Monday, February 14, 2022

බුදු දහම ව්‍යාප්තියට පෙර ඉන්දියානු සමාජයේ පැවති පුරුෂ කේන්ද්‍රීය හා ස්ත්‍රී වෛරවාදී සමාජය

මිනිස් උප්පත්තියක් වූ කලී කෙනෙකු පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වශයෙන් උපත ලැබීමකි. එමෙන්ම සප්‍රාණික වූ සියළු දෙයටම මෙම ලිංගික වෙනස පොදු ධර්මතාවයකි. නමුත් ස්වභාවය එසේ වූවත් අතීතයේ විවිධ කාල පරිච්ඡේදයන් තුළ කාන්තාවන්ටත්, පුරුෂයන්ටත් එක් එක් සංස්කෘතීන් මඟින් ලැබුණු සමාජ තත්වය එකිනෙකට වෙනස් වේ. විශේෂයෙන්ම පුරුෂයන්ටත් වඩා කාන්තාවන්ට පැවති තත්වය එක් එක් සමාජ රටාවන් තුළ නොයෙක් වර නොයෙක් අන්දමින් විපරිවර්තනය වනු හඳුනාගත හැකිය. විශේෂයෙන්ම යුරෝපීය හා ආසියානු සමාජ තත්වයන් මේ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය හැකි අතර එවායේ භාවිතා වූ ප්‍රධානතම මතවාදයන් ද්විත්වයක් ලෙස පුරුෂ කේන්ද්‍රීය සමාජය හා ස්ත්‍රී වෛරවාදී සමාජය හඳුන්වාදිය හැකිය

එහි පළමු අවස්ථාව ලෙස පුරුෂ කේන්ද්‍රීය සමාජය යනු කුමක් ද යන්න පහත පරිදි හඳුනා ගත හැකිය. මෙය ග්‍රීක භාෂාවෙන් බිඳී පැමිණි Andro” හෙවත් පුරුෂයා යන පදයත්, “Centrism” හෙවත් කේන්දය යන පදයත් එක් වීමෙන් සෑදුනු Androcentrism” හෙවත්පුරුෂ කේන්ද්‍ර යන වාච්‍යාර්ථය ඔස්සේ නිර්මාණය වූ සංකල්පයකි. එනම් මෙහි දී සමාජයේ සියළු කාරණා සකස් වී ඇත්තේ පුරුෂයා කෙන්ද්‍රය කොට ගනිමිනි. ඒ අනුව මෙම සංකල්පයේ පවතින ප්‍රධාන ලක්ෂණ අතර,

·         පුරුෂයා මූලිකයා වීම

·         සමාජ පාලනය පුරුෂයා අතින් සිදු වීම

·         සමාජයේ මධ්‍යය පුරුෂයා වීම ආදිය දැක්විය හැකිය.

මෙම සංකල්පය ග්‍රීක ආභාෂය ඔස්සේ යුරෝපියානු සමාජයේ නිර්මාණය වූවක් වූවත් මෙහි පවතින ලක්ෂණ ආසියානු සමාජයේ ද බොහෝ දුරට දක්නට ලැබේ. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ පුරුෂාධිපත්‍ය නිරන්තරව භාවිතා වූ අතර එහි දී කැපී පෙනෙන ලක්ෂණ වූයේ,

·         පුරුෂයා මඟින් ස්ත්‍රිය පාලනය කිරීම

·         පුරුෂයා සියළු කටයුතුවලදි වැදගත් ස්ථානයක් හෙබවීම

·         ආගමික චාරිත්‍ර, පුද පූජා පැවත්වීම පුරුෂයාට පමණක් සීමා වීම

·         පුරුෂයා මිය ගිය විට ඔහුගේ බිරිඳ දර සෑයට පැන දිවි නසා ගැනීමේ අවශ්‍යතාවය ආදිය යි.

මෙමඟින් පැහැදිලි වන ආකාරයට පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ කාන්තාවට පැවරී තිබුණේ ඔහු වෙනුවෙන් දරුවන් වැදීම පමණකි. එම දරුවන් වැදීම තුළත් ගැහැණු දරුවෙකු ලැබීම එම මව හා දියණිය යන දෙදෙනාම නොසළකා හැරීමක් වූ අතර පිරිමි දරුවන් ලැබීම පමණක් සමාජයේ සතුටට හේතු වූ කරුණක් විය. විශේෂයෙන්ම ඉන්දියානු සමාජයේ තම ස්වාමියාට පුතුන් ලබා දීම කාන්තාවගේ පරම යුතුකම ලෙස අර්ථ දක්වා තිබූ අතර දියණියන් ලද්දේ නම් ඇයගේ තත්වය තවදුරටත් අයහපත් වූ අවස්ථා ද බොහෝ දුරට ඉන්දියානු සමාජයේ දක්නට ලබුණි. එමෙන්ම පුරුෂ කේන්ද්‍රීය සමාජ සංකල්පය තුළ පුරුෂයා මිය ගිය පසු එම කාන්තාවට වෙනත් විවාහයකට ඉඩ තැබීමට ඉන්දියානු සමාජයෙන් අවසර නොවීය. වැන්දඹුව සිටීම හෝ සති පූජාව කාන්තාවට ඉන්පසු උරුම විය. තමන්ගේ ස්වාමියා දෙවියෙකු ලෙස සැළකීම, ඔහුට ගරු කිරීම හා කීකරු වීම පුරුෂයින් විසින් කාන්තාවන්ගෙන් නිබඳවම අපේක්ෂා කිරීම මෙම පුරුෂ කෙන්ද්‍රීය සමාජයේ තවත් එක් ප්‍රධාන ලක්ෂණයක් විය. එමෙන්ම කාන්තාවට තමන්ගේ විමුක්තිය උදෙසා කටයුතු කිරීමට හෙවත් තමන්ගේ ආගමික කටයුතු ඉටු කර ගැනීමට හා ඉන් සැනසීම ළඟා කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා දෙවියන්ට නොව තම ස්වාමියාට පුද පූජා කළ යුතු විය. පතිං ශුශ්‍රෑස මානෙන තෙන ස්වගො මහීයතෙ යන කියමන අනුව නිවසේම හිඳ සිය සැමියාගේ ඕනෑ එපාකම් ඉටු කරමින් කීකරුව සැමියාට ගරු සත්කාර කිරීමෙන් පමණක් ස්ත්‍රියට මරණින් පසු දෙව්ලොව උපත ලැබිය හැකි බව බමුණන් එදවස බ්‍රාහ්මණ ආගම තුළ සඳහන් කොට ඇත. ඒ අනුව පුරුෂයාට පුද පූජා කිරීම මඟින් කාන්තාවට විමුක්තිය හිමිවන බව දක්වා තිබීම මෙම පුරුෂාධිපත්‍ය මුල් කරගත් සමාජයේ තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයක් විය. තව ද කිසිදු අවස්ථාවක කාන්තාවකට නිවස තුළ නායකත්වයක් හිමි නොවූ අතර කිසිදු ක්‍රියාවක් ඇගේ මූලිකත්වයෙන් සිදු නොකිරීමට වග බලා ගැනීම ද එහි දී කැපී පෙනේ.  විශේෂයෙන්ම කාන්තාවකගේ සිතුවිලි, සංකල්ප හා ආකල්ප සඳහා මෙම පුරුෂ කේන්ද්‍රීය සමාජයක කිසිදු ඉඩක් ලබා දෙනු නොලැබීය.

එමෙන්ම ස්ත්‍රී වෛරවාදී සමාජය යන්න පිළිබඳව හඳුනා ගැනීමේ දී පෙනී යන්නේ මෙම සංකල්පය ද ග්‍රීක භාෂාවෙන් බිඳී පැමිණි Miso” හෙවත් වෛර කිරීම හා  Gune” හෙවත් කාන්තාව යන පද ද්විත්වය එක් වීමෙන් සකස් වූ Misogyny” හෙවත් කාන්තාවට වෛර කරන යන අර්ථයෙන් ව්‍යත්පන්න වූ සංකල්පයෙන් බවයි. මෙය මූලිකවම බටහිර සමාජයේ නිර්මාණය වූ හා එහි පැවති සංකල්පයක් වශයෙන් ද විද්වතුන් පෙන්වා දෙන අතර මෙම සංකල්පයේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයන් ලෙස

·         කාන්තාව යක්ෂණියක් ලෙස සැළකීම

·         කාන්තාව අකුසල් රැස් කරන පුද්ගලයෙකු ලෙස සැළකීම

·         කාන්තාව සමාජ ප්‍රගමණයට බාධා කරන්නෙකු ලෙස සැළකීම ආධිය පෙන්වා දිය හැකිය.

එමෙන්ම ඉන්දියානු සමාජය තුළත් ස්ත්‍රී වෛරවාදය ක්‍රියාත්මක වූ බව එම සමාජයෙහි රචනා වූ බ්‍රහ්මණ ග්‍රන්ථ තුළ ස්ත්‍රිය පිළිකුල් කොට ඇති ආකාරයෙන් පෙනේ. විශේෂයෙන්ම ඒවායේ දැක්වෙන කැපී පෙනන ස්ත්‍රී වෛරවාදී සමාජ ලක්ෂණ ලෙස

·         කාන්තාව බොරු පොරොන්දු මඟින් පුරුෂයන් පොළඹවන බව

·         කාන්තාව මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවට බාධාවක් බව

·         කාන්තාව අකුසල් සහගත පහත් කෙනෙකු බව

·         අය දිය රකුසියක්, සර්පයෙක් හෝ අවතාරයක් ලෙස දැක්වීම ආදිය පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම ස්ත්‍රී වෛරවාදී සමාජයක් තුළ සෑම විටම ස්ත්‍රිය විසින් ඇගේ අරමුණ ඉටු කරවා ගැනීම වෙනුවෙන් පුරුෂයාව පොරොන්දු කර ගැනීම සිදු කරනු ලබන බව කියවේ. එනම් කාන්තාවකගේ අරමුණකට අනුව පුරුෂයෙකු හට බලාපොරොත්තුවක් ලබා දී එය ඉටු කර ගැනීම දක්වා ක්‍රියාත්මක කිරීමයි. මෙහි දී පිරිමි මනස වෙනස් කිරීමට හැකි පුද්ගලයෙකු ලෙස කාන්තාව අර්ථ දකවන අතර ඒ නිසාවෙන්ම පුරුෂයන් කාන්තාව වෛරවාදියෙකු ලෙස දකින බව විද්වතුන්ගේ මතයයි. විශේෂයෙන්ම පුරුෂයෙකුගේ චින්තනය අවුල් සහගත තත්වයකට ඇද දැමීමට කාන්තාවකට හැකි වන බැවින් මෙලෙස ස්ත්‍රීන් අර්ථකථනය කරනු ලබන බව ඉන් පැහැදිලි වේ.  තව ද ස්ත්‍රියක යනු පුරුෂයෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය විනාශ කරන්නෙකු ලෙස ද මෙම සංකල්පය තුළ අර්ථ දැක්වෙන අතර ඇය පළිගන්නාසුළු පුද්ගලයෙකු බවත් එනිසා කාන්තාව සැපිනන්නක්, දිය රකුසියක් හෝ අවතාරයක් ලෙස අර්ථ දැක්වීමත් මෙම ස්ත්‍රී වෛරවාදී සංකල්පය තුළ දක්නට ලැබෙන තවත් ප්‍රධාන ලක්ෂණයක් වේ.

විශේෂයෙන්ම ඉන්දියාව තුළ බ්‍රාහ්මණ ආගම ව්‍යාප්තව පැවති සමයේ මෙම පුරුෂ කේන්ද්‍රීය හා ස්ත්‍රී වෛරවාදී සංකල්ප එම සමාජයන්හි භාවිතා වූ අතර බුදු දහම වර්ධනය වීමත් සමඟ එම තත්වය ක්‍රමයෙන් අවම වනු දිටිය හැකි වේ. ආර්ය සමයේ පැවති සමාජයේ පටන් පුරුෂයා මුල් කරගත් ජීවන රටාවක් ඉන්දියාවේ දක්නට ලැබුණත් වෛදික යුගයෙන් පසුව බ්‍රාහ්මණ දහම ව්‍යාප්ත වෙත්ම පුරුෂයා කේන්ද්‍ර කරගත් සමාජයේ අතිශය වර්ධනයත් ඒ ඔස්සේ ක්‍රමයෙන් ස්ත්‍රීන් නොසළකා හැරීමත් වර්ධනය වනු දැකිය හැකි වේ. මේ තුළින් පසුව ස්ත්‍රී විරෝධය හෙවත් ස්ත්‍රියව පිළිකුල් කොට පුරුෂයා සමාජයේ ඔසවා තැබීම නිරන්තරව සිදු විය. ඒ අනුව බුදු දහම බිහි වීමට පෙර කාන්තාවන් සතුව පැවති තත්වය ඉතාමත් ශෝචනීය වූ අතර ඇතම් අවස්ථාවල දී ඇය තිරිසනෙකු හා සමාන කර දක්වමින් පවා නොසළකා හැරීම්වලට භාජනය වනු මෙම අවධියේ මූලාශ්‍ර අධ්‍යනය කිරීම තුළින් පැහැදිලිව හඳුනාගත හැකිය.

 

 


Sunday, February 13, 2022

ලාංකේය රාජධානි නිරිත දිගට විතැන් වීමත් සමඟ මතු වූ අභ්‍යන්තර අරගල


ශතවර්ෂ පහළොවකට අධික කාලයක් ශ්‍රී ලංකා ශිෂ්ටාචාරයේ තෝතැන්න වූ අනුරාධපුරය හා පොළොන්නරුව පදනම් කොට ගත් රජරට සභ්‍යත්වය දහතුන්වන ශතවර්ෂයේ මධ්‍ය භාගයේ සිට දේශපාලන හා සමාජ, ආර්ථික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද එතරම් වැදගත්කමක් නොමැති ප්‍රදේශයන් බවට පත් විය. ලාංකීය රාජධානි නිරිත දිගට සංක්‍රමණය වූ අතර යාපනය කේන්ද්‍ර ගත කරගනිමින් වෙනමම පරිපාලන කලාපයක් ද ඇති වනු මේ යුගයේ දක්නට ලැබේ. පිළිවෙළින් දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ හා කෝට්ටේ ලෙස ලක්දිව රාජධානිය කෙටි කාල පරිච්ඡේදයන් තුළ විවිධ කලාපයන්ට විතැන් වූ අතර රජරට ශිෂ්ටාචාරයේ තිබූ සමෘධිමත් සමාජ-දේශපාලන සාධක කිසිවක් සමඟ මෙම නිරිත දිග රාජධානි සැසඳිය නොහැකි බව විද්වතුන්ගේ මතය වී ඇත. විශේෂයෙන්ම එයට හේතුව වන්නට ඇත්තේ එම රාජධානි සියල්ලම ඉතා කෙටි කාල පරිච්ඡේදවලට සීමා වීම බව කිව හැකිය. කෙසේ නමුත් ලක් ඉතිහාසයේ මුල් යුගයේ පටන් පවත්වා ගෙන ආ සාම්ප්‍රධායික දේශපාලන තත්වයේ පමණක් නොව ආර්ථික, සමාජ හා සංස්කෘතිකමය ක්ෂේත්‍රයන් තුළ ද විශාල විපරිවර්තන තත්වයන් ඇති කිරීමට රජරට ශිෂ්ටාචාරයෙන් පසු එළැඹි නිරිත දිග රාජධානි සමයට හැකියාව ලැබුණු අතර එම තත්වයන් ඒ ඒ යුගයන් විශේෂයෙන්ම ඉස්මතු කර දැක්වීමට ද හේතු කාරණා වන සාධක ලෙස පෙන්වා දිය හැකිය.


