Sunday, February 13, 2022

ලාංකේය රාජධානි නිරිත දිගට විතැන් වීමත් සමඟ මතු වූ අභ්‍යන්තර අරගල


ශතවර්ෂ පහළොවකට අධික කාලයක් ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ තෝතැන්න වූ අනුරාධපුරය හා පොළොන්නරුව පදනම් කොට ගත් රජරට සභ්‍යත්වය දහතුන්වන ශතවර්ෂයේ මධ්‍ය භාගයේ සිට දේශපාලන හා සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද එතරම් වැදගත්කමක් නොමැති ප්‍රදේශයන් බවට පත් විය. ලාංකීය රාජධානි නිරිත දිගට සංක්‍රමණය වූ අතර යාපනය කේන්ද්‍ර ගත කරගනිමින් වෙනමම පරිපාලන කලාපයක් ද ඇති වනු මේ යුගයේ දක්නට ලැබේ. පිළිවෙළින් දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ ලෙස ලක්දිව රාජධානිය කෙටි කාල පරිච්ඡේදයන් තුළ විවිධ කලාපයන්ට විතැන් වූ අතර රජරට ශිෂ්ටාචාරයේ තිබූ සමෘධිමත් සමාජ-දේශපාලන සාධක කිසිවක් සමඟ මෙම නිරිත දිග රාජධානි සැසඳිය නොහැකි බව විද්වතුන්ගේ මතය වී ඇත. විශේෂයෙන්ම එයට හේතුව වන්නට ඇත්තේ එම රාජධානි සියල්ලම ඉතා කෙටි කාල පරිච්ඡේදවලට සීමා වීම බව කිව හැකිය. කෙසේ නමුත් ලක් ඉතිහාසයේ මුල් යුගයේ පටන් පවත්වා ගෙන ආ සාම්ප්‍රධායික දේශපාලන තත්වයේ පමණක් නොව ආර්ථික, සමාජ හා සංස්කෘතිකමය ක්ෂේත්‍රයන් තුළ ද විශාල විපරිවර්තන තත්වයන් ඇති කිරීමට රජරට ශිෂ්ටාචාරයෙන් පසු එළැඹි නිරිත දිග රාජධානි සමයට හැකියාව ලැබුණු අතර එම තත්වයන් ඒ ඒ යුගයන් විශේෂයෙන්ම ඉස්මතු කර දැක්වීමට ද හේතු කාරණා වන සාධක ලෙස පෙන්වා දිය හැකිය.


දඹදෙණි යුගය

1. මිත්ත සෙන්පතිවරයා රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සහ කිරීම

මේ යුගයේ මුල් පාලකයා වූ තෙවන විජයබාහු රජු කාලිංග මාඝගේ ආක්‍රමණ හේතුවෙන් රජරට අත්හැර රුහුණට හා මයා රටට පලා ගොස් තැනින් තැන බලය පිහිටුවා ගත් ප්‍රදේශීය පාලකයන්ගෙන් එක් අයෙකු විය. ඔහු දඹදෙණි ප්‍රදේශයේ සිය අගනුවර පිහිටුවා ගනිමින් ස්වකීය පරිපාලනය ඇති කළ අතර ඔහුගෙන් පසුව වැඩිමහල් පුත්‍රයා වූ දෙවන පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වය ලබා ගත්තේය. මෙම රාජ අවධීන් ද්විත්වයම අභ්‍යන්තර අරගල නොමැති එහෙත් බාහිර සතුරු ආක්‍රමණ සහිත යුගයන් වන අතර දෙවන පරාක්‍රමබාහු රජු ඒවා මැඩ පවත්වා ක්‍රමවත් දේශපාලනයක් මෙන්ම ආර්ථික, සමාජ හා සංස්කෘතික සමෘධියක් ඇති කරනු ලැබූ පාලකයෙකු විය. නමුත් ඔහුගේ ඇවෑමෙන් 1271 දී දඹදෙණියේ රජ වූ හතරවන විජයබාහු හෙවත් බෝසත් විජයබාහු රජුට රජකම් කළ හැකි වූයේ වසර දෙකකට අඩු කාලයකි. රජුට විරුද්ධව ඇති වූ අභ්‍යන්තර අරගලයක් මෙයට හේතු විය. ඒ අනුව මිත්ත නම් සෙන්පතිවරයෙකු රජ මැඳුරේ මෙහෙකරුවෙකුට අල්ලස් ලබා දී රජු මරුමුවට පත් කොට රාජ්‍යත්වයට පැමිණි බව සඳහන් වේ. එමෙන්ම සිහසුනට කිසිදු උරුමයක් නොතිබූ මොහු වැටුප් හා ප්‍රසාද ලබා දී සිංහල හමුදාපතිවරුන් තමන්ට පක්ෂපාතී කොටගෙන බෝසත් විජයබාහු රජුගේ සහෝදරයා වූ බුවනෙකබාහු ආදිපාදවරයා ද මැරවීම සඳහා චර පුරුෂයින් යෙදවූ බව කියවේ. ආදිපාදවරයා ඉන් බේරී පළා ගොස් යාපහුවට ගිය බවත් ඉන් පසුව රාජ සේවයේ යෙදී සිටි විදේශීය හමුදා සේනාංකයේ ආර්ය භටයන් උරුමයක් නොමැති මිත්ත හට අවනත නොවූ බවත් සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයේදී මිත්ත විසින් විදේශිය සේනාංකයේ ඨකුරක නම් යුධ නායකයා මරණයට පත් කළ බවත් අනතුරුව පලා ගිය බුවනෙකබාහු ඈපාණන්ගේ උපදෙස් මත සිංහල සෙනෙවිවරුන්ට තම උරුමය පිළිබඳව පැහැදිලි කොට ඔවුන් ද පක්ෂ කර ගනිමින් අවසානයේ බුවනෙකබාහු ඈපාණන් හට රාජ්‍යත්වය ප්‍රධානය කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. කෙසේ නමුත් මෙම තත්වය දඹදෙණි අවධියේ දී දක්නට ලැබෙන ප්‍රධාන අභ්‍යන්තර අරගලයක් වන අතර මුල් කාලීන දඹදෙණි පාලකයන්ගේ අවධීන් තුළ අභ්‍යන්තර ගැටුම් මතු නොවූවත් දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව ඉස්මතු වූ උක්ත අභ්‍යන්තර අරගල තත්වය දඹදෙණි යුගය වසර 55කට පමණක් සීමා කරමින් ලක්දිව රාජධානිය නැවතත් වෙනත් කලාපයකට විතැන් කරනු හඳුනා ගත හැකිය.


