව හැකිය. 

    එමෙන්ම දිවයිනේ මුල් කාලීන ඉතිහාසය රචනා කිරීමේ දී ඒ සඳහා ජනප්‍රවාද උපයෝගී කර ගනිමින් ප්‍රබන්ධ සකස් කොට ඇති ආකාරය ද දක්නට ලැබේ. එහි දී කැපී පෙනෙන ජනප්‍රවාදයක් වනුයේ විජයගේ මුතුන් මිත්තන් වූ වගු රට නරනිඳු සම්බන්ධ කතා පුවතයි. විශේෂයෙන්ම එම රජුගේත් බිසව වූ කළිඟු රජ දුවගේත් දියණිය සිංහයෙකු සමඟ සංවාස වන බව නෛමිත්තකයෝ පැවසීම හේතුවෙන් ඇය සිය පියාණන්ගේ රාජ්‍ය අත්හැර ලාට රට බලා යනවිට සිංහයෙකු ඇය පැහැරගෙන ගිය බවත් පසුව ඇයට හා සිංහයාට දාව සිංහබාහු හා සිංහසීවලී නමින් නිවුන් දරුවන් ලැබුණු බවත්, සිංහ ගුහාවෙන් පැනයාමෙන් අනතුරුව සිංහයා මරා සිංහබාහු ලාට රට සිංහපුර නුවර ඉදිකොට සිය සොහොයුරිය වූ සිංහසීවලී විවාහ කොට ගත් බවත්, ඒ විවාහයෙන් නිවුන් දරුවන් තිස් දෙකක් බිහිවූ බවත්, ඉන් වැඩිමලා විජය හා දෙවැන්නා සුමිත්ත වූ බවත් ආදී වශයෙන් මහාවංශය තුළ විජය කුමරුන්ගේ පරම්පරාව පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් ඇතුළත් කොට ඇත. දීපවංශය ද මීට සමාන ආකාරයෙන් මෙම පුවත ඉදිරිපත් කොට ඇති නමුත් මහාවංශය දීපවංශයේ නොමැති තොරතුරු ද දක්වා ඇති බව කියවේ. කෙසේ නමුත් මෙම පුවත හුදෙක්ම ජනප්‍රවාද ඇසුරෙන් රචිත බැව් මෙම සිදුවීම හා වංශකතා රචනා වූ කාල සීමාව අතර පරතරය හඳුනා ගැනීමෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම ජනයා අතර කටින් කට පැවතගෙන ආ රසවත් කතා පුවත් ලෙස මේවා අර්ථ දැක්විය හැකි අතර ඒවා සතුව සනාථ කොට ගත හැකි ඓතිහාසික වටිනාකමක් ද නොවීම තවදුරටත් එම විස්තරයන් ප්‍රබන්ධ ලෙස පෙන්වා දීමට සාක්ෂ්‍ය වේ.

    එමෙන්ම පණ්ඩුකාභය රජුගේ බිසව වූ සවර්ණපාලී කුමරිය අත ගැටෙන නුග පත්‍ර රත්‍රන් බඳුන් බවට හැරීම පිළිබඳව වංශකතාවේ විස්තෘත තොරතුරු ද මෙම ජනප්‍රවාද කොටසටම ලා පෙන්වා දිය හැකිය. පණ්ඩුකාහය කුමරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම සඳහා එක් අතකින් ස්වර්ණපාලී කුමරිය හා සම්බන්ධ ජනප්‍රවාදය මෙලෙස ප්‍රබන්ධයක් කොට වංශකතාවට එක් කරන්නට ඇතැයි ද උක්ත කරුණු ඔස්සේ උපකල්පනය කළ හැකිය.