දඹදෙණි යුගය

1. මිත්ත සෙන්පතිවරයා රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සහ කිරීම

මේ යුගයේ මුල් පාලකයා වූ තෙවන විජයබාහු රජු කාලිංග මාඝගේ ආක්‍රමණ හේතුවෙන් රජරට අත්හැර රුහුණට හා මයා රටට පලා ගොස් තැනින් තැන බලය පිහිටුවා ගත් ප්‍රදේශීය පාලකයන්ගෙන් එක් අයෙකු විය. ඔහු දඹදෙණි ප්‍රදේශයේ සිය අගනුවර පිහිටුවා ගනිමින් ස්වකීය පරිපාලනය ඇති කළ අතර ඔහුගෙන් පසුව වැඩිමහල් පුත්‍රයා වූ දෙවන පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වය ලබා ගත්තේය. මෙම රාජ අවධීන් ද්විත්වයම අභ්‍යන්තර අරගල නොමැති එහෙත් බාහිර සතුරු ආක්‍රමණ සහිත යුගයන් වන අතර දෙවන පරාක්‍රමබාහු රජු ඒවා මැඩ පවත්වා ක්‍රමවත් දේශපාලනයක් මෙන්ම ආර්ථික, සමාජ හා සංස්කෘතික සමෘධියක් ඇති කරනු ලැබූ පාලකයෙකු විය. නමුත් ඔහුගේ ඇවෑමෙන් 1271 දී දඹදෙණියේ රජ වූ හතරවන විජයබාහු හෙවත් බෝසත් විජයබාහු රජුට රජකම් කළ හැකි වූයේ වසර දෙකකට අඩු කාලයකි. රජුට විරුද්ධව ඇති වූ අභ්‍යන්තර අරගලයක් මෙයට හේතු විය. ඒ අනුව මිත්ත නම් සෙන්පතිවරයෙකු රජ මැඳුරේ මෙහෙකරුවෙකුට අල්ලස් ලබා දී රජු මරුමුවට පත් කොට රාජ්‍යත්වයට පැමිණි බව සඳහන් වේ. එමෙන්ම සිහසුනට කිසිදු උරුමයක් නොතිබූ මොහු වැටුප් හා ප්‍රසාද ලබා දී සිංහල හමුදාපතිවරුන් තමන්ට පක්ෂපාතී කොටගෙන බෝසත් විජයබාහු රජුගේ සහෝදරයා වූ බුවනෙකබාහු ආදිපාදවරයා ද මැරවීම සඳහා චර පුරුෂයින් යෙදවූ බව කියවේ. ආදිපාදවරයා ඉන් බේරී පළා ගොස් යාපහුවට ගිය බවත් ඉන් පසුව රාජ සේවයේ යෙදී සිටි විදේශීය හමුදා සේනාංකයේ ආර්ය භටයන් උරුමයක් නොමැති මිත්ත හට අවනත නොවූ බවත් සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයේදී මිත්ත විසින් විදේශිය සේනාංකයේ ඨකුරක නම් යුධ නායකයා මරණයට පත් කළ බවත් අනතුරුව පලා ගිය බුවනෙකබාහු ඈපාණන්ගේ උපදෙස් මත සිංහල සෙනෙවිවරුන්ට තම උරුමය පිළිබඳව පැහැදිලි කොට ඔවුන් ද පක්ෂ කර ගනිමින් අවසානයේ බුවනෙකබාහු ඈපාණන් හට රාජ්‍යත්වය ප්‍රධානය කළ බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. කෙසේ නමුත් මෙම තත්වය දඹදෙණි අවධියේ දී දක්නට ලැබෙන ප්‍රධාන අභ්‍යන්තර අරගලයක් වන අතර මුල් කාලීන දඹදෙණි පාලකයන්ගේ අවධීන් තුළ අභ්‍යන්තර ගැටුම් මතු නොවූවත් දෙවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව ඉස්මතු වූ උක්ත අභ්‍යන්තර අරගල තත්වය දඹදෙණි යුගය වසර 55කට පමණක් සීමා කරමින් ලක්දිව රාජධානිය නැවතත් වෙනත් කලාපයකට විතැන් කරනු හඳුනා ගත හැකිය.


යාපහුව යුගය

1. වන්නි පාලකයන්ගේ නැඟී සිටීම

මේ යුගයේ පළමු පාලකයා වූ බුවනෙකබාහු රජු ඉහත සඳහන් කළ පරිදි සාර්ථක ලෙස කැරැල්ල මර්දනය කරමින් රාජ්‍යත්වයට පැමිණෙනු ලැබුව ද ඉන් පසුවත් ඔහුට විරුද්ධව යාපහුව රාජධානිය තුළ අභ්‍යන්තර අරගල ඇති වන බව වංශ කතාවේ සඳහන් කොට ඇත. ඒ අනුව ඔහුට පෙර දඹදෙණි පාලකයන් වූ දෙවන පරාක්‍රමබාහු රජුට හා බෝසත් විජයබාහු රජුට පක්ෂපාතීව සිටි වන්නි පාලකයන් කිහිප දෙනෙකු බුවනෙකබාහු රජුට විරුද්ධව නැඟී සිටිය බව සඳහන් වේ. ඔවුන් කදලීවාට, මාපාණ, තිප හිමියාක යන නම්වලින් හැඳින්වූ බව වංශ කතාවේ සඳහන් කොට ඇති බවද කියවේ. එපමණක් නොව ලක්දිව වංශකතාව හා මාර්කෝ පෝලෝගේ වාර්තාව සඳහන් කරන පරිදි මෙසමයේ චන්ද්‍රභානුගේ පුත්‍රයෙකු දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජධානියේ සහාය ලබා ගනිමින් උතුරේ වෙනම පරිපාලනයක් ගෙන ගිය බවත් එනිසා බුවනෙකබාහු රජුට නිරතුරුව උතුරු කලාපය අභ්‍යන්තර අරගලයකට යොමුවේ දැයි විමසිල්ලෙන් සිටීමට සිදු වූ බවත් එම මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු මඟින් හඳුනාගත හැකිය.

2. තෙවන පරාක්‍රමබාහු රජු හා දෙවන බුවනෙකබාහු රජු අතර වූ ගැටුම

පළමුවැනි බුවනෙකබාහු රජුගේ මරණය සිදු වූ 1284 වසරේ සිට වසර තුනක් රාජ අන්තරයක් පැවති කාල සීමාවක් ලෙස දළඳා සිරිත පෙන්වා දෙන අතර ඉන් පසුව නැවත අභ්‍යන්තර අරගලයක් මෙරට රජ පදවිය උදෙසා නිර්මාණය වනු දක්නට ලැබේ. ඒ පළමුවැනි බුවනෙකබාහු රජුගේ පුත්‍රයා වූ දෙවන බුවනෙකබාහු හා බෝසත් විජයබාහු රජුගේ පුත්‍රයා වූ තෙවන පරාක්‍රමබාහු අතර වේ. ඔවුන් අතර ඇති වූ ගැටුම හේතුවෙන් උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තීන්ගේ සහාය ලබා ගත් පාණ්ඩ්‍ය හමුදාවන් යාපහුව ආක්‍රමණය කරමින් දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව රැගෙන ඉන්දියාවට ගිය බව කියවේ. සෙනරත් පරණවිතායන් විසින් මෙම සංසිද්ධිය උදෙසා ලබා දෙන අර්ථකථනයේ සඳහන් වන්නේ රාජපදප්‍රාප්තිය පිළිබඳව තෙවන පරාක්‍රමබාහු හා දෙවන බුවනෙකබාහු අතර ඇති වූ අභ්‍යන්තර අරගලය මෙරටින් රාජ්‍යත්වයේ සංකේතයන් වූ දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව විදේශයකට රැගෙන යාමට ප්‍රධාන හේතුව වූ බවයි”.

කෙසේ නමුත් නැවතත් රාජ්‍යත්වයේ සංකේත පාණ්ඩ්‍ය රජුගෙන් ලබා ගන්නා තෙවන පරාක්‍රමබාහු රජු 1287දී පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් වූවත් ඔහුට එරෙහිව නැවත අභ්‍යන්තර අරගලයක් ගෙන යන දෙවන බුවනෙකබාහු කුමරු පොළොන්නරුවට ගොස් පාත්‍ර හා දන්ත ධාතුව රැගෙන නැවත යාපහුවට පැමිණ ශ්‍රී නිවාස බුවනෙකබාහු නමින් 1292දී රාජ්‍යත්වයට පත් වූ බව කියවේ. මොහු වසර 7ක් යාපහුවේ පරිපාලනය ගෙන ගොස් පසුව 1300දී පමණ සිය රාජධානිය කුරුණෑගල ප්‍රදේශයට විතැන් කරනු මූලාශ්‍රගත තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකිය. ඒ අනුව යාපහුවේ මුල් සමයේ පටන් වරින් වර ඇතිවූ අභ්‍යන්තර අරගලයන්ට හේතු වූ ප්‍රධානම කරුණ වන්නේ රජ පදවිය උදෙසා කුමාරවරුන් අතර තිබූ ඝට්ටනය බව කිව හැකි අතර ඒ හේතුවෙන්ම විවිධ විදේශීය ආක්‍රමණිකයින් ද මෙරට ආක්‍රමණය කොට රාජ්‍යත්වයටම අදාළ වූ සංකේත පවා මෙරටින් රැගෙන ගිය බව උක්ත කරුණු ඔස්සේ නිගමනය කළ හැකිය. එපමණක් නොව යාපහුව රාජධානිය දශක තුනකටත් වඩා අඩු කලකට සීමා වීමට ද වරින් වර යාපහුව පදනම් කරගනිමින් මෙරට දේශපාලනයේ ඇති වූ අභ්‍යන්තර අරගල හේතු වී ඇත.


        කුරුණෑගල යුගය

 1. බෝදා මපාණන් ඇති කළ කැරැල්ල

මෙම අවධිය යාපහුව යුගයට සාපේක්ෂව අභ්‍යන්තර අරගල එතරම් දක්නට නොලැබෙන යුගයක් ලෙස හඳුන්වා දිය හැකිය. මන්ද යත් කුරුණෑගල යුගය දඹදෙණිය සේම සමාජ හා සංස්කෘතිකමය අංශයෙන් විශාල වර්ධනයක් පැවති යුගයක් වීමත්, එනිසාම අරගලකාරී දේශපාලන මත ගැටුම් ඉතා අවම තත්වයක පැවතීමත් නිසාවෙනි. කෙසේ නමුත් සිව් වන පරාක්‍රමබාහු රජු නොහොත් පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ අවසාන පාලන සමයේදී මේ රජුට විරුද්ධව අභ්‍යන්තර අරගලයක් ඇති වූ බව පසුකාලීන මූලාශ්‍රයන්හි සඳන්ව ඇති බව කියවේ. එම මූලාශ්‍රයට අනුව බෝදා මාපාණන් නැමැත්තෙකු විසින් නගන ලද කැරැල්ලක් නිසා භික්ෂු සංගයා ඇතුළු ජනතාව කුරුණෑගල අත් හැර දමා මලය රටට හා දකුණට ගිය බව සඳහන් වේ. බෝදා මාපාණන් නමින් කැරලි ඇති කරනු ලැබුවේ වන්නි පාලකයන්ගෙන් කෙනෙකු බවත්  ඒ අනුව ඔහු හතරවන පරාක්‍රමබාහු රජුට පසුව රජ වූ තෙවන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු වන්නට ඇති බව විද්වතුන්ගේ මතය වන අතර ඔවුන් දෙදෙනා අතර මෙලෙස අභ්‍යන්තර අරගලයක් හට ගැනීමට ප්‍රධාන හේතුව වූයේ රජ පදවිය සඳහා වූ තරඟය බවත් එම විද්වතුන් විසින් වැඩි දුරටත් දක්වා ඇත.  එබැවින් අනෙකුත් යුගයන් හා සාපෙක්ෂව ගත් කළ කුරුණෑගල අවධිය තුළ අභ්‍යන්තර අරගල අරගල එතරම් දක්නට නොමැති වූවත් හතරවන පරාක්‍රමබාහු රජුගේ අවසාන කාල පරිච්ඡේදය තුළ ඇති වූ උක්ත අරගලය හේතුවෙන් යාපහුව රාජධානි අවධියේ පටන් ඉස්මතු වෙමින් පැවති වන්නි පාලකයින්ගේ බලය වර්ධනය වීමට යම් අවස්ථාවක් ලැබුණු බව කිව හැකි වේ.


ගම්පොළ යුගය

 1. ආර්ය ක්‍රවර්තී පාලකයාගේ ආක්‍රමණයන්

මේ යුගයේ දී පළමුවරට ඇති වූ දේශපාලනමය අභ්‍යන්තර අරගලය වනුයේ දිවයිනේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තී නම් පාලකයෙකු යටතේ යාපනය කේන්ද්‍ර කොට ගත් ප්‍රාදේශීය රාජ්‍යත්වයක් විසින් 1360දී පමණ ගම්පොළ අභ්‍යන්තර දේශපාලනයට බලපෑම් කිරීම හා දෙවරක්ම ගම්පොළ රාජධානිය ආක්‍රමණය කිරීමයි. ඒ අනුව මෙම කාල සීමාව වන විට දිවයිනේ උතුරු ප්‍රදේශය හා ගම්පොළ මුල් කරගත් දකුණු ප්‍රදේශයන් නිසැක ලෙසින්ම එකිනෙකට විරුද්ධ පාලකයන් මඟින් පාලනය වන්නට ඇතැයි සිතිය හැකි අතර එනිසාවෙන්ම නිරන්තරම මෙම කලාප ද්විත්වය අතර අභ්‍යන්තර අරගල අවස්ථා මතු වූ බව කිව හැකිය. විශෙෂයෙන්ම උතුරු පාලක ආර්ය චක්‍රවර්තී හට ඔහුට දකුණින් වූ ප්‍රදේශ යටත් කර ගැනීමට තිබූ අවශ්‍යතාවය මෙම ඝට්ටනයන්ට හේතු වන්නට ඇත.