යාපහුව යුගය

1. වන්නි පාලකයන්ගේ නැඟී සිටීම

මේ යුගයේ පළමු පාලකයා වූ බුවනෙකබාහු රජු ඉහත සඳහන් කළ පරිදි සාර්ථක ලෙස කැරැල්ල මර්දනය කරමින් රාජ්‍යත්වයට පැමිණෙනු ලැබුව ද ඉන් පසුවත් ඔහුට විරුද්ධව යාපහුව රාජධානිය තුළ අභ්‍යන්තර අරගල ඇති වන බව වංශ කතාවේ සඳහන් කොට ඇත. ඒ අනුව ඔහුට පෙර දඹදෙණි පාලකයන් වූ දෙවන පරාක්‍රමබාහු රජුට හා බෝසත් විජයබාහු රජුට පක්ෂපාතීව සිටි වන්නි පාලකයන් කිහිප දෙනෙකු බුවනෙකබාහු රජුට විරුද්ධව නැඟී සිටිය බව සඳහන් වේ. ඔවුන් කදලීවාට, මාපාණ, තිප හිමියාක යන නම්වලින් හැඳින්වූ බව වංශ කතාවේ සඳහන් කොට ඇති බවද කියවේ. එපමණක් නොව ලක්දිව වංශකතාව හා මාර්කෝ පෝලෝගේ වාර්තාව සඳහන් කරන පරිදි මෙසමයේ චන්ද්‍රභානුගේ පුත්‍රයෙකු දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජධානියේ සහාය ලබා ගනිමින් උතුරේ වෙනම පරිපාලනයක් ගෙන ගිය බවත් එනිසා බුවනෙකබාහු රජුට නිරතුරුව උතුරු කලාපය අභ්‍යන්තර අරගලයකට යොමුවේ දැයි විමසිල්ලෙන් සිටීමට සිදු වූ බවත් එම මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු මඟින් හඳුනාගත හැකිය.

2. තෙවන පරාක්‍රමබාහු රජු හා දෙවන බුවනෙකබාහු රජු අතර වූ ගැටුම

පළමුවැනි බුවනෙකබාහු රජුගේ මරණය සිදු වූ 1284 වසරේ සිට වසර තුනක් රාජ අන්තරයක් පැවති කාල සීමාවක් ලෙස දළඳා සිරිත පෙන්වා දෙන අතර ඉන් පසුව නැවත අභ්‍යන්තර අරගලයක් මෙරට රජ පදවිය උදෙසා නිර්මාණය වනු දක්නට ලැබේ. ඒ පළමුවැනි බුවනෙකබාහු රජුගේ පුත්‍රයා වූ දෙවන බුවනෙකබාහු හා බෝසත් විජයබාහු රජුගේ පුත්‍රයා වූ තෙවන පරාක්‍රමබාහු අතර වේ. ඔවුන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තීන්ගේ සහාය ලබා ගත් පාණ්ඩ්‍ය හමුදාවන් යාපහුව ආක්‍රමණය කරමින් දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව රැගෙන ඉන්දියාවට ගිය බව කියවේ. සෙනරත් පරණවිතායන් විසින් මෙම සංසිද්ධිය උදෙසා ලබා දෙන අර්ථකථනයේ සඳහන් වන්නේ රාජපදප්‍රාප්තිය පිළිබඳව තෙවන පරාක්‍රමබාහු හා දෙවන බුවනෙකබාහු අතර ඇති වූ අභ්‍යන්තර අරගලය මෙරටින් රාජ්‍යත්වයේ සංකේතයන් වූ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව විදේශයකට රැගෙන යාමට ප්‍රධාන හේතුව වූ බවයි”.

කෙසේ නමුත් නැවතත් රාජ්‍යත්වයේ සංකේත පාණ්ඩ්‍ය රජුගෙන් ලබා ගන්නා තෙවන පරාක්‍රමබාහු රජු 1287දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් වූවත් ඔහුට එරෙහිව නැවත අභ්‍යන්තර අරගලයක් ගෙන යන දෙවන බුවනෙකබාහු කුමරු පොළොන්නරුවට ගොස් පාත්‍ර හා දන්ත ධාතුව රැගෙන නැවත යාපහුවට පැමිණ ශ්‍රී නිවාස බුවනෙකබාහු නමින් 1292දී රාජ්‍යත්වයට පත් වූ බව කියවේ. මොහු වසර 7ක් යාපහුවේ පරිපාලනය ගෙන ගොස් පසුව 1300දී පමණ සිය රාජධානිය කුරුණෑගල ප්‍රදේශයට විතැන් කරනු මූලාශ්‍රගත තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකිය. ඒ අනුව යාපහුවේ මුල් සමයේ පටන් වරින් වර ඇතිවූ අභ්‍යන්තර අරගලයන්ට හේතු වූ ප්‍රධානම කරුණ වන්නේ රජ පදවිය උදෙසා කුමාරවරුන් අතර තිබූ ඝට්ටනය බව කිව හැකි අතර ඒ හේතුවෙන්ම විවිධ විදේශීය ආක්‍රමණිකයින් ද මෙරට ආක්‍රමණය කොට රාජ්‍යත්වයටම අදාළ වූ සංකේත පවා මෙරටින් රැගෙන ගිය බව උක්ත කරුණු ඔස්සේ නිගමනය කළ හැකිය. එපමණක් නොව යාපහුව රාජධානිය දශක තුනකටත් වඩා අඩු කලකට සීමා වීමට ද වරින් වර යාපහුව පදනම් කරගනිමින් මෙරට දේශපාලනයේ ඇති වූ අභ්‍යන්තර අරගල හේතු වී ඇත.