    තව ද ජනප්‍රවාදයෙහි එන දේවානම්පියතිස්ස රජු විසින් ථූපාරාමය සෑදූ අවස්ථාවේ එයට ධාතූන් රැගෙන එන ලෙස සුමන සාමණේරයන් වහන්සේ පිටත් කළ කතා පුවත ද වංශකතා කතුවරයා එම ජනප්‍රවාදය උපයෝගී කොට ගනිමින් ප්‍රබන්ධයක් සකස් කොට වංශකතාවට ඇතුළත් කොට ඇති ආකාරයක් දිස් වේ. එනම් මිහිඳු හිමියන් විසින් සුමන සාමණේරයන් හට දඹදිව පුෂ්පාරාමයට ගොස් අශෝක රජු මුණ ගැසී බුදුන් පරිභෝජනය කළ පාත්‍රය හා අනෙකුත් ධාතූන් ද සක් දෙවිඳුන්ගෙන් අකු ධාතුවත් රැගෙන එන ලෙස දන්වා සිටි බව කියවේ. එහි දී ශක්‍රයාගෙන් සුමන සාමණේරයන් විසින් අකු ධාතුව ලබා ගත් ආකාරය පිළිබඳ විස්තරය උක්ත ජනප්‍රවාදය පදනම් කර ගනිමින් ප්‍රබන්ධ කොට වංශකතාවට ඇතුළත් කොට ඇති ආකාරය හඳුනා ගත හැකිය. එපමණක් නොව සඟමිත් තෙරණිය මෙරටට මහා බෝධියේ ශාඛාවක් රැගෙන ඒමට පෙර මහාබෝධියෙන් එම අංකුරය වෙන් කරවා ගැනීම පිළිබඳව වන ජනප්‍රවාදය ද වංශකතාවට ප්‍රබන්ධාත්මක ස්වරූපයෙන් එක් කර ඇති ආකාරය එය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත හැකිය. එනම් අශෝක රජු මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ අනුශාසනා පරිදි රන් කටාරමක් සමඟ ගොස් රන් තෙල්ලෙන් රන් සිරියෙල් ගෙන ශාඛාවෙහි රේඛාවක් ඇන්දේය. දක්ෂිණා මහා ශාඛාව තෙමේම සිඳී රන්බඳුනෙහි පිහිටියේය. ඒ පෙළහර දුටු රජු දඹදිව රජය මහා බෝධියට පිදීය. බෝධිය නිසා වූ නා නා විධ ප්‍රාතිහාර්ය දුටු රජු නැවත මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කළේය. බෝධිය ග්‍රහණය කළ දවසින් සතළොස්වන දින අංකුර නවයක් උපණින ආදී වූ ආකාරයෙන් මහාවංශය තුළ එම සිදුවීම විස්තර කොට ඇත. එබැවින් උක්තව සඳහන් කරන ලද කරුණු මඟින් ද පැහැදිලි වනුයේ වංශකතා තුළ විස්තෘත දිවයිනේ මුල් අවධියේ ඉතිහාසයේ ඇතැම් සිදුවීම් ජනයා අතර පැවති කතා හෙවත් ජනප්‍රවාදයන් පදනම් කොට ගනිමින් ප්‍රබන්ධ  ලෙස සකස් කොට ඉතිහාස කෘති තුළට එක් කොට ඇති බව ගම්‍යමාන වන බවයි.