එමෙන්ම 1359 වසරේ දී ගම්පොළ දේශපාලන අභ්‍යන්තර අරගලයක් සිදු වූ බව කියවේ. ඒ අනුව ඈපා වශයෙන් කටයුතු කළ තෙවන වික්‍රමබාහු විසින් පස් වන පරාක්‍රමබාහු රජු පළවා හැර 1360 වසරේදී රාජ්‍යත්වය ලබා ගනු දැකිය හැකිය. තෙවන වික්‍රමබාහු උතුරේ ආර්ය චක්‍රවර්තීන්ගේ සහාය ලබා ගනිමින් මෙම අරගලය සිදු කළ බව කියවෙන අතර මාතණ්ඩ පෙරුමාල් නම් එම ආර්ය චක්‍රවර්තී රජුගේ බලය මෙසමය වන විට ඉතා වේගයෙන් දකුණු ප්‍රදේශ වූ හලාවත, මීගමුව, වත්තල, කොළඹ, බටහිර තොටුපළ මෙන්ම උඩරට කලාපයේ ද ව්‍යාප්ත වෙමින් පැවති බව සඳහන් වේ. 1369 වසරේ දී ආර්ය චක්‍රවර්තී පාලකයා සමඟ දේශපාලන අරගලයකට මැදි වන තෙවන වික්‍රමබාහුගේ අගමැතිවරයා වූ නිශ්ශංක අලගක්කෝනාර උතුරු පාලකයාගේ බලය බටහිර තොටුපළ කලාපයෙන් ඉවත් කිරීමට සමත් වූ බව ද මූලාශ්‍රයන්හි වැඩි දුරටත් සඳහන් වේ.

ඉන් අනතුරුව 1381දී නැවතත් ගම්පොළ රාජධානියට උතුරු පාලකයාගෙන් ආක්‍රමණයක් එල්ල වන අතර එයට මූලික හේතුව වූයේ ඊට විසි වසරකට පෙර තමා වූ පරාජයෙන් පළි ගැනීම හා දකුණේ අලගක්කෝනාර විසින් පාලනය කරමින් පවති මුහුදු වෙළඳාම ස්වකීය අණසක යටතට ගැනීම බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. දේශපාලන මෙන්ම ආර්ථික සාධක ද පදනම් කර ගනිමින් සිදු වූ මෙම අභ්‍යන්තර අරගලයේදී දිවයිනේ උතුරු පාලකයා ගොඩබිමින් හා මුහුදුන් විශාල සේනාංක ද්විත්වයක් එවා එකම දින වකවානුවක ගම්පොළට හා කෝට්ටේට එකවර පහර දීමට සැළසුම් කළ බව කියවේ. ගොඩබිමින් පැමිණි හමුදාව මාතලේ කඳවුරු බැඳ සිටියදී ගම්පොළ පාලක බුවනෙකබාහු රජු ආරක්ෂාව පතා ජයවර්ධනපුර කෝට්ටේට පැන ගිය බවත්, උඩරට සේනාව සමඟ එක්ව ගොඩබිමින් පැමිණි හමුදාව පළවා හැරීමට ගම්පොළ හමුදාවන් සමත් වූ බවත් දැක්වේ. එපමණක් නොව මුහුදු සේනාංක කඳවුරු බැඳ සිටි ස්ථානය හා නැව් විනාශ කොට ආර්ය චක්‍රවර්තී පාලකයා පූර්ණ වශයෙන්ම පරාජය කිරීමට අලගක්කෝනාර මෙම අරගලයේ දී කටයුතු කළ බව කියවේ. එබැවින් මෙම තත්වය ද මෙරට දේශපාලන ඉතිහාසයේ අභ්‍යන්තර අරගලයක් ඇති වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි අතරම ගම්පොළ යුගයේ කැපී පෙනන පරම්පරාවක් වූ අලගක්කෝනාර හෙවත් අලකේශ්වර පරපුර ඉස්මතු වීමට ද මෙම අභ්‍යන්තර අරගලය යම් තරමක් දුරට හෝ හේතු සාධක වූ බව උක්ත කරුණු ඔස්සේ ගම්‍යමාන වේ.

2. වීරබාහු රජු හා වීර අලකේශ්වර අතර ඝට්ටනය

        ගම්පොළ යුගයේ මුල් කාලයේ දී මෙන්ම අවසන සමයේ ද දේශපාලන අභ්‍යන්තර අරගල ඇතිවෙනු මූලාශ්‍රයන්හි සඳහන් තොරතුරු ඔස්සේ හඳුනාගත හැකිය. ඒ අනුව 1391 වසරේ දී ගම්පොළ පාලකයා වූ වීරබාහු රජුට විරුද්ධව ඔහුගේ සහෝදරයා වූ එකොළොස්වන අලකේශ්වර රජුගේ ආධිපත්‍ය පිළිනොගෙන රයිගම සිය බල මධ්‍යස්ථානය කර ගනිමින් පහතරට ප්‍රදේශ පාලනය කළ බව කියවේ. ඉන් නොබෝ කලකට පසුව වීරබාහු රජු සිය සොහොයුරා අල්ලා ගැනීමට ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගිය බවත් ඉන් ඇති වූ සටනින් ඔහුගේ සොහොයුරා වූ වීර අලකේශ්වර පරාජය වී දඹදිවට පැන ගිය බවත් සද්ධර්ම රත්නාකරය හා අස්ගිරි තල්පත වැනි මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. නමුත් 1409 වසරේ නැවත සේනා රැගෙන පැමිණෙන වීර අලකේශ්වර වීරබාහු හා සටන් කොට රජු පරාජය කොට මරණයට පත් කළ බව සඳහන් වන අතර ඉන්පසුව ජයග්‍රාහකයා වූ වීර අලකේශ්වර රයිගම පාලකයා බවට නැවතත් පත් වූ බව ද මූලාශ්‍රයන් තුළ දැක්වේ.

3. රයිගම හා ගම්පොළ පාලකයන් අතර පැවති බල අරගලය

        එමෙන්ම ගම්පොළ අවධියේ අවසන් භාගයේ පැවති තවත් දේශපාලන අරගලයක් වනුයේ රයිගම හා ගම්පොළ පාලකයන් අතර පැවති බල අරගලයයි. විශේෂයෙන්ම චීන අධිරාජ්‍යයේ චෙං හෝ සෙන්පතියාට රයිගම පාලක වීර අලකේශ්වර 1411දී අල්ල ගැනීමට හැකි වූයේ ද මෙම අභ්‍යන්තර අරගලය නිසාවෙන් බව සඳහන් කළ හැකි අතර ඔහුගේම හමුදාවන් තුළින් ලබුණු ඔත්තු මඟින් චීන සෙන්පතිවරයා අලකේශ්වර අල්ලා ගත් බව කියවේ. මේ සඳහා ඔත්තු ලබා දුන් ප්‍රධාන පුද්ගලයා වනුයේ වීර අලකේශ්වර සමඟ අභ්‍යන්තර ගැටුමකට මැදිව සිටි වීරබාහු රජුගේ අවෑමෙන් උඩරට රජු බවට පත් වූ පරාක්‍රම ඈපාණන් බව විද්වතුන්ගේ මතය වන අතර එය වඩාත් තහවුරු වන සාධකය වනුයේ චීන අධිරාජ්‍යයා මෙරට ඔහුගේ නියෝජිත පාලකයා වශයෙන් පත් කළ යෙහිපා නයිනා යන්නෙන් අදහස් වන්නේ ද  ඈපාණන් යන අරුත බව හඳුනාගෙන ඇති බැවිණි. එබැවින් වීරබාහු රජුගෙන් පසුව ගම්පොළ අවධියේ අවසාන පාලකයන් වූ වීර අලකේශ්වර හා සෙංකඩගල පරාක්‍රම ඈපාණන් අතර ඇති වූ රයිගම හා ගම්පොළ බල අරගලය අභ්‍යන්තර ගැටුමක් පමණක්ම නොව විදේශීය පාලකයෙකුට මෙරට පාලකයන් සිර භාරයට ගැනීමට පවා අවස්ථාවන් උදා කර දුන් කණගාටුදායක සිදුවීමකට ද මුල් වූ හේතු සාධකයක් වූ බව පැහැදිලි වේ.


කෝට්ටේ යුගය

 1. සපුමල් කුමරු හා යාපන පාලකයන් අතර වූ බල අරගලය

මේ යුගයේ කැපී පෙනෙන පාලකයා වූ හයවන පරාක්‍රමබාහු රජුගේ අවධියේ දී බාහිර සතුරු ආක්‍රමණ ආදිය මුල් කාලීනව දක්නට ලැබුණත් කැපී පෙනෙන ලෙස දේශපාලනය තුළ අභ්‍යන්තර අරගලයක් හට ගනුයේ දිවයිනේ උතුරු කලාපය තමන් යටතට ගැනීම සඳහා මේ රජු විසින් ගෙන ගිය යුධ ක්‍රියාදාමයයි. ඔහුගේ පුත් තනතුරේ වැඩුණු සපුමල් කුමරු හෙවත් චම්පක් පෙරුමාල්  1449 වසරේ දී යාපා පටුනට ආක්‍රමණයක් මෙහෙයවා එම කලාපය කෝට්ටේ අණසක යටතට ගත් බව සැළලිහිණි සංදේශය ප්‍රමුඛ කෘති ගණනාවක සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයට මුල් වූ යාපන පාලක ආර්ය චක්‍රවර්තී රජු නිබඳවම දකුණු ඉන්දියාවේ විජයනගර් පාලකයාගෙන් සහාය ලබා ගත් නමුත් මල්ලිකාර්ජුන නම් දුර්වල විජයනගර් පාලකයාගේ සමයේ එසේ සහාය ලබා ගැනීමට අසමත් වූ යාපනයේ ආර්ය චක්‍රවර්තී රජු පරාජය කිරීමට හයවන පැරකුම් රජු සපුමල් කුමරු එහි යැවූ බව මූලාශ්‍රයන් තුළ සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලයේ දී ආර්ය චක්‍රවර්තී රජු යටත් වූවාක් පමණක් නොව ඒ ආසන්නයේ පාලනය ගෙන ගිය වන්නි පාලකයන්ගෙන් බොහෝමයක් ද පැරකුම් රජුට අවනත කරවා ගැනීමට සපුමල් කුමරු සමත් වූ බව එම ග්‍රන්ථ තුළ වැඩි දුරටත් සඳහන් වේ. කෙසේ නමුත් මෙම දේශපාලන අරගලය හේතුවෙන් උතුරු පාලකයා වූ කණකසූරිය ශිංගෙයි ආරියන් මිය ගිය බව රාජාවලිය සඳහන් කරන අතර ඔහු ඉන්දියාවට පැන ගිය බව යාල්පාන වෛපමාලෛ කෘතිය සඳහන් කර ඇත. මෙම ගැටුම අවසානයේ උතුරේ ආර්ය චක්‍රවර්තී පාලනය අවසන් කිරීමට හයවන පරාක්‍රමබාහු රජුට අවස්ථාව උදා වූ අතර යාපන ප්‍රදේශය සපුමල් කුමරුට පාලනය කිරීම සඳහා පවරා දුන් බව ද කියවේ. එබැවින් කෝට්ටේ යුගයේ ඇති වූ අභ්‍යන්තර දේශපාලන අරගල අතර පළමුවෙන්ම කැපී පෙනෙන අරගලය වනුයේ මෙය බව සඳහන් කළ හැකි අතර උතුරු පාලකයා හා කෝට්ටේ පාලකයා අතර ඇති වූ මෙම බල අරගලයෙන් ඉස්මතුවන සපුමල් කුමරු පසු කාලීනව නැවත නැවතත් මෙරට දේශපාලන ඉතිහාසය තුළ අභ්‍යන්තර අරගල සිදු කරන ආකාරය ද පසු කාලීන සංසිද්ධීන් ඔස්සේ හඳුනා ගැනීමේ හැකියාව ඇත.

2. ජෝතිය සිටාණන් හා පරාක්‍රම ඈපා අතර වූ බල අරගලය

පහළොස්වන සියවසේ මැද භාගයේ හයවන පැරකුම් රජු සමස්ත දිවයිනම එක්සේසත් කිරීමෙන් පසුව යළිත් මෙරට දේශපාලනය තුළ අභ්‍යන්තර අරගල අවස්ථාවක් ඇති වෙනු හඳුනාගත හැකිය. ඒ අනුව සතර කෝරළයේ හා උඩරට දේශපාලන පෙරළියක් ඇති වන අතර යුව රජු වූ දැදිගම පරාක්‍රමබාහු කුමරු මිය ගියෙන් ඔහුගේ පුත් පරාක්‍රම ඈපා හා ජෝතිය නැමැති සිටාණන් කෙනෙකු අතර බල අරගලයක් ඇති වූ බව කියවේ. මඩවල සෙල්ලිපිය මෙම කරුණු ඉදිරිපත් කරන ප්‍රධානතම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය වන අතර නොබෝ කලකින් පරාක්‍රම ඈපා යටපත් කොට ජෝතිය සිටාණන් බලයට පැමිණ, උඩරටින් හයවන පැරකුම් රජුට එවූ බදු ආදිය නතර කරමින් කැරළි සංවිධානය කළ බව රාජාවලියේ දැක්වේ. මෙම අරගලයේ දී පරාක්‍රමබාහු රජු තම පුතෙකු වූ අම්බුළුගල කුමරු ජෝතිය සිටාණන්ගේ කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා උඩරටට යැවූ අතර ඔහු ජෝතිය සිටු පරාජය කොට කෝට්ටේ වෙත රැගෙන ආ බවත් පසුව පරාක්‍රමබාහු රජු උඩරට පාලනය මිය ගිය යුව රජුගේ පුත්‍රයා වූ පරාක්‍රම ඈපා හට පැවරූ බවත් රාජාවලියේ සඳහන් වේ. මෙම අභ්‍යන්තර අරගලය කෝට්ටේ හයවන පැරකුම් රජුගේ රාජ්‍ය සමය තුළ සිදු වූ දෙවන බල අරගලය වන අතර සපුමල් කුමරු සේම මෙම දේශපාලන බල අරගලයේ දී කරළියට පැමිණි අම්බුළුගල කුමරු ද කෝට්ටේ යුගයේ අවසාන සමයේ දී තවත් අභ්‍යන්තර බල අරගලයන්ට මැදිහත් වෙනු මූලාශ්‍රගත තොරතුරු අධ්‍යනය කිරීමේ දී හඳුනාගත හැකිය.