        කුරුණෑගල යුගය

 1. බෝදා මපාණන් ඇති කළ කැරැල්ල

මෙම අවධිය යාපහුව යුගයට සාපේක්ෂව අභ්‍යන්තර අරගල එතරම් දක්නට නොලැබෙන යුගයක් ලෙස හඳුන්වා දිය හැකිය. මන්ද යත් කුරුණෑගල යුගය දඹදෙණිය සේම සමාජ හා සංස්කෘතිකමය අංශයෙන් විශාල වර්ධනයක් පැවති යුගයක් වීමත්, එනිසාම අරගලකාරී දේශපාලන මත ගැටුම් ඉතා අවම තත්වයක පැවතීමත් නිසාවෙනි. කෙසේ නමුත් සිව් වන පරාක්‍රමබාහු රජු නොහොත් පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ අවසාන පාලන සමයේදී මේ රජුට විරුද්ධව අභ්‍යන්තර අරගලයක් ඇති වූ බව පසුකාලීන මූලාශ්‍රයන්හි සඳන්ව ඇති බව කියවේ. එම මූලාශ්‍රයට අනුව බෝදා මාපාණන් නැමැත්තෙකු විසින් නගන ලද කැරැල්ලක් නිසා භික්ෂු සංගයා ඇතුළු ජනතාව කුරුණෑගල අත් හැර දමා මලය රටට හා දකුණට ගිය බව සඳහන් වේ. බෝදා මාපාණන් නමින් කැරලි ඇති කරනු ලැබුවේ වන්නි පාලකයන්ගෙන් කෙනෙකු බවත්  ඒ අනුව ඔහු හතරවන පරාක්‍රමබාහු රජුට පසුව රජ වූ තෙවන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු වන්නට ඇති බව විද්වතුන්ගේ මතය වන අතර ඔවුන් දෙදෙනා අතර මෙලෙස අභ්‍යන්තර අරගලයක් හට ගැනීමට ප්‍රධාන හේතුව වූයේ රජ පදවිය සඳහා වූ තරඟය බවත් එම විද්වතුන් විසින් වැඩි දුරටත් දක්වා ඇත.  එබැවින් අනෙකුත් යුගයන් හා සාපෙක්ෂව ගත් කළ කුරුණෑගල අවධිය තුළ අභ්‍යන්තර අරගල අරගල එතරම් දක්නට නොමැති වූවත් හතරවන පරාක්‍රමබාහු රජුගේ අවසාන කාල පරිච්ඡේදය තුළ ඇති වූ උක්ත අරගලය හේතුවෙන් යාපහුව රාජධානි අවධියේ පටන් ඉස්මතු වෙමින් පැවති වන්නි පාලකයින්ගේ බලය වර්ධනය වීමට යම් අවස්ථාවක් ලැබුණු බව කිව හැකි වේ.


ගම්පොළ යුගය

 1. ආර්ය ක්‍රවර්තී පාලකයාගේ ආක්‍රමණයන්

මේ යුගයේ දී පළමුවරට ඇති වූ දේශපාලනමය අභ්‍යන්තර අරගලය වනුයේ දිවයිනේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තී නම් පාලකයෙකු යටතේ යාපනය කේන්ද්‍ර කොට ගත් ප්‍රාදේශීය රාජ්‍යත්වයක් විසින් 1360දී පමණ ගම්පොළ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කිරීම හා දෙවරක්ම ගම්පොළ රාජධානිය ආක්‍රමණය කිරීමයි. ඒ අනුව මෙම කාල සීමාව වන විට දිවයිනේ උතුරු ප්‍රදේශය හා ගම්පොළ මුල් කරගත් දකුණු ප්‍රදේශයන් නිසැක ලෙසින්ම එකිනෙකට විරුද්ධ පාලකයන් මඟින් පාලනය වන්නට ඇතැයි සිතිය හැකි අතර එනිසාවෙන්ම නිරන්තරම මෙම කලාප ද්විත්වය අතර අභ්‍යන්තර අරගල අවස්ථා මතු වූ බව කිව හැකිය. විශෙෂයෙන්ම උතුරු පාලක ආර්ය චක්‍රවර්තී හට ඔහුට දකුණින් වූ ප්‍රදේශ යටත් කර ගැනීමට තිබූ අවශ්‍යතාවය මෙම ඝට්ටනයන්ට හේතු වන්නට ඇත.

එමෙන්ම 1359 වසරේ දී ගම්පොළ දේශපාලන අභ්‍යන්තර අරගලයක් සිදු වූ බව කියවේ. ඒ අනුව ඈපා වශයෙන් කටයුතු කළ තෙවන වික්‍රමබාහු විසින් පස් වන පරාක්‍රමබාහු රජු පළවා හැර 1360 වසරේදී රාජ්‍යත්වය ලබා ගනු දැකිය හැකිය. තෙවන වික්‍රමබාහු උතුරේ ආර්ය චක්‍රවර්තීන්ගේ සහාය ලබා ගනිමින් මෙම අරගලය සිදු කළ බව කියවෙන අතර මාතණ්ඩ පෙරුමාල් නම් එම ආර්ය චක්‍රවර්තී රජුගේ බලය මෙසමය වන විට ඉතා වේගයෙන් දකුණු ප්‍රදේශ වූ හලාවත, මීගමුව, වත්තල, කොළඹ, බටහිර තොටුපළ මෙන්ම උඩරට කලාපයේ ද ව්‍යාප්ත වෙමින් පැවති බව සඳහන් වේ. 1369 වසරේ දී ආර්ය චක්‍රවර්තී පාලකයා සමඟ දේශපාලන අරගලයකට මැදි වන තෙවන වික්‍රමබාහුගේ අගමැතිවරයා වූ නිශ්ශංක අලගක්කෝනාර උතුරු පාලකයාගේ බලය බටහිර තොටුපළ කලාපයෙන් ඉවත් කිරීමට සමත් වූ බව ද මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් වේ.