            ලාංකීය මුල් ඉතිහාසය රචනා කිරීමේ දී වංශකතා තුළ ජනප්‍රවාද සේම පුරාවෘත ද ප්‍රබන්ධ ලෙස යොදා ගෙන ඇති ආකාරය දක්නට ලැබේ.  එහි ලා කැපී පෙනෙන පුරාවෘතය වනුයේ විජය කතා පුවතයි. දීපවංශය හා මහාවංශය යන ද්විත්වයෙහිම විජය කතා පුවත මැනවින් විස්තර කොට ඇති නමුත් ඒවායේ සඳන් ඇතැම් කරුණු අතර යම් අඩු වැඩි වීමක් ද දක්නට ලැබෙන බව විද්වතුන්ගේ අදහසයි. කෙසේ නමුත් දිවයිනේ මුල් ඉතිහාසය හඳුනා ගැනීමේ දී විජය පුරාවෘතය ආශ්‍රය කොට ගෙන ප්‍රබන්ධයන් වංශකතාවන් තුළට ඇතුළත් කොට ඇති ආකාරය හඳුනාගත හැකිය. ඒ අනුව විජය කතා පුවතින් ගම්‍ය වන ආකාරයට එහි දැක්වෙන සිද්ධි කිසිවක් පිළිබඳව වෙනත් සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් නොලැබෙන බව විද්වතුන්ගේ මතයයි. එමෙන්ම විජය පුරාවෘතය යනු එක් කෙනෙකු කිහිප දෙනෙකු විසින් රචනා කරන ලද මනඃකල්පිත කතාන්දරයක් බවත් එහි රචකයන් තත්කාලීන ඉන්දියාවත් ලක්දිවත් පිළිබඳව දැන සිටි කරුණු අනුව ගළපා එම කතා පුවත සකස් කොට ඇති බවත් එම උගතුන් වැඩි දුරටත් දක්වා ඇත. විශේෂයෙන්ම එම කතුවරුන් එවකට පැවති මිනිස් ගති හා මිනිස් කටයුතු පිළිබඳව ඔවුන් තුළ වූ අදහස් හා විශ්වාසයන් එම එම කතාන්දරයට එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකි වේ. ලක්දිව ජනාවාස කරන ලද පළමුවැනි පුද්ගලයා වූ විජය හා සම්බන්ධ ජනප්‍රිය කතාන්දරය එසේ විජය පුරාවෘතය නමින් ප්‍රචලිත වන්නට ඇති බව ද එනිසාවෙන්ම දිවයිනේ මුල් ඉතිහාසය ලෙස එම පුරාවෘතය ප්‍රබන්ධයක් ලෙස වංශ කතා තුළට ඇතුළත් කරන්නට ඇති බව ද උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වේ. එනමුත් එම පුරාවෘතය වංශකතා තුළට ඇතුළත් කිරීමෙන් දිවයිනේ මුල් ඉතිහාසය සමස්තයක් ලෙස ප්‍රබන්ධයක් වන බව ඉන් අදහස් නොවේ. විශේෂයෙන්ම විද්වතුන් විසින් වංශකතා තුළ සඳහන් මෙම පුරාවෘතය පිළිබඳව විමසිල්ලෙන් බලා එහි ඇති සත්‍ය සිදුවීම් ත්‍රිත්වයක් පිළිබඳව පෙන්වා දී ඇත. එනම්, සිංහබාහු රජු හා මව් බිසව පිළිබඳ කතාවේ මුල් අවස්ථාව සම්බන්ධ සිංහල නම් වූ මුල් ආර්ය කණ්ඩායමක් වූ බවත්, ඉන්දියාවෙන් පැමිණි පිරිසක් ලක්දිව ජනාවාස කළ බවත්, යක්ෂ නම් වූ දේශීයයන් පිරිසක් මෙහි වාසය කළ බවත් ය. කෙසේ නමුත් එලෙස යම් යම් සත්‍ය කරුණු උකහා ගත හැකි වූවත් සමස්තයක් ලෙස විජය කුමරු හා බැඳි පුරාවෘතය දිවයිනේ මුල් ඉතිහාසය රචිත වංශකතා තුළට එක් කර තිබීම ඒවායේ විස්තෘත ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට මනා සාක්ෂ්‍යයක් වන බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.

         එමෙන්ම පණ්ඩුකාභය පුරාවෘතය ද වංශකතාවන්හි සඳහන් මුල් ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට පෙන්වාදිය හැකි තවත් එක් සාධකයකි. විජය පුරාවෘතය තරම් පැරණි නොවූවත් මෙම පුරාවෘතයේ විස්තෘත ඉතිහාසය ද ඓතිහාසිකමය වශයෙන් එතරම් වැදගත් නොවන බව කියවේ. විජය පුවතට වඩා අත්භූත කරුණු හා සිදුවීම ඇතුළත් මෙම පුරාවෘතය අභව්‍ය සිදුවීම් විශාල ප්‍රමාණයක් ඇතුළත් වන විස්තරයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම වංශකතා තුළට මෙම පුරාවෘතය ඇතුළත් කිරීමේ දී එයට අභව්‍ය සිදුවීම් විශාල ප්‍රමාණයක් එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකි අතර එම තත්වය එහි ප්‍රබන්ධාත්මක ස්වරූපය වැඩි කොට දක්වන්නක් වේ. ඒ අනුව චිත්තරාජ හා කාලවේල දෙදෙනා යක්ෂයින්ව කුමරුන්ට සේවය කිරීම, චේතියා නම් යක්ෂ වෙළඹක් කුමරුන් විසින් මෙල්ල කොට ගැනීම, ස්වර්ණපාලී කුමරිය නුගපත් අතට ගත් විට ඒවා රන් බඳුන් බවට පත් වීම, යක්ෂයින් හා සම අසුන් ගෙන පණ්ඩුකාභය රජු ඔවුන්ට පූජාවන් පැවත්වීම ආදී සිදුවීම් අත්භූත මෙන්ම පණ්ඩුකාභය නම් ජනප්‍රිය චරිතය විස්තර කෙරෙන පුරාවෘතය වර්ණවත් කිරීම සඳහා වංශකතා තුළ යොදා ගැනුණු ප්‍රබන්ධ බව පෙන්වා දිය හැකිය. එනමුත් මෙම කුමරු සිය මාමාවරුන් පරාජය කොට රජකම ලබා ගන්නට ඇති බවත්, අනුරාධපුරය නගරයක් වශයෙන් භාවිතා කළ පළමු රජු මොහු වන බවටත් වංශකතාවන්හි සඳහන් තොරතුරු සත්‍ය වන බව විද්වතුන් විසින් දක්වා ඇත. එබැවින් පණ්ඩුකාභය පුවත වැනි පුරාවෘතයන් ඉතිහාස කරුණු  අඩංගු වංශකතා විස්තරයන් තුළට ඇතුළත් කොට තිබීම එම ඉතිහාසය ප්‍රබන්ධාත්මක වීමට හේතු වූ බව කිව හැකි අතර එනිසාවෙන්ම ලාංකීය වංශකතාවන්හි විස්තෘත මුල් කාලීන ඉතිහාසය බෙහෙවින් ප්‍රබන්ධාත්මක ස්වරූප ගන්නා බව උක්ත කරුණු මඟින් මැනවින් පැහැදිලි වේ.