3. මාතලේ ප්‍රදේශයෙ වික්‍රමබාහු නමත්තෙකු උඩරට කැරැල්ලක් ඇති කිරීම

කෝට්ටේ යුගය තුළ දේශපාලනය උදෙසා ඇති වන තෙවන බල අරගලය වනුයේ හයවන පැරකුම් රජු විසින් උඩරට පාලනය පවරන ලද පරාක්‍රම ඈපා දැදිගම සිටිය දී මාතලේ ප්‍රදේශයෙන් මතු වූ වික්‍රමබාහු නමත්තෙකු උඩරට කැරැල්ලක් ඇති කිරීමයි. අස්ගිරි තල්පත මේ අරගලය පිළිබඳව තොරතුරු දක්වන ප්‍රධානතම මූලාශ්‍රය වන අතර පරාක්‍රම ඈපා කැරැල්ලේ දී වික්‍රමබාහුට පරාජය වන බවත්, ජයග්‍රාහකයා වූ වික්‍රමබාහු සේනා සම්මත වික්‍රමබාහු නමින් උඩරට පාලකයා වන බවත් එහි සඳහන් වේ. 1463 වසරේ දී මෙය සිදු වී ඇති අතර පරාක්‍රම ඈපාගේ පළා යෑමෙන් හිස් වූ සතර කෝරළයේ පාලක තනතුරට හයවන පැරකුම් රජු සපුමල් කුමරුගේ සොහොයුරා වූ අම්බුළුගල කුමරු පත් කළ බවත් සඳහන් වේ. අම්බුළුගල තම බල මධ්‍යස්ථානය කර ගත් බැවින් ඔහු අම්බුළුගල කුමරු වූ අතර අවසානයේ එනම් 1467 වසරේ හයවන පැරකුම් රජු මිය යන විට කෝට්ටේ යුගයේ වරින් වර ඇති වූ දේශපාලන අභ්‍යන්තර බල අරගල හේතුවෙන් ඔහු විසින් එක්සේසත් කළ රාජ්‍යයේ උතුරු ප්‍රදේශ සපුමල් කුමාරු ද, සතර කෝරළයේ අම්බුළුගල කුමරු ද, උඩරට සේනා සම්මත වික්‍රමබාහු නැමැති ස්වාධීන පාලකයෙක් ද ලෙස තම තමන්ගේ බලය ව්‍යාප්ත කොට ගෙන සිටි බව කියවේ.

4. සපුමල් කුමරු හා ජයබාහු රජු අතර ඇති වූ බල අරගලය

හයවන පැරකුම් රජුගේ මරණින් පසුව ද කෝට්ටේ රාජධානිය තුළ අභ්‍යන්තර අරගල රාශියක් මතුවනු හඳුනාගත හැකිය. එහි පළමුවැන්න වන්නේ සපුමල් කුමරු විසින් රාජ්‍යත්වය ලබා ගැනීම පිණිස ඇති කරවූ අභ්‍යන්තර අරගලයයි. ඒ අනුව සපුමල් කුමරු යාපන පාලකයාව සිටිය දී  හයවන පරාක්‍රමබාහු රජුගේ මුණුබුරු වූ ජයබාහු කුමරු රජ බවට පත් කළ අතර එම පියවර දේශපාලන බල අරගල රැසකට මුල පිරූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. 1469දී යාපනයේ සිට සේනා රැගෙන පමිණි සපුමල් කුමරු ජයබාහු රජුගේ පාලන කාලය වසර දෙකකට පමණක් සීමා කොට ඔහුව මරා හයවන බුවනෙකබාහු නමින් කෝට්ටේ පාලකයා බවට පත් විය. මෙම අභ්‍යන්තර අරගලය ද කෝට්ටේ යුගයේ සිදු වූ දේශපාලන බල අරගල අතර කැපී පෙනෙන්නක් වන අතර සපුමල් කුමරුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් නැවත වරක් ලක්දිව තුළ දේශපාලනය උදෙසා කැරලි ගණනාවක් ඇති වනු මින් පසුව හඳුනාගත හැකිය.

5. සිංහල සංගය ඇති වීම

හයවන බුවනෙකබාහු නමින් සපුමල් කුමරු කෝට්ටේ රාජ පාලනයේ යෙදී සිටිය දී නැවත ඔහුට විරුද්ධව අභ්‍යන්තර අරගලයක් ක්‍රියාත්මක වනු දිටිය හැකිය. සිංහල සංගය හෙවත් සිංහල පෙරැළිය යන් නාමයෙන් හඳුන්වනු ලබන මෙම අරගලයට මුල් වූයේ පස්දුන් කෝරළයේ කැකුළන්දොල සිරිවර්ධන ප්‍රතිරාජයන් හා කූරගම හිමියන් යන ජන ප්‍රධානීන් දෙදෙනෙකු බව කියවේ. කළු ගඟ හා වළවේ ගඟ අතර සමස්ත ප්‍රදේශයෙම මෙම කැරැල්ල පැතිරී ගිය අතර වසර පහක් තරම් දීර්ඝ කාලයක් මෙය පවති බව ද සඳහන් වේ. මෙම අරගල අවස්ථාවේ දී අම්බුළුගල යුවරජු සතර කෝරළයේ සේනාංක රැගෙන විත් තම සහෝදර බුවනෙකබාහු රජුට උපකාර කළ බවත් ඔහුගේ සහායෙන් කැරැල්ල මැඩ පවත්වා කූරගම හිමියන් හා සිරිවර්ධන ප්‍රතිරාජයා සිරභාරයට ගත් බවත් කියවේ. විශේෂයෙන්ම හයවන බුවනෙකබාහු රජුට විරුද්ධව මෙලෙස අභ්‍යන්තර අරගලයක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඔහුගේ දෙමළ ජන්මය හේතුවෙන් වන්නට ඇති බව කිව හැකිය. සිංහල රාජ්‍ය නිළධාරීන් සේම සංඝරාජ ධූරය දැරූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පවා හයවන බුවනෙකබා රජුට එරෙහිව මෙලෙස සිංහල සංගය නම් අභ්‍යන්තර අරගලයට සහාය දක්වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. කෙසේ නමුත් හයවන බුවනෙකබාහු රජුට එරෙහිව උක්තව දැක්වූ ආකාරයේ අභ්‍යන්තර කැරළි ඉස්මතු වූවත් තම දේශපාලන ස්ථාවරත්වය රැක ගැනීමට ඔහු සමත් වූ නමුත් අම්බුළුගල යුවරජු සතර කෝරළයේ සේනාව රැගෙන කෝට්ටේ වෙත පිවිසීම තුළින් නැවත උඩරට හා සතර කෝරළයේ දේශපාලන බල අරගලයන් හිස ඔසවනු හඳුනාගත හැකිය. එබැවින් කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජුගේ අනුප්‍රාප්තිකයන් හේතුවෙන් ද ඇති වූ දේශපාලනික අභ්‍යන්තර අරගල ඉන් පසුව උඩරට කලාපය හා සතර කෝරළය තුළ ව්‍යාප්ත වනු මේ යුගයෙන් පසුව හඳුනා ගන්නට ලැබේ.

ඒ අනුව කෝට්ටේ රාජධානියේ යටත් කලාපයක් වශයෙන් පැවති උඩරට ප්‍රදේශයේ පාලනයට සේනා සම්මත වික්‍රමබාහු රජු පත් වීමෙන් අනතුරුව 1471දී පිහිටුවන ලද ගඩලාදෙණි සෙල්ලිපිය හා අස්ගිරි තල්පතට අනුව මේ කාල පරිච්ඡේදයේ දී උඩරට රජුට විරුද්ධව දුම්බර හටන් බණ්ඩාර නැමැත්තෙකු රජ පදවිය උදෙසා අරගල සිදු කොට ඇත. මෙහි දී වඩාත් උපායශීලී වූ වික්‍රමබාහු රජු තුන්යම හිස්කන්නැහේ නමත්තෙකුට රාජ්‍ය දෙන බවට පොරොන්දු වී උපායෙන් එම කැරැල්ල මැඩ පැවැත්වීමට සමත් වූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ගඩලාදෙණි සෙල්ලිපියට අනුව මෙලෙස කැරැල්ලක් ආරම්භ කළ දුම්බර හටන් බණ්ඩාර යනු යාපා බණ්ඩාර ලෙස දක්වා ඇති අතර ඔහුට අමතරව රජදරු බණ්ඩාර නැමැත්තෙක් ද මෙම කැරැල්ලට සහයෝගය ලබා දුන් බව එම සෙල්ලිපියේ සඳහන් කොට ඇති බව කියවේ. විද්වතුන්ගේ ආනාවරණයන්ට අනුව මෙම රජදරු බණ්ඩාර යනු පරාක්‍රම ඈපා හෙවත් සේනා සම්මත වික්‍රමබාහු උඩරට රජ වීමට පෙර පරාජය කළ දොඩම්වෙල පරාක්‍රම වේ. කෙසේ නමුත් උඩරට පාලකයාට විරුද්ධව ඇති වූ අභ්‍යන්තර අරගලයන් සාර්ථකව මැඩ පැවැත්වීමට ඔහු සමත් වූ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වේ.

ඉන් අනතුරුව උඩරට මුල් කරගනිමින් නැවත අභ්‍යන්තර අරගල තත්වයක් උදා වූයේ සේනා සම්මත වික්‍රමබාහු රජු සතර කෝරළය ද ඈඳා ගනිමින් කෝට්ටේ පාලනයෙන් ස්වාධීන වීමට ගන්නා ලද උත්සහාය හේතුවෙනි. අම්බුළුගල යුවරජු සිංහල සංගය සඳහා හයවන බුවනෙකබාහු රජුට සහාය වීමට ගිය අවස්ථාවේ දී වික්‍රමබාහු රජු කෑගල්ල දිස්ත්‍රික්කයේ අලුත් නුවර දක්වා පැමිණ සතර කෝරළයේ ජන ප්‍රධානීන් තමාට පක්ෂපාතී කරවා ගත් බව කියවේ. මෙම සිදුවීම සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් කූට ලෙස මෙන්ම රහසිගතව ගෙන යනු ලැබූ අභ්‍යන්තර අරගලයක් ලෙස හැඳින්විය හැකි අතර සතර කෝරළයේ පාලකයන් වූ යාපා බණ්ඩාර, දොඩම්වෙල පරාක්‍රම, දිසානායක ඇතුළු රට නායකයින් තමාට පක්ෂපාතී කර ගනිමින් කෝට්ටේ රාජධානියට අයත්ව තිබූ සතර කෝරළය උඩරටට ඈඳා ගනු ලැබීය. මෙය 1470ත් 1474ත් අතර කාලයේ සිදු වී ඇති අතර සතර කෝරළයේ අලුත් නුවර දේවාලය කරවා එහි පිහිට වූ සෙල්ලිපිය මඟින් සේනා සම්මත වික්‍රමබාහු ගෙන ගිය මෙම අභ්‍යන්තර අරගලයේ තොරතුරු හඳුනාගත හැකි වේ. නමුත් වික්‍රමබාහු රජුගේ මෙම අභ්‍යන්තර දේශපාලන බල අරගලය අසාර්ථක වූ අතර 1478 වන විට නැවතත් කෝට්ටේ පාලක හයවන බුවනෙකබාහු රජු සතර කෝරළයේ නායකයින් උපායශීලී ලෙස තමන්ට අවනත කරවාගෙන කෝට්ටේ රාජ්‍යයේ බල ව්‍යාප්තිය ස්ථාවර කර ගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

1490 වසරේ දී අම්බුළුගල යුවරජු ජයවර්ධනපුර කෝට්ටේ රාජ්‍යත්වයට පැමිණීම ද මෙරට දේශපාලනය පදනම් කර ගනිමින් ඇති වූ අභ්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වාදිය හැකිය. ඒ අනුව ක්වේරෝස් නම් පියතුමාගේ වාර්තාවන්ට අනුව මෙම අරගල තත්වය හඳුනාගත හැකි වේ. හයවන බුවනෙකබාහු රජු මිය ගිය පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පණ්ඩිත පරාක්‍රමබාහු නම් පුත් කුමරු බාල වියේහි සිටි බැවින් බිසව වූ ධනමැණිකා රත්නාවලී බිසව මාස 06ක් රාජ්‍ය කරවූ බව කියවේ. ඉන් පසුව ඇතිවූ ආරවුල් සහගත තත්වය නිසාවෙන් රජ කුමරු දහනව වියට එළැඹෙන තෙක් හයවන බුවනෙකබාහු රජු බලය පැවරූ ප්‍රතිරාජවරුන් වූ සිරිවර්ධන ප්‍රතිරාජයා හා කූරගම හිමියන් කෝට්ටේ රාජ්‍ය පාලනය සිදු කළ බව සඳහන් වේ. රාජාවලියේ දැක්වෙන විස්තරවලට අනුව කුඩා කුමරු හට රජ පදවිය ලබා දුන් බව ඇසූ අම්බුළුගල යුවරජු සතර කෝරළයේ හමුදාව රැගෙන කෝට්ටේ වෙත පැමිණ කැළණිය ආසන්නයේ සිරිවර්ධන ප්‍රතිරාජයා හා කූරගම හිමියන් සමඟ බිහිසුණු සටනක යෙදීමෙන් අනතුරුව ඔවුන්ව පරාජය කොට ජයවර්ධනපුරයේ දී පණ්ඩිත පරාක්‍රමබාහු නොහොත් තම සහෝදරයා වූ හයවන බුවනෙකබා රජුගේ පුත්‍රයා මරා අටවන වීර පරාක්‍රමබාහු නාමය ගෙන 1490දී කෝට්ටේ පාලකයා බවට පත් වූ බව සඳහන් වේ.