ඉන් අනතුරුව 1381දී නැවතත් ගම්පොළ රාජධානියට උතුරු පාලකයාගෙන් ආක්‍රමණයක් එල්ල වන අතර එයට මූලික හේතුව වූයේ ඊට විසි වසරකට පෙර තමා වූ පරාජයෙන් පළි ගැනීම හා දකුණේ අලගක්කෝනාර විසින් පාලනය කරමින් පවති මුහුදු වෙළඳාම ස්වකීය අණසක යටතට ගැනීම බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. දේශපාලන මෙන්ම ආර්ථික සාධක ද පදනම් කර ගනිමින් සිදු වූ මෙම අභ්‍යන්තර අරගලයේදී දිවයිනේ උතුරු පාලකයා ගොඩබිමින් හා මුහුදුන් විශාල සේනාංක ද්විත්වයක් එවා එකම දින වකවානුවක ගම්පොළට හා කෝට්ටේට එකවර පහර දීමට සැළසුම් කළ බව කියවේ. ගොඩබිමින් පැමිණි හමුදාව මාතලේ කඳවුරු බැඳ සිටියදී ගම්පොළ පාලක බුවනෙකබාහු රජු ආරක්ෂාව පතා ජයවර්ධනපුර කෝට්ටේට පැන ගිය බවත්, උඩරට සේනාව සමඟ එක්ව ගොඩබිමින් පැමිණි හමුදාව පළවා හැරීමට ගම්පොළ හමුදාවන් සමත් වූ බවත් දැක්වේ. එපමණක් නොව මුහුදු සේනාංක කඳවුරු බැඳ සිටි ස්ථානය හා නැව් විනාශ කොට ආර්ය චක්‍රවර්තී පාලකයා පූර්ණ වශයෙන්ම පරාජය කිරීමට අලගක්කෝනාර මෙම අරගලයේ දී කටයුතු කළ බව කියවේ. එබැවින් මෙම තත්වය ද මෙරට දේශපාලන ඉතිහාසයේ අභ්‍යන්තර අරගලයක් ඇති වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි අතරම ගම්පොළ යුගයේ කැපී පෙනන පරම්පරාවක් වූ අලගක්කෝනාර හෙවත් අලකේශ්වර පරපුර ඉස්මතු වීමට ද මෙම අභ්‍යන්තර අරගලය යම් තරමක් දුරට හෝ හේතු සාධක වූ බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.

2. වීරබාහු රජු හා වීර අලකේශ්වර අතර ඝට්ටනය

        ගම්පොළ යුගයේ මුල් කාලයේ දී මෙන්ම අවසන සමයේ ද දේශපාලන අභ්‍යන්තර අරගල ඇතිවෙනු මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිය. ඒ අනුව 1391 වසරේ දී ගම්පොළ පාලකයා වූ වීරබාහු රජුට විරුද්ධව ඔහුගේ සහෝදරයා වූ එකොළොස්වන අලකේශ්වර රජුගේ ආධිපත්‍ය පිළිනොගෙන රයිගම සිය බල මධ්‍යස්ථානය කර ගනිමින් පහතරට ප්‍රදේශ පාලනය කළ බව කියවේ. ඉන් නොබෝ කලකට පසුව වීරබාහු රජු සිය සොහොයුරා අල්ලා ගැනීමට ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගිය බවත් ඉන් ඇති වූ සටනින් ඔහුගේ සොහොයුරා වූ වීර අලකේශ්වර පරාජය වී දඹදිවට පැන ගිය බවත් සද්ධර්ම රත්නාකරය හා අස්ගිරි තල්පත වැනි මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. නමුත් 1409 වසරේ නැවත සේනා රැගෙන පැමිණෙන වීර අලකේශ්වර වීරබාහු හා සටන් කොට රජු පරාජය කොට මරණයට පත් කළ බව සඳහන් වන අතර ඉන්පසුව ජයග්‍රාහකයා වූ වීර අලකේශ්වර රයිගම පාලකයා බවට නැවතත් පත් වූ බව ද මූලාශ්‍රයන් තුළ දැක්වේ.

3. රයිගම හා ගම්පොළ පාලකයන් අතර පැවති බල අරගලය

        එමෙන්ම ගම්පොළ අවධියේ අවසන් භාගයේ පැවති තවත් දේශපාලන අරගලයක් වනුයේ රයිගම හා ගම්පොළ පාලකයන් අතර පැවති බල අරගලයයි. විශේෂයෙන්ම චීන අධිරාජ්‍යයේ චෙං හෝ සෙන්පතියාට රයිගම පාලක වීර අලකේශ්වර 1411දී අල්ල ගැනීමට හැකි වූයේ ද මෙම අභ්‍යන්තර අරගලය නිසාවෙන් බව සඳහන් කළ හැකි අතර ඔහුගේම හමුදාවන් තුළින් ලබුණු ඔත්තු මඟින් චීන සෙන්පතිවරයා අලකේශ්වර අල්ලා ගත් බව කියවේ. මේ සඳහා ඔත්තු ලබා දුන් ප්‍රධාන පුද්ගලයා වනුයේ වීර අලකේශ්වර සමඟ අභ්‍යන්තර ගැටුමකට මැදිව සිටි වීරබාහු රජුගේ අවෑමෙන් උඩරට රජු බවට පත් වූ පරාක්‍රම ඈපාණන් බව විද්වතුන්ගේ මතය වන අතර එය වඩාත් තහවුරු වන සාධකය වනුයේ චීන අධිරාජ්‍යයා මෙරට ඔහුගේ නියෝජිත පාලකයා වශයෙන් පත් කළ යෙහිපා නයිනා යන්නෙන් අදහස් වන්නේ ද  ඈපාණන් යන අරුත බව හඳුනාගෙන ඇති බැවිණි. එබැවින් වීරබාහු රජුගෙන් පසුව ගම්පොළ අවධියේ අවසාන පාලකයන් වූ වීර අලකේශ්වර හා සෙංකඩගල පරාක්‍රම ඈපාණන් අතර ඇති වූ රයිගම හා ගම්පොළ බල අරගලය අභ්‍යන්තර ගැටුමක් පමණක්ම නොව විදේශීය පාලකයෙකුට මෙරට පාලකයන් සිර භාරයට ගැනීමට පවා අවස්ථාවන් උදා කර දුන් කණගාටුදායක සිදුවීමකට ද මුල් වූ හේතු සාධකයක් වූ බව පැහැදිලි වේ.