එමෙන්ම පැරණි බෞද්ධ ජාතක කතා ආශ්‍රය කර ගනිමින් වංශකතා තුළ ප්‍රබන්ධ සකස් කොට ඇති ආකාරයත් උක්ත යුගයේ විස්තෘත වංශකතා තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකිය. ඒ අනුව ජාතක කතා කිහිපයකම ආභාෂය වංශකතා රචනයේදී උපයෝගී කොට ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. විශේෂයෙන්ම වලාහස්ස ජාතකයෙහි විස්තර වන ආකාරයෙන් තම්බපණ්ණි නම් දිවයිනේ සිටි යක්ෂණියන් පිළිබඳව වූ විස්තරය මහාවංශ කතුවරයා සිය කෘතියට උපයෝගී කොට ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. ඒ අනුව බුදුන් මෙරටට වැඩම කොට යක්ෂ ප්‍රජාව පරාජය කළ බවත්, විජය කුමරු පැමිණීමට පෙර කුවේණිය නම් යක්ෂණියක් මෙරට සිටි බවත් ආදී වූ ප්‍රබන්ධ සිදු කොට ඇත්තේ එම ජාතකයේ ආභාෂයෙන් යැයි කිව හැකිය. එමෙන්ම පදකුසලමානවක ජාතකයේ එන බ්‍රාහ්මණයා හා යක්ෂණියගේ කතාව හා සම්බන්ධ කොට ඒ ආශ්‍රයෙන් සිංහබාහු පුවත වංශකතා තුළ ප්‍රබන්ධ කොට ඇති කිව හැකිය. මන්ද යත් එම ජාතක කතාවේද වෙළඹක් වැනි යක්ෂණියක් බ්‍රහ්මණයෙකු තම ස්වාමි පුරුෂයා වශයෙන් ගල් ලෙනක් තුළ සිර කොට තබා ගත් පුවතක් දැක්වෙන අතර එසමයේ බෝධිසත්වයන් එම යක්ෂණියට හා බ්‍රාහ්මණයාට දාව පුතෙකුව ඉපිද පසුව එම ගල් දොර හැර  පලා ගිය ආකාරය පිළිබඳව විස්තර වේ. එය සිංහබාහු පුවතට ඉතා සමීප බැවින් වංශකතා කතුවරුන් එම ජාතක කතාවේ ආභාෂය සිංහබාහු පුවත ප්‍රබන්ධ කිරීමේ දී යොදා ගන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. තව ද සිංහයා රට විනාශ කිරීමත් සිංහභාහු කුමරු සිංහයා මරා දැමීමත් ලෙස මහාවංශයට එක් කොට ඇති තොරතුරු සුතන ජාතකය උපයෝගී කොටගෙන ප්‍රබන්ධ කළ බව කිව හැකිය.  එපමණක් නොව කුවේණිය විජයගේ හත් සියයක් පිරිවර සිර කිරීම පිළිබඳව වූ සිදුවීම දේවධම්ම ජාතකයෙන් උකහා ගනු ලැබූවක් වේ. එම ජාතකයට අනුව රාක්ෂසයෙක් පොකුණට බසින සහෝදර කුමාරවරුන් දෙදෙනෙකු සිර කොට ගැනීමත් පසුව බෝධිසත්වයින් විසින් ඔවුන් රාක්ෂසයාගෙන් නිදහස් කොට ගැනීමක් විස්තර වන අතර එය කුවේණිය හා විජයගේ පිරිවර සම්බන්ධ පුවතට බොහෝ සෙයින් සමාන බවක් දක්වයි. එමෙන්ම විජය කුමරු හා අනුගාමිකයන් පිරිස සිය රට හැර ගිය හේතුව ගත් විට එය ඝත ජාතකය හා සම්බන්ධ වන බව කිව හැකිය. එම ජාතකයට අනුව ද මහජනයාට විවිධ නොපනත්කම් සිදු කරන රජුගේ බෑණනුවන් හා අනුගාමිකයන් පිරිස රටින් පිටුවහල් කරන සිදුවීමක් විස්තර කෙරේ.