6. මේණවර තුනයා අභ්‍යන්තර අරගලයක් ඇති කිරීම

එපමණක් නොව 1495 වසරේ දී කෝට්ටේ පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුට විරුද්ධව උඩරට පාලකයා වූ මේණවර තුනයා අභ්‍යන්තර අරගලයක් ඇති කළ බව අස්ගිරි තල්පතේ සඳහ් විස්තරයේ දැක්වේ. ඒ අනුව තුනයම රජ නමින් උඩරට පාලනය ගෙන ගිය ඔහු කෝට්ටේ රාජධානියට අය විය යුතු බදු නොගෙවා, තමා රජු බව ප්‍රකාශ කරමින් රන් පනම් නිකුත් කරමින් අභ්‍යන්තර කැරළි ඇති කිරීමට කටයුතු කළ බව කියවේ. මේ අවස්ථාවේ දී වීර පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයෙකු වූ රාජසිංහ කුමරු තම මස්සිනා වූ කීරවැල්ලේ මහ රාළහාමි නැමැත්තෙකුට සේනාව ලබා දී කැරැල්ල මර්දනය කරවූ බවත්, උඩරට පාලකයා පනම් තුන් ලක්ෂයක්, ඇතුන් දෙදෙනෙකු හා තම දියණියක් ද කීරවැල්ල මහ රාළහාමි වෙත ලබා දීමෙන් අනතුරුව අරගලය සාමදාන කරවූ බව දැක්වේ. නමුත් නොබෝ කලකින්ම උඩරට පාලකයා නැවත වරක් කෝට්ටේ රජුට එරෙහිව අභ්‍යන්තර අරගලයක් දියත් කොට ඇති අතර එහි දී උඩුගම්පොළ සිටි වීර පරාක්‍රමබාහු රජුගේ තවත් පුතෙකු වූ සකලකලා වල්ලභ කුමරු ඒකනායක මහ ඇමති හා සේනාව සමඟ ගොස් ඔහු නැවත වරක් පරාජය කරවූ බව රාජාවලිය තුළ සඳහන් වේ. ක්‍රි.ව. 1500 ආරම්භයට පෙර කෝට්ටේ රාජධානිය තුළ සිදු වූ අවසන් අභ්‍යන්තර අරගලය උක්තව සඳහන් කරන ලද 1497දී අටවන වීර පරාක්‍රමබාහු රජුට විරුද්ධව උඩරට පාලකයා ඇති කරනු ලැබූ අරගලය වූ බව කිව හැකිය. කෙසේ නමුත් ක්‍රි.ව. 1500 ආරම්භයේදීම මෙරටට බටහිර යටත්විජිතවාදයේ සෙවණැළි එල්ල වන අතර ඉන් අනතුරුව 1521දී සිදු වූ ඉතා ප්‍රකට අභ්‍යන්තර අරගලය වූ විජයබා කොල්ලයෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම හා සීතාවක ලෙසින් ප්‍රදේශ ත්‍රිත්වයකට බෙදීමත් ඉන් කෝට්ටේ පාලකයා වූ හත්වන බුවනෙකබාහු රජුගේ මුනුබුරු වූ ධර්මපාල කුමරු තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන් වෙත පවරා දීමත් සමඟ 13වන සියවසේ දී ආරම්භ වූ මෙරට නිරිත දිග රාජධානි 16වන සියවසේ දී අභ්‍යන්තර දේශපාලන අරගල හේතුවෙන් විනාශයට පත් වනු ලක්දිව දේශපාලන ඉතිහාස ගලනය අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකිය.

         

 

ලාංකීය වංශකතාවන්හි සඳහන් වන දිවයිනේ මුල් අවධියේ ඉතිහාසය ප්‍රබන්ධාත්මක ද?


ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශකතා සාහිත්‍යයයෝ

ශ්‍රී ලාංකීය ඉතිහාසය ගොඩනැංවීමේ දී අනෙක් රටවල් මෙන් නොව ක්‍රමානුගත රාජ නාමාවලියක් පවත්වා ගනිමින් අඛණ්ඩ ඉතිහාසයක් ගොඩ නංවා ගැනීමට මෙරට රචනා කරන ලද සාහිත්‍යමය මූලාශ්‍රයන් මහඟු පිටිවහලක් වන බව කිව හැකිය. එහි දී දිවයිනේ වංශකතා සාහිත්‍ය ඉතා වැදගත් වන අතර ඒවායේ ඈත අතීතයේ සිටම ඓතිහාසික වැදගත්කම රචනා කොට තිබීම දිවයිනේ ඉතිහාස වෘතාන්තය සකස් කොට ගැනීමේ දී මහත් සේ ප්‍රයෝජනයට ගෙන ඇත. ඒ අනුව මෙරට මුල් කාලීන ඉතිහාසය පිළිබඳව හැදෑරීමේ දී ප්‍රධාන වශයෙන්ම වංශකතා ද්විත්වයක් හඳුනා ගත හැකි අතර ඒවා නම් දීපවංශය හා මහවංශයයි. ක්‍රි.ව. හතරවන හා පස්වන සියවස් අතර කාල පරිච්ඡේදය තුළ රචනා වූ කෘතියක් ලෙස සැළකෙන දීපවංශය දැනට ඉතිරි වී තිබෙන පැරණිතම මූලාශ්‍රය වන බව සාම්ප්‍රධායික පිළිගැනීමයි. පරිච්ඡේද 22කින් සමන්විත මෙම වංශකතාව කතුවරුන් රැසකගේ සහභාගීත්වයෙන් රචනා කොට පසුව එක් කෘතියක් ලෙස සකස් කළ ග්‍රන්ථයක් වේ. බුද්ධ චරිතයේ ඇතම් සිදුවීම් ද, උන්වහන්සේගේ ලංකා ගමනය ද, ඉන්පසුව විජය කතා පුවතේ සිට මහසෙන් රාජ්‍ය අවධිය දක්වාම මෙම කෘතිය තුළ තොරතුරු දක්වා ඇති අතර අනෙක් මූලාශ්‍රයන්ට වඩා පිළිගැනීමට හැකි විශ්වාසදායක ඓතිහාසික කරුණු සමහරක් මෙහි ඇතුළත් වන බව ද කියවේ. ක්‍රි.ව. පස්වන හා හයවන කාල සීමාව අතරතුර මහාවිහාරික මහානාම හිමියන් විසින් රචිත ග්‍රන්ථය වන මහාවංශය පරිච්ඡේද 37කින් සමන්විත කෘතියකි. එය ද බුද්ධ චරිතයේ ඇතැම් කාලයන්, බුදුන්ගේ ලංකා ගමනය හා විජය පුවතේ සිට මහසෙන් අවධිය දක්වා රචනා කොට ඇති අතර දීපවංශයට වඩා කරුණු විස්තරාත්මකව හා ක්‍රමානුකූලව මෙහි දක්වා ඇති බව කියවේ. මහාවංශයට පෙර රචනා කරන ලද මූලාශ්‍රයන්ගේ තිබූ අඩුපාඩු ඉවත් කරමින් මෙය රචනා කරන බව මහානාම හිමියන් විසින් සඳහන් කොට ඇති අතර මහාවංශය දීපවංශයට ලියන ලද අට්ට කතාවක් ලෙසින් ද හඳුන්වනු ලබයි. මෙහි ඇති විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් පෙර රචිත මූලාශ්‍ර තුළ දක්නට නොමැති තොරතුරු පවා අඩංගු වන අතර ඒ හේතුවෙන්ම මහාවංශය දිවයිනේ ඉතිහාස ගලනයේ අඛණ්ඩ බව වර්ධනය කර ගනීම සඳහා යොදා ගත හැකි ප්‍රධානතම සාහිත්‍යමය මූලාශ්‍රයක් ලෙස හඳුන්වනු ලබයි.

ඉහත දක්වන ලද වංශකතාවන් හි විස්තෘත දිවයිනේ මුල් අවධියේ ඉතිහාසය පිළිබඳව දැක්වීමේ දී එය බෙහෙවින්ම ප්‍රබන්ධාත්මක බව විද්වතුන්ගේ මතයයි. එහි දී මෙහි සඳහන් දිවයිනේ මුල් අවධිය යනුවෙන් අර්ථ දක්වනු ලබන්නේ උක්ත වංශකතාවන්හි සඳහන් බුදුන් තෙවරක් ලක්දිවට වැඩමවීමේ සිට ඉන් පසුව ආරම්භ කොට ඇති විජය කතා පුවතේ පටන් මහසෙන් අවධිය දක්වා වූ යුගය ලෙස හඳුනවා දිය හැකිය. ඒ අනුව උක්ත කාල පරිච්ඡේදයේ ඉතිහාසය මෙම වංශකතා තුළ දක්වා ඇත්තේ ප්‍රබන්ධාත්මක ලෙස දැයි විමසීමේ දී එලෙස ප්‍රබන්ධ ස්වරූප දැරීමට හේතු වූ ප්‍රධාන තත්වයන් කිහිපයක් හඳුනා ගත හැකිය. එනම් මෙම කෘතීන් හි රචිත ඉතිහාසය අදාළ සංසිදුවීම සිදුවී වසර ගණනාවකට පසුව රචනා වීමත්, එම සිදුවීම් ඇසින් දුටු සිදුවීම් නොව වසර ගණනාවක් තිස්සේ කනින් කනට යමින් මුඛ පරම්පරාවෙන් පැවතගෙන ආ සිදුවීම් වීමත් මෙන්ම මෙම වංශකතා රචනා කළ කතුවරුන්ගේ අරමුණ හුදෙක් වාර්තාමය ඉතිහාසයක් රචනා කිරීම නොවීමත් වැනි කරුණු එලෙස දිවයිනේ මුල් කාලීන ඉතිහාසය ගොතන ලද කතාවක් හෙවත් ප්‍රබන්ධාත්මක ස්වරූප දැරීමට හේතු වූ බව කිව හැකිය.

 

පැරණි වංශකතා තුළ සඳහන් තොරතුරු සැබවින්ම ප්‍රබන්ධාත්මක ද? 

වංශකතාවන්හි සඳහන් ඉතිහාසය ප්‍රබන්ධයක් බවට පෙන්වා දිය හැකි ප්‍රධානතම සාධකයක් වනුයේ ඒවා තුළ කතුවරුන් විසින් සිතා මතා ගොතනා ලද කතා පුවත් ඇතුළත් කොට තිබීමයි. එනම් කිසිදු වෙනත් දේශීය හෝ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයකින් හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් හෝ තහවුරු නොවන සිදුවීම් වංශකතා තුළ ඇතුළත් කොට තිබීම පෙන්වා දිය හැකිය. එහි දී කැපී පෙනෙන ඓතිහාසික සිදුවීමක් වනුයේ බුදුන් වහන්සේගේ ලංකා ගමන් පිළිබඳව වංශකතා තුළ සඳහන් විස්තරයයි. ඒ අනුව බුදු වහන්සේ වාර ත්‍රිත්වයකදී මෙරටට වැඩි බව දීප වංශය, මහාවංශය හා පාලි අට්ඨකථා සාහිත්‍යය තුළත් සඳහන් කොට ඇති අතර පළමුව මහියංගනයට ද, දෙවනුව නාගදීපයට ද, තෙවනුව කැළණියට ද වැඩම කළ බව ඒවායේ සඳහන් වේ. විශේෂයෙන්ම මෙම එක් එක් ගමන් වාර තුළ දී බුදුරදුන් මෙරට වූ නාගයන්ගේ ගැටළු විසඳූ ආකාරය, යක්ෂයින් දමනය කළ ආකාරය මෙන්ම මෙරට සිටි දේව ගණයා බුදුන් සරණ ගිය ආකාරය ආදී කරුණු පිළිබඳව ඉතාමත් දීර්ඝ ලෙස විවිධාකාර තොරතුරු සඳහන් කොට තිබෙන ආකාරය හඳුනා ගත හැකිය. කෙසේ නමුත් වංශකතා තුළ සඳහන් තොරතුරු කෙසේ වූවත් බෞද්ධ ත්‍රිපිටකය තුළ බුදුන් වහන්සේ කිසිදු විටෙක නැගෙනහිර ඉන්දියාවෙන් ඔබ්බට වැඩම කළ අවස්ථා හඳුනා ගැනීමට නොමැති බව කියවේ. එබැවින් ලක්දිව වංශකතා තුළ පමණක් සඳහන් වන මෙම බුදුන්ගේ ලංකා ගමනයන් පිළිබඳව වූ විස්තරයන් වංශකතා කතුවරුන්ගේ ප්‍රබන්ධයක් වන බව විද්වතුන් විසින් නොයෙක් වර ප්‍රකාශ කොට ඇත. මෙම ප්‍රකාශය ඉතා විවාදාත්මක වූවත් බෞද්ධ ත්‍රිපිටකය මේ පිළිබඳව දක්වන නිහඬබව හේතුවෙන් වංශකතා තුළ දක්වන විස්තර ප්‍රබන්ධ බව පිළිගත හැකිය. විශේෂයෙන්ම ලාංකීය බෞද්ධ ප්‍රජාව ඓතිහාසික මූලයකට වඩා ආධ්‍යාත්මික මූලයකින් මෙම කරුණු දෙස බැලීම හේතුවෙන් එය වඩාත් විවාදාත්මක ස්වරූප ගන්නා නමුත් දිවයිනේ මුල් කාලීන ඉතිහාසය විස්තර කිරීමේදී නම් වංශකතා තුළ විස්තෘත එම කරුණ ප්‍රබන්ධයක් බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ. 

