අතීත ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේහි
ලා දායක වූ විවිධාකාර ක්‍රමවේදයන් අතර වෙළඳාම යන සාධකයට හිමි වනුයේ සුවිශේෂිත
ස්ථානයකි. මුල් ඓතිහාසික යුගයටත් පෙර කාලයේ පවා ලක් වැසියන් වෙළඳ කටයුතුවල යෙදුණු
බවට හඳුනාගත හැකි විවිධ පුරාවිද්‍යාත්මක සාධක වත්මනෙහි හමුවී ඇත. ඒ අනුව මුල්
සමයන්හි පටන් වෙළඳාම යන ක්‍රියාවලිය ලක්දිව ජනප්‍රිය මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් ලෙස
පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මුල් කාලයෙන් අනතුරුව ලක්දිව ලිඛිත ඉතිහාසයක්
ගොඩනැඟිය හැකි රාජධානි බිහි වූ යුගයේ දී වෙළඳාම ලාංකීය සමාජය තුළ ඉතා ඉහළ මට්ටමේ
ආර්ථික ක්‍රමවේදයක් ලෙස පවති බව පැරණි වංශකතා මඟින් පමණක් නොව අනෙකුත් සාහිත්‍යමය
මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් ද හඳුනාගැනීමේ හැකියාව ඇත. ඒ අනුව
අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන් වෙළඳාම ජනප්‍රියව පැවති බව කිව හැකි අතර රටේ රජුගේ
පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයා ද එක්සේ වෙළඳාමට නැඹුරුව සිටි බවට සාක්ෂ්‍ය
සුලභව හමුවේ. පළමුවරට මෙරට වෙළඳ කටයුතු පිළිබඳව සඳහන් කොට ඇති මූලාශ්‍රය වනුයේ
දීපවංශය බව කියවේ. ඊට අමතරව මහාවංශය, සීහලවත්ථූපකරණය චූලවංශය වැනි සාහිත්‍ය කෘති මෙන්ම විවිධ රජවරුන් විසින්
පිහිටුවන ලද සෙල්ලිපි, කාසි මෙන්ම
නටඹුන් මඟින් ද අතීත ලංකාවේ වෙළෙඳ කටයුතු පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. මෙම
මූලාශ්‍රවලට අනුව අතීත ලංකාවේ පැවති වෙළෙඳාම ප්‍රධාන වශයෙන්ම ආකාර ද්විත්වයකින් ක්‍රියාත්මක
වූ බව කිව හැකිය. එනම්, අභ්‍යන්තර වෙළඳාම
හා විදේශ වෙළඳාමයි.