    එපමණක් නොව උන්මාදචිත්‍රා හා දීඝගාමිණීත් පණ්ඩුකාභය කුමරුත් සම්බන්ධ වංශකතා විස්තර ද ඝත ජාතකය ආශ්‍රය කොට ගෙන ප්‍රබන්ධ කර ඇති සෙයක් දිස්වේ. මන්ද යත් ඝත ජාතකය තුළත් එක්ටැම්ගෙයක සිරකරන ලද මහාකංස රජුගේ දියණියක් පිළිබඳව මෙන්ම ඇයට හා උපසාගර නැමැත්තෙකුට ලැබුණු කුමරෙකු මවගේ සොහොයුරන් මරා රාජ්‍යත්වය ලබා ගන්නා විස්තරයක් එම ජාතකයෙන් විස්තර වන බැවිණි. එමෙන්ම පණ්ඩුකාභය කුමරු චේතියා නම් වෙළඹ අල්ලා ගන්නා අවස්තාවේ ඇය තල්පතට බිය වීමේ සිදුවීම අයෝඝර ජාතකයේ ද ඒ ආකාරයෙන්ම සඳහන් වන අතර පණ්ඩුකාභය රජු චිත්තරාජ හා සමසුන් ගෙන  දෙව් මිනිස් යක්ෂ ගණයා සිදු කරන රැඟුම් නැරඹීම කුරුධම්ම ජාතකයේ ආභාෂයෙන් ප්‍රබන්ධ කළ අවස්තාවක් ලෙස පෙන්වා දිය හැකිය.

එබැවින් සමස්තයක් ලෙස ගත් කළ පැහැදිලි වනුයේ  වංශකතා තුළ දැක්වෙන විජය කතා පුවත හා ඒ හා බඳුණු සිද්ධි දාමය, පණ්ඩුකාභය වෘතාන්තය ආදිය පූර්ණ වශයෙන්ම ජාතක කතා ලෝකයක ජීවත් වූ නිර්මාපකයින් විසින් ප්‍රබන්ධ කරන ලද්දක් යැයි ගම්‍යමාන වන බවයි. එමෙන්ම යක්ෂයන්, රාක්ෂසයන්, මිනිස්-තිරිසන් සංවාසයෙන් දරුවන් ලැබීම් ආදී චරිත හා සිද්ධි දිවයිනේ මුල් කාලීන ඉතිහාසය අඩංගු වංශකතා තුළ සඳහන් කොට තිබීම ජාතක කතා ආශ්‍රයෙන් ගොඩනංවන ලද ප්‍රබන්ධ බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ. 