කෝට්ටේ යුගය

 1. සපුමල් කුමරු හා යාපන පාලකයන් අතර වූ බල අරගලය

මේ යුගයේ කැපී පෙනෙන පාලකයා වූ හයවන පරාක්‍රමබාහු රජුගේ අවධියේ දී බාහිර සතුරු ආක්‍රමණ ආදිය මුල් කාලීනව දක්නට ලැබුණත් කැපී පෙනෙන ලෙස දේශපාලනය තුළ අභ්‍යන්තර අරගලයක් හට ගනුයේ දිවයිනේ උතුරු කලාපය තමන් යටතට ගැනීම සඳහා මේ රජු විසින් ගෙන ගිය යුධ ක්‍රියාදාමයයි. ඔහුගේ පුත් තනතුරේ වැඩුණු සපුමල් කුමරු හෙවත් චම්පක් පෙරුමාල්  1449 වසරේ දී යාපා පටුනට ආක්‍රමණයක් මෙහෙයවා එම කලාපය කෝට්ටේ අණසක යටතට ගත් බව සැළලිහිණි සංදේශය ප්‍රමුඛ කෘති ගණනාවක සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයට මුල් වූ යාපන පාලක ආර්ය චක්‍රවර්තී රජු නිබඳවම දකුණු ඉන්දියාවේ විජයනගර් පාලකයාගෙන් සහාය ලබා ගත් නමුත් මල්ලිකාර්ජුන නම් දුර්වල විජයනගර් පාලකයාගේ සමයේ එසේ සහාය ලබා ගැනීමට අසමත් වූ යාපනයේ ආර්ය චක්‍රවර්තී රජු පරාජය කිරීමට හයවන පැරකුම් රජු සපුමල් කුමරු එහි යැවූ බව මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයේ දී ආර්ය චක්‍රවර්තී රජු යටත් වූවාක් පමණක් නොව ඒ ආසන්නයේ පාලනය ගෙන ගිය වන්නි පාලකයන්ගෙන් බොහෝමයක් ද පැරකුම් රජුට අවනත කරවා ගැනීමට සපුමල් කුමරු සමත් වූ බව එම ග්‍රන්ථ තුළ වැඩි දුරටත් සඳහන් වේ. කෙසේ නමුත් මෙම දේශපාලන අරගලය හේතුවෙන් උතුරු පාලකයා වූ කණකසූරිය ශිංගෙයි ආරියන් මිය ගිය බව රාජාවලිය සඳහන් කරන අතර ඔහු ඉන්දියාවට පැන ගිය බව යාල්පාන වෛපමාලෛ කෘතිය සඳහන් කර ඇත. මෙම ගැටුම අවසානයේ උතුරේ ආර්ය චක්‍රවර්තී පාලනය අවසන් කිරීමට හයවන පරාක්‍රමබාහු රජුට අවස්ථාව උදා වූ අතර යාපන ප්‍රදේශය සපුමල් කුමරුට පාලනය කිරීම සඳහා පවරා දුන් බව ද කියවේ. එබැවින් කෝට්ටේ යුගයේ ඇති වූ අභ්‍යන්තර දේශපාලන අරගල අතර පළමුවෙන්ම කැපී පෙනෙන අරගලය වනුයේ මෙය බව සඳහන් කළ හැකි අතර උතුරු පාලකයා හා කෝට්ටේ පාලකයා අතර ඇති වූ මෙම බල අරගලයෙන් ඉස්මතුවන සපුමල් කුමරු පසු කාලීනව නැවත නැවතත් මෙරට දේශපාලන ඉතිහාසය තුළ අභ්‍යන්තර අරගල සිදු කරන ආකාරය ද පසු කාලීන සංසිද්ධීන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.

2. ජෝතිය සිටාණන් හා පරාක්‍රම ඈපා අතර වූ බල අරගලය

පහළොස්වන සියවසේ මැද භාගයේ හයවන පැරකුම් රජු සමස්ත දිවයිනම එක්සේසත් කිරීමෙන් පසුව යළිත් මෙරට දේශපාලනය තුළ අභ්‍යන්තර අරගල අවස්ථාවක් ඇති වෙනු හඳුනාගත හැකිය. ඒ අනුව සතර කෝරළයේ හා උඩරට දේශපාලන පෙරළියක් ඇති වන අතර යුව රජු වූ දැදිගම පරාක්‍රමබාහු කුමරු මිය ගියෙන් ඔහුගේ පුත් පරාක්‍රම ඈපා හා ජෝතිය නැමැති සිටාණන් කෙනෙකු අතර බල අරගලයක් ඇති වූ බව කියවේ. මඩවල සෙල්ලිපිය මෙම කරුණු ඉදිරිපත් කරන ප්‍රධානතම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වන අතර නොබෝ කලකින් පරාක්‍රම ඈපා යටපත් කොට ජෝතිය සිටාණන් බලයට පැමිණ, උඩරටින් හයවන පැරකුම් රජුට එවූ බදු ආදිය නතර කරමින් කැරළි සංවිධානය කළ බව රාජාවලියේ දැක්වේ. මෙම අරගලයේ දී පරාක්‍රමබාහු රජු තම පුතෙකු වූ අම්බුළුගල කුමරු ජෝතිය සිටාණන්ගේ කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා උඩරටට යැවූ අතර ඔහු ජෝතිය සිටු පරාජය කොට කෝට්ටේ වෙත රැගෙන ආ බවත් පසුව පරාක්‍රමබාහු රජු උඩරට පාලනය මිය ගිය යුව රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම ඈපා හට පැවරූ බවත් රාජාවලියේ සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලය කෝට්ටේ හයවන පැරකුම් රජුගේ රාජ්‍ය සමය තුළ සිදු වූ දෙවන බල අරගලය වන අතර සපුමල් කුමරු සේම මෙම දේශපාලන බල අරගලයේ දී කරළියට පැමිණි අම්බුළුගල කුමරු ද කෝට්ටේ යුගයේ අවසාන සමයේ දී තවත් අභ්‍යන්තර බල අරගලයන්ට මැදිහත් වෙනු මූලාශ්‍රගත තොරතුරු අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකිය.