    එමෙන්ම ලක්දිව රජ පෙළපත බුදුන්ගේ පරපුර වූ ශාඛ්‍ය වංශයට සම්බන්ධ කිරීම ද ප්‍රබන්ධාත්මක විස්තරයකි. මන්ද යත් කෝසල පාලක විඩූඪභ විසින් ශාක්‍යයන් සමූල ඝාතනය කිරීමෙන් පසුව සුද්ධෝදන රජුගේ සොහොයුරෙකු වූ අමිතෝදනගේ පුත්‍රයෙකු වූ පණ්ඩු නමත්තෙක් සිය දිවි ගලවා ගත් බවත් ඔහු ගංඟා නම් ගඟේ අනෙක් පස රාජධානියක් පිහිටුවා ගත් බවත් මහාවංශයේ සඳහන් වේ. මෙම පණ්ඩු රජුට භද්ධකච්ඡායනා නම් දියණියක සිටි බවත්, ඇය විවාහ කර ගැනීමට පැමිණි රජවරුන් සත් දෙනෙකු හේතුවෙන් හැකි කෙනෙකු සිටී නම් මැය දිනා ගනිත්වා යයි පවසා කුමරිය ගංඟා ගඟේ පාකොට හැරීමෙන් අනතුරුව ඇය ලක්දිව ගෝණගම් තොටට ළඟා වූ බවත්, පසුව ඇගේ නිමිති ශාස්ත්‍ර බලා ලක්දිව පණ්ඩුවාසදේව රජුගේ අගමෙහෙසිය වශයෙන් ඇය සරණ කර දුන් බවත් වංශකතා විස්තරයේ සඳහන් වේ. ඒ අනුව පණ්ඩු නම් රජු බුදුන් වහන්සේගේ ඥාති සොහොයුරෙකු ලෙස හඳුනාගත හැකි නමුත් බෞද්ධ පිටක ග්‍රන්ථ හෝ වෙනත් ඉන්දියානු මූලාශ්‍ර කිසිවෙක මේ පිළිබඳව තොරතුරු දක්වා නොමැත. නමුත් පාලි අට්ට කතා හා ලක්දිව වංශකතා තුළ පමණක් සඳහන් වන මෙම විස්තරයෙන් ගම්‍ය වනුයේ පණ්ඩු ශාඛ්‍ය රජු හා ඔහුගේ දියණිය වූ භද්ධකච්ඡායනා කුමරිය බුදුන්ගේ පෙළපතට ඥාතීන් ලෙස දක්වමින් ලක්දිව රජ පෙළපත ද බුදුන්ගේ ශාඛ්‍ය වංශයට සම්බන්ධ කරලීමට වංශකතාව තුළ ප්‍රබන්ධයක් ගොඩනංවා ඇති ආකාරයයි. එපමණක් නොව පණ්ඩුකාභය කුමරුන්ගේ පියා ද භද්ධකච්ඡායනාවගේ සොහොයුරෙකු වූ දීඝායු වන බැවින් පණ්ඩුකාභය කුමරු උභය කුල පාර්ශවයෙන්ම ශාඛ්‍ය වංශික හා බුදුන් වහන්සේට මී මුණුබුරෙකු වන බව පෙන්වා දීමට වංශකතා කරුවා උත්සහ ගෙන ඇති ආකාරය පැහැදිලි වේ. මෙම කරුණු සනාථ කිරීමට වෙනත් කිසිදු මූලාශ්‍රයක සහාය නොලැබෙන අතර මෙය පැහැදිලිව වංශකතාකරු විසින් සිංහල රජ පෙළපත බුදුන්ගේ පෙළපතට සම්බන්ධ කිරීමට යොදා ගනු ලැබූ ප්‍රබන්ධයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

    එපමණක් නොව බුදුන් වහන්සේගේ පරිනිර්වාණය දිනයේම විජය ඇතුළු පිරිස ලක්දිවට පැමිණීම හා බුදුන් වහන්සේ පිරිනිවන් මංඤචකයෙහි වැඩ සිටිමින් ශක්‍රයා අමතා සිංහබා පිත් තෙල විජය කුමර අනුගත සත් සියක් පිරිවෙර ඇතිව ලාට රටින් ලක්දිව් බැස්සේය. දේවේන්ද්‍රය මගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාව ද මොනවට රකුව යි වදාළ බව කියවේ. එපමණක් නොව සක් දෙවියන් ලංකාව ආරක්ෂා කිරීම උපුල්වන් දෙවියන්ට පැවරූ බවත් එනිසා උපුල්වන් දෙවියන් පරිබ්‍රාජක වේශයෙන් පැමිණ විජය ප්‍රධාන පිරිසට පිරිත් නූල් බැඳ පිරිත් පැන් ඉසූ බවත් වංශකතාවේ සඳහන් වේ. මෙම විස්තරය ද වංශකතාවේ ඇති තවත් එක් ප්‍රබන්ධයක් බවට පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම බුද්ධ පරිනිර්වාණ දිනය තුළම විජය මෙරටට ගොඩ බැසීම හා බුදුන් ඔහු ආරක්ෂා කිරීම සක් දෙවිඳුන්ට පැවරීම යන සිදුවීම තුළින් ද වංශකතාකරුවා උත්සහ ගෙන ඇත්තේ විජය පැමිණීමට පෙර සිටම ලක්දිව බුදු දහම ආරක්ශා කිරීම රජුගේ වගකීම බවට පත් වී තිබුණු බව ඉස්මතු කර පෙන්වීමට බව කිව හැකිය. විශේෂයෙන්ම දීපවංශයේ සඳහන් වන කරුණක් වන බුදුන් බුද්ධත්වය ලබා හුනස්නෙන් නැඟී සිටීමට පෙරම ලංකාව ධර්මද්වීපයක් වන බව දැන මෙහි වැඩමවීමට ඉටා ගත් බව සඳහන් වීමෙන් ඉහත ප්‍රකාශය මොනවට පැහැදිලි වේ. ඒ අනුව උක්ත වංශකතා විස්තරයන් ද කතුවරුන්ගේ සිතැඟි අනුව බෞද්ධාගමේ ආරක්ෂාව පදනම් කර ගනිමින් ගොතන ලද කතාවක් ලෙස පැහැදිලි වන අතර එනිසාම එම කරුණු ද වංශකතාවන්හි සඳහන් දිවයිනේ මුල් ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට සාධකයක් වේ.

    එමෙන්ම එළාර රජුගේ චරිත ස්වභාවය විස්තර කිරීමේ දී මහාවංශයේ දක්වා ඇති විස්තරයේ ඇතුළත් වන සිය පුතුගේ රථයට හසුව මිය ගිය වසු පැටවා සම්බන්ධ කතා පුවත, ලිහිණි පැටවෙකු කෑ සර්පයාගේ බඩ පලා ඒ ගසෙහිම ඇණ ගැසීම මෙන්ම රජුගේ රථය වැදී ථූපාරාමයට හානි වූ විට කමාව අයැද එය පිළිසකර කිරීමට අණ දීම, අකල් වස්ස පිළිබඳව මැහැල්ලකගෙන් කෙරුණු පැමිණිල්ලක් හේතුවෙන් නිසි කලට වැසි වැටෙන්නට සැලැස්වීම ආදී කතා පුවත් ද වංශකතා කතුවරයා විසින් ගොතන ලද කතා බව පැහැදිලි වේ. විශේෂයෙන්ම එළාර රජු මිසදිටු රජෙකු වුව ද අගතිගාමී රජෙකු නොවන බව පෙන්වා දීම සඳහා මෙලෙස වංශකතා කතුවරයා ප්‍රබන්ධ ගොඩනංවා ඇති බව පෙන්වා දිය හැකිය.

    එපමණක් නොව වංශකතා තුළ සඳහන් වන ප්‍රබන්ධ ස්වභාවය හොඳින්ම පැහැදිලි වන තවත් එක් අවස්ථාවක් වනුයේ විහාරමහා දෙවියට උපන් දොළදුක සම්බන්ද කතා පුවතයි. එනම් විශාල මී වදයක් භික්ෂූන්ට දන් දී ශේෂය වැළඳීම, එළාර රජුගේ දෙටු සෙනෙවියාගේ හිස සිඳි කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීම හා, අනුරාධපුර උල් කෙතින් ලබා ගත් මල් පැළඳීම ලෙස එම දොළ දුක් වංශකතාවේ අර්ථ දක්වා ඇත. මහාවංශයේ වීරයා වූ දුටුගැමුණු රජුගේ වීරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා උක්තව දැක්වූ ආකාරයේ දොළදුක් පිළිබඳව කතා පුවත් ප්‍රබන්ධ කොට ඇති බව මැනවින් පැහැදිලි වන අතර කාවන්තිස්ස රජු කුඩා කුමරුන්ට බත් ගුලි කැවීමේ දී දුටුගැමුණු කුමරු දෙමළුන් හා යුද්දයට නොයන ලෙස පිය රජු පොරොන්දු කරවා ගැනීමේ දී එම බත් ගුලිය ඉවතලා ගොස් වකුටු වී ඇඳෙහි වැතිරී සිටීමේ සිදුවීම ද දුටුගැමුණු රජුගේ වීරත්වය හුවා දැක්වීම සඳහා වංශකතා කරුවා එක් කරන ලද ප්‍රබන්ධයක් බව කිව හැකිය. 

    එමෙන්ම දිවයිනේ මුල් කාලීන ඉතිහාසය රචනා කිරීමේ දී ඒ සඳහා ජනප්‍රවාද උපයෝගී කර ගනිමින් ප්‍රබන්ධ සකස් කොට ඇති ආකාරය ද දක්නට ලැබේ. එහි දී කැපී පෙනෙන ජනප්‍රවාදයක් වනුයේ විජයගේ මුතුන් මිත්තන් වූ වගු රට නරනිඳු සම්බන්ධ කතා පුවතයි. විශේෂයෙන්ම එම රජුගේත් බිසව වූ කළිඟු රජ දුවගේත් දියණිය සිංහයෙකු සමඟ සංවාස වන බව නෛමිත්තකයෝ පැවසීම හේතුවෙන් ඇය සිය පියාණන්ගේ රාජ්‍ය අත්හැර ලාට රට බලා යනවිට සිංහයෙකු ඇය පැහැරගෙන ගිය බවත් පසුව ඇයට හා සිංහයාට දාව සිංහබාහු හා සිංහසීවලී නමින් නිවුන් දරුවන් ලැබුණු බවත්, සිංහ ගුහාවෙන් පැනයාමෙන් අනතුරුව සිංහයා මරා සිංහබාහු ලාට රට සිංහපුර නුවර ඉදිකොට සිය සොහොයුරිය වූ සිංහසීවලී විවාහ කොට ගත් බවත්, ඒ විවාහයෙන් නිවුන් දරුවන් තිස් දෙකක් බිහිවූ බවත්, ඉන් වැඩිමලා විජය හා දෙවැන්නා සුමිත්ත වූ බවත් ආදී වශයෙන් මහාවංශය තුළ විජය කුමරුන්ගේ පරම්පරාව පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් ඇතුළත් කොට ඇත. දීපවංශය ද මීට සමාන ආකාරයෙන් මෙම පුවත ඉදිරිපත් කොට ඇති නමුත් මහාවංශය දීපවංශයේ නොමැති තොරතුරු ද දක්වා ඇති බව කියවේ. කෙසේ නමුත් මෙම පුවත හුදෙක්ම ජනප්‍රවාද ඇසුරෙන් රචිත බැව් මෙම සිදුවීම හා වංශකතා රචනා වූ කාල සීමාව අතර පරතරය හඳුනා ගැනීමෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම ජනයා අතර කටින් කට පැවතගෙන ආ රසවත් කතා පුවත් ලෙස මේවා අර්ථ දැක්විය හැකි අතර ඒවා සතුව සනාථ කොට ගත හැකි ඓතිහාසික වටිනාකමක් ද නොවීම තවදුරටත් එම විස්තරයන් ප්‍රබන්ධ ලෙස පෙන්වා දීමට සාක්ෂ්‍ය වේ.

    එමෙන්ම පණ්ඩුකාභය රජුගේ බිසව වූ සවර්ණපාලී කුමරිය අත ගැටෙන නුග පත්‍ර රත්‍රන් බඳුන් බවට හැරීම පිළිබඳව වංශකතාවේ විස්තෘත තොරතුරු ද මෙම ජනප්‍රවාද කොටසටම ලා පෙන්වා දිය හැකිය. පණ්ඩුකාහය කුමරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීම සඳහා එක් අතකින් ස්වර්ණපාලී කුමරිය හා සම්බන්ධ ජනප්‍රවාදය මෙලෙස ප්‍රබන්ධයක් කොට වංශකතාවට එක් කරන්නට ඇතැයි ද උක්ත කරුණු ඔස්සේ උපකල්පනය කළ හැකිය.

    තව ද ජනප්‍රවාදයෙහි එන දේවානම්පියතිස්ස රජු විසින් ථූපාරාමය සෑදූ අවස්ථාවේ එයට ධාතූන් රැගෙන එන ලෙස සුමන සාමණේරයන් වහන්සේ පිටත් කළ කතා පුවත ද වංශකතා කතුවරයා එම ජනප්‍රවාදය උපයෝගී කොට ගනිමින් ප්‍රබන්ධයක් සකස් කොට වංශකතාවට ඇතුළත් කොට ඇති ආකාරයක් දිස් වේ. එනම් මිහිඳු හිමියන් විසින් සුමන සාමණේරයන් හට දඹදිව පුෂ්පාරාමයට ගොස් අශෝක රජු මුණ ගැසී බුදුන් පරිභෝජනය කළ පාත්‍රය හා අනෙකුත් ධාතූන් ද සක් දෙවිඳුන්ගෙන් අකු ධාතුවත් රැගෙන එන ලෙස දන්වා සිටි බව කියවේ. එහි දී ශක්‍රයාගෙන් සුමන සාමණේරයන් විසින් අකු ධාතුව ලබා ගත් ආකාරය පිළිබඳ විස්තරය උක්ත ජනප්‍රවාදය පදනම් කර ගනිමින් ප්‍රබන්ධ කොට වංශකතාවට ඇතුළත් කොට ඇති ආකාරය හඳුනා ගත හැකිය. එපමණක් නොව සඟමිත් තෙරණිය මෙරටට මහා බෝධියේ ශාඛාවක් රැගෙන ඒමට පෙර මහාබෝධියෙන් එම අංකුරය වෙන් කරවා ගැනීම පිළිබඳව වන ජනප්‍රවාදය ද වංශකතාවට ප්‍රබන්ධාත්මක ස්වරූපයෙන් එක් කර ඇති ආකාරය එය අධ්‍යනය කිරීමෙන් හඳුනා ගත හැකිය. එනම් අශෝක රජු මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ අනුශාසනා පරිදි රන් කටාරමක් සමඟ ගොස් රන් තෙල්ලෙන් රන් සිරියෙල් ගෙන ශාඛාවෙහි රේඛාවක් ඇන්දේය. දක්ෂිණා මහා ශාඛාව තෙමේම සිඳී රන්බඳුනෙහි පිහිටියේය. ඒ පෙළහර දුටු රජු දඹදිව රජය මහා බෝධියට පිදීය. බෝධිය නිසා වූ නා නා විධ ප්‍රාතිහාර්ය දුටු රජු නැවත මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කළේය. බෝධිය ග්‍රහණය කළ දවසින් සතළොස්වන දින අංකුර නවයක් උපණින ආදී වූ ආකාරයෙන් මහාවංශය තුළ එම සිදුවීම විස්තර කොට ඇත. එබැවින් උක්තව සඳහන් කරන ලද කරුණු මඟින් ද පැහැදිලි වනුයේ වංශකතා තුළ විස්තෘත දිවයිනේ මුල් අවධියේ ඉතිහාසයේ ඇතැම් සිදුවීම් ජනයා අතර පැවති කතා හෙවත් ජනප්‍රවාදයන් පදනම් කොට ගනිමින් ප්‍රබන්ධ  ලෙස සකස් කොට ඉතිහාස කෘති තුළට එක් කොට ඇති බව ගම්‍යමාන වන බවයි.