    එමෙන්ම ජාතක කතාවල සඳහන් ඇතැම් මිත්‍යා චරිත ද පදනම් කොට ගනිමින් වංශකතා තුළ මිත්‍යා කතා හෙවත් අභව්‍ය සිද්ධි ප්‍රබන්ධ කොට තිබෙන ආකාරය හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම යක්ෂයින්, නාගයින් හා දේව ගණයා සම්බන්ධ විස්තර එලෙස අභව්‍ය ගණයේ ලා සැළකිය හැකිය. ඒ අනුව කුවේණිය, චිත්තරාජ හා කාලවේල, චේතියා නම් වෙළඹ ආදී යක්ෂයින් ඉතා බලවත් ඉන්ද්‍රජාලික බලයයන් ඇත්තවුන් ලෙස වංශකතා තුළ අභව්‍ය ආකාරයෙන් දක්වා ඇති මුත් ඔවුන්ගේ ඉන්ද්‍රජාලික බලයයන් කෙසේ වුවත් යක්ශ නමින් හැඳුන්වූ ස්වදේශික පිරිසක් වන්නට ඇති බව කිව හැකිය. නාගයන් ද එසේමය. දුටුගැමුණු රජු මහා සෑයේ තැන්පත් කිරීමට ධාතු ගෙන ඒමට සෝණුත්තර තෙරුන් යැවූ බව වංශකතාවේ සඳහන් වන අතර එහි දී එම භික්ෂුව ධාතු කරඬුව ගිල දැමූ මහා මේරු පර්වතය යට සැඟවී සිටිනා කාළ නා රජුගේ බෑණනුවන් වූ වාසුලදත්තගේ මුඛය තුළින් සියුම් අතක් යවා ධාතූන් ලබා ගත් බව ආදී වශයෙන් ඉතා අත්භූත ආකාරයෙන් රචනා කොට ඇත. දේව ගණයා පිළිබඳව සඳහන් කොට ඇති විස්තර තුළ ද ඔවුන් බලසම්පන්න බවත්, එමෙන්ම ඔවුන්ගේ කෝපය දේශයට විපත් ඇති කිරීමට සමත් වන බවත් ආදී වශයෙන් වංශකතා තුළ දක්වා ඇත. විශේෂයෙන්ම මහාවංශයේ නොමැති එහෙත් දීපවංශ විස්තරයට අනුව කැළණිතිස්ස රජ දවස සිදු වූ මුහුද ගොඩ ගැලීම රජු භික්ෂුවක මැරවීම නිසා ඇති වූ දේව කෝපයක් ලෙස අර්ථ දක්වා තිබේ. එබැවින් ඉහත දක්වන ලද ආකාරයේ මිත්‍යා හා අභව්‍ය සිද්ධි නිර්මාණය කරමින් ඒවා වංශකතා තුළට ඇතුළත් කිරීම මඟින් ද පෙනී යන්නේ ලාංකීය වංශකතා තුළ විස්තෘත වන දිවයිනේ මුල් කාලීන ඉතිහාසය බෙහෙවින්ම ප්‍රබන්ධාත්මක එකක් බව මැනවින් ගම්‍යමාන වන බවයි. 

    එපමණක් නොව විදේශීය මූලාශ්‍රයන්ගේ ආභාෂය සහිතව ද මෙම වංශකතා තුළ ප්‍රබන්ධ ගොඩ නංවා ඇති ආකාරය දක්නට ලැබේ. එහි දී වඩා වැදගත් වනුයේ දිව්‍යාවදානයයි. වලාහස්ස ජාතකයේ ද විස්තර වන සිංහල නම් වෙළෙඳා හා යක්ෂණියන් පිළිබඳ කතාව දිව්‍යාවදානය තුළ ද සඳහන් කොට ඇත. විශේෂයෙන්ම එහි එන යක්ෂණියන් හා විසූ බැල්ලක පිළිබඳ විස්තරය, යක්ෂණිය ආහාර පාන මඟින් සංග්‍රහ කිරීම, සිරීසවත්ථු නගරයේ සිටි යකුන් ආදී විස්තරයන් ලාංකීය වංශකතා තුළට ද ඇතුළත් කොට තිබෙනු දක්නට ලැබේ. එපමණක් නොව මහාභාරතය හා රාමායණය යන භාරතීය වීර කාව්‍යයන්ගේ ආභාෂය සහිතව ද මෙම වංශකතා රචනා කොට තිබෙන බව විද්වතුන්ගේ මතයයි. පණ්ඩුකාභය, දුටුගැමුණු වැන්නවුන් වංශකතාවේ වීරයන් ලෙස උලුප්පා පෙන්වීමට ඉහත දැක්වූ භාරතීය වීර කාව්‍යයන්ගේ ආභාෂය කතුවරුන්ට ලැබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. එබැවින් ලාංකීය මුල් ඉතිහාසය විස්තර වන වංශකතා තොරතුරු ප්‍රබන්ධාතමක වීමට විදේශීය සාහිත්‍යයේ ආභාෂය ද හේතුවක් වූ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වන බව කිව හැකිය.