3. මාතලේ ප්‍රදේශයෙ වික්‍රමබාහු නමත්තෙකු උඩරට කැරැල්ලක් ඇති කිරීම

කෝට්ටේ යුගය තුළ දේශපාලනය උදෙසා ඇති වන තෙවන බල අරගලය වනුයේ හයවන පැරකුම් රජු විසින් උඩරට පාලනය පවරන ලද පරාක්‍රම ඈපා දැදිගම සිටිය දී මාතලේ ප්‍රදේශයෙන් මතු වූ වික්‍රමබාහු නමත්තෙකු උඩරට කැරැල්ලක් ඇති කිරීමයි. අස්ගිරි තල්පත මේ අරගලය පිළිබඳව තොරතුරු දක්වන ප්‍රධානතම මූලාශ්‍රය වන අතර පරාක්‍රම ඈපා කැරැල්ලේ දී වික්‍රමබාහුට පරාජය වන බවත්, ජයග්‍රාහකයා වූ වික්‍රමබාහු සේනා සම්මත වික්‍රමබාහු නමින් උඩරට පාලකයා වන බවත් එහි සඳහන් වේ. 1463 වසරේ දී මෙය සිදු වී ඇති අතර පරාක්‍රම ඈපාගේ පළා යෑමෙන් හිස් වූ සතර කෝරළයේ පාලක තනතුරට හයවන පැරකුම් රජු සපුමල් කුමරුගේ සොහොයුරා වූ අම්බුළුගල කුමරු පත් කළ බවත් සඳහන් වේ. අම්බුළුගල තම බල මධ්‍යස්ථානය කර ගත් බැවින් ඔහු අම්බුළුගල කුමරු වූ අතර අවසානයේ එනම් 1467 වසරේ හයවන පැරකුම් රජු මිය යන විට කෝට්ටේ යුගයේ වරින් වර ඇති වූ දේශපාලන අභ්‍යන්තර බල අරගල හේතුවෙන් ඔහු විසින් එක්සේසත් කළ රාජ්‍යයේ උතුරු ප්‍රදේශ සපුමල් කුමාරු ද, සතර කෝරළයේ අම්බුළුගල කුමරු ද, උඩරට සේනා සම්මත වික්‍රමබාහු නැමැති ස්වාධීන පාලකයෙක් ද ලෙස තම තමන්ගේ බලය ව්‍යාප්ත කොට ගෙන සිටි බව කියවේ.

4. සපුමල් කුමරු හා ජයබාහු රජු අතර ඇති වූ බල අරගලය

හයවන පැරකුම් රජුගේ මරණින් පසුව ද කෝට්ටේ රාජධානිය තුළ අභ්‍යන්තර අරගල රාශියක් මතුවනු හඳුනාගත හැකිය. එහි පළමුවැන්න වන්නේ සපුමල් කුමරු විසින් රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස ඇති කරවූ අභ්‍යන්තර අරගලයයි. ඒ අනුව සපුමල් කුමරු යාපන පාලකයාව සිටිය දී  හයවන පරාක්‍රමබාහු රජුගේ මුණුබුරු වූ ජයබාහු කුමරු රජ බවට පත් කළ අතර එම පියවර දේශපාලන බල අරගල රැසකට මුල පිරූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. 1469දී යාපනයේ සිට සේනා රැගෙන පමිණි සපුමල් කුමරු ජයබාහු රජුගේ පාලන කාලය වසර දෙකකට පමණක් සීමා කොට ඔහුව මරා හයවන බුවනෙකබාහු නමින් කෝට්ටේ පාලකයා බවට පත් විය. මෙම අභ්‍යන්තර අරගලය ද කෝට්ටේ යුගයේ සිදු වූ දේශපාලන බල අරගල අතර කැපී පෙනෙන්නක් වන අතර සපුමල් කුමරුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් නැවත වරක් ලක්දිව තුළ දේශපාලනය උදෙසා කැරලි ගණනාවක් ඇති වනු මින් පසුව හඳුනාගත හැකිය.