            ලාංකීය මුල් ඉතිහාසය රචනා කිරීමේ දී වංශකතා තුළ ජනප්‍රවාද සේම පුරාවෘත ද ප්‍රබන්ධ ලෙස යොදා ගෙන ඇති ආකාරය දක්නට ලැබේ.  එහි ලා කැපී පෙනෙන පුරාවෘතය වනුයේ විජය කතා පුවතයි. දීපවංශය හා මහාවංශය යන ද්විත්වයෙහිම විජය කතා පුවත මැනවින් විස්තර කොට ඇති නමුත් ඒවායේ සඳන් ඇතැම් කරුණු අතර යම් අඩු වැඩි වීමක් ද දක්නට ලැබෙන බව විද්වතුන්ගේ අදහසයි. කෙසේ නමුත් දිවයිනේ මුල් ඉතිහාසය හඳුනා ගැනීමේ දී විජය පුරාවෘතය ආශ්‍රය කොට ගෙන ප්‍රබන්ධයන් වංශකතාවන් තුළට ඇතුළත් කොට ඇති ආකාරය හඳුනාගත හැකිය. ඒ අනුව විජය කතා පුවතින් ගම්‍ය වන ආකාරයට එහි දැක්වෙන සිද්ධි කිසිවක් පිළිබඳව වෙනත් සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක සාධක කිසිවක් නොලැබෙන බව විද්වතුන්ගේ මතයයි. එමෙන්ම විජය පුරාවෘතය යනු එක් කෙනෙකු කිහිප දෙනෙකු විසින් රචනා කරන ලද මනඃකල්පිත කතාන්දරයක් බවත් එහි රචකයන් තත්කාලීන ඉන්දියාවත් ලක්දිවත් පිළිබඳව දැන සිටි කරුණු අනුව ගළපා එම කතා පුවත සකස් කොට ඇති බවත් එම උගතුන් වැඩි දුරටත් දක්වා ඇත. විශේෂයෙන්ම එම කතුවරුන් එවකට පැවති මිනිස් ගති හා මිනිස් කටයුතු පිළිබඳව ඔවුන් තුළ වූ අදහස් හා විශ්වාසයන් එම එම කතාන්දරයට එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකි වේ. ලක්දිව ජනාවාස කරන ලද පළමුවැනි පුද්ගලයා වූ විජය හා සම්බන්ධ ජනප්‍රිය කතාන්දරය එසේ විජය පුරාවෘතය නමින් ප්‍රචලිත වන්නට ඇති බව ද එනිසාවෙන්ම දිවයිනේ මුල් ඉතිහාසය ලෙස එම පුරාවෘතය ප්‍රබන්ධයක් ලෙස වංශ කතා තුළට ඇතුළත් කරන්නට ඇති බව ද උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වේ. එනමුත් එම පුරාවෘතය වංශකතා තුළට ඇතුළත් කිරීමෙන් දිවයිනේ මුල් ඉතිහාසය සමස්තයක් ලෙස ප්‍රබන්ධයක් වන බව ඉන් අදහස් නොවේ. විශේෂයෙන්ම විද්වතුන් විසින් වංශකතා තුළ සඳහන් මෙම පුරාවෘතය පිළිබඳව විමසිල්ලෙන් බලා එහි ඇති සත්‍ය සිදුවීම් ත්‍රිත්වයක් පිළිබඳව පෙන්වා දී ඇත. එනම්, සිංහබාහු රජු හා මව් බිසව පිළිබඳ කතාවේ මුල් අවස්ථාව සම්බන්ධ සිංහල නම් වූ මුල් ආර්ය කණ්ඩායමක් වූ බවත්, ඉන්දියාවෙන් පැමිණි පිරිසක් ලක්දිව ජනාවාස කළ බවත්, යක්ෂ නම් වූ දේශීයයන් පිරිසක් මෙහි වාසය කළ බවත් ය. කෙසේ නමුත් එලෙස යම් යම් සත්‍ය කරුණු උකහා ගත හැකි වූවත් සමස්තයක් ලෙස විජය කුමරු හා බැඳි පුරාවෘතය දිවයිනේ මුල් ඉතිහාසය රචිත වංශකතා තුළට එක් කර තිබීම ඒවායේ විස්තෘත ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට මනා සාක්ෂ්‍යයක් වන බව උක්ත කරුණු ඔස්සේ මැනවින් පැහැදිලි වේ.

         එමෙන්ම පණ්ඩුකාභය පුරාවෘතය ද වංශකතාවන්හි සඳහන් මුල් ඉතිහාසය ප්‍රබන්ධාත්මක බවට පෙන්වාදිය හැකි තවත් එක් සාධකයකි. විජය පුරාවෘතය තරම් පැරණි නොවූවත් මෙම පුරාවෘතයේ විස්තෘත ඉතිහාසය ද ඓතිහාසිකමය වශයෙන් එතරම් වැදගත් නොවන බව කියවේ. විජය පුවතට වඩා අත්භූත කරුණු හා සිදුවීම ඇතුළත් මෙම පුරාවෘතය අභව්‍ය සිදුවීම් විශාල ප්‍රමාණයක් ඇතුළත් වන විස්තරයක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම වංශකතා තුළට මෙම පුරාවෘතය ඇතුළත් කිරීමේ දී එයට අභව්‍ය සිදුවීම් විශාල ප්‍රමාණයක් එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකි අතර එම තත්වය එහි ප්‍රබන්ධාත්මක ස්වරූපය වැඩි කොට දක්වන්නක් වේ. ඒ අනුව චිත්තරාජ හා කාලවේල දෙදෙනා යක්ෂයින්ව කුමරුන්ට සේවය කිරීම, චේතියා නම් යක්ෂ වෙළඹක් කුමරුන් විසින් මෙල්ල කොට ගැනීම, ස්වර්ණපාලී කුමරිය නුගපත් අතට ගත් විට ඒවා රන් බඳුන් බවට පත් වීම, යක්ෂයින් හා සම අසුන් ගෙන පණ්ඩුකාභය රජු ඔවුන්ට පූජාවන් පැවත්වීම ආදී සිදුවීම් අත්භූත මෙන්ම පණ්ඩුකාභය නම් ජනප්‍රිය චරිතය විස්තර කෙරෙන පුරාවෘතය වර්ණවත් කිරීම සඳහා වංශකතා තුළ යොදා ගැනුණු ප්‍රබන්ධ බව පෙන්වා දිය හැකිය. එනමුත් මෙම කුමරු සිය මාමාවරුන් පරාජය කොට රජකම ලබා ගන්නට ඇති බවත්, අනුරාධපුරය නගරයක් වශයෙන් භාවිතා කළ පළමු රජු මොහු වන බවටත් වංශකතාවන්හි සඳහන් තොරතුරු සත්‍ය වන බව විද්වතුන් විසින් දක්වා ඇත. එබැවින් පණ්ඩුකාභය පුවත වැනි පුරාවෘතයන් ඉතිහාස කරුණු  අඩංගු වංශකතා විස්තරයන් තුළට ඇතුළත් කොට තිබීම එම ඉතිහාසය ප්‍රබන්ධාත්මක වීමට හේතු වූ බව කිව හැකි අතර එනිසාවෙන්ම ලාංකීය වංශකතාවන්හි විස්තෘත මුල් කාලීන ඉතිහාසය බෙහෙවින් ප්‍රබන්ධාත්මක ස්වරූප ගන්නා බව උක්ත කරුණු මඟින් මැනවින් පැහැදිලි වේ.

එමෙන්ම පැරණි බෞද්ධ ජාතක කතා ආශ්‍රය කර ගනිමින් වංශකතා තුළ ප්‍රබන්ධ සකස් කොට ඇති ආකාරයත් උක්ත යුගයේ විස්තෘත වංශකතා තොරතුරු ඔස්සේ හඳුනා ගත හැකිය. ඒ අනුව ජාතක කතා කිහිපයකම ආභාෂය වංශකතා රචනයේදී උපයෝගී කොට ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. විශේෂයෙන්ම වලාහස්ස ජාතකයෙහි විස්තර වන ආකාරයෙන් තම්බපණ්ණි නම් දිවයිනේ සිටි යක්ෂණියන් පිළිබඳව වූ විස්තරය මහාවංශ කතුවරයා සිය කෘතියට උපයෝගී කොට ගෙන ඇති ආකාරය දක්නට ලැබේ. ඒ අනුව බුදුන් මෙරටට වැඩම කොට යක්ෂ ප්‍රජාව පරාජය කළ බවත්, විජය කුමරු පැමිණීමට පෙර කුවේණිය නම් යක්ෂණියක් මෙරට සිටි බවත් ආදී වූ ප්‍රබන්ධ සිදු කොට ඇත්තේ එම ජාතකයේ ආභාෂයෙන් යැයි කිව හැකිය. එමෙන්ම පදකුසලමානවක ජාතකයේ එන බ්‍රාහ්මණයා හා යක්ෂණියගේ කතාව හා සම්බන්ධ කොට ඒ ආශ්‍රයෙන් සිංහබාහු පුවත වංශකතා තුළ ප්‍රබන්ධ කොට ඇති කිව හැකිය. මන්ද යත් එම ජාතක කතාවේද වෙළඹක් වැනි යක්ෂණියක් බ්‍රහ්මණයෙකු තම ස්වාමි පුරුෂයා වශයෙන් ගල් ලෙනක් තුළ සිර කොට තබා ගත් පුවතක් දැක්වෙන අතර එසමයේ බෝධිසත්වයන් එම යක්ෂණියට හා බ්‍රාහ්මණයාට දාව පුතෙකුව ඉපිද පසුව එම ගල් දොර හැර  පලා ගිය ආකාරය පිළිබඳව විස්තර වේ. එය සිංහබාහු පුවතට ඉතා සමීප බැවින් වංශකතා කතුවරුන් එම ජාතක කතාවේ ආභාෂය සිංහබාහු පුවත ප්‍රබන්ධ කිරීමේ දී යොදා ගන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. තව ද සිංහයා රට විනාශ කිරීමත් සිංහභාහු කුමරු සිංහයා මරා දැමීමත් ලෙස මහාවංශයට එක් කොට ඇති තොරතුරු සුතන ජාතකය උපයෝගී කොටගෙන ප්‍රබන්ධ කළ බව කිව හැකිය.  එපමණක් නොව කුවේණිය විජයගේ හත් සියයක් පිරිවර සිර කිරීම පිළිබඳව වූ සිදුවීම දේවධම්ම ජාතකයෙන් උකහා ගනු ලැබූවක් වේ. එම ජාතකයට අනුව රාක්ෂසයෙක් පොකුණට බසින සහෝදර කුමාරවරුන් දෙදෙනෙකු සිර කොට ගැනීමත් පසුව බෝධිසත්වයින් විසින් ඔවුන් රාක්ෂසයාගෙන් නිදහස් කොට ගැනීමක් විස්තර වන අතර එය කුවේණිය හා විජයගේ පිරිවර සම්බන්ධ පුවතට බොහෝ සෙයින් සමාන බවක් දක්වයි. එමෙන්ම විජය කුමරු හා අනුගාමිකයන් පිරිස සිය රට හැර ගිය හේතුව ගත් විට එය ඝත ජාතකය හා සම්බන්ධ වන බව කිව හැකිය. එම ජාතකයට අනුව ද මහජනයාට විවිධ නොපනත්කම් සිදු කරන රජුගේ බෑණනුවන් හා අනුගාමිකයන් පිරිස රටින් පිටුවහල් කරන සිදුවීමක් විස්තර කෙරේ.

    එපමණක් නොව උන්මාදචිත්‍රා හා දීඝගාමිණීත් පණ්ඩුකාභය කුමරුත් සම්බන්ධ වංශකතා විස්තර ද ඝත ජාතකය ආශ්‍රය කොට ගෙන ප්‍රබන්ධ කර ඇති සෙයක් දිස්වේ. මන්ද යත් ඝත ජාතකය තුළත් එක්ටැම්ගෙයක සිරකරන ලද මහාකංස රජුගේ දියණියක් පිළිබඳව මෙන්ම ඇයට හා උපසාගර නැමැත්තෙකුට ලැබුණු කුමරෙකු මවගේ සොහොයුරන් මරා රාජ්‍යත්වය ලබා ගන්නා විස්තරයක් එම ජාතකයෙන් විස්තර වන බැවිණි. එමෙන්ම පණ්ඩුකාභය කුමරු චේතියා නම් වෙළඹ අල්ලා ගන්නා අවස්තාවේ ඇය තල්පතට බිය වීමේ සිදුවීම අයෝඝර ජාතකයේ ද ඒ ආකාරයෙන්ම සඳහන් වන අතර පණ්ඩුකාභය රජු චිත්තරාජ හා සමසුන් ගෙන  දෙව් මිනිස් යක්ෂ ගණයා සිදු කරන රැඟුම් නැරඹීම කුරුධම්ම ජාතකයේ ආභාෂයෙන් ප්‍රබන්ධ කළ අවස්තාවක් ලෙස පෙන්වා දිය හැකිය.

එබැවින් සමස්තයක් ලෙස ගත් කළ පැහැදිලි වනුයේ  වංශකතා තුළ දැක්වෙන විජය කතා පුවත හා ඒ හා බඳුණු සිද්ධි දාමය, පණ්ඩුකාභය වෘතාන්තය ආදිය පූර්ණ වශයෙන්ම ජාතක කතා ලෝකයක ජීවත් වූ නිර්මාපකයින් විසින් ප්‍රබන්ධ කරන ලද්දක් යැයි ගම්‍යමාන වන බවයි. එමෙන්ම යක්ෂයන්, රාක්ෂසයන්, මිනිස්-තිරිසන් සංවාසයෙන් දරුවන් ලැබීම් ආදී චරිත හා සිද්ධි දිවයිනේ මුල් කාලීන ඉතිහාසය අඩංගු වංශකතා තුළ සඳහන් කොට තිබීම ජාතක කතා ආශ්‍රයෙන් ගොඩනංවන ලද ප්‍රබන්ධ බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ. 