එමෙන්ම දිවයිනේ මුල්කාලීන ඉතිහාසය අඩංගු වංශකතා ප්‍රබන්ධාත්මක බවට පෙන්වා දිය හැකි තවත් එක් සාධකයක් වනුයේ බුදු දහමට වැඩි නැඹුරුවක් ලබා දීමට උත්සහ කිරීම ඔස්සේ එම ඉතිහාසය ප්‍රබන්ධයක් බවට පත් වීමයි. ඒ අනුව එසේ ප්‍රබන්ධ බවට පත් වූ අවස්ථා කිහිපයක් වංශකතා අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකිය. එහි පළමුවැන්න වනුයේ දුටුගැමුණු රජු විසින් සිදු කරන ලද යුද්ධය රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යැයි මහාවංශය තුළ මතුකර තිබීමයි. විදේශීය දමිළ ආක්‍රමණිකයෙකු දිවයිනේ අගනුවර වූ අනුරාධපුර වසර 44ක් වැනි දිගු කලක් තිස්සේ යටත් කොට ගෙන සිටි විට දුටුගැමුණු රජු එම පාලකයා පරාජයට පත් කිරීමට යනුයේ බෞද්ධාගමේ චිර පැවත්ම උදෙසා පමණක් බව උලුප්පා දැක්වීමට මෙහි දී වංශකතා කරුවා උත්සහා ගෙන ඇති ආකාරය පෙනේ. එපමණක් නොව මෙම යුද්ධයේදී භික්ෂූන් 500ක් යුධ සෙබළුන්ට පොරොතුව ගමන් කළ බව සඳහන් කිරීමෙන් ද බෞද්ධාගමික පක්ෂපාතීත්වය ඇති කිරීමට ගොස් ප්‍රබන්ධාත්මක ස්වරූපයක් ඉතිහාස කතාව තුළට එක් කොට ගෙන ඇති බව කිව හැකිය. එමෙන්ම දුටුගැමුණු රජු මහා සෑය ඉදිකිරීමට පෙර එහි වැඩ කටයුතු පිණිස ධනය ලැබුණු ආකාරය දැක්වීමේදී ද බෞද්ධාගම පදනම් කොටගත් ප්‍රබන්ධයක් වංශකතාව තුළට එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකිය. ඒ අනුව එහි දැක්වෙන විස්තර ගත් විට රජු මහා බෝධි පූජාවක් කිරීමෙන් පසුව සතුටු වූ දෙවියන් ගඩොල්, තඹ, මැණික්, මුතු ආදිය මැවූ බව දක්වා ඇත. එමෙන්ම රජු මිය යෑමට ආසන්න වූ අවස්ථාව පිළිබඳව මහාවංශයේ දක්වා ඇති විස්තරය ද බෞද්ධාගම පදනම් කොටගත් ප්‍රබන්ධයක් බව කිව හැකිය. ඒ අනුව දෙව් ලොවින් රථ හයක් පැමිණ රජුට අඬගැසූ බවත්, රජු මෛත්‍රී බෝසතුන් වෙසෙන තුසිත පුරය තෝරා ගත් බවත්, අනතුරුව මෙලොවින් චුතව දිව්‍ය රථයෙන් සෑය තෙවරක් පැදකුණු කොට තුසිත පුර බලා ගිය බවත් ආදී වශයෙන් දක්වා ඇත.

    දීපවංශයටත් වඩා මහාවංශය තුළ මෙවැනි බෞද්ධාගමික මුහුණුවරක් සහිත ප්‍රබන්ධ ඇතුළත් කොට තිබීමට ප්‍රධාන හේතුවක් වනුයේ එහි කතුවරයා මහාවිහාරයට පක්ෂ වූ බෞද්ධ භික්ෂුවක් වීම බව උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම මහා විහාරයට මහත් උපකාර කළ රජු වූ දුටුගැමුණු රජු උක්ත ආකාරයේ ප්‍රබන්ධ මඟින් සමස්ත කෘතිය තුළම ඉහළ ස්ථානයකට ඔසවා තැබීමට මහානාම හිමියන් උත්සහ ගත් බව පැහැදිලි වේ. කෙසේ නමුත් ඉහත නිදසුන් මඟින් ද දිවයිනේ මුල් ඉතිහාසය රචිත වංශකතා ප්‍රබන්ධාත්මක බවට තහවුරු කොට ගත හැකි සාධක මැනවින් පැහැදිලි වන බව කිව හැකි අතර සෑම සංසිද්ධියකම දැකිය නොහැකි වූවත් බුදුදහමට තිබූ පක්ෂපාතීත්වය ද එසේ ප්‍රබන්ධයක් කොට වංශකතාවල එක් කොට ඇති බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