5. සිංහල සංගය ඇති වීම

හයවන බුවනෙකබාහු නමින් සපුමල් කුමරු කෝට්ටේ රාජ පාලනයේ යෙදී සිටිය දී නැවත ඔහුට විරුද්ධව අභ්‍යන්තර අරගලයක් ක්‍රියාත්මක වනු දිටිය හැකිය. සිංහල සංගය හෙවත් සිංහල පෙරැළිය යන් නාමයෙන් හඳුන්වනු ලබන මෙම අරගලයට මුල් වූයේ පස්දුන් කෝරළයේ කැකුළන්දොල සිරිවර්ධන ප්‍රතිරාජයන් හා කූරගම හිමියන් යන ජන ප්‍රධානීන් දෙදෙනෙකු බව කියවේ. කළු ගඟ හා වළවේ ගඟ අතර සමස්ත ප්‍රදේශයෙම මෙම කැරැල්ල පැතිරී ගිය අතර වසර පහක් තරම් දීර්ඝ කාලයක් මෙය පවති බව ද සඳහන් වේ. මෙම අරගල අවස්ථාවේ දී අම්බුළුගල යුවරජු සතර කෝරළයේ සේනාංක රැගෙන විත් තම සහෝදර බුවනෙකබාහු රජුට උපකාර කළ බවත් ඔහුගේ සහායෙන් කැරැල්ල මැඩ පවත්වා කූරගම හිමියන් හා සිරිවර්ධන ප්‍රතිරාජයා සිරභාරයට ගත් බවත් කියවේ. විශේෂයෙන්ම හයවන බුවනෙකබාහු රජුට විරුද්ධව මෙලෙස අභ්‍යන්තර අරගලයක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඔහුගේ දෙමළ ජන්මය හේතුවෙන් වන්නට ඇති බව කිව හැකිය. සිංහල රාජ්‍ය නිළධාරීන් සේම සංඝරාජ ධූරය දැරූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පවා හයවන බුවනෙකබා රජුට එරෙහිව මෙලෙස සිංහල සංගය නම් අභ්‍යන්තර අරගලයට සහාය දක්වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. කෙසේ නමුත් හයවන බුවනෙකබාහු රජුට එරෙහිව උක්තව දැක්වූ ආකාරයේ අභ්‍යන්තර කැරළි ඉස්මතු වූවත් තම දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීමට ඔහු සමත් වූ නමුත් අම්බුළුගල යුවරජු සතර කෝරළයේ සේනාව රැගෙන කෝට්ටේ වෙත පිවිසීම තුළින් නැවත උඩරට හා සතර කෝරළයේ දේශපාලන බල අරගලයන් හිස ඔසවනු හඳුනාගත හැකිය. එබැවින් කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජුගේ අනුප්‍රාප්තිකයන් හේතුවෙන් ද ඇති වූ දේශපාලනික අභ්‍යන්තර අරගල ඉන් පසුව උඩරට කලාපය හා සතර කෝරළය තුළ ව්‍යාප්ත වනු මේ යුගයෙන් පසුව හඳුනා ගන්නට ලැබේ.

ඒ අනුව කෝට්ටේ රාජධානියේ යටත් කලාපයක් වශයෙන් පැවති උඩරට ප්‍රදේශයේ පාලනයට සේනා සම්මත වික්‍රමබාහු රජු පත් වීමෙන් අනතුරුව 1471දී පිහිටුවන ලද ගඩලාදෙණි සෙල්ලිපිය හා අස්ගිරි තල්පතට අනුව මේ කාල පරිච්ඡේදයේ දී උඩරට රජුට විරුද්ධව දුම්බර හටන් බණ්ඩාර නැමැත්තෙකු රජ පදවිය උදෙසා අරගල සිදු කොට ඇත. මෙහි දී වඩාත් උපායශීලී වූ වික්‍රමබාහු රජු තුන්යම හිස්කන්නැහේ නමත්තෙකුට රාජ්‍ය දෙන බවට පොරොන්දු වී උපායෙන් එම කැරැල්ල මැඩ පැවැත්වීමට සමත් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ගඩලාදෙණි සෙල්ලිපියට අනුව මෙලෙස කැරැල්ලක් ආරම්භ කළ දුම්බර හටන් බණ්ඩාර යනු යාපා බණ්ඩාර ලෙස දක්වා ඇති අතර ඔහුට අමතරව රජදරු බණ්ඩාර නැමැත්තෙක් ද මෙම කැරැල්ලට සහයෝගය ලබා දුන් බව එම සෙල්ලිපියේ සඳහන් කොට ඇති බව කියවේ. විද්වතුන්ගේ ආනාවරණයන්ට අනුව මෙම රජදරු බණ්ඩාර යනු පරාක්‍රම ඈපා හෙවත් සේනා සම්මත වික්‍රමබාහු උඩරට රජ වීමට පෙර පරාජය කළ දොඩම්වෙල පරාක්‍රම වේ. කෙසේ නමුත් උඩරට පාලකයාට විරුද්ධව ඇති වූ අභ්‍යන්තර අරගලයන් සාර්ථකව මැඩ පැවැත්වීමට ඔහු සමත් වූ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වේ.

ඉන් අනතුරුව උඩරට මුල් කරගනිමින් නැවත අභ්‍යන්තර අරගල තත්වයක් උදා වූයේ සේනා සම්මත වික්‍රමබාහු රජු සතර කෝරළය ද ඈඳා ගනිමින් කෝට්ටේ පාලනයෙන් ස්වාධීන වීමට ගන්නා ලද උත්සහාය හේතුවෙනි. අම්බුළුගල යුවරජු සිංහල සංගය සඳහා හයවන බුවනෙකබාහු රජුට සහාය වීමට ගිය අවස්ථාවේ දී වික්‍රමබාහු රජු කෑගල්ල දිස්ත්‍රික්කයේ අලුත් නුවර දක්වා පැමිණ සතර කෝරළයේ ජන ප්‍රධානීන් තමාට පක්ෂපාතී කරවා ගත් බව කියවේ. මෙම සිදුවීම සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් කූට ලෙස මෙන්ම රහසිගතව ගෙන යනු ලැබූ අභ්‍යන්තර අරගලයක් ලෙස හැඳින්විය හැකි අතර සතර කෝරළයේ පාලකයන් වූ යාපා බණ්ඩාර, දොඩම්වෙල පරාක්‍රම, දිසානායක ඇතුළු රට නායකයින් තමාට පක්ෂපාතී කර ගනිමින් කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ සතර කෝරළය උඩරටට ඈඳා ගනු ලැබීය. මෙය 1470ත් 1474ත් අතර කාලයේ සිදු වී ඇති අතර සතර කෝරළයේ අලුත් නුවර දේවාලය කරවා එහි පිහිට වූ සෙල්ලිපිය මඟින් සේනා සම්මත වික්‍රමබාහු ගෙන ගිය මෙම අභ්‍යන්තර අරගලයේ තොරතුරු හඳුනාගත හැකි වේ. නමුත් වික්‍රමබාහු රජුගේ මෙම අභ්‍යන්තර දේශපාලන බල අරගලය අසාර්ථක වූ අතර 1478 වන විට නැවතත් කෝට්ටේ පාලක හයවන බුවනෙකබාහු රජු සතර කෝරළයේ නායකයින් උපායශීලී ලෙස තමන්ට අවනත කරවාගෙන කෝට්ටේ රාජ්‍යයේ බල ව්‍යාප්තිය ස්ථාවර කර ගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