    එමෙන්ම ජාතක කතාවල සඳහන් ඇතැම් මිත්‍යා චරිත ද පදනම් කොට ගනිමින් වංශකතා තුළ මිත්‍යා කතා හෙවත් අභව්‍ය සිද්ධි ප්‍රබන්ධ කොට තිබෙන ආකාරය හඳුනා ගත හැකිය. විශේෂයෙන්ම යක්ෂයින්, නාගයින් හා දේව ගණයා සම්බන්ධ විස්තර එලෙස අභව්‍ය ගණයේ ලා සැළකිය හැකිය. ඒ අනුව කුවේණිය, චිත්තරාජ හා කාලවේල, චේතියා නම් වෙළඹ ආදී යක්ෂයින් ඉතා බලවත් ඉන්ද්‍රජාලික බලයයන් ඇත්තවුන් ලෙස වංශකතා තුළ අභව්‍ය ආකාරයෙන් දක්වා ඇති මුත් ඔවුන්ගේ ඉන්ද්‍රජාලික බලයයන් කෙසේ වුවත් යක්ශ නමින් හැඳුන්වූ ස්වදේශික පිරිසක් වන්නට ඇති බව කිව හැකිය. නාගයන් ද එසේමය. දුටුගැමුණු රජු මහා සෑයේ තැන්පත් කිරීමට ධාතු ගෙන ඒමට සෝණුත්තර තෙරුන් යැවූ බව වංශකතාවේ සඳහන් වන අතර එහි දී එම භික්ෂුව ධාතු කරඬුව ගිල දැමූ මහා මේරු පර්වතය යට සැඟවී සිටිනා කාළ නා රජුගේ බෑණනුවන් වූ වාසුලදත්තගේ මුඛය තුළින් සියුම් අතක් යවා ධාතූන් ලබා ගත් බව ආදී වශයෙන් ඉතා අත්භූත ආකාරයෙන් රචනා කොට ඇත. දේව ගණයා පිළිබඳව සඳහන් කොට ඇති විස්තර තුළ ද ඔවුන් බලසම්පන්න බවත්, එමෙන්ම ඔවුන්ගේ කෝපය දේශයට විපත් ඇති කිරීමට සමත් වන බවත් ආදී වශයෙන් වංශකතා තුළ දක්වා ඇත. විශේෂයෙන්ම මහාවංශයේ නොමැති එහෙත් දීපවංශ විස්තරයට අනුව කැළණිතිස්ස රජ දවස සිදු වූ මුහුද ගොඩ ගැලීම රජු භික්ෂුවක මැරවීම නිසා ඇති වූ දේව කෝපයක් ලෙස අර්ථ දක්වා තිබේ. එබැවින් ඉහත දක්වන ලද ආකාරයේ මිත්‍යා හා අභව්‍ය සිද්ධි නිර්මාණය කරමින් ඒවා වංශකතා තුළට ඇතුළත් කිරීම මඟින් ද පෙනී යන්නේ ලාංකීය වංශකතා තුළ විස්තෘත වන දිවයිනේ මුල් කාලීන ඉතිහාසය බෙහෙවින්ම ප්‍රබන්ධාත්මක එකක් බව මැනවින් ගම්‍යමාන වන බවයි. 

    එපමණක් නොව විදේශීය මූලාශ්‍රයන්ගේ ආභාෂය සහිතව ද මෙම වංශකතා තුළ ප්‍රබන්ධ ගොඩ නංවා ඇති ආකාරය දක්නට ලැබේ. එහි දී වඩා වැදගත් වනුයේ දිව්‍යාවදානයයි. වලාහස්ස ජාතකයේ ද විස්තර වන සිංහල නම් වෙළෙඳා හා යක්ෂණියන් පිළිබඳ කතාව දිව්‍යාවදානය තුළ ද සඳහන් කොට ඇත. විශේෂයෙන්ම එහි එන යක්ෂණියන් හා විසූ බැල්ලක පිළිබඳ විස්තරය, යක්ෂණිය ආහාර පාන මඟින් සංග්‍රහ කිරීම, සිරීසවත්ථු නගරයේ සිටි යකුන් ආදී විස්තරයන් ලාංකීය වංශකතා තුළට ද ඇතුළත් කොට තිබෙනු දක්නට ලැබේ. එපමණක් නොව මහාභාරතය හා රාමායණය යන භාරතීය වීර කාව්‍යයන්ගේ ආභාෂය සහිතව ද මෙම වංශකතා රචනා කොට තිබෙන බව විද්වතුන්ගේ මතයයි. පණ්ඩුකාභය, දුටුගැමුණු වැන්නවුන් වංශකතාවේ වීරයන් ලෙස උලුප්පා පෙන්වීමට ඉහත දැක්වූ භාරතීය වීර කාව්‍යයන්ගේ ආභාෂය කතුවරුන්ට ලැබෙන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. එබැවින් ලාංකීය මුල් ඉතිහාසය විස්තර වන වංශකතා තොරතුරු ප්‍රබන්ධාතමක වීමට විදේශීය සාහිත්‍යයේ ආභාෂය ද හේතුවක් වූ බව උක්ත කරුණු ඔස්සේ පැහැදිලි වන බව කිව හැකිය.

එමෙන්ම දිවයිනේ මුල්කාලීන ඉතිහාසය අඩංගු වංශකතා ප්‍රබන්ධාත්මක බවට පෙන්වා දිය හැකි තවත් එක් සාධකයක් වනුයේ බුදු දහමට වැඩි නැඹුරුවක් ලබා දීමට උත්සහ කිරීම ඔස්සේ එම ඉතිහාසය ප්‍රබන්ධයක් බවට පත් වීමයි. ඒ අනුව එසේ ප්‍රබන්ධ බවට පත් වූ අවස්ථා කිහිපයක් වංශකතා අධ්‍යනය කිරීමේ දී හඳුනා ගත හැකිය. එහි පළමුවැන්න වනුයේ දුටුගැමුණු රජු විසින් සිදු කරන ලද යුද්ධය රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා යැයි මහාවංශය තුළ මතුකර තිබීමයි. විදේශීය දමිළ ආක්‍රමණිකයෙකු දිවයිනේ අගනුවර වූ අනුරාධපුර වසර 44ක් වැනි දිගු කලක් තිස්සේ යටත් කොට ගෙන සිටි විට දුටුගැමුණු රජු එම පාලකයා පරාජයට පත් කිරීමට යනුයේ බෞද්ධාගමේ චිර පැවත්ම උදෙසා පමණක් බව උලුප්පා දැක්වීමට මෙහි දී වංශකතා කරුවා උත්සහා ගෙන ඇති ආකාරය පෙනේ. එපමණක් නොව මෙම යුද්ධයේදී භික්ෂූන් 500ක් යුධ සෙබළුන්ට පොරොතුව ගමන් කළ බව සඳහන් කිරීමෙන් ද බෞද්ධාගමික පක්ෂපාතීත්වය ඇති කිරීමට ගොස් ප්‍රබන්ධාත්මක ස්වරූපයක් ඉතිහාස කතාව තුළට එක් කොට ගෙන ඇති බව කිව හැකිය. එමෙන්ම දුටුගැමුණු රජු මහා සෑය ඉදිකිරීමට පෙර එහි වැඩ කටයුතු පිණිස ධනය ලැබුණු ආකාරය දැක්වීමේදී ද බෞද්ධාගම පදනම් කොටගත් ප්‍රබන්ධයක් වංශකතාව තුළට එක් කොට ඇති ආකාරය හඳුනා ගත හැකිය. ඒ අනුව එහි දැක්වෙන විස්තර ගත් විට රජු මහා බෝධි පූජාවක් කිරීමෙන් පසුව සතුටු වූ දෙවියන් ගඩොල්, තඹ, මැණික්, මුතු ආදිය මැවූ බව දක්වා ඇත. එමෙන්ම රජු මිය යෑමට ආසන්න වූ අවස්ථාව පිළිබඳව මහාවංශයේ දක්වා ඇති විස්තරය ද බෞද්ධාගම පදනම් කොටගත් ප්‍රබන්ධයක් බව කිව හැකිය. ඒ අනුව දෙව් ලොවින් රථ හයක් පැමිණ රජුට අඬගැසූ බවත්, රජු මෛත්‍රී බෝසතුන් වෙසෙන තුසිත පුරය තෝරා ගත් බවත්, අනතුරුව මෙලොවින් චුතව දිව්‍ය රථයෙන් සෑය තෙවරක් පැදකුණු කොට තුසිත පුර බලා ගිය බවත් ආදී වශයෙන් දක්වා ඇත.

    දීපවංශයටත් වඩා මහාවංශය තුළ මෙවැනි බෞද්ධාගමික මුහුණුවරක් සහිත ප්‍රබන්ධ ඇතුළත් කොට තිබීමට ප්‍රධාන හේතුවක් වනුයේ එහි කතුවරයා මහාවිහාරයට පක්ෂ වූ බෞද්ධ භික්ෂුවක් වීම බව උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම මහා විහාරයට මහත් උපකාර කළ රජු වූ දුටුගැමුණු රජු උක්ත ආකාරයේ ප්‍රබන්ධ මඟින් සමස්ත කෘතිය තුළම ඉහළ ස්ථානයකට ඔසවා තැබීමට මහානාම හිමියන් උත්සහ ගත් බව පැහැදිලි වේ. කෙසේ නමුත් ඉහත නිදසුන් මඟින් ද දිවයිනේ මුල් ඉතිහාසය රචිත වංශකතා ප්‍රබන්ධාත්මක බවට තහවුරු කොට ගත හැකි සාධක මැනවින් පැහැදිලි වන බව කිව හැකි අතර සෑම සංසිද්ධියකම දැකිය නොහැකි වූවත් බුදුදහමට තිබූ පක්ෂපාතීත්වය ද එසේ ප්‍රබන්ධයක් කොට වංශකතාවල එක් කොට ඇති බව උක්ත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

විශේෂයෙන්ම දිවයිනේ මුල් ඉතිහාසය විස්තෘත වංශකතා වශයෙන් දීපවංශය හා මහාවංශය තුළ පවතින ප්‍රබන්ධාත්මක ස්වභාවය සංසන්දනයකට ලක් කළ හැකිය. එහි දී කැපී පෙනෙන ලෙස මහාවංශය දීපවංශයට වඩා ප්‍රබන්ධාතමක ස්වරූපයකින් රචනා කොට ඇති බව පිළිගත හැකිය. ඒ අනුව වඩා පැරණි මූලාශ්‍රය වශයෙන් දීපවංශය විශ්වාසදායක හා පිළිගත හැකි මට්ටමේ තොරතුරු ඉදිරිපත් කොට ඇති බව විද්වතුන්ගේ මතය වන අතර මහාවංශය තරම් ක්‍රමානුකූලව තොරතුරු ඉදිරිපත් නොකරන නමුත් ශාස්ත්‍රීයමය පදනමකට හුරු ඓතිහාසිකත්වය ගරු කරන වාර්තාමය ස්වරූපයක් ඉන් දක්නට ලැබෙන බව කිව හැකිය. විශේෂයෙන්ම මහාවංශයේ සඳහන් නොවෙන තොරතුරු බොහෝ ප්‍රමාණයක් ද දීපවංශය තුළ අඩංගු වේ. ඒ අතර ලක්දිව භික්ෂුණී ඉතිහාසය, දසභාතික රජවරුන්, කැළණියේ රජ පරපුර ආදිය වඩා වැදගත් වන අතර මහාවංශයේ දැක්වෙන ඇතැම් පුවත් සමඟ ඝට්ටන මතු වන අවස්ථා ද දීපවංශයේ සඳහන් මුල් ඉතිහාසයෙන් හඳුනාගත හැකිය. ඒ අතර කුවේණිය සම්බන්ධ පුවත, සේන ගුත්තික, ලජ්ජිතිස්ස, නීලිය වැන්නවුන්ගේ රාජ්‍ය කාලයන් ආදිය පෙනවා දිය හැකි අතර එම තොරතුරු මහාවංශ තොරතුරුවලට වඩා නිවැරදි බවද කියවේ.

    නමුත් දීපවංශය හා සැසඳූ විට මහාවංශය ක්‍රමානුකූල හා නිරවුල් බවක් දැක්වූවත් එය ඓතිහාසිකමය වාර්ථා ස්වරූපයකට වඩා ගොතන ලද කතා ඇතුළත් කතුවරයාගේ ස්වකීය කැමත්තට වැඩි නැඹුරුවක් ලබා දුන් වංශකතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය. විශේෂයෙන්ම වෙනත් කිසිදු සාහිත්‍යමය හෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකින් සනාථ නොවන්නා වූ ප්‍රබන්ධාත්මක කරුණු රැසක් මහාවංශ විස්තරයට එක් කිරීමට කතුවරයා උත්සහගෙන ඇති ආකාරය දක්නට ලැබේ. ඒ අනුව බුදුන්ගේ පරපුරට ලක්දිව රජ පවුල සම්බන්ධ කිරීමට උත්සහ දැරීම, විජය පුරාවෘතය, කුවේණියගේ පුවත, පණ්ඩුකාභය පුරාවෘතය, දුටුගැමුණු රජු පිළිබඳව සඳහන් වන අතිශයෝක්ති ආදිය මහාවංශයේ පමණක් දක්නට ලැබෙන ප්‍රබන්ධ බව උක්ත පරිච්ඡේදයන් තුළ දක්වන ලද කරුණු තුළින් පැහැදිලි වේ. එබැවින් පැරණි පොත පතෙහි තිබූ අඩු ස්ථාන පිරවීම මහාවංශය රචනා කිරීමේදී තම අරමුණ වූ බව මහානාම හිමියන් දක්වා තිබුණත් එම අඩු තැන් පිරවීමේ දී එයට ඉතා විශාල වශයෙන් ගොතන ලද කතා හෙවත් ප්‍රබන්ධ එක් කරමින් රචනා කොට ඇති බව පැහැදිලි කරුණකි.

    එබැවින් දිවයිනේ මුල් කාලීන ඉතිහාසය රචිත වංශකතා වූ දීපවංශයේ හා මහාවංශයේ ප්‍රබන්ධාත්මක ස්වරූපය සංසන්දනය කළ විට පැහැදිලි ලෙසම දීපවංශයට වඩා මහාවංශය තුළ ප්‍රබන්ධාත්මක ඉතිහාසයක් අඩංගු බව කිව හැකි අතර  එසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දීපවංශය මෙන් නොව මහාවංශය ශාස්ත්‍රීය ඓතිහාසික වාර්ථාවක් නොව මහාවිහාරික ඉතිහාසය රචනා කරන ලද කෘතියක් පමණක් වීම නිසාවෙන් යැයි කිව හැකිය.