විශේෂයෙන්ම දිවයිනේ මුල් ඉතිහාසය විස්තෘත වංශකතා වශයෙන් දීපවංශය හා මහාවංශය තුළ පවතින ප්‍රබන්ධාත්මක ස්වභාවය සංසන්දනයකට ලක් කළ හැකිය. එහි දී කැපී පෙනෙන ලෙස මහාවංශය දීපවංශයට වඩා ප්‍රබන්ධාතමක ස්වරූපයකින් රචනා කොට ඇති බව පිළිගත හැකිය. ඒ අනුව වඩා පැරණි මූලාශ්‍රය වශයෙන් දීපවංශය විශ්වාසදායක හා පිළිගත හැකි මට්ටමේ තොරතුරු ඉදිරිපත් කොට ඇති බව විද්වතුන්ගේ මතය වන අතර මහාවංශය තරම් ක්‍රමානුකූලව තොරතුරු ඉදිරිපත් නොකරන නමුත් ශාස්ත්‍රීයමය පදනමකට හුරු ඓතිහාසිකත්වය ගරු කරන වාර්තාමය ස්වරූපයක් ඉන් දක්නට ලැබෙන බව කිව හැකිය. විශේෂයෙන්ම මහාවංශයේ සඳහන් නොවෙන තොරතුරු බොහෝ ප්‍රමාණයක් ද දීපවංශය තුළ අඩංගු වේ. ඒ අතර ලක්දිව භික්ෂුණී ඉතිහාසය, දසභාතික රජවරුන්, කැළණියේ රජ පරපුර ආදිය වඩා වැදගත් වන අතර මහාවංශයේ දැක්වෙන ඇතැම් පුවත් සමඟ ඝට්ටන මතු වන අවස්ථා ද දීපවංශයේ සඳහන් මුල් ඉතිහාසයෙන් හඳුනාගත හැකිය. ඒ අතර කුවේණිය සම්බන්ධ පුවත, සේන ගුත්තික, ලජ්ජිතිස්ස, නීලිය වැන්නවුන්ගේ රාජ්‍ය කාලයන් ආදිය පෙනවා දිය හැකි අතර එම තොරතුරු මහාවංශ තොරතුරුවලට වඩා නිවැරදි බවද කියවේ.

    නමුත් දීපවංශය හා සැසඳූ විට මහාවංශය ක්‍රමානුකූල හා නිරවුල් බවක් දැක්වූවත් එය ඓතිහාසිකමය වාර්ථා ස්වරූපයකට වඩා ගොතන ලද කතා ඇතුළත් කතුවරයාගේ ස්වකීය කැමත්තට වැඩි නැඹුරුවක් ලබා දුන් වංශකතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය. විශේෂයෙන්ම වෙනත් කිසිදු සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් සනාථ නොවන්නා වූ ප්‍රබන්ධාත්මක කරුණු රැසක් මහාවංශ විස්තරයට එක් කිරීමට කතුවරයා උත්සහගෙන ඇති ආකාරය දක්නට ලැබේ. ඒ අනුව බුදුන්ගේ පරපුරට ලක්දිව රජ පවුල සම්බන්ධ කිරීමට උත්සහ දැරීම, විජය පුරාවෘතය, කුවේණියගේ පුවත, පණ්ඩුකාභය පුරාවෘතය, දුටුගැමුණු රජු පිළිබඳව සඳහන් වන අතිශයෝක්ති ආදිය මහාවංශයේ පමණක් දක්නට ලැබෙන ප්‍රබන්ධ බව උක්ත පරිච්ඡේදයන් තුළ දක්වන ලද කරුණු තුළින් පැහැදිලි වේ. එබැවින් පැරණි පොත පතෙහි තිබූ අඩු ස්ථාන පිරවීම මහාවංශය රචනා කිරීමේදී තම අරමුණ වූ බව මහානාම හිමියන් දක්වා තිබුණත් එම අඩු තැන් පිරවීමේ දී එයට ඉතා විශාල වශයෙන් ගොතන ලද කතා හෙවත් ප්‍රබන්ධ එක් කරමින් රචනා කොට ඇති බව පැහැදිලි කරුණකි.

    එබැවින් දිවයිනේ මුල් කාලීන ඉතිහාසය රචිත වංශකතා වූ දීපවංශයේ හා මහාවංශයේ ප්‍රබන්ධාත්මක ස්වරූපය සංසන්දනය කළ විට පැහැදිලි ලෙසම දීපවංශයට වඩා මහාවංශය තුළ ප්‍රබන්ධාත්මක ඉතිහාසයක් අඩංගු බව කිව හැකි අතර  එසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දීපවංශය මෙන් නොව මහාවංශය ශාස්ත්‍රීය ඓතිහාසික වාර්ථාවක් නොව මහාවිහාරික ඉතිහාසය රචනා කරන ලද කෘතියක් පමණක් වීම නිසාවෙන් යැයි කිව හැකිය.


Share:

facebook share twitter share

0 comments:

Post a Comment