1490 වසරේ දී අම්බුළුගල යුවරජු ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍යත්වයට පැමිණීම ද මෙරට දේශපාලනය පදනම් කර ගනිමින් ඇති වූ අභ්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදිය හැකිය. ඒ අනුව ක්වේරෝස් නම් පියතුමාගේ වාර්තාවන්ට අනුව මෙම අරගල තත්වය හඳුනාගත හැකි වේ. හයවන බුවනෙකබාහු රජු මිය ගිය පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පණ්ඩිත පරාක්‍රමබාහු නම් පුත් කුමරු බාල වියේහි සිටි බැවින් බිසව වූ ධනමැණිකා රත්නාවලී බිසව මාස 06ක් රාජ්‍ය කරවූ බව කියවේ. ඉන් පසුව ඇතිවූ ආරවුල් සහගත තත්වය නිසාවෙන් රජ කුමරු දහනව වියට එළැඹෙන තෙක් හයවන බුවනෙකබාහු රජු බලය පැවරූ ප්‍රතිරාජවරුන් වූ සිරිවර්ධන ප්‍රතිරාජයා හා කූරගම හිමියන් කෝට්ටේ රාජ්‍ය පාලනය සිදු කළ බව සඳහන් වේ. රාජාවලියේ දැක්වෙන විස්තරවලට අනුව කුඩා කුමරු හට රජ පදවිය ලබා දුන් බව ඇසූ අම්බුළුගල යුවරජු සතර කෝරළයේ හමුදාව රැගෙන කෝට්ටේ වෙත පැමිණ කැළණිය ආසන්නයේ සිරිවර්ධන ප්‍රතිරාජයා හා කූරගම හිමියන් සමඟ බිහිසුණු සටනක යෙදීමෙන් අනතුරුව ඔවුන්ව පරාජය කොට ජයවර්ධනපුරයේ දී පණ්ඩිත පරාක්‍රමබාහු නොහොත් තම සහෝදරයා වූ හයවන බුවනෙකබා රජුගේ පුත්‍රයා මරා අටවන වීර පරාක්‍රමබාහු නාමය ගෙන 1490දී කෝට්ටේ පාලකයා බවට පත් වූ බව සඳහන් වේ.

6. මේණවර තුනයා අභ්‍යන්තර අරගලයක් ඇති කිරීම

එපමණක් නොව 1495 වසරේ දී කෝට්ටේ පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුට විරුද්ධව උඩරට පාලකයා වූ මේණවර තුනයා අභ්‍යන්තර අරගලයක් ඇති කළ බව අස්ගිරි තල්පතේ සඳහ් විස්තරයේ දැක්වේ. ඒ අනුව තුනයම රජ නමින් උඩරට පාලනය ගෙන ගිය ඔහු කෝට්ටේ රාජධානියට අය විය යුතු බදු නොගෙවා, තමා රජු බව ප්‍රකාශ කරමින් රන් පනම් නිකුත් කරමින් අභ්‍යන්තර කැරළි ඇති කිරීමට කටයුතු කළ බව කියවේ. මේ අවස්ථාවේ දී වීර පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයෙකු වූ රාජසිංහ කුමරු තම මස්සිනා වූ කීරවැල්ලේ මහ රාළහාමි නැමැත්තෙකුට සේනාව ලබා දී කැරැල්ල මර්දනය කරවූ බවත්, උඩරට පාලකයා පනම් තුන් ලක්ෂයක්, ඇතුන් දෙදෙනෙකු හා තම දියණියක් ද කීරවැල්ල මහ රාළහාමි වෙත ලබා දීමෙන් අනතුරුව අරගලය සාමදාන කරවූ බව දැක්වේ. නමුත් නොබෝ කලකින්ම උඩරට පාලකයා නැවත වරක් කෝට්ටේ රජුට එරෙහිව අභ්‍යන්තර අරගලයක් දියත් කොට ඇති අතර එහි දී උඩුගම්පොළ සිටි වීර පරාක්‍රමබාහු රජුගේ තවත් පුතෙකු වූ සකලකලා වල්ලභ කුමරු ඒකනායක මහ ඇමති හා සේනාව සමඟ ගොස් ඔහු නැවත වරක් පරාජය කරවූ බව රාජාවලිය තුළ සඳහන් වේ. ක්‍රි.ව. 1500 ආරම්භයට පෙර කෝට්ටේ රාජධානිය තුළ සිදු වූ අවසන් අභ්‍යන්තර අරගලය උක්තව සඳහන් කරන ලද 1497දී අටවන වීර පරාක්‍රමබාහු රජුට විරුද්ධව උඩරට පාලකයා ඇති කරනු ලැබූ අරගලය වූ බව කිව හැකිය. කෙසේ නමුත් ක්‍රි.ව. 1500 ආරම්භයේදීම මෙරටට බටහිර යටත්විජිතවාදයේ සෙවණැළි එල්ල වන අතර ඉන් අනතුරුව 1521දී සිදු වූ ඉතා ප්‍රකට අභ්‍යන්තර අරගලය වූ විජයබා කොල්ලයෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම හා සීතාවක ලෙසින් ප්‍රදේශ ත්‍රිත්වයකට බෙදීමත් ඉන් කෝට්ටේ පාලකයා වූ හත්වන බුවනෙකබාහු රජුගේ මුනුබුරු වූ ධර්මපාල කුමරු තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන් වෙත පවරා දීමත් සමඟ 13වන සියවසේ දී ආරම්භ වූ මෙරට නිරිත දිග රාජධානි 16වන සියවසේ දී අභ්‍යන්තර දේශපාලන අරගල හේතුවෙන් විනාශයට පත් වනු ලක්දිව දේශපාලන ඉතිහාස ගලනය අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකිය.

         

 

Share:

facebook share twitter share

0 comments:

Post a